26 April, 2024

Blog

ආරක්ෂක අමාත්‍යංශය වෙනමම වූ මුරණ්ඩු පාලනයක් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටී

කරු ජයසුරිය

කරු ජයසුරිය

කරු ජයසුරිය

2014 ජූලි 01 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට එල්ල කරන ලද මරු පහරකි.  රටේ මූලික නීතිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහසට හා සමාගමයේ නිදහසට  එම චක්‍රලේඛය මගින් තහංචි පැමිණවීමක් සිදු කර ඇතුවා සේම එය රාජ්‍ය නොවන සංවිධානවලට මහජනතාව වෙත තම මතය ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ද අහෝසි කර තිබේ.  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පිලිබද ජාතික මහලේකම් කාර්යාලය මගින් මෙම අදාළ චක්‍රලේඛය රාජ්‍ය නොවන සංවිධාන දහසකට වඩා වැඩි සංඛ්‍යාවකට යවා ඇති බව දැන ගන්නට ඇත. කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාවට පත්ව වසර 05ක් ගතව තිබෙන මොහොතක රාජ්‍ය නොවන සංවිධානවලට පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, පුවත්පත් නිවේදන නිකුත් කිරිම සහ වැඩමුළු පැවැත්වීමේ හැකියාව තහනම් කර ඇති මෙම චක්‍රලේඛය සහතිකවම අරුම පුදුම නීතියක්ම ය.   මෙය පැහැදිලි ලෙස ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමකි.  රටේ පවතින ව්‍යවස්ථාව යටතේ තමන් අයත් සංවිධානය නොසලකමින් ප්‍රකාශනයේ නිදහස සෑම පුරවැසියෙකුට ම සහතික කර තිබේ. එසේම සාමකාමීව රැස්වීමේ නිදහස ද ව්‍යවස්ථාවේ මූලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත.

පශ්චාත් යුද සමයේ දී පෙර නොවූ විරූ ආකාරයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සිවිල් නිදහස  අහෝසි කරමින් ශ්‍රී ලංකාව තුල මිල්ටරි රාජ්‍යයක් නිර්මාණය කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.  සාමාන්‍යයෙන්,  මූලික මිනිස් අයිතීන් සීමා කෙරෙන ආරක්ෂක ආයතනවලට මෙබඳු නියෝග නිකුත් කිරිමේ හැකියාවක් ලැබෙනුයේ අධිකාරිවාදී රාජ්‍යන්හි පමණි.   ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක බවට රාජපක්ෂ පාලනය මෙරට වැසියන් හා පිටස්තර ලෝකයා තුල නොනවත්වා මතයක් සමාජගත කරමින් සිටිනමුත් ආරක්ෂක අමාත්‍යංශය ඊට සමාන්තරව වෙනමම වූ මුරණ්ඩු පාලනයක් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.  මිනිස් නිදහස සීමා කරමින් නිරන්තර සුපරීක්ෂාකරී පද්ධති හරහා පුරවැසියන් පීඩාවට පත් කරමින් රජය උත්සාහ කරමින් සිටිනුයේ තමන්ට එරෙහිව වන මහජන නැගීටීම් නවතාලීමට ය.

ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය හරහා ඔවුන් ගොඩනගන තර්කය රටේ පවතින නීතිය හා කිසිදු ආකාරයකින් සමපාත වීමක් සිදු නොවේ. පැහැදිලිවම මෙහිදී ඔවුන් තමන්ට හිමිව ඇති බලසීමාව ඉක්මවා ගොස් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය ලෝකයේ සෙසු ආරක්ෂක අමාත්‍යංශවලින් වෙන් කරන ප්‍රධාන කාරණයක් වී ඇත්තේ තමන්ට හිමිව ඇති කාර්යභාරය ඉක්මවමින් මුළු මහත් සමාජ දේහය පුරා තම අධිකාරී බලය පතුරවමින් ඔවුන් රඟ දක්වමින් සිටින භූමිකාව තුළය. මේ වන විට ආරක්ෂක අමාත්‍යංශය, නගර අලංකරණය, සංචාරක කර්මාන්තය, ගුවන් සේවා කටයුතු හා ඩෙංගු මැඩලීම වැනි අවශේෂ කාර්යභාරයන් රැසකට යොමුව සිටී. ඊට අමතරව බෝට්ටු චාරිකා, කරණවෑමි සේවාව ද  එය විසින් සපයති. තත්ත්වය කෙතරම් ද කියා පැවසුවහොත් ආගමික ගැටළුවල සිට ආර්ථික ගැටළු දක්වා සෑම ජාතික ප්‍රශ්නයක්ම විසදීමේ කාර්යභාරය තමන් විසින්ම ආරක්ෂක අමාත්‍යංශය මේ වන විට භාර ගෙන ඇත.  ඉන් සැබැවින්ම සිදුව ඇත්තේ සිවිල් පරිපාලනයට තමන්ට හිමි තැන අහිමිවීම පමණි.  නමුත්, මෙහි ඇති භයානක තත්ත්වය වනුයේ  එසේ හමුදා බලය ශක්තිමත් වීමට සමගාමීව මිලේච්ඡත්වය දිනෙන් දින රට තුළ වර්ධනය වෙමින් පැවතීමය.

රාජ්‍ය නොවන සංවිධානයන් හි ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවමින් එහි තටු කප්පාදු කරමින් නිකුත් කර ඇති මෙම චක්‍ර ලේඛය අනිවාර්යයෙන්ම සුළුවෙන් භාරගත නොහැකි තරමේ කාරණයකි.  විශේෂයෙන් ම රටේ සිවිල් ජන ජීවිතයේ හා රාජ්‍ය පාලනයේ සෑම පැතිකඩකට ම ආරක්ෂක අමාත්‍යංශය අනවසරයෙන් ඇතුල් වී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කාලය සියළු ශ්‍රී ලාංකිකයන්ට දැන් උදා වී තිබේ. කුණු එකතු කිරීම්, තණකොල කැපීම වැනි ඔවුනගේ සීමාව ඉක්මවා ගිය කාර්යයන් ට පවා ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධ වීම පිළිබදව ප්‍රශ්න කිරීමට තරම් සාධාරණ අයිතියක් පුරවැසියන්ට ඇත. ඒ පිළිබදව අනිවාර්යයෙන්ම පුරවැසියන් අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. මිල්ටරි ආයතන පමණක් රටේ ක්‍රියාත්මක හා වැඩ කරමින් සිටින බවට මතයක් සමාජය තුළ තහවුරු කරමින් සිටින්නේ රජයේ කුමන කොටසක් ද හා ඔවුන් එසේ කටයුතු කරනනේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ජනතාව තම ඇස් කන් විවර කර බැලිමට දැන් කාලය එළඹ තිබේ.

රටේ ප්‍රධාන විපක්ෂය ලෙස අප රජයට අවධාරණය කරනුයේ පළල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කරමින් සිටින සිවිල් සමාජයේ කාර්ය භාරය පිළිගන්නා ලෙස ය.   නමුත් ඒ වෙනුවට තම බලය හා අධිකාරිවාදය තහවුරු කිරීම වෙනුවෙන් තමනට එරෙහි සියළු බලවේග මර්දනය කිරීමට  වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටී.   එහි දී රාජ්‍ය නොවන සංවිධාන ජාලය වත්මන් පාලකයන් දුටුවේ  තමනට එරෙහි බියකරු සතුරකු ලෙසය.  එක්සත් ජාතික පක්ෂය,  රජයට හා ආරක්ෂක අමාත්‍යංශයට බල කරනුයේ සිවිල් සමාජයේ බෙල්ල හිර කිරීමට දරණ උත්සාහය වහා අත් හරින ලෙස ය. විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මීට මාස කීපයකට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය පවත්වමින්  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන සිවිල් සමාජයේ කාර්යභාරය පිළිගත් රජයකට,  ජනතා ව්‍යාපාර හා රාජ්‍ය නොවන සංවිධානවලට අත තැබීමෙන් වැළකීමේ සදාචාරාත්මක යුතුකමක් ඇති බව අප මේ මොහොතේ යළිදු අවධාරණය කර කියා සිටින්නෙමු.

*එක්සත්  ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මේ රටට මුරන්ඩු පාලනයක් තමයි ඕන කරන්නෙ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.