19 March, 2024

Blog

ආණ්ඩුවේ මතයේ සිටින්නන් “දේශප්‍රේමී” කර, තිත්ත ඇත්ත හෙලි කරන්නන්ට “දේශද්‍රෝහී” ලේබලය අලවා දේශපාලන වාසි ලබා ගැනීම !

කරු ජයසූරිය

කරු ජයසුරිය

කරු ජයසුරිය

මානව හිමිකම් කඩවීම පිලිබද ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සදහා රජයට පූර්ණ සහාය දීමට එජාපය සූදානම්. අපි කිසි විටෙක විදේශීය පරීක්ෂණ ගැන කථා කළේ නැහැ.   එක්සත් ජාතික පක්ෂය අපිත් රටට දැඩිව ආදරය කරනවා.  අපි මිහිදන් වන්නේ මේ මව්බිමේ.

ගරු කථානායකතුමනි,

මම පළමුවෙන් ම දැනගන්න කැමතියි මෙම යෝජනාව ගෙන ඒමෙන් රජය බලාපොරොත්තු වන්නේ කුමන පරමාර්ථයක් ද?  පාර්ලිමේන්තුව හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් කරන්න ද?  එසේත් නොමැති නම් ආණ්ඩුවේ මතයේ සිටින්නන් “දේශප්‍රේමී” කර,  යථාර්තය,  තිත්ත ඇත්ත හෙලි කරන්නන්ට “දේශද්‍රෝහී” ලේබලය අලවා දේශපාලන වාසි ලබා ගැනීම ද ?

අපට තේරුම් ගැනීමට නොහැක්කේ පාර්ලිමේන්තුවේ අදහස් දැන ගැනීමට පෙර අපගේ නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා විසින් දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.  විදේශ අමාත්‍යංශය විසිනුත් මේ කරුණ සනාථ කළ බවට පුවත්පත් වාර්තා තිබුණා.  මෙතෙක් මෙම කරුණ ගැන රජය ගත් කිසිම ක්‍රියාදාමයක් ගැන විපක්ෂයේ අදහස් විමසුවේ නැහැ.  අප මේ ගැන සත්භාවයෙන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා සමච්චලයට ලක් කළා.  ලෝක ප්‍රජාවට පොරොන්දු දුන්නා.  ඒවා කාල සීමා තුල ඉෂ්ඨ නොවන විට අප ලෝකයා හමුවේ බොරුකාරයන් බවට පත්වෙනවා.  අද ඇති වී ඇත්තේ එවැනි තත්ත්වයක්.

2009 මැයි දින 23 දින යුද්ධය අවසන් භාගයේ සිදු වූවා යැයි කියන චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනයන් සොයා බැලීමට තමන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට මහලේකම් බෑන් කී මූන්ට ලිඛිත පොරොන්දුවක් දුන් බව රජයට අමතක වී තිබේ ද?  විවිධ අවස්ථාවල ලෝක ප්‍රජාවට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්දු ගැන අමතක වී තිබේ ද ?  මෙයිනුත් එහාට ගොස් 13+ ගැන ජනාධිපතිවරයා දුන් පොරොන්දු අමතක වී තිබේ ද?

2013 මැයි මාසයේ දී නවනීදම් පිල්ලේ කොමසාරිස්වරිය වෙත දුන් පොරොන්දු අමතක වී තිබේ ද?   මෙම කිසිම අවස්ථාවක විපක්ෂයේ අදහස් නොවිමසූ රජය එක් වරම ප්‍රශ්ණය උග්‍ර වූ විට, මුළු ලෝක ප්‍රජාවට තමන්ට එරෙහි වන විට,  විපක්ෂය ඈදා ගන්නට හදන්නේ පටු දේශපාලන පරමාර්ථයන් බව දැන් සක්සුදක්  සේ පෙනී යනවා.

ගරු කථානායකතුමනි,  අපේ මව්බිමට හානියක් වන විට අපටත් වේදනාවක් දැනෙනවා.  මේ රටේ ඉපදී මේ රටේ මිහිදන් වන පුද්ගලයින් වශයෙන් අපේ රට ගැන ආදරයක් කැක්කුමක් තිබෙනවා.  එක්සත් ජාතික පක්ෂයේ අපි කිසිවිටක ලෝක ප්‍රජාවට ගිහින් ගතු කියා නැහැ.  ආධාර දෙන්න එපා කියලා නැහැ.  එසේ කරමින් රටට ද්‍රෝහි වෙලා නැහැ.  ජේ. ආර් ජයවර්ධන මැතිතුමාගේ පාලන කාලය තුළ මෙවැනි චෝදනා ආ විට ඒවා රාජ්‍ය තාන්ත්‍රිකව විසඳා ගත්තා.   එමෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද කරුණා අම්මාන් වැනි ත්‍රස්තාවාදී  නායකයන් නිරායුද කර,  සාම ක්‍රියාදාමයකට එක් කර ගැනීමට හැකි වුයේත් බුද්ධිය පාවිච්චි කිරිමෙන්.  මංගල සමරවීර මැතිතුමා මේ යෝජනාවට මුල් වූ සිද්ධීන් බොහොම පැහැදිලිව විස්තර කළා.  මහාචාර්ය රජීව් විජේසිංහ මහතාගේ පැහැදිලි හැගීම් එතුමා සභාගත කළා.

නමුත් රජය ලෝක ප්‍රජාව හමුවේ එසේ රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රියා කර නැහැ.  මහින්ද චින්තයෙන් දුන් විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම වැනි නොයෙකුත් පොරොන්දු ඉටු නොකර ජනතාව රැවටීමට හැකිවුවත්,  අන්තර් ජාතිකව දුන් පොරොන්දු කඩ කරන්නට බැහැ.  ලංකාවේ දී බලහත්කාරයෙන් සෙනග ගෙන්වා ගන පෙලපාලි ගිහින්,  පඹයින් පුච්චා නාට්‍ය රගපෑවාට,  ලෝක ප්‍රජාව හමුවේ චන්ඩි පාට් වලින් හෝ යුරෝපයේ පිරිස් බස්වලින් ජිනිවා නුවරට ගොස් විරෝධතා පැවැත්වූවාට මේ තීන්දු වෙනස් කරන්නට බැහැ.

මිනිස් අයිතිවාසිකම් ගැන කථා කරන විට,  ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන විට,  මාධ්‍ය නිදහස ගැන කථා කරන විට,  තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කථා කරන විට,  ස්වාධීන අධිකරණයක් හා රාජ්‍ය සේවයක් ගැන කථා කරන විට රජයේ බලවතුන් උරණ වෙනවා. මේ අදහස් ඉදිරිපත් කරන පුද්ගලයින්ට, ආයතන, පක්ෂ හෝ රටවලට කෙලින්ම කොටි ලේබලය හෝ ඩයස්පෝරා ලේබලය අලවනවා.  මේ හේතුවෙන් ලෝකයේ බලවත් රටවල් අප සමඟ විරසක වී තිබෙනවා.

අන්තර් ජාතිකව අප අසරණ වීමට තවත් හේතුවක් වී ඇත්තේ අපගේ විදේශීය සේවාවන් සම්පූර්ණයෙන්ම දේශපාලන ග්‍රහනයට ලක් කිරිමත්,  දක්ෂ නිලධාරීන්ට,  අත්දැකීම්ලත් නිලධාරීන්ට තැන දෙනවා වෙනුවට බලවතුන්ගේ ඥාතීන් හා මිත්‍රයින් සිය ගණනක් පත් කර තිබෙනවා.  රටට අවශ්‍ය වෘත්තීමය සේවාව එහෙයින් අපට ලැබෙන්නේ නැහැ.  හිටපු තානාපතිවරයෙකු වශයෙන් විදේශ අමාත්‍යංශයේ මේ මහා විනාශය හා බිඳ වැටීම දකින විට අපට විශාල බියක් හා කණගාටුවක් ඇති වෙනවා.

රජය විසින් ම පත්කළ උගත් පාඩම් කොමිසම මඟින් වැදගත් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.   එහි සාමාජිකයින් වූයේ මේ රටේ උගත්, ගෞරවනීය පිරිසක්. සභාපති පදවිය හෙබවූයේ ජනාධිපතිවරයාට පෞද්ගලිකව හිතවත් කීර්තිමත් නීතිවේදියෙක්.  මේ අය රටට හානිකර යෝජනා ඉදිරිපත් කළේ නැහැ.

කරුණාකර දැන්වත් මේ වැදගත් නිර්දේශ ගැන අවධානය යොමු කරන්න.  යථාර්තය තේරුම් ගන්න.  කෙසේ හෝ බලයේ සිටීමට උත්සාහ කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය දරණ රට අනෙකුත් සාමාජික රටවලට ආදර්ශමත් ලෙස හැසිරිය යුතුයි.

යහපාලනය හා විනිවිදභාවය ඇති කිරීම අරභයා නීති ගත 17 වැනි සංශෝධනය වෙනුවට 18 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රජයේ බල ලෝභීත්වය හා අනාගත දේශපාලන පරමාර්ථ පැහැදිලි වෙනවා.  එමෙන්ම මේ රජයේ නිල කාලය තුළ ගත් සමහර දේශපාලන තීන්දු හා  මර්දනය ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී  අශීලාචාර ක්‍රියාදාමයන් නිසා ලෝකය තුළ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වුණා.

ඝාතනය වූ 20 ගණනක් මාධ්‍ය වේදීන්ගේ මරණවලට වගකිව යුතු පුද්ගලයන් තවමත් අධිකරණය හමුවට ගෙන ඒමට ක්‍රියා කර නැහැ.  පහර කෑම් හා අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගැන තවමත් ක්‍රියා කර නැහැ.

අර්ථ සාධක අරමුදල් අයිතිවාසිකම් ගැන කථා කළ රොෂාන් හා ඩීසල් සහනාධාරය ඉල්ලූ ඇත්නතී වැනි අය  වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව කොමිෂන් වාර්තා තවමත් එලි දක්වා නැහැ.  බීමට පිරිසිදු ජලය ඉල්ලූ ජනතාවකට පහර දී අසරණ ජිවිත 02 ක් බිලිගැනීම ගැන පරීක්ෂණ වාර්තාව තවමත් හමස් පෙට්ටියේ. වෙඩි තැබීමට අණදුන් නිලධාරියා තානාපති සේවයට පත් කර තිබෙනවා.  මෙයින් දෙන පණිවිඩය කුමක් ද?   ආණ්ඩුවේ මතයට විරුද්ධ නම් වෙඩි උණ්ඩය.

ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාර තුමියට දෝෂාභියෝගයක් ගෙන එමින් ඇයට තවමත් විවිධ චෝදනා ඉදිරිපත් කර,  රජය ක්‍රියා කරන ආකාරය තුල අවුරුදු 200 කට අධික ඉතිහාසයක් ඇති අධිකරණ පද්ධතිය කිලිටි කළා.  මේ සිද්ධීන් තුල අන්තර්ජාතිකව අපි කොන්වෙනවා.   ඇයගෙන් පන්න පන්නා පළිගන්නවා.

අවසාන වශයෙන් අප එක් දෙයක් කියන්න කැමැතියි.  මෙවැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග ගෙන රජය “සුදනන් හා දේශප්‍රේමීන්”  වශයෙනුත් එම මතයට එකඟ නොවන අපි “දුදනන් හා දේශද්‍රෝහින් ” වශයෙනුත් නම් කර අපට කොටි ලේබලය අලවන්න උත්සාහ කරන්නේ නම් එය සිදුවන්නේ නැහැ.

අපේ ජනතාව බුද්ධිමත්.  බොරුවට ආයුෂ නැහැ.  හැමදාම වවාගෙන කන්න බැහැ.  කොටි නායකයන් සියල්ලම ඉන්නේ ආණ්ඩුවේ.  අපේ කොටි ඉන්නවා නම් ඔවුන් නම් කරන්න.  දළදා මාළිගාවට, ශ්‍රී මහා බෝධියට පහර දුන් කොටින්,  මහා සංඝයා වහන්සේලා, හින්දු පූජකතුමන්ලා, පොලිස් නිලධාරීන් ඝාතනය කළ කොටින්,   ප්‍රභාකරන්ගෙන් පසු වැඩ බැලූ නායකයා,   නියෝජ්‍ය නායකයා, සන්නද්ධ නායකවරු අද ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු හොබවනවා.  රජයේ මාධ්‍ය යොදා ගනිමින් ජනතාව රැවටුණු කාලය ඉවරයි.

අද අන්තර්ජාතිකව අප අසරණ වී තිබෙනවා.  අපට විරුද්ධව සම්බාධක යම් දිනෙක පැනවුවහොත් එයින් පීඩා විදින්නේ අද තුන් වෙල කන්නට බැරි මේ රටේ අසරණ ජනතාව.  එසේ වුවහොත් රජය ඒ වගකීම බාර ගත යුතුයි. රටට නිදහස ලබා දුන් එක්සත් ජාතික පක්ෂ මේ රටේ ජනතාවගේ ස්වාධීනත්වය හා අයිතිවාසිකම් රැකදීමටත් රණවිරු කීර්තිය හා  ශ්‍රී ලංකාවේ ගෞරවය ස්ථාපිත කිරීමටත් කැප වෙනවා.

*2014 ජුනි 17 වෙනි දින පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී කරු ජයසූරිය මහතා කළ කථාවේ ලුහුඬු සටහන

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.