Colombo Telegraph

මාර්තු මාරක යෝගය සහ ශ‍්‍රී ලංකාව පරීක්ෂාවට ලක්වීමේ නිමේෂය

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2014 දී සම්මත කරගන්නා යෝජනාව මූලික වශයෙන් පදනම් වන්නේ, 2011 දී තමන් සොයා ගත් කරුණු මත යැයි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ සාමාජිකයන් එදා භීත හීනෙන්වත් සිතන්නට නැතුව ඇති.

දඩබ්බර ප‍්‍රතිරෝධයක්

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සමග වන තමන්ගේ ඉවසීම අවසන්ව ඇතැ යි බටහිර රටවල සාමාජිකයන් එක දිගටම ගිය සතියේ ජිනීවා නුවර දී ප‍්‍රකාශ කර සිටියේ තමන් ඉදිරිපත් කළ වාර්තාව උපුටා දක්වමිනි යි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ සභාපති, හිටපු නීතිපති, අභාවප‍්‍රාප්ත සී. ආර්. ද සිල්වාට දැන ගැනීමට තිබිණි නම් එයින් ඔහු වෙව්ලා යනු ඇතැ යි සිතීම, අතිශයෝක්තියක් නොවේ.

ඒ සමස්ත කතාව තුළ ඇත්තේ දඩබ්බර ප‍්‍රතිරෝධයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘ස්වදේශීය විසඳුමක්’ වශයෙන් ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පත්කෙළේ, කනක් ඇහිල්ලක් නැති ‘වගවීම’ පිළිබඳ කරච්චලයෙන් බේරීමට ය. එය, සැබවින්ම ප‍්‍රශ්නයෙන් ලිස්සා යා හැකි පහසු ක‍්‍රමයක් වෙතැ යි ඔහු සිතුවේය. යුද්ධයේ අවසාන අදියරේ දී රජයේ හමුදාවන් අතින් මූලික වරදක් සිදුව නැති බවට, වැදගැම්මකට නැති වචන කන්දරාවක් පිරුණු කොමිෂන් සභා වාර්තාවක් මගින් තීන්දු කරනු ඇත. ඇත්තෙන්ම ඒ කොටස නම්, පාලකයන්ගේ අපේක්ෂාවට අනුගතව අගේට ලියැවුණි. අතරින්පතර සිදුවීම් කිහිපයක් උපුටා දැක්වීම හැරුණු කොට, රජයේ චේතනාන්විත ප‍්‍රතිපත්තියක් මත කිසි වරදක් සිදුව නැති බව එම වාර්තාව කියා සිටියේය.

අවමය පවා ක‍්‍රියාත්මක කිරීමේ නොහැකියාව

එහෙත් ආණ්ඩුවට දවල් තරු පෙනෙන තවත් කරුණු කිහිපයක් ද ගෙනහැර දැක්වීම තම වගකීමකැ යි එම කොමිසම විශ්වාස කෙළේය: නීතියේ ආධිපත්‍යය නොතැකීම, පොලීසිය හමුදාකරණය වීම, සන්නද්ධ කල්ලිවල අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය, එක දිගට කරගෙන යන පැහැරගෙන යාම්, ඝාතනයන් සහ අතුරුදහන් වීම් මෙන්ම, ත‍්‍රස්ත-විරෝධී නීතිරීති බලධාරීන් විසින් අවභාවිතයට ගැනීම, එම පෙන්වා දීම් අතර විය. මේවා, බලධාරීන් වෙත එල්ල කෙරුණු බරපතල චෝදනාවන් විය. ඒවා නිවැරදි කිරීම සඳහා කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ ද, ඉතා නිරවුල් ය. ඉතා පැහැදිළි ය.

පශ්චාත්-යුධ උඬගුවෙන් මත්ව සිටි ආණ්ඩුවක්, තම අධිකාරීවාදී බල පදනම් රැුක ගැනීමේ උවමනාව නිසා මෙම කොමිසමේ අවම නිර්දේශ පවා ක‍්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බව, මේ කොලමේ කල් තියාම ලියා තිබේ. (2011 දෙසැම්බර 18 – ‘‘යුක්තිය පසිඳලීමේ තරාදිය මත එල්.එල්.ආර්.සී. වාර්තාව කිරා බැලීම”). දැන් එය සැබෑ වී ඇත. තමන්ගේ මව පවා හඳුනා ගැනීමට නොහැකි තරමට මත්ව සිටි, ආණ්ඩුවට පක්ෂපාතී විරෝධතාකරුවන්, ‘‘එල්.එල්.ආර්.සී. භංග වේවා’’ යනුවෙන් ලියූ සටන් පාඨ ඔසවාගෙන මේ සතියේ කොළඹ පෙළපාලි යනු දැකීම ගොරතර උත්ප‍්‍රාසයක්ම විය.

කෙසේ වෙතත්, සිදු වී යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට සමත් ස්වාධීන ආයතන පද්ධතීන් ලංකාවේ ඇතැ යි සිතීම, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ චින්තනයේ එදා තිබූ මූලික පරස්පරය විය. ඒ වූ කලී, පවතින යථාර්ථයට පස්ස හැරවීමකි. කොමිසම එළිදැක්වුණු 2011 වන විට අපේ අධිකරණ සහ අභිචෝදක පද්ධති තිබුණේ අන්තයටම දේශපාලනීකරණයට යටත්වයි. එහෙත් එතැනින් පවා නොනැවතුණු පාලකයෝ, ඔවුන්ගේ විවේචකයන් පවා නොසිතූ අන්තයකට ගොස්, එයින් වසරක් යන්නටත් කලින්, 43 වැනි අගවිනිසුරුවරියව ඉතා අශෝභන අන්දමින් දඩයමට ලක්කොට, සමස්ත අධිකරණ පද්ධතියම අවසාන අගාධයටත් හෙලූහ. ඒ තනි ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවෙන් ආණ්ඩුව කෙළේ, දේශීය යුක්ති විනිශ්චය යන්න ව්‍යාජයක් බව ලොවට ඔප්පු කොට, ජාත්‍යන්තර විමර්ශන ක‍්‍රියාවලියකට පාර කැපීමයි. එසේ හැසිරිය හැක්කේ, බලයෙන් සහ උඬඟුවෙන් ඔල්මාද වූ පුද්ගලයෙකුට පමණි. එහි අවසාන ප‍්‍රතිඵලය වුණේ, 2014 මාර්තු මාරක යෝගය, සම්ප‍්‍රදායික 15 වැනි දා වෙනුවට ඊට දින දොළහකට පසු ලංකාවට පැමිණීමයි. (පැරණි රෝම කැලැන්ඩරයට අනුව මාර්තු 15 යනු පසළොස්වක දවසයි. ජුලියස් සීසර්ව ඝාතනය කෙරුණේ ක‍්‍රි.පූ. 44 මාර්තු 15 වැනි දා ය. එසේ හෙයින් එදවස මාරක යෝගයකි යි සැළකේ-පරිවර්තක).

යුද අපරාධ සහ නීතියේ ආධිපත්‍යය අතර සම්බන්ධය

ඉතිං, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය යෝජනාව පසුපස ඇති තර්කණය සරළ ය. එක අතකින්, ‘උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ’ විමර්ශනයෙන් ආවරණය කෙරුණු කාලය තුළ, ආණ්ඩුව පැත්තෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පැත්තෙන් සිදු වූ ක‍්‍රියාවන් පිළිබඳ පුළුල් සහ විධිමත් පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට බලය පැවරෙයි. අනිත් අතට, ඒ සම්බන්ධයෙන් වන වගවීමේ විමර්ශනයක යෙදෙන මෙන් තවමත් ලංකා ආණ්ඩුවෙන් ඉල්ලනු ලැබේ. ඊට අමතරව, නීති ප‍්‍රතිසංස්කරණ කිහිපයක් ද බලාපොරොත්තු වෙයි. ඊළඟට, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ සියල්ල ක‍්‍රියාත්මක කළ යුතු අතර, වැලිවේරිය සිදුවීමේ විමර්ශන වාර්තාව ප‍්‍රසිද්ධ කොට, හමුදා පද්ධතිය පිළිබඳ විශ්වසනීය පරීක්ෂාවකට යොමුවෙමින්, අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය යළි ස්ථාපිත කළ යුතුය.

මේ ඉල්ලීම් නොතකා හැරියොත් අත්විය හැකි ප‍්‍රතිවිපාක පැහැදිළි ය. (ආණ්ඩුවේ අනුමැතිය ඇතිව හෝ නැතිව) මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය තමන්ගේ විමර්ශනය අවසන් කළ පසු, යුද කලබල මධ්‍යයයේ සිදු වු දේවල් කෙසේ වෙතත්, සාමාන්‍ය මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පවා අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ලෝකයාට ඒත්තු යනු ඇත. ඉන් පසු මීට වඩා දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට ලෝකයා පෙළඹෙනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී, රුසියාවේ සහ චීනයේ සහයෝගය මගින් නතර කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තුව සිටියත්, ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර අපරාධ නඩු විභාගයක් ඇති වීමේ ශක්‍යතාවත් බැහැර කළ හැකි නොවේ.

අපේ පැත්ත අපි බලා නොගත්තෙමු

කොටින්ම, යම් රටක අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇති වීම සතුට දනවන්නක් නොවේ. එසේම, ලොකු රටවල් හිතේ හැටියට ජාත්‍යන්තර නීතිය කඩන අතරේ පුංචි රටවල්වලට එරෙහිව ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර ක‍්‍රමයක් ඇති බවටත් සැකයක් නැත. එහෙත් අපේ කටයුතු, අඩු වශයෙන් යුද්ධයෙන් පසුව හෝ, අප නිසියාකාරයෙන් බලාගත්තේ නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග යුද්ධයේ දී අපට සහයෝගය දුන් මිත‍්‍ර රටවල් මෙතරම් ඉක්මණින් අපෙන් බිඳී යන්නේ නැත. එහෙත් එක දිගටම අප කෙළේ, පුරාජේරු ගසමින් බොරු කීම ය.

ජිනීවා යෝජනාව අපේ ව්‍යවස්ථාවට පටහැනි යැයි නොකීමට තරම් ඥානයක් ජිනීවා නුවර ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාට තිබීමත් ලොකු දෙයකි. එවැනි කටහැකර කතාවක් අපේ විදේශ ඇමතිවරයා ඊට කලින් කියා තිබුණි. දේශීය ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන සමග ජාත්‍යන්තර නීති ක‍්‍රියාවලිය පටලවා ගැනීම ඊට හේතුවයි. 2006 දීත්, මෙවැනිම පටලැවිල්ලක් ඇති විය. ජාත්‍යන්තර ගිවිසුමක 1 වැනි වෛකල්පික පෙරාතුකොළය ශ‍්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි එදා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රකාශ කෙළේය. පෙරාතුකොළයේ නීතිවේදී මඬුල්ල ශ‍්‍රී ලංකාව තුළ ‘අධිකරණමය බලයක්’ අභ්‍යාස කරන්නේය යන වැරදි වැටහීම, ඊට හේතු විය. මේ මිනිසුන්ගේ සිහිබුද්ධිය කොහේ ගියේ දැ යි කෙනෙකුට සිතෙන තරමි.

ජනප‍්‍රිය පණිවිඩයකින් අත්වන සෙතක් නැත

මේ සතියේ පළාත් සභා ප‍්‍රතිඵලය අනුව ශ‍්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව තමන් පස්සෙන් නොසැලී සිටීමේ ‘පණිවිඩය ජාත්‍යන්තරයට යැවීමට’ ජනාධිපතිවරයා ආශා කරනවාට සැකයක් නැත. එහෙත් ජිනීවා යෝජනාවේ අනුග‍්‍රාහකයන් එවැනි බාල ජනප‍්‍රිය පණිවිඩවලින් මෝහනය වන්නන් නොවේ. දේශීය මැතිවරණයක බහුතරයක් ඡුන්ද ලැබීම, ලෝකය පුරා විවිධ රටවලින් පෙන්වා දි ඇති පරිදි, ජාත්‍යන්තර පරීක්ෂණයක් නතර කිරීමට සුදුසුකමක් නොවේ. කල්ගතව ඇති මේ මොහොතේ දී වුවත්, එවැනි අගනා නිදර්ශනවලින් අප පාඩම් උගත යුතුව ඇත.

*2014 මාර්තු 30 වැනි දා පළවූ The Ides Of March And A Reality Check For Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page