28 September, 2020

Blog

හමුදාකරණය සහ ආඥාදායකත්වයේ ද්විත්ව විපත

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

‘‘මම ඒකාධිපතියෙක් නොවෙයි’’ යනුවෙන් මේ සතියේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය, ඔහුගේ ලෝලී හෙංචයියන්ගේ සිත්සතන් තුටුපහටු කරනු ඇතත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන කෙමෙන් කඩාඉහිරවති යි හඟින පුරවැසි ජනයාගේ අනියත බිය පහ කිරීමට නම් කොහෙත්ම ප‍්‍රමාණවත් නොවනු ඇත.

හමුදාවේ අධීක්ෂණය යටතේ නව අමාත්‍යාංශයක් පිහිටුවීම

එම ප‍්‍රකාශයෙන් දින දෙකක් ඇවෑමෙන්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙතෙක් සෘජුව පාලනය වූ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ මෙහෙයවෙන ‘නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යාංශයක්’ යටතට ගැනෙති යි යන ප‍්‍රවෘත්තිය ඇසීමට අපි වාසනාවන්තයෝ (වඩාත් උත්ප‍්‍රාසාත්මක අරුතින් ගන්න) වීමු. වර්තමාන රාජ්‍ය සේවකයන්ගේ දෛනික ගෙවීම් පවා සලසා ගැනීමට ප‍්‍රමාණවත් නොවන තරමේ පොදු අරමුදල් හිඟයකට ආණ්ඩුව මුහුණදී සිටින අවස්ථාවක, හිටපු හමුදා ප‍්‍රධානියෙකුගේ ලේකම් ධුරයෙන් තවත් අමාත්‍යාංශයක් පිහිටුවීම හුවා දැක්වෙන්නේ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශයක් ක‍්‍ර‍්‍රියාත්මක කිරීමක් වශයෙනි.

‘ජීවිතයට ඇති අයිතිය’ නිහීන අන්දමින් උල්ලංඝණය වීමේ භයානක තත්වය ගැන සිය ‘චකිතය’ පළ කරමින් එකී කොමිසමේ කොමසාරිස්වරුන් සටහන් කොට තිබුණේ, ‘‘අපරාධ පරීක්ෂණ පරිපාටිය පිළිබඳ සමාජ විශ්වාසය ඛාදනය කෙරෙන දේශපාලනික අතපෙවීම් නිසා, අපරාධ විමර්ශනවලට, නීතිය බලගැන්වීමට සහ පොලිස් පරිපාලනයට අහිතකර තත්වයක් උදාවී තිබීම පිළිබඳ බලවත් මහජන අප‍්‍රසාදයක් ගොඩනැගී තිබෙන’’ බවයි. (වාර්තාවේ 339 වැනි පිටුව)

ජනාධිපතිවරයා දෙන සහතික, තාර බර හැර භාර ගැනීම

මීටත් වඩා හොඳින් වර්තමාන තත්වය කැටි කොට දැක්වීමට ආණ්ඩුවේ විවේචකයෙකුවත් සමත් නොවන බව කිව යුතුය. කොමසාරිස්වරුන් සිය රාජකාරියේ නිරතව සිටි කාලයේ දී පවා රටේ තත්වය මොන තරම් නරක අතට හැරී තිබිණි ද යත්, මානව හිමිකම් පිළිබඳ සටන්කාමී උද්ඝෝෂකයන් වශයෙන් නොගැනෙන එම කොමසාරිස්වරුන්ට පවා, ඇස් ඉදිරියේ පෙනෙන්ට ඇති සත්‍යයක් එසේ කෙලින්ම කීම හැර වෙන කරන්ට දෙයක් තිබුණේ නැත. එම තත්වය, තවත් අවුරුදු දෙකක් ගිය තැන ඊටත් වඩා පල්ලම් බැස්සේය. පිරිසුදු පානීය ජලය ඉල්ලා හඩ නැගූ ජනතා උද්ඝෝෂනය දෙස බලා සිටි අසරණ ජීවිත තුනක් බිළි ගනිමින්, තිරිසන් අන්දමින් වැලිවේරියේ දී හමුදාව මුදා හැරීමෙන් ඒ බව මනාව පෙන්නුම් කෙරුණි. ඒ වනාහී, ඊට කලින් වසර කිහිපයේ දිග හැරෙමින් තිබු ක‍්‍රියාවලියක තවත් තාර්කික ප‍්‍රතිවිපාකයකි.

‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මූලික වශයෙන් නිර්දේශ කෙළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සිවිල් ක‍්‍රියා කලාපය යළි ස්ථාපනය කරන ලෙසයි. එසේ කිරීමට වඩාත් සුදුසු ක‍්‍රමය එම අමාත්‍යාංශය හිටපු හමුදා ප‍්‍රධානියෙකු යටතට පත් කිරීම ද? ඉතිං, රටේ ජනාධිපතිවරයා තමන් ඒකාධිපතියෙකු නොවන බව කියා අනිත් අතට හැරී, ඊළඟට හිටපු හමුදාකාරයෙකු යටතේ අලූත් අමාත්‍යාංශයක් පිහිටුවමින්, රාජ්‍ය ආයතන හමුදාකරණය වීමේ වර්තමාන ප‍්‍රවණතාව තවත් උග‍්‍ර කෙරෙන්නේ නම්, ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය දෙස කෙනෙකු මුවගට සිනාවක් නගාගෙන බැලීම සාධාරණ ය.

ආණ්ඩුවේ උදාර භාවයෙන් පිරිනොනැමෙන මූලික නිදහස

එනිසා එවැනි ප‍්‍රකාශන දෙස සංශයවාදීව බැලීම, ආණ්ඩුව කරන හැම ක‍්‍රියාවක් ගැනම විවේචනය කිරීමට බලා සිටින නරුම ක‍්‍රියාවක් නොවන බව කිව යුතුය. එවැනි සැක උපදින්නේ, මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි දක්වා ඇති, අපහාසාත්මක නොවේ නම් අඩු වශයෙන් නොසැළකිලිමත් ආකල්පයේ අතීත අත්දැකීම් නිසාමයි. ඒ අතින්, මීට පෙර සිටි පාලකයන් කොහෙත්ම සාධුවන්තයන් නොවුණත්, මේ ආණ්ඩුව ඔවුන්වත් ගව් ගානකින් පරදවා තිබේ. ඒ නිසා මේ ආණ්ඩුව සහ දැනුවත් පුරවැසියන් අතර බිඳ වැටී ඇති විශ්වාසය, ‘නීතිය හා සාමය’ නමින් අළුත් අමාත්‍යාංශයක් පිහිට වූ තරමින් මොන විදිහකින්වත් ගොඩනැගෙන්නේ නැත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගතයට මේ ළමා ක‍්‍රීඩා, ඒවායේ භයානක කම නොවිණි නම්, බෙහෙවින් විනෝදාත්මක වන්නට තිබුණි.

ඊළඟට, එම ප‍්‍රකාශයේ ඇතැම් වෙනත් පැති ගැනත් පරීක්ෂාවෙන් අවධානය යොමු කළ යුතුව තිබේ. තමා සහ තම ආණ්ඩුව විවේචනය කරන්නන් සිටීමෙන් පෙන්නුම් කරන්නේ, ආණ්ඩුවේ මහත්මා භාවයක අනුහසින් භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහසක් රට තුළ පවතින බවට ජනාධිපතිවරයා විශ්වාස කරන බවකි. එය, විපක්ෂ දේශපාලඥයෙකු වශයෙන් කලක් සිටි සහ පවතින රජයන් නිර්දය වශයෙන් විවේචනය කළ දේශපාලඥයෙකු වශයෙන් කලක් සිටි ඔහු වැන්නෙකු විශ්වාස කිරීම, හිතාමතාම සත්‍යයට පිටුපෑමෙන් ඇති කරගන්නා වැරදි වැටහීමකි. ආණ්ඩු විවේචනය කිරීමට ඇති නිදහස, අද ඇවිත් හෙට පිටව යා හැකි දේශපාලඥයන් විසින් තමන්ගේ සාක්කුවෙන් ජනතාවට ප‍්‍රදානය කරනු ලබන දායාදයක් නොවේ. එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුරවැසි භාවයේ ස්වභාවය තුළම පවතින, නිසග අයිතියකි.

දැඩි උපද්‍රවකාරී සත්‍යයක්

ආඥාදායකත්වයක් සකල විවේචනයෙන් විනිර්මුක්ත වීම අනිවාර්ය නැති බව ඉතිහාසය අපට කියාදෙයි. එවැනි ආඥාදායක පාලනයක් වඩාත් කැපී පෙනෙන්නේ, වධබන්ධනය, ඝාතනය, අතුරුදහන් කැරැවීම සහ විවේචකයන්ගේ චරිත ඝාතනයන් මගින් විසම්මුතිය (වෙනත් අදහසක් දැරීමට ඇති නිදහස) සීමා කිරීමෙනි. ඒ සියල්ල, පශ්චාත්-යුද්ධ ශ‍්‍රී ලංකාවේ අපි ඕනෑවටත් වඩා අත්දකිමින් සිටිමු. අධිකරණය යටහත් පහත්ව තබා ගැනීමෙන් සහ පොලීසිය සහ නීතිපති අංශ අන්තයටම දේශපාලනීකරණයට ලක්කිරීම හරහා ඇති කොට තිබෙන නීතියෙන් වැට පැනීමේ සංස්කෘතිය තුළ, පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක‍්‍රියාධරයන් සහ විපක්ෂ දේශපාලඥයන් ඝාතනයට සහ කායික/වාචික ප‍්‍රහාරයට ලක්කිරීමෙන්, ඒ බව මේ ආණ්ඩුව සනිටුහන් කොට තිබේ.

ඇත්තෙන්ම, පුවත්පත් තීරුලිපි හෝ විපක්ෂ වේදිකා මත අතරින්පතර හුදෙකලා විරෝධයකට ඉඩ හැරීම, ඉහත කී අපරාධ වසා ගැනීමට පාවිච්චි කළ හැකි කඩතුරාවකි. එහෙත්, සංවිධානාත්මක විරෝධතා මැඩලීම සහ ඕනෑවට වඩා කෑගසන විවේචකයන්ව විධිමත්ව ඉලක්ක කිරීම, වැලිවේරියෙන් සහ වෙනත් බොහෝ සිදුවීම් හරහා පෙන්නුම් කොට තිබේ. වඩාත් උපද්‍රවකාරී සත්‍යය වශයෙන් අද අප ඉදිරියේ ඉතිරිව ඇත්තේ එයයි.

*The Twin Evils Of Militarisation And Dictatorship නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.