Colombo Telegraph

සත්‍යය සහ සංහිඳියා කොමිසමක් අපට අවශ්‍ය නැත

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

කරකියාගත හැකි දෙයක් නැති තැන, ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ගැන, රටේ නොයෙක් නායකයන් විසින් මීට පෙර පත්කරන ලද නිරර්ථක කොමිෂන් සභා සහ කමිටු රාශියක් පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් තිබියදීත්, ඇතැමුන් තුළ ප‍්‍රසාදයක් ඇති කර තිබීම පුදුමයකි.

ගත වූ ඉතිහාසය ගැන දැනුවත් විය යුතුය

එම ප‍්‍රසාදය සහ සහයෝගය එන්නේ හුදෙක් නෝන්ජල් කමක් නිසා ද, නැත්නම්, වෙනත් සංකීර්ණ අවශ්‍යතා පෙරදැරිවදැ යි කිව නොහැක. එය කුමක් වෙතත්, ප‍්‍රතිඵලයේ වෙනසක් නැත. මෙවන් අදහසක් පතුරුවා හැරීම මගින් බලධාරීන් අපේක්ෂා කරන්නේ කුමක් දැ යි හිතා ගැනීම අසීරු නැත. මහ දවල් මානව හිමිකම් උල්ලංඝනයන් ගැන වගවීමක් ඉල්ලා හතර වටින් එල්ල වන පීඩනය එන්න එන්නම වර්ධනය වෙද්දී, දකුණු අප‍්‍රිකානු පන්නයේ ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීම පිළිබඳ අදහස පාලකයාට නම් දිව ඔසුවක් සේ පෙනී යන්නට පිළිවන. එහෙත් පුදුමය වන්නේ, මේ දේවල් ගැන හොඳින් දන්නා සහ අතීත අත්දැකීම් ගැන මනා මතකයක් ඇතැ යි සිතිය හැකි අයවළුන් පවා ඒ ගැන කිසි තැකීමක් නැතිව මෙවැනි යෝජනාවකින් ප‍්‍රමෝදයට පත්වීම සහ ඊට සහාය පළ කරන බවක් පෙනෙන්ට තිබීමයි.

ශ‍්‍රී ලංකාවේ විමර්ශන කොමිෂන් සභාවල ක‍්‍රියාකාරීත්වය, ව්‍යතිරේකයක් දෙකක් හැරුණු කොට, සාමාන්‍ය කතිකාව තුළ පුළුල් තත්ව පරීක්ෂාවකට ලක්ව නොතිබීම, මෙවැනි මැදිහත්වීම්වල ඇති නොගැඹුරු ස්වභාවය පෙන්නුම් කරන්නකි. ශ‍්‍රී ලංකාවට සමාන අන්දමේ බලහත්කාර අතුරුදහන් කැරැුවීම් සහ නීති විරෝධී ඝාතනයන් වැලක් අත්දැක තිබෙන ගෝතමාලාව වැනි රටවල, මෙවැනි කොමිෂන් සභාවල සාධනීය සහ නිෂේධනීය අංශ ගැනත්, යුක්තිය පසිඳලීම කෙරෙහි ඒ මගින් ඇති කොට තිබෙන බලපෑම් ගැනත් වන අනන්තවත් අධ්‍යයනයන් ඒ රටවල විද්වතුන්, නීතිඥයන් සහ විනිසරුවරුන් අතින් කෙරී ඇත. ඊට ප‍්‍රතිපක්ෂව, ලංකාවට ඇත්තේ, කාලකන්නි අත්දැකීමකි: ලංකාවේ කොමිෂන් වාර්තා ලියැවී ඇත්තේ රහසිනි. සමාජයට ඒවායින් මෙලෝ බලපෑමක් සිදුව නැත.

හැම කොමිෂන් සභා ප‍්‍රයත්නයක්ම මහජන මුදල් නාස්තියකි

ශ‍්‍රී ලංකාවේ අතීත විමර්ශන කොමිෂන් සභා, මූලික වශයෙන්, මහජන මුදල් නාස්තියක් බව කෙලින්ම කිව යුතුව තිබේ. ඒවා, රටේ වෙසෙන සෑම ජන ප‍්‍රජාවකම වින්දිතයන්ගේ අපේක්ෂා මුලින් දල්වන සහ අවසානයේ කිසි පිළිසරණකින් තොරව ඒවා පාගා දමන අභ්‍යාසයන් වී ඇති බව පැහැදිළියි. පුද්ගලයන් අතුරුදහන් කැරැුවීම ගැන සොයා බැලීමට 1994 දී පත්කළ කොමිෂන් සභා තුන යම් තාක් සෘජු භාවයකින් කටයුතු කළ ද, අදාළ වින්දිතයන්ට මූල්‍ය වන්දියක් ගෙවීම හැරුණු කොට, ඒවායේ නිර්දේශ පවා මූලික වශයෙන් නොතකා හැරුණි. එහි දී, කෙනෙකු පත්ව සිටි ඛේදය මැනුණේ මුදලිනි. ඒ අර්ථයෙන් මුදල් ගැනීම ප‍්‍රතික්ෂේප කළ ඇතැමුන් විසින් එදා සමාජයට පෙන්වා සිටියේ යහපත් ආදර්ශයකි. ඔවුන් හඩගා ඉල්ලා සිටියේ වෙන කිසිවක් නොව, සිය ප‍්‍රියයන්ගේ ඝාතන රාජ්‍යය මගින් පිළිගත යුතු බවයි. එසේ ඉල්ලූවේ, සිංහල වින්දිතයන් ය. එයින් දශකයකට දෙකකට පසුව, එම අඳෝනාවම 2009 යුද්ධ කාලයේ සහ ඉන් පසුව පවා, දෙමළ ‘අතුරුදහන් වූවන්ගේ’ නෑසියන්ගෙන් නික්මුණි.

වෙනත් කොමිෂන් සභාවල කැරැුට්ටුව ඊටත් හපන් ය. විජය කුමාරණතුංග, ලලිත් ඇතුලත්මුදලි සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනයන් පිළිබඳ විමර්ශන ඇතුළු ජනාධිපති කොමිෂන් වාර්තා කැපී පෙනුණේ, පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ඒවායින් නම් කිරීමත්, එම අයවළුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමත් ය. එහෙත් තමන්ට එරෙහි එම නිගමනවලට එළැඹ ඇත්තේ පක්ෂග‍්‍රාහී සහ අසාධාරණ ක‍්‍රියාවලියක් හරහා බව, එදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට ඔවුන් සමත් විය.

වඩාත් මෑතක දී, යුද්ධ සමයේ මානව හිමිකම් අපහරණයන් ගැන සොයා බැලීමට 2006 දී පත්කළ උදලාගම කොමිසමක් තිබුණි. එහෙත් නිසි පරීක්ෂණ ක‍්‍රියාවලිය අවසන් කිරීමටත් කලින්ම එය අහෝසි කෙරුණි. එහි වාර්තාව, අවසානයේ යන්නට ඇත්තේ, ජනාධිපති කාර්යාලේ කුණු කූඩයකට යැයි අපට සිතාගත හැකිය. ඊළඟට, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’, අඩු වශයෙන්, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති තරම කණගාටුවෙන් යුතුව අවධාරණය කෙළේය. එහෙත් ආණ්ඩුවේ බහුතර බලය හරහා වැඩි වැඩියෙන් අත්කර ගන්නා අධිපතිවාදී බල පදනම ආපස්සට හැරැුවීමට ඒ මගින් යෝජනා කළ ‘තදබල’ නිර්දේශ, පැහැදිළිවම නොතකා හැරුණි. එය පුදුමයට කාරණයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

පළමුවැනි සත්‍යය කොමිසම මෙය නොවේ

සත්‍යය යන නාමයට සහ සත්‍ය සොයා බැලෙන පරීක්ෂණ ක‍්‍රියාවලියක අපේක්ෂාවන්ට නින්දා කෙරෙන ‘සත්‍යය කොමිෂන් සභාවක්’ ස්ථාපිත කිරීමට බලයේ සිටින ආණ්ඩුවක් තැත් කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. 1983 ජුලි කලබල ගැනත්, ඒවාට හේතු වූ කරුණු ගැනත් විශේෂ අවධානයක් යොමු කරමින්, 1981-1984 කාලයේ සිදුවූ වාර්ගික ප‍්‍රචණ්ඩත්වය ගැන සොයා බැලීමට, චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය, 2001 ජුලි 23 වැනි දා, උත්ප‍්‍රාසාත්මක අරුතකින් හැඳින්වුණු, ‘ජනාධිපති සත්‍යය කොමිෂන් සභාවක්’ පත්කළාය. යම් පුද්ලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක්, සෘජුව හෝ වක‍්‍රව, එවැනි හිංසනයකට වගකිව යුතුදැ යි සොයා බැලීමටත්, එවැනි වාර්ගික හිංසනයක් තුළ කෙනෙකු භෞතිකව සහ මානසිකව අත්විඳි පීඩාවේ තරම සහ ස්වභාවය කවරේදැ යි සොයා බැලීමටත්, එවැනි වින්දිතයන්ට හෝ ඔවුන්ගේ උරුමකරුවන්ට හෝ යැපෙන්නන්ට ගෙවිය යුතු වන්දි සහ සහන කවරේදැ යි සොයා බැලීමටත්, මෙම කොමිසමට බලය පැවරුණි.

ඊට අමතරව, සියලූ වාර්ගික ප‍්‍රජාවන් අතර ජාතික සමගිය සහ සංහිඳියාව වර්ධනය කිරීමට ගත යුතු ආයතනික, පරිපාලනික සහ ව්‍යවස්ථාමය පියවර කවරේදැ යි නිර්දේශ කිරීමත් එයින් අපේක්ෂා කෙරුණි. කවදත් සිදු වන පරිදි, මේ කොමිසමත්, ප‍්‍රයෝජනවත් ඓතිහාසික ලේඛනයක් වීමට මිසක, ආරම්භක උදාර අරමුණුවලට වැඩිමනත් අදාළත්වයක් ඇති වාර්තාවක් ඉදිරිපත් කෙළේ නැත. මහජන මතය කෙරෙහි එයින් ඇති කෙරුණු බලපෑම අල්ප ය. ආයතනික සහ ආකල්පමය වෙනසකට තුඩුදිය හැකි සාරගර්භ පරීක්ෂණයකට වඩා, ඒ මගින් ද කෙරුණේ, සුපුරුදු සිදුවීම් දාමයක් පිළිබඳ නීරස විස්තරයක් ඉදිරිපත් කිරීමයි. එසේ නොමැතිව, මොන යම් හෝ පුද්ගලයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ දේශපාලනඥයෙකු වෙත වගකීම පැවරෙන කිසිදු සොයා ගැනීමක් ඒ මගින් නොකෙරුණු අතර, කිසිදු නඩු පැවරීමක් ද නොකෙරුණි.

අපේ ස්වාර්ථතා අන්ධතාව පිළිගැනීම

හැරෙන හැරෙන පැත්තට, මේ කොමිෂන් සහ කමිටු හරහා කෙරෙන කපටි රැුවටීම්වලින් සිදුවී ඇත්තේ, ඇතැමුන් විසින් එක්තරා අපූරු ආකාරයකින් හඳුන්වන ශ‍්‍රී ලංකාවේ ‘වගවීමේ ප‍්‍රශ්නය’ කළමනාකරණය කර ගැනීමට අත්‍යාවශ්‍ය වන රාජ්‍ය බලයේ ව්‍යවස්ථාමය සමබරතාව ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙන් සහ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම ඉලක්ක කෙරෙන ප‍්‍රතිපත්තිමය සහ නීතිමය ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාවෙන් කරඇරීමයි. මෙරටේ ඊනියා ‘බුද්ධිමතුන්ගේ’ කිසි අභියෝගයකින් තොරව, මේ උප්පරවැට්ටිවල සරණ යාමට ලංකාවේ හැම පාටකම ආණ්ඩුවලට නැවත නැවතත් හැකි වී ඇත්තේ, අපගේ මේ ස්වාර්ථා අන්ධතාව නිසා ය. ආණ්ඩු ගැන අමතක කරන්න: අප ලජ්ජා විය යුත්තේ අප ගැනම ය.

We Do Not Need A Truth And Reconciliation Commission ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page