31 May, 2020

Blog

නොම්මර එකේ අපරාධකාරයෙකුට වඩා නරකට අගවිනිසුරුවරියට සැළකීම

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකුට එරෙහි දෝෂාභියෝගයකට අදාළ පාර්ලිමේන්තු ක‍්‍රියාවලීන්, අධිකරණමය විමර්ශනයන්ට ලක්කළ නොහැකි බවට, ශ්‍රේෂ්ඨාධිකරණයේ මහකට්ටුවක් විසින් පසුගිය සතියේ දෙන ලද තීන්දුව, බලාපොරොත්තු විය යුතු පරිද්දෙන්ම, මහා ආන්දෝලනයකට තුඩුදුන්නේ නැත.

පැහැදිළිවම, අතීතයට පයින් ගැසීමක්

ඒ නොවැළැක්විය හැකි නරුමවාදය පැත්තකින් තිබියේවා. ආණ්ඩුකරණයේ විවිධ ශාඛාවන් අතර පවතින ඓතිහාසික කඹ ඇඳිල්ලේ හුදෙක් තවත් එක් අවස්ථාවක් වශයෙන් මෙය සැළකිය යුතු නොවේ. නිදහසේ පටන්, අධිකරණ ශාඛාව ‘හීලෑ’ කිරීමට, විධායකය/ව්‍යවස්ථාදායකය ගත් ගොරහැඩි දේශපාලන ප‍්‍රයත්නයන්ට, ඇතැම් විටෙක ඉතා දුර්වල ආකාරයෙන් වුවත්, අධිකරණයේ විරෝධතාව එල්ල වී තිබේ. ප‍්‍රතිපක්ෂ බලවේග අතර එසේ සිදුවූ කඹ ඇදිල්ලට දැන් නිශ්චිත නැවතීමේ ලකුණක් තබා ඇති බව අපට පෙනේ. බලයේ උල්පත දැන් නිසැකවම ගොස් තිබෙන්නේ, ‘රාජකීය’ ජනාධිපතිවරයෙකුගේ අතට ය. උඩුබැලිව වැටී සිටින ව්‍යවස්ථාදායකය අද නටන්නේ ඔහුගේ පදේට ය. මෙතැන් පටන්, රටේ පහළම උසාවියෙන් අපරාධකාරයෙකුට සළකනවාට වඩා පහත් ආකාරයකින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් රටේ අගවිනිසුරුවරයාට/වරියට සැළකීමට ඉඩහසර පෑදේ.

43 වැනි අගවිනිසුරුවරියව දෝෂාභියෝගයට ලක්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අවලංගු කරමින්, 2013 ජනවාරි 7 වැනි දා අභියාචනාධිකරණය දුන් තීන්දුව සදොස් බවට, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහත කී මහකට්ටුව තීන්දු කළහ. එම තීන්දුවට එදා අභියාචනාධිකරණය පැමිණියේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ ඉහළ උසාවියක විනිසුරුවරයෙකු ඉවත් කිරීම, නීතියකින් මිස පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයකින් නොකළ යුතු බවට, ශ්‍රේෂ්ඨාධිකරණයම දුන් අර්ථකථනයක් පාදක කරගනිමිනි. එදා අධිකරණය පැහැදිළි කළ පරිදි, එවැනි කාරණයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ තනි කැමැත්තට භාර කිරීම, අසාධාරණයක් සිදුවීමට තුඩුදිය හැකිය.

එම චින්තනයෙන් පැහැදිළිවම වෙනස් මගක් ගනිමින්, සලීම් මාර්සුෆ්, චන්ද්‍ර ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන විනිසුරු මඩුල්ල, ශ්‍රේෂ්ඨාධිකරණයේ කලින් තීන්දුව, ‘නීතිය විකෘති කිරීමක්’ සහ ‘මුළුමණින්ම දෝෂ සහගත’’ බවට තීන්දු කළහ.

අධිකරණමය මැදිහත්වීමකට බලයක් නැත

පෙබරවාරි 21 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම තීන්දුවට අදාළ පැති කිහිපයක් විමසා බැලීම වටී. 43 වැනි අගවිනිසුරුවරිය විසින් එදා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මගින් පරිපාටිමය අක‍්‍රමිකතා ගණනාවක් දක්වා තිබුණි. මේ නිසා, එදා අභියාචනාධිකරණය ඉදිරියේත්, එදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේත් මූලික වශයෙන් මතු වුණේ, නිසි ක‍්‍රියාපරිපාටිය පිළිබඳ ප‍්‍රශ්නයයි. එහෙත් පුදුමය වන්නේ, එදා අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණ, ‘තේරීම් කාරක සභාවට ඉදිරිපත් වු කරුණුවලට’ නොව, ‘තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම’ පිළිබඳ කතානායකවරයාගේ ක‍්‍රියාවට දෙන ලද ප‍්‍රතිචාරයක් වී ඇති බව අවධාරණය කිරීමට, මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයේ මහකට්ටුව සෑහෙන උත්සාහයක් ගෙන තිබීමයි.

CJ (5) Leavesකෙසේ වෙතත්, මේ කොලමේ සීමිත පරමාර්ථ තුළ මූලික වශයෙන් වැදගත් වන්නේ, විනිසුරුවරුන් දෝෂාභියෝගයට ලක්කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවන් පරීක්ෂා කර බැලීමට අධිකරණයට බලයක් නැති බවට, මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය විවෘතවම ප‍්‍රකාශ කොට සිටීමයි. වෙනත් ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන සමග එකට ගත් විට, ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය මගින් අධිකරණමය විමර්ශනය විශේෂිතව පිටුදැක නැති බව අභියාචනාධිකරණය කලින් පෙන්වා දී තිබුණි. එහෙත් එදා අධිකරණයේ එම මතය දැන් ඉවතලා තිබේ. අගවිනිසුරුවරියක තබා වෙනත් විනිසුරුවරයෙකු වුව අත්තනෝමතිකව නිලයෙන් පහ කිරීමක දී, මේ කියන අළුත් අර්ථකථනය ඉතා බරපතල විය හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ‘සිහිබුද්ධිය’ ගැන විශ්වාසය තැබීමේ අවදානම

තව ද, තුලන සහ සංවරණ දාමයක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කිරීමත් තම කාර්යයක් සේ ගත් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය, යමෙකු තමාගේ නඩුව තමාම අසා ගැනීම නොකළ යුතුය යන මූලික ප‍්‍රතිපත්තිය සැලකිල්ලට ගනිමින්, දෝෂාභියෝග ක‍්‍රියාවලියට අධිකරණය මැදිහත් නොවිය යුතු යැයි ද පෙන්වා දුනි. එහෙත් 2013 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත්, එම නියෝගය භාර ගැනීමට තමන් බැඳී සිටිති යි අභියාචනාධිකරණය නිවැරදිව ගත් තීන්දුවත්, එයාකාරයේ මැදිහත් වීමක් නොවන බව කෙනෙකු සාධාරණව පෙන්වා දිය හැකිය.

ඒ වෙනුවට, එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස වුණේ, දේශපාලනික වශයෙන් පක්ෂග‍්‍රාහී මන්ත්‍රීවරුන්ගේ අයුක්තියට විනිසුරුවරයෙකු ගොදුරු වීමේ අවදානම ඇති විටෙක, (ආචාර්ය ශිරානී බණ්ඩාරනායකව එවැනි අපහරණයට ලක්කෙරුණු බව දත්තමය වශයෙන් පෙන්නුම් කොට තිබියදී), නියතතාව සහ විෂයබද්ධ භාවය සහතික කරගනු වස්, අදාළ සාක්ෂි, නියමිත වටපිටාව සහ නිසි ක‍්‍රියාවලිය යන ආරක්ෂණයන් නීතියෙන් සැපයිය යුතු බව ය. එහෙත් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය, 107 වැනි වගන්තිය මගින් පාර්ලිමේන්තුවට පූර්ණ බලය පැවරෙතැ යි යන සරළ වචනවලට සිය විමර්ශනය සීමා කොට ඇත.

කෙසේ වෙතත්, මෙයින් මතු යම් විටෙක ලංකාවේ අගවිනිසුරුවරයෙකු දෝෂාභියෝගයට ලක්වෙන අවස්ථාවක, අද ශ්‍රේෂ්ඨාධිකරණය පුන පුනා කියන මේ ‘තුලන සහ සංවරණ’ හරියටම මොනවා ද, ඒවා ක‍්‍රියාත්මක වන්නේ කොයි ආකාරයෙන් දැ යි ප‍්‍රායෝගික තලයක දී කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය. එහි දී අප විශ්වාසය තැබිය යුත්තේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ‘සිහි බුද්ධිය’ මත ද? මේ ප‍්‍රශ්නවලට ඇති උත්තර, අවාසනාවකට මෙන්, කාටත් පැහැදිළි ය.

ලෝකයා ඉදිරියේ ශ‍්‍රී ලංකාව වැහැරීම

ශ‍්‍රී ලංකාවේ අධිකරණයේ සුපිළිපන් භාවය, තවදුරටත් දේශීය ප‍්‍රශ්නයක් පමණක්ම නොවන්නේය. ළඟ දී එන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ ලංකාවට එරෙහි තවත් යෝජනාවක් සැලකිල්ලට ගැනීමට නියමිත ය. ‘‘ ඕනෑම දේශීය වගවීමේ ක‍්‍රියාවලියක් සැකසීමට..’’ ජාත්‍යන්තර විමර්ශන යාන්ත‍්‍රණයක් අවශ්‍ය බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කියා ඇත. ‘‘සත්‍ය ස්ථාපිත කිරීම සහ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා වන දේශීය යාන්ත‍්‍රණයන් එක දිගටම අසමත්ව ඇති’’ බව, එම ඉල්ලීමට පෙරවදනක් වශයෙන් ඈ සහතික වශයෙන් කියා සිටීම පුදුමයක් නොවේ.

ආණ්ඩුව නැවතත් ඊට දෙන පිළිතුර වන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තමන් අකුරට පිළිපැද ඇති බවයි. එහෙත් එය කෙනෙකු විශ්වාස කරන ප‍්‍රතිචාරයක් නොවේ. එසේම, 2013 දෝෂාභියෝගය ලෝකයා ඉදිරියේ (අතීතානුයෝගීව) යුක්ති සහගත කිරීම සඳහා, පෙබරවාරි 21 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගෙනහැර දැක්විය හැකි බවට මායාවක් තබාගත යුතු ද නැත. තේරීම් කාරක සභාවක නිගමනයන් අධිකරණමය විමර්ශනයට ලක්කළ හැකි බව, මීට හුඟ කාලයකට කලින්, එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරියේ ලංකා ආණ්ඩුව නැවත නැවතත් ප‍්‍රකාශ කොට ඇත. දැන් තත්වය ඊට හාත්පසින් වෙනස් ය. ඊට අමතරව, දෝෂාභියෝග ක‍්‍රියාවලියක දී, සාධාරණ පරිපාටියක් යෝජනා කෙරෙන නීතියක් ගෙන ඒමත් ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කොට ඇත.

අවසාන වශයෙන් ගත් විට, යුක්තිය පසිඳලීමේ දේශීය පරිපාටි අකර්මන්‍ය කෙරී ඇති බවට ලෝකයාගෙන් එල්ල වන චෝදනාවට සාර්ථකව පිළිතුරු බැඳීමේ අඩියක ශ‍්‍රී ලංකාව අද නැත. දේශපේ‍්‍රමී කෑකෝගැසීම්වලින් සහ ජාත්‍යන්තර ප‍්‍රජාවේ දෙබිඩිකම් ගැන ඇඟිග්ග දිග් කිරීමෙන් අත්වෙන පලක් නැත. දේශපාලන බලකාමය සඳහා වන නොසන්සිඳෙන පිපාසයෙන් යුතුව බාල රංගනයේ යෙදීමෙන් මේ ආණ්ඩුව, අනවශ්‍ය ලෙස, මුළු රටම අනතුරට හෙලා ඇත. අවාසනාවට, අද අප ඉන්නේ එවැනි තත්වයක ය.

Treating The Chief Justice Worse Than A Common Criminal නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Meveni aneethika valata apa rate janathava vathman ekadipathi rejimaya saha paula palava hareema sadaha pela gesiya yuthui.ohuta saha ohuge pirivarata libiyve janadipathi gadapita janathava visin labadun iranama labadiya yuthui.

  • 0
    0

    It is all revengeful potential of current regime will be above any human values. This we experienced in SF (real war hero) case. Then with CJ Dr. SB, tomorrow, it will be between siblings.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.