Colombo Telegraph

අපේම ඔලමොට්ටල කමේ තිත්ත ඵල

කිෂාලී පින්තු ජයවර්ධන –

කිෂාලී පින්තු ජයවර්ධන

ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගිය සතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක් වේදනාවක් ද දනවන සුළු ය. අසාධාරණ සේ දෝෂාභියෝගයට ලක්කළ අගවිනිසුරුවරියක්, පීඩාවට පත් කැබිනට් ඇමතිවරු සහ වර්තමාන ආණ්ඩුවට කලක් පක්ෂපාත තවත් අයවළුන් මේ මාර්ගයේම අනාගතයේ දී යාමක් අපට දැක ගැනීමට ලැබේ ද?

සමහරුන්ට හොඳයි සමහරුන්ට නරකයි

මේ ප‍්‍රශ්නවලට බරසාර පිළිතුරු අවශ්‍ය කෙරේ. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් කිරීමට හෝ යම් විශේෂිත කාරණයක් ඉදිරිපත් කිරීමට යාම, දේශපේ‍්‍රමී නොවන ද්‍රෝහීකමකට කිට්ටු ක‍්‍රියාවකැ යි කියන සිංහල ජාතික අන්තවාදීන්ගේ බෙරිහන් දීම් තුළ මොනම අවංකත්වයක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද යත්, 1980 ගණන්වල අතුරුදහන් වූ සිංහල තරුණයන් වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොරිඩෝර දිගේ එදා හඩ නැගීමට ගියේ, එවක විපක්ෂ දේශපාලඥයෙකුව සිටි, පසු කලෙක අත්තනෝමතික නිර්දය පාලකයෙකු විය හැකි යැයි සිහිනෙන්වත් නොසිතූ, වර්තමාන සිංහල=බෞද්ධ රාජ්‍යයේ සොඳුරු අනුග‍්‍රාහක පාලකයා වන, මහින්ද රාජපක්ෂම වන හෙයිනි. ඇත්තෙන්ම, ශ‍්‍රී ලංකාවේ නීති වාර්තා පෙන්වා දෙන පරිදි, එදා කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව නතර කොට ප‍්‍රශ්න කළ අවස්ථාවේ, ඊට එරෙහිව ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පවා ඔහු දුරදිග ගියේය.

කෙසේ වෙතත්, එදා ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුගේම වර්තමාන ආණ්ඩුව විසින් දඩයමට ලක්කොට ඇති, දෝෂාභියෝග සහ අගවිනිසුරුවරියට එරෙහි පළිගැනීම්වල වනචාරීත්වයෙන් ¥ෂිත කළ එකක් නොවීය. එදා, බහුතර ප‍්‍රජාවේ ‘අතුරුදහන් වූවන්’ වෙනුවෙන් පෙනී සිටීම සඳහා යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හොඳ ය. ඉතිං, මෙහි දී මතු වන ප‍්‍රශ්නය වන්නේ, එදා වින්දිතයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යාම සහ අද වින්දිතයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යාම අතර වෙනසක් අප සටහන් කරගන්නේ කෙසේ ද යන්නයි. ද්‍රෝහියා සහ දේශපේ‍්‍රමියා අතර වෙනස රැුඳෙන්නේ, කෙනෙකු පෙනී සිටින වින්දිතයාගේ ජාතිය ජන්මය මත ද? නැතහොත් එම වෙනස රැුඳෙන්නේ, අදාළ කාලයේ බලය හොබවන ආණ්ඩුවේ ස්වභාවය උඩ ද?

පක්ෂ භේදත් අභිභවන වර්තමාන බල අපහරණය

ඉතිං, එක්සත් ජාතික පක්ෂ රජය යටතේ වධබන්ධනයට පත්වූවන් සහ ‘අතුරුදහන් වූවන්’ ගැන පැමිණිලි කිරීමට ජිනීවා නුවර යාම සපුරා පිළිගත හැකි ක‍්‍රියාවක් වන අතර, රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එම ක‍්‍රියාව සම්බන්ධයෙන්ම එහි යාම පිළිගත නොහැක්කක් වන්නේ ද? අප විශ්වාස කළ යුත්තේ එය ද? එවැන්නක් පිළිගත හැක්කේ මැට්ටෙකුට හෝ තක්කඩියෙකුට පමණි. එදා මානව හිමිකම් වෙනුවෙන් ධර්ම යුද්ධයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂගේ අතීතය, දැන් ඉඳහිට කෙරෙන කතාබහේ දී මතුවන විට, තමන්ට නොගැළපෙන ටයිකෝට් හැඳගෙන සිටින වත්මන් ජාති හිතෛශී අන්තවාදීන් ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ එබැවිනි.

එහෙත්, ඒ කාලයේ දී පවා, පාලක බලය හොබවන පක්ෂයේ ප‍්‍රධාන දේශපාලඥයෙකුගේ පවුලක් ජිනීවා ගියේ නම්, එය මහත් වූ ආන්දෝලනයටත්, විමතියටත් තුඩුදෙනු ඇත. ඒ අර්ථයෙන් ගත් විට, මේ ආණ්ඩුවේ ආක්‍රෝශකාරී පාලනය, පක්ෂ වෙනස්කම් ද නොතකයි. අද සැලකිල්ලට ගැනෙන එකම රෙගුලාසිය වන්නේ, පාලක පවුල කෙරෙහි කෙනෙකු දක්වන කොන්දේසි විරහිත අවනත කීකරු භාවය යි. ඒ කේන්ද්‍රීය ප‍්‍රතිපත්තිය කඩන්න, එම පක්ෂයට ඔබ මොන තරම් පක්ෂපාතී සේවයක් ඉටු කර තිබුණත් කමක් නැත, ඔබට විසුමක් නැත. එබැවින්, මොනම අරුතකින්වත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියා දෙයක් අද ඉතිරිව නැත. එපමණක් නොව, එක්සත් ජනතා නිදහස් සන්ධානයක් ද අද ඇත්තේ නැත. දේශපාලනික මැරවරකම් සහ හමුදා බලය යොදවා අධිකරණයේ ප‍්‍රධානියාව එලවා දැමීමේ ආණ්ඩුවේ උවමනාව, මේ කියන සන්ධාන පාර්ශ්වකරුවන්ගේ විරෝධය මධ්‍යයේ පවා නතර කර ගැනීමට නොහැකී වීමෙන් එය මනාව පෙන්නුම් කෙරුණි. අද පවතින්නේ, එක පක්ෂයක් හෝ එක සන්ධානයක් නොව, එක පවුලක් පමණි. එය සහතික යි.

එහෙත් මෙහි ඇති වඩාත් පුළුල් කාරණය වන්නේ, එක්සත් ජාතීන්ගේ විවිධ මණ්ඩප, යම් රාජ්‍යයක දේශ සීමාව තුළ ඇති විය හැකි නීතිය සහ ආණ්ඩුකරණය පිළිබඳ සෑම සියලූ ප‍්‍රශ්නයක්ම නිරාකරණය කර දීමේ දේශපාලනික හෝ නීතිමය ද්විත්ව ආයතන වශයෙන් නොසැළකෙන බවයි. මූලික වශයෙන් ගත් කල, ඒවා අනුශාසක සභා හෝ උපදේශන මණ්ඩප වන්නේය. ඒවායේ කාර්ය භාරය වන්නේ, ජාත්‍යන්තර වගකීම්වලට අනුගත කරවනු වස්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලට මගපෙන්වීම් කිරීම යි. යම් රටක එම වගකීමේ ප‍්‍රශ්නයක් හෝ පරහක් ඇතොත්, ඒ ගැන අදහස් දැක්වීමේ දී මේ කියන අනුශාසක සභා බෙහෙවින් පරිස්සම් විය යුතු බවට විශ්වාසයක් ඇත. උදාහරණයක් වශයෙන්, රටක යම් නීතියක් හෝ ක‍්‍රියාවක් නිසා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ නියමයන් උල්ලංඝණය කරන බවට ලැබෙන පැමිණිල්ලක් විභාග කර බලන, ජගත් නීති විශාරදයන්ගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, ඒ කාරණය පිළිබඳ සිය අවසාන තීරණය හඳුන්වන්නේ, ‘අදහස් දැනුම්දීමක්’ වශයෙනි. එය, අදාළ රාජ්‍යය නීතියෙන් බැඳ තබන තීන්දුවක් වන්නේ නැත. කමිටුවේ එම අදහස් භාර ගැනීමට හෝ බැහැර කිරීමට, රාජ්‍යයකට නිදහස තිබේ.

එහෙත් මෙහි ඇති අතුරු කාරණය වන්නේ, අදාළ රට මේ කියන ජාත්‍යන්තර ප‍්‍රමිතීන් එක දිගටම නොතකන්නේ නම්, ඊට කාරණා කිම්දැ යි යම් අවස්ථාවක පැහැදිළි කිරීමට එම රටට සිදු වන බවයි. කෙසේ වෙතත්, මේ ප‍්‍රශ්න විභාග කරන කමිටුවේ සාමාජිකයන් කිසි විටෙකත් විනිශ්චයකරුවන් වශයෙන් කටයුතු කරන්නේ නැති බව දත යුතුය. මේ වෙනස, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා 2006 කුප‍්‍රකට සිංහරාසා නඩුවේ දී නොතකා හල කාරණයකි. මේ කමිටුව අධිකරණ බලයක් අභ්‍යාස කරති ය යන වැරදි නිගමනයට පැමිණි ඔහු, ස්වෛරී රටක පුරවැසියන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවකාශ සැලසුණු ප‍්‍රථම වෛකල්පික ප්‍රොටොකෝලය ලංකා රජය මගින් අපරාණුමත කිරීම අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක‍්‍රියාවකැ යි තීන්දු කෙළේය.

විනාශදායක ක‍්‍රියා සන්තතිය

මේ ප්‍රොටෝකෝලය අපරාණුමත කෙරුණේ, හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර්ගේ විචක්ෂණ සහ ඥානාන්විත ධුර කාලයේ ය. ජාත්‍යන්තර තලයේ කීර්තිමත් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ඔහු, අසාධාරණ ජාත්‍යන්තර අතපෙවීම්වලට රටක් වශයෙන් සාර්ථකව මුහුණදීමේ කලාව ප‍්‍රගුණ කොට සිටි අතර, අනිත් පැත්තෙන්, රටක් වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ කොටස්කරුවෙකු වීමේ ඇති අවශ්‍යතාව ද මැනවින් අවබෝධ කරගෙන සිටි කෙනෙකි. මේ කියන ප්‍රොටෝකෝලය අපරානුමත කෙරුණේ එක තර්කනයක් මතයි. එනම්, ශ‍්‍රී ලංකාවේ දේශ සීමාවට පිටස්තරින් ලැබෙන, සාධාරණ සහ මිත‍්‍රශීලී උපදෙස්වලට කන්දෙමින්, ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට ශ‍්‍රී ලංකාවට වගකීමක් ඇති බවයි.

එහෙත් එදා පටන් ශ‍්‍රී ලංකාව අනුගමනය කොට ඇත්තේ, අවිචාරවත් විනාශකාරී මාවතක්ම වීම අපේ අවාසනාවකි. චන්ද්‍රිකා කුමාරණතුංගගේ වේවා, රනිල් වික‍්‍රමසිංහගේ හෝ මහින්ද රාජපක්ෂගේ වේවා, සෑම ආණ්ඩුවක්ම, මේ කියන කමිටුවේ ‘අදහස් දැනුම්දීම්’ නොතකා හරිමින්, සිංහරාසාගේ නඩුවට එන විට රටේ නීති පද්ධතිය ජාත්‍යන්තරයේ කර්කශ අවධානයට නිමිත්තක් වන තත්වයට පත්කොට තිබුණි. අන්තිමේ දී යුක්ති ධර්මයේ සකල ප‍්‍රතිපදා කෙලසමින්, මේ ජනාධිපතිවරයා යටතේ දෝෂාභියෝගයක් ගෙන ආ විට, ඒ මගින් ඇති වූ ශ‍්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමේ විවාදය හරහා අපේ රට, දේශීය වශයෙන් සාධාරණත්වයක් ඉටුකරගත නොහැකි, යුක්තිය සොයා රටින් පිටට යා යුතු, අනුන්ට අතපාන නීච දේශයක තත්වයට ඇදහැලූණි.

දැන් ලංකාව, ලෝකයාගේ සිනාවට කාරණයකි

මේ අනුව, අතීතයේ විසු බුද්ධිමත් ප‍්‍රතිපත්ති සම්පාදකයන් ප‍්‍රදර්ශනය කළ විචක්ෂණ භාවය අද වන විට කොහේ ගියේ දැ යි සොයා ගන්නට නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වැනි ආයතන දෙස අවඥාවෙන් බලන අප, මේ ආණ්ඩුව විවේචනයට ලක්කෙරෙන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත වීමට යන විට කරන්නේ, එක්කෝ චන්ඩි කතාවලින් ඒවාට ප‍්‍රතිචාර දැක්වීමයි. නැත්නම්, හැරෙන හැරෙන පැත්තට අතේ පැලවෙන බොරු කියමින්, බොරු පුරාජේරුවෙන් උඩඟු වීමයි.

මේ විදිහට, 2006 වසරේ ත‍්‍රිකුණාමලයේ දී ඝාතනය කළ ශිෂ්‍යයන් පස් දෙනාගේ සිද්ධිය ලඝු=නඩු විභාගයක් සඳහා යොමුකොට ඇති බවටත්, ඒ හා සමානම කෲරත්වයකින් මුත්තූර් ප‍්‍රදේශයේ දී ඝාතනය කළ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17 දෙනාගේ සිද්ධිය ගැන නීතිපතිවරයා සමාලෝචනය කරමින් සිටින බවටත් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අපේ ආණ්ඩුවේ නියෝජිතයන් මේ සතියේ කියා සිටින විට, එම කරුණු දැක්වීම ලෝකයා ඉදිරියේ සැලකෙන්නේ, නොම්මර එකේ බොරුවක් වශයෙන් නොවේ නම්, එක කණකින් අසා අනිත් කණෙන් පිට කළ යුතු නිසරු කතාවක් වශයෙනි. ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ යුක්තිය ඉල්ලා සිටින මේ වින්දිත පවුල්වල සාමාජිකයන් සමග අද එහි සිටින භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ සහ ප‍්‍රගීත් එක්නැලිගොඩගේ පවුල්වල සාමාජිකයන්ට ද ඇත්තේ එකම අභිලාෂයකි.

මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත් කරගෙන ඇති සාපය කුමක් ද? කලක් ක‍්‍රියාකාරීව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් (මොන තරම් අඩුපාඩු මැද්දේ වුවත්* මෙවැනි දුක්ඛිත තත්වයකට පත්වුණේ කෙසේ ද?

*2013 මාර්තු 17 වැනි දා  පළවූ  The Bitter Fruits Of Our Own Only ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Back to Home page