26 April, 2024

Blog

විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු!

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද සැබෑය. මන්ද යත් එය සටහන් කරන්නේ 1978 දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහි ලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානයේ සහ ඒ සඳහා ඔවුන් වසර 37 ක් අත් නොහැර ගෙන ගිය ව්‍යායාමයේ ප්‍රථිඵලයක් ලෙස එම තනතුරෙහි බලතල සීමා කිරීම රටේ ව්‍යවස්ථාවට ඇතුළු කරගනු ලැබීම බැවිනි.

එමෙන්ම එය මෙරට දේශපාලන සංස්කෘතිය යළි ශිෂ්ඨ සම්පන්නභාවය දෙසට හැරවීම ඇරඹීම ජාතික මට්ටමේ වැදගත් කමකින් සටහන් කරන අවස්ථාවද වන්නේය. මන්ද යත් එය මෛත්‍රීපාල සිරිසේන මෙරට බහුතර පුරවැසි ජනතාවගේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස, තමන් බලයට පත් වූ විට අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමට ගත් උත්සාහය පෙන්නුම් කරන හෙයිනි. එම උත්සාහය විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහැර ඉදිරියට ගෙන යාමට අප දිරිගන්වන්නක් ලෙස සැළකිය යුතුය.

19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ ව්‍යායාමය බෙහෙවින් දුෂ්කර එකක් වීය. සුළුතර ආණ්ඩුවක් ඉදිරිපත් කළ යෝජනාවකට බහුතරය එකඟ කර ගැනීමට සිදු වූ හෙයිනි. එම බහුතරයේ ප්‍රධාන කණ්ඩායම ජනාධිපති මෛත්‍රී නායකත්වය දෙන ශ්‍රිලනිපයට අයත් වීමම හුදෙක් මෙම කටයුත්ත පහසු කළේ නැත. ජාතික ආණ්ඩුවක් වශයෙන් හැඳින්වුවද එජාපයේත් ශ්‍රිලනිපයේත් සහවාසය ප්‍රේම විවාහයක් නොව කපුකමකින් කෙරුණු විවාහයකි. සාමාන්‍යයෙන් ගත් කළ සම්ප්‍රදායික යෝජිත විවාහයක පදනම වන්නේ සහවාසය කැමැත්තෙන් භාරගෙන එය සාර්ථක කිරීම සඳහා කටයුතු කිරීම යි. නමුත් මෙහිදී ඊට පටහැනිව යමින් ආරම්භක අවස්ථාවේ පටන්ම අපට දැකිය හැකි වූයේ එළ හරකෙකු සහ මීහරකෙකු එකට බාන් කළ අවස්ථාවක් මෙන් දෙපසට ඇදීමේ නැඹුරුවයි. ළඟ ළඟම එන ඉදිරි මහ මැතිවරණයකදී පාර්ලිමේන්තු ආසන බහුතරයක් දිනා තමන් ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාව මේ පක්ෂ දෙකටම තිබීම ඊට හේතුවයි. එහෙයින් ජනතාව හමුවේ තම දේශපාලන නායකත්වය තහවුරු කර ගැනීමට මෙම දෙපක්ෂයම පොර බදිති.

Dayan Nalin Podi Appuhamiජනාධිපති මෛත්‍රීගේ මෙම ව්‍යායාමය දුෂ්කර කළ අනෙක් බලවේගය ජනතාව විසින් බලයෙන් පහකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටුපස සිට මෙහෙයවන එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම යි. නැවත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ සිහිනය තුළ තවමත් ජිවත් වන මෙම කණ්ඩායම රනිල් විරෝධී භීතිකාවකින් පෙළෙන පැරණි වාමාංශික නායකයන්, විමල් වීරසිංහ වැනි ඊනියා දේශි හිතෛශීන් සහ දිනේශ් ගුණවර්ධන වැනි උග්‍ර ජාතිවාදී මතවාදී දරන්නන් නායකත්වය දෙන පිරිසකගෙන් සමන්විත වෙයි. මෙම කණ්ඩායමට න්‍යායික නායකත්වය දෙන්නේ දයාන් ජයතිලක, ගෝමින් දයාසිරි, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා වැනි පිරිසකි. (සංශෝධන වලට මුවාවී 19 ට පක්ෂව ඡන්දය දීම පිළිබඳ පොදුවේ සන්ධානයේ මන්ත්‍රීවරුත් එසේ කරන අතරතුරම “සංශෝධනයලට එකඟ වූ නිසා කැමැත්ත දෙමි“ ප්‍රකාශ කරමින් පුහු විරයෙකු වන්නට උත්සාහ දැරීම පිළිබඳ විමල් වීරවංශ විශේෂයෙනුත් නලින් ද සිල්වා ගේ හෙළා දැකීමට ලක් වී ඇත.)

මොවුනට දිනාගත හැකි පිරිසක් එජාපය සමග සහවාසයට බලකරනු ලැබ සිටින ශ්‍රීලනිප ය තුළ ද වෙයි. මහින්ද රාජපක්ෂ ඔහුට එල්ල කොට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ ඔහු එහි යාමට බිය වූ විට එම කැඳවීමට විරෝධය පළකරමින් මන්ත්‍රිවරුන් ඉදිරිපත් කළ පෙත්සමට අත්සන් එකසිය ගණනක් ලැබුනේ එම හේතුවෙනි. මෙම ජාතිවාදීන් සහ ඊනියා වාමාංශිකයන් එකම වේදිකාවේ අසුන් ගැනීමේ ඇතැමුන් මවිත කරවන දසුන පිටුපස ඇති පොදු සාධකය රනිල් විරෝධය සහ මහින්ද යළි රජ කරවීමේ සිහිනය නමුත් ක්‍රියාවේ ප්‍රථිඵල අතින් ගත් කළ හරයෙන් මෙය ජාතිවාදීය. මන්ද යත්, මෙහි මෙහෙයුම් බලවේගය වන විමල් විරවංශලා න්‍යායික ශක්තිය ලබන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව යටතේ යළි එල්ටීටීය පණ ගැන්වී නොරට විසිරුණු එල්ටීටීඊ කොටස් වල මූල්‍ය ශක්තියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිළට ගෙන රට දෙකඩ කරන ඇමරිකානු-එංගලන්ත හවුල් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඇතැයි රෑ දුටු බියකරු සිහිනයක ගැලෙමින් මෙන් දිවා කලත් නිද්‍රාවේ සිටින දයාන් ජයතිලක වැන්නන්ගේ න්‍යාය ගැන්වීමෙන් වන හෙයිනි.

මේ සියලු කණ්ඩායම් වලටත් වඩා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා අපේක්ෂාවට එරෙහිව මුල සිටම ක්‍රියා කරමින් සිට ඇත්තේ චම්පික රණවක නායකත්වය දෙන ජාතික හෙළ උරුමය යි. විධායක ජනාධිපති අහෝසි කිරීම වෙනුවට ඒ එහි අත්තනෝමතික බලතල සීමා කළ යුතුය යන්න මුල සිටම ඔවුන් ගේ ස්ථාවරය වී තිබුණි. පොදු අපේක්ෂක මෛත්‍රී බහුජන සංවිධාන පනහකට ආසන්න ගණනක් සමග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන කොට ගත් ප්‍රතිපත්ති මාලාවක් සඳහා ගිවිසුමකට එළඹෙන විට ජාතික හෙළ උරුමය සමග මෛත්‍රී වෙනම අත්සන් කළ ගිවිසුම එකඟ වූයේ විධායක ජනාධිපතික්‍රමයේ බලතල සීමා කිරීමට පමණි. මෙහි ඇති බලවත් ප්‍රතිවිරෝධය සහ එයින් ඇතිවිය හැකි ඵල විපාක පිළිබඳ ගැටළුව එම අවස්ථාවේදී මතු නොවුණේ එසේ කිරීමේ වගකීම තිබුණු ප්‍රමුඛ පිරිස් එම දේශපාලන නිමේශයේ ජවවේගී චලනයන් තුළ නිමග්න වී සිටිම නිසා මිස ඔවුන් එම ස්ථාවරය බැරෑරුම් ලෙස නොසලකා පිළිගත් හෙයිනැයි නොසිතමි. තවද එය එම ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානයේ නොසිටි පිරිස් වලට ලෙහෙසියෙන් බලපෑම් කළ නොහැකි අධි ජවයක් රැගත් චලනයක් වීය. ජනාධිපති මෛත්‍රී මෑත දිනක පුරවැසි සංවිධාන නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පැවති ගතිකය පිළිබඳ පොදුවේ අදහස් දක්වමින් කියා සිටියේ එම අවස්ථාවේ සිදුවීම් කොතරම් වේගයකින් සිදුවීද යත් යමක් පිළිබඳ වැඩිදුර සිතන්නට අවස්ථාවක් නොතිබුණු බවත් තමාට සහයෝගය දෙන්නට ඉදිරිපත් වූ කවරෙකු වුවත් පිලිබඳ දෙවරක් නොසිතා ඔවුන් එකතු කරගත්තේය යන්න කියැවෙන අදහසකි.

පසුබිම කුමක් වුවද එහි අවසාන ප්‍රථිඵලය වූයේ පාර්ලිමේන්තුවේ ආසන දෙකක් පමණක් ඇති උග්‍ර සිංහල -බෞද්ධ ජාතිකවාදි පක්ෂයක් මෛත්‍රී-රනිල් රජයේ බලගතු ඇමතිකමක් ද ලැබ එහි තීරණාත්මක බලපෑම් කළ හැකි තැනක් අරා සිටිමට පත් වීමයි. චම්පික රණවක මේ මොහොතේත් කියා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මනෝරාජික අරාජිකවාදී සටන් පාඨයක් බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බව චම්පික කියන විට ඔහු වටයේ දකුණු පැත්තෙන් ප්‍රවිෂ්ඨව එහිම වම් පැත්තෙන් ප්‍රවිෂ්ඨව දකුණු කෙළවරට පැමිණි සිටින දයාන් ජයතිලක ලා සමග එකම මතවාදී වේදිකාවේ දයාන් ළඟින්ම අසුන් ගනියි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිමට පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වටා එකතු වූ බලවේග වල විශිෂ්ඨ සහයෝගයත් ලැබීම තමන් අගය කරන බව චම්පික රණවක කියයි. එයින් ගම්‍ය කෙරෙන දේ අප වටහා ගත යුත්තේ මා දැනටමත් කියා ඇති පරිදි එම මහින්ද රාජපක්ෂ හිතැති කණ්ඩායම ක්‍රියා කළේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බාධා කරමිනි යන පසුබිමෙහිය.

19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සෑහීමට පත් නොවී මීළඟට බලයට පත්වන ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස පත් කොට විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමේ යෝජනාව මනෝරාජික අරාජිකවාදී එකක් බවත් රටේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීමේ කිසිම ඉඩ කඩක් නැති බවත් චම්පික රණවක කියයි. නමුත් අපේම ලංකාවේ භාවිතාවෙන් අත්දුටු සැබෑව වන්නේ පවත්නා ව්‍යවස්ථාවට එරෙහිව යමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වළංගුභාවය ඊට ලැබෙන පොදු ජන පිළිගැනීම මත මිස පවත්නා ව්‍යවස්ථාවක් පනවන සීමාවන් ගෙන් තීන්දු නොවන්නක් බව යි. 1972 ජනරජ ව්‍යවස්ථාව එලෙස පැවති ව්‍යවස්ථාවට එරෙහිව යමින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත හැකි බවට උදාහරණයකි. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුද? නැත්ද? යන්න තීරණය කිරීම මෙරට බහුතර පුරවැසි ජනතාවගේ අයිතියක් මිස දේශපාලනඥයන්ගේ වරප්‍රසාදයක් නොවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබූ බව චම්පික රණවක කියන විට අප වටහා ගත යුතු කරුණ ජනමත විචාරණයකට නොයා පවත්නා ව්‍යවස්ථාවේ මූලික පදනම වෙනස් කළ නොහැකිය යන කරුණයි. නමුත් එය කළ නොහැක්කක් නොවේ.

මෙරට පුරවැසි සංවිධානවල එක් ඉදිරි ප්‍රධාන කාර්යභාරයක් වන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කටයුතු කිරීම සටන් පාඨය කොටගෙන ඉදිරි මහ මැතිවරණයේදී ඒ වෙනුවෙන් පෙනී සිටින කොටස් ජයග්‍රහණය කරවීම සඳහා නායකත්වය දීමයි.

ලංකාව තුළ යළිත් සිංහල බෞද්ධ ජාතිවාදී බලවේග අධිපතිභාවයට පත්වීම වැළැක්වීමට නම් මෙය කළ යුතුමය. ලංකාවේ දේශපාලන අනාගතය රැඳී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කොට, යලිත් පුරවැසියාට සෘජුව වගකියන මන්ත්‍රීවරුන් ඡන්ද කොට්ඨාශ වලින් තෝරා පත් කර ගත හැකි ඒ සමගම කුඩා ජනවාර්ගික ප්‍රජාවන්ට මෙන්ම සෙසු කුඩා දේශපාලන පක්ෂ වලටත් සාධාරණයක් ඉටුවන මිශ්‍ර නියෝජනයක් ගෙනෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම තුළය.

එම නියෝජිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොටගෙන ක්‍රමිකව අප ගමන් කළ යුත්තේ පුරවැසියා උපරිමයෙන් බල ගැන්වෙන පරිදි රාජ්‍ය බලය උපරිමයෙන් විමධ්‍යගත කෙරෙන සන්ධීය පාලන ක්‍රමයක් ගොඩ නඟා ගත හැකි අනාගතයකටය.

ඒ සඳහා සියලු ජනවර්ග, ආගම් යනාදී විවිධ සමාජීය කුලකයන් අතර සංහිඳියාව, අන්‍යොන්‍ය විශ්වාසය සහ පිළිගැනීම ගොඩ නැංවිය යුතු වන්නේය.

එබඳු සමාජයක් පරිකල්පනය කිරීම කිසිසේත්ම මනෝරාජික නොවේ. මන්ද යත් මනුෂ්‍යයාට සාමුහිකව තමන් ජිවත්වන ලෝකය වෙනස් කළ හැකි හෙයිනි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I really cannot understand the advantage of eradicating the Executive Presidency completely.If some one express the real meaning of it, I would be thankful. My view is there are certain areas like defence , provincial councils where powers of executive presidency play an essential role. According to me decision making by one entity is not the problem. The prevalent major problem is decisions are not transpsrent.We all know about Port City. bringing Casino. When power concentrate in one place he could unduely interfere with duties of officers and people. Through our experience we know it is severely harmful.Regarding an issue if one entity is there to get the decision it is effective.Only thing one could explain others why he got that decision.Recently financial proposal was not approved in the parliament. I do not know what is the real position of that issue.But such decision could put people on to trouble if the financial requirement is imparative in some case. Whatever the political interests first priority of the government should be people.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.