26 April, 2024

Blog

මහින්දගේ මැතිවරණ ‘ප්‍රලාපය‘ට එරෙහිව රනිල්ගේ මැතිවරණ ප්‍රකාශය

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ

ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරාගැනීමේ මහා මැතිවරණය එළඹෙන අගෝස්තු 17 වෙනිදා පැවැත්වේ. ඒ සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රාශියක් මේ වන විටත් තරඟයට අවතීර්ණ වී ඇත. ඒ අතුරින් ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක අතර තරඟයද, මේ රටේ තුන්වන දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කරනු ලබන බලපෑමද අතිශයින් තීරණාත්මකය.

පසුගිය ජනවාරි 8 වෙනිදා මෛත්‍රී – රනිල් නායකත්වය යටතේ යහපාලනය සඳහා නිර්මාණය වු මහා ජනපවුර විසින් නිහඬ විප්ලවයක් සිදුකරනු ලැබීය. එදා කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි අත්තනෝමතික ඒකාධිපති පවුල්වාදී කල්ලිවාදී අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමය පෙරළා දමා මේ මහා පොළොව මත යහපාලනයේ පළමු බීජය රෝපණය කළේය. එතැන් සිට මේ දක්වා වැඩී වර්ධනය වන්නා වූ එකී යහපාලන ක්‍රමවේදයට එරෙහිව පරාජිත රාපක්ෂ කල්ලිය විසින් එල්ල කරනු ලබන පීඩනය අති විශාලය. ඔවුන්ගේ කප්පරක් වූ දූෂණ, වංචා, අක්‍රමිකතා සියල්ල එක රැයෙන් විමර්ශනයට බඳුන් කළ නොහැක්කේද එකී යහපාලනයේ අන්තර්ගත පාරදෘශ්‍යභාවය හා ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම නිසාමය. ඒ බව හොඳින්ම දන්නා ඔවුහු ඊට ගතවන කාලය තම වාසියට හරවා ගනිමින් ජනතාව හමුවේ තමන් සුද්ධවන්තයින් ලෙස හුවා දැක්වීමට දැන් දැන් වෙහෙසෙමින් සිටිති. සෑම මැතිවරණ රැස්වීමකම පොළොව පැලෙන වර්ගයේ බොරු ඇද බෑම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. නිතිපතා පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවලදීද, මැතිවරණය සඳහාම නිර්මාණය කළ සියලු ප්‍රකාශනවලද ඒ මහා බොරුවම වඩා සෞන්දර්යාත්මකව කැටයම් කර ඇත.

මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව ප්‍රදර්ශනය වන්නේ මෙවර මැතිවරණය සඳහා ඔවුන් විසින් යොදා ගෙන ඇති හාස්‍යය දනවන මැතිවරණ තේමාව හා ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමේදීය. ‘රටට පණ දෙමු. අලුතෙන්ම පටන්ගමු‘ යන්න ඔවුන්ගේ මැතිවරණ තේමාව වන අතර ‘අදීන ජාතියක් නවීන දේශයක් සුහද සමාජයක්‘ යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර ඇත. මෙම මැතිවරණ තේමාව හා ප්‍රතිපත්ති ප්‍රකාශය යන දෙකම දුටු සැණින් ඕනෑම අයකුගේ සිතට නැගෙන සිතිවිල්ල වන්නේ ඔවුන් එය ඉදිරිපත් කර ඇත්තේ දස අවුරුද්දක් වූ තමන්ගේම රාජ්‍ය පාලන කාලපරිච්ඡේදයට එරෙහිව බවය.

Ranil Ravi Maithri‘රටට පණ දෙමු‘ යැයි කී සැණින් ක්ෂණිකවම හැඟෙන්නේ එක්කෝ රට පණ අදිමින් සිටින බවකි. නැතහොත් එහෙම පිටින්ම රට මරා දමා ඇති බවකි. සත්‍ය වශයෙන්ම ගෙවීගිය දස වසර තුළ මේ රටේ සමස්ත මහා ජාතික ධනය කොල්ල කමින්, සියලු සාරය උරා බොමින් ඔවුන් ගෙන ගිය පාලන ක්‍රමය තුළ තවදුරටත් රටක් ඉතිරි වීමට ඉඩක් නැත. රට සහමුලින්ම මැරී වැටී තිබිය යුතුය. කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව කියා ඇත්තේ මෙවැනි අය වෙනුවෙන්ය. ‘අලුතෙන්ම පටන්ගමු‘ යැයි කියන්නේද පවත්නා තත්වයේ දිගුවකට කිසිසේත් අවස්ථාව ඉතිරි වී නැති නිසාය.

එහෙයින් මෙවර තම මැතිවරණ තේමාව සඳහා ඔවුන් විසින් එවැනි ‘ස්වයං පාපෝච්චාරණයක්‘ යොදා තිබීම ගැන අප සතුටු විය යුතුය. තම රාජ්‍ය පාලන කාලය තුළ ඔවුන් මේ රටට කළ විනාශය අමු සිංහලෙන්ම ප්‍රකාශ කෙරෙන මැතිවරණ තේමාවක් සමග රට වටා යමින් පරාජය හමුවේ වියරු වැටෙමින් තමාගේම ගෝල බාලයන්ට මහ දවාලේ ප්‍රසිද්ධියේ පහර දෙමින් ඔවුන් මේ රඟ දක්වන්නේ ‘ගමනක අවසානය‘ නාට්‍යයේ අවසන් ජවනිකාව බව නම් පැහැදිලිය.

එසේම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද එහෙම පිටින්ම ‘බොරුව‘ හා ‘හාස්‍යය‘ එකට මුසු කළ එකම ‘රස ගුලාවක්‘ බව වටහා ගැනීම සඳහා එහි පටුන පමණක් කියවීම ප්‍රමාණවත්ය. ඔවුන් එය නම් කර ඇත්තේ ‘නවීන දේශයක් අදීන ජාතියක් සුහද සමාජයක්‘ යනුවෙනි. එය තමන්ගේ ප්‍රධාන අරමුණු තුන වශයෙන් දක්වා ඇති අතර එකී අරමුණු තුන සඳහා යළිත් වරක් වෙන වෙනම අර්ථ නිරූපණයක්ද සටහන් කර ඇත. පහත සඳහන් එකී අර්ථ නිරූපණය දුටු සැණින් ඔබේ මනසට නැඟෙන සිතුවිලි කවරාකාර දැයි බලමු.

‘නවීන දේශයක් – මනා ආර්ථික කළමනාකරණයකින් යුත්, කිසිම රටකට නොදෙවෙනි ආයෝජන සහ යටිතල පහසුකම්වලින් සමන්විත, බුද්ධිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තමන්ගේම කියා නිවෙසක සහ වාහනයක හිමිකාරත්වය දරමින් නිදහසේ ජීවත්වන සෞභාග්‍යමත් සමාජයක් ගොඩනැගීම අපගේ අරමුණයි‘
‘අදීන ජාතියක් – සැමට සමාන නීතියක් ඇති, දූෂණය සහ වංචාවෙන් තොර වූ, කිසිදු රටකට ගැති නොවූත් අදීනවූත් නොබැඳිවූත් අභිමානවත් ජාතියක් ගොඩ නැගීම අපගේ අරමුණයි‘
‘සුහද සමාජයක්‘ – ඒකීය රටක් තුළ ජාතික සහ ආගමික සංහිඳියාවෙන් යුත්, මිනිසාට මෙන්ම පරිසරයටද සතුන්ටද ආදරය කරන කලාකාමී සහ ක්‍රීඩාශීලී රටක් ගොඩනැගීම අපගේ අරමුණයි. එහිදී අපගේ දරු පරපුරට මෙන්ම කාන්තාවට ගෞරවාන්විත අවකාශයක් අපි සහතික කරන්නෙමු‘

ගෙවීගිය දස වසර තුළ ඔවුන්ගේ දූෂිත පාලනය මෙකී අරමුණු තුන හා කොතෙක් නොගැලපෙන්නේද යන්න ඔප්පු කිරීම සඳහා දස දහස් ගණනින් උදාහරණ ඔබේ මනසට ඉබේටම ඇතුළු වන බව මම දනිමි. එහෙත් ඒවා සියල්ල මෙහි සඳහන් කිරීමට ඉඩ මදිකම පිළිබඳව ඔබ මට කමා කළ යුතුය. කෙසේ හෝ ඔවුන් කියන දේ සහ කරන දේ අතර වෙනස පෙන්වා දෙන එවැනි උදාහරණ කීපයක් හෝ මෙහි සඳහන් කිරීමෙන් මේ රටේ ජනතාව යළිත් වරක් ගොනාට ඇන්ද වීම සඳහා ඔවුන් දියත් කිරීමට සැරසෙන ප්‍රෝඩාව හෙළිදරව් කළ යුතුය. එහෙත් ඊට පෙර මීටම සමාන වූ ඔවුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් ප්‍රතිපත්ති දොළහද සඳහන් කිරීම උචිතය. පහත දැක්වෙන එකී ප්‍රතිපත්ති දොළහ අඩංගු පිටු 19ක පොත්පිංච අවසානයේ ඒවා සියල්ල ප්‍රතිඥාවක් වශයෙන්ද කෙටියෙන් දක්වා ‘මහින්ද රාජපක්‍‍ෂ‘ යනුවෙන් අත්සනද යොදා ඇත. එමගින්ද ඔවුන් උත්සාහ කර ඇත්තේ මේ වතාවේද කෙසේ හෝ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා පොදු ජනතාවට පොළඹවා ගැනීමටය.

ජාතිවාදයෙන් මිදුනු ජාතිකත්වයක් – ආගම්වාදයෙන් මිදුන් ආගමික නිදහසක්.
සැමට සමාන නීතියක් – ක්‍රමවත් නිවැරදි පාලනයක්.
පිබිදෙන ආර්ථ්කයක් – පුරවැසි කේන්ද්‍රීය සංවර්ධනයක්.
අදීනවූත් නොබැඳිවූත් මිත්‍රශීලීවූත් විදේශ ප්‍රතිපත්තියක්.
හිසට වහලක් – සැමට නිවසක්.
නිදහස් අධ්‍යාපනය සුරකින ප්‍රබුද්ධ සමාජයක්.
නිදහස් සෞඛ්‍යය සුරකින නීරෝගී සමාජයක්.
ගහ කොළද, සතුන්ද, මේ හැමත් සුරකිමු.
කලාවෙන්, සංස්කෘතියෙන්, මාධ්‍ය නිදහසෙන් ඔප් නැඟුනු සංවේදී සමාජයක්.
ක්‍රියාශීලී හා නීරෝගී තරුණ පරපුරක්.
දිරිලියයි – දරු කැලයි දැයේ ජීවනාලියයි.
දේශයකි ගොඩ නැගෙන – හෙට දිනයෙ ලොව දිනන.

මේ සම්බන්ධයෙන් පළමුව කිවයුත්තේ 2005 සිට ‘දේව භාෂිතයක්‘ ලෙස එක දිගට වසර 10ක් පුරා උපුටා දැක්වූ “මහින්ද චින්තනය“ ඔවුන් විසින්ම අත්හැර දමා ඇති බවය. එය 2005 දී ‘මහින්ද චින්තන‘ ලෙසත්, 2010 දී ‘මහින්ද චින්තන – ඉදිරි දැක්ම‘ ලෙසත්, 2015 දී ‘මහින්ද චින්තන – ලොව දිනන මඟ‘ ලෙසත් ජනතාව හමුවේ තබමින් විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල නිර්දය ලෙස විවේචනය කිරීමට ඔවුහු ක්‍රියා කළහ. එහෙත් ඒ සැම අවස්ථාවකදිම ඔවුන්ගේ පශ්චාත් මැතිවරණ භාවිතය බවට පත් වූයේ ‘මහින්ද චින්තන‘ ඔස්සේ ඔවුන් ලබාදුන් පොරොන්දුවලට සහමුලින්ම පටහැනි වූ ක්‍රියාදාමයක්ය. හොඳම උදාහරණය නම් ඒ සෑම අවස්ථාකදීම ඔවුන්ගේ ප්‍රධානම පෙරොන්දුව බවට පත්ව තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තමන් ඡන්දය දිනූ සැණින් අත්හැර දැමීමය. ඔවුන් සෑම විටම ක්‍රියාත්මක කළේ තම පොරොන්දුවලට පටහැනි දේය. 2010 ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් නිර්මාණය කරගත් පසුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළේ නැත. ඒ වෙනුවට එම බලය යොදා ගත්තේ ස්වාධීන කොමිෂන් සභා සහිත 17වන සංශෝධනය අහෝසි කොට දිවි ඇති තෙක් විධායක ජනාධිපති ධූරය තමන් විසින්ම දරා සිටීමේ පෞද්ගලික බල තණ්හාව නීතිගත කිරීම සඳහාය. 2015දී එම අලුත් නීතියට අනුව තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ගත් තීරණයට එරෙහිව පොදු ජනතාව බරපතළ විරෝධයක් දියත් කළද ඒ කිසිවක් තඹ සතයකට හෝ මායිම් කළේ නැත. තම දූෂිත කල්ලියේ අවවාද අනුශාසනා මත අධික බල තණ්හාව අනුව තෙවන වතාවටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එහි ප්‍රතිඵලය වූයේ පෙර ධූර කාලයේ ඉතිරි වසර දෙකද අහිමි වීමය.

මේ අනුව ඔවුන්ගේ ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශය හා අරමුණු ත්‍රිත්වය අඩංගු පොත්පිංච එහි පිටකවරය නැතිව කිසිවකු අතට පත් කළේ නම් අනිවාර්යෙන්ම ඔහු එය වටහා ගන්නේ මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනය හැටියටය. ඒ තරමටම එහි සඳහන් වී ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් දියත් කරන ලද මජර දේශපාලනය නිසා විනාශ වූ රට ගොඩනැගිය හැකි උදාර වූ අරමුණුය. කිසිදු හිරිකිතයකින් තොරව විවිධ වූ ප්‍රතිඥා දෙමින් ඔවුන් පවසන්නේ කුමන තත්වයක් යටතේවත් තමන් නොකරන දේය. තුනෙන් දෙකේ බලයක් සහිතව පවා තමන් කළ කී දේ ගැන කිසිදු ලැජ්ජාවක් බයක් ගෑවිලාවත් නැත. ජාතිවාදය හා ආගම්වාදය ඇවිලවීම තම ප්‍රධාන දේශපාලන උපාය මාර්ගය බවට පත්කර ගන්නා ගමන්ම ‘ජාතික සමගිය‘‍්, ‘ආගමික සමගිය‘ හා ‘සංහිඳියාව‘ ගැන අපූරුවට ප්‍රතිඥා දෙනවාය. අළුත්ගම, බේරුවල සිදුවීම් සියල්ල අමතකය. සරත් ෆොන්සේකා,ශිරාණි බණ්ඩාරනායක සිදුවීම් දෝංකාර දෙන අතරේම ‘අධිකරණයේ ස්වාධීවත්වය‘ හා ‘නීතිය සියල්ලන්ටම එක සමාන වියයුතු බවට‘ යළි යළිත් ප්‍රතිඥා දෙනවාය. සිරසට ගිණි තැබීම, සියතට ගිණි තැබීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ඇතුළු මාධ්‍යයට එරෙහිව දියත් කළ ම්ලේච්ඡ ක්‍රමවේදය සහිත කිසිදාක සමාවක් නැති ඉතිහාසය පෙනි පෙනීත් ‘මාධ්‍ය නිදහස‘ ගැන තවදුරටත් එකී සාම්ප්‍රදායික ප්‍රතිඥාවම දෙනවාය. ඔවුන්ගේ සමස්ත රාජ්‍ය පාලන කාලපරිච්ඡේදයම පිරී ඇත්තේ මෙවැනි භාවිතයන්ගෙන්ම පමණක්ය.

එහෙයින් මෙවර තවත් අඩව්වක් ඇල්ලීමට සැරසෙන ඔවුන් මෙතෙක් තමන් ගේ ‘දේව භාෂිතය‘ වූ ‘මහින්ද චින්තනය‘ ඔවුන් විසින්ම කුණු බක්කියට දැමූවද, සියලු කෙළෙස් දුරු කොට උතුම් වූ මාර්ගඵල අත්කර ගත් කණ්ඩායමක් මෙන් පොදු ජනතාව හමුවේ යළිත් පෙනී සිටියද, ලෝකයේ ආදර්ශමත්ම රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ගොඩනගන බවට කොතෙකුත් සෞන්දර්යාත්මක, සාහිත්‍යමය වචන මාලාවක් මගින් දිවුරා ප්‍රතිඥා දුන්නද මෙවරද ඒ සියලු උත්සාහයන් නිෂ්ඵල වන බව පමණක් ඔවුන්ට කිවයුතුය.

මෙතෙක් මා විස්තර කළේ මෙවර මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් යොදාගෙන ඇති මැතිවරණ තේමාව හා ඔවුන් සැලසුම් කර ඇති අරමුණු ත්‍රිත්වයක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය. එය ‘ප්‍රතිපත්ති ප්‍රකාශය‘ වෙනුවට ‘ප්‍රතිපත්ති ප්‍රලාපය‘ ලෙස මා මුලින්ම හඳුන්වා ඇත්තේ එහි අඩංගු කරුණු සියල්ල කාලයක් තිස්සේ ඔවුන් හුරු පුරුදු වී සිටින ඔවුන්ටම ආවේණික වූ කතාවට පමණක් සීමා වූ හුදු ප්‍රලාපයන් සමූහයක් පමණක් නිසාය. එය මෙවර මැතිවරණයේදීද නිසැකවම ජනතාව ප්‍රතික්ෂේප කරන බව පහ වසරේ සිසුවකුට වුවද හොඳින් වැටහෙනවා ඇත.

මී ළඟට අවධානය යොමු විය යුත්තේ එක්සත් ජාතික පක්ෂය වෙතය. එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ වශයෙනි. ඊට ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් සම්බන්ධ වී සිටින අතර ඔවුන් ගේ පොදු ලකුණ වශයෙන් ‘අලියා‘ තෝරා ගෙන ඇත. දීර්ඝ කාලයක් විපක්ෂයේ සිටිමින් ලද අත්දැකීම් සියල්ල ඔස්සේ රාජපක්ෂ රෙජීමය විසින් දියත් කරන ලද අන්ත දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික ක්‍රමයට එරෙහිව යහපාලන යාන්ත්‍රණය රට තුළ ස්ථාපිත කිරීමේ අභියෝගය ඔවුන් භාරගෙන අවසානය. එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 8 වෙනිදාය. ඒ රාජපක්ෂ රෙජීමයේ සියලු බලකොටු බිඳ දමා ලක් ඉතිහාසයේ පළමු වරට බලයේ සිටින විධායක ජනාධිපතිවරයකු පරාජය කිරිමත් සමඟය. ඇත්තටම එදා ඔහු පරාජය වන විට ශ්‍රී ලංකාවේ සර්ව බලධාරී විධායක ජනාධිපතිවරයා පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේද සභාපතිවරයා වශයෙන්ද පත්ව සිටියේය. පරාජයෙන් පසු ඔහුගේ හැසිරීම එම වැදගත් තනතුරේ ගෞරවයද කෙළෙසා දැමීමට හේතු වී ඇත. එය ඔහුට පමණක් නොව රටටද අපකීර්තියක් වන්නේය. වර්තමානයේ යළිත් වරක් හුදු මන්ත්‍රී ධූරයක් පමණක් ලබාගැනීම වෙනුවෙන් ඔහු වෙහෙසෙන්නේය.

එදා රාජපක්ෂ රෙජීමයේ මහා බලකොටුව බිඳ දැමූ එකී ‘විප්ලවය‘ සත්‍ය වශයෙන්ම අදියර දෙකකින් යුක්තය. එහි පළමු අදියර ජනවාරි 8 වෙනිදා දියත් විය. එහිදී නොසිතූ විරූ විජයග්‍රහණයක් යහපාලන කඳවුරට අත්විය.‘මෛත්‍රී පාලනය‘ නමින් මේ රටේ අභිනව යහපාලන යුගය ආරම්භ වූයේ එතැන් සිටය. එහි දෙවන අදියර සම්පූර්ණ වන්නේ එළඹෙන අගෝස්තු 17 වෙනිදාය. අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ ආශීර්වාදය යටතේ ඊට නායකත්වය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ආයෙ කවදාවත් යළි නොඑන පරිදි රාජපක්ෂ කල්ලියේ අන්ත දූෂිත පාලනය මිහිදන් කිරීම සිදුවන්නේ එදිනය. ඉන්පසු එජාප, ශ්‍රිලනිප, ජවිපෙ ඇතුළු ඕනෑම දේශපාලන ධාරාවකට නිදහසේ දේශපාලනය කිරීමට අවකාශ සැලසෙන්නේය.

එහෙයින් ඒ සියල්ල උදෙසා එජාපය ප්‍රමුඛ යහපාලන කඳවුර දැන් සූදානම්ය. ඒ සඳහා වූ සැලැස්මද නිර්මාණය කර අවසානය. එය සප්ත මහ දැක්මකින්ද, පංච මහ සැලැස්මකින්ද යුක්තය. එකී පංචවිධ ක්‍රියාවලිය දැනටමත් ඔබ අතට පත් වී ඇති බවට සැකයක් නැත. එපමණක් නොව යුගයට ගැලපෙන ඉතා අගනා මැතිවරණ තේමා පාඨයක්ද මේ වන විට නිර්මාණය වී අවසන්ය.‘මෛත්‍රීට රන් අගයක් – රනිල් සමඟ රන් යුගයක්‘ නම් වූ එකී තේමාව මා මෙම ලිපියෙහි මාතෘකාව ලෙසද යොදා ඇත.ඒ එකී තේමා පාඨය පිළිබඳව තවදුරටත් යමක් කිවයුතු නිසාය. ‘මහින්ද සමඟ නැඟිටිමු‘ වශයෙන් යෙදූ රාජපක්ෂ කණ්ඩායමේ පළමු තේමාව, පසුව ඔවුන් විසින්ම අත්හැර දමන ලද්දේ මින්මතු කුමන තත්වයක් යටතේවත් මහින්ද රාජපක්ෂ යළි නැගිටවිය නොහැකි තරමට ඇද වැටී අවසන් බව ඔවුන්ට හොඳින්ම තහවුරු වූ පසුවය. රටට පණදීම කෙසේ වෙතත් මහින්දට සේලයින් දී වැඩේ අලුතෙන්ම පටන් ගන්නට ඔවුන් තීරණය කළේ ඒ අනුවය. ඊට උචිත පරිදි ඔවුන් තම තේමා පාඨයද වෙනස් කළේය. එහෙත් එජාප තේමා පාඨය ඊට වෙනස්ය. එය වත්මන් යහපාලන විප්ලවයට උර දුන් ඒ මහා ජනපවුර සිහිගන් වන්නේය. ජනවාරි 8 වෙනිදා ආරම්භ වී අගෝස්තු 17 වෙනිදා සම්පූර්ණ වන යහපාලන විප්ලවය මේ රටේ ජනතාවට ‘රන් යුගයක්‘ උදා කර දෙන බවට සහතික වන්නේය. ඊට දායක වූ පිරිස අනන්තය. අප්‍රමාණය. එහි ප්‍රධානම චරිත දෙක වන්නේ මෛත්‍රී සහ රනිල්ය. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය අද මුළු රටම පිළිගෙන ඇත.

මෛත්‍රී – රනිල් දෙපළ යනු අභිනව අභියෝගාත්මක යහපාලන යුගයේ ප්‍රධාන නියමුවන් දෙදෙනාය. යුග පුරුෂයන් දෙදෙනාය. සාමාන්‍යයෙන් මැතිවරණ තේමාවන් සඳහා පුද්ගල නාම භාවිතා නොකළද මෙහි විශේෂත්වයක් ඇත. එදා මෙකී යහපාලන විප්ලවයේ ප්‍රධාන නියමුවන් වූ මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන එකී යුග පුරුෂයන් දෙදෙනා විසින් එකී යහපාලනය වෙනුවෙන්ම තවදුරටත් තමන් ඇප වන බවද කැප වන බවද ජනතාව හමුවේ ශපත කළ යුතුය. එසේම ගෞරවනීය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නමින් නම්කළ යුතු මෙහි නම් වශයෙන් සඳහන් කළහොත් අනිවාර්යෙන්ම කීපයක් මඟහැරෙන තරම් සංඛ්‍යාවක් වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති රාශියකින් සමන්විත ඒ මහා ජන පවුර වෙනුවෙන්ද ඔවුන් දෙදෙනා ඇප විය යුතුය.

සත්‍ය වශයෙන්ම එකී යහපාලන යුගය රටේද ජනතාවගේද සමස්ත ජාතියේද ස්වර්ණමය යුගය හෙවත් ‘රන් යුගය‘ වනවාට කිසිදු සැකයක් නැත. එහෙයින් එම තේමා පාඨයේ හරය වඩාත් යථාර්තයට ළංවී ඇති බවට විවාදයක් නැත. ඒ තුළින් අප සැවොම එක්ව ලෝකයටම විශිෂ්ට වූ ශිෂ්ට ශ්‍රී ලංකාවක් තැනීම එහි මුඛ්‍ය පරමාර්ථය බවට පත්කර ගැනීම අපගේ යුතුකමය. වගකීමය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.