26 October, 2020

Blog

ක‍්‍රිමියාව නිසා දෙමළ ඊලාමය වඩාත් පහසු කෙරෙත් ද?

කුමාර් ඬේවිඞ්

මහාචාර්ය කුමාර් ඬේවිඞ්

මහාචාර්ය කුමාර් ඬේවිඞ්

මෙවැනි මාතෘකාවක් ගැන කතා කරන හැම විටකම, ස්වයං-නිර්ණ අයිතිය යන්න අර්ථකථනය කිරීමට සිදුවන්නේය. එය ඉතා නීරස කර්තව්‍යයක් වුවත්, නැවත නැවතත් එය පැහැදිළි කිරීමට සිදුවෙයි. මන්ද යත්, ඒ ගැන සාමාන්‍යයෙන් පවතින දුර්මත නිසා ය. සරළම අරටුවෙන් ගත් විට එහි අදහස මෙවැන්නකි: වෙනම රාජ්‍යයක් බවට පත්විය හැකැ යි ගිනිය හැකි ‘වයි’ නැමැති භූමි භාගයක ජීවත් වන, ‘එක්ස්’ නැමැති එකට ජීවත් වන මිනිස් ප‍්‍රජාවකට, ‘ඩබ්ලිව්’ නැමැති මහා රාජ්‍යයෙන් වෙන් වී, ‘ඉසෙඞ්’ නමින් වන අළුත් රාජ්‍යයක ජීවත් වීමට අවශ්‍ය කරන්නේ නම්, ඔවුන්ට ඊට ඉඩ තිබිය යුතුය. එවැනි ප‍්‍රජාවකට, ‘ඉසෙඞ්’ නැමැති වෙනම රාජ්‍යය බිහි කර ගැනීමට සදාචාරමය සහ දේශපාලනමය අයිතිය ඇත්තේය. මේ ප‍්‍රතිපත්තියට, ඒ හා සමානම වැදගත්කමකින් යුත්, දෙවැනි භාගයක් ද ඇත්තේය: එනම්, මේ ප‍්‍රතිපත්තිය පිළිගන්නා කුමාර් ඬේවිඞ් වන මට, වඩාත් යහපත් වන්නේ කුමක් දැ යි යන මගේ වැටහීම යටතේ, එසේ වෙන්වීමට පක්ෂව හෝ විපක්ෂව, ‘එක්ස්’ නැමැති ප‍්‍රජාව අතරේ කටයුතු කිරීමටත් පරම අයිතියක් ඇති බවයි. කෙසේ වෙතත්, අවසානයේ දී, ඔවුන් ඉල්ලා සිටින්නේ එයින් කුමන පැත්තක් වුවත්, ඔවුන්ට ඊට අවසර තිබිය යුතුය.

දැන් ශ‍්‍රී ලංකාව දෙසට හැරෙමු: ‘එක්ස්’ යනුවෙන් ගැනෙන්නේ දෙමළ ජනතාව නම්, ‘වයි’ නමින් ගැනෙන්නේ උතුරු පළාත සහ මඩකලපුව දිස්ත‍්‍රික්කය නම්, ‘ඉසෙඞ්’ යනුවෙන් ගැනෙන්නේ දෙමළ ඊලාමය හෝ වෙනත් එවැනි ඕනෑම දෙයක් නම්, ‘ඩබ්ලිව්’ යනුවෙන් ගැනෙන්නේ ලංකාව නම්, මට කීමට ඇත්තේ කුමක් ද? මම මෙසේ කියමි: ‘‘ඔව්’’, වෙන් වීමට හෝ වෙන් නොවීමට අයිතිය, ‘එක්ස්’ නැමැති ඔබට ඇත. එහෙත්, මේ අවස්ථාවේ පවතින සමාජ, ආර්ථික සහ ජාත්‍යන්තර වශයෙන් අදාළ සාධක සැලකිල්ලට ගැනීමේ දී, මගේ අදහසේ හැටියට, ‘එක්ස්’ නැමැති ඔබ වෙන් වීමට තීරණය කළොත්, ඔබ මෝඩ රැුලක් වන්නේය. එබැවින් එසේ නොකරන්න.

රුසියාවේ රාජ්‍යය ක‍්‍රිමියාව ඈඳා ගත්තේ ඇයි?

රුසියානු රාජ්‍යයට ක‍්‍රිමියාව ඈඳීම කෙරෙහි ක‍්‍රිමියානු ජනතාවගේ ස්වයං-නිර්ණ අයිතිය සාධකයක් වෙතත්, වඩාත් වැදගත් හේතුව එය නොවන බව මට සහතික ය. එහි දී වඩාත් වැදගත් හේතුව වුණේ, රුසියානු රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ කාරණයයි. පුටින්ගේ මේ හදිසි තීරණය, බැලූ බැල්මට සාධාරණ යැයි සිතෙන රුසියාවේ ආරක්ෂාව පරදුවට වැටී ඇති බවට වන විශ්වාසයට, ප‍්‍රතිචාරයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්දයකින් බලයට පත් වික්ටර් යනුකොවිච්ගේ චෞර පාලනය පෙරලා දැමූ මහජන උද්ඝෝෂණ මාලාව, අවසාන මොහොතේ දී (බොහෝ විචාරකයන් කියන පරිදි) ‘‘අතිධාවනකාරී දක්ෂිණාංශික ෆැසිස්ට් බලඇණි’’ මගින් ඩැහැගනු ලැබීම සහ නේටෝ සංවිධානයේ වටලෑම ඉදිරියේ පුටින්ට වෙනත් තේරීමක් තිබුණේ නැත.

රැුස්ව සිටින සෙනගට සැඟවී සිට වෙඩි තබන නට්සිවාදීන් සිටීම, යුදෙව්-විරෝධී ප‍්‍රචණ්ඩත්වයක් පැවතීම, අළුතෙන් පිහිටැවූ ආණ්ඩුව තුළ අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී ස්වොබෝදා පක්ෂය නියෝජනය වීම ආදී සියල්ල මගින් බියකරු පරිසරයක් නිර්මාණය කෙරුණි. බටහිර ඒජන්තයන් ද ඒ අතරේ සිටියේ යැයි කීම මටවත් වෙනත් කෙනෙකුටවත් සනාථ කළ හැකි නොවේ. බටහිර මාධ්‍ය ඒ බව සනාථ කොටවත්, ප‍්‍රතික්ෂේප කොටවත් නැත. එබැවින්, බිම් මට්ටමේ ෆැසිස්ට්වාදීන් සේම, ජරමානු සහ/හෝ ඇමරිකානු රහස්‍ය ඒකක, යනුකොවිච්ව බලයෙන් පෙරලා දැමීම සඳහා සහභාගී වන්ට ඇතැ යි මම සිතමි. දශක දෙකක් තිස්සේම, නේටෝ සංවිධානය සිටියේ රුසියාවට කිට්ටු කරමිනි. නේටේ සංවිධානයේ සාමාජික රටක් බවට යුක්රේනය පත්වීමට ඇති ඉඩකඩ සහ රුසියානු දේශසීමාවේ මිසයිල රඳවා තැබීමට ඇති ඉඩකඩ, රුසියාව සම්බන්ධයෙන් ගත් විට ඉවසිය නොහැකි ප‍්‍රකෝපකාරීත්වයකි. කොටින්ම, බටහිර සිටියේ රුසියාව බිත්තියට හේත්තු කරමිනි. පුටින් මදාවියෙකු වශයෙන් යමෙකු හැඳින්විය හැකි වෙතත්, මේ තත්වයට එරෙහිව නැගී සිටීමට තරම් ඔහුට හයිය තිබුණි. ඔහුගේ ප‍්‍රතික‍්‍රියාව, රුසියානු ආරක්ෂාව අර්බුදයට වැටී ඇති බවට වන හැඟීමක ප‍්‍රතිඵලයකි. මේ කරුණු කිසිවක්, හිටපු කේ.ජී.බී. ඔත්තුකාරයෙකු වන පුටින්ගේ අත්තනෝමතික පාලනයට සුදු හුණු ගෑමක් වශයෙන් නොගත යුතුය. සිංහාසනයක් වට කරගෙන සිටින සොරදෙටුවෙකු වෙනුවෙන් කරන හේතු දැක්වීමක් වශයෙන් ද නොගත යුතුය.

මේ ලිපියේ ප‍්‍රස්තුතය වන, දෙමළ ඊලාමය පිළිබඳ කතාවට ක‍්‍රිමියාවේ ඇති අදාළත්වය සම්බන්ධයෙන් මගේ තර්කය වන්නේ, ක‍්‍රිමියාවේ ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ මතවාදය මේ ප‍්‍රශ්නයේ දී හුදෙක් ආන්තික වැදගත්කමක් ඇති කාරණයක් පමණක් වූ බව ය.

ක‍්‍රිමියානු ජනතාවට රුසියාව සමග එකතු වීමට අවශ්‍ය විණි ද?

එය වෙනම ප‍්‍රශ්නයකි: ජනමත විචාරණයේ දී එහි සිටි ජාත්‍යන්තර නිරීක්ෂකයන් මැතිවරණ වංචා පිළිබඳ සඳහනක් කර නොමැත. සියයට 95 ක් පමණ, රුසියාව සමග එක් වීමට කැමැත්ත ප‍්‍රකාශ කළහ. ඡුන්දය පාවිච්චි කළ මුළු ප‍්‍රමාණය සියයට 80 කට වැඩි ය. ඒ අනුව, මුළු ජනගහනයෙන් සියයට 75 ක පමණ ප‍්‍රමාණයක් රුසියාව සමග එක් වීමට කැමති බව අනුමාන කළ හැකිය. ක‍්‍රිමියාවේ ජීවත් වන යුක්රේනියානු සහ ටාටාර් සුළුතර ප‍්‍රජාවෙන් කොටසක් මේ ජනමත විචාරණය වර්ජනය කළ බව සැබෑ ය. එසේම රුසියානු හමුදා ඒ අවස්ථාවේ එහි රැුඳී සිටීම නිසා බොහෝ දෙනා ඔවුන්ගේ පැත්තට වැඩියෙන් බර වන්නටත් ඇත. හදිසියේ කැඳවූ ජනමත විචාරණයක් නිසාත්, ඊට පෙරාතුව ඒ පිළිබඳ සංවාදයකට ඉඩක් නොතිබුණු නිසාත්, ප‍්‍රතිඵලය කෙරෙහි යම් අගතියක් සිදු වන්නට පිළිවන. කරුණු එසේ වෙතත්, මේ සියලූ අඩුපාඩුකම් රහිත ජනමත විචාරණයක් තිබ්බත්, සෑහෙන බහුතරයක් යුක්රේනයෙන් වෙන්ව රුසියාව සමග එක් වීමට කැමැත්ත ප‍්‍රකාශ කරනු ඇතැ යි කෙනෙකුට සාධාරණව සිතාගත හැකිය.

කෙසේ වෙතත්, මේ ප‍්‍රතිඵලය ගැන ඇතැම් බටහිර නායකයන් ප‍්‍රශ්න කරන නිසා, ජනමත විචාරණයට කලින් පැවති ඇතැම් අදහස් සංගනනයන් කිහිපයක් සැළකිල්ලට ගැනීම වටී. ක‍්‍රිමියානුවන්ගෙන් සියයට 70 ක් රුසියාව සමග එක් වීම සඳහා ඡුන්දය පාවිච්චි කිරීමට සූදානමින් සිටි බව, ජරමානු ‘ජී.එෆ්.කේ’ කණ්ඩායම ඔවුන්ගේ සංගණනයන් මගින් පෙන්වා දෙයි. එහි දී, යුක්රේනය සමග සිටීමට කැමැත්ත ප‍්‍රකාශ කොට ඇත්තේ සියයට 11 කි. ‘යුරෝපීය ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය’ පැවැත්වූ සංගණනයකට අනුව, සියයට 80 ක් රුසියාවට එක් වීමට කැමැත්ත පළ කොට ඇත. ක‍්‍රිමියාවේ ‘දේශපාලන සහ සමාජ පර්යේෂණ ආයතනයට’ අනුව එම ප‍්‍රමාණය සියයට 77 කි. 2008 දී ‘රසුම්කෝව් මධ්‍යස්ථානය’ මගින් පැවැත්වූ අදහස් සංගණනයකට අනුව එම පිරිස සියයට 64 කි. ඒ නිසා, මට පෙනෙන හැටියට, තීන්දුව ඉතා පැහැදිළි ය: ක‍්‍රිමියානු ජනතාව එම එක්වීමට එකඟ වෙත්.

ශ‍්‍රී ලංකාවට එහි ඇති අදාළත්වය කුමක් ද?

ඉතා සරළ කාරණය වන්නේ, රුසියාව සමග එක් වීමට ක‍්‍රිමියානු ජනතාව තුළ තිබූ කැමැත්තට මෙහි දී ලැබෙන්නේ දෙවැනි පෙළේ වැදගත් කමක් පමණක් වන නිසා, පරණ එල්.ටී.ටී.ඊ. කොටස් සහ දෙමළ ඊලාම් උද්ඝෝෂකයන් උඩ දමන ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ ප‍්‍රවාදය, ක‍්‍රිමියානු අත්දැකීම හරහා සනාථ කෙරෙන්නේවත් නිෂ්ප‍්‍රභා කෙරෙන්නේවත් නැති බවයි. රුසියාවේ සහ ක‍්‍රිමියාවේ සහසම්බන්ධතාවට ප‍්‍රතිපක්ෂව, අනිත් පැත්තෙන්, ඉන්දියාවටවත්, තමිල්නාඩු ප‍්‍රාන්තයටවත් ලංකාවේ උතුරු පළාත තමන්ට ඈඳා ගැනීමේ හිසරදයක් බෝ කර ගැනීමට අවශ්‍යතාවක් නැත. ඉන්දියානු සාගරය තුළ ඉන්දු-ඇමරිකානු බලයට උපායමාර්ගික තර්ජනයක් ඇත්තේ ද නැත. ඒ නිසා, රුසියානු-ක‍්‍රිමියා සමීකරණයට වඩා ජාත්‍යන්තර තුලනය ලංකාව සම්බන්ධයෙන් වෙනස් ය.

දැනට ලංකාවේ දෙමළ ජනතාවට ඇති හොඳම විකල්පය වන්නේ, 13 වැනි සංශෝධනය රාජපක්ෂලා ලවා බලගන්වා ගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමත්, විග්නේෂ්වරන්ට සහ උතුරු පළාත් සභා පරිපාලනයට උපරිම බලය ලබා ගැනීමට සටන් කිරීමත් ය. මේ ජාතිවාදී චෞර පාලනයෙන් එවැන්නක් කර ගැනීම පවා සෑහෙන සටනක් වන්නකි.

*2014 මාර්තු 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Does Crimea Make Thamil Eelam More Likely? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.