Colombo Telegraph

අධ්‍යාපනයේ කතා නොවන විනාශය

කුසල් පෙරේරා –

කුසල් පෙරේරා

අනුරාධපුර නිවන්තකචේතිය විදුහලේ 13 වසර සිසුවකු විදුහල්පතිට පහර දුන් බවට ප‍්‍රවෘත්ති වාර්තා වූයේ ආණමඩුව, නවගත්තේගම විදුහලේ ගුරුවරියකට නින්දා අපහාස කරමින් පාසලේදීම එතුමියව දණ ගස්සවා සිය හපන්කම් පෙන් වූ වයඹ පලාත් සභා මන්තී‍්‍රගේ අවලම් කි‍්‍රයාවෙන් සතියක් යන්නටත් කලියෙනි. නිවන්තකචේතිය විදුහලේ සිසු පහර දීමෙන් පසු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු වන සිසුවාගේ පියා වහා පාසලට පැමිණ, විදුහල්පති ගෙන් සහ ගුරු මණ්ඩලයෙන් වැඳ සමාව ගන්නා ලෙස සිය පුතුට අණ කර, විදුහල්පති ගන්නා ඕනෑම තීන්දුවකට තමන් යටත් වන බව ද පවසා ඇතැයි වාර්තා විය. මේ තාත්තලා දෙදෙනකුගේ දෙආකාර ප‍්‍රතිචාරයන් ය.

පාසල් ගුරුවර ගුරුවරියන්, විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් පසු ගිය කාලයේ ඔවැනි අවාසනාවන්ත සිදුවීම් වලට හසු වීම, විරළ නොවුනි. ඇතැම්වා, ස්තී‍්‍ර දූෂණ වැනි ය. වාර්තා කෙරෙන්නේ ද නැත. මේ ආණ්ඩුව දෙවන වර බලයට පැමිණි 2010 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් පසු මේ තත්ත්වය වඩාත් අප‍්‍රසන්න, වඩාත් අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙමින් ඇත. එවැනි මැරකම් වැඩියෙන් වාර්තා වන්නේ ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයින්ගෙනි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට, ඊට වඩා ලොකු වැඩ ඇත. එවන් චෝදනා අති බහුතරය, ආණ්ඩු පක්ෂ දේශපාලන නියෝජිතයින්ට ය.

මෙවැනි කාලකණ්නි දේශපාලනඥයින්ට විරුද්ධව දෙමාපියන් හා ගුරුවරුන් වීදි බසින්නේ කලාතුරකිනි. කලාතුරකින් කිහිප දෙනෙකු සමගින් ලිප්ටන් වට රවුමට එන ගුරු සංගම් නායකයින්ගෙන් කෙරෙන්නේ මාධ්‍ය ප‍්‍රකාශ පමණි. මෙවර ඒ කිසිවකට පෙර, නවගත්තේගම ගුරුවරියගේ දුර කතන අංකය ද වහා සොයා ගත් ජනාධිපති, නීතිය හා සාධාරණය ඉටු කරන බව, ඇයට කතා කර පොරොන්දු විය. රූපවාහිනි කැමරාකරුවෝ එසැණින් ඇගේ නිවසට දුව ගොස්, ඇයට දුන් පොරොන්දු වෙනුවෙන් ඇය ජනාධිපතිව වර්ණනා කරනු, රටටම වාර්තා කළහ. ආණ්ඩුව සිය වයඹ පළාත් සභා මැතිවරණ ප‍්‍රචාරය සඳහා එළෙස මුල් ගල තැබීය. එහෙත් සාමාන්‍යයෙන් එවැනි පොරොන්දු මේ රටේ ඉටු වන්නේ නැත. ලසන්ත ඝාතනය කෙරුනු විට ද, රවිරාජ් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඝාතනය කෙරුනු විට ද, තව බොහෝ ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන්වීම් හා මැරකම් පිළිබඳවද වහා පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙනෙන්නට දුන් පොරොන්දු අපටත් දැන් අමතක ය. එහෙත් මෙදා මැයට ලැබුණු පොරොන්දුවට අනුව අදාල පළාත් සභා මන්තී‍්‍ර අත් අඩංගුවට පත් කෙරුනා පමණක් නොව, ඔහුව පක්ෂයෙන් නෙරැපීමටද තීන්දු කෙරිණ.

එවැනි වහා කි‍්‍රයාත්මක වීමක්, සදාචාර සම්පන්න, නීතිමය පියවර ගැනීමක් මේ ආණ්ඩුව යටතේ මීට පෙර අපි නොදුටුවෙමු. මේ ගුරුවරියට ලැබුණු සාධාරණත්වය, නීතිමය පිළිසරණ සහ පොලිස් ආරක්ෂාව, ගස් බැඳුණු කැළණියේ සමෘද්ධි නිලධාරියාට නිකමට, කතාවට හෝ නොලැබුණි. ඒ නිලධාරියාගේ දුර කතන අංකය සොයා ගෙන ඔහුට කතා කිරීමට තරම් සිතක් එදා ජනාධිපතිට පහළ නොවුනි. තමන්ගේම කැළණිය ප‍්‍රාදේශීය සභා සභිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිට හෝ ආණ්ඩු පක්ෂයට සිය පක්ෂ විනය මතක් නොවුනි. මෙදා වෙනසට හේතුව ? සිද්ධියට හේතු වූ පාසල සහ දෙමාපියන් තව මාස දෙක තුකතින් මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කළ වයඹ පළාත් සභා බල ප‍්‍රදේශයේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ වීම, එකම වෙනසය. සමෘද්ධි නිලධාරියා ගස් බැඳෙන විට මැතිවරණ අහලකවත් නොවුනි. ඊට සම්බන්ධ වූයේද නම ගිය ඇමතියෙකි. මෙදා වයඹ මැතිවරණය අත ළ`ගය. සිද්ධියට අදාල අලගුත්තේරුවා පළාතේ පොඞ්ඩෙකි. එනිසා ආණ්ඩුව නීතිය හා සාධාරණත්වය ඉටු කිරීමේ උපරිම වාසිය ගැනීමට වහා ඉදිරිපත් විය.

මේවා එක පැත්තකින් රටේ අත්තනෝමතික දේශපාලන බලය හරහා පුද්ගලයින් පිරිහී ඇති ප‍්‍රමණය සඳහා සාක්ෂි ය. එහි තවත් පැත්තක්ද ඇත. ගරා වැටෙන දේශපාලනය සමග රටේ අධ්‍යාපනික වටිනාකම් හා ගුරු දෙගුරු වගකීම් අත හැරීමේ ඛේදවාචකය ඒ අනෙක් කතාවයි. එය පාසල තුල බිඳ වැටී ඇති මානුෂික වටිනාකම්, සාදාචාරය, විනය පිළිබඳව කතා නොවන කතාවයි. විශේෂයෙන් ග‍්‍රාමීය සිංහල දේශපාලකයන්ගේ අපවාද, අපහාස සහ අඩන්තේට්ටම් ගැන කතා කිරීමට, ඒවාට ප‍්‍රසිද්ධියේ සාමුහිකව විරුද්ධ වන්නට සිංහල පාසල් ගුරුවර ගුරුවරියන්ට, විදුහල්පතිවරුන්ට, විදුහල්පතිනියන්ට නොහැකිවන බරපතල කාරණා ඇත. ඔවුන් අතර ද සැළකිය යුතු පිරිස් නොයෙකුත් අයථා, අයුතු, අසාධාරණකම් වල ගිලී, ගැලී ඉන්නා පිරිස් ය.

කොළඹ විශේෂ වන අතර, අනෙක් පළාත් වලද ප‍්‍රධාන පෙළේ පාසල් ප‍්‍රධානීහු විවිධ දූෂණ සඳහා චෝදනා ලබන්නා හ. වැඩිමනත් චෝදනා ඇත්තේ ළමුන් ඇතුළත් කිරීමේ දී සිදු කෙරෙන දූෂණ, වංචා සහ ගොඩනැගිලි කොන්තරාත් සම්බන්ධයෙන් වන මුදල් ගැරීම් පිළිබඳව ය. යම් ප‍්‍රමාණයකින් එවැනි දූෂණ වංචා ගැන කතා වෙති. වාර්තා කෙරෙති. එනමුත් පළමු වරට මවගෙන්, ගෙදරින් මිදෙන කුඩා දරුවාගේ දෙවැනි නිවස ලෙසින් විශේෂයෙන් සැළකෙන ප‍්‍රාථමික විදුහල ඒ දරුවාට කෙතරම් යහපත් තැනක් දැයි කතා නොවේ. මේ රටේ ඇති පාසල් 9,700 ක පමණ කෙතරම් ‘‘සිසු හිතවාදී’’ පාසල් ඇතිදැයි කොතැනකවත් කතා වන්නේ නැත. ගුරු සංගම් නායකයෝ ද එවැන්නක් ගැන නොදනිති. දෙමාපියන් පාසලක ඒ පැත්ත සොයන්නේ ද නැත. පාසල් වල හොඳ නරක මැනෙන්නේ, 05 ශිෂ්‍යයත්වයේත් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයේත් සමත් අසමත් ළමුන් සංඛ්‍යාවන් අනුව ය. බොහෝ විට එම ගණන් තීන්දු වන්නේ පාසල නිසාමත් නොවේ. නමුත් කිසි දිනෙක පාසලක විදුහල්පති ගේ සහ ගුරු මණ්ඩලයේ හැසිරීම මත, ඔවුන්ගේ හැසිරීම සහ විනය, පාසලේ ළමුන්ට කෙතරම් යහපත් දැයි යන්න මත, පාසලක හොඳ නරක මැනෙන්නේ නැත. පාසල් එසේ ඇගයිය යුතු යැයි ගුරු සංගම් දන්නේ ද නැත.

මයිලපිටියේ පාසලක සය වසර පංතියට 2011 මැයි මාසයේ දී පිරිමි දරුවකු ඇතුළත් කළ බුලත්කොහුපිටියේ පදිංචි දෙමාපිය යුවලක් නේවාසිකාගාරය බාරව ඉන්නා ගුරුවරයා විසින් තම දරුවා නිරන්තරව ලිංගික අතවරයට පත් කර ඇති බවත් එනිසා ඔහු නේවාසිකාගාරයෙන් පැන ආ බවත් විදුහල්පතිට පැමිණිලි කර ඉන් කිසිවක් නොවූයෙන් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් කළ විට, මෙම සිසුවා අත් ඔරලෝසුවක් සහ රුපියල් 350 ක් සොරා ගෙන ඇතැයි විදුහල්පතිගේ වාචික පැමිණිල්ලක් ඇති බැවින් දරුවා පාසලින් අස්කර ගෙන යන ලෙසට බලකර ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි, නම් ගම් සහ විස්තර සහිතව ඔවුන් වාර්තා කර ඇත.

මෙය හුදු අහඹුවක් නොවේ. පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් කරනු ලැබූ එක් සමීක්ෂණයකට අනුව, මේ රටේ උසාවිවල ඇසෙන නඩු සංඛ්‍යාවෙන් සියයට 25 ක් ළමා අපචාර සම්බන්ධව යැයි කියැවේ. එය ඇඹිලිපිටියේ සියයට 51 ක් වන විට, පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, මහනුවර, කෑගල්ල හරහා අනුරාධපුරයට යන විට සියයට 33.2 කි. මේ අතර, වයස අවුරුදු 47 ක විදුහල්පතිවරයෙකු මාරවිලදී ගැහැණු දරුවන් 05 දෙනෙකුට ලිංගික අතවර කළැයි අත්අඩංගුවට ගෙන තිබිණ. වේයන්ගොඩ ප‍්‍රධාන පාසලක ගුරුවරයෙකු ගැහැණු ළමුන් ලිංගික හිංසනයට පත් කරන්නේ යැයි පැමිණිලි මත මාරු කරනු ලැබිණ. 53 වියැති උප විදුහල්පතිවරයෙකු ඔහුගේ පරිඝණකයෙන් ළමුන්ට අසැබි පිංතූර පෙන්වූයේ යැයිද වයස අවුරුදු 13 සහ 15 ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි ද උඩුදුම්බර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණ. හි`ගුරක්ගොඩ පොලීසිය විසින් වසර 04 ක් පුරා ගැහැණු ළමුන් දෙදෙනකු ලිංගික අතවරයට පත් කර ඇතැයි අධ්‍යාපන නිලධරයෙකු වරක් අත් අඩංගුවට ගනු ලැබී ය. මාදම්පෙ විදුහල්පතිවරයෙකු ද එවැනි චෝදනා මත හලාවත පොලිසියෙන් අඩංගුවට ගනු ලැබිණ. හංවැල්ලේ ශාරීරික අභ්‍යාස ගුරුවරයෙකු කී‍්‍රඩා පුහුණුවට තෝරාගත් ළමුන් 10 කු ලිංගික අතවරයට යෙදවූ බවට අත් අඩංගුවට පත් විය. පසුගිය කාලයේ මාධ්‍යයන්හි විටින් විට එවැනි පුවත් යාන්තමින් වාර්තා විය.

මේ වැනි අවලම් ගුරු චර්යා ප‍්‍රසිද්ධියේ හෙළා දුටු, මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ කිසිදු ගුරු සංගම් නායකයෙකු පසු ගිය කාලයේ අපි මාධ්‍යයෙන් නොදුටුවෙමු. පාසල් අධ්‍යාපනයේ මේ පිරිහීම ගැන ඔවුන් හෝ අධ්‍යාපනයේ වෙනත් කිසිවකු හෝ කතා කරනු අප අසා නැත. ගුරු සේවයේ ඉල්ලීම් ගැන කෙරෙන කතා අතර, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන කෙරෙන කතා අතර, මේ කාරණා ගැන අසන්නට නැත. පාසල තුල සිසු සිසුවියන් විනය කඩනවා මිස, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඒවාට දඩුවම් කරනවා මිස, වෙනත් කිසිදු අවලම් වැඩක් පාසලේ වැඩිහිටියන්ගෙන් පාලකයින්ගෙන් සිදු නොවනවා වැනි ය. එනිසා ‘‘සිසු හිතවාදී’’ පාසල් පවත්වා ගැනීමට, විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ අවලම් වැඩ නවතා ලන්නට සැළසුම්, පිළියම් කතා වන්නේ ද නැත. මෙය පැහැදිලිවම පාසල් ගුරුවරුන් සහ ගුරු සංගම් ද බාර ගත යුතු බරපතල චෝදනාවකි. පාසලක් ‘‘සිසු හිතවාදී’’ පාසලක් බවට පත් කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට හා ආණ්ඩුවට පමණක්ම නොවේය යන්න, ගුරු සංගම් පිළිගත යුතුය. එය විදුහල්පතිටත් ගුරු මණ්ඩලයටත් ගුරු අයිතීන් ගැන කතා කරන ගුරු සංගම් වලටත් පැවරෙන වගකීමකි.

පසු ගිය කාලයේ අධිකරණයේ (අ)කාර්යක්ෂමතාව ගැන සහ නීතිඥයින්ගේ ගසා කෑම් ගැන කතා නොවුනු අධිකරණයේ ස්වාධීනත්වයක් ගැන ගෝසා කෙරිණ. එනිසා ඒ ගෝසාවට හවුල් වන ජනතාවක් නොසිටියහ. එළෙසින්ම පාසලේ විනය ළමුන් පිට සහ දරුවන්ගේ හැදියාව දෙමාපියන් පිට පටවා, ගුරු අයිතීන් ගැන කතා කිරීමට පමණක් දෙමාපියන් ඉදිරිපත් වන්නේ නැත. පාසල සහ දෙගුරුන්, පාසල සහ ග‍්‍රාමීය ප‍්‍රජාව අතර සම්බන්ධය වෙනත් කිසිදු රාජ්‍ය සේවාවක නොමැති සමීප, තුන් ඈඳුතු අන්තර් සම්බන්ධයකි. එනිසා පාසලේ රාජකාරිය වෘත්තියක් ලෙස බාර ගෙන ඉටු කරන ගුරුවරයා ගැන වැදගත්ම මැනීම කෙරෙන්නේ පංති කාමරයේ දී දරුවාගෙන් වන අතර, එය දෙමාපියන්ට සන්නිවේදනය වීම, ඉතා සීඝ‍්‍රයෙන් සිදු වන්නකි. පැරණි ගුරුවරුන් අතර එනිසා පැවති කතාවක් වූයේ, ම.අ.නි පාසලට පැමිණ ගුරුවරයා ගැන ලොග් පොතෙහි තබන ඇගයුමේ කොතරම් ගුණ ගයා තිබුණත්, පංතියේ ඉගෙන ගන්නා දරුවා එහි තනුව අගේට දන්නා බව ය. අදටත් එහි වෙනසක් නැත. අද ඇත්තේ ඒ සම්බන්ධයෙන් සමාජ ප‍්‍රතිචාරයේ ඇති වෙනසකි. අද ඒ මත දෙමාපියෝ පාසල ගැන ඇති විශ්වාසය අවම කර ගෙන, බාහිර ඉගැන්වීම් ගැන වැඩි විශ්වාසයක් තබති. එනිසාම, පාසලේ සිදු වන බොහෝ දේ ගැන ඔවුන් උනන්දු වන්නේ, ඉන් තම දරුවාට වාසියක් ඇතැයි සිතන තරමට ය. දෙමාපියන් ද මේ පිරිහුණු සමාජයේම පංගුකාරයින් වන හෙයිනි.

එහෙත් එවැනි පැහැදිලි කිරීම් මත, ගුරු සංගම් වලට සහ ඒවායේ නායකයින්ට ‘‘සිසු හිතවාදී’’ පාසල් ගැන කතා කිරීමේ වගකීමෙන් ඉවත් විය නොහැක. අතවරයට පත් වන ගුරුවරුන්ට වන්දි ඉල්ලා, වගකීම සම්පූර්ණ කිරීමට ද නොහැක. එසේ නම්, අතවරයට පත් වන ළමුන්ටත් වන්දි ගෙවා කතාව හමාර කළ හැක. වන්දි ඉල්ලීම ඒ මොහොතට උත්තරයක් මිස ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොවේ. පාසලත් ගුරු සේවයත් සාමාන්‍ය රජයේ සේවාවකට වඩා දුර අනාගතයට දිවෙන ජීවිතයක් යැයි, ලංකා ගුරු සංගමයේ ආරම්භකයෙකු වූ සහ 80 දසකය තෙක් එහි ප‍්‍රධාන ලේකම් සහ සභාපති ධුර දැරූ එච්.එන්. ප‍්‍රනාන්දු නුවරඑළියේ දිස්ති‍්‍රක් සම්මේලනයට පැමිණ, වරක් ගුරුවරුන් අමතා කී කතාවකි. එකල ගුරු සංගමයේ සාමාජිකත්වය පාසලේ ‘‘අයිස් පප්පලාට’’ ලබා නොදුන්නේ ය. අයිතිවාසිකම් ගැන කතා කිරීමේ අයිතිය ඇත්තේ පාසලේ රාජකාරි හරියට කරන ගුරුවරුන්ට පමණකැයි එදා පොදු පිළිගැනීමක් ගුරු සංගම් අතර තිබිණ. එහෙත් එදා, 80 දසකය වන විට එක් ලක්ෂ විසි දහසක් (1,20,000) පමණ වූ ගුරු සංඛ්‍යාවෙන් 80 දහසක් පමණ (සියයට 70 ට ආසන්නව), ප‍්‍රධාන ගුරු සංගම් වූ ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමයේ, ලංකා ගුරු සංගමයේ, ශී‍්‍ර ලංකා එක්සත් ගුරු සංගමයේ, ශී‍්‍ර ලංකා නිදහස් අධ්‍යාපන සේවක සංගමයේ සහ උපාධිධාරි ගුරු සංගමයේ සාමාජිකත්වය ගෙන පඩි පතින් සාමාජික මුදල ගෙවූහ. ඒ හයිය නිසාම, පාසලක විදුහල්පති හෝ ගුරු භවතකුගේ ගේ ඕනෑම අකටයුත්තක් අයුත්තක් හෙළිදරව් කිරීමේ සහ පරීක්ෂණ ඉල්ලා සිටීමේ සම්ප‍්‍රදායක් එදා ගොඩ නැගී තිබිණ.

අද කිසිදු ගුරු සංගමයක එවැනි සම්ප‍්‍රදායක් නැත. එනිසාම, පාසලක විනය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු බලපෑමක් කරන්නට ද නොහැක. ජනතාවගේ පරමාධිපත්‍ය ආණ්ඩු පාලනයේ දී ආරක්ෂා කෙරෙන්නේ ද නැතිද යන්න වගකීමකින් යුතුව නිරීක්ෂණය කිරීමේත් අවශ්‍ය විටෙක වගකීමකින් යුතුව අදාල කාරණා සාකච්ඡා කිරීමේත්, හෙළිදරව් කිරීමේත් වගකීම පැවරෙන සිවු වන ආණ්ඩුව සේ සැළකෙන ජන මාධ්‍ය වැනි තෙවැනි වගකීමක් පාසල් අධ්‍යාපනයේ දී ගුරු සංගම් සතු වන්නේ ය. 80 දසකය පමණ වන තෙක් ගුරු සංගම් විසින් බාර ගෙන තිබූ ඒ වගකීම අද ඉන්නා අ`ගුටු මිට්ටන් අත හැර දමා තිබීමත් මේ ගොනු වන ඛේදවාචකයේ එක් ප‍්‍රධාන සාධකයකි. එබැවින් එවැනි කාරණාද අතුලූ වූ පාසල් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගැන කතාව අලූතින් ආරම්භ විය යුත්තකි.

Back to Home page