20 April, 2024

Blog

ලෝකෙන් උතුම් රටේ අපි වැදගත්තු

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘මේ රට කොයි තරම් පිරිහිලා ද, කොයි තරම් ම්ලේච්ඡ ද කියලා දැන ගන්න පු`ඵවන් උදේට ගුවන් විදුලිය ඇහුවම. ?ට අයි.ටී.එන් බැලූවම.’’ – ගාමිණි වියන්ගොඩ – 2013 ජූලි 17 වන දින පුවත් පත් සාකච්ඡාවේ දී

‘‘යුද්ධය ඉවරයි. රට සාමාන්‍ය තත්ත්වයකට එන්න ඕන කාලෙ පැනලා. මට තේරෙන්නෙ නැහැ, මේ රටේ මොනවද වෙන්නෙ කියලා. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීමෙන් වෙන්නේ නිවටයන්ගේ සහ බියසුල්ලන්ගේ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් බිහිවීම පමණයි. නිවටයන්ගේ සහ බියසුල්ලන්ගේ සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් අපට අවශ්‍ය නැහැ.’’  – වික්ටර් අයිවන් – 2013 ජූලි 17 වන දින පුවත් පත් සාකච්ඡාවේ දී

මේ කතා කරන්නේ අත්දැකීම් බහුල, විද්වත් දෙපළකි. ඔවුන් ඉතා පැහැදිලිව කතා කරන්නේ දකුණේ සිංහල සමාජය ගැන ය. මේ පිරිහීම, මේ ම්ලේච්ඡුත්වය, මේ නිවටයන්ගේ සහ බියසුල්ලන්ගේ සමාජය, දකුණේ සිංහල සමාජය ගැන කතාව ය. අප දැන් බොහෝ විට ‘‘රට, සමාජය, ජනතාව’’ යැයි අවිඥාණකව වුව කරන සඳහන් හැම විටම මෙන් දකුණේ සිංහල සමාජයට සීමා වූ සඳහන් කිරීම් ය.

‘‘විග්නේස්වරන් ගේ අදහසට අනුව, උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයට වඩාත් ගැලපෙන්නේ මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර වැනි අයෙක් ය.’’ – 2013 ජූලි 21 ටයිම්ස් පුවත් පතේ I am not a politician, I only want to serve my suffering people  නම් නාමිණි විජේදාස ගේ ලිපියෙන්

‘‘විග්නේස්වරන් යනු තමන්ගේ නියෝජිතයා ලෙස සියලූම දෙමළ මිනිසුන්ට ආඩම්බර විය හැකි අපේක්ෂකයෙකි. එළෙසින්ම, කවර ආගමක, කවර වාර්ගිකත්වයක වූවත් බොහෝ ශී‍්‍ර ලාංකිකයින්ට ආඩම්බර විය හැකි මහ ඇමතිවරයෙකු ද විය හැක.’’ – දයාන් ජයතිලක –  The Wigneswaran Factor: Sampanthan’s Master-Stroke ලිපියෙන්

විග්නේස්වරන් පාදක කෙරුනු ඒ කතා, දෙමළ සමාජය ගැන කෙරෙන සඳහන් කිරීම් ය. එනිසා ඉහත සියලූ උදෘත ද ගත් විට, ඒවා උතුර – දකුණ පිළිබඳ පැහැදිලි වෙනසක් කියැවෙන උදෘතයන් බවට පත් වේ. එයට එකතු කළ හැකි ආසන්නම කතාව විය හැක්කේ ආණමඩුව නවෝද්‍යා පාසලක ගුරුවරියකට අවමන් කරමින් ඇයව දණ ගැස්සවූ වයඹ පළාත් සභා මන්තී‍්‍රවරයාගේ කතාව ය. ඔහුව වහා පක්ෂයෙන් ද නෙරපා දමන බවට පොරොන්දු, පසු දිනම වාර්තා විය. එනිසා ඔහුගේ ප‍්‍රසිද්ධ දේශපාලනය එතැනින් අහවර යැයි රටම සිතුහ. එනමුත් මසක් ඇවෑමෙන් ඔහු එළැඹෙන පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නැවත නාම යෝජනා ලැබීමට සුදුසුකම් ලැබී ය. තමන්ට නාම යෝජනා ලබා දෙන්නේ ගුරුවරුන් නොවේ යැයි කීමට තරම් ඔහු එඩිතර විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා කමිටුවේ එක් සාමාජිකයෙකු වූයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතා ය. මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි, ඔහු සිය කාර්ය ඉටු කිරීමෙන් පසු, අපරාධකාරයින්ට තම මනාප නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මෙවරත් අපරාධකරුවන් නාම යෝජනා ලබන බව ෆවුසි ඇමති ඉන් සනාථ කරන්නේ ය. ඒ අතර, පක්ෂ සාමාජිකත්වය තහනම් කර, ආසන සංවිධායක ධුර වලින් ද ඉවත් කර ඇති මන්තී‍්‍රවරුන් වන රංගෙ බන්ඩාරව සහ අසෝක අබේසිංහව නැවත පක්ෂයේ තුරුලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන බවත් වාර්තා විය. ඒ දෙපළද ඒ ගැන කතා කිරීමට වික‍්‍රමසිංහ නායක තුමා හමු වන්නට සූදානම් බවත් වාර්තා විය. විපක්ෂ ඡන්ද එකතු කර ගෙන ඉල්ලා අස් වී හෝ නොවී වැට පනින මන්තී‍්‍රවරුන් ජනාධිපති ගේ අත ශක්තිමත් කරන්නට යන්නේ යැයි කියූවත් ඇත්තටම යන්නේ මේ අපරාධ ගහණ සමාජය නඩත්තු කිරීමේ හවුලට ය.

දකුණේ සිංහල සමාජයේ ජාතික දේශපාලනය සහ උතුරේ දෙමළ දේශපාලනය අතර ඇති මේ වෙනස කුමක් ද ? උතුරේ දෙමළ දේශපාලනය ඉතා ගෞරවනීය, සාදාචාර සම්පන්න, බුද්ධිමතුන් සොයා යන අතර, දකුණේ දේශපාලනය, රටම හදන්නට කතා කරන දේශපාලනය, අපතයින්, අමනයින්, අපරාධකාරයින් සමග නතර වී ඇතැයි නොසිතෙන්නේ ද ?

ආධිපත්‍යධාරී සිංහල දේශපාලනයට දෙවරක්ම මුහුණ දෙන්නට සිදුවූ කුරිරු, ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය, උතුරේ සහ සැළකිය යුතු තරමින් නැගෙනහිර ජනතාව, අවුරුදු 30 ක පමණ කාලයක් පුරා අතිශය අමානුෂික අත්දැකීම් සමගින් විඳ ගත්තේ ය. ඒ කාලයේ දකුණේ සිංහල දේශපාලනයට තිබූ රාජ්‍ය බලයේ පිටිවහල, බලය, දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට නොතිබුණු හෙයින්, ඔවුන්ට ඉතිරි වූයේ තේරීම් දෙකකි. එකක් ආනන්දසංගරී ගේ තේරීම ය. අනෙක සම්පන්තන් ඇතුලූ ඉතිරි මන්තී‍්‍රවරුන් කළ තෙරීම ය. මේ අතර, ඉන්දීය සාම සාධක හමුදාව පැමිණීමත් සමග ආනන්දසංගරීගේ තේරීම ඊට බොහෝ කලෙකට පෙර තෝරා ගත් සන්නද්ධ කණ්ඩායම් ද ඇත. ඩග්ලස් දේවානන්ද, සිද්ධාර්තන්, සුරේශ් පේ‍්‍රමචන්ද්‍රන් එවැනි සන්නද්ධ කණ්ඩායම් නායකයින් ය. ඔවුන්ගෙන් දේවානන්ද හැර අනෙකුත් අය, රාජ්‍ය අනුග‍්‍රහයෙන් යම් පමණකට බේරී, දැන් දෙමළ ජාතික සන්ධානය හා දේශපාලනයේ නිරත වෙති. ඒ කතාව කෙටි කළහොත්, දෙමළ දේශපාලනයේ දී ජීවිත බේරා ගැනීමට එක්කෝ එල්.ටී.ටී.ඊයට අවනත වන්නට සිදු විය. නැතිනම් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොළඹ සිංහල ආණ්ඩුවට හවුල්විය යුතු විය. මේ දෙකෙන් කවර තීන්දුවක් ගත්ත ද ඒ එකකින් වත් දෙමළ ජනතාවට අවශ්‍ය වූ නිදහස, සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, බලාපොරොත්තු සහගත අනාගතය, නොලැබුණි. ඒ සමග ඉතිහාසයේ එක් යුගයක් ද අවසන් විය. යුධ ජයග‍්‍රහණය ලෙස ආණ්ඩුවත් දකුණේ සිංහල දේශපාලනයත් කිරි බත් කෑවේ, රතිඤ්ඤා පත්තු කළේ පෙළපාලි ගියේ, ඒ යුග කෙළවර ය.

කිරි බත් රතිඤ්ඤා ඉවර වූ පසු දකුණේ එතැනින් මෙහා කතාව, යුද්ධයෙන් පසු කතාව, හිරිගඩු පිපෙන කතාවකි. දිනපතා මෙන් පුවත් පත් පිටු වල විවිධාකාර අපරාධ ගැන ප‍්‍රවෘත්ති කෙළවරක් නැත. මුදල් වංචා, කප්පම් ගැනීම්, මරණ තර්ජන, පැහැර ගෙන යාම්, පහර දීම්, ළමා අපචාර, හිංසන සහ වධ දීම්, ස්තී‍්‍ර දූෂණ, ගිණි තැබීම්, මිනිස් ඝාතන, සිය දිවි නසා ගැනීම් පිළිබඳ දෛනික පුවත්, කෑම වට්ටෝරුවේ පරිප්පු වැනි ය. හැම අපරාධයකම වාගේ ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙකුගේ නැති නම්, ප‍්‍රාදේශීය සභාපතිවරුන්, උප සභාපතිවරුන්, මන්තී‍්‍රවරුන් ගේ නම් ද සඳහන් වන්නේ ය. දකුණේ දේශපාලන නායකයින් බුද්ධිමත්, අවංක, ගුණ ගරුක පුද්ගලයින් හා කිසිදු ගනුදෙනුවක් නැති වගට ඒ හොඳම සාක්ෂි ය. දකුණේ අප, අද පැමිණ ඇත්තේ එවැනි අති බාල සමාජ පැවැත්මකට ය.

මේ දේශපාලන හැදියාවේ කෙළවරක් පේන තෙක් මානයේ නැත. ව්‍යවස්ථාපිත නියෝජන සභා සඳහා වන මැතිවරණ වලට මින් පසුව වූවත් දකුණේ නාම යෝජනා දෙනු ඇත්තේ එවැනිම පිරිසකි. එසේ වන්නේ පක්ෂ නායකයින් තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස තෝරා ගන්නේ එවැනි අපතයින් නිසා ය. ජනතාවගේ පැත්තෙන් ද, බහුතරයකගේ තේරීම ඇත්තේ ‘‘හයිකාරකම’’ අනුව ය. අපේක්ෂකයෙකු දේශපාලන බලයේ කෙතරම් ඉහළ ද, නැතිනම් ඉහළම බලය සමග කෙතරම් සමීප ද යන්නත්, යාන වාහන සමග විසි කරන්නට තරම් මුදල් කන්දරාවක් ඇති ද යන්නත් මනාප ඡුන්ද ළකුණු කිරීමේ දී ඉතා වැදගත් කාරණාවන් ය. වෙන කිසිවක් නැතත් හයිකාරකම් සහ කුඩු විකුණා හෝ හම්බ කරගත් මුදල් ඇති එවැනි පුද්ගලයින්ට යු.ඇන්.පී ඡුන්දදායකයින් ද පක්ෂ මාරු කළ පසු ශී‍්‍රලනිප ඡුන්දදායකයින් ද තොග පිටින් මනාප ගසති. මෙය හුදෙක් දකුණේ දේශපාලන නායකයින්ගේ සහ ඡුන්දදායකයින්ගේ ප‍්‍රශ්නයක් පමණක් ද ?

ඇත්තෙන්ම එය දකුණේ ප‍්‍රශ්නයකි. දකුණට පැමිණි විට එය සිංහල සමාජයට පමණක් සීමා වන්නක්ම නොවේ. දකුණේ දී එය මුස්ලිම් ජනතාවගේද ප‍්‍රශ්නයකි. එහෙත් ඊට හේතු වන්නේ කවරක් දැයි අප කතා නොකරන්නකි. හයිය තියෙන, සල්ලි තියෙන අය දේශපාලනයට පැමිණීමත් අපව පාලනය කිරීමට එවැනි අය පත් කර ගැනීමත් අද මේ සමාජය පිළිගත්තකි. එනිසා එය සාමාන්‍ය ජීවිතයේ තවත් එක් ලක්ෂණයක් බවට පත්ව ඇත. ඒ ගැන කතා නොකරන්නේ එබැවිනි. ඕනෑම සමාජ මතයක් හැදෙන්නේත්, ඒවා තහවුරු කෙරෙන්නේත් සාධක ගණනාවක් මත ය. නාගරික මැද පංතිය සමාජ මත තහවුරු කිරීමේ ප‍්‍රමුඛයින් ය. උගත් බුද්ධිමත් වෘත්තිකයින් මේ සමාජ මැද පංතියේ ඉතා ප‍්‍රබල සාධකයක් වීම, ඊට හේතුව ය. රුසියානු කම්කරු පංතිය රාජ්‍ය බලය ගත යුතු යැයි යන විප්ලවීය මතයත් බොල්ෂෙවික් පක්ෂය හැදීමත් රුසියානු කම්කරුවන්ගේ අදහසක් නොවීය. එය ලෙනින්, කමනෙව්, සිනෙවීව්, ට්‍රොට්ස්කි වැනි නගරයේ හැදුනු බුද්ධිමතුන් ගේ අදහසක් විය. ඔවුන්ට ඒ සඳහා විප්ලවීය දර්ශනය සැපයූවේ ද කම්කරුවන් නොවේ. මාක්ස් නම් සාමාන්‍ය ජර්මානු මැද පංතිකයෙකු සමග ධනපති එංගල්ස් ය. මේ රටේ කම්කරු පංති ව්‍යාපාරය නගරයේ මැද පංතික ගුණසිංහගෙන් ආරම්භ වූ අතර, මෙරටට මාක්ස්වාදී දේශපාලන මත රැගෙන එන්නේත් නාගරීකරණය වූ මැද පංතියේ ෆිලිප්, ඇන්.ඇම්., කොල්වින්, ලෙස්ලි, වික‍්‍රමසිංහ, කේනමන් වැනි තරුණ පිරිස් ය.

අදටත් එය එසේම ය. අදටත් මේ රටේ සියලූ මත නිෂ්පාදනය කෙරෙන්නේ නගරයේ මැද පංතික විද්වතුන්ගෙන් සහ බුද්ධිමතුන් ගෙනි. ප‍්‍රශ්නය වී ඇත්තේ ඔවුන් එළෙස ගොඩ නගන මත කවරක් ද යන්නයි. සමාජයේ ගුණ දොස්, හරි වැරදි ගැන ඔවුන් කෙතරම් කතා කරන්නේ ද, ඒවා නිවැරදි කර ගැනීම වෙනුවෙන් ඔවුන් කෙතරම් මැදිහත් වන්නේ ද යන්න එනිසා අතිශය වැදගත් ය. මේ නරා වලේ වැටෙන දේශපාලනය ඉන් ගලවා සුද්ද පවිත‍්‍ර කර ගැනීමට ඔවුන් කතා නොකිරීම, සමාජයේ මේ පරිහානියට හේතු වන මූලික කාරණාවකි.

ඕනෑම අමාත්‍යාංශයක ලේකම් හා ගණකාධිකාරී හවුල් නොවන්නේ නම්, ඇමතිවරයාට සොරකම් කළ නොහැක. සැබෑව එය ය. ලේකම්වරුන් ගේ කල්කිරියාව තීන්දු කළ හැක්කේ ඔවුන්ගේ සංවිධාන තම සාමාජිකයින්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් පමණි. එහෙත් මේ රටේ එසේ වන්නේ නැත. සංවිධාන වල තනතුරු වලට පැන ගන්නේත් දේශපාලනඥයින් හා ගනු දෙනු කිරීමට එය වරප‍්‍රසාදයක් ලෙස සැළකෙන හෙයිනි. එනිසා රටේ ඉහළම රාජ්‍ය සේවාවේ ඒ වගකීම ඉටු වන්නේ නැත. එළෙසින්ම, වරලත් ගණකාධිකාරීන්ගේ ස්වාධීනත්වය සහ වෘත්තීය ගරුත්වය රැුකීමට බැඳී සිටින ශී‍්‍ර ලංතාවේ වරලත් ගණකාධිකාරීන්ගේ සංගමය, ඔවුන්ගේ සාමාජිතයින් ගේ වෘත්තීමය ජීවිතයේ කිසිදු දූෂණයක් ප‍්‍රශ්න නොකරන්නේ ය. අවශ්‍ය නම්, දූෂිත යැයි ඔප්පු කෙරෙන්නන්ගේ වෘත්තීය බලපත‍්‍රය අහෝසි කර ඔවුන් කලූ ලේඛනගත කිරීමේ බලයත් වරලත් ගණකාධිකාරී සංගමයට ඇත. එහෙත් එය නොකෙරෙන්නකි. මේ රටේ සියලූම වෘත්තීන් තම සංවිධාන සියල්ල තනි වහලක් යටතට රැගෙනවිත් ඇති වෘත්තිකයින්ගේ සමිති සම්මේලනය මේ රටේ දූෂණ ගැන කතා කර ඇත්තේ මොනවා දැයි ඔවුන්වත් දන්නේ නම්, පුදුමයකි. මේ රටේ හැම දූෂණයක්, හැම අපරාධයක් ගැනම දැනුම් තේරුම් ඇතිව කතා කිරීමේ හැකියාව සහ වගකීම ඇති ඒ වෘත්තිකයින්ගේ සමිති සමාගම් කිසිවක, මේ කාරණා කතා කිරීමටවත්, ඒවා සමාජය සමග ගනු දෙනු කිරීමටවත් ඒ උගත් වෘත්තිකයින් සූදානම් නැත.

ඒ වගකීම තනිකරම මාධ්‍ය මත පැටවීම, ඔවුන්ගේ අනෙක් ගැලවිජ්ජාව ය. මාධ්‍ය යනු සන්නිවේදන මෙවලමක් පමණි. මේ සන්නිවේදන මෙවලම, එහි සියලූ නවීන ප‍්‍රභේද ද සමගින් භාවිත කිරීමට, ඒ ඔස්සේ සමාජය හා කතිකා කිරීමට, සමාජ මතයක් හදන්නට මේ උගතුන් බුද්ධිමතුන් සූදානම් නැති කල ඉතිරි වන මාධ්‍ය මෙයම ය. එය එසේ යැයි ඔවුන් තේරුම් නොගන්නේ ද, එය තේරුම් ගැනීමත් ඔවුන්ට ප‍්‍රශ්නයක් වන හෙයිනි. එනිසා දකුණේ මේ පිරිහීම, මේ ම්ලේච්ඡුත්වය, සමාජයේ නිවට බියසුලූකම ප‍්‍රශ්න කරන්නට, ඊට විරුද්ධ වන්නට දැනුම් තේරුම් ඇති පිරිස් ඉදිරිපත් නොවීමේ බරපතල ප‍්‍රශ්නය අප හමුවේ ඇත. දකුණේ සිංහල දේශපාලනයට උගතුන් වැදගතුන් අවශ්‍ය නොවන්නේත් නොඑන්නේත් ඉඳහිට ගොඩ බසින අය අනෙක් හොරුන් බොරුකාරයින්ට වඩා වෙනස් නොවන්නේත් එබැවිනි.

උතුරේ දෙමළ දේශපාලනය ඊට හාත්පසින් වෙනස් යැයි දැන් දැකිය හැක. සිංහලූන් රතිඤ්ඤා පත්තු කර, කිරි බත් කෑ යුද්ධය අවසානයෙන් දෙමළ දේශපාලන නායකයින් එළියට එන්නේ, ප‍්‍රශ්න සඳහා ස්ථාවර විසඳුම් සොයා ගැනීමට ය. දකුණේ සිංහල දේශපාලකයින් ඔවුන්ට ‘‘කොටි’’ ලේබල ගසද්දී, ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුම් ගැන කතා කළ හැකි උග.ුන් බුද්ධිමතුන් සොයා යති. එය ඔවුන්ගේ දේශපාලනයේ සම්ප‍්‍රදායක් ලෙස පැවතුනකි. දෙමළ ජාතික සන්ධානය වරක් ඔවුන්ගේ තේරීම ලෙස ව්‍යවස්ථා මණ්ඩලයට නම් කෙරුවේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ ය. පසුගිය මැතිවරණයෙන් පසු කොළඹ සිටි ඉතාම දක්ෂ, වැදගත් නීතිඥයෙකු ලෙස සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ ද බුද්ධිමතුන් උගතුන් ඔවුන්ගේ දේශපාලනයට අවශ්‍ය බැවින් ය. මෙවර පැවැත්වෙන පලාත් සභා මැතිවරණයේ දී උතුරේ මහ ඇමති කමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු වන විග්නේස්වරන් නම් කෙරෙන්නේ ද ඒ වෙනුවෙනි. දකුණේ සිංහල දේශපාලනය විසින් තෝරා ගත යුතුව තිබූ එනමුත් තෝරා නොගත් දේශපාලන ඉණි මගින් නොනැග කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති වූ මහාචාර්ය සාවිතී‍්‍ර ගුණසේකර ඔවුන්ගේ උතුරු පළාත් සභවේ ආණ්ඩුකාර ධුරයට ඉතාම උචිත යැයි දෙමළ දේශපාලනය කතා කරන්නේ ද ඒ වෙනුවෙනි.

මේ රටේ වැදගත් දේශපාලනයක වුවමනාව ඇත්තේ දෙමළ සමාජයට ය. එවැනි වැදගත්කමක් අපට අපේ දකුණේ සිංහල දේශපාලනයට අවශ්‍ය යැයි අපේ උගතුන් බුද්ධිමතුන් හා වෘත්තිකයින් පවා නොසිතන්නකි. එහෙත් අපි තවමත් ලෝකෙන් උතුම් රටේ ජීවත් වෙමු. හෙට අනිද්දා, ආසියාවේ ආශ්චර්යමත් රටත් හදමු.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    mama methaka dutu deyak thamai ape rate tharuna parapura vichara buddiyak nethiva katayuthu kireema. ovunta avashaya netuma sangeethaya cricket match facebook. bahutharayak bodu bala senave jathivadayata hasuvee sitinava.E bebadu cheevaradarin samajayata karanne balavath vinashayak.minisunta metharam vipath thibena samajayaka sathunta pamanak karunava dekveema matanam prehelikavak.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.