Colombo Telegraph

නරේන්ද්‍ර – මහේන්ද්‍ර සහ දෙපළ මාධ්‍ය ‘‘මෝඩිලා’’

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

නරේන්ද්‍ර මෝඩි මිස භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී) මේ ඉන්දියානු මැතිවරණය දිනුවේ නැතැයි එක් නව දිල්ලි මාධ්‍යවේදියෙකු මගේ ඊමේල් ප‍්‍රශ්නයකට පිළිතුරු එවී ය. තවකෙකු ලියා එවූයේ මේ මැතිවරණය රාශ්තී‍්‍රය ස්වායම්සේවාක් සංග් (ආර්.එස්.එස්) සහ ඔවුන්ගේ පරිවාර හින්දු සංවිධාන වල ජයග‍්‍රහණයක් බව ය. මේ 2014 ඉන්දියානු ලොක් සභා මැතිවරණ ප‍්‍රතිඵල එක් එක් අයට, තමන් රිසි සේ උත්තර සොයා ගත හැකි ප‍්‍රතිඵල සමූහයක් යැයි රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් තර්ක හා න්‍යාය ගොතන්නකු ගේ කෙටි විග‍්‍රයක් ගුවන් විදුලි නාලිකාවකින් ඇසූ විට මට සිතින.

ඒ සියලූ අර්ථකතන සඳහා වන නරේන්ද්‍ර මෝඩි දිනවීමේ කාර්යට මුල පුරා, එය ඉතා සියුම් ලෙස දියත් කිරීමේ වගකීම පැවරී තිබුණේ ඉන්දීය මාධ්‍ය ආයතන කිහිපයක් වෙත ය. රාජ්‍ය බලපෑමෙන් නිදහස් වූවත් ඉන්දීය මාධ්‍ය අපේ මෙන් නොව, මහා ව්‍යාපාරිකයින්ගේ ආයෝජන සහිත ආයතනයන් ය. ඒවායේ විශාලත්වයට අමතරව, ඒවායේ මාධ්‍යවේදීන් ගොඩනගා ගෙන ඇති ස්වාධීන මාධ්‍ය සම්ප‍්‍රදාය නිසා, ඉන්දීය මාධ්‍ය සතු සමාජ විශ්වාසයක් ඇත. නරේන්ද්‍ර මෝඩි ඉස්මතු වන්නේ ඒ මාධ්‍යයෙහි හයිය මත ය.

පාරම්පරික ඉන්දීය ව්‍යාපාරික පවුලක් වන ටාටා පවුලේ යෝධ ව්‍යාපාරික පිටුබලය මෝඩිට අඩු නැතිව ලැබිණ. ලෝකයේ ධනවත්ම සමාගම් 500 අතර 107 වන තැන හිමි ගුජරාටයේ රිලායන්ස් ව්‍යාපාරයේ අම්බානිලාගේ හයියත් ගුජරාටයේ මහා ධනකුවේර අඩානිලාගේ පූර්ණ සහයෝගයත් ඔහුට ආරම්භයේදී ම ලැබිණ. එවැනි සම්බන්ධකම් මත ඉන්දියානු මාධ්‍ය සමග මත විමසුම් සංවිධානය කළ පෞද්ගලික ආයතන මෝඩි සතු ජනපි‍්‍රයත්වය ක‍්‍රමානුකූලව ගොඩ නැගූහ. ඔවුන්ගේ එම මත හැසිරීම කෙතරම් දුර ගියේ දැයි කිවහොත් මැතිවරණයට අදාල වැඩසටහන් වෙනුවෙන් තම විකාශන කාලයෙන් සියයට 20 ට ආසන්න කාලයක් වැය කළේ යැයි සඳහන් වන එන්.ඞී.ටී.වී රූපවාහිනි නාලිකාව විසින් මැතිවරණය අතරතුර ප‍්‍රකාශයට පත් කළ මත විමසුම් වාර්තාවක් මැතිවරණ නීති උල්ලංඝණය කරන්නක් යැයි ඉන්දීය මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය. ඡුන්දය භාවිත කළවුන්ගේ මත, ස්වාධීන මත විමසුම් ලෙස මාධ්‍ය විසින් ප‍්‍රකාශ නොකළ යුතු යැයි සියලූ මාධ්‍ය ආයතන වෙත මැතිවරණ කොමිසම ඉන් දැන්වී ය.

මෝඩිට ඉන්දීය මාධ්‍ය හවුල් කෙරෙන්නේ ව්‍යාපාරික බලපෑම මත මිස, මෙරට මාධ්‍යයෙහි අප අත් දුටු බරපතල තුවාල ඇතිව නොවේ. එබැවින් මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැර ගැනීම්, ශාරීරික හිංසා කිරීම්, පහරදීම් හා තර්ජනය කිරීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් වැනි දේ ඉන්දියාවේ මෝඩි ව්‍යාපාරයට මේ මොහොතේ අවශ්‍ය නොවින. එනමුත් අවසන් ප‍්‍රතිඵලය එකම ය. මහින්ද රාජපක්ෂ යටතේ වන මාධ්‍ය මෙන් මෝඩි බලයට එන්නේ ද මාධ්‍ය ඔහුගේ ප‍්‍රචාරක මෙවලමක් ලෙස යොදා ගැනීමෙනි. මැතිවරණයෙහි ඉතිරිය සිදු වන්නේ ඒ මත ය.

එම පසුබිමෙහි, එක් සාධකයක් සමාජය හමුවේ කල්තියා සෑදුවකි. ඉන්දීය ජාතික කොන්ග‍්‍රස් ආණ්ඩුව අතිශය දූෂිත ආණ්ඩුවක් යැයි සමාජ මතයක් තහවුරු කිරීම එය ය. අපේ රටේ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් එහි විලෝමය වැදගත් වන්නකි. එනිසා මාධ්‍ය දූෂණ වංචා සම්බන්ධ එවැනි අඛණ්ඩ සංවිධානාත්මක ප‍්‍රචාරක ව්‍යාපාරයක් මේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දියත් නොකරයි. මෝඩි ලබා ගත් මාධ්‍ය සහායත් රාජපක්ෂ ආණ්ඩුව ලබන්නා වූ මාධ්‍ය සහායත් අවසානයේ දී එකක්ම ය. නරේන්ද්‍ර මෝඩි අනතුරුව ඊළග ඉන්දීය අගමැති වන්නේ යැයි සමාජ මතය හදන්නේ ද ඉන්දීය මාධ්‍ය විසින් ය. ඒ වෙනුවෙන් ජාතික මතවාදයක් ලෙස ආණ්ඩු විරෝධයක් ද ඉන්දීය මාධ්‍ය තහවුරු කළේ ය.

මෝඩිගේ ජයග‍්‍රහණයට වඩා වැදගත් වූයේ කවරක්දැයි තක්සේරු කිරීම පහසු නැත. එහෙත් මාධ්‍ය විසින් තහවුරු කළ මහා දූෂණ කතා සමග, ආණ්ඩු විරෝධය විශේෂයෙන් ඉන්දීය මැද පංතික සමාජයේ තහවුරු වීම, ප‍්‍රධාන සාධකයක් විය. දූෂණයට අමතරව, ශක්තිමත් නායකත්වයක් නොමැති තීන්දු ගැනීමට නොහැකි ආණ්ඩුවක් වශයෙන් ද කොන්ග‍්‍රස් ආණ්ඩුව බාල්දු කෙරිණ. අගමැති මන්මෝහන් සිං රූකඩයක් ලෙස තියා ගෙන සෝනියා සහ රහුල් ගාන්ධි පාලනය කළ ආණ්ඩුවක් ලෙසින් ද ඒ ආණ්ඩු විරෝධය පුළුල් විය. ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කිරීමත් ආහාර භාණ්ඩ වෙළඳපල මිලකරණයට හසු කිරීමත් නිසා පහළ මැද පංතිය සහ දුප්පත් ඉන්දීය ජනතාව ද ඒ ආණ්ඩු විරෝධයේම පංගුකාරයින් බවට පත් වූහ.

ඒ වෙනුවෙන් මුළුමහත් ඉන්දියාවටම, වෙනසක් අවශ්‍ය යැයි මාධ්‍ය හැදූ මතයට, උත්තරය ලෙස ඉදිරිපත් කෙරුණේ නරේන්ද්‍ර මෝඩිව ය. ඔහු අගමැති සිං නොවේ යැයි අවධාරණය කෙරින. ඔහු තීන්දු ගැනීමේ දක්ෂයෙකි. ඔහු ආර්ථිකය ගොඩ ගැනීමේ සූත‍්‍රයක් සතු වූවෙකි. ගුජරාට ප‍්‍රාන්තය ඊට සාක්ෂි ලෙස ප‍්‍රචාරය කෙරිණ. ඒ වෙනුවෙන් හේතු පාඨ ද ලියැවිනි. ‘‘මෝඩිගේ ගුජරාටය’’ යැයි හඳුන්වනු ලැබූ ප‍්‍රාන්තයේ ආර්ථිකය, ‘‘ආශ්චර්යමත් සංවර්ධන ආකෘතිය’’ යැයි ඒ සඳහා නම් විය.

2001 වසරේ ඔක්තෝම්බරයේ මෝඩි මහ ඇමති වූ පසු ගුජරාට ප‍්‍රාන්ත දළ නිෂ්පාදිත වර්ධන වේගයේ වාර්ෂික සාමාන්‍ය සියයට 16.6 ක් යැයි සාඩම්බර කතා කියැවුනි. ඒ වෙනුවෙන් වෙනත් කිසිදු ප‍්‍රාන්තයක් හා සැසඳීමක් නොකරන මාධ්‍යයෙහි එම කාලය තුල සීකිම් හි ප‍්‍රාන්ත දළ නිෂ්පාදිත වර්ධන වේගය සියයට 19.2 ක් වූ බවත් උත්තරාකාන්ද් හි එය සියයට 18 ක් වූ බවත් නොකිය වුනි. මෝඩි අති දක්ෂයෙකු යැයි ඔසවා තැබෙන තවත් ආර්ථික සාධකයක් ලෙස මාධ්‍යයෙහි විශාල වශයෙන් සාකච්ඡුා කෙරුණේ 2009 දී ගාන්ධිනගර් හි පැවැත් වූ විදේශ ආයෝජකයින් සහභාගි වූ අති උත්කර්ශවත් ආයෝජන සැණකෙළියයි. එහි දී මෝඩිගේ ගුජරාටය හඳුන්වනු ලැබුවේ, ‘‘ඉන්දියාවේ ගෝලීය දොරටුව’’ මැයෙනි. එහෙත් 2000 සිට 2013 දෙසැම්බර දක්වා සෘජු විදේශ ආයෝජන නිල ලේඛනයේ ඉහළින්ම ඉන්නේ ඩොලර් බිලියන 65.9 ක් ලැබූ මහරශ්ත‍්‍රාවත් ඩොලර් බිලියන 38.8 ක් ලැබූ නව දිල්ලි පාලන ඒකකයත් ඩොලර් බිලියන 12.6 ක් හා 12.1 ක් ලැබූ තමිල් නාඩු සහ කර්නාටාක ප‍්‍රාන්තත් ය. මෝඩිගේ ගුජරාටය ඊට පහළ ය.

මේ මාධ්‍ය හුවා දැක්වීම් අභියෝග කළ ‘‘සච්කාසෆාර්2014’’ නමින් ආර්ථික විiාර්ථීන් කණ්ඩායමක් මැතිවරණය ආරම්භයේ දී ගුජරාට ප‍්‍රාන්ත ආණ්ඩුවේත් නව දිල්ලියේ ජාතික සංඛ්‍යාලේඛන අධිකාරයේත් දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ගුජරාටය ප‍්‍රාන්ත අතර ඉතා දිළිඳු ප‍්‍රාන්තයක් යැයි තර්ක කළේ ය. ඔවුන්ට අනුව, 2002 සිට අවුරුදු 10 ක් ඇතුළත ගුජරාටයේ කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර 6,000 ක් වසා දමා ඇත. 2002 දී රුපියල් කෝටි 45,301 ක් වූ ගුජරාට ප‍්‍රාන්ත ණය ප‍්‍රමාණය, මෝඩි යටතේ 2012 අවසන් වන විට රුපියල් කෝටි 1,38,978 ක්ව තිබිණ. කෘෂි නිෂ්පාදනයේ ගුජරාටය නැවතී ඇත්තේ ප‍්‍රාන්ත අතර 08 වන ස්ථානයේ ය. එහි කෘෂි වර්ධනය කිසිදු වසරක සියයට 10 ක්ව නැත. ගුජරාටයේ වසර 05 ට අඩු ළමුන්ගෙන් සියයට 44.6 ක් මන්ද පෝෂණයෙන් පෙළෙති. ප‍්‍රධාන ප‍්‍රාන්ත 20 කින් අවුරුදු 45 ට අඩු කාන්තාවන් අතර වැඩිම රක්තහීනතාව ඇත්තේ ගුරාටයෙහි ය. 1995 දී සියයට 4.25 ක් වූ සෞඛ්‍ය සඳහා ප‍්‍රාන්ත වැය කිරීම්, 2010 වන විට 0.77 දක්වා කපා හැර ඇත. එහෙත් මේවා කිසිත් ප‍්‍රධාන මාධ්‍යන්හි අහළකටවත් නොගැණින. මෝඩි එවැනි නායකයෙක් යැයි ආණ්ඩු විරෝධය නොදත යුතු විය.

එළෙසින්ම මේ මැතිවරණයේ ඉන්දීය ආණ්ඩු විරෝධය නොදත යුතු වූ තවත් කරුණක් විය. ඒ මෝඩි ද ඔහුගේ ප‍්‍රාන්තයේ අතිශය විශාල දූෂණ වලට සම්බන්ධ අයෙක් බව ය. කෙටියෙන් කතාව මෙවැනි ය. 1998 දී පිහිටුවනු ලැබ, 1994 දී කොටස් වෙළඳ පලට ඇතුලූ වූ අඩානි ව්‍යාපාරය, දැන් ඉන්දියාවේ විශාලම පෞද්ගලික වරාය හිමි සමාගම ය. මෝඩිගේ කාලයේ අඩානිලාගේ ආදායම වසර 2002 ඩොලර මිලියන 765 සිට 2013 මාර්තු වන විට, ඩොලර බිලියන 8.8 දක්වා ඉහළ ගියේ ය. කොළඹ නගර මධ්‍යයේ අධි මිල ඉඩම් නවීන සත්කාරක විනෝද සංකීර්ණ වෙනුවෙන් පෞද්ගලික සමාගම් වෙත ලබා දීමේ කොන්දේසි සහ මිල ගණන් තීන්දු කෙරෙන විධි ක‍්‍රමයක් අප නොදන්නා සේම, අඩානි සමාගම සඳහා හෙක්ටෙයාර් 7,350 ක් වර්ග මීටරය ඩොලර් සතයක් බැගින් ලබා දීමේ ගුජරාට සූත‍්‍රය පුදුමාකාර සූත‍්‍රයක් විය. ඔහු ඉන් පංගුවක් රාජ්‍ය සංස්ථාවක් වන ඉන්දීය ඛනිජ තෙල් සමාගමට නැවත බදු දී ඇත්තේ වර්ග මීටරයක් ඩොලර 11 බැගින් ය. මෝඩි ගේ ගුජරාටයේ ආයෝජන හා කාර්මීකරණය ගැන කතා අතුරින් එක කතාවක් එවැනි ය. (වැඩි විස්තර සඳහා – http://www.forbes.com/sites/meghabahree/2014/03/12/doing-big-business-in-modis-gujarat/)

මේ සියල්ල අප තේරුම් ගත යුත්තේ නව ලිබරල් ආර්ථිකයක් යැයි කියන්නා වූ අසීමිත නිදහසක් ව්‍යාපාරිකයින්ට ලබා දෙන, අවම කොන්දේසි මත හැකි උපරිමයෙන් විවෘත කෙරෙන වෙළඳපල ආර්ථිකයක් මගින් රටේ දේශපාලනය තීන්දු කරන සමායක ප‍්‍රතිචාරයක් ලෙසින් ය.

ඉන්දීය දේශපාලන න්‍යායචාරයෙකු වන ප‍්‍රභාත් පට්නායික් කියන අයුරු, ‘‘නව ලිබරල් පාලනයක් තහවුරු කිරීමේ කාර්යෙහිදී, දූෂණය විසින් නිශ්චිත හා වැදගත් කාර්යක් ඉටු කරන්නේ ය. එම ක‍්‍රමය ලොකු ව්‍යාපාරිකයින් සඳහා තුට්ටුවට දෙකට වත්කම් තල්ලූ කර දමන නැතිනම් අසීමිත තෘෂ්ණාවක් සමගින් හුදෙක් සාමාන්‍යයෙන් වැඩෙන දූෂණ පරිමාව වැඩි කරන්නක් පමණක්ම නොවේ. මේ හේතු එනමුත් ඉන්දියාවේ අප අත්දකින අයුරු දූෂණ පරිමාව විශාල ලෙස වර්ධනය කරන බව ද සැබෑ ය. එළෙසින්ම, එවැනි පාලනයක් යටතේ ධනේශ්වර දේශපාලනඥයින් අතර දූෂණ වංචා වර්ධනය කෙරෙන ව්‍යුහාත්මක හේතුවක් ද ඇත. ඒ තම පාලනය වෙනුවෙන් දේශපාලන සහාය දිනා ගැනීමට ය. නව ලිබරල්වාදය සඳහා දූෂණය අවශ්‍යම සාධකයකි.’’ (නව ලිබරල්වාදය හා දූෂණය – http://indiacurrentaffairs.org/neo-liberalism-and-%E2%80%9Ccorruption%E2%80%9D-prabhat-patnaik/)

පට්නායික්ගේ ඒ විවරණය මෙවර ඉන්දීය මහ මැතිවරණය අඩු නැතිව ඔප්පු කරන්නකි. ලෝකයේ විශාලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයේ යහපත් ආණ්ඩු පාලනයක් සහිත ආර්ථික වර්ධනයක් හා සමාජ සංවර්ධනයක් වෙනුවෙන් පත් කර ගනු ලැබූ 16 වන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 543 න් 186 දෙනෙකුට විරුද්ධ අපරාධ චෝදනා ඇත. මන්තී‍්‍රවරුන් 442 ක් කෝටිපතියන් ය. (විස්තර සඳහා වගුව බලන්න – සියලූ තොරතුරු – http://loksabha.adrindia.org/lok-sabha/analysis-of-criminal-and-financial-background-details-of-winners ) එවැන්නවුන් සේවය කරනු ඇත්තේ කාටදැයි අපට බෙහෙවින් අත්දැකීම් ඇත.

නාම යෝජනා බාර දීමේ දී වත්කම් හා බැරකම් සමග පෞද්ගලික විස්තර ප‍්‍රකාශ කළ අපේක්ෂකයින් සංඛ්‍යාවෙන් ජයග‍්‍රහණය කළ අපේක්ෂකයින් 541 ගේ ප‍්‍රකාශ අනුව,

  • අපරාධ චෝදනා ඇති – 186 යි : ප‍්‍රතිශතයක් ලෙස සියයට 34 යි
  •  බරපතල අපරාධ චෝදනා – 112 යි ඃ ප‍්‍රතිශතයක් ලෙස සියයට 21 යි (මිනීමැරීම්, මිනීමැරීමට තැත් කිරීම්, වාර්ගික භේද කිරීම්, පැහැර ගැනීම් සහ ස්තී‍්‍රන්ට එරෙහි දූෂණ හා අපරාධ වැනි)
  • අපරාධ චෝදනා පක්ෂ අනුව – බී.ජේ.පී – 282 න් 98 යි, කොන්ග‍්‍රස් – 44 න් 08 යි, අන්නා ද්‍රවිඩ මු.ක – 37 න් 06 යි, ශිව් සේනා (බී.ජේ.පී හවුලකි) – 18 න් 15 යි. ති‍්‍රනමූල් – 34 න් 07 යි.
  • පක්ෂ අනුව කෝටිපතියන් –  බී.ජේ.පී – 282 න් 237 යි, කොන්ග‍්‍රස් – 44 න් 35 යි, අන්නා ද්‍රවිඩ මු.ක – 37 න් 29 යි, ති‍්‍රනමූල් – 34 න් 21 යි.

එනිසාම එවැනි සමාජයක ඉතිරි කරගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සාධාරණයක් නැති බැව් මම, ‘‘නව ලිබරල්වාදයේ මාධ්‍ය විකෘතිය’’ මැයෙන් ඉකුත් 11 වන දින රාවයට ලීවෙමි.

නරේන්ද්‍ර මෝඩිගේ ජයග‍්‍රහණය සඳහා දෙවන සාධකය ගොනු වන්නේ එබැවින් ය. ආණ්ඩු විරෝධයේ හවුලට මෝඩිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ආර්.එස්.එස් සහ ඔවුන්ගේ සියලූ අතුරු සංවිධාන පාරට බැස්ස වූයේ හින්දුත්වා ජාතිකත්වය සමගින් දූෂණයෙන් තොර ආර්ථික වර්ධනයක පොරොන්දු ඇතිව ය. මෝඩිට විරුද්ධ වන සියලූ දෙනා ඒ අනුව දේශද්‍රෝහීන් වූයේ ඒ හින්දුත්වා ජාතිකත්වය එකම ඉනදියානු දේශපේ‍්‍රමය වූයෙනි. එය ඉදිරිපත් කෙරෙන්නේ, අපේ සිංහල-බෞද්ධ දේශපාලනය මෙන් හින්දු ආගම අදහන සහ හින්දි බස කතා කරන සියල්ලන්ගේ හින්දුස්ථානයක් වෙනුවෙනි. ඔවුන්ට ආර්ථික ශක්තියක් ලබා දීමට ය. අපේ කතාවට කිසිදු වෙනසක් නැතිව, එහි කියන්නේ ද අනෙක් සියලූ ආගමික හා වාර්ගික සුළුතර ප‍්‍රජාවන්ට ඔවුන්ගේ අනන්‍යතාවන් පෞද්ගලිකව තබා ගත හැකි නමුත් හින්දුස්ථානයෙහි ඔවුන් හින්දුත්වා අනන්‍යතාවයට ප‍්‍රසිද්ධියේ යටත් විය යුතු බව ය.

මේ ජාතිවාදී නව ලිබරල්වාදය ඔවුන්ට හිරිහැරයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කිරීමේ දී පොදුවේ යොදා ගන්නේ මෙවැනි බහුතරයින්ගේ වාර්ගික ආගමික අනන්‍යතා අයිතියකි. එය ඔවුන්ට මැතිවරණ මත බලය ගැනීමේ දී සමාජ බලයක් ලෙස දිස්වන සංඛ්‍යාත්මක බලයක් ලබා දෙන හෙයිනි. සංඛ්‍යාවන් පෙන්වන්නේ ඇත්ත සමාජ බලයට වඩා බෙහෙවින් ලොකු බලයකි. අපේ රටේ ජයවර්ධන ආණ්ඩුව බලයට පැමිණි 1977 මහ මැතිවරණය එවැන්නකි. එදා මැතිවරණ ආසන 168 කින් ජයවර්ධනගේ යු.ඇන්.පිය ආසන 140 ක් දිනා ගත්තේ සියයට 80 ක් ඡන්ද ලබා ගැනීමෙන් නොවේ. ඔවුන්ට එදා ලැබුණේ සියයට 50.9 කි. සියයට 29 ට වඩා ලැබුණු ශී‍්‍ර.ල.නි.පට හිමි වූයේ ආසන 08 කි.

මෙදා හින්දුත්වා දේශපාලනයට එකතු කරගත් ආණ්ඩු විරෝධය සමගින් මෝඩි දිනන්නේද එළෙසින්ම ය. බි.ජේ.පිය තනි පක්ෂයක් ලෙස කිසිදු මුස්ලිම් මන්තී‍්‍රවරයෙකු නොමැතිව ආසන 282 ක් දිනා ගත්තාට ඔවුන්ට ඡන්ද ලැබී තිබුණේ සියයට 31 කි. ඔවුන්ගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය ලබා ගත් සියයට 38.4 ක් ඡුන්ද සඳහා එනමුත් ආසන 336 ක එකතුවක් ලැබිණ. අගමැති මෝඩිගේ ආණ්ඩුව හැදෙන්නේ එවැනි ඓතිහාසික අසීමිත පාර්ලිමේන්තු බලයක් සමගින් වූවත් සමාජයේ ඊට සරිලන බලයක් ඇතිව නොවේ. එනිසාම මෝඩිට ද මෙරට මහින්ද රාජපක්ෂ ගිය ගමන යෑමට සිදුවනු ඇත.

කීයකින් හෝ ආණ්ඩු බලය දිනාගත් පසු රාජ්‍ය බලය ගණන් හැදෙන්නේ සියයට ගණන් වලින් නොවේ. 2005 නොවම්බරයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වනවිට, ඔහුගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙහි තිබූයේ සුළුතර බලයකි. එය අධි බලයක් බවට පත් කර ගන්නේ විධායක ජනාධිපති ධුරය මගින් සමස්ථ රාජ්‍යයම රිසිසේ හසුරුවා ගැනීමට ඇති ඉඩකඩ සමගින් ය. ඒ ඉඩකඩ සඳහා අවශ්‍ය මතවාදී එක`ගත්වයද බලයට එන සිංහලවාදී මතවාදයෙන් ගොඩනගා ගනු ලැබිණ. ප‍්‍රධාන මාධ්‍ය ඒ වෙනුවෙන් යොදා ගැනීමත් අවශ්‍ය විය. එයද එසේම හැඩ කරගත හැකි විය. මෝඩිට ද ඒ කිසිවක වෙනසක් හෝ අඩුවක් නැත. මාධ්‍යයත් දූෂණ සමග ව්‍යාපාරික බලයත් ඒවා සාධාරණීකරනය කෙරෙන අධිපති අන්තවාදී මතයත් ඒ සමගින් තව කලක් ගැට ගැසෙන නාගරික මැද පංතියකුත් ඇත.

අපේ මෙන්ම, මෙවැනි රාජ්‍ය පාලනයකට එරෙහිව පළමුව හරස් වනු ඇත්තේ රටේ සමාජ අයිතීන්, මානව අයිතීන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කතා කරන, පෙළ ගැසෙන දැනුවත් කි‍්‍රයාධරයින් ය. එබැවින් ඉන්දියානු මැතිවරණයේ මෝඩිගේ ජයග‍්‍රහණය ගැන තවත් දිනෙක කතා කිරීමට සිදුවන්නේ, ඒ පිරිහීම සමග එන මර්දනය පිළිබඳ අත්දැකීම් ය.

Back to Home page