24 April, 2024

Blog

මැතිවරණ කොමිෂන් සභාවට අදාල හ​ඬ පටි සම්බන්ධයෙන් කළ යුතු වන්නේ කුමක්ද?

ලැසිල් ද සිල්වා

ලැසිල් ද සිල්වා

1947 හදුන්වා දුන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ලංකාවේ ශක්තිමත් හා ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රනයක් ස්ථාපනය කොට තිබුණි. නිදහසින් පසු ලංකාවේ පළමු වරට 1972 දී ජනරජ ව්‍යවස්ථාවක් හදුන්වා දුන්නා. ඉන් වසර හයකට පසු නැවත ජේ. ආර්. ජයවර්ධන රජය විසින් 1978දී අළුතින්ම තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දුන්නා.

එම ව්‍යවස්ථාව මගින් ලංකාවේ ඉතා විශාල වෙනස්කම් රාශියක් සිදු කළා. එමගින් රට උඩුයටිකුරු කළා යැයි කිව හැකිය. 1978 ව්‍යවස්ථාව හරහා රටේ ශක්තිමත් ආයතන සියල්ල බිදදැමීමට එවකට එජාප රජය පදනම දැමුවා යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එවකට ආණ්ඩු පක්ෂයට තිබූ හයෙන් පහක බලය මත අතිශයින්ම අත්තනෝමතික ආකාරයකින් ගොඩ නඟන ලද ව්‍යවස්ථාවක් ලෙස හදුන්වා දීමද අසත්‍යක් නොවේ.

එනිසා සමස්ත ආර්ථිකයට, රට වැසියාට, රාජ්‍ය යාන්ත්‍රනයට, දේශපාලන සංස්කෘතියට මෙන්ම සහජීවනය ආදී ක්ෂෙත්‍රයන්හි පවා සිදුව ඇති විනාශය කියා නිම කළ නොහැකිය.

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති සංශෝධන ප‍්‍රමාණය 19 කි.

ඉතා සරල බසින් ව්‍යවස්ථාව යනු රටක උත්තරීතර නීතිය මෙන්ම රාජ්‍ය පාලනයේදී අනුගමනය කළයුතු නීති සමුදායකි. ඒ සියල්ල ජනතා සුභසුභසිද්ධිය වෙනුවෙන්ම ක්රියාත්මක කළ යුතු වෙනවා.

රාජ්‍ය යාන්ත්‍රනය තුළ ජනපතිවරයාගේ සිට සියල්ලෝම අනිවාර්යයෙන්ම අනුගතවිය යුතු ලියවිල්ලකි ව්‍යවස්ථාව.

කරුණු එසේවුවද ලංකාවේ ව්‍යවස්ථාව යනු පවතින රජයේ බලය හා අවශ්‍යතා තහවුරු කිරීම පිණිස කපා කොටමින් සංශෝධනය ලක් කළ ලියවිල්ලකි.

එය දේශපාලන අවශ්‍යතාවය මත නිසි සේ තමන්ට ගැලපෙන සේ සූක්ෂම ආකාරයට මසා නිම කළ කදිම ඇදුමක් පමණි. එමගින් වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගැනීමයි.

1787 සැප්තැම්බර් 17 දා හදුන්වා දී ඇති ලොව බිහි වූ ප‍්‍රථම ලිඛිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වශයෙන් සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි.

එමෙන්ම එය දැනට ලෝකයේ බිහිව ඇති හොඳම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් එකක් සේ හදුන්වා දී තිබෙනවා. එම ව්‍යවස්ථාව හරහා ඇමරිකාව ලොව බලගතුම රටක් බවට ඔසවා තැබීමට හැකිවී තිබෙනවා. එම ව්‍යවස්ථාවට වසර 200 ක් ඉක්මවා ගොස් ඇතත් හදුන්වා දී ඇත්තේ සංශෝධන විසි හතක් පමණි.

1970 දශකයේ සිට ජේ .ආර් විසින් ස්ථාපනය කරන ලද විධායක ජනපතිධුරය නිසා රාජ්‍ය යාන්ත්‍රනය බලගතු ආකාරයෙන් දේශපාලනීකරණයකට ලක්වීම දිගින් දිගටම සිදුවූවා.

එනිසා ජනපතිවරයා රටේ නීතියට ව්‍යවස්ථාවට අනුගතවූයේ නැහැ. මුක්තිය වැනි වරප්‍රසාද නිසා ජේ. ආර්. උදම් ඇනුවේ “මට කරන්න බැරි ගැහැණියක් මිනිසකු කිරීම හා මිණිසකු ගැහැණියක කිරීම පමණි”.

අධික බලතල සහිත විධායක ජනපතිවරයා ස්වභාවයෙන් ම නීතියට ඉහළින් සිටින තත්ත්වයක් දිගින් දිගටම ඇතිවී තිබුනා. ජනාධිපතිවරයාගේ සිට සියළු දේශපාලකයන් රාජ්‍ය යාන්ත්‍රනයට ඇගිලි ගැසීම වැලැක්විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබුණා.

ලංකාවේ 1978 ව්‍යවස්ථාවට මේ දක්වා සංශෝධන 19ක් හදුන්වා දී තිබෙනවා. 17 සංශෝධන අපේ පවතින ව්‍යවස්ථාවට හදුන්වා දුන් ඉතා වැදගත් සංශෝධනයක්

ඒ ඇයි? රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ අරමුණින් ඉදිරිපත් වූ මෙය ශී‍්‍ර ලංකා දේශපාලන ඉතිහාසයේ ඒකමතිකව සම්මත වූ එක ම ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් හැදින්විය හැකියි.

එසේ ම මෙම සංශෝධනය තුළින් ව්‍යවස්ථා සභාවක් ස්ථාපනය කොට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම මේ යටතේ සිදු කිරීම අරඹන ලදී. ස්වාධීන කොමිෂන් සභා ක්රමය හදුන්වා දුන්නේ රාජ්‍ය යාන්ත්‍රනය නිර්දේශපාලනීකරණය කිරීමේ එකම අභිලාෂය ඇතිවයි.

මෙම 17 වන සංශෝධනය රටේ මෙතෙක් ඉදිරිපත් වූ සාධනීය ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙන් දේශපාලන විචාරකයන්, උගතුන් හා බුද්ධිමත් ජනකොටස්ද පෙන්වා දී තිබේ.

ඉන්පසුව ඇදහිය නොහැකි තරමේ හානිකර දෙයක් අප තෝරා පත් කළ මහජන නියොජිතයන් නැවත සිදු කළා. 2010 සැප්තැම්බර් 07 වන දිනදී පාර්ලිමේන්තුවේ 225 න් 161 දෙනෙක් 18 වන සංශෝධනය සම්මත කළා.

එයින් ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවය වූයේ 17 වන සංශෝධනයට පෙර තිබූ ව්‍යාකූල හා ඒකාධිපතිත්වයට හා සමාන තත්වයට රට ආපස්සට ඇද දැමීම හරහා සියළු අත්තනොමතික බලය ජනපතිවරයාට නැවත ලබා දීමයි.

18 වන සංශෝධනය යනු කුමක්ද?

ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත කරන ලද ඉතා ම අදුරදර්ශී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් මෙය හැඳින්විය හැකි ය.

18 වැනි සංශෝධනයෙන් නැවත සිදු වූයේ අතීතයේ තත්ත්වය ද අභිබවා රට නැවත ඒකාධිපති ස්වරූපයකට ගෙන යෑම යි.

එම සංශෝධනය හරහා ජනාධිපති ධූරයට තරඟ කිරීමේ වාර ගණන සීමාවද ඉවත් කරන ලදී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවද අහෝසි කරන ලදී.

එමගින් ඇතැම් පත් කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ විවිධ බාධක ඉවත් කොට සියලූ බලතල විධායකය වෙත නැවත ඈඳා ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ බව පැවසිය යුතුවේ.

එවැනි පරිසරයක් තුළ පසු කලෙක විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවටත් 18 වන සංශෝධනය අවලංගු කළ යුතු යැයි පුළුල් හඬක් සිවිල් සමාජය විසින් එල්ල කිරීම සිදු විය.

19 වැනි සංශෝධනය

මෙම සංශෝධනය පවා තවත් සාධනීය සංශෝධනයක් ලෙස හැදින්විය හැකිය. එහෙත් රනිල් වික්‍රමසිංහ වැනි දූෂිත දේශපාලකයා කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකිය. එයට හේතු ගණනාවකි.

රනිල්ගේ අවශ්‍යතාවය වූයේ කුමක්ද?

සියළු බලතල පාර්ලිමේන්තුවට පවරා ගැනීමට වඩා ඔහුගේ පටු දේශපාලන අරමුණු රාශියකි. ඔහුට රිසිසේ රජයක් පවත්වා ගැනීම පිණිස හා තම බලය තහවුරු කරගැනීම ආදිය සදහා පසබිම සකසා ගැනීමයි.

එමගින් ඔහු පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනතුරු විසිරිය නොහැකි බවට සංශෝධනයක් අළුතින්ම හදුන්වා දීමට සමත් වී ඇත. මෙය ලොව දියුණු කිසිම රටක දැකිය නොහැකි තහංචියකි.

උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවක කාලය වසර තුනකි. පළමු රැස්වීමෙන් පසු (Governor General) ආණ්ඩුකාර වරයාට අවශ්‍යතාවය මත ඕනෑම දිනකදී විසුරුවා හැරීමේ නියෝගය නිකුත් කළ හැක.

එංගලන්තය, ප්රංශය, ජපානය, ස්වීඩනය, ඇමරිකාව ආදී රටවලද එසේම පවතින්නේ ව්‍යවස්ථාදායකය ගැටළුකාරී නම් ඕනෑම අවස්ථාවකදී අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩකඩ තිබිය යුතු බැවිනි.

එසේම වාසනාවකට මෙන් ශේෂ්ඨාධිකරණය මුල් පනත් කෙටුම්පතේ සදහන්වූ සමහර කරුණු අනුමත කළ හැකි වන්නේ ජනමතවිචාරණයක් හරහා බවට සදහන් කිරීම නිසා වැළකී ගියේ රටේ වාසනාව නිසාවෙනි.

19 වන සංශෝධනය තවත් වටිනා යෝජනා ගනණාවකි. එක් පුද්ගලයෙකුට විධායක ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව නැවතත් දෙවතාවකට සීමා කිරීම, ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිිළිගැනීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රමාණය සීමා කිරීම වශයෙන් අතිශය සාධනීය ව්‍යවස්ථා ප‍්‍රතිපාදන කිහිපයකි.

19 සංශෝධනය හදුන්වා දුන් රජය විගණන පනත සම්මත කිරීමට අදි මදි කරමින් ප්රමාද කරන ලදී. එමෙන්ම මුල් කෙටුම් පතේ සිවිල් ක්රියාකාරීන් හත් දෙනෙකු ව්‍යවස්ථා සභාවට පත්කළ යුතු බව සදහන්ව තිබුනි.

එය සංශෝධනය කරමින් දේශපාලකයන් හත් දෙනෙක් බවට අවසානයේ පරිවර්තනය කරන ලදී. එය නොකළ යුතු ව තිබුණි.

මෙය මෙතෙක් ඉබා ගාතයේ යැවූ ශී‍්‍ර ලංකාවේ දේශපාලනයට මග පෙන්වා දීමක්සේ හැදින්විය හැක. රාජ්‍ය සේවාව නැවත අදුරෙන් එළියට ගැනීම සදහා නව දිශනතියකට රට යොමු කිරීමක් වැනි යැ යි කිව හැකි ය.

එහෙත් සිදු වන්නේ කුමක්ද?

විධායක ජනාධිපති ධූරයෙහි අත්තනෝමතික බලතල අහෝසි කළ යුතු බවට සිවිල් සමාජ සංවිධාන හා මෙරට බහුතරයක් පුරවැසියන්ගේ පුළුල් මැදිහත් වීම හා හඩනැගීමද නිසාවෙන් මෙය සිදු වූ බවට අර්ථකථනය කිරීම ද කළ හැකි වේ.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමන් අදහස් කරන බවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අවස්ථා කිහිපයක දී ම පවසා ඇත.

ඒ සදහා 2/3 බලය අවශ්‍යතාවය බවද අවධාරණයෙන්ම පවසා ඇත.

ඇත්තටම අවශ්‍යතාවය කුමක්ද?

සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන්, නීති විශාරදයන් හා දේශපාලන විචාරකයන් බහුතරයකගේ ද අදහස වන්නේ නැවත කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි.

සැබැවින් ම නව ආණ්ඩු ක‍්‍රමයක් අපට අවශ්‍ය නැත. ආආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දුන් සෑම අවස්ථාවන් වලදීම සිදු කළේ පටු දේශපාලකයන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමකි. සෑම ව්‍යවස්ථාවකින්ම රාජ්‍ය යාන්ත්‍රනයේ ස්වාධීන බව විනාශයට පත්කරනු ලැබ ඇත.

එනිසා රටට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන කිහිපයකි. උදාහරණයක් වශයෙන් දැනට වසර 13 කට පෙර මැතිවරණ ක්රමය සංශෝධනය කළ යුතු බවට දිනේෂ් ගුණවර්ධන සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් මගින් එම වාර්තාවේ නිර්දේශ කරනු ලැබ ඇත.

පළාත් සභා සම්බන්ධයෙන්ද පසුවිපරම් කිරීමක්, අධ්‍යයනයක් සිදු කොට වාර්තාවක් සැපයිය යුතු බවට මහින්ද රාජපක්ෂ සමයේදී එවකට අගමැති රත්නසිරි වික්‍රමනායක පත් කරන ලදී. එහෙත් එම කමිටුව අවම වශයෙන් එකම වතාවක්වත් රැස්වූයේ නැත.

රජයයන් ගණනාවක් ඒවා තඹයකටවත් ගණන් ගැනීමට කටයුතු කළේ නැත. එනිසා අප එය සාදා ගත යුත්තේ 1972 දී හෝ 1978 දී මෙන් අළුත් ව්‍යවස්ථාවක් නොවේ..

අප ඉතිහාසයෙන් පාඩම් උගත යුතුවේ. දිනකින්, සතියකින්, මාසයකින් ප‍්‍රශස්ථ මට්ටමේ ආණ්ඩු ක‍්‍රමයක් නිර්මාණය කළ නොහැක.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට අවුරුදු ගණනාවක් වැය වූ බව සදහන් කළ යුතු වන්නේ ඇයි?

ඉතා පුළුල් ජනතා සහභාගීත්වයකින්, සංවාදයට බදුන් කොට, සෑම පුරවැසියෙකුගේ ම මානව ගරුත්වය, සමානාත්මතාව, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම්, ජාතික ආරක්ෂාව, නිවැරදි මුල්‍ය පාලනය ආදිය සාක්ෂාත් වන, එමෙන් ම අධිිකරණයේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය, ජනතා අපේක්ෂාවන් ඉතා කාර්යක්ෂමව ඉටු කළ හැකි ශක්තිමත් හා ස්වාධීන රාජ්‍ය සේවයක් බිහි කිරීම වෙනුවෙන් ද එය මනාව සම්පාදනය කිරීම කළ යුතුවේ.

රාජ්‍ය මූල්‍ය පාලනය ඉතා බිහිසුණු ආකාරයට විනාශයට පත්කරනු ලැබ ඇත. අතීතයේ සිට අඛණ්ඩව පවතින නීති, රෙගුලාසි ආදිය නොතකා හරිමින් සිදු කරන වංචාව, නොසැලකිලිමත්කම ආදිය මෙන්ම රාජ්‍ය සම්පත් අවභාවිතාවේ යෙදවීම වැළැක්වීමට නොහැකිවී ඇත.

යහපාලනයේ මූලික ලක්ෂනයන් වන නීතියේ පාලනය නොසලකා හැරීම, රාජ්‍ය මූල්‍ය පාලනය, පාර්ලිමේන්තුවේ, මුදල් අමාත්‍යංශයේ සිට පහළම ප්රාදේශීය සභාව දක්වා අත්තනෝමතිකව සිදු කරන ආකාරය දැකිය හැකිය.

හොදම උදාහරණයක් නම් ඔස්ට්‍රේලියාවේ පළාත් පාලන පනතේ සුවිසේශී වගන්තියක් තිබේ. එහි සදහන් වන්නේ පළාත් පාලන කටයුතු වලදී අභ්‍යන්ධාතරික පරිපාලන බලතල වලට අතපෙවීම් තෝරා පත්වූ මහජන නියෝජිතයන් නොකළ යුතු ය යනුවෙනි. එය ඔස්ට්‍රේලියාවේ අකුරටම සිදුවේ.

ලොව බොහෝ රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් තුළ දැකිය හැකි විශේෂ ලක්‍ෂණයන් රාශියකිිි . රටේ ව්‍යවස්ථාව අත්‍යවශ්‍යයෙන්ම ‘උත්තරීතර නීතිය’ වශයෙන් ශක්තිමත් කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුවේ.

ලංකාවේ දූෂිත දේශපාලකයන්ට තමන්ට හිතු මතයේ එය වෙනස් කළ නොහැකි විය යුතුවේ . අපට ඇති එකම හා බලගතුම අවශ්‍යතාවය එවැනි ශක්තිය වර්තමාන ව්‍යවස්ථාවට ලබා දීම බව අවධාරණය කළ යුතුවේ . අළුතින්ම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නොවේ.. නැවතත් අවධාරණයෙන්ම පවසන්නේ අප 1972 හා 1978 සිදු කළ වරදමැතිවරණ කොමිසම සම්බන්ධ හඩ පට හරහා නිර්මාණය වන වටපිටාව කුමක්ද?

මා විශ්රාමික රාජ්‍ය සේවකයෙකි. මා රාජ්‍ය සේවාව දකින්නේ කෙසේද ?

17 වන සංශෝධනය හරහා නිවැරදි කළේ කුමක්ද?

ජයවර්ධන රජය විධායක ජනපතිධුරය හදුන්වා දුන් පසුව රාජ්‍ය සේවාව මුළුමනින්ම දිනෙන් දින කඩාවැටීමට ලක්වෙමින් පැවතුනි. ඒවා දශක දෙකකට අධික කාලයක් සාකච්ඡාවට ලක්වී තිබුණි. ඉන් පසුව සියල්ල නිවැරදි කිරීමේ අවශ්‍යතාවය හදුනාගනිමින් ඒ සදහා හදුන්වා දුන් ව්‍යවස්ථාමය සංශෝධනයකි 17 වන සංශෝධනය.

රාජ්‍ය සේවාව දේශපාලනීකරණයකට ලක්වීම තුලින් සිදුවූ හානිය කුමක්ද? අපක්ෂපාතී බව හා ස්වාධීන රාජ්‍ය සේවයක් නොමැති නිසා සමස්ත රාජ්‍ය සේවාවට, රටවැසියාට හා රටට සිදුවූ විනාශය මිළ කළ නොහැකිය.

සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම රටේ දේශපාලන බලධාරීන්ගේ අතකොලුවක් බවට පත්ව වී ඇත. එබැවින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා එම කොමිෂන් සභා හරහා රාජ්‍ය සේවාව දේශපාලකයන්ගේ ග්රහනයෙන් මුදවා ගැනීම මුඛ්‍ය පරමාර්ථය වී තිබුණි.

රාජ්‍ය සේවාව හා එහි බලතල අත්තනෝමතිකව හා හිතුවක්කාර ආකාරයෙන් ක්රියාවට නැංවීම වළකාලමින් රාජ්‍ය සේවාව ඉහළටම ඔසවා තැබීම තවත් පරමාර්ථයකි.

සියළු කොමිෂන් සභා වාර්ෂිකව පාර්ලිමේන්තුවට සවිස්තරාත්මක වාර්තාවක් සැපයිය යුතුවේ. එසේ නීතීමය අවශ්‍යතාවයක් තිබියදී සමහර කොමිෂන් සභා එම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම බරපතල වරදකි. උදාහරණයක් වශයෙන් අල්ලස් කොමිසම සුවිසේශී පනතක් මගින් 1994 වසරේදී ස්ථාපනය කරන ලදී.

අදාල විවාදයට සහභාගිවෙමින් එවකට අධිකරණ ඇමති ජී. එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ දූෂණය හා අල්ලස් එම පනත සම්මත වූූූ පසු රට තුළ අවසන් කළ පරිච්චේදයක් වනු ඇති බවට සහතික වෙමිනි. එහෙත් අල්ලස් කොමිසම පසුගිය රජයේ අවසාන අදියර වන තෙක් වාර්ෂික වාර්තාව පවා යොමු කිරීමට අසමත්වී තිබීම රාජ්‍ය සේවාවේ යථාර්ථයයි.

මහාචාර්ය රජීව් විජේසිංහ මහින්ද රාජපක්ෂ රජය සමයේදී අල්ලස් කොමිසමට යොමු කළ මන්ත්‍රීන් මිළයට ගැනීමට ව්‍යාපාරිකයකු ලක්ෂ 600 ලබා දුන් බවට අදාල පැමිණිල්ලට කුමක් සිදවූයේද? එමෙන්ම මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ නැවත අගමැතිවරයා වශයෙන් පත්කළ විට එස්.බී. දිසානායක විසින් රිෂාඩ් බදූර්දීන් මිළයට ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශන සම්බන්ධයෙන් ප්රගතිය කුමක්ද? ඒවා යටපත් කළ හැකිද? නීතිය අල්ලස් කොමිසම ක්රියාත්මක කරන්නේ හාල්මැස්සන්ට පමණක්ද?

මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් වර්තමානයේ එල්ලවී ඇති චෝදනා රාශියකි. ඒවා වෙන් වෙන් වශයෙන් සාකච්ඡාවට ලක්කිරීම මගේ පරමාර්ථය නොවේ.

ඕෂල හේරත් මහතා එම ඌනතාවයන් සියල්ල සාක්ෂි සහිතව සමාජ ගත කරනු ලැබ ඇත. එමෙන්ම පක්ෂ පාට ආදී හැගීම් වලින් තොරව නිදහස් හා ස්වාධීන රටවැසියකු වශයෙන් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාද හඩපට හරහා කුණු ගද හමන රාජ්‍ය සේවාවේ යථාර්ථය රටටම හෙළි කරීමද අගය කළ යුතුවේ .

නමුත් සිදුව ඇත්තේ කුමක්ද? ඒ සියල්ල නොසලකා හැර යටපත් කරනු ලැබ ඇත. දේශපාලකයන් දේශපාලනය මිස රාජ්‍ය පාලනය මුළුමනින්ම නොසලකා හැරීම රටට සිදු කරන බලවත් හානියකි.

මා දකින්නේ කොමිෂන් සභා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාල නීති, රීති හා රෙගුලාසි තවමත් පිළියෙල කර නොමැතිවිම අභාග්‍යයකි. කොමිෂන් සභා වල කාර්ය භාරය කාර්යක්ෂම ලෙස ඉටු නොවන බව හේරත් මහතා සාක්ෂි සහිතව එම හඩ පට හරහා ඔප්පු කරනු ලැබ ඇත.

එසේම මැතිවරණ කොමිෂන් සභාව තම කාර්ය භාරය ඉක්මවා ගොස් රවි කරුණානායක හා රිෂාඩ් බදූර්දීන් සම්බන්ධ අපරාධ විමර්ශන අංශය මගින් අරඹා ඇති පරීක්ෂණ අත්හිටුවීම සදහා ලබාදුන් නියෝගය අධිකරණය මගින් අවලංගු කිරීම රට වැසියන් වන අපට ඉමහත් සතුටකි.

රවි කරුණානායක හා රිෂාඩ් බදූර්දීන් සම්බන්ධයෙන් ඇත්තටම මැතිවරණ කොමිෂන් කළ යුතුව තිබුනේ කුමක්ද?

ස්වාධීන කොමිෂන් සභාවක වගකීම රවි කරුණානායකගේ හා රිෂාඩ් බදූර්දීන්ගේ නාම යෝජනා අවලංගු කිරීමයි. එයට හේතුව මෙම අපේක්ෂකයින් දෙදෙනාම සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු අනුව සාධාරණ සැකයකින් තොරව ඔවුන් පාර්ලිමේන්තුවට නාමයෝජනා ලබා දිය යුතු නොවන පුද්ගලයන් වන බැවිනි.

දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහයට පවා පටහැනි අකාරයෙන් කටයුතු කරනු ලැබ ඇති හෙයිනි.

එබැවින් කොමිෂන් සභා තවදුරටත් ශක්තිමත් කිරීම හා ස්වාධීන කිරීම සදහා කටයුතු ⁣යෙදීම ජනපතිවරයාගේ හා නව පාර්ලිමේන්තුවේ ප්රමුඛතාවය ලබාදිය යුතු අවශ්‍යතාවයකි.

එවැනි කරුණු නිසි අධ්‍යයනයකට ලක් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.