11 August, 2020

Blog

තිත්ත දේශපාලනයේ ඇත්ත ප්‍රශ්න

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය. විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන් වේගයෙන් පරිවර්තනයට ලක් වේ. ටික කලකට පෙර ඉතාම වලංගු වූ සටන් පාඨයක් අවලංගු වූවක් බවට පත් වේ. නොඑසේනම්, එහි ප්‍රමුඛතාව අහෝසි වී යයි. වෙනත් ප්‍රමුඛතා ඉස්මත්තට එයි.

දේශපාලනයේ ඇති මෙම රැඩිකල් අනිශ්චයතාව නොහොත් අහඹුතාව ගැන කදිම ජනප්‍රවාදයක් මෙසේය. රුසියානු විප්ලවයෙන් පසුව වී.අයි. ලෙනින් එක්තරා රුසියානු විශ්වවිද්‍යාලයක සංචාරයේ යෙදෙමින් සිටියේලු. එවිට එක්තරා තරුණ සිසුවෙකු ඉතාම උනන්දුවෙන් කිසියම් කෘතියක් කියවමින් සිටිනු ඔහුගේ ඇස ගැටුණු බැව් කියැවේ. නිරන්තර හදාරන්නෙකු වූ ලෙනින් මදක් නැවතී ඒ කෘතිය කුමක්දැයි ඔහුගෙන් විමසීය: “රාජ්‍යය සහ විප්ලවය.” ඒ ලෙනින් විප්ලවාසන්න රුසියාවේ බලයට පත්ව සිටි තාවකාලික ආණ්ඩුවේ අත්අඩංගුවට පත් වීමේ අවදානම නිසා සැඟවී සිටින අතරතුරදී ලියූ කෘතියකි. තරුණ ශිෂ්‍යයාගේ පිළිතුරට ලෙනින් දැක් වූ ප්‍රතිචාරය අනපේක්ෂිත වූවක් විය: “ආ..ඒක පරණ පොතක්.”

ලෙනින්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? “කැලැන්ඩර කාලයට” අනුව ඉතාම මෑතකදී ලියන ලද ඔහුගේම කෘතිය ඔහු දැන් පරණ කෘතියක් ලෙස හඳුන්වයි. මෙයින් අදහස් වන්නේ කිසිසේත්ම එය නොවැදගත් කෘතියක් බව නොවේ. එය රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට කෙරුණු විශිෂ්ටතම දායකත්වයක් ලෙස පිළිගැනෙන කෘතියකි. නමුත්, ඇතැම්විට ඉහත කී තරුණ සිසුවාට දැක් වූ ප්‍රතිචාරයේදී ලෙනින් අදහස් කරන්නට ඇත්තේ එම කෘතිය රචනා කරන ලද්දේ කවර නම් ඓතිහාසික තත්ත්වයක් තුළද, එම තත්ත්වය තවදුරටත් පවතින්නේ නැත යන කාරණය විය හැකිය. ඒ අරුතින් එම කෘතිය පැරණිය. එබැවින්, දැන් එය කියැවිය යුත්තේ එය රචනා කෙරුණු මොහොතේ පැවති සංයුක්ත තත්ත්වය සිහි තබා ගනිමින්ය.

දේශපාලනය තුළ අනිශ්චිත අහඹුතාවේ වැදගත්කම ගැන ලෙනින්ගෙන් උගත හැකි තවත් දේ ඇත. 1917 සැප්තැම්බර් මස අග භාගයේ පටන් ඔහු පෙට්‍රොග්‍රාඩ්හි සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙත නොනැවතී ලිපි මාලාවක්ම ලිවීය. (ඔහු ඒ වනවිට ෆින්ලන්තයේ සැඟවී සිටියේය). ඒ සෑම ලිපියකින්ම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ වහාම පහර දී බලය අත්පත් කරගන්නා ලෙසයි. ප්‍රමාද වුවහොත් විප්ලවීය මොහොත අහිමි වී යා හැකිය. ඔහුගේ යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුණු විට අවසානයේදී බරපතල ජීවිත අවදානමක්ද ගෙන වෙස් වලාගෙන පෙට්‍රොග්‍රාඩ් වෙත පැමිණි කෝපාන්විත ලෙනින් පක්ෂයේ රහසිගත මධ්‍යම කාරක සභා රැස්වීමකට හදිසියේ කඩා වැදුණේය. ඉන්පසුව අඛණ්ඩව පැය දහයක කාලයක් පුරා කෙරුණු උණුසුම් විවාදයකින් පසුව පක්ෂ නායකයින් බහුතරයක් ඔහුගේ මතයට එකඟ කරවා ගන්නට ඔහු සමත් විය. 1917 ඔක්තෝබර් මස 23 වනදා රුසියානු විප්ලවයේ තීරණය ගැනුණේ එලෙසය.

දේශපාලනිකය (the political) පිළිබඳ වැදගත් ඉගැන්වීම් දෙකක් අඩු තරමින් මේ නිදසුනෙහි ගැබ්ව ඇත. පළමුවැන්න නම්, මා කලින්ද සඳහන් කළ පරිදි අනිශ්චය නොහොත් අහඹු තත්ත්වය නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කමයි. දෙවැන්න වන්නේ පවත්නා මොහොත මග හැරිය හොත්, එය නැවත උදා නොවනු ඇත යන්නයි. දේශපාලනයේදී ඔබට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ජනතාවාදයේ නිමේෂය

පසුගිය ජනාධිපතිවරණය සමයේ මා පෙන්වා දුන් පරිදි ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාවේද ජනතාවාදයේ නිමේෂයක් උදා විය. මෙයින් අදහස් වන්නේ සම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් කෙරෙහි පොදු ජනතා විරෝධයක් පැන නැගීමෙන් “ප්‍රභූ පාලකයින්ට එරෙහිව මහජනතාව” යන පසමිතුරුතාව වටා දේශපාලනය නැවත සංවිධානය විය හැකි වාතාවරණයක් උදා වී තිබේය යන්නයි. මෙහිදී එක්කෝ ජනතාව නියෝජනය කරන නව නායකත්වයක් මතු වීමට හැකිය; නොඑසේනම්, සාම්ප්‍රදායික පක්ෂ තුළින්ම අසම්ප්‍රදායික නායකත්වයක් මතු වීමෙන් මෙම ජනතාවාදී මොහොත අත්පත් කර ගන්නටද ඉඩ තිබේ. ට්‍රම්ප් යටතේ 2016 දී එක්සත් ජනපදය තුළ සිදු වූයේ මෙයයි.

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් මෝරමින් පැවති දේශපාලකයින් පිළිබඳ පොදු විරෝධය එහි උත්සන්නියටම පැමිණුනි. “පාර්ලිමේන්තුවේ 225 ම එළවා දැමිය යුතුය” යන ප්‍රකාශය පොදු ජන වහරක් බවට පත් විය. දේශපාලකයින් වෙනුවට වෘත්තීයවේදීන් ආදේශ කිරීමේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හට එල්ල වූ එක් විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය.

මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්ජාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උදෘතයෙන් හැඟවෙන්නේ එයයි. වාම ජනතාවාදයක් සඳහා දැරෙන කිසියම් ප්‍රයත්නයක්ද මේ තුළ හඳුනාගත හැකි බව මගේ අදහසයි. නමුත්, එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් වහ වහාම අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දැන් දේශපාලනයේ සංයුක්ත මොහොත නැවතත් වෙනස් වී තිබේය යන කාරණයයි. (මා ඉහත කී ලෙනින්ගේ ඉගැන්වීම් අනුව සිතා බැලූ විට මෙය පැහැදිලි කර ගැනීම පහසු වනු ඇතැයි සිතමි).

කොරෝනා යුගයේ ඇත්ත ප්‍රශ්න

සමකාලීන ලාංකීය දේශපාලන මොහොත නිර්මාණය වීමේ ආසන්න සංසිද්ධිය වූයේ කොරෝනා වෛරස් වසංගතය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු සමාජ, ආර්ථික අර්බුද මාලාවයි. ලොව සෑම තැනකම පාහේ අද පවත්නා තත්ත්වය එබඳුය. බහු-විධ කොරෝනා අර්බුදය හමුවේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන දේශපාලන ගතිකයක් වන්නේ ආර්ථිකමය ගැටළු යළිත් දේශපාලන ක්‍රියාවලියේ මධ්‍යයට පැමිණීමයි. ඒ අතරම මෙය මිනිසුන්ගේ පැවැත්ම පිළිබඳ සංදෘෂ්ටික ගැටළු ඉස්මත්තට එන කාල වකවානුවකි. මහජන සෞඛ්‍යය, සමාජ ආරක්ෂාව සහ දෛනික දිවි පැවැත්ම පිළිබඳ භෞතික ගැටළු දැන් ඉතාම තීරණාත්මකය.

ජනතාවාදී නායකත්වයක් මෙම ගැටළුවලට ආමන්ත්‍රණය කිරීම පමණක් නොසෑහේ. ඒවා තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයට පත් කර ගැනීමද අවශ්‍යය. එසේ කරන්නට අසමත් වන ඕනෑම දේශපාලන නායකත්වයක් මේ මොහොතේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරෙණු ඇත. මෙයින් අදහස් වන්නේ දූෂණය, අක්‍රමිකතා සහ සොරකම යනාදිය පිටුදකින “ඇත්ත මිනිසුන්ගේ” අවශ්‍යතාව දැන් අහෝසි වී ගොස් තිබෙන බව නොවේ. දැන් බහු ජන කොටස්වල දේශපාලන ප්‍රමුඛතා වෙනස් වෙමින් පවතින බවයි. මේ මොහොතේදී වඩා ප්‍රබල ජනතා ආමන්ත්‍රණය ඇත්තේ දූෂණයෙන් තොර “ඇත්ත මිනිසුන්” කෙරෙහි නොව තම “ඇත්ත ප්‍රශ්නවලට” ආමන්ත්‍රණය කරන නායකත්වයන් කෙරෙහිය. වෙනත් වචනවලින් කිව හොත්, ඔබට වත්මන් දේශපාලන මොහොතේ හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රථමයෙන් 2015 ජනාධිපතිවරණය ආශ්‍රිතව ඉහළට එසවුණු යහපාලනවාදී දෘෂ්ටිවාදයේ ග්‍රහණයෙන් මිදිය යුතුය. න්‍යායිකව වැරදි ලෙස “විප්ලවයක්” යැයි අර්ථ කථනය කෙරුණු 2015 ජනවාරිය දැන් අතීතයට එක් වී බොහෝ කල්ය.

මෑතකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නුවන් බෝපගේ සමකාලීන මොහොතේ ජන විඥානය කදිමට හකුළුවා දක්වන ප්‍රශ්නයක් නැගීය. ඒ ඔහු සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදීය. ඔහුගේ ප්‍රශ්නය වූයේ “දැන් මැද පෙරදිග සේවයේ යෙදී වසංගතයේ ප්‍රහාරයට ලක් වී සියරටට එන්නට නොහැකිව සිටින ජනයා නියෝජනය කරන්නේ කවුරුන්ද” යන්නයි. “සේවයෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයන්ව නියෝජනය කරන්නේ කවුද?”, “සහල් මාෆියාවෙන් පීඩා විඳින ගොවි ජනයා නියෝජනය කරන්නේ කවුද..?” මෙවන් ඇත්ත ප්‍රශ්න අදාළ වන්නේ කම්කරු සහ ගොවි ජනයාට පමණක් නොවේ. ජාතික ජන බලවේගයේ දේශපාලන පණිවිඩයේ ප්‍රධාන ග්‍රාහකයන් වී සිටින ඊනියා සබුද්ධික නාගරික මධ්‍යම පංතිකයන්ගේද ප්‍රශ්නවල ප්‍රමුඛතා දැන් පරිවර්තනයට ලක්වෙමින් තිබේ. ඔවුන් බහුතරයක් සිටින්නේ තම පංති තත්ත්වයෙන් පහළට ඇද වැටීමේ අවදානමට මුහුණ දෙමිනි.

ජාතික ජන බලවේගය මේ ඇත්ත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන බව එහි සාමාජිකයින් කරුණු සහිතව පෙන්වා දීමට ඉඩ තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. දැන් එම ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන කිසිදු පක්ෂයක් තිබේද? සියල්ලන්ම ඒවා සැලකිල්ලට ගනී. නමුත්, කාරණය නම් ඒ කෙසේද යන්නයි. දේශපාලන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ මෙහිදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ප්‍රශ්නවලට තම පිළිතුරු ගොනු කරන්නේ ශක්තිමත් නායකත්වයක් පිළිබඳ ජාතිකවාදී සහ රාජ්‍යවාදී දෘෂ්ටිවාදී දවටනය තුළය. සමගි ජන බලවේගයේ දෘෂ්ටිවාදී දවටනය වන්නේ ප්‍රේමදාස වර්ගයේ සුභසාධනවාදී නොහොත් අනුග්‍රාහකවාදී එකකි. ජාතික ජන බලවේගයේ බුද්ධිමය ශ්‍රේණිය නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග දැක් වූ සම්බන්ධය නිසාදෝ ඔවුන්ගේ ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී රාමුව වශයෙන් තවමත් පවතින්නේ දූෂණය පිටුදකින යහපත් දේශපාලකයින් නොහොත් ඊනියා “ඇත්ත මිනිසුන්” පිළිබඳ යහපාලනවාදී රාමුවකි. එම ප්‍රවේශය වඩාත් ආකර්ශනීය වනු ඇත්තේ නාගරික ලිබරල් මධ්‍යම පංතික කොටස්වලට බැව් සිතීම සාධාරණය. නමුත්, ඊට වෙනස්ව, ඉහත නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කොට ඇති ප්‍රවේශයේ සෘජු ආමන්ත්‍රණය එල්ල වන්නේ කොරෝනා අර්බුදයෙන් නේකවිධ පීඩනයන්ට ලක්වෙමින් සිටින කම්කරු, ගොවි, විරැකියා තරුණ කොටස් යනාදී පිරිස් වෙතය. න්‍යායිකව මෙන්ම දේශපාලනිකවද මේ ප්‍රවේශ දෙක සහමුලින්ම එකිනෙකින් වෙනස්ය. (“සමකාලීන මොහොත නිවැරදිව ග්‍රහණය කොටගෙන තිබියදීත් නුවන්ලාගේ ව්‍යාපෘතිය තවමත් සැලකිය යුතු ජනතා ආකර්ශනයක් දිනා ගෙන නැත්තේ මන්ද යන ප්‍රශ්නය වෙනම සාකච්ජා කළ යුත්තකි. මේ ඒ සඳහා අවස්ථාව නොවේ).

දේශපාලනය සබුද්ධිකකරණය කිරීම

මේ මොහොතේදී දීර්ඝව සාකච්ජා කිරීමට ඉඩක් නොමැති වුවත් වාමාංශික ජනතාවාදයක් සම්බන්ධයෙන් වැදගත් විය හැකි තවත් කාරණා දෙකක් ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතුව ඇත. පළමුවැන්න නම්, ජාතික ජන බලවේගය විසින් දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවණතාවයි. ඔවුන් ප්‍රකාශිතවම තම ආමන්ත්‍රණය කරන්නේ “සබුද්ධික ජනතාව”ටය. මෙය යුරෝපීය අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම හමුවේ ශන්තාල් මූෆ් වාමාංශයට කළ අනතුරු හැඟවීමක් සිහි ගන්වයි. ඇය නැවත නැවතත් අවධාරණය කළේ ජනතාවගේ හැඟීම් සංවිධානය කිරීම ජනතාවාදී දේශපාලනයේ ප්‍රධාන අංගයක් විය යුතු බවයි. සරලව, මිනිසුන්ගේ මොළයට සේම හදවතට කතා කරන භාෂාවක්ද අවශ්‍යය. මන්ද යත්, දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවේශයකදී යමෙකු තම හෙජමොනික ශක්‍යතාව අහිමි කර ගනී.

හැඟීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙරට වාමාංශය සතුව තිබූ ප්‍රධාන තේමාවක් නම් අධිරාජ්‍ය විරෝධයයි. චීනය සහ එක්සත් ජනපදය අතර ගොඩ නැගෙමින් පවතින නව තුෂ්ණි යුද්ධයේ සංග්‍රාම භූමියක් බවට මේ කුඩා දිවයින පත්වීමේ අනතුර උදා වී ඇති අද දිනයේ එම අධිරාජ්‍ය විරෝධයේ ධජය යළිත් වාමාංශයට අත්පත් කර ගත හැකිය. නමුත්, එක්සත් ජනපද සේම චීන ආධිපත්‍ය පිළිබඳ තියුණු විශ්ලේෂණයක් අහිමි නායකත්වයකට එසේ කළ නොහැකිය. “අපගේ උපන් බිම චීන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වීමට ඉඩ නොතබමු” යැයි කිව හැක්කේ මේ යුගයේ මූල්‍ය ප්‍රාග්ධනය ගැනත් වෙනස් වෙමින් පවතින භූ-දේශපාලනික යථාර්තය ගැනත් සංයුක්ත විශ්ලේෂණයක් සහිත වාමාංශික නායකත්වයකට පමණි.

මට සඳහන් කරන්නට අවශ්‍ය දෙවන කාරණය වන්නේ මෙයයි. ජාතික ජන බලවේගයේ යහපාලනවාදී ප්‍රවේශය මගින් ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ පවත්නා සංකේත පිළිවෙලෙහි අභ්‍යන්තර වෙනස් කිරීම් වෙතට මිස මේ පිළිවෙල තුළ නොමැති “වඩා දෙයක්” දිනාගැනීම වෙතට නොවන බවයි. එබැවින් එය “කළ හැක්කේ කුමක්දැයි” විමසන දේශපාලනයකි. ඒ වෙනුවට “කළ යුත්තේ කුමක්දැයි” විමසන ප්‍රති-හෙජමොනික ආමන්ත්‍රණයක් සහිත දේශපාලනයක් බවට එය පරිවර්තනය කරන්නට දැනට ප්‍රයත්න දරා ඇති බවක් නොපෙනේ. කෙසේ වුවද, ඒ සඳහා න්‍යායිකව දැනුවත් බුද්ධිමය මැදිහත්වීමක් වුවමනාය. (මේ ගැන ඉදිරියේදී දීර්ඝව ලියන්නට බලාපොරොත්තු වෙමි).

අවසන් වශයෙන් කිව යුත්තේ මේ ලිවීමේ අරමුණ වන්නේ වත්මන් මොහොතේ මතු වෙමින් තිබෙන අන්ත-දක්ෂිණාංශික අධිකාරීවාදී පාලනයක් ගොඩ නැගීමේ අනතුර හමුවේ ඊට මුහුණදිය හැකි වාමාංශික ජනතාවාදී අක්ෂයක් නිර්මාණය කිරීමට කිසියම් තරමකින් හෝ දායක වීම බවයි. එවන් වාම-ජනතාවාදී අක්ෂයක් ගොඩ නැගීමේ එක් අවශ්‍යතාවක් වන්නේ විවිධ වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර පුළුල් සහයෝගීතාවක් ඇති කර ගැනීමයි. බුද්ධිමය සහ විවේචනාත්මක ප්‍රවේශයකින් තොරව එය කළ නොහැකිය. ඉදිරියේ එන මහා මැතිවරණයෙන් පසුව බොහෝ විට මෙරට වාම, ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික කොටස්වලට මුහුණ දීමට සිදු වනු ඇත්තේ පොදු අභියෝග රැසකටය. විකල්ප බුද්ධිමය සහ දේශපාලනික කතිකාවක අවශ්‍යතාවද එම දුෂ්කර සමය විසින්ම මතු කෙරෙනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ඔබ මේ තරම් දිගට ලිව්වත් එක සත්‍යක් සඳහන් කරන්නේ නැත. එනම් ලංකාවේ ජනයා පොදුවේ ගත් කල ඉතාමත් ආත්මාර්ථ්කාමිය. සමජයේ එක කොටසකට වෙන හදිය “තමන්ට නොවේ” ඒක හින්දා අපිට වැඩක් නෑ. උදාහරනයක් වශයෙන් ඔබ කී “හාල් මාෆියාව”, “මැද පෙරදිග සේවකයන්” සහ “පුද්ගලික අංශයෙන් සෙවයෙන් නෙරපා දැමුවන්” යන්නන් ගැන බහුතර සමාජය “අපිට වැඩක් නෑ, අපිට බලපන්නේ නෑ” යන ආත්මාර්ථකාමි අදහසකින් පෙලෙන අයය. මේ අදහස ඉතාමත් මෝඩ වුවත් දිර්ඝ කලිනව ඉතමත් රටට සහ තමන්ට අහිතකර ප්‍රතිපල ගෙනෙ දෙන්නක් වුවත් ඒ අදහස අත්නොහරිති. අවුරුදු 72 ක් මෙය කර තවමත් බහුතරය ඒ මතයේ සිටින නිසා ප්‍රදාන පක්ෂ දෙකට කතිරය ගසති. මේ ආත්මර්ථකමිත්වය නැති වී යන්නේ රට සම්පුර්නයෙන් බංකොලොත් වි ඒ දුක තමන්ටත් දැනුනු විටය. එතෙක් වෙනකම් මේ ආත්මාර්ථ අදහස් නැති වෙන්නේ නැත. මේ කොරොනා තත්වයෙන් හටගෙන ඇති ආර්තික බිද වැටීම තවමත් රටේ ජනයා හරි හැටි තේරුම් ගෙනෙ නැත. අතිතයේ අප රට කිසිදා අත්නොදුටු ආර්තික පරිහානියකට මුලු රටටම මුහුන දෙන්නට වීම වලක්වන්නට බැරිය. අන්න එදා රටේ බහුතරයේ සිතේ තියෙන ආත්මාර්ථකමිත්වය වියලී යාවි. එතෙක් අප රටේ ඉන්නා ආත්මාර්ථකාමි බහුතරය වෙනස් වෙන්නේ නැත. මේ තත්වය ඉතාමත් කණ්ගාටු තත්වයක් පිලිබිඹුකලත් තිත්ත ඇත්ත එයය. එනම් රටේ බහුතරයක් ඉතාමත් අත්මාර්ථකාමිය!!!

  • 1
    0

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෝ පෘථිවියේ වඩාත්ම මෝඩ ජාතිය විය යුතුය. ඔවුන් හරියටම දැන සිටියහ, රාජපක්ෂයන් දක්ෂ වන්නේ කුමන අරමුණක් සඳහාද? ඔවුන් 2015 වන විට සෑම ආකාරයකින්ම ඉහළ අපරාධකරුවන් විය. මේ සියල්ල ලොව පුරා දන්නා සහ අසන්නට ලැබුණි. මුළු යුරෝපය සහ කැනඩාව රාජකෂේ කුරිරු රජයන්ට එරෙහිව නැගී සිටියේය. අනාගත පාර්ලිමේන්තුවේදී රාජක්ෂේගේ ආධාරකරුවන්ගේ 2/3 වරම මගින් වෙනත් සෝමාලියාවකින් මෙම ජාතිය විනාශ කළ හැකි බව උගත් ශ්‍රී ලංකන් පැහැදිලි විය යුතුය. එක පොරොන්දුවක්වත් පුරවා නැති නමුත් මහින්ද රාජපක්ෂේගේ පාලනය යටතේ ඔවුන් හිතාමතාම ගෙන ගිය මට්ටමට ඔබ්බෙන් විනාශ වීමට වැඩි වරමක් ඉල්ලා සිටියි. මම විශ්වාස කරන්නේ, දශක කිහිපයකට පෙර පාකිස්තානයේ සිදු වූවාට වඩා මේ රටේ ජනතාව එතරම් මෝඩයන් නොවනු ඇති බවයි. , ඇන්ගෝලා හෝ දුප්පත් ජනතාව තමන්ගේම අභිමතාර්ථයන් නිසා නොමඟ යැවීමට ඔවුන්ගේ ආ ict ාදායකයින්ට ඉඩ දුන් රාජ්‍යයන් කිසිවක් ජනතාව වෙත ගෙනාවේ නැත. එම රටවල් කබලෙන් ලිපට ගින්නට වැටී ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.