Colombo Telegraph

ළමයින්ට උගැන්විය යුත්තේ සිතන්නේ කුමක්ද කියා නොව සිතන්නේ කෙසේද කියා ය

ලැසිල් ද සිල්වා

ලැසිල් ද සිල්වා

ශ‍්‍රී ලංකාව පිළිගැනෙන්නේ ඉහළ සාක්ෂරතාවක් සහිත රටක් වශයෙනි. කෙසේ වෙතත් ඊට අදාළ සංඛ්‍යා ලේඛන තුළින් සැබෑ තත්වය නිරූපණය කෙරෙන්නේ නැත. ‘වටිනා මුතු ඇටයක්’ සේ විරුදාවලී ලත් නිදහස් අධ්‍යාපන යෝජනා ක‍්‍රමය තුළට ගැනුණු විශිෂ්ට මානව සම්පත් සංවර්ධන ක‍්‍රියාවලියේ විනාශය සඳහා වැඩියත්ම හේතු වී ඇත්තේ, අපේ ආණ්ඩුවේ අධ්‍යාපන වැය ශීර්ෂය වෑරීම, ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් නැති කම, අකාර්යක්ෂමතාව සහ දේශපාලනීකරණය වැනි සාධක ය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව, වර්ෂ 2001 දී අවුරුදු 5-14 අතර වයස් කාණ්ඩයේ ළමුන්ගෙන් සියයට 6.9 ක් පාසල් ගොස් නැත. එසේම 15-16 වයස් කාණ්ඩයේ ළමුන්ගෙන් සියයට 22.13 ක්ද පාසල් ගොස් නැත. ලෝක බැංකුව 2005 දී ප‍්‍රකාශයට පත්කළ ආකාරයට, ළමුන්ගෙන් සියයට 18 ක් 9 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය අවසන් කොට නැත. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සංඛ්‍යා ලේඛනවලට අනුව, විශ්ව විද්‍යාල සුදුසුකම් ලත් සිසුන්ගෙන් 2009/2010 වසරේදී සියයට 82.80 ක්ද, 2010/2011 දී සියයට 84.55 ක්ද, 2011/2012 දී සියයට 79.56 ක්ද විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට වරම් ලබා නැත. එය මොන තරම් ලජ්ජාවට කාරණයක්ද?

අධ්‍යාපනයේ අනාගත අපේක්ෂා සහ රැුකියා පිළිබඳ අනාගත අපේක්ෂා පිළිබඳව තරුණ කොමිෂන් සභාව සැළකිල්ල යොමු කොට තිබුණි. 1931-1947 අතර කාලයේ අධ්‍යාපන ඇමති ධුරය හෙබැවූ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර රට පුරා වෙසෙන නාගරික මෙන්ම ග‍්‍රාමීය ජනතාවටද අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබා දීම සඳහා වෙහෙස වුණි. ඊට අදාළ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා එදා විසූ සංඝ රත්නය ඔහුට මහත් වූ ශක්තියක් වූහ.

නගරවල තිබෙන උසස් පාසල් සමග සසඳන විට ගම්බද පාසල් බොහෝ පසුපසින් සිටීම කණගාටුවට කාරණයක් නොවේද? ග‍්‍රාමීය සහ නාගරික අධ්‍යාපනය අතර අද බරපතල වෙනසක් තිබේ. නාගරික පාසල්වලට වැඩි වැඩියෙන් සම්පත් තිබේ. අධ්‍යාපනික පහසුකම් වැඩි වැඩියෙන් තිබේ. ආණ්ඩුවෙන් සපයන අරමුදල්වලින් මෙන්ම, දක්ෂ ගුරුවරුන්ගෙන්, පරිගණකවලින් සහ විදේශ භාෂා අධ්‍යාපන පහසුකම්වලින් ඒ පාසල් පොහොසත් ය. මේ ක‍්‍රමය තුළ, නගරයේ වඩාත් පොහොසත් පවුල්, නැති බැරි ග‍්‍රාමීය පවුල්වලට වඩා ප‍්‍රතිලාභ ලබන බව පුදුමයක් නොවේද?

1970 දශකයට පෙර ග‍්‍රාමීය පාසල් විශාල වැඩ කොටසක් ඉටු කෙළේය. පළාත් සභා පිහිටුවීමෙන් පසු ග‍්‍රාමීය පාසල් එකී පළාත් සභා පරිපාලනය යටතට ගැනුණි. කිලෝ මීටර් දෙකක දුරකින් ප‍්‍රාථමික පාසලක්ද, කිලෝ මීටර් පහක දුරකින් ද්විතීයික පාසලක්ද සැපයීමට අධ්‍යාපනික බලධාරීහූ බැඳී සිටිති. කෙසේ වෙතත්, සම්පත් හිඟ කමින් පෙලෙන මෙන්ම නොසලකා හැරෙමින් පවතින ග‍්‍රාමීය පාසල්වල ශිෂ්‍යයන් රඳවා තබා ගැනීම අසීරු කටයුත්තක් වී ඇත. ඒ හේතුවෙන් ඉතා නොදියුණු ඇතැම් පළාත්වල පාසල් වසා දැමීමට සිදුව තිබේ. ඒ නිසා එවැනි පළාත්වල ශිෂ්‍යයන්ට අධ්‍යාපනයේ දොරටු වැසී ගොස් තිබේ. මේ ආකාරයට, 2006 දී පාසල් 14 ක්ද, 2007 දී පාසල් 37 ක්ද, 2008 දී පාසල් 17 ක්ද, 2009 දී පාසල් 103 ක්ද වැසී ගොස් ඇති බව ඔබ දන්නේද? පාසල්වලින් සියයට 25.97 ක ගුරුවරුන් සඳහා වැසිකිළි පහසුකම් නැත. සියයට 26.95 ක් පාසල්වල ශිෂ්‍යයන්ටත් වැසිකිළි පහසුකම් නැත. රටේ පාසල්වලින් සියයට 20 ට ජලය සහ විදුලිය නැත. මෙයාකාරයෙන් අධ්‍යාපනය නොසළකා හැරීම සහ අධ්‍යාපනය සඳහා ප‍්‍රතිපාදන කපා හැරීම නිසා සිදුවන්නේ රටේ අනාගතය අවදානමට ලක්කිරීමයි. මේ තත්වය අප පිළිසකර කර ගත යුතුව තිබේ. ඒ සඳහා අප වහාම සියයට 50 කින්වත් අධ්‍යාපනය සඳහා වන අපේ ප‍්‍රතිපාදන වැඩි කළ යුතු නැත්ද?

පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ අධ්‍යාපනය වෙනුවෙන් අප වැය කොට ඇත්තේ, රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3 කටත් අඩු ප‍්‍රතිශතයක් බව මෙහිදී අමතක නොකළ යුතුය. තරුණ ප‍්‍රශ්න සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාව ඉදිරියේ දැක්වූ දුක්ගැනවිලි අපේ පාලකයන් නොසළකා හැර ඇත. ඔවුන් මහජන අරමුදල් බෙදා හරින්නේ අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් පරිද්දෙන් නොවේ. මුදල් බෙදාහැරීමේ ආතක්පාතක් ඇත්තේද නැත. නූතන දේශපාලඥයන් නිසා අධ්‍යාපනය අද වන විට විශාල අර්බුදයකට පත්ව තිබේ. අපේ තරුණයන් ආරක්ෂා කිරීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් ඒකාබද්ධ ප‍්‍රතිපත්ති මාලාවක් ක‍්‍රියාත්මක කොට ස්ථාපිත කළ යුතු නොවේද? එබැවින් ඊට අදාළ සියලූ පාර්ශ්වකරුවන් විසින් අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කෙරෙන පොදු වේදිකාවක් අප විසින් ගොඩනගා ගත යුතු නොවේද?

ඇමරිකානු සමාජ විද්‍යාඥයෙකු වන ටැල්කොට් පාර්සන්ස් පාසල හඳුන්වන්නේ පාලම් දෙකක් යා කරන සංයෝජනයක් වශයෙනි. මුලින්ම, පවුල/නිවස සහ පොදු සමාජය අතර පාලමක් ඒ මගින් ගොඩනැගේ. ඊළඟට, ළමා විය සහ වැඩිහිටි විය අතර පාලමක් ඒ මගින් ගොඩනැගේ. ඒ අනුව, පාර්සන් තර්ක කරන්නේ, පාසල වනාහී ළමයාව පොදු සමාජයේ සහ වැඩිහිටි වියේ කොටසක් වශයෙන් පුහුණු කරන ආයතනය වශයෙනි. එසේම පාසලේදී ළමයා විශේෂිත කරුණු දෙකක් උගන්නා බව ඔහු කියයි. එකක් වන්නේ, සමාජ සාරධර්මයි. එනම්, සමාජයේ පූර්ණ සාමාජිකයන් වන්නේ කෙසේද යන්නත්, අනාගත ජීවිකාවක් උපයා ගැනීම සඳහා වෘත්තිය පදනමක් සඳහා වන ආර්ථික නිපුණතා සකසා ගන්නේ කෙසේද යන්නත් ය. පාර්සන්ස්ට අනුව මෙකී සාරධර්ම වූ කලී, සාර්ථකතා සාක්ෂාත් කරගන්නා උසස් පේ‍්‍රරණයෙන් යුත් ශ‍්‍රම බලකායක් නිර්මාණය කරනු ලැබේ.

තරුණ කටයුතු පිළිබඳ කොමිෂන් සභාව මීට දශක කිහිපයකට පෙරදීම රාජ්‍ය පරිපාලනය නිර්-දේශපාලනීකරණය විය යුතු බව පෙන්වා දුනි. ඊට ඉඳුරා පටහැනිව දේශපාලඥයන් කෙළේ තමන්ගේ හයිය පෙන්වීමයි. මේ නිසා, එක විට ක‍්‍රියාත්මක වන නීති පද්ධති දෙකක් ඇතැයි තරුණයෝ සිතති. එකක් තිබෙන්නේ, දේශපාලන හයිකාරකම් පාන දේශපාලඥයන්ට සහ ඕනෑම කෙනෙකු මිළදී ගැනීමට හැකියාව ඇති ලොකු ලොක්කන්ට ය. අනික තිබෙන්නේ, යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටින මුත් අවශ්‍ය කරන බලය සහ සම්පත් නැති සාමාන්‍ය ජනතාවට ය. මෙය, සදාතන අරගලයක්ද?

රාජ්‍ය සේවය පිළිබඳ පවතින මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන ප‍්‍රධාන සාධක වන්නේ, අල්ලස සහ දූෂණය බව තරුණ කොමිෂන් සභාව පෙන්වා දුනි. දේශපාලඥයන් පමණක් නොව, රාජ්‍ය නිලධාරීන්ද ඊට වගකිව යුතු බව එම කොමිෂන් සභාව තවදුරටත් පෙන්වා දුනි. කෙසේ වෙතත්, තරුණයන්ගේ හඬට සවන්දීමක් සිදුවී නැත. තමන්ගේ ප‍්‍රශ්න ගැන කිසිවෙකු උනන්දුවක් නොගන්නා බව කොමිසම ඉදිරියේ ඔවුන් කියා තිබේ. තරුණ ප‍්‍රශ්න නිරාකරණය කිරීම සඳහා වන නිවැරදි පියවරයන් ගැනීම සඳහා දේශපාලඥයන් විසින් කිසි උනන්දුවක් ගෙන නැති බව ඔවුන් පෙන්වා දුනි. මේ නිසා, තරුණ ඔම්බුඞ්ස්මාන් කාර්යාංශයක් පිහිටුවිය යුතුව ඇතැයි කොමිසම නිර්දේශ කෙළේය.

ඒ සියල්ලට අමතරව, අධ්‍යාපනය සහ රැුකියා වෙළඳපොළ අතර බරපතල නොපෑහීමක් ඇති බවත් කොමිසම පෙන්වා දුනි. නොසැළකිල්ල සහ සම්පත් හිඟකම හේතුවෙන් අසන්තෝසය සහ අසහනය හරහා අළාමුළාවට පත් තරුණයන් තුළ දුක්ඛිත භාවය සහ සන්තාපය ඇති කරවයි. විශේෂිත වූ රැුකියා නිපුණතා අල්ප වීම හේතුවෙන්, අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඉදිරියට යාමට අසමත් වන සිසුන්ට රැුකියා සොයා ගැනීම දුෂ්කර වෙයි. ඒ නිසා හදිසි වැදගත්කමකින් යුත් කාරණයක් සේ සළකා අධ්‍යාපනික ව්‍යුහය ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව තරුණ කොමිසම යෝජනා කෙළේය. ඊට හේතුව, ‘‘අපේ අධ්‍යාපන ක‍්‍රමයේ යම් මූලික දෝෂයක් පවතින’’ නිසා බව ඔවුන් පෙන්වා දුනි. විටින් විට බලයට පත්වන ආණ්ඩු සහ අධ්‍යාපන ඇමතිවරුන් අතරේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ ප‍්‍රමාණවත් අඛණ්ඩතාවක් පවත්වා ගෙන නැති නිසා අධ්‍යාපන ක‍්‍රමය අඩාල කොට ඇතිවා පමණක් නොව. තරුණ අපේක්ෂාවන්ද සුන් කොට ඇති බව ඔවුන්ගේ මතය විය.

පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ගුරුවරුන්ට ගෙවන අඩු වැටුප් නිසාත් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය බාල කෙරේ. ඉස්සර ගුරුවරුන් මෙන් නොව, දැන් ගුරුවරු පෞද්ගලික උපකාරක පංති කරති. එම පංති ඉතා වියදම්කාරී ය. එයින් අදහස් වන්නේ ගුරුවරුන් සිය වගකීම් පැහැර හරින බවක් නොවේද? එය, කෙනෙකුගේ ජන්ම අයිතියක් වන නිදහස් අධ්‍යාපනය කෙනෙකුට අහිමි කිරීමක් නොවන්නේද?

*2016 අගෝස්තු 8 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Children Must Be Taught How to Think, not What to Think” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස) ‘යහපාලනය ලංකා’.(ඉතිරි කොටස ඊළඟට)

Back to Home page