20 April, 2024

Blog

හිමිකම්ලාභීන්ගේ රටේ, සක්මන් මංපෙත්වලට එදිරිව අධ්‍යාපනය

ලක්මාලී හේමචන්ද්‍ර

ලක්මාලී හේමචන්ද්‍ර

ලක්මාලී හේමචන්ද්‍ර

නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1947 දී ය. ඒ, දෙවැනි ලෝක යුද්ධාවසානයේ ඇති වූ දේශපාලනික සහ ආර්ථික කලබැගෑනියෙන් ඇමරිකානු සහ යුරෝපීය ධනපති පංතිය ගොඩඑමින් අවදියේය. යුද්ධය සහ ෆැසිස්ට්වාදය සමග බොහෝ අසාර්ථක විප්ලව සහ එක් සාර්ථක විප්ලවයක් ඒ යුගයට ගැනුණි. කේන්සියානු ආර්ථික ප‍්‍රතිසංස්කරණ තුළින් ‘නිව් ඞීල්’ සැලැස්ම යටතේ බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු ආර්ථිකයන් අළු ගසා දමමින් සිටි, සෝවියට් දේශය ධනවාදයේ නිදහසට තර්ජනයක් වෙමින් සිටි එවන් අවදියක් තරම් යහපත් කාලයක් සුභසාධන රාජ්‍ය ක‍්‍රමයකට තවත් නැතත්, නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීම ලේසිපාසු නොවීය. ඊට කලින් අධ්‍යාපනය පැවතියේ සුළුතරයකගේ වරප‍්‍රසාදයක් වශයෙනි. එනම්, ධනපතියන්ගේ සහ පිරිමින්ගේ වරප‍්‍රසාදයක් වශයෙනි. නිදහස් අධ්‍යාපනයෙන් ශ‍්‍රී ලංකාව ලබා ගත් තැන, පශ්චාත්-යුද්ධ කාලීන සමාජ සංවර්ධනය තුළ, ඉන්දියාවට වෙනස් ය. ඉන්දියාවේ සාක්ෂරතාව (අකුරු ලිවීමේ සහ කියැවීමේ හැකියාව) කිසි විටෙක රටේ මුළු ජනගහනයෙන් සියයට 50 ඉක්මවූයේ නැත. එරටේ කාන්තාවන් සහ පහත් කුල වැනි සමාජ කොටස්වලට අධ්‍යාපනය හිමි නොවුණි. ඒ නිසා, සමාජ ප‍්‍රගමනයේ සහ නවීකරණයේ බලවේගයක් ලෙසින් ඉන්දියාවේ අධ්‍යාපනය කිසි විටෙක ප‍්‍රගාමක සාධකයක් වුණේ නැත. ඊට වෙනස්ව, ශ‍්‍රී ලංකාවේ සාක්ෂරතාව දැරුවේ ඉතා ඉහළ අගයකි. මෙරටේ ගැහැනිය මොන තරම් අසාධාරණයන්ට ලක්ව තිබෙතත්, 1947 නිදහස් අධ්‍යාපන පනතෙන් පසු, කිසි විටෙක අධ්‍යාපනික අවස්ථා නොලැබී යාමක්, එම අසාධාරණයන්ට හේතු වී නැත.

අවාසනාවට, සමහරුන්, විශේෂයෙන් නිදහස් අධ්‍යාපනයේ වරමින් ඉහළට ගිය අයගේ දූදරුවන් දැන් එය හඳුන්වන්නේ, මෙරටේ මිනිසුන් පෙළෙන, හිමිකම්ලාභී මනෝ ව්‍යාධියක අංගයක් වශයෙනි. ඔවුන්ට අනුව, එම ව්‍යාධිය සුව කළ හැක්කේ, අධ්‍යාපනය සඳහා ගෙවීමට සැලැස්වීම මගින්ම පමණි. ඒ අතරින් ලොකුම හැකරයා එස්. බී. දිසානායක යි. එහෙත්, ජනතා අයිතීන්ට ඉහළින් වරප‍්‍රසාදවලට තැන දෙන සමාජයක, එම අදහස දරන්නේ ඔහු පමණක් විය නොහැක.

අධ්‍යාපනය පුද්ගලීකරණය වීමේ දී මතු වන මූලික ප‍්‍රශ්නය වන්නේ, අධ්‍යාපනය යනු අයිතිවාසිකමක් ද නැතහොත් වරප‍්‍රසාදයක් ද යන්නයි. එය අයිතිවාසිකමක් නම්, අධ්‍යාපනය ලැබීමට ඇති සියලූ සීමාවන්, රාජ්‍යය මැදිහත්ව, ඉවත් කළ යුතුය. එසේම, ජාතිය, ආගම, ලිංගිකත්වය සහ දෙමාපියන්ගේ වත් පොහොසත්කම් මත පදනම් නොවී, සෑම දරුවෙකුට සහ සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය ලැබීමට සමාන අයිතියක් තිබිය යුතුය. එවිට, බොහෝ අය පතුරු අද ගසන, අර කී ‘හිමිකම්ලාභී මානසිකත්වය’, අධ්‍යාපයට ඇති මේ පොදු අයිතියේ ආරක්ෂාව සඳහා පෙළගැසෙනු ඇත. අධ්‍යාපනය යනු වරප‍්‍රසාදයක් නම්, ඉහත කී වගකීම ආණ්ඩුවටක පැවරෙන්නේ නැත. එවිට එකිනෙකාගේ හැකියාව මත මෙහෙයැවිය හැකි වන සේ, අධ්‍යාපනය පෞද්ගලික අංශයට මුදාහැරිය හැකිය. එහි දී, ධනපතියන්ගේ වරප‍්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්වීම අනිවාර්ය කෙරෙන්නේය.

එය සිදුවන්නේ කෙසේද?

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් විශාල කොටසක්, ශ‍්‍රමයට සරි ප‍්‍රතිලාභ නොලබන, අඩු ආදායම්ලාභීන් ය. පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් ටියුෂන් පංතිවලට ගෙවීමට ඇති නොහැකියාව මත, ඔවුන්ට සිදුවන්නේ, දරුවන්ව පාසල්වලට නොයවා සිටීමට හෝ යැව්වත්, එම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලැබිය නොහැකි පරිසරයක් නිර්මාණය වෙනු බලා සිටීමටයි. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය යනු, අධ්‍යාපනික අවස්ථා, වියදම් කළ හැක්කන්ට පමණක් දැරිය හැකි මිළකට විකිණීමයි. මන්ද යත්, පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක එකම එල්ලය විය හැක්කේ මුදලම, වඩාත් නිවැරදිව කිවහොත්, ලාභයම වන බැවිනි. ලිංගිකත්වය මත අධ්‍යාපනික අවස්ථා සීමා කිරීම වැරදි නම්, ජාතිය සහ ආගම මත අධ්‍යාපනික අවස්ථා සීමා කිරීම වැරදි නම්, ධනය මත අධ්‍යාපනික අවස්ථා සීමා කිරීම නිවැරදි වන්නේ කෙසේද? දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ අයිතිවාසිකම් පාගන ධනයක ඇති යහපත කුමක් ද? ජනතාව වන අපට අපේ අයිතිවාසිකම් ගැන බලපුලූවන්කාරයන් බොරු කරද්දී සහ යහපත් ජීවන තත්වයක් ඉල්ලා සිටින විට අපට පහර දෙද්දී, මුදල පමණක් හැම විටකම බලගැන්වෙන්නේ ඇයි?

හවසක නිදහස් චතුරශ‍්‍රයට ගියොත්, විශාල ධනස්කන්ධයක් වැය කොට නිමවා ඇති ව්‍යායාම සක්මන් පථවල ශරීරාභ්‍යාසයක් වශයෙන් ඇවිදින සහ දුවන මිනිසුන් ඔබට දැකගත හැකිය. ඒ ගමන් පථයක ඔබ ලතවෙමින් ගියොත්, ඉහත කී ඇවිදින හෝ දුවන කෙනෙක් ඔබව තල්ලූ කරගෙන යනු ඇත. මන්ද යත්, එය, ගමනක් බිමනක් යන පදිකයන් සඳහා තැනූවක් නොවන බැවිනි. දිග කුර්තාස් සහ ටී=ෂර්ට් හැඳගත් ශිෂ්‍යයන්ට තැනූවක් නොවන බැවිනි. ඉස්සර එම චතුරශ‍්‍ර භූමියේ ඔහේ ආවගිය අප වැන්නන් සඳහා තැනූවක් නොවන බැවිනි. ගල් ඇල්ලූ මං තීරු සහිතව නව නිදහස් චතුරශ‍්‍රය වෙන් කර තිබෙන්නේ, ව්‍යායාමකරුවන්ටයි. බලය හොබවන ඇවිදින්නන්ටයි. ඔවුන් එය පාවිච්චි කරන්නේ ද, තමන්ගේ එක්තරා අයිතියක් පිළිබඳ හැඟීමක් ද හිතේ දරාගෙනයි. ශරීර අභ්‍යාසය සඳහා දුවන්නන් සහ ඔහේ ඇවිද යන්නන් යන දෙකොටසම නිදහස් චතුරශ‍්‍රයට ආව ගිය කාලයක් තිබුණි. එහෙත් අද, ඒ දෙවැනුව කී පිරිස, අළුත් ‘නිදහස්’ චතුරශ‍්‍රයෙන් නොපෙනී ගොස් ඇත.

අධ්‍යාපනයේ පුද්ගලීකරණයෙන් ඇති විය හැකි ප‍්‍රතිවිපාක චිත‍්‍රණය කර ගැනීමට ඊට වඩා සුදුසු රූපකයක් තවත් නැත. උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ වංචනික පොරොන්දු සහ වරප‍්‍රසාදිත සුළුතරයකගේ අවස්ථාවාදී තර්ක මොන තරම් තිබුණත්, ලෝකයේ කොහේවත් පුද්ගලීකරණය හේතුවෙන් වැඩි අවස්ථාවන් පොදු ජනතාවට ලැබී නැත. පුද්ගලීකරණයේ ඒ කතා හැම විටකම අවසන්ව ඇත්තේ, ධනපතියන්ට, නිදහස් වෙළඳපොළට සහ ප‍්‍රාග්ධනයට ජයග‍්‍රහණය හිමිකර දෙමිනි. පවතින නිදහස් අධ්‍යාපන ක‍්‍රමයමත්, වරප‍්‍රසාදවලින් හැඩි වී ඇති බව සැබවි. පාසල් අධ්‍යාපනයට ඉහළින් ටියුෂන් පංති වැජඹෙන්නේ එබැවිනි. විශ්ව විද්‍යාලයට ඇතුලූ වීම සඳහා අ.පොස. උසස් පෙළ වෙනුවෙන් විශාල මුදල් ටියුෂන් පංතිවලට වියදම් කිරීම අනිවාර්ය කෙරී තිබේ. එසේ තිබියදීත්, තරගය සීග‍්‍රයෙන් තීව‍්‍ර වෙද්දි සිදුවන්නේ, වැඩි ලකුණු ලබන වැඩි පිරිසක්, විශ්ව විද්‍යාලයට නොතේරෙන පැත්තට තේරීමයි. අධ්‍යාපනයට ඇති සමාන අයිතිය සුරකිනු වස් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට පියවර ගනු වෙනුවට ආණ්ඩුව කරන්නේ, නිදහස් අධ්‍යාපනයේ ඉතිරිව ඇති ටිකත් විකුණා දැමීමයි. ඒ අනුව, පාසල් අධ්‍යාපනය සඳහා වැඩියෙන් වියදම් කරන තරමට, උසස් අධ්‍යාපනයත් මුදලට ගත හැකි වෙතැ යි, එන්න එන්නම විශ්වාස කරන තත්වයට අපි පත්වෙමින් සිටිමු. අධ්‍යාපනය වැඩි වැඩියෙන් වරප‍්‍රසාදවලට නතු කරන තරමට, අධ්‍යාපනයේ ප‍්‍රතිලාභවලින් ගිලිහෙන පිරිස වැඩි වන්නේය. පෞද්ගලීකරණය හරහා සියල්ලන්ට අවස්ථා විවර වෙති යි යන්න සැබෑවක් නොවේ. එයින් අවස්ථාවන් විවර වන්නේ මිලක් ගෙවීමට හැකි අයවලූන්ට පමණි. එනම්, සල්ලි බලයෙන් දැනටමත් බොහෝ වරප‍්‍රසාද භුක්ති විඳින පිරිසකට පමණි.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සමාජ සුභසාධනවලට දැනටමත් ගෙවන්නේ මහජනතාවයි. අප කන බොන සෑම දෙයකින්ම ආණ්ඩුව අපෙන් බදු ගන්නේ, ජනතාවට අධ්‍යාපනය දීමට, අසනීප වූ විට සෞඛ්‍ය පහසුකම් සැපයීමට, දිළින්දන්ට උපකාර කිරීමට සහ අපේ ජීවන තත්වයන් නගා සිටුවීම වැනි කාර්යයන් සඳහා ය. එසේ වතුදු, සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරගන්නා මේ මුදල් සුළු පිරිසකගේ වරප‍්‍රසාද සඳහා ආණ්ඩුව පාවිච්ච් කරන ගමන්, තමන්ගෙන් ගන්නා මුදලින් තමන්ට ප‍්‍රයෝජනවත් දෙයක් කරන්නැ යි ජනතාව ඉල්ලා සිටින විට, ආණ්ඩුව ඔවුන්ට ගරහන්නේය. ඉතිං මුළු කොළඹම පොදුරාජ්‍ය මණ්ඩලීය සැසිවාරය වෙනුවෙන් උඩු යටිකුරු කෙරේ. නිදහස් චතුරශ‍්‍රය, ව්‍යායාමකරුවන් සඳහා අළුත්වැඩියා කෙරේ. වේගය සඳහා වියදම් දැරිය හැක්කන් වෙනුවෙන් අධිවේගී මාර්ග ගොඩනැගේ. කටට රහට කන බොන අය වෙනුවෙන් සුඛෝපභෝගී ආපන ශාලා ඉදිකෙරේ. මේ අයුරින්, ජනතාව ගෙවන මුදලින් ඔවුන්ට ලැබිය යුතු ප‍්‍රතිලාභ පාලකයන් විසින් ඔවුන්ගෙන් අහිමි කරනවා පමණක් නොව, වෙනස් අදහසක් දැරීමට එම ජනයාට ඇති අයිතියත් ඔවුන්ගෙන් පැහැර ගැනේ. උදාහරණයක් වශයෙන්, ජනාධිපති පුතුන්ගේ සොඳුරු ආශාවන් සතපවනු වස් පැවැත්වෙන ‘ෆෝර්මියුලා 1’ රාත‍්‍රී රිය ධාවන තරග සඳහා මුළුමණින් වසා දැමීමට අවසර ලැබෙන පාරවල්වල, අධ්‍යාපනයේ පෞද්ගලීකරණයට එරෙහිව විරෝධතා පෑමට ශිෂ්‍ය ප‍්‍රජාවට අවසර නොලැබේ.

ප‍්‍රජා පීඩකයන් පාලනය හොබවන රටක ජනතාව වෙනුවෙන් වැය නොවන සෑම සතයක්ම, ප‍්‍රජාපීඩක තන්ත‍්‍රයේ බල ව්‍යාප්තිය සඳහා වැය කෙරෙන බව, එවැනි රටක වරප‍්‍රසාද වෙනුවෙන් නිර්ලජ්ජීව පෙනී සිටින අයවළුන් මතක තබා ගත යුතුය. එවැනි රටක අධ්‍යාපනය වෙනුවෙන් වැය නොවන සෑම සතයක්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගෙල සිර කරන තොණ්ඩුව අඹරන ආරක්ෂක වැය ශීර්ෂය සඳහා යෙදවෙන බව මතක තබා ගත යුතුය. ජනතා අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වැය නොවන සෑම සතයක්ම, එවැනි රටක ජනතා අයිතීන් උල්ලංඝනය කෙරෙන සුළුතරයකගේ වරප‍්‍රසාද වෙනුවෙන් වැය කෙරෙන බව මතක තබා ගත යුතුය. ජනතාවක් වශයෙන් අපට, අධ්‍යාපනය පමණක් නොව, ඊටත් වඩා, සෞඛ්‍ය, නිවාස, පරිසරය, ආහාර සහ ජලය වෙනුවෙන් ද, යුක්ති ධර්මය සහ පොදු අවකාශයක් වෙනුවෙන් ද, ආදරයක් සහ අභිමානයක් වෙනුවෙන් ද හිමිකාරීත්වයක් ඇති බවට හැඟීමක් අපට තිබිය යුතුය. ඉහත කී අයිතීන් ඉල්ලා සිටීමටත්, දැන් සිදුවන්නා සේ ආණ්ඩුවේ බරට අප කර ගසනවා වෙනුවට අප වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩුවක් තල්ලූ කිරීමටත් අපට හැකි වන්නේ, අපේ හිමිකාරීත්වය පිළිබඳ එවැනි හැඟීමකින් අප සන්නද්ධ වුවහොත් පමණි. අපේ අයිතීන් සඳහාත්, සුළුතර වරප‍්‍රසාදවලට එරෙහිවත් අප සටන් කිරීම එහි දී වැදගත් ය. එසේ නොවුණහොත්, අද වන විට නිදහස් චතුරශ‍්‍රයෙන් අතුරුදහන්ව ගොස් ඇති අර නිස්කලංක සක්මනේ යෙදුණු මිනිසුන් සහ සිසු සිසුවියන් මෙන්, වරප‍්‍රසාද රහිත දිළින්දන් සහ අසරණයන් ද සදහටම කොන් වෙනු ඇත.

*2014 ජනවාරි 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ In The Country Of The Entitled: Education Vs. Jogging Paths නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.