25 April, 2024

Blog

පෙරදිග සූරුකෑම හා බටහිර කුමන්ත‍්‍රණය

ලක්‍ෂමන් පියසේන

ලක්‍ෂමන් පියසේන

“…මම සලකන්නේ, ඔහු යටත් විජිත රටවල්වල සිටින දුප්පත් මිනිසුන්ගේ විශාලම සතුරා හැටියටයි. ඔහුටත් ඔහුගේ කල්ලියටත් අවශ්‍ය වී තිබුණේ, අපගේ උපරිම සේවය ලබා ගන්නයි. නමුත් ඔහු බි‍්‍රතාන්‍ය බේරා ගත් බවත් ඒ වගේම ලෝකයේම නිදහසට මඟ හෙළි කළ බවත් එය සත්‍යයක් බවත් මම පිළිගන්නව. …. මගේ අවංක චේතනාව නම් මේ යුද්ධය අවසන් වූ සැණින්, චර්චිල් එංගලන්තයේ අගමැති කමින් ඉවත් වේවි කියා. ඔහු ජපානයත්, ජර්මනියත්, යටත් කර ගන්නා තෙක් පාලනය අත් නොහැරිය යුතුයි. නමුත් මම කැමති නැහැ මේ රටවල් දෙක යටත් කළාට පසු එක දවසක්වත් ඔහු ඒ තනතුරේ රැඳී සිටිනවා දකින්නට. ඔහු ඒ තනතුරේ හිටියොත් අප වැනි අයට මේ ලෝකෙ කිසිම සහනයක් ලැබෙන්නෙ නැහැ. ඒ වුණාට චර්චිල් මහතාට මගේ ලොකු ගෞරවයක් තිබෙනවා.”

බි‍්‍රතාන්‍ය අගමැතිවරයෙකුව සිටි වින්සන්ට් චර්චිල් (1874 – 1965) සම්බන්ධයෙන් මේ කතාව කියන්නේ, ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඞී. එස්. සේනානායක (1884 – 1952)ය. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී ඞී. එස්. එසේ ප‍්‍රකාශ කරන විට, ඔහු ලංකාවේ අගමැතිවරයා නොවූ අතර, ලංකාව නිදහස ලබා සිටියේ ද නැත. එනම් ඒ වන විටත් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ නායකයා වන්නේ එංගලන්ත රැජිනයි. ඞී. එස්. මේ කතාව කරන්නේ ඒ එංගලන්ත ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙනි. නිකම්ම නිකන් අගමැති කෙනෙකු ගැන නොව, හිට්ලර්ගේ පරාජයට මුල් වන, දෙවන ලෝක යුද්ධය ආපසු හරවන, තීරණාත්මක දේශපාලන චරිතය සම්බන්ධයෙනි. අනෙක ඞීස්. එස්. එසේ පවසන්නේ හොර රහසේ තමන්ට හිතවත් කණ්ඩායමක් සමඟ උදේ තේ මේසයේදී නොව, රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී ය. ඒ විදියට බලන විට මේ සිද්ධිය, සමකාලීන ලංකාව හා එංගලන්තය ගැන දේශපාලන තක්ක්‍ෂේරුවක් ලබාදෙයි. ඞී. එස්. එහිදී දක්වන විචක්‍ෂණ භාවය හා දේශපාලන පෞරුෂය, අද එවැනි දැක්මක් හිඟ ලංකාවට අගනා ආදර්ශයකි.
ඞී. එස්. මේ කතාව කියා තවත් කෙටි කාලයකින් එංගලන්තය ප‍්‍රමුඛ මිත‍්‍ර පක්‍ෂය දෙවන ලෝක යුද්ධයෙන් ජය අත්කර ගනී. ඞී. එස්. හිතූ විදියට ම ජපානයත් ජර්මනියත් පරදී. චර්චිල් යුද්ධයේ බලවත් වීරයෙකු බවට ලෝකයේම පිළිගැනීමට ලක් වෙයි. ඔහු දේශපාලන නායකයෙකු මෙන්ම යුද වීරයෙකු ලෙසද ප‍්‍රකට වෙයි. එහෙත් ලංකාව ප‍්‍රමුඛ පෙරදිග සමාජයට පුදුමය ගෙන දෙමින් තවත් දෙයක් සිදු වෙයි. එනම් ඒ ආසන්නයේම පැවති එංගලන්ත මැතිවරණයෙන් චර්චිල්ගේ කොන්සවේටිව් පක්‍ෂය පරාජයට පත් වෙයි. දෙවන ලෝක යුද්ධය දිනා දුන් වීරයා චර්චිල්, ඊළඟ රාජ්‍ය නායකයා ලෙස එංගලන්ත ජනතාව තෝරා පත්කර නොගැනීම, යුද්ධයේ පීඩනයෙන් මෙන්ම, යුද්ධයේ ජයග‍්‍රහණයෙන් ද, හෙම්බත් වූ ලාංකිකයාට නම් අදත් පුදුමයට කරුණක් විය හැකිය. එහෙත් ඞී. එස්. දුටු විදියටම එංගලන්ත ජනතාව එදා දකින්නේ තම රටේ අනාගතයයි. යුද්ධයකට පසුව දිනා ගත යුතු සාමය හා ඊට ගැලපෙන සංවර්ධනය (සමස්ථ සමාජයේ පමණක් නොව තමන්ගේම හිතේ පවා) යුද වීරයෙකුට දිනා දිය නොහැකි බව බුද්ධිමත් එංගලන්ත ජනතාව ඉතා පැහැදිළිව එදා තීන්දු කළේය.

යුද්ධයක් දිනන මානසිකත්වයකින් හෝ බලවේගයකින් සාමය දිනා ගත නොහැකි බව, 2009 දී කොටි ත‍්‍රස්තවාදය පරාජය කළාට පසුව ලංකාව ඕනාවටත් වඩා ඔප්පු කොට ඇත. රතුපස්වල සිද්ධියෙන් සනාථ කෙරුණේ ද එයයි. වතුර ඉල්ලන විටත් එසේ වෙඩි කන්නට සිදුවන බව දන්නා මෙරට සාමාන්‍ය ජනතාවට, තවමත් සාමයේ සහනය ගැන හඟීමක් නැතිද? විශේෂයෙන්ම දකුණේ ජනතාවට, සාමය හිතට දෙන සහනය අත්විඳීමට වුවමනාවක් තියේද? එවැනි පැනයක් මතුවන්නේ, යුද ජයග‍්‍රහණය තම ජන ජීවිතයට සම්බන්ධ කරගත් උත්කර්ෂය විමසන විටය. කොටි භීෂණය මඩින්නට අවශ්‍ය කෙරුණු, ඊටත් වඩා දරුණු භීෂණය, රට ගොඩ නඟන දේශපාලනය ලෙස ලාංකිකයන් පිළිගත්තේ, විශේෂයෙන් දකුණ පිළිගත්තේ, එදා එංගලන්ත ජනතාව දැක්වූ බුද්ධිමය විලාසය තමන් සතුව නොතිබුණු නිසාද? එසේ නැතිනම් ඊට බලපාන වෙනයම් සංස්කෘතික හේතුවකටද? 

ලාංකීය ගැමි චින්තන උල්පත, (ජාතික චින්තනය යනුවෙන්ද එය හැඳින්විය හැකිය) තමන්ගේ ම අනෙකාව නොඉවසන කුහක දැක්මකින් නිබඳවම කිළිටිව තිබේ. “නිර්මල බෞද්ධ සංස්කෘතිය” මොන හොඳ දේ ලාංකික සමාජයට අත්කර දුන්නත්, එහි දේශපාලනය විසින් එකී කිළිටි බවද, කිරි තලියට ගොම බිංදුව මෙන් එකතු කරනු ලබයි. සුදු අධිරාජ්‍ය වාදයට එරෙහිව අර තරම් එඩිතර ප‍්‍රකාශයක් කළාට අමතරව, බෞද්ධ සාරය මත රට ගොඩ නඟන මඟ පෙන්වූ ඞී. එස්. තරම් නායකයෙක්, ඔහුට පසුව තවම මෙරට බිහි නොවී තිබියදීත්, ඔහු ලාංකික සමාජයට බටහිර ගැත්තෙක් වන්නේ ගැමි චින්තනයට ආවේනික ඒ කුහක දැක්ම මුළ් කර ගෙනය. ලංකාවට නිදහස ලැබෙන්නට යන අවස්ථාවේදී, රට ඉන්දියානු ප‍්‍රාන්තයක් වීම වැලක්වීම තමන්ට තිබුණු සබෑ අභියෝගය බව වටහා ගෙන, ඒ අනුව එංගලන්තය සමග සුදුසුම “දේශපාලන ගනුදෙනුව” කළ ඞී. එස්., ලාංකික සමාජයට ප‍්‍රතිගාමියෙක් වන්නේ එකී කුහක දැක්මට අනුවය. බි‍්‍රතාන්‍ය පාලනයෙන් උතුරට වෙනම රටක් ඉල්ලා සිටීම වලක්වාගෙන, දෙමළ ජනතාව තමන් කෙරෙහි දිනා ගන්නට හැකි අපූරු සමත් කමක් දැක්වූ ඞී. එස්., ලාංකික ජනතාවට දේශපේ‍්‍රමියෙකු නොවූයේ ද එකී ජාතික කුහක ගතිය නිසා ය.
නිදහස ලබන්නට පෙර ලංකාව පරිදිම බි‍්‍රතාන්‍ය කොලනියක් වූ ඕස්ටේ‍්‍රලියාව, 1950 වන විටත් හැම අතින්ම වගේ ලංකාවට පිටුපසින් සිටි රටකි. 2010 වන විට ලොව 14 වැනි ආර්ථිකය අත්කර ගත් රට ලෙස ගොඩ නැඟුණු එරට, තම පදිංචිය සඳහා යන්නට ඇති ලොව පළමු පෙළේ රටක් හැටියට අද ලාංකිකයා කල්පනා කරයි. රට, ජාතිය, ආගම ගැන උදේ හවා මොර දෙන, දේශපේ‍්‍රමීන් ලෙස පෙනී සිටින වැඩි දෙනකුම රහසේ පෙම් බඳින්නේ එසේ රට යන කල්පනාවටයි. බැරි වෙලාවත් නිදහස් වීසා ප‍්‍රතිපත්තියක් යටතේ තම රටට ලංකාවෙන් පිරිසක් පදිංචියට තෝරා ගන්නාවා යැයි ඕස්ටේ‍්‍රලියානු රජය නිවේදය කළොත් එහි යන්නට පෙල ගැසෙන පෝලිමේ මුළටම ඉන්නවා ඇත්තේ, අද ලංකාව ලෝකය ඉදිරියේ කරවටක් අමාරුකම් වල ගිල්වමින් සිටින, ”දේශපේ‍්‍රමී බලසේනා” කර තියාගෙන, අනෙකාව හඹා යන අය බවට කිසිදු සැකයක් නැත. එහෙත් මේ දේශපේ‍්‍රමීන් හැමවිටම තමන්ට නොගැලපෙන හා තමන් ඉවසන්නේ නැති අනෙකාව, බටහිර කුමන්ත‍්‍රණ කරුවන් විදියට හංවඩු ගසන්නේ තමන් තරම් දේශපේ‍්‍රමීන් මේ ලෝකෙ තවත් නැතැයි අඟවමිනි.

නිදහස ලබන විට ලංකාව තරම් දේශපාලන කලබැගෑනි වලින් නිදහස් නොවී තිබුණ ඉන්දියාව, මේ වන විට ලංකාවට වඩා ප‍්‍රබල තැනක පසුවන්නේ, එරට විශාල රටක් වීම නිසා හෝ කලාපයේ බලවතා වීම නිසා හෝ පමණක් නොවේ. වත්මන් තත්ත්වය එරට ක‍්‍රමානුකූලව ගොඩ නඟා ගත් දේශපාලන බලයකි. ඒ දේශපාලන බලය ශක්තිමත් වූයේ අධිරාජ්‍යවාදයට එරෙහිව මුළ සිටම එරට දේශපාලන නායකයන් අරගලකරී මඟක් ගත් නිසා යැයි කීම ද සාධාරණ නොවේ. සමාජය සතු ගෝත‍්‍රික ලක්‍ෂණ හෝ මිනිසාගේ පෘතග්ජන ගති වෙනුවට, හැම විටම පොදු සමාජයේ යහපතට ඉඩ ලැබෙන දේ දේශපාලනවද ඉහළට ගැනීමයි ඊට හේතු වූයේ. ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් වෙනස් වන්නේ එහි පොදු බවට ලැබෙන ඒ ඉඩ වැඩි බැවිණි. ලංකාවේ දේශපාලන නායකයන් තම දේශපාලනය ලෙස සලකන්නේ සමාජයේ ගෝත‍්‍රික ලක්‍ෂණ මතු කිරීමය. පෘතග්ජන කුහක ගති වැනි දුර්වලකම් වලට දේශපාලන වටිනාකම් ලබා දීමය. අනෙකාව නොඉවසීමේ ප‍්‍රාථමික ගතිය වෛරය ලෙස වර්ධනය කිරීමය. ලංකාවට වැරදුනේ රටේ ජනතාවත් ඒ පාරේ ම ගමන් කරන්නට වූ නිසාය. ඒ මිස ලංකාවේ නිදහස වෙනුවෙන් ඉන්දියාව මෙන් සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අරගලකාරී මඟක් ඞී. එස්. ප‍්‍රමුඛ කණ්ඩායම නොගත් නිසා නොවේ. නිදහස ලබන ලංකාව ඒකීය රටක් විදියට ඉතිරි කර ගන්නටනම් ඞී. එස්. බි‍්‍රතාන්‍ය සමඟ එැවැනි සුහද පිළිවෙතක් අනුගමනය කළ යුතුවම තිබුණි. එවැනි දූරදර්ශී නායකත්වයක් ගැන ඉතිහාසය පුරා කෘතවේදී වීම වෙනුවට, ඒ ආදර්ශය ඉදිරියටත් සංවර්ධනය කරනවා වෙනුවට, එය ප‍්‍රතිගාමී පියවරක් හැටියට හැඳින්විණි. එවැනි මතයක් රටේ මුල්බැස ගැනීම හා ඒ මතය තහවුරු කිරීමට දේශපාලනව උඩගෙඩි දීම හරිම පැහැදිළිව ලාංකීය ගැමි කුහක දැක්මේ ප‍්‍රකාශනයකි. 

නිදහස ලබන විට ලංකාවට තිබුණු පළමු අභියෝගය වූ (අදත් ජය ගන්නට නොහැකිව ඇත්තේ එම අභියෝගයයි) “එක්සත් වීම ඇතුළේ විවිධත්වයට ඉඩ දීම” ප‍්‍රායෝගික තලයකට ගන්නේ කෙසේද කියාය. ඒ ගැන අත්හදා බලන්නට සුදුසු දේශපාලන මඟක් ඞී. එස්. විසින් පාදා දෙන ලදී. එය සාමය දිනන මඟ විය. නිදහස ලැබුණාට පසුවත් යම් කාලයක් යන තුරු බි‍්‍රතාන්‍ය පාලනය ලංකාවෙන් මුළුමනින්ම ඉවත් කළ නොහැකි බව කල්තියාම වටහා ගත් ඞී. එස්., චර්චිල් වැනි යුදකාමියෙක් සමඟ එහිදී ගනු දෙනු කරන්නට සිදුවුවහොත් රටට සිදුවිය හැකි අනතුර ද දුටු බව ඔහු කළ ප‍්‍රකාශයෙන් ද, පසුව අගමැතිවරයා ලෙස ඔහු කළ දේශපාලනයෙන් ද පෙනේ. ඞී. එස්. කල්පනා කළ විදියටම එදා එංගලන්ත ජනතාව බුද්ධිමත් විය. එහෙත් කුහක නොවීය. තවත් වසර කිහිපයකින් පැවති ඊළඟ මැතිවරණයෙන් යළි චර්චිල් බලයට පැමිණීම ඒ බව කියා පාන සිද්ධියයි. ඊළඟට චර්චිල්ට තිබුණේ ඒ වන විට බි‍්‍රතාන්‍ය ගොඩනඟන්නට සකසන ලද ”සාමය හා සංවර්ධනය” නැමති මාවතේ රට රැගෙන යාම පමණි. දෙවන ලෝක යුද්ධය නිම වූ උණුසුමේ ම, ඒ යුද ජයග‍්‍රහණයෙන් මත්වී, එංගලන්ත ජනතාව චර්චිල් ව බලයට ගෙන ආවේනම්, රට ගොඩනඟන මාවත, ”යුද්ධය හා සංවර්ධනය” ලෙස මාරුවීමට ඉඩ තිබුණි.

ඞී. එස්. ට වුනත් නිදහසට පසුව එංගලන්තයට “දෙන්නම් බැටේ” කියන ලිංමැඩි පිළිවෙතකින් රට මෙහෙයවන්නට තිබුණි. එහෙත් ඔහු තෝරා ගත්තේ, “සාමය හා සංවර්ධනය” කියන මාවතයි. බෞද්ධ සාරය මත රට ගොඩනඟන්නට ඔහු ගත් ඒ මඟ ලාංකීය ගැමි චිනතනයේ කුහක දැක්මට ම යට වෙන්නට ඉඩ හරින කුහක දේශපාලනයක් ඉන් පසුව, මෙරට නායකයන් අඩු වැඩි වශයෙන් අනුගමනය කරන්නට විය. අවස්ථාවාදයත්, බලලෝභයත් මිස වෙනත් දෙයක් මේ දේශපාලකයන් සතු නොවීය. “රට ගොඩනැඟීම යනු සදාකාලිකව බලයේ රැඳී සිටීම” ය කියන වර්තමාන ඉරණමට ලංකාව මුහුණ දෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසෙිනි. “සිංහල පමණයි” යනුවන් ’56 දේශපාලන ජයග‍්‍රහණය සඳහා ගත් තේමාව, ලංකාව මේ පසුගාමීත්වයට හරවන ලද තීරණාත්මක සන්ධිස්ථානයකි. මේ සන්ධිස්ථානයේ සිට දිග හැරෙන දේශපාලනයට ආරක්‍ෂාව සපයන, බලවේග ත‍්‍රිත්වයක් වෙයි. “දේශපේ‍්‍රමය”, “සමාජවාදය”, “භික්‍ෂු දේශපාලනය” යන එම බලවේග විසින් ලාංකික ගැමි කුහක දැක්මට දේශපාලන වටිනාකමක් දී, එය රටේ තීරණාත්මක දැක්ම බවට තහවුරු කරනු ලබයි. බලයට ඒමට හා එය පවත්වා ගැනීමට අවස්ථාවාදී දේශපාලකයන් කරන්නේ එයම පෝෂණය කිරීමයි. ඞී. එස්. පාදා දෙන රට ගොඩ නඟන මඟට එරෙහිව බිහි කෙරෙන ’56 පෙරළිය, අවස්ථාවාදී දේශපාලනය එළිපිටම අත්හදා බලන අවස්ථාවකි. ’56 යනු සැබෑ ජාතික නිදහස දිනා ගත් ව්‍යාපාරය යැයි පැවසීම, විස දේශපාලනය එතූ රස (ජාතිවාදී) දවටනයයි.

ලාංකීය ගැමි චින්තනය වෙලා ගත් මේ කුහක දැක්ම මඟින් ජාතීන් අතර පමණක් නොව තම තමන්ගේ හිතේ සාමය පවා අහිමි කර ගෙන ඇත. විවෘතව ලෝකය දෙස බලන්නට ඇති බුද්ධිමත් ඇස් ඒ කුහක දැක්මෙන් අවුරා ගෙන ඇත. අනෙකාව නොඉවසීම රතුපස්වලදී මෙන් තමන්ටම පාරා වලල්ලක් වන විටත්, එය වටහා නොගන්නා තරමට ලාංකීය සමාජය මුරුගසන් වරුසාවකට හසුවූවා මෙනි. හම්බන්තොට වරායට නැව් ඒම තවත් වටයකින් අභියෝගයට ලක් කරමින් කොළඹ වරායේ නව ප‍්‍රතිසංස්කරණ සංවර්ධනය චීනයට අයිති වුණත්, ලංකාව සංවර්ධනයේ ආශ්චර්ය කරා යන බව ජනතාව විශ්වාස කරන්නට පුරුදුව ඇත. නැතිනම් දේශපාලන නායකයන් තම ජනමාධ්‍ය යොදා ගෙන එසේ කරවති. කොළඹ වරාය සංවර්ධනය තම බඩ වියත අසලට කාන්දු නොවෙන බව ජනතාවට නොවැටහෙන්නේ, තමන් හසුවී ඇති උගුළේ තරම ලෝකයාට ද හෙළි කරමිනි. එය බටහිර ධනවාදී උගුලක්ද, පෙරදිග සමාජවාදී උගුලක්ද, කියා වටහා ගන්නනටනම් ජනතාව තම ඇස් වසාගෙන සිටින කඩතුරාවෙන් නිදහස් විය යුතුය. ඞී. එස්. ආරම්භ කළ වාරි සංවර්ධනයට, මහවැලි ව්‍යාපාරය දක්වාම උදව් කළ බටහිර රටවල් දැන් ලංකාව සමඟ නැත. සංවර්ධනය නමින් දැන් සිදුවන්නේ ලංකාව ඉන්දියාවට හෝ චීනයට ගෙඩිය පිටින් විකිණීමයි. තමන්ගේම හිතේ සාමයට හෝ ඉඩක් නැති, මේ සංවර්ධන ක‍්‍රමය කුමක්ද? මෙය ”පෙරදිග සූරාකෑම”ද? නැතිනම් ”බටහිර කුමන්ත‍්‍රණයක්” ද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.