Colombo Telegraph

එක්සත් වන්න, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න: විරුද්ධ පක්ෂවලට විවෘත ආමන්ත්‍ර​ණයක්

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වෙනත් පක්ෂ වෙතටයි:

විශ්වාස කටයුතු වාර්තාවන්ට අනුව, ඊළඟ ජනාධිපතිවරණය නොවැම්බර් 19 වැනි දාට කලින් පැවැත්වීමේ ඉඩකඩ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කොට ඇත. එහි අරමුණ වන්නේ, ලබන ජනවාරි 13 වැනි දා ලංකාවට වැඩම කිරීමට නියමිත පාප් වහන්සේගේ සංචාරයට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමේ උවමනාවයි. එහෙත් ඊට වෙනස් වෙතත් සැඟවුණු න්‍යාය පත‍්‍ර සහ අරමුණු ඒ පසුපස තිබිය හැකිය.

ඉදිරියේ එන ජාතික මැතිවරණවලට මුහුණදීම සඳහා ආණ්ඩුවට තරම් සූදානමක් විපක්ෂයට ඇති බවක් පෙනෙන්ට නැත. රටේ පවතින මැතිවරණ නීතිරීති අමුඅමුවේ උල්ලංඝණයක කෙරුණද, රාජ්‍ය යන්ත‍්‍රයේ සමස්ත බලය මේ මැතිවරණ සඳහා ආණ්ඩුව නිසැකවම පාවිච්චි කරනු ඇත. එය, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දැමීම නිසා ඇති වූ තවත් අබග්ගයකි.

ඔබ කවුරුත් එකඟ විය හැකි පරිදි, ජනාධිපති රාජපක්ෂට තුන්වැනි වාරයක් සඳහා තරඟ කිරීමට සදාචාරමය අයිතියක්වත්, මහජන වරමක්වත් නැත. එසේ කිරීම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රමිතීන්ට පටහැනිව යාමකි. 2010 පැවති ජනාධිපතිවරණයේ දී එවැන්නක් ඔහු කියා තිබුණේ ද නැත. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත හැකි වුණේ, තාන්න මාන්න බලාගෙන විපක්ෂයෙන් ආණ්ඩුවට ගිය පිරිසකගේ අනුග‍්‍රහයෙනි. දේශපාලනික දූෂිත භාවයේ පල්ලටම අද ලංකාව ඇද වැටී තිබේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව, රට සිටියේ විශාල අපේක්ෂාවකිනි. සාමය සහ ජාතික සමගිය සඳහා වන අවස්ථාව ද අතිමහත් විය. එහෙත් සෑම ප‍්‍රජාවක්ම මැඩලීම සහ එකිනෙකා බිඳවීම එල්ල කරගත් අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයක අදූරදර්ශී ප‍්‍රතිපත්තිවල ඵලයක් වශයෙන්, එම අපේක්ෂාවන් සුළෙඟ් ගසාගෙන ගොස් ඇත. පසුගිය වකවානුවේ ඇති වූ සිදුවීම්වලින් සනාථ කෙරෙන පරිදි, රාජපක්ෂ පාලන තන්ත‍්‍රය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හෝ මානව හිමිකම් ගැන තකන්නේ නැත. වඩාත් තුච්ඡු වන්නේ, පවුල් පාලනයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සකල ප‍්‍රමිතීන් මෙසේ උල්ලංඝණය කිරීමට හැකිව තිබෙන්නේ, ජනාධිපති ක‍්‍රමයත්, එහි අසීමිත වර්ධනයත් නිසාම පමණි.

විපක්ෂය එක්සත්ව, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුව ඇත්තේ ඒ හේතු නිසා ය.

ආසියාතික පිබිදීම තුළ, විශේෂයෙන් ඉන්දියාව සහ චීනය සම්බන්ධයෙන් බලන විට, තිරසාර සංවර්ධනයක් සඳහා වන යෝධ ආර්ථික ඉඩප‍්‍රස්ථා ශ‍්‍රී ලංකාව ඉදිරියේ තිබේ. රාජපක්ෂ තන්ත‍්‍රය එම ඉඩප‍්‍රස්ථා ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ වැඩියත්ම පවුලේ, යහළු හිතමිත‍්‍රාදීන්ගේ සහ දේශපාලනික හෙංචයියන්ගේ වාසියට ය. කණපිට ගැසූ ප‍්‍රතිපත්ති නොවන්නට, ද්විත්ව අංකයකින් දැක්විය හැකි ආර්ථික සංවර්ධනයක් නිත්‍ය වශයෙන්ම ලංකාවට අත්කරගත හැකි වන්නේය. වර්තමාන ආර්ථික ප‍්‍රතිලාභ, දිළිඳු ජන කොටස්වලට සහ දුරබැහැර පළාත්වලට බෙදී ගොස් නැත. මිනිසුන් තුළ පැසවන සැඟවුණු ආර්ථික අඳෝනා අනන්තවත් ය.
විපක්ෂයේ සිටින පක්ෂ එක පක්ෂයක් බවට පරිවර්තනය විය යුතු යැයි හෝ එක පක්ෂයක අධිකාරයට අනිත් පක්ෂ නතු විය යුතු යැයි හෝ කිසිවෙකු ඉල්ලා සිටින්නේ නැත. අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී ප‍්‍රතිපත්ති වෙනස්කම් මත තම තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට හැකියාව සැලසෙන, එකිනෙක පක්ෂ අතර පවතින ප‍්‍රතිපත්ති වෙනස්කම් ඇත්තෙන්ම විපක්ෂයේ ශක්තියම වන්නේය. එසේ වන කල, ස්ථායී සහ දීප්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ප‍්‍රධාන පක්ෂයට හෝ පක්ෂවලට අවකාශ සලසන හිතකර ආයතනයක් බවට පාර්ලිමේන්තුව පත්වන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රතිපත්ති දැන් පිළුණු වී, වඳ භාවයට පත්ව තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණය වෙනම කාරණයකි. ශ‍්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ තිබේ. සිටින ජනාධිපතිවරයාට නැවත ජයග‍්‍රහණය කිරීමට ඉඩ දුන්නොත්, එය ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ අවසානය වනු ඇත. මේ ආකාරයට, ආර්ථික ප‍්‍රශ්නවලට වඩා දේශපාලනික ප‍්‍රශ්න වඩාත් තීරණාත්මක වී තිබේ. දැන් අවශ්‍ය කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රීය එක්සත් භාවයක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන එක්සත් භාවයකි.
එය, එක්සත්ව සිටියොත් නැගී සිටීමටත්, බෙදී ගියොත් වැටීමටත් සිදුවීම පිළිබඳ ප‍්‍රශ්නයකි.

මෑතකදී, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් ප‍්‍රබල සිවිල් සමාජ ව්‍යාපාරයක් (සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය) විසින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉල්ලා සිටින ලදි. ඔබලාගේ බොහෝ පක්ෂ ඔවුන්ගේ මෑතක පැවැත්වූ සම්මන්ත‍්‍රණයට සහභාගී වූ බවත්, එම ව්‍යාපාරය සමග සාකච්ඡුා පවත්වා ඇති බවත් නොරහසකි. එම ව්‍යාපාරයට අවශ්‍ය කරන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමේ තනි කාරණය වෙනුවෙන් පෙනී සිටීම බව සැබවි. එය කළ හැකි දෙයක් හෝ නුවණට හුරු දෙයක් හෝ නොවිය හැකිය. ඊට අමතරව තවත් ප‍්‍රශ්න ද තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඔවුන්ගේ මාර්ග සිතියමේ දක්වන තරම් පහසු දෙයක් නොවිය හැකිය. එහෙත් ඔවුන්ද පොදු අපේක්ෂකයෙකු ඉල්ලා සිටී. එය මුළුමණින්ම තාර්කික ඉල්ලීමකි.
එසේම ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ උපාය මාර්ගය සීමා වන්නේද ජනාධිපතිවරණයකට පමණි. එය ද, ප‍්‍රායෝගික හෝ නුවණක්කාර වැඩක් නොවේ. මැතිවරණ දෙක සඳහාම පොදු උපාය මාර්ගයක් අවශ්‍ය කෙරේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන, මේ දක්වා ඔබ කියා ඇති පරිදි, ඔබ සියල්ලන්ම එකඟ නම්, ඔබේ පක්ෂ නායකයන් එම ජනාධිපතිවරණයට තරග කිරීමේ තේරුමක් නැත. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබේ පක්ෂ නායකයන්ට එකට හෝ වෙන්ව තරග කළ හැකිය. ඒවා, ඔබ අතරේ සාකච්ඡුා කොට එකඟ විය යුතු කාරණා ය. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ වැදගත් වන්නේ, ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා එකඟ විය හැකි අවම වේදිකාවක්, උදාහරණයක් වශයෙන්, කාරණා 10 ක් පෙරදැරි කරගත් වැඩපිළිවෙලක් සළකා බැලිය හැකිය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පෙනී සිටින ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරයට’ අමතරව, තවත් සිවිල් සමාජ ව්‍යාපාර ගණනාවක්, ඉබේම මෙන් මෑත අතීතයේ වැඞී ආ බව ඔබ දන්නවා ඇති. එයින් එකක් වන්නේ, අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන්නැ යි ඉල්ලා සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයයි. එසේම, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ බැනරය යටතේ පෙරට ආ නීතිඥයෝ අධිකරණයේ ස්වාධීනත්වයත්, නීතියේ ආධිපත්‍යයත් වෙනුවෙන් පෙනී සිටියහ. තවම සංවිධිත ව්‍යාපාරයක් වශයෙන් ගොනු වී නැතත්, රජයේ සේවකයන්ගේ පැත්තෙන්ද, අනවශ්‍ය දේශපාලනික බලපෑම්වලින් තොර ස්වාධීන රාජ්‍ය සේවයක් සඳහා වන අභිලාෂය ඇත්තේය.

තවත් ව්‍යාපාර තිබුණි. වෘත්තීය සමිති ඉල්ලීම් සහ ජනතා ඉල්ලීම් තිබුණි. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා ශිෂ්‍යයෝ අරගල කළහ. සීමා කරන ලද මාධ්‍ය නිදහස සහ තර්ජන ගර්ජන ගැන මාධ්‍යවේදීන් තවමත් සිටින්නේ නොසතුටිනි. මේවා සහ තවත් කාරණා, අර කී කරුණු 10 ක හෝ 12 ක පොදු එකඟතාවකට නිමිති කරගත හැකිය. මානව හිමිකම් ද එහි ප‍්‍රධාන අංගයක් විය හැකිය. රටට අත්‍යාවශ්‍යව තිබෙන බලය බෙදා හැරීම සහ රටේ වාර්ගික සහජීවනය සඳහා වන කැපවීමක් ද තිබිය යුතුය.

වගකීමෙන් කටයුතු කරන ව්‍යාපාරික අංශයක් ප‍්‍රවර්ධනය කෙරෙන (රතුපස්වල), වෛරී භාෂාව සහ හිංසනය මැඩලන, ජාතික ඒකාග‍්‍රතාව සඳහා සන්නද්ධ සේවා යොදා නොගන්නා සහ ඔවුන්ගේ වෘත්තීය අභිමානය රැුකෙන කාරණා ද අවධාරණය කළ හැකිය. නොබැඳි ජාතික සක‍්‍රීය විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමත්, වර්තමාන විදේශ ප‍්‍රතිපත්තියේ බොරුවට එරෙහි වීමත් ඊට ඇතුළත් කරගත හැකිය.

එකඟ වන අවම වැඩපිළිවෙලින් එහාට, සෑම පක්ෂයකටම තමන්ගේම වන ප‍්‍රතිපත්ති සහ වේදිකා තිබිය හැකිය. වැදගත් වන්නේ, විපක්ෂය තුළ ‘බලූ පොරයකට’ නොයාමයි.

මැතිවරණ ව්‍යාපාර, අවබෝධාත්මක සහ ප‍්‍රබෝධමත් විය යුතු අතර මැතිවරණ ක‍්‍රියාන්විතය සඳහා ජනතාව බලමුළු ගැන්වීමට එම ව්‍යාපාර සමත් විය යුතුය. කල් නොයවා එය පටන් ගැනීම යෙහෙකි. මැතිවරණ ව්‍යාපාර ශක්තිමත් සහ පොළඹවන සුළු වේ නම්, ආණ්ඩුවේ අද සිටින වෙනත් පක්ෂ ද සමහර විට ඊට එක් විය හැකිය. එවැනි පක්ෂ ඊට භාරගත හැකි වෙතත්, අසම්මජාතිකයන් භාරගත යුතු නැත.

සුදුසු පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්දැ යි සාකච්ඡුා කිරීමට මම නොයමි. එම අපේක්ෂකයාව ඔබලාගේ පක්ෂයකින් හෝ ඊට පිටස්තරින් හෝ තෝරාගත හැකිය. එම පුද්ගලයා පක්ෂයක කෙනෙකු නම්, ඔහු/ඇය එක්සත් පෙරමුණට හෝ එක්සත් වැඩපිලිවෙලට ඇති සිය පක්ෂපාතීත්වය දැක්වීම සඳහා එම පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතුය. එම පුද්ගලයා, විශ්වාස කට හැකි, එමෙන්ම ශක්තිමත් දේශපාලන අදිටනකින් ද යුත් පුද්ගලයෙකු විය යුතුය.

මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ යෝජනා කොට ඇතත්, එය කළ නොහැක්කක් වීමට ඉඩ තිබේ. ඒ සඳහා අවුරුද්දක කාල සීමාවක් වඩාත් අගනේය. සමහර විට සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම එකී කාලය තුළ සංශෝධනය කර ගැනීමටත් ඉඩ තිබෙන්ට පුලූවන. කෙසේ වෙතත්, එය මගේ ප‍්‍රධාන තර්කයවත්, ආයාචනයවත් නොවේ. මගේ ආයාචනය වන්නේ, ඔබ සියල්ලන් හැකි තාක් එක්සත් විය යුතු බවයි. වැඩ කටයුතු කරගෙන යා හැකි ආකාරයෙන් එකිනෙකා සමග කතා කළ යුතු බවයි. පමා නොවී යම් අන්‍යොන්‍ය අවබෝධයකට පැමිණිය යුතු බවයි.

ඔබ තෝරාගන්නා පොදු අපේක්ෂකයා තම මෙහෙවර අවසන් වන තෙක් නාමික විධායකයක් වශයෙන් කටයුතු කළ යුතු අතර, පවතින පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. මෙහිදී ඔහු/ඇය පවතින ව්‍යවස්ථාවට අනුගත විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. යම් කිසිවෙකු, විශේෂයෙන් පරාජයට පත් පාලනය විසින් යම් අයුතු සහගත ක‍්‍රියාවකට යොමු වීමේ ශක්‍යතාව නිසා, විධායක බලතල මේ පරිවර්තනීය කාලය තුළ, අවශ්‍ය වෙතොත් පාවිච්චියට ගැනීම සඳහා, පසෙකින් පැවතිය යුතුය.

45 වසරකට වැඩි මගේ දේශපාලන විද්‍යා දැනුම අනුව, විපක්ෂය එක්සත් වුණොත් සහ ප‍්‍රබල ආකාරයෙන් එක්සත් වුණොත්, පවතින පාලන තන්ත‍්‍රය සහ ජනාධිපතිවරයාව පරාජය කළ හැකිය.

*2014 අගෝස්තු 14 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Unite And Field A Common Candidate: An Open Letter To Opposition Parties නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page