24 April, 2024

Blog

වීදුරු ගෙවල්වල මිනිස්සු ද ගල් ගසති

ලාල් වික‍්‍රමතුංග

ලාල් වික‍්‍රමතුංග

ලාල් වික‍්‍රමතුංග

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම ගැන විවිධ මත පළවිය. සුගිය වසර කිහිපයේ ලංකාවේ ඇති වූ මානව හිමිකම් කඩවීම්, මාධ්‍ය නිදහස මර්දනය කිරීම්, අත්අඩංගුවේ පසුවන්නන් වධබන්ධනට පත්කිරීම් සම්බන්ධයෙන් මෙන්ම, ජාතීන් අතර සංහිඳියාවක් නොමැති කම පිළිබඳ නැගුණු චෝදනා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ බොහෝ රටවල් මේ සමුළුව ලංකාවේ පැවැත්වීමේ ඇති යෝග්‍යතාව ප‍්‍රශ්න කෙළේය. කෙසේ වෙතත්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ශ්වකරුවන්ගේ පොදු එකඟතාව වූයේ, මෙම සමුළුව ලංකාවේ පැවැත්විය යුතු බවත්, එහි දී ඉහත කී ප‍්‍රශ්න මතු කළ යුතු බවත් ය. මා සහභාගී වූ බීබීසී සම්මුඛ සාකච්ඡුාවක දී එම මතයට පක්ෂව මම කතා කෙළෙමි.

මේ සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමේ වාරය ලැබුණේ ඔස්ටේ‍්‍රලියාවෙනි. එම තීරණය වෙනුවෙන් ඔස්ටේ‍්‍රලියාව එක දිගටම පෙනී සිටියේය. කෙසේ වෙතත්, ඉහත සඳහන් ප‍්‍රශ්න පසෙකලා ශ‍්‍රී ලංකාවට ආධාර කිරීමට, ඕස්ටේ‍්‍රලියාවට තමන්ගේම වන හේතු තිබුණි. දහස් ගණනින් පැමිණෙන ශ‍්‍රී ලාංකික සරණාගතයන් භාර ගැනීමට සිදුවීමේ විශාල ප‍්‍රශ්නයකට ඔස්ටේ‍්‍රලියාව මුහුණදී සිටී. මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පීඩිත මිනිසුන් භාර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව තමන්ගේම වන නීතිවලින් බැඳී සිටී. ඒ අනුව එසේ එන සරණාගතයන් සම්බන්ධයෙන් ඉතා දිග් ගැස්සෙන සහ මහත් වියදම්කාරී නීතිමය පරිපාටි අනුගමනය කිරීමට එරටට සිදුවන්නේය. මේ සරණාගතයන් ශ‍්‍රී ලංකාවේ කොයි දිසාවකින් එන්නේ දැ යි දැන ගැනීමට ඔස්ටේ‍්‍රලියානු බලධාරීන්ට වැඩි කලක් ගියේ නැත. එසේ පැමිණෙන පිරිස් එන්න එන්නම වැඩි වීමත් සමග එය නතර කිරීමට තමන්ගේ රටවැසියන්ගේ බදු මුදල්වලින් විශාල කොටසක් වෙන් කිරීමට ඔස්ටේ‍්‍රලියාවට සිදුවිය. ඒ ප‍්‍රශ්නයට විසඳුම් සොයමින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සමග කටයුතු කිරීමටත්, ලංකාවේ මුහුදු කලාපය වටා වඩා විධිමත් මුරකාවල් පවත්වා ගැනීම සඳහාත් ඔස්ටේ‍්‍රලියානු ආණ්ඩුව විශාල වශයෙන් මුදල් වැය කළ බව කවුරුත් දනිති.

ශ‍්‍රී ලංකාව මෙම සමුළුවේ සත්කාරක රට වීමට ඔස්ටේ‍්‍රලියාව එරෙහි නොවීම සහ අපේ රටට එරෙහිව නැගෙන චෝදනා හෝ එක්සත් ජාතීන්ගේ යෝජනා අතර සම්බන්ධයක් නොමැත. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර දෙකකට වරකි. ඒ සඳහා වන වියදම, සත්කාරක රට භාරගත යුතුය.

රටේ බදු ගෙවන්නන් ගැන කිසි තැකීමක් නොකොට රතු පලස් එලීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හොඳින් දනී. ප‍්‍රතිලාභ ලැබීමට කාලාන්තරයක් ගත විය හැකි හම්බන්තොට යටිතල ව්‍යාපෘතිය වෙනුවෙන් පේවීම ඉන් එක් අවස්ථාවකි. මෙම සමුළුව තවත් එකක් විය හැකිය. රටවල් එකට බැඳ තබන නෛතික ප‍්‍රතිපාදන ඇති කිරීමේ කිසි බලාධිකාරයක් පොදුරාජ්‍ය මණ්ඩලයට නැත. එය වඩාත් කිට්ටු වන්නේ, ව්‍යාපාරික සමුළුවකටයි. ඒ සඳහා මේ සුදුසු අවස්ථාව ද හෝ මහින්ද රාජපක්ෂගේ දේශපාලනික මනදොළ සතපා ගැනීමට මේ සුදුසු අවස්ථාව ද යන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුව තිබේ.

අනිත් අතට, රැුජිණ වෙනුවට චාල්ස් කුමාරයා නියෝජනය වීම ප‍්‍රශ්නයක් නොවේ. රටවල් 52 ක් අතරින් රාජ්‍ය නායකයන් 27 ක් පමණක් මීට සහභාගී වීම ද ප‍්‍රශ්නයක් නොවේ. මන්ද යත්, වෙනත් මෙවැනි සමුළුවල සහභාගීත්වය ඊට වෙනස් නැති බැවිනි. කෙසේ වෙතත්, පැමිණි නායකයන්ගේ සාමූහික චින්තනය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ චින්තන ක‍්‍රියාවලියට පෑහෙන එකක් නම් නොවේ. ලංකාවේ එම සමුළුව පැවැත්විය යුතු බව ඔවුන් පිළිගත් බව සැබෑව. එහෙත් ඒ අවස්ථාව ඔවුන් යොදා ගැනීමට ගියේ, ශ‍්‍රී ලංකාව මගහරින පොදුරාජ්‍ය මණ්ඩලීය සාරධර්ම පිළිබඳ ප‍්‍රශ්න මතු කිරීමට ය.

අනන්මනන් නැති බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මුල සිටම එම අදහස ඉඟි කෙළේය. සම්ප‍්‍රදායික පිළිගැනීමේ උත්සවයට ඔහු ආවේ නැත. සමුළුවේ සෑම රාජ්‍ය නායකයෙකුම සම්ප‍්‍රදායිකව අත්සන් කරන ප‍්‍රභූන්ගේ පොතට ඔහු අතවත් තිබ්බේ නැත. ඒ ගැන තවත් පස්සට.

තමන්ගේ ජනතාවට යමක් ගිල්ලන්නේ කෙසේ දැ යි මහින්ද රාජපක්ෂ දනී. එය රටක නායකයෙකුට හොඳ දෙයක් විය හැකි වෙතත්, ඒ සඳහා යොදාගන්නා අලෙවිකරණ උපායමාර්ගය නිසා ජාත්‍යන්තර ප‍්‍රජාව තමන්ගෙන් ඈත් වන බව ඔහු අමතක කරයි. අවාසනාව වන්නේ, ශ‍්‍රී ලංකාවේ මහජනතාවගෙන් වැඩි පිරිසක් ඒ සත්‍යය ගැන නොදැන සිටීමයි. එය ඔවුන්ට නොවැටහෙනවා මෙන්ම, ඒ ගැන ඔවුන්ට ගානක් නැති කමද විය හැකිය.

මෙම සමුළුවට සමගාමීව අතුරු සමුළු හතරක් පැවැත්වුණි. එනම්, තරුණ සමුළුව, ව්‍යාපාරික සමුළුව, මහජන සමුළුව සහ රාජ්‍ය නායක කලත‍්‍රයන්ගේ (බිරියන්ගේ/ස්වාමි පුරුෂයන්ගේ) සමුළුව යනුවෙනි. මහජන සමුළුව වෙනුවෙන් නොවැම්බර් 10-14 යන දිනවල සංවිධානය කොට තිබූ ‘අධ්‍යයන චාරිකා’ හතරකින් එකකට සහභාගී වීම සඳහා එම සමුළුවේ නියෝජිතයන්ගේ කැමැත්ත විමසා තිබුණි. එම චාරිකා, යාපනය, ගාල්ල, හම්බන්තොට සහ බදුල්ල යන ප‍්‍රදේශවලටයි. යාපනයට යාමට නියෝජිතයන් 43 දෙනෙකු අත්සන් කොට තිබුණි. හම්බන්තොටට බිංදුවයි. ගාල්ලට බිංදුවයි. බදුල්ලට බිංදුවයි. තවත් ඒ ගැන කීමට දෙයක් ඇත්ද?

උපක‍්‍රමශීලීත්වයේ කෙළපැමිණියෙකු වන මහින්ද රාජපක්ෂ, ලබන මාර්තුවේ එක්සත් ජාතීන් ඉදිරියේ ශී‍්‍ර ලංකාවේ කැරැුට්ටුව නිරීක්ෂණයට ලක්වන අවස්ථාවේ දී, මේ සමුළුවෙන් අද ලබන සාර්ථකත්වය පෙන්නා තමන්ට ඇඟ බේරා ගන්නට හැකි වෙතැ යි සිතනවා විය හැකිය. එය, සමුළුවේ වෙනත් නියෝජිතයන්ට වැදගත් වන දෙයක් නොවේ.

ලංකාවට එරෙහි විවිධ චෝදනා එල්ල වෙමින් ඇති අවස්ථාවක, චාල්ස් කුමාරයාට අතට අත දී පිළිගනිද්දී ඔහුට තමන් කියන්නේ කුමක් දැ යි ජනාධිපතිවරයාගෙන් එක් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට ඔහු දුන් උත්තරය ඊට වඩා තැන්පත් එකක් විය යුතුව තිබුණි. දෑත් එක් කොට කෙනෙකුට ආචාර කිරීම ශී‍්‍ර ලාංකීය සම්ප‍්‍රදායයි. එහෙත් රජෙකුට, රැුජිණකට, රාජ්‍ය නායකයෙකුට හෝ හිඟන්නෙකුට වුව තමා ආචාර කරන්නේ එකම විදිහකට යැයි කීම, රාජ්‍ය තාන්ත‍්‍රික පිළිතුරක් නොවේ. එය, චාල්ස් කුමාරයාට කළ නිගරුවක් වශයෙන් අර්ථ ගැන්වීමට පිළිවන. එවැන්නක් ජනාධිපතිවරයා අදහස් නොකළ බව වෙනම කාරණයකි. මෙයින් මා මතු කරන අදහස වන්නේ, ලංකාවාසීන් ඉදිරියේ ජනාධිපතිවරයා මොන තරම් ශූරයෙකු වුවත් ජාත්‍යන්තර සම්බන්ධතාවලදී එය අනිවාර්ය සුදුසුකමක් නොවන බවයි. මුකරි වීම, රාජ්‍ය තාන්ත‍්‍රික සම්භාව්‍ය ඖචිත්‍යයේ වියදමින් කළ යුතු නැත.

බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඉන්දියාවේ දී දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක දී ඔහුගේ ආණ්ඩුවේ ස්ථාවරය ඉඟි කොට තිබුණි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩාව දරණ ප‍්‍රතිපත්තියට තමන් එකඟ බවත්, ඔවුන් මෙම සමුළුව වර්ජනය කිරීමට ගත් තීරණය තමන් භාරගන්නා බවත් එහි දී ඔහු කියා තිබුණි.

ශ‍්‍රී ලාංකිකයන් එම කතාවට එකඟ නොවන්නට පිළිවන. එහෙත්, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ තවමත් මුළුමණින් ක‍්‍රියාවට නංවා නැති බව ටිකක් සැළකිල්ලට ගන්න. යුද්ධය අවසාන කාලයේ ඇති වූ සිවිල් මරණ, උතුරේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතන, ප‍්‍රංශ ආධාර සංවිධානයක් වන ‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතයේ’ සේවකයන් ඝාතනය කිරීම ගැන පැවැත්වෙන පරීක්ෂණවල මන්දගාමී බව, දකුණේ දී ඝාතනය කළ බි‍්‍රතාන්‍ය ජාතිකයාගේ අපරාධයේ සැකකාර දේශපාලඥයන් සම්බන්ධයෙන් දක්වන ඇල්මැරුණු ආකල්පය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, යාපනේ ‘උදයන්’ පුවත්පතේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ එම පුවත්පතට දිගින් දිගටම අඩන්තේට්ටම් කිරීම, ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කැරැුවීම සහ තවත් එවැනි බොහෝ අපරාධ පිළිබඳ වගකීම, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක් පැවැත්වීම මගින් සෝදා හැරීමට පුලූවන් කමක් නැත.

ශී‍්‍ර ලංකාවේ වෙසෙන බහුතරයකට මේවා වැදගත් ප‍්‍රශ්න නොවන්නට පිලිවන. එසේ වෙතත්, අදාළ මොහොතක රටක බහුතර ජනතාවගේ ආකල්පය කුමක් වෙතත්, තමන් අත්සන් කොට ඇති ජාත්‍යන්තර ගිවිසුම් සහ ප‍්‍රඥප්තීවලට රටක් සහ රාජ්‍යයක් වශයෙන් ලංකාව ගරු කරති යි අන්තර්ජාතික ප‍්‍රජාව බලාපොරොත්තු වෙති.

*2013 නොවැම්බර් 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  People In Glass Houses Do Throw Stones ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.