3 May, 2024

Blog

දෙවනගල: මුස්ලිම් ජාතිකයන්ව කුපිත කිරීමේ ජාතිවාදී සැලැස්මේ අළුත්ම අදියර

ලතීෆ් ෆාරුක්

ලතීෆ් ෆාරුක්

ලතීෆ් ෆාරුක්

දෙවනගල යනු මධ්‍යම කඳුකරේ, මාවනැල්ලේ සිට කිලෝ මීටර් හයක පමණ දුරින් හෙම්මාතගම පාරේ පිහිටි, සුන්දර සාමකාමී ගම්මානයකි. එය ප‍්‍රසිද්ධියක් උසුලන්නේ, එහි ඇති දෙවනගල ගල්කුළ නිසා ය. එහි බෞද්ධ විහාරයක් සහ ශිලා ලේඛනයක් ද ඇත.

එහි වෙසෙන්නන් කියන පරිදි, ඉස්සර කාලෙක රජවරු විවිධ පළාත්වලට නගරාරක්ෂක සේනා පිටත් කර හැරියේ මෙහි සිට ය. එහි වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට අනුව, කන්ද උඩරට රාජ්‍යය ආක‍්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ව එහි පදංචි කරවා ඇත්තේ සිංහල රජවරුන් විසිනි.

එහි වෙසෙන සිංහල මෙන්ම මුස්ලිම් ජනතාවත්, සම්ප‍්‍රදායික ගොවියන් සහ සුළු වෙළෙන්දන් ය. පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් එකට ජීවත් වී ඇත්තේ, එකිනෙකා සමග සියල්ල බෙදාහදා ගත් එකම පවුලක් වශයෙනි. 2001 මාවනැල්ලේ දී සිදු වූ මුස්ලිම් විරෝධී කෝලාහලවල දී පවා, දෙවනගලට හානියක් නොවුණි. ඒ, එහි ජනතාව සම්ප‍්‍රදායික සංහිඳියාවෙන් එකට ජීවත් වූ බැවිනි,

මේ අතර පාරම්පරිකව ගොවීන් හා සුළු ව්‍යාපාරිකයන් වූ දෙවනගල මුස්ලිම්වරුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මෑත වසර කිහිපයක පටන් තම දරුවන් ලෞකික මෙන්ම ආගමික අධ්‍යාපනයට යොමු කිරීමට වැඩියෙන් නැඹුරු වූහ. මෙහි ප‍්‍රතිඵලයක් හැටියට මෙම ප‍්‍රදේශයේ එම ජනයා අතර උගතුන්, වෘත්තිකයන් මෙන්ම මවුලවිවරුන්ද බිහි වන්නට වූහ. මෙම තත්වයත් සමගම මොවුන්ගේ ජීවන තත්වයේද වෙනසක් ඇති වී තිබේ. එනමුත් මේ කිසිවකින් දෙවනගල පැවති ජන සමගියට කිසිදු හානියක් ඇති වූයේ නැත.

මෙවන් තත්වයක සිංහළ මුස්ලිම් සමගිය නැති කරන්නට ගත වූ වසර කිහිපයක් තිස්සේ රට පුරා තැන් තැන්වල විවිධාකාර කලබල ඇති කරන්නට වෑයම් කරමින් සිටින ඇතැම් ජාතිවාදී කල්ලිවල විනාශකාරී බැල්ම මෙම සුන්දර ගම්මානය මතට පතිත වී තිබේ. එය සඳහා එහි පිහිටි පර්වතය ඔවුන්ට වෙඩි බෙහෙත් ආකරයක් මෙන් විය,

Muslim1940 සමයෙහි දෙවනගල පර්වතයේ පුරාවස්තු අගයක් ඇතය යන අදහසේ පිහිටා පර්වතය හා යාර 50 ක් දක්වා අවට ප‍්‍රදේශය පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගෙන තිබේ. එසේ කරන විට මෙම ගම්මානයේ සියවස් ගණනාවක් සිට සිංහළ මෙන්ම මුස්ලිම් ජනයාද එකට වාසය කොට ඇති බව සැලකිල්ලට ගනිමින්, මෙවැන්නක් මගින් එම ප‍්‍රජාවන්ට, විශේෂයෙන් දෙවනගල මුස්ලිම්වරුන්ට ඇති විය හැකි බලපෑම් ගැන මානුෂීය කෝණයකින් සිතා බැලිය යුතුව තිබුණත්, එවැන්නක් වූ බවක් පෙනෙන්ට නැත.

ඉන් පසුව, පර්වතයේ සිට සටහන් කර තිබුනු යාර 50 බිම් ප‍්‍රමාණය, 2004 ජූනි 4 වැනි දින ගැසට් දැන්වීමක් මගින් යාර 200 ක් දක්වාද, ඊටත් පසුව 2005 දී එය යාර 400 ක් දක්වාද පුළුල් කරන ලදී. මේ අනුව රක්‍ෂිත බිම් කොටසේ විහිදුම වැඩි වූ ඊට ගැනුණු සිංහළ හා මුස්ලිම් ගැමි පවුල්වල සංඛ්‍යාවද වැඩි විය. මෙම සීමාවේ වාසය කරන මුස්ලිම් පවුල් 500 ක් පමණ සිටින අතර එහි පුද්ගල සංඛ්‍යාව 3000 ක් පමණ වේ. මෙම පවුල් හා ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙහි වසර 200 සිට 400 දක්වා කාලයක් වාසය කරන අතර මොවුන්ගෙන් බහුතරයකට ඒ සඳහා ලිඛිත සාධක ද තිබේ. නමුත් පර්වතය සහ අවට පෙදෙස රක්‍ෂිත බිමක් යැයි ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරන විට මේ පාරම්පරික උරුම කිසිවක් අදාල බලධාරීන් සැලකිල්ලට ගත්තේ නැත.

එමෙන්ම උක්ත ගැසට් නිවේදන ගැන ගම්මුන් දැන සිටියේද නැති අතර එයින් තමන්ගේ ජන ජීවිතයට ඇති විය හැකි අනිසි බලපෑම් ගැනද ඔවුන්ට වැටහීමක් නොතිබුණි. මේ නිසා ඔවුන් තම තමන්ගේ වැඩරාජකාරිවල සිරිත් පරිදි නියැලෙමින් සිටියහ.

මේ අතර එම ප‍්‍රදේශ වාසීන් නොවන සිංහළ පුද්ගලයන් අතලොස්සක් 2004 වසර පටන් විටින් විට මෙහි පැමිණ දෙවනගල යනු සියයට සියයක් සිංහළයන්ට හිමි ප‍්‍රදේශයක් බව කියමින් එයට මුස්ලිම් විරෝධී සටන් පාඨද එක් කරමින් අළුත් නැටුමකට සැරසෙන්ට වූහ. එහි අරමුණ වුණේ, පැහැදිලිවම මෙම ගම්මානයේ වසර දහස් ගණනක් තිස්සේ එක පවුලක් මෙන් ජීවත් වන සිංහළ හා මුස්ලිම් මිනිසුන් අතර අසමගියක් ඇති කිරීම බැව් පැහැදිළි ය.

මෙසේ තවත් සාමකාමී ගම්මානයක සමගිය නැති කරන්ට හා සියවස් ගණනාවක් එහි වාසය කරන මුස්ලම් ජනයා එයින් පළවා හරින්ට මානබලන්නේ, පසු ගිය කාලයේ කුරුගල ඇති වූ ආන්දෝලනයේ දී නිසි බලධාරීන්ගෙන් ලද අනුග‍්‍රහය මත දිරිමත්ව සිටින ජාතිවාදී කල්ලි බව නම් පැහැදිලිය. නමුත් දෙවනගල ප‍්‍රදේශවාසී බහුතරයක් සිංහළ ජනයා මෙම නොමනාකම්වලට සිය දායකත්වය ලබා නොදෙන, සාමයට පි‍්‍රය ජනකායකි. දෙවනගල පර්වතය ඇගයීම හා එයට මෙතෙක් කල් කිසිදු හානියක් ඇති නොවන සේ රැුක බලා ගැනීමේ මෙහෙය සිංහළයන්ගෙන් මෙන්ම මුස්ලිම්වරුන්ගෙන්ද එක හා සමානව සැපයුණූ බව ඔවුහූ නිහතමානීව පෙන්වා දෙති. මුස්ලිම් නිවෙස්වලට පිටස්තර ප‍්‍රදේශවලින් ඔවුන්ගේ ඥාති මිත‍්‍රාදීන් පැමිණෙන සෑම විටකම, ඔවුන්ට නොවරදවාම පර්වතයේ සහ අවට අසිරිය පෙන්වීමට ගම්වාසී මුස්ලිම්වරුන් පියවර ගන්නා බවත්, සිංහළ ගම්වාසීහූ පෙන්වා දෙති.
මේ අතර දෙවනගල ප‍්‍රදේශයට අයත් නැති, පළාතේ විටින් විට ඇති වුනු කලබලවලට පිටුපසින් සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු මෑත දිනයක ‘මෛත‍්‍රී සහන පදනම’ නමින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපාරයට දෙවනගල සිංහලවාසීන්ගේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් හෝ නැති බව මෙහි වෙසෙසින් සඳහන් කළ යුතුය. කෙසේ වුවද, මෙම ව්‍යාපාරයේ දුෂ්ට අරමුණ වන්නේ දිවයිනේ අන් බොහෝ තැන්වල සිදු කරන්නට උත්සාහ කළා සේම දෙවනගල ගම්වාසී සිංහළයන්ගේ සිතේ ද ජාතිවාදි රෝග බීජය වපුරුවා එමගින් මෙම රමණීය ගම්මානයේ පවතින ජනසමගිය කඩාකප්පල් කර, සුහද සිනහ මුහුණු වෙනුවට රවන ඔරවන මුහුණුවලින් ගමේ පාරතොට කඩමංඩි පිරවීමට උත්සාහ කිරීමය යන්න ගැන නම් කිසිදු සැකයක් නැත.

මෙම ඉලක්කයේ අදියරක් ලෙසින් පසුගිය දිනෙක මේ කියන ‘මෛත‍්‍රී සහන පදනම’ මගින් අත්පත‍්‍රිකා තොගයක් දෙවනගල බෙදා හරින ලදී. ‘මෛත‍්‍රී සහන පදනමේ’ එම අත්පත‍්‍රිකාවේ මෛත‍්‍රිය උනන්දු කරවන එකදු වචනයක්වත් නොවීය.

දෙවනගල පර්වතයට හා අවට බිම් කොටසට ඇත්තේ පුරාවිද්‍යා අගයක් මිස බෞද්ධාගමික අගයක් නොවන කරුණ ඉතා පැහැදිලි නමුත් මෙය බුද්ධාගමට අයත් හා බෞද්ධයන් පමණක් වාසය කළ යුතු පුදබිමක් යැයි ප‍්‍රකාශයට පත්කර එහි වාසය කරන මුස්ලිම්වරුන්ව පිටමං කරන්ට පියවර ගන්නා මෙන් ‘මෛත‍්‍රී සහන පදනම’ මුල් කරගත් ජාතිවාදී කල්ලි බලධාරීන්ට නැවත නැවත බල කරමින් සිටිති. මෙම කල්ලිවල මෙන්ම තවත් අභූත බලවේගවල පීඩනය නිසා පුරාවිද්‍යා බලධාරීන්ද දෙවනගලට පැමිණ අදාල පර්වතය සහ අවට බිම් කොටස් වෙන් කර සලකුණු කරන්නට වෑයම් කර ඇත. එවිට මැදිහත් වූ ගම්වාසීහූ, පර්වතයට ඇති ඓතිහාසික වටිනාකම තහවුරු කළ හැකි ආකාරයේ කිසිදු පිළිගත් පුරාවිද්‍යා පර්යේෂණයක් හෝ මිණුමක් මේ දක්වා සිදු කර නොමැති බව පෙන්වා දුන්හ. එමෙන්ම මෙවන් තත්වයක් තුළ, පර්වතයේ අගය හෝ අවට වෙන් කළ යුතු බිම් ප‍්‍රමාණයේ විහිදුම පරිමාව ගැන බලධාරීන් නිශ්චය කරගන්නේ කෙසේද යන කරුණ ගැනත් දෙවනගල මුස්ලිම්වරුන් මෙන්ම සිංහළ ජනයාද විමසා සිටියහ.

පර්වතයකට තමන් විසින් සිදු කළ හැකි තර්ජනය කෙබදු එකක් දැයි සිතාගත නොහැකි දෙවනගල මුස්ලිම් ජාතිකයන් එවැන්නක් මෙතෙක් කල් ඇති වී නැති තත්වයක් තුළ, සියවස් ගණනාවක් මෙහි වාසය කරමින් සිටින තමුන් එයින් ඉවත්ව යා යුත්තේ කුමන හේතුවක් නිසා දැයි වික්ෂිප්තව සිටිති. එමෙන්ම ජාතිවාදි අරමුණුවලින් සන්නද්ධ කල්ලියක් යැයි පැහැදිලිවම පෙනෙන ‘මෛත‍්‍රි සහන පදනමේ’ කි‍්‍රයාකාරකම්වලට රජයේ ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව ආවඩන්නේ මක්නිසා දැයි අසන දෙවනගල මුස්ලිම් ජාතිකයෝ, මේ ගැන එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ප‍්‍රකාශවල ඇති පටහැනි බව ද පෙන්වා දෙති.

මෙහි කුතුහලය දනවන තවත් කරුණක් වන්නේ, පර්වතය අවට අර්බූදයට ලක්ව ඇති බිම් ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට අයත් කිසි නිවසක හෝ ගොඩනැගිල්ලක අළුත්වැඩියා කටයුතු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා පූර්ව අනුමැතියකින් තොරව, නොකළ යුතු බවට බලධාරීන් තහනමක් පනවා තිබීමයි. විශේෂය වන්නේ, එම තහනම සිංහළ වැසියන්ට අදාල නොවීමයි. මෙම අරුම පුදුම යොන් මැරිල්ලේ නීතිය ගැන හෝ මෙම භූමි භාගයෙන් මුස්ලිම්වරුන් පමණක් පිටමං කළ යුතු යැයි ඇතැම් ජාතිවාදි කල්ලි නඟන හඬට එරෙහිව රජය හෝ අදාල නිලධාරීන් කිසිවක් නොකර සිටින්නේ කුමන පදමනක් මත පිහිටා දැයි, මුස්ලිම් ජාතිකයන් පමණක් නොව, යුක්තිය අගයන සිංහළ ගම්වාසීන් පවා නගන ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර වශයෙන් පුරාවිද්‍යා බලධාරීන්ගෙන් සැපයෙන්නේ, කන් බිහිරි කරවන නිහැඬියාවක්් පමණි.

ගම්වාසීන්ට අවශ්‍ය කරන්නේ, ඊනියා ‘මෛත‍්‍රී පදනම’ පැමිණීමට කලින් සිටියා සේ සාමකාමීව ජීවත් වීමටයි. එසේ වෙතත්, ජාතිවාදී රකුසන්ට අවශ්‍ය වී තිබෙන්නේ, ප‍්‍රතිවිපාක කුමක් වෙතත්, තමන්ගේ ජාතිවාදී න්‍යාය පත‍්‍ර ක‍්‍රියාවට නැගීමටයි.

මේ අතර දෙසැම්බර් 4 වැනි දින කෑගල්ල කච්චේරියේ මෙම ගැටළුව ගැන විභාග කිරීමට රැුස්වීමක් කැඳවන ලද අතර එයට ගරු අතාවුුද සෙනෙවිරත්න සහ ගරු ජගත් බාලසූරිය අමාත්‍ය දෙපලද, පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ අධක්‍ෂවරයා ප‍්‍රමූඛ කණ්ඩායමක්ද, නියෝජ්‍ය දිසාපතිවරුන් සමග දිසාපතිවරයා හා දිස්ත‍්‍රික්ක ලේකම්වරයාද, දෙවනගල ගම්වාසී මුස්ලිම්වරුන්ගෙන් කිහිප දෙනෙකු හා ‘මෛත‍්‍රී සහන පදනමේ’ කි‍්‍රයාකාරීහු ද සහභාගී වූහ. එය අවසානෙයේ, පුරාවිද්‍යා දෙපාර්ථමේන්තු නිලධාරීන් පර්වතය සහ අවට භූමි ප‍්‍රදේශය සලකුණු කිරීම සඳහා දෙසැම්බර් 23 වැනි දින දෙවනගලට පැමිණිය යුතුය යැයි තීරණය කරන ලද නමුත් පසුව කළ දැන්වීමක් මගින් එය දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. මෙලෙසින් රජයේ තිරණාත්මක මැදිහත්වීමක් මෙම අර්බූදයට නොමැති හෙයින් අවිනිශ්චිත තත්වයකට පත්ව සිටින දෙවනගල මුස්ලිම්වරුන් හද පිරි තැති ගැන්මතින් යුතුව කල් ගෙවති.
තිස් වසක විනාශකාරී යුද්ධයක් අවසන් කර තිබෙන හා ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගිය යුතු මෙවන් සමයක කළ යුතුව ඇති වැදගත්ම කාරියක් වන්නේ, වසර ගණනාවක් තිස්සේ සාමයෙන් සමගියෙන් මිනිසුන් වාසය කරමින් සිටින ගමක කලබල හා අසමගිය උසිගැන්වීම දැයි අසනු කැමැත්තෙමු. එමෙන්ම නීතියේ ආධිපත්‍යය කඩා වැටී මෙයට පෙර නොඇසූ විරූ අයුරින් අපරාධ, මිනිමරුම්, කොල්ලකෑම්, වෙහෙර විහාර බිඳීම්, ළමා අපචාර, මත් උවදුර, ලෙඩ රෝග, අල්ලස්, දූෂණ වැනි ව්‍යසන ලැව් ගිනි මෙන් පැතිර යමින් තිබෙන මෙවන් අවිචාර සමයක රජය ප‍්‍රමූඛතාව දිය යුත්තේ කුමට දැයි අසනු කැමැත්තෙමු.

දෙවනගල සිද්ධිය පැහැදිලිවම එහි වාසය කරන මුස්ලිම් ජනයාගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සඳහා ඇතැම් කල්ලි විසින් එලමින් සිටින උප්පරවැට්ටියකි. මෙම තත්වය වඩාත් බැ?රුම් වන්නේ, මෙවන් දේ අප රටේ සිදුවන්නේ ශ‍්‍රී ලංකා රජයට එරෙහිව ලොව පුරා මානව උල්ලංඝණ හා යුධ අපරාධ චෝදනා නැගෙමින් තිබෙන අවදියක වීම යි.
මෙය, සුළු ජාතීන් විෂයයෙහි ලංකා ආණ්ඩුව ‘කටේ බුදු රැුස්, බඬේ දඩමස්’ ආකල්පයක් අනුගමනය කිරීමක් බව නොකියා කීමක් නොවේද? රජයට එරෙහි ජගත් මැසිවිලි සඳහා සාධක සොයන්ට වැඩි දුර යාමක් ලෝවැසියාට අවශ්‍ය නොකරන තත්වයක් අප විසින්ම නිර්මාණය කරමින් සිටීම කෙතරම් දුරට විචාරවත්ද?

මෙම කරුණු පොදුරාජ්‍ය මණ්ඩලයේ වර්ණවත් සමුළුවක් මෙහි පවත්වා, එහි සභාපති ධූරයද අතිගරු ජනාධිපතිවරයාට හිමිව තිබෙන අභිමානවත් සමයෙක, රජය වෙසෙනින් සලකා බැලිය යුතුය.

අතීතයේ දී ජාතිවාදයට උල්පන්දම් දීම හේතුවෙන්, දශක ගණනක් තිස්සේ ආසියාවේ දරුණුම ඝාතන පිටිය බවට පත්ව සිටි අත්දැකීම් ද තිබියදී, එයින් පාඩම් ඉගෙනගෙන ඇති බවක් පෙනෙන්ට නැති වීම අවාසනාවකි. මේ අතර, මුස්ලිම් දේශපාලඥයෝ බලයට ඇති කෑදරකමින් පාවා දෙන්නන්ගේ තත්වයට පත්ව සිටිති.

මේ තත්වය යටතේ මුස්ලිම් ජනතාව වෙසෙන්නේ අපේක්ෂා භංග ජනතාවක් වශයෙනි. ජාතිවාදීන් බලාපොරොත්තු වන්නේ ඒ අපේක්ෂා භංගත්වය පුපුරා හැරීමකට පාර කැපීම ද? සමහර විට ඔවුන්ගේ අවසාන ඉලක්කය විය හැක්කේ, මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් නැගී සිටීමක් සලස්වා, එය දඩමීමා කර ගනිමින් ඇති කෙරෙන විනාශයක් මගින් 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයේ ශත සංවත්සරය සැමරීමටවත් ද?

*2013 දෙසැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Devanagala: Latest In The Racist Agenda To Provoke Muslims නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    5

    [Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.