24 April, 2024

Blog

ආර්ථික විෂමතාවය හා ජාතිකවාදය – අවසාන කොටස

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි පෙලේ තෙවන කොටස 2018 ජූනි 7 වනදා පළ විය.]

ප්‍රජා දේශප්‍රේමීන්, ජාතිකවාදීන් සහ වර්ගවාදීන්

ප්‍රජා දේශප්‍රේමීහු සමන්විත වන්නේ සුදු ඇන්ග්ලො-සැක්සන් පසුබිමෙන් යුත් පුද්ගලයන්ගෙන් පමණක් නොවේ. ඔවුන්ට අනුව, කණ්ඩායම් අනන්‍යතාවයේ ප්‍රධාන නිර්ණායකය වන්නේ ජාතිය, ජනවර්ගය හෝ ආගම නොව පුරවැසිභාවය යි. ඔවුන්ගේ පක්ෂපාතිත්වය ලෞකික රාජ්‍ය, රාජ්‍ය ආයතන සහ ප්‍රජා වටිනාකම් සඳහා බව පෙනී යයි. එනිසා යුරෝපීයයන් නොවන හා කිතුනුවන් නොවන අයට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය හැකි නමුත් ඔවුන් ඔස්ට්‍රේලියානු සංස්කෘතියට අනුගත විය යුතු ය. ඔවුහු සියළු දෙනාම වියරු ලෙස ඉස්ලාම් විරෝධී වෙති. ඉස්ලාම් ආගමට එරෙහිව අපවාදාත්මක ලෙස උද්ඝෝෂණ ගෙන යන ඔවුහු මුස්ලිම් ආගමනය තහනම් කරන ලෙස ඉල්ලති. ඉස්ලාම් ආගම ”පූර්ව නූතන ක්‍රිස්තියානි ආගම හා සැසඳිය හැකි, ලෝකය යටත් කර ගැනීම ඉලක්ක කර ගත් මුස්ලිම් නොවන අය කෙරෙහි පීඩාකාරී, ආධිපත්‍යවාදී, ඒකාධිපතිවාදී සහ අධිරාජ්‍යවාදී මතවාදයක්”[1]වන හෙයින්, ඒ හා අනුගත වී එය පිළිපදින අයට ඕස්ටේලියානු සමාජය සමඟ අනුගත විය නොහැකි බව ඔවුහු විශ්වාස කරති.

ඔවුහු ඉස්ලාමික ත්‍රස්තවාදය, ස්ත්‍රී ලිංගේන්ද්‍ර ඡේදනය, ළමා මනාලියන් සහ කණ්ඩායමක් වශයෙන් මුස්ලිම්වරු අතර පවතින්නේ යයි කියන ඉහළ අපරාධ අනුපාත සම්බන්ධයෙන් බොහෝ සෙයින් දොඩ මළු වෙති. ඉස්ලාමික ත්‍රස්තවාදීන් විසින් යුදෙව් ජනයා ඉලක්ක කොට ඇති බව පෙනෙන හෙයින් ඔවුහු යුදෙව් ජනතාව වෙත අනුග්‍රහ දක්වති. ඔවුන්ට අනුව, ඉස්ලාමික ආධිපත්‍යයෙන් යුත් මැද පෙරදිග, බටහිර ශිෂ්ටාචාරය සඳහා නිදහස පවතින එකම රට ඊශ්‍රායලය පමණි. ඊශ්‍රායලය ඉස්ලාමික බවට පත් වුවහොත් සමස්ත යුරෝපය ම ඉස්ලාමික අතට පත් වෙනවා ඇත. රහස් අවබෝධයක් ඇතිව කටයුතු කරන වම සමඟ එක්ව, මුස්ලිම්වරු ඔස්ට්‍රේලියාව ඉස්ලාමීකරණය කරන්නට පස් වන හමුදාවක් ලෙස කටයුතු කරති. මෙම ප්‍රකාශය අර්ථ ශුන්‍ය වන්නේ ඒ හඬින් ම, ඉස්ලාම් ආගම කාන්තාවන් කෙරෙහි, සමාජීය ලෙස අර්ථ දක්වා ඇති ලිංගික සම්මතයන් කඩ කරන පුද්ගලයන් (LGBTIQ)කෙරෙහි සහ මුස්ලිම් නොවන අය කෙරෙහි මර්දනකාරී වන බවට ඔවුන් ප්‍රකාශ කරන විටයි.

ප‍්‍රජා දේශප්‍රේමී වැනි ජාතිකවාදීන් ද සක්‍රීය ලෙස ඉස්ලාම් විරෝධී වෙති. ඔවුහු අනෙක් සුළුතර කණ්ඩායම්වලට විරුද්ධ නමුත් ඒ එතරම් සුප්‍රකට ලෙස නොවේ. ඒ කෙසේ වෙතත්, මුස්ලිම් ආගමනය සඳහා යුදෙව්වන් වගකිව යුතු බව පවසන ඔවුහු යුදෙව්වන් බටහිර ශිෂ්ටාචාරයට ප්‍රධාන තර්ජනයක් බවත් විශ්වාස කරති. ඔවුන්ගේ ක්ෂණික ඉලක්කය මුස්ලිම්වරු වුවද,යුදෙව්වෝ ඔවුන්ගේ අනාගත ඉලක්කය බවට පත් වනු ඇත. ප්‍රජා දේශප්‍රේමීන්ට වෙනස් වන ජාතිවාදීහු අනන්‍යතාවයේ ප්‍රධාන නිර්ණායකය වන්නේ පුරවැසිභාවය නොව ජාතිය සහ ජන වාර්ගිකත්වය බව විශ්වාස කරති.[2]

ජාතිවාදීහු සලකන්නේ අනන්‍යතාවයේ ප්‍රධාන නිර්ණායකය ජාතිකත්වය, සංස්කෘතිය හෝ ආගම නොව, ජාතිය බවයි. ඔවුහු සමන්විත වන්නේ සමහරුන් ඉස්ලාම්-විරෝධී වන සහ සමහරුන් එසේ නොවන විවිධාකාර කණ්ඩායම්වලිනි. සුදු ස්වෝත්තමවාදී, යුදෙව්-විරෝධී, සමලිංගික-විරෝධී සහ සුදු-නොවන ආගමන-විරෝධී වන නව-නාසි සහ ඒ හා සමාන තවත් ප‍්‍රවාහයන් ද ඇත. ජාතිවාදීහු පොදුවේ යුරෝපීය නොවන සියළු දෙනාටම එදිරි වන නමුත් ඔවුන්ගේ ප්‍රධාන සතුරා වන්නේ යුදෙව්වන් ය. කායික, සදාචාරාත්මක සහ බුද්ධිමය යයි කියන යෝග්‍යතාවයකට අනුව ජාතීන් ධූරානුගත පිලිවෙලකට ශ්‍රේණිගත කළ හැකි යයි වැරදි සහගත ලෙස කියා සිටින ඔවුහු, ජාතීන් පිළිබඳ ව්‍යාජ විද්‍යාවක් මත පදනම් වූ දුර්මතයක් ගැන විශ්වාසය තබති.

නිදසුනක් ලෙස, ආර්යයන්ගේ පක්ෂයක් ලෙස හඳුනා ගන්නා ඔස්ට්‍රේලියා පළමු පක්ෂය, නව-නාසි, සුදු ජාතිකවාදී, බහු සංස්කෘතික-විරෝධී, සමාජීය ව ගතානුගතික (conservative)සහ ආර්ථික දැක්ම අතින් ආරක්ෂණවාදී ලෙස විස්තර කෙරෙයි. එහි නායකයෙක් 1984 දී අෆිකානු ජාතික සංගමයේ(ANC)නියෝජිතයාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය. ඔවුහු 2005 දී සංක්‍රමණිකයන්ට එරෙහිව ඇති කරන ලද ක්රොනල්ලා(Cronulla) කැරලි කෝලාහලවලට ද සම්බන්ධ වූහ. 2016 දී ඔවුහු එක්සත් ජනපදයේ හිටපු කූ ක්ලක්ස් ක්ලෑන්(Ku Klux Clan)සාමාජිකයෙකුගේ අපේක්ෂකත්වයට සහාය දුන්හ.[3]  ඔස්ට්‍රේලියා පළමු පක්ෂයට මෙතෙක් ලැබී ඇති මැතිවරණ සහයෝගය නොසැලකිය යුතු තරම් වීම පිළිබඳ ව ස්තුතිවන්ත විය යුතු ය.[4]

ඔස්ට්‍රේලියාව යලි මුදා ගැනීමනමැති සංවිධානය මුස්ලිම් දේවස්ථාන ගොඩනැගීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ  ප්‍රධාන නගරවල මහජන විරෝධතාවයන්ද මුස්ලිම් විරෝධී කටයුතු කිහිපයක් ද පවත්වා තිබේ. මෙල්බර්න් නුවර ඔවුන් පවත්වන විරෝධතා ප්‍රචණ්ඩකාරී බවට පත්ව ඇත. ඔවුහු ප්‍රජා කණ්ඩායම්වලට එරෙහිව ද්වේෂය පතුරවන විට, ඇතැම් වාම කණ්ඩායම් සහ ප‍්‍රගතිශීලීහු එවැනි විරෝධතා වලට විරෝධය පා ඇත. ඔවුන්ගෙන් සමහරෙක් ෆැසිස්ට්වාදීන් නතර කිරීම සහ සංක්‍රමණික ප‍්‍රජාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිනින් ආරක්ෂා කිරීම සඳහා සාමකාමී ව විරෝධය දක්වන අතර ජාතිවාදීන් ප්‍රචණ්ඩ අතට හැරෙන විට තවත් සමහරු ප්‍රචණ්ඩත්වය යොදා ගන්නට පෙළැඹෙති.

1997 දී පෝලින් හැන්සන් පිහිටුවා ගත් එකම ජාතියක්(One Nation)නමැති ජාතිකවාදී දක්ෂිණාංශික ජනප්‍රියවාදී පක්ෂය, 2015 දී පෝලින් හැන්සන් ගේ එකම ජාතියක්(Pauline Hanson’s One Nation)යනුවෙන් යලි නම් කරන ලදි. පෝලින් හැන්සන් යාවජීව සභාපතිනිය වශයෙන් එකම ජාතියක්පක්ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කොට ඇත.[5]  සෙනේට් සභිකයින් තිදෙනෙකු හා ව්‍යවස්ථාදායක සභිකයන් සිව් දෙනෙකු සහිත ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් ම දක්ෂිණාංශික ජාතිකවාදී කණ්ඩායම වූ එම පක්ෂය පාර්ලිමේන්තුවේ බල තුලනය දැරුවේ ය. කෙසේ වෙතත් ඇතැම් සාමාජිකයන් පෝලින් හැන්සන් හැර යාමත් විවිධ දක්ෂිණාංශික ජාතිකවාදී පක්ෂ හතරකින් සමන්විත අළුත් ගතානුගතික (conservative)පක්ෂවලින් ස්වාධීන (crossbench)සෙනේට් කණ්ඩායමක් පිහිටුවා ගැනීමට දරන උත්සාහයත් සමඟ මෙම තත්වය වඩා දියාරු බවට පත් වෙමින් ඇත.[6]  එසේ වූවත්, පසුගිය මැතිවරණයෙන් පසු වත්මන් ආණ්ඩුව සමග අසරණ අයගේ සුබසාධන ප්‍රතිලාභ කපා හැරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මෙම මන්ත්‍රීවරුන් සියළු දෙනාම පාහේ යෝජිත සංස්ථාපිත බදු කපා හරින්නට අනුග්‍රහ දක්වන්නට සැදී පැහැදී සිටියහ.

එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ගේ ජයග්‍රහණය, අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් එක්සත් කරන්නටත් ප්‍රසිද්ධ රැලි සහ පෙළපාලි පවත්වන්නටත් ධෛර්යමත් කළේ ය. ඔස්ට්‍රේලියාවේ දී ඇන්ටිපොඩියන්[7]  ප්‍රතිරෝධය (Antipodean Resistance)නමැති නව-නාසි ෆැසිස්ට්වාදී දැඩි ජාතිවාදී කණ්ඩායම යුදෙව් ජනයාට සහ සමාජීය ලෙස අර්ථ දක්වා ඇති ලිංගික සම්මතයන් කඩ කරන පුද්ගලයන් (LGBTIQ) ට එරෙහිව වෛරය හා ප්‍රචණ්ඩත්වය උසි ගන්වා ලීය. මේ වන විට බෙන්ඩිගෝ නගරයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීම පිළිබඳ ව ජාතිකවාදී කණ්ඩායම් නායකයින් තිදෙනෙකුට දඩ නියම කර තිබේ. එතැන් පටන්, බොහෝ ජාතිකවාදීහු නිහඬ වී සිටින බවක් පෙනුනද ඒ 2018 දී යලි මතු වන්නට නැවත එක්රැස් වීම සඳහා වන්නට පුළුවන.

ආසියාවේ අසමානත්වය

අන් හැම තැනකම මෙන් ආසියාවේ ද ධනවතුන් හා දුප්පතුන් අතර ඇති අසමානත්වය පුළුල් වී තිබේ. බහුතරය දුප්පත්කමේ උගුලට හසු වී ඇත. පහත වැටෙන දරිද්‍රතා මට්ටම් සහ වැඩිදියුණු වෙන සෞඛ්‍යය හා අධ්‍යාපනය පිළිබඳ ව වාර්තා තිබුනද, බිම් මට්ටමේ එය එසේ වන බවක් පෙනෙන්නට නැත. පරිසර  දූෂණය,ලෙඩ රෝග සහ දේශගුණික විපර්යාස වැනි ගැට‍ළු දිගටම නරක අතට හැරෙමින් තිබේ. රටවල් තුලත්,ඒවා අතරමත් අසමානත්වයන් පුළුල් වී ඇත. නිදසුනක් වශයෙන්, පසුගිය වසර තිහ තුල ගිනි සංගුණකය ඉහළ ගොස් ඇත. පාලන තන්ත්‍ර  සාර්ව අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා සඳහා කරන ආයෝජන දැඩි ලෙස කප්පාදු කර තිබේ. මෙම අංශයන් තුල වැඩිවෙන පුද්ගලීකරණයත් ආයෝජනය අඩු කරලීමත් සමග අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය යන දෙඅංශයේම ගුණාත්මක භාවය පහත වැටී ඇත.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වෙනස් නැත. වර්තමානයේ සමහරු සිංහල අනන්‍යතාවය, සංස්කෘතිය, වටිනාකම් සහ සම්ප‍්‍රදායයන් රැක ගැනීම සඳහා ෆියුරර් (führer)කෙනෙක් සොයමින් සිටින බව පෙනේ. ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව, අනේවාසික සිංහල ජන ප‍්‍රජාවන් අතර ද ඒකxසංස්කෘතික ජාතිකවාදී සුනාමියක් ඇති කිරීම සඳහා බොහෝ පෙරමුණු සංවිධාන පිහිටුවනු ලැබ ඇත. දේශප්‍රේමී හා ජාතිවාදී දේශපාලන ප‍්‍රවණතාවයන් අර්ථ ගන්වන ලක්ෂණ බොහොමයක් ඒවා සතුව තිබේ. දෙමළ විරෝධී, ඉස්ලාම් විරෝධී, ඉන්දියානු විරෝධී, බටහිර විරෝධී හා සිංහල බෞද්ධ පාක්ෂික යනුවෙන් ඒවා බොහෝ වර්ග ඇත. එහෙත්, ප්‍රකට ජාතික, සංස්කෘතික සහ ආගමික පක්ෂපාතිත්වය හැරෙන විට, ඉහළ නැගෙන සමාජ හා ආදායම් විෂමතාවය පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති වේදිකාවක් හෝ අනාගතය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හෝ නොමැත. විධායක ජනාධිපති ධුරය රැක ගැනීමට හා ඇතැම් විට බිහිසුණු පලි ගැනීමෙන් යුක්ත ව ඒකාධිපති පවුල් පාලනයක් නැවත ගෙන ඒමට ඇති දොල දුකක් සහිතව පැරණි සුපුරුදු දේවල් ම හැරෙන්නට අළුත් කිසිවක් නැත!

ලෝකය පුරා සිදු වී ඇති පරිදි, කපටි දේශපාලනඥයන් සොයන්නේ මෙම ඒකාධිපති උගුල අටවන්නට, හිට්ලර් හා මුසොලීනි ගේ හෙන්චයියන් කළාක් මෙන්, ප‍්‍රශ්ණ කිසිවක් නො අසා අනතුරුව නියෝග ක්‍රියාත්මක කරන සුවච කීකරු පුද්ගලයන් කණ්ඩායමකි. එවැනි පාලනයක නීත්‍යානුකූල සහ නීති විරෝධී ඵල ප්‍රයෝජන, වරප්‍රසාද සහ ප්‍රතිලාභ අතීතයේ දී භුක්ති විඳින ලද එවැනි හෙන්චයියෝ දැනටමත් රාජ්‍ය යන්ත්‍රයේ ශ්‍රේණීන් බොහොමයක් අරා සිටින බව පෙනෙන්නට තිබේ. මෙම බදු කරුවෝ ෆියුරර් (führer)කෙනෙකුට සේවය කරන්නටත් එසේ ලැබෙන ප්‍රතිලාභත් ප්‍රචණ්ඩත්වයත් භුක්ති විඳිමින් ෆැසිස්ට් නීලංකාරයේ උණුසුම ලබන්නටත් උනන්දුවෙන් බලා සිටිති.

නිගමනය

අන්ත දක්ෂිණාංශයේ පූර්ව දෙවන ලෝක යුද්ධ ඉතිහාසය පාලක ප්‍රභූ පෙළැන්තියේ ඉතිහාසය සමඟ සමීපව එකට බැඳී තිබුනි. වාමාංශයට මෙන් නොව, අන්ත දක්ෂිණාංශය, දේශපාලන පන්තියේ, මිලිටරියේ, පොලිසියේ සහ ධනවතුන්ගේ සමහර කොටස්වල නිහඬ, ඇතැම් විට ක්‍රියාත්මක සහයෝගය භුක්ති විඳ තිබේ. මෙයින් අන්ත දක්ෂිණාංශයට ගරුත්වයේ ඔපයක් පවත්වා ගෙන යන්නට ඉඩ ලැබී ඇත. ආණ්ඩු පෙරලා දැමීම සඳහා සැලසුම් කරමින් රහස් හමුදා යොදා ගැනීම වැනි ඔවුන් කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී හා නීති විරෝධී ක්‍රියා තිබුනද, කෲර ලෙස ඔවුන්ගේ විරුද්ධවාදීන් මර්දනය කරන පාලන තන්ත්‍ර ජනයා විසින් තෝරා පත් කර ගෙන තිබේ.

ජාතිවාදී වශයෙන් හා ජන වාර්ගික වශයෙන් පාරිශුද්ධ වූ රන්වන් අතීතයක් වෙත ආපසු යන්නට අන්ත දක්ෂිණාංශය දෙන පොරොන්දුව පීතෘමූලික, ජාතිවාදී හා සමලිංගිකතා විරෝධී වටිනාකම්වලින් ශක්තිමත් කොට ඇත. බොහෝ අවස්ථාවල එවැනි පොරොන්දු  මැතිවරණ ජයග්‍රහණ අත් කොට දී තිබේ. අන්ත දක්ෂිණාංශික ගතානුගතික කණ්ඩායම් ආගමනය පිළිබඳ ගැටලුව මහත් හඬකින් ජනතාව අතර ගෙන යන යුරෝපයේ, ඔස්ට්‍රේලියාවේ හා එක්සත් ජනපදයේ මෙසේ සිදු වී ඇත.

අන්ත දක්ෂිණාංශය සහ වාමාංශය එකිනෙකා නුරුස්සන පිළිබිඹු වශයෙන් නිරූපනය කරන්නට දරන උත්සාහයන් කරුණු වශයෙන් වැරදි සහගත පමණක් නොව සත්‍ය කරුණු ව්‍යාජකරනය කොට සමහර ගුප්ත ඵල ප්‍රයෝජන ආරක්ෂා කරයි. අන්ත දක්ෂිණාංශය සාමාන්‍යයෙන් සමාජයේ ඉහළ ස්තරවලට අයත් වේ. සැඟවුන සම්බන්ධය එතරම් පැහැදිලි ලෙස නොපෙනුනද, අන්ත දක්ෂිණාංශය දේශපාලන හා නිලධාරිවාදී මට්ටමෙන් පාලක ප්‍රභූ පැලැන්තිය සමඟ සමීපව එකට බැඳී ඇත. බොහෝ රටවල ආරක්ෂක හමුදා අන්ත දක්ෂිණාංශයට වඩා වැඩියෙන් වාමාංශයට අවඥාවෙන් සහ ද්වේෂයෙන් යුතුව පහර දී ඇත.

අවාසනාවට, ජාතිකවාදී ඒකාධිපති මතවාදය මත පදනම් වූ වමේ සමහරෙක් ද එවැනි ප්‍රහාරවලට දායක වී ඇත. ශ‍්‍රී ලංකාව එවැනි අවස්ථාවකට උදාහරණයක් වෙයි. ඔවුහු බොහෝ රටවල සමාජයන් පීඩාවට පත් කරමින් ශුභසාධක රාජ්‍යය කඩා බිඳ දැමීම සහ රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කිරීම වැනි පිළිවෙත් ප‍්‍රශ්ණ කිරීමට භාජනය කරන්නේ නැත. ඔවුහු මේ තත්වය ගැන ජනවාර්ගික කණ්ඩායම්වලට දොස් පවරන්නට පටන් ගනිති. අවාසනාවකට මේ නිසා ඇතැම් වාම ඡන්දදායකයෝ සමහර දක්ෂිණාංශික පක්ෂ කම්කරු අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන ඒවා ලෙස වැරදි සහගත ලෙස හඳුනා ගන්නට යොමු කෙරෙයි. ඔවුහු මෙම දකුණට මාරු වීම දකිනවා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය සමග ජන වාර්ගික ජාතිකවාදය සංකලනය වීමක් ලෙසයි.

ලෝකය පුරා අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී සහ ජනප්‍රියවාදී කණ්ඩායම් හිස ඔසවා ඇත්තේ දහස් ගණනක් වූ කාරණා හේතුවෙනි. එය සාමාන්‍යයෙන් දේශීය ගැට‍ළු, ගෝලීය ආර්ථික ක්‍රියාමාර්ග සහ යුද්ධවලින්, ජන ඝාතනවලින් හා සාගතවලින් ගැලවෙන්නට ජනයා සංචලනය වීම පිළිබඳ ව වන විෂ සහිත සංයෝගයකි. ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව හා හංගේරියාවේ සමහර අය, නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ රටවල ෆැසිස්ට්වාදී සහ නාසි අතීතය සමග දෙගිඩියාවෙන් යුත් සම්බන්ධයක් ඇති කර ගැනීමෙන්; නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, පෝලන්තය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තයේ සමහරු, නිදසුනක් වශයෙන්,ඉස්ලාම් ආගමෙන් ජාතික සංස්කෘතියට එල්ල වේ යයි දැනෙන තර්ජනයක් ගැන මූලික අවධානය යොමු කිරීමෙන්; හංගේරියාව, ග්‍රීසිය, ඉතාලිය හා එක්සත් රාජධානිය වැනි රටවල සමහර දෙනෙක්, නිදසුනක් වශයෙන්, ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයන්ට ජනවාර්ගික සුළුතරයන්ගෙන් එල්ල වන්නේ යයි දැනෙන තර්ජනයක් ගැන අවධානය යොමු කිරීමෙන්; සහ පෝලන්තය, රුමේනියාව සහ බල්ගේරියාව වැනි රටවල අනෙක් අය, නිදසුනක් ලෙස, මූලධර්මවාදී ක්‍රිස්තියානි ප්‍රතිගාමී න්‍යාය පත්‍රයක් අනුමත කිරීමෙන් ද සහයෝගය ලබා ගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පාලක පන්තියේ ප්‍රකාශිත කැපවීම තිබුනද, ඔවුන්ගේ ආර්ථික ඵල ප්‍රයෝජන තර්ජනයට ලක් වන විට ඔවුහු ඇත්තෙන්ම ආඥාදායකත්වය පිළිබඳ අදහසට බෙහෙවින් නම්‍යශීලී වනවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජය අභිභවනය කරන්නට ඔවුන්ට ඇති දිව්‍යමය අයිතිය වෙත එල්ල කරන ලද නො ඉවසිය හැකි මැදිහත් වීමක් ලෙස සැලකූ, දහනව වන සියවසේ යටත් විජිත හා පූර්ව යටත් විජිත අවශ්‍යතාවන් තුල දේශපාලන වශයෙන් මෙන්ම, බොහෝ අවස්ථාවල දී ජානමය වශයෙන් ද අන්ත දක්ෂිණාංශයට එහි උරුමය සොයා ගත හැකිය. එවැනි කණ්ඩායම් ඔවුන්ගේ ඒකාධිපති අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට සමත් වන්නේ නම්, සුදු-නොවන, ක්‍රිස්තියානි-නොවන සංක්‍රමණික ජන ප‍්‍රජාවන්ට එරෙහිව සිදු කරන ලේ වැගිරීම් වැළැක්විය නොහැකි වනවා ඇත.

ඒකාධිපතිවාදී කණ්ඩායම් හා කපටි දේශපාලනඥයන් නැවැත්වීම සඳහා ආර්ථික විෂමතාවට සහ ආදායම් අසමානත්වයට එරෙහිව සටන් කිරීමට ඇති අපේ කැපවීම අත්‍යවශ්‍ය වෙයි. දරුණු ආර්ථික විෂමතාවයන් හා ආදායම් අසමානතාවන් අඩු නො කරන තාක්, ෆැසිස්ට් ප‍්‍රවණතාවයන්ට එතරම් ඈත නොවන අනාගතයේ දී ලෝකයේ බොහෝ පෙදෙස්වල බලය අල්ලා ගත හැකි වෙයි. එහෙයින්, ඔවුන්ගේ විනාශකාරී නැගී සිටීමට දැඩි ලෙස විරෝධය පාමින් ක්‍රියාශීලී ලෙස ඊට අභියෝග කිරීම අපගේ යුතුකම හා වගකීම බවට පත් වෙයි – අපට ඊට අඩු යමක් කළ නොහැකිය.

[1]ජුුලී නේදන් 2018ජනවාරි 31, ඔස්ට්‍රේලියාවේ ක්‍රියාකාරි අන්ත දක්ෂිණාංශයේ නැඟිටීම: කෙතරම් දුරට එය ගමන් කරයි ද?ලබා ගැනීමට: http://www.abc.net.au/religion/articles/2018/01/31/4796789.htm

[2]එම

[3]විකිපීඩියා 2018මැයි 23, ඔස්ට්‍රේලියා පළමු පක්ෂය: ලබා ගැනීමට: https://en.wikipedia.org/wiki/Australia_First_Party

[4]ඇන්ඩෘ මෝර් 1995, දකුණු මාවත, ඔස්ට්‍රේලියාවේ දක්ෂිණාංශික දේශපාලනයේ ඉතිහාසය, ඔක්ස්ෆර්ඞ් සරසවි මුද්‍රණාලය.

[5]ද ගාඩියන් 2018 මැයි13, ලබා ගැනීමට: https://www.theguardian.com/australia-news/2018/may/13/pauline-hanson-written-into-one-nation-constitution-as-effective-president-for-life

[6]කේට්ලන් ග‍්‍රිබින් 2018ජූනි 6, ABC පුවත්, ලබා ගැනීමට: : http://www.abc.net.au/news/2018-06-06/conservatives-forming-powerful-new-senate-bloc/9837998

[7]සැසඳිය නොහැකි; නැතහොත් හාත්පසින් ම වෙනස්; නැතහොත් පොලවේ ප්‍රතිවිරුද්ධ පැතිවල පිහිටි; නැතහොත් ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තයේ, නැතහොත්ඔස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට අදාළ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I cannot understand one thing. Recently, the present CB governor talked to some students and had said that SL rupee should be only Rs 100 per dollar. Yet, Dollar is 160 and govt is importing like there is no tomorrow. So, we are giving away Rupees for no reason. Even the western countries grow their meat and Wheat. Why we have to import ?. why every govt fails, check the maps. So many acres are converted to towns and now to housing schmes, just like coconut states are converted to houses and they ant Palm Trees. How stupid and ignorent.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.