25 April, 2024

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන්

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

මතකයන් සහ අතීත අත්දැකීම් නව තත්වයන් ඇසුරෙන් යළි පරික්ෂා කරනු නොලැබුවහොත් සියලු නව පරම්පරාවන්වල අනාගතය අඳුරු වනවා ඇත.

ආචාර්ය නාලක ගොඩහේවාගේ වෘත්තිමය පසුබිම සළකා බැලූ විට ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) දී කරන ලද කතාව දේශපාලන ප්‍රෝඩාවක් බව පෙනේ. මක්නිසාද යත් එය මූලික වශයෙන් නොමඟ යවන සුළු, අතාර්කික, අවිචාරී, “ආචාර්‍යමය නොවන​” සහ ඇතැම් අවස්ථාවලදී අවංකකමින් තොර​ කතාවක් වන හෙයිනි. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට, විශේෂයෙන් දෙමළ ජනයාට එරෙහිව වෙනස්කම් කරනු ලැබීම ගොතන​ ලද (හෝ හිතේ මවා ගත්) මිථ්‍යාවක් ය යන වැරදි සහගත කල්පිතය මත ඔහුගේ කතාව පදනම් වී ඇත. මෑතකදී කරන ලද කටයුතුවලින් පෙනී යන්නේ ඔහු “වියත්මඟ” නියෝජනය කරන්නට ඇති බවයි. ඔහුගේ සැක සහිත දේශපාලන අභිප්‍රායයන් කතාව අවසානයේ දී පැහැදිලි වෙයි. දැනට කෙරෙන අසීරු ව්‍යවස්ථා වර්ධන ක්‍රියාවලියට මුහුණ නොදෙන්නට තෝරා ගන්නා ඔහු, මේ සමස්ත ක්‍රියාවලිය “අපව බෙදා වෙන්කිරීමට පමණක් අවශ්‍ය” වී ඇති බාහිර බලවේගවල බටහිර න්‍යාය පත්‍රයක් සපුරා ගන්නට කරන එකක් බව කියමින්, “ජනවර්ග මත පදනම්වූ විසඳුම් එපා” යයි ප්‍රකාශ කරයි.

ඔහුගේ දේශපාලන සම්බන්ධතා දෙස බැලූ විට මෙය පුදුමයට කරුණක් නොවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ ආචාර්ය ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ව සිටියේය. හිටපු ජනාධිපතිගේ පුතෙක් නායකත්වය දුන් තරුණ ව්‍යාපාරයකට ලබා දුන් මූල්‍ය දීමනාවක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් 2015 දෙසැම්බර් මස ඔහු අත් අඩංගුවට ගෙන තිබුනි. මෙය දේශපාලන දඩයම් කිරීමක් බවටත්, මෙම දීමනාව “හුදෙක් කොටස් වෙළඳ පොළ දැනුවත් කිරීමේ වැඩ සටහනක් උදෙසා නිසි මණ්ඩල අනුමැතිය ඇතිව ලබා දෙන ලද අනුග්‍රාහකත්වයක්” බවටත් ඔහුගේ නීතිඥයින් තර්ක කළහ. අපි එම කරුණ පසෙක තිබියදී, සිංහල නොවන ජන ප්‍රජාවන්ට එරෙහිව කිසිදු වෙනස්කම් කිරීමක් සිදු කොට​ නැතැයි යනුවෙන් ආචාර්ය ගොඩහේවා මතුපිටින් සැබෑවක් මෙන් පෙනෙන තම තර්කණය තහවුරු කිරීම සඳහා ඔහු ඓතිහාසික වාර්ථා වෙතින් බැහැර කොට තිබෙන කරුණු විග්‍රහ කොට​ බලමු.

වෙනස්කම් කිරීම්

වෙනස්කම් කිරීම් යනු මූලික වශයෙන් සාධාරණත්වයේ හා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූල නොවන හිතාමතා හෝ සිතා නොබලා කරනු ලබන “චර්යාවක් හෝ සැලකීමක්” වෙයි.

වාර්ගික වෙනස්කම් කිරීම් නිර්වචනය කරනු ලබන ජාත්‍යන්තර නීතිය තුල මෙය පිළිබිඹු කර ඇත්තේ මෙසේය:

“දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික හෝ පොදු ජන ජීවිතයේ වෙනත් ඕනෑම ක්‍ෂේත්‍රයක මානව අයිතීන් හා මූලික නිදහස් සමාන පදනමක් මත පිළිගැනීම, භුක්ති විඳීම හෝ භාවිතා කිරීම නිෂ්ඵල කිරීමේ හෝ දුර්වල කිරීමේ අරමුණ හෝ බලපෑම ඇතිව ජාතිය, වර්ණය, පෙළපත හෝ ජාතික හෝ වාර්ගික සම්භවය පදනම් කොට ගෙන කරනු ලබන ඕනෑම වෙනස්කම් කිරීමක්, බැහැර කිරීමක්, සීමා කිරීමක් හෝ මනාපය දැකිවීමක්.”

තවත් පැහැදිලි කිරීමකට අනුව:

“වෙනස්කම් කිරීමේ චර්යාවන් බොහෝ හැඩයන් ගන්නා නමුත් ඒ සියල්ල බැහැර කිරීමේ හෝ ප්‍රතික්‍ෂේප කිරීමේ යම්කිසි හැඩයක් සමඟ සම්බන්ධ වෙයි.”

මේ අනුව ගත් විට, වෙනස්කම් කිරීම, අතාර්කික හෝ අවිචාරී තීරණ ගැනීම් මත පදනම්ව සාමාජිකයෙකු හෝ කණ්ඩායමක් බැහැර කරන්නට හෝ “වෙනස් කොට සලකන්නට” මඟ පාදමින් එම සාමාජිකයාට හෝ කණ්ඩායමට වෙනත් අයෙකු භුක්ති විඳිය හැකි අවස්ථා හෝ වරප්‍රසාද භුක්ති විඳීම අවහිර කිරීම හා සම්බන්ධ වෙයි. එය පීඩා කිරීමේ මූලයක් බවට වර්ධනය විය හැකිය; එසේ වර්ධනය වී ඇති එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අමානුෂික හා පහත් කොට සැලකීමයි.

පසුබිම

ආගම, භාෂාව හා කුලය ඉක්මවා යන ජාතික විඥානයක් වර්ධනය කරන්නට දිවයිනේ ප්‍රභූ පෙළැන්තියට නොහැකිවීමෙන් මතුවී තිබෙන කරුණු මෙම ලිපිය අවධාරණය කරයි. ඊට හේතුකාරක මූලයන් ඇත්තේ පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසින් විසින් රට දිගු කාලයක් තිස්සේ දීනභාවයේ පවත්වා ගැනීම තුලයි. පශ්චාත් නිදහස් අවධිය තුළ, අතිශයින් වැදගත් මෙම සමාජයීය ගැටලුව විසඳා ලන්නට අපේ දේශපාලන හා සංස්කෘතික ප්‍රභූ පෙලැන්තිය අසමත්වීම හේතුවෙන්, විශේෂයෙන්ම වාර්ගිකත්වයේ පදනම් මත, වෙනස්කම් කිරීමේ විවිධ ස්වරූපයන් ඇති කොට තිබේ. පාලක ප්‍රභූ පෙලැන්තියේ පංති ඵල ප්‍රයෝජන හා වරප්‍රසාද රැක ගනු වස් දේශපාලන සම්ප්‍රදායයන් සියල්ලේම පාහේ පැවති දෘෂ්ටිවාදීමය මතිමතාන්තරවල ආධාරයෙන්, රාජ්‍යය හා එහි ආරක්‍ෂක බලකායයන්ද, දේශපාලන සංවිධානද විසින් සිදු කරනු ලැබූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලින් සහ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් මෙය පිලිබිඹු කෙරෙයි.

ශ්‍රී ලංකාවේ දමිලයන්ට එරෙහිව ජාතික පීඩනයක් හෝ වෙනස්කම් කිරීමක් හෝ නොමැති බවටත්, වෙනස්කම් කිරීමක් ඇත්නම් ඒ සිංහලයන්ට එරෙහිව පමණක් බවටත් නඟන තර්කය පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාව සිංහලයන්ගේ පමණක් වන රට බවටත්, සිංහල නොවන ජනයා හුදෙක් මෑතකාලීන සංක්‍රමණිකයන්‍ බවටත් පවතින ප්‍රස්තුතය මතය. මෙය දිවයිනේ ඉතිහාසය පිළිබඳව කරන ලද සිංහල ජාතිකවාදී නිර්මාණයකි. අනික් අතට, ඉතිහාසය පිළිබඳ දෙමළ ජාතිකවාදී නිර්මාණයෙන් ඔවුහු දිවයිනේ පළමු වැසියන් බවට නිරූපනය කරන්නට උත්සාහ දරයි. මහත් සන්තාපකර වූ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම සම්බන්ධයෙන් ගත් විට, සංවාදයක් හෝ සම්මුතියක් සඳහා තිබෙන යම් ඉඩ කඩක් ඇත්නම් මෙම එදිරිවාදී ආඛ්‍යානයන් විසින් එම ඉඩකඩද අහුරා දමනු ලබයි.

ඔවුන් නඟන කෙස් පැලෙන තර්ක කෙසේ වෙතත්, අප සියලු දෙනාට එකඟ විය හැකි කරුණු කිහිපයක් තිබේ: සිංහලයන් සහ දමිලයන්ද ඇතුළුව දිවයිනේ වසන බොහෝ පරම්පරාවන් සියවස් ගණනාවක් තිස්සේ අපේ රටේ පදිංචි කරුවන් ව සිට ඇත. එබැවින්, ලංකාව වර්තමානයේ එහි වසන සියළු ජනයාගේ නිජබිම යි. අප විසඳුම් සොයා ගත යුත්තේ වර්තමාන ගැටලුවලට මිස සියවස් ගණනාවකට පෙර පැවති ඓතිහාසික ගැටලුවකට නොවේ. එවැනි විසඳුම් සියලු දෙනාටම සමානත්වයෙන් සලකන, සියලු දෙනාටම අභිමානයෙන් හා ගෞරවයෙන් යුක්තව ජීවත්විය හැකි එක්සත්වූත්, අනුකූලවූත්, අන්තර් ග්‍රහණය (inclusive) කර ගන්නාවූත් සහ වඩා සාධාරණවූත් ශ්‍රී ලංකාවක් සඳහා මඟ පෑදිය යුතුය.

යටත් විජිත පාලනය යටතේ සියවස් ගණනාවක් පුරා යටත්කර තබා ගැනීමෙන් හා මර්දනය කරනු ලැබීමෙන් දේශීය ජනයාගේ ජාතික අභිමානය හා මූලික අයිතිවාසිකම් පාගා දමන ලද අතර ඒ ඒ ජනප්‍රජාව තුළ ජාතික විඥානයක් අවුලුවා ලූයේය. එබැවින්, එක් එක් ජනප්‍රජාවගේ පැහැදිලි සුවිශේෂතා ද, අන්තර් වාර්ගික ඕනෑඑපාකම්වල සමස්ත පරාසය අවබෝධ කර ගැනීමේ දී ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ද. ඔවුන්ගේ ප්‍රශ්නවලට සහන සැලසීම සඳහා විචක්‍ෂණශීලී මෙන්ම ඉවසිලිවන්ත ප්‍රවේශයක් සහිත රැඩිකල් සමාජ පරිවර්තනයක ඇති අවශ්‍යතාවය ද විශ්ලේෂණය කොට හඳුනා ගැනීමේ වුවමනාව පැන නඟියි.

නිදහස සඳහා කරන ලද යටත් විජිත විරෝධී ප්‍රබල අරගලයක් ශ්‍රී ලංකාව තුල වර්ධනය වූයේ නැත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණය කළ සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙක් අය සමඟ එකට එක්ව කටයුතු කළ දමිල නායකයෝ එම දේශපාලන උද්ඝෝෂණවල පෙරමුණේ ම සිටියහ. පොන්නම්බලම් රාමනාදන් ඔවුන්ගේ පළමුවන තේරී පත්වූ පොදු නියෝජිතයා වීය. ඔහුගේ සොහොයුරු පොන්නම්බලම් අරුණාචලන් දේශීය විශ්ව විද්‍යාල සහ දේශීය භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා උද්ඝෝෂණය කළේය. යාපනයේ තරුණ සම්මේලනය (Jaffna Youth Congress) මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අධිරාජ්‍ය විරෝධී එකක් බවට හරවන්නට නායකත්වය දුන්නේය. 1947 දී ඉන්දියාව යටත් විජිතවාදයෙන් නිදහස ලැබීමත්, වමේ නායකත්වය විසින් මෙහෙයවනු ලැබූ කම්කරු පන්ති අරගලත් මෙම පරිවර්තනය කෙරහි බලපෑවේය.

1948 දී බ්‍රිතාන්‍යය, ආසියාවේ “කොමියුනිස්ට්වාදයේ තර්ජනය” පැතිරීම වළක්වා ලන්නට ඔවුන් දියත් කළ නව භූ-දේශපාලනික හා මිලිටරි මූලෝපාය අනුව යමින් ලංකාව “ස්වාධීන” බවට පත් කලේය. එසේ කිරීමේදී ඔවුහු, නිදහසින් පසු කාල පරිච්ඡේදයේදී දිවයිනේ විවිධාකාර පදිංචිකරුවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය සහතික කිරීමට අවශ්‍ය වූ හදිසි දේශපාලන අවශ්‍යතාවයන් සැලකිල්ලට නොගත්හ. මෙම දේශපාලන රික්තය තුළ, බද්ධ වෛරය විසින් ශිෂ්ටත්වය ප්‍රතිස්ථාපනය කළ අතර ජාතිකවාදී ව්‍යාපෘතිය ජනවාර්ගික / ජාතිවාදී ගැටුමක් කරා පිරිහී ගියේය. සිංහලයෝ දමිලයන් ආර්ථික හා අධ්‍යාපනික වශයෙන් වරප්‍රසාද ලත් අය ලෙස සැලකූහ. වැඩි වැඩියෙන් දමිලයන් සමඟ අමනාපයට පත්වූ සිංහලයන්ට “බහුතර අයිතීන්” අත්පත් කර තැනීමට අවශ්‍ය විය. ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේ ප්‍රමාණය අතින් ශක්තිමත් දෙමළ ප්රජාව වෙත ලංකාවේ දමිලයන් හා පවතින භූගෝලීය සමීපත්වය ගැන සිංහලයෝ බලවත් සැලකිල්ලක් දැක්වූහ. මානසික වශයෙන් සිංහලයන්ට දැනුනේ ඔවුන්, උප මහාද්වීපයේ ජීවත්වන දමිල ජන සම්භාරයන් සමඟ සංසන්දනය කිරීමේදී සුළුතරයක් ලෙසය.

නව ලිබරල්වාදයේ වත්මන් ගෝලීය ආර්ථික අවධිය තුළ, එහි හදවතේ පවතින ආර්ථික විෂමතා විසින්, කුඩා ජාතිකත්වයන් සහ ජාතීන් විසින් සිය ස්වාධීනත්වය සහ අනන්‍යතාව උදෙසා කරනු ලබන ජාතික හා ආගමික ආරවුල් උත්සන්න කර ලයි. එවැනි වාතාවරනයක් තුළ විසඳුම රඳා පවතින්නේ, හුදෙක් ජාතිකවාදී හා ස්වෝත්තමවාදී ආකාරයේ ප්‍රකාශයට පත්වීම් වලට එරෙහිව කරනු ලබන දැඩි හා ස්ථිරසාර අරගලයක් මතම පමණක් නොවේ; ශ්‍රී ලංකාව වැනි රටවල් බොහොමයක තවමත් සාක්‍ෂාත් කර ගත නොහැකිව පවතින ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් සම්පූර්ණ කර ගැනීම සදහාත්, සාධාරණත්වය සහතික කිරීම මගින් සමාන ඉඩ ප්‍රස්ථා සහ සාධාරණ ප්‍රවේශයන් දිනාගැනීම සදහාත් උද්ඝෝෂණය කිරීමද මතය.

*මතු සම්බන්ධයි….

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.