21 July, 2024

Blog

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස IV

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

වත්මන් තත්ත්වය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක්‍රියාවේ යෙදවීම දිගටම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ව පවතී. රටේ උතුරු නැඟෙනහිරත්, දකුණේත් මෙම සංශෝධනය විරෝධයට ලක්ව ඇත. ඕනෑම අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ආමන්ත්‍රනය කළ යුතු වන ඇතැම් බරපතල ඌනතාවයන් දැනට තිබෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධන මාදිළියේ ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ බලතල, විශේෂයෙන්ම ඉඩම් සහ පොලිස් බලතල, තවමත් පැවරිය යුතුව ඇති බැවින්,  එම සංශෝධනය කිසි විටෙක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නැත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් වසර 45කට් පසුව පවා, එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පක්ෂව හා ඊට එරෙහිව කරනු ලබන ඉල්ලීම්වලින් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය යළිත් වරක් කැළඹී තිබේ. එවැනි බලය පැවරීමක් ඕනෑවට වඩා වැඩි බවටත් එය රට බෙදීමට මඟ පාදනු ඇති බවටත් දකුණේ ජාතිකවාදීන් තවමත් තර්ක කරන අතර බලය පවරා දීම ප්‍රමාණවත් නොවන බවට උතුරේ අය තර්ක කරති. බොහෝ දේශපාලඥයන් සහ ඔවුන්ගේ සංවිධාන මුහුණ දී සිටින මැතිවරණ අවදානම් තත්වයන් හේතුවෙන් ඔවුහු මේ මොහොතේ මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කරනවා වෙන්නටද ඉඩ තිබේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ප්‍රායෝගික නොවන බවටත් ඒවාට විකල්ප විසඳුම් සෙවිය යුතු බවටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී කරන ලද ප්‍රකාශ පැවතිණි. [Daily Mirror 6 Jan 2020, Some provisions in 13A impractical, alternatives should be sought: President. පළාත් සභා සතුව පොලිස් බලතල පවතින්නේ නම් පොලිසිය දේශපාලනීකරණය බවට පත් වන බව ඔහු පවසා තිබිණි. ඒ අනුව, භාෂා හා සංස්කෘතික වෙනස්කම් විසින් ඇති කරනු ලබන ගැටළු විසඳීම සඳහා උපකාරී වන ලෙස ඔහුට කරන්නට අවශ්‍ය වූයේ පොලිසියට ස්ථානාධිපති නිලය දක්වා පුද්ගලයින් දිස්ත්‍රික්කවලින් පත් කිරීම යි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව බෞද්ධ සංඝයා/පූජ්‍ය පක්‍ෂයේ ඇතැම් කොටස් පසුගිය පෙබරවාරි මාසයේදී පෙළපාලි ගියහ. කෙසේ වෙතත්, දේශීය වශයෙන්, ජාත්‍යන්තර වශයෙන් සහ ඉන්දියාව සමඟ අවස්ථා ගණනාවකදී කර තිබෙන ඒකාබද්ධ ප්‍රකාශ වලදී ආණ්ඩුව ශ්‍රී ලංකා ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමේ මාර්ගයක් ලෙස අර්ථවත් අන්දමින් බලය බෙදා හදා ගැනීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ෆෙඩරල් විසඳුමක් සඳහා පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ)  ඉල්ලා සිටින්නේ ඉඩම් සහ පොලිස් බලතල ඇතුළුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන වරක් කතා කළේය. එහෙත් ඊළඟ අවස්ථාවේ, එම සංශෝධනය පොලිස් බලතල නොමැතිව ක්‍රියාත්මක කිරීමට තමන් කැපවී සිටින බවත්, ඉන් ගම්‍ය වෙන කරුණු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු බවත් පවසමින් ඔහුගේ අදහස වෙනස් කළේය. ඔහු ගන්නා ස්ථාවරය කුමක් වුවත් ඔහුගේ භක්තිමත් ආධාරකරුවන් ඔහුට සහයෝගය දක්වමින් ඔහු අනුගමනය කරන බව පෙනේ. මෙම ප්‍රකාශ කෙළවර වන්නේ හුදෙක් දේශපාලන අවස්ථාවාදය ලෙසයි.

පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ශ්‍රී ලංකාව එක්කෝ ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සපයා දී ඇති පරිදි ප්‍රමාණවත් අන්දමින් පවරා දෙන ලද බලතල සහිතව පළාත් සභා තවදුරටත් තබාගත යුතු බවටත් එසේ නැතහොත් පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතු බවටත්ප්‍රකාශ කළේය [Ref: EconomyNext July 27, 2023,]. සමගි ජන බලවේගය (SJB) සර්ව පාක්ෂික රැස්වීමට සහභාගී වූ අතර ජාතික ජන බලවේගය (NPP) ඇතුළු දකුණේ දේශපාලන පක්ෂ ගණනාවක්ම එය වර්ජනය කළේය. යලිත් වතාවක් ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකාවේ බලය පවරා දීමේ දුබල පුරුක බවට පත්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම්වල පුළුල් සන්ධානයක් නියෝජනය කරන ජාතික ජන බලවේගය (NPP) විසින් වර්ජනය කිරීම සඳහා හේතුව වශයෙන් දක්වා ඇත්තේ ආණ්ඩුව 13 වැනි සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් තමන්ගේ ශ්‍රේණීන් තුළම සම්මුතියක් තහවුරු කර ගෙන නොමැති හෙයින් එය හුදෙක් රැවටීමක් වූ බවයි. ජාතික ජන බලවේගයට අනුව ජනාධිපතිවරයා එළැඹෙන ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දෙමළ ඡන්ද දිනා ගැනීමට මෙම ව්‍යායාමය උපයෝගී කර ගනිමින් සිටියි. මෙය සිදු වූයේ ඒ සමඟම ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් 13 වැනි සංශෝධනයට දැඩි විරෝධය පළ කර තිබියදී යි [Ref: Derana]. ඔවුන්ට අනුව ජාතික ජන බලවේගය පවා 13 වැනි සංශෝධනය පිළිගන්නේ නැත.

ඒ කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පිළිතුරු දිය යුතු ප්‍රශ්ණයක් තිබේ. ශ්‍රී ලංකාවේ බහුතරය නොවන ජන ප්‍රජාවෝ ඔවුන්ගේ වාර්ගිකභාෂාමය සහ ආගමික පසුබිම් හේතුවෙන් මුහුණ දෙන විශේෂිත ප්‍රශ්න ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය පිළිගන්නේ නම්, සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම ප්‍රශ්න ආමන්ත්‍රනය කොකරන්නේ නම්, ඒ ගැටළු විසඳීම සඳහා ඔවුන් විසින් ගන්නට බලා පොරොත්තු වන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ යුතුකම සහ වගකීම වේ. අනාගතයේ බලය ලබා ගන්නා ජනතා විමුක්ති පෙරමුණු හෝ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තම ප්‍රශ්න විසඳා ගන්නට බලා සිටින ලෙස බහුතර නොවන ජන ප්‍රජාවන්ට කියා සිටීම නිරර්ථක වන්නේය; ඒ වෙනුවට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය දරන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔවුන්ගේ සහයෝගය ලබා ගන්නට ඔවුන් පොළඹවා ගැනීම වඩා යහපත් වෙයි.

තවත් සත්‍යය සෙවීමේ කොමිසමක්?

යළිත් වරක් ශ්‍රී ලංකා ආණ්ඩුව තවත් කොමිෂන් සභාවක් යෝජනා කර ඇත; මෙවර එය නම් කොට ඇත්තේජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසමයනුවෙනි. මේ විෂය සම්බන්ධයෙන් 2005 වසරේ පටන් කැඳවා ඇති කොමිෂන් සභා රැසක අතීත අත්දැකීම් පදනම් කර ගත් විට මෙම යෝජනාව ගැන වින්දිතයන්ගේ පවුල් ඇතුළු බොහෝ දෙනෙක් දැඩි සේ සැක පහල කිරීම පුදුමයට කාරණයක් නොවේ.

පසුගිය කාලය තුළ පත් කරන ලද එකදු කොමිෂන් සභාවක් වත් පීඩාවට පත් ව සිටින ජනයාට සත්‍යය, ‌ යුක්තිය හෝ වන්දි ගෙවීම සඳහා කටයුතු කිරීමේදී සාධනීය වී නොමැත. මෙවර කොමිෂන් සභාව ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සඳහා පාලන තන්ත්‍රය විසින් ආරක්ෂාව සහ හිතකර පරිසරයක් සහතික කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

ව්‍යුහාත්මක ගැටළු

පළාත් මට්ටමින් පැහැදිලි ව්‍යුහාත්මක විධිවිධාන නොමැතිකම හේතුවෙන් පවරා දෙන ලද බලතල ප්‍රායෝගිකව යොදන ආකාරය සම්බන්ධයෙන් පළාතෙන් පළාතට ආවේණික වන වෙනස්කම් පවතී. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සෘජු අධිකාරිය වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යි. ඔවුහු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පරිපාලන අධීක්‍ෂණයට ද ලක් වෙති. පළාත් සභා සමඟ ඔවුන්ට කිසිදු ඍජු සම්බන්ධතාවයක් නැත. මේ අනුව, පළාත් සභාවක කරන මෙහෙයවීම අකාර්යක්ෂම බවට පත් කරමින් මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභාවල පරස්පර අවශ්‍යතා ඉටු කරමින් ද්විත්ව මෙහෙවරක් ඉටු කිරීමට ඇතැම් විට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිදු වී තිබේ. මෙම අක්‍රමිකතාවය නිවැරදි කළ යුතු වේ.

ඉඩම් සහ පොලිස් බලතල හැර 13 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිතව සපයා ඇති සියලුම බලතල පලාත් සභාවලට පවරා දී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, පළාත් සභා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මුදල්වල පාලනය තබා ගන්නට විනිවිද භාවයෙන් තොර අන්දමේ ක්‍රියාමාර්ග යොදා ගැනීම වැනි වෙනත් අමතර උපාමාරු ද මේ සමඟ භාවිතා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ඉඩම් බලතල රක්ෂිත විෂයක් වන්නේ නම් සහ පවරා දිය නොහැකි වන්නේ නම්, එසේම ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන බැවින් පොලිස් බලතල පවරා දිය නොහැකි නම්, එවැනි ක්‍රමයක් මඟින් බහුතරයක් නොවන ජන ප්‍රජාවන් මුහුණ දෙන ආර්ථික හා නීතිය ක්‍රියාවේ යෙදවීමේ ගැටළු ප්‍රශ්න ආමන්ත්‍රනය කිරීමක් සිදු කළ නොහැකි ය.

ස්වයං නිර්ණ අයිතිය මත පදනම්ව ජාතිකත්වයන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ඉල්ලා සිටින තවත් සටන්කාමී නැගිටීමක් කරා අප ගමන් කරමින් සිටිනවාද?

මතු සම්බන්ධයි

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස III

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස II

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.