

ආචාර්ය ලයනල් බෝපගේ
13 වැනි සංශෝධනය
1987 දී ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුමෙන් පසුව 13 වන සංශෝධනය සම්මත කර ගන්නා ලදී. මෙය අභින්න (unitary) රාජ්‍යයක් තුළ සීමිත ව්‍යවස්ථාදායක සහ විධායක බලතල සහිත පළාත් සභා නවයක් පිහිටුවා ලීය. සංශෝධනය විසින් බලාත්මක කරන ලද ඕනෑම විධිවිධානයක් අභිබවා යන්නට විධායක ජනාධිපතිවරයාට බලතල හිමිව තිබුන හෙයින් මෙම පළාත් සභා දත් නැති ව්‍යාඝ්‍රයන් බවට පත් වූහ. මේ හේතුවෙන් ක්‍රියාත්මක කරන්නට පෙරම එම ක්‍රියාවලිය විනාශයට උරුම කොට තිබුනේය. එතැන් පටන් හැම ප්‍රවණතාවයකටම පාහේ අයත් ජාතිකවාදීන් දකුණේ සිට වම දක්වා, (ජනතා විමුක්ති පෙරමුණද ඇතුළුව), පූර්ණ බලය පැවරීමට දරන ඕනෑම ප්‍රයත්නයකට එරෙහිව බාධක පමුණුවන්නට සෑම උත්සාහයක්ම ගත්හ.
ගිවිසුමෙන් පසු වර්ධනයන්
2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය උතුරු–නැගෙනහිරට එල්ටීටීඊයේ අණසක යටතේ අන්තර්වාර පාලනයක් ඉදිරිපත් කළ නමුත්, එල්ටීටීඊය අන්තර්වාර ස්වයං–පාලන අධිකාරියක් (ISGA) ඉල්ලා සිටියේය. පවතින ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ඉල්ලා සිටි ඇතැම් බලතල ලබා දිය නොහැකි බැවින් මෙය කළ නොහැකි විය. එසේ වුවත්, යම් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා නොකඩවා කරගෙන යා හැකිව තිබුණි. එහෙත්, ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එතෙක් අගමැතිවරයා සතුව පැවති ආරක්‍ෂක, අභ්‍යන්තර හා මාධ්‍ය අමාත්‍යාංශ පවරා ගත්තාය. 2004 දී ජනාධිපති කුමාරතුංග පාර්ලිමේන්තුව ද විසුරුවා හැරියාය.
සන්නද්ධ ගැටුමේ අවසාන අදියර අතරතුර, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැටුම ව්‍යවස්ථානුකූල ලෙස සමථයකට පත් කරන්නට නිශ්චිත යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 17 දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් සහිත සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් (APRC) පත් කලේය. කෙසේ වෙතත්, බෙදී සිටි විද්වත් මඩුල්ල, ප්‍රබල අන්දමින් බලය බෙදා හදා ගැනීමට පක්ෂපාත සාමාජිකයන් එකොළොස් දෙනෙකු විසින් සකස් කරන ලද ‘බහුතර වාර්තාවක්‘ ඉදිරිපත් කළ අතර අනෙක් සාමාජිකයෝ ඊට එකඟ නොවූහ. රටේ අභින්නබව (unity) සහ භෞමික අඛණ්ඩත්වය රැක ගනිමින් එහි බහු වාර්ගික, බහු භාෂාමය, බහු ආගමික සහ බහු සංස්කෘතික ස්වභාවය පිළිගත යුතු බව බහුතරය ප්‍රකාශ කර සිටියේය. සෑම ජන කොට්ඨාසයකටම ඒ අයට රාජ්‍ය බලයේ නිසි කොටස වෙනුවෙන් තිබෙන අයිතිය ද අඩංගුව දිවයිනේ ජනයා ‘ශ්‍රී ලංකාවේ ජන කොට්ඨාස’ වශයෙන් පිළි ගන්නට ද ඉන් යෝජනා කෙරිණි. බලය පැවරීමට ආණ්ඩුවේ ඇති කැපවීම යලිත් වරක් සමච්චලයට ලක් කරමින් මධ්‍යම ආණ්ඩුව කමිටුවේ නිර්දේශ නොසළකා හැරියේය.
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම (LLRC)
සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2010 මැයි මාසයේදී පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) 2011 දී සිය වාර්තාව ඉදිරිපත් කල අතර පුළුල් නිර්දේශ ගණනාවක් යෝජනා කළේය. සුළු ජාතීන්ගේ නියෝජිතයන්ද ඇතුළත් ඉහළ මට්ටමේ ජාතික සංවාදයක් මඟින් ජාතික ප්‍රශ්නයට පාදක වූ කරුණු විසඳීම සඳහා කරන විධිමත් යෝජනාවක් තුල ආණ්ඩුව තමන්ගේම වූ අදහස් ඉදිරිපත් කරමින් මූලිකත්වය ගෙන දේශපාලන විසඳුමක් සකස් කිරීමට ආණ්ඩුවට ඇති වගකීම ගැන හොඳින් පිළි ගැනීමට ලක් වුනු වාර්තාව අවධාරණය කළේය. ඕනෑම බලය බෙදා හදා ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සිදු කළ යුත්තේ ස්වෛරී, දේශපාලනිකව ස්වාධීන හා බහු වාර්ගික ශ්‍රී ලංකා රාජ්‍යයක පුළුල් රාමුවක් තුළ බව ද එය අවධාරණයට ලක් කළේය.
දේශපාලන විසඳුමක් කෙරෙහි කැපවන බවට රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර ප්‍රජාවට, විශේෂයෙන්ම ඉන්දියාවට නැවත නැවතත් සහතික වූයේය. එසේ තිබියදීත්, පසුගිය පාලන තන්ත්‍රයන් කළාක් මෙන්, එම පාලනය ද එය ඉටු කරන්නට අරුත්බර පියවරක් ගත්තේ නැත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීමට බොහෝ උත්සාහයන් ගන්නා ලද අතර ඊට එරෙහිව සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන්ම විරෝධතා එල්ල විය. තවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමෙන් අවධානය වෙනතකට යොමු කරන්නට රෙජීමය උත්සාහ කළේය. එහෙත්, ආණ්ඩුව දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් දරන ස්ථාවරය මුලින් ඉදිරිපත් කරන ලෙස දෙමළ පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. සන්නද්ධ ගැටුම අවුළුවා ලන්නට තුඩු දුන් ගැටළු විසඳීම සඳහා රෙජීමය කිසි දෙයක් කළේ නැත.
ඉන්දියානු සාධකය
ජාතික ප්‍රශ්නයට යෝජිත විසඳුම ලෙස 13 වැනි සංශෝධනය පිළි ගන්නා ලෙස ඉන්දියාව කළ ඉල්ලීමට ශ්‍රී ලංකාව අකමැත්තෙන් අවනත වූයේය. ඒ, ඉදිරිපත් කරන ලද ඕනෑම අරුත්බර විසඳුමක් පාලක පැලැන්තීන් විසින් කඩාකප්පල් කර දමමින් සිටි හෙයිනි. කණගාටුදායක මෙන්ම මග හැර යා නොහැකි කාරණය වූයේ, දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා වමේ බොහෝ දෙනා මැතිවරණ වාසි ගොනු කර ගැනීම සඳහා වාර්ගික–භාෂාමය සහ ආගමික වෙනස්කම් නරුම ලෙස භාවිතා කළ බව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දකුණේ ඉන්දු ලංකා ගිවිසුමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කළැයි කියන ඉන්දීය ඇඟිළි ගැසීම් වලට ද දැඩි විරෝධයක් එල්ල විය.
පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ඇතැම් කොටස්, ප්‍රධාන විපක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ගිවිසුමටත් බලය පැවරීමටත් යන දෙකටම විරුද්ධ වූහ. ශ්‍රීලනිපය දහතුන්වැනි සංශෝධනයට නීතිමය අභියෝගයක් එල්ල කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වෙත නායකත්වය වෙනස්ව යෑමත් සමඟ ශ්‍රීලනිපය බලය පැවරීමට පක්ෂපාත ස්ථාවරයක් පිළි ගන්නා ලද අතර, දිවයිනේ උතුරු හා නැගෙනහිර පසුබිම් කර ගත් දෙමළ ප්‍රජාවට අදාළ වුන පරිදි ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රනය කිරීම සඳහා, බලය බෙදා හදා ගැනීම වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටියේය.
ජනාධිපති කුමාරතුංග 2000 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය. මෙම පනත් කෙටුම්පත ඒකීය නොවන රාමුවක් ද ආරවුල්වලට මඟ පාදන සමගාමී ලැයිස්තුවකින් තොරව මධ්‍යම ආණ්ඩුව සහ කලාප අතර පැහැදිලි බලතල බෙදීමක් ද යෝජනා කලේය. එහෙත් දේශපාලන අතපෙවීම් හේතුවෙන්, පනත් කෙටුම්පත ඡන්ද විමසීමකට භාජනය නොකෙරිණ. ශ‍්‍රීලනිපයේ සහ එජාපයේ නායකයන් අතර දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා යොදන ලද උපාමාරු මෙන්ම දෙමළ ප‍්‍රජාව මුහුණ දුන් අසාධාරණ ප‍්‍රශ්න ආමන්ත්‍රණය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ගෙන තිබුණු ස්වෝත්තමවාදී ස්ථාවර විසින් නැවත වරක් මඟ හැරී ගිය අවස්ථාවක් උදා කළේය.
2015 දී තේරී පත් වූ පාලනය සමයේ දී බලය පැවරීම පිළිබඳ ප්‍රශ්නය යලිත් වරක් පෙරට එන ලදි. මධ්‍යම ආණ්ඩුව සහ පරිධිය අතර සබඳතා ඇතුළුව පැතිර පවතින ව්‍යවස්ථාමය කරුණු පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන්නට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නියෝජනය වන සියලුම දේශපාලන පක්ෂවලින් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවන ලදී. 2017 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව, බලය පැවරීමේ මූලධර්ම ඇතුළු විෂය කරුණු ආවරණය කළේය. දේශපාලන කැපවීම සහ නායකත්වය නොමැති වීමෙන් එය නැවත වතාවක් ඉදිරි ගමනක් දුටුවේ නැත.
වන සංරක්ෂණය, හින්දු හා මුස්ලිම් භූමි භාගවල බෞද්ධ උරුම සංරක්ෂණය සහ හමුදා ස්ථාපන පුළුල් කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් උතුරේ හා නැඟෙනහිර උත්සන්න වන කලබලකාරී තත්වයන් ඉස්මතු කරමින්, සමානාත්මතාවය, යුක්තිය, ගරුත්වය සහ සාමය සඳහා දෙමළ ජනයාගේ අපේක්ෂාවන් සහ ශ්‍රී ලංකාවේ ඒකත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය යන ද්විත්වයටම සහාය දැක්වීමේ “නියාමක මූලධර්ම දෙක” උපුටා දක්වන ඉන්දියාව, බලය පැවරීම පිළිබඳව ශ්‍රී ලංකාවට නොකඩවා බලපෑම් කරයි. දෙමළ ජනප්‍රජාව බඳුන් කොට තිබෙන ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම ප්‍රගතියක් දක්වා නොතිබීමෙන් කනස්සල්ලට පත්ව සිටින ඉන්දියාව, ආණ්ඩුව දී තිබෙන පොරොන්දු ඉටු කරන්නට “අර්ථවත් අන්දමින් කටයුතු” කරන ලෙස ශ්‍රී ලංකා පාලකයන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේදී ඉන්දීය නියෝජිතයා මෙසේ ප්‍රකාශ කර තිබේ:
“… ඒ කාරණය සම්බ්ධයෙන් ප්‍රගතිය ප්‍රමාණවත් නොවන අතර එහි සියළුම පුරවැසියන්ගේ මූලික නිදහස සහ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ඇති බව සහතික කරන්නට එය දී තිබෙන පොරොන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් අන්දමින් කටයුතු කරන ලෙස අපි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු…”
13 වැනි සංශෝධනයට පෙරාතුව ශ්‍රී ලංකාව නියමාකාරයේ මධ්‍යගත සහ අභින්න රාජ්‍යයක් වූයේය. ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් ද විධායක බලය ජනාධිපතිවරයා විසින් ද අධිකරණ බලය අධිකරණය තුළින් ද ක්‍රියාත්මක කරන ලදී. සන්නද්ධ ගැටුම අතරතුර දී රාජපක්ෂ පාලනය, 13+ (13ට වැඩි) එකඟතාවයක් මත පදනම්ව විසඳුමක් සලසා දෙන බවට කිහිප වතාවක්ම පොරොන්දු විය. එහෙත්, ඔවුහු එය නිර්වචනය නොකිරීමට තරම් කපටි වූහ. සමාන පුරවැසියන් වශයෙන් තම අයිතීන් දිනා ගැනීම සඳහා දෙමළ තරුණයන් සටන්කාමීත්වය වෙත යොමු වීම පුදුමයට කරුණක් නොවේ.
අධිකරණ අර්ථකථනය
‘අභින්න රාජ්‍යය තුළ බලය පැවරීම’ සම්බන්ධයෙන් එකට ගැලපෙන අන්දමේ හා අධිකරණමය වශයෙන් විකාශනය වූ මූලික ව්‍යවස්ථාමය මූලධර්ම කුලකයක් සොයා ගැනීම අපහසුය. 13 වැනි සංශෝධනයට සහ පළාත් සභා පනත් කෙටුම්පතට එරෙහිව කරන ලද නීතිමය අභියෝග පදනම් කරන ලද්දේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන නිසාවෙන් ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සහ තුන් වැනි වගන්තිවලට නොගැලපෙන බවටත්, බලය පැවරීම විසින් ජනතා පරමාධිපත්‍යය ව්‍යවස්ථා විරෝධී ලෙස අන්සතු කිරීමක් ඉදිරිපත් කරන බවටත් තර්ක කිරීම මත යි. බලය පැවරීම අභින්න රාජ්‍යයට සහ ජනතා පරමාධිපත්‍යයට බොහෝ සෙයින් බලපාන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ නම්, එම සංශෝධනය වලංගු ලෙස සම්මත කර ගත හැක්කේ ජනමත විචාරණයකින් මෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කරන ලද්දේ නම් පමණි. සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවටත්, පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසු පළාත් සභා පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල වන බවටත් බහුතර තීන්දුවක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් තීරණය කළේය. 13 වැනි සංශෝධනය සහ පළාත් සභා පනත් කෙටුම්පත යන දෙකම 1987 නොවැම්බර් මාසයේදී සම්මත කරන ලදී.
මතු සම්බන්ධයි…
ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස II