19 June, 2026

Blog

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්: අවසන් කොටස

ලයනල් බෝපගේ –

ආචාර්ය ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය

යටත් විජිත සමයේ දී, බ්‍රිතාන්‍යයෝ 1832-33 කෝල්බෲක්කැමරන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්හ. 1931 ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වැඩිහිටි සියළු දෙනාට ඡන්ද බලය සහ ප්‍රධාන වශයෙන් තේරී පත් වූ ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙන ලදී. 1948 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරන ලදී. එය බොහෝ දුරට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය මත පදනම් වූ අතර ස්වාධීන ලංකා ඩොමීනියන් ආණ්ඩුවක් සඳහා සැකිල්ලක් සැපයීය. 1972 දී සම්මත කර ගත් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කර, එක් මන්ත්‍රණ සභාවකින් යුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරන ලදි. 1978 දී හඳුන්වා දෙන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක් මන්ත්‍රණ සභාවකින් යුත් පාර්ලිමේන්තුවක් සහිත විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කළේය.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණය වන විධායක ජනාධිපති ධුරය විවාදයට ලක් වේ. 1978 සිට, බොහෝ දේශපාලන නායකයින් විපක්ෂයේ සිටියදී එය අහෝසි කරන ලෙස ඉල්ලා ඇත. කෙසේ වෙතත්, බලයේ සිටින විට, ඡන්දදායකයින්ට දුන් පොරොන්දු ඉටු කිරීමට ඔවුහු අසමත් වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සමානුපාතික නියෝජනයක් හඳුන්වා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණය හරහා සහන සලසා ගැනීමේ යාන්ත්‍රණයන් ද සහිතව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ආවරණය වන මූලික අයිතිවාසිකම් සහ හිමිකම් සඳහා වන විධිවිධාන එයට ඇතුළත් වේ. එහෙත්, ආර්ථික, සමාජයික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICESCR) යටතේ සපයා ඇති පරිදි ආර්ථික, සමාජයික සහ සංස්කෘතික අයිතිවාසිකම් මෙම විධිවිධාන මගින් ආවරණය නොකෙරේ.

උපදේශනය සහ ඇතුළත් කර ගැනීම නොමැතිකම

බොහෝ දුරට දේශපාලන ප්‍රභූ පැලැන්තීන් විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය, පුළුල් මහජනතාව ඇතුළත් කර ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍ය උපදේශනය එම ක්‍රියාවලියේ නොතිබුණි. ව්‍යවස්ථා සංවර්ධන ක්‍රියාවලියට කාන්තාවන්, ආදිවාසී ජනතාව සහ අනෙකුත් ආන්තික ප්‍රජාවන් ඇතුළත් කර ගැනීමට බැරෑරුම් උත්සාහයන් නොමැතිකම සැලකිය යුතු අඩුපාඩුවක් වී ඇත. පොදු ජනතාවට සහ සිවිල් සමාජයට කරුණු ඉදිරිපත් කිරීමට ඇත්තේ සීමිත අවස්ථා පමණක් බැවින්, රටේ නීති සම්පාදන ක්‍රියාවලිය බොහෝ සෙයින් පාරදෘශ්‍ය නැත. රටේ සහ එහි රජයේ අනාගතය වෙනුවෙන් පොදු දැක්මක් වර්ධනය කර ගැනීම කරා බහුවිධ ප්‍රජාවන් අතර එකඟත්වයක් ගොඩ නඟා ගැනීමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබුණි.

දුර්වල ක්‍රියාවලියක ප්‍රතිවිපාක

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී උපදේශනය නොමැතිකම හේතුවෙන් සියළුම ප්‍රජාවන්ගේ සහ පුරවැසියන්ගේ අවශ්‍යතා සහ ඕනෑ එපා කම් ආමන්ත්‍රණය කිරීමේ අඩුලුහුඬුකම් ඇති වී තිබේ. මෙයින් රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට හානි පමුණුවා, සංස්කෘතික පරේක්ෂාවලිය (spectrum) සතු විවිධත්වයේ එකමුතුකම දුර්වල කර, බහුත්වවාදී ශ්‍රී ලාංකික සමාජයේ බහුතරය නොවන ප්‍රජාවන් අතර විශ්වාසය පළුදු කර ඇත. ඇතැම් ප්‍රජාවන්ගේ සහ පුද්ගලයින්ගේ නියෝජනයක් නොමැතිවම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් බැහැර කිරීම, තීරණ ගැනීමේ ආයතන සහ ක්‍රියාවලිවල දී ඔවුන්ගේ නීත්‍යානුකූල ගැට‍ළු සාකච්ඡාවට භාජනය නොවීමට හේතු කාරක විය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ දකුණේ සහ උතුරේ ප්‍රධාන නැගිටීම් තුනකට හේතු වූයේය.

විධායක ජනාධිපති ධුරය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යමින් ස්ථාපිත කර ඇති විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුතු බවට පුළුල් කතිකාවතක් ගොඩ නැඟී තිබේ. පාර්ලිමේන්තුවේ මෙහෙවර අඩු කරන ලද භූමිකාවක් සහ ඇති විය හැකි අධිකාරවාදයක් පිළිබඳ කනස්සල්ල ඇති කරවමින් මෙම ක්‍රමය, ජනාධිපතිවරයාට සැලකිය යුතු බලයක් ලබා දෙයි. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අඩපණ කරන බවත් පළාත්වලට බලය බෙදා හැරීමට බාධා පමුණුවන බවත් ය. 1978 දී බලාත්මක කරන ලද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ස්ථාපිත කරන ලද මෙම ක්‍රමය 21 වතාවක් සංශෝධනය කර තිබේ. වඩාත් ම වැදගත් ව්‍යුහාත්මක වෙනස් කිරීම වූයේ 1987 දී හඳුන්වා දෙන ලද දහතුන් වන සංශෝධනයයි.

පළාත් සභාවලට බලය බෙදා හැරීම සඳහා විධිවිධාන සලසන 13 වන සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නංවා නැත. 1987 ඉන්දුශ්‍රී ලංකා සාම ගිවිසුම අනුව යමින් මෙම සංශෝධනය හඳුන්වා දෙන ලද්දේ, දෙමළ කතා කරන ජන ප්‍රජාව බල ගැන්වීමෙන් ජනවාර්ගික ගැටුම විසඳා ලීම සඳහායි. මෙම සංශෝධනය දෙමළ ජනයා බහුලව සිටින ප්‍රදේශවලට යම් පමණක ස්වයං පාලනයක් ලබා දෙන්නට නියමිත ව තිබුණි. මධ්‍යම ආණ්ඩුවෙන් ඇතැම් බලතල සහ වගකීම් බෙදා හැරීම සඳහා එය, පළාත් සභා ලෙස හැඳින්වෙන ප්‍රාදේශීය ආයතන පිහිටුවා ලීය.

එහෙත්, එහි විධිවිධාන සපුරා සාක්ෂාත් කර ගැනීම තවමත් ඉටු කර ගත යුතුව තිබේ. එය පාර්ශ්වික ලෙස ක්‍රියාත්මක කිරීමේ දී, ඇතැම් බලතල බෙදා හරින ලද නමුත්, 13 වන සංශෝධනයේ මුළු විභවය, විශේෂයෙන් ඉඩම්, පොලිස් සහ මූල්‍ය කටයුතු යන කරුණුවල දී තවමත් සාක්ෂාත් කර ගෙන නොමැත. කනගාටුවට මෙන්, වරප්‍රසාද සහ ආධිපත්‍යය ඉල්ලා සිටින දේශපාලන කණ්ඩායම් කිහිපයකින් එයට විරෝධය එල්ල වී තිබේ. ඇතැම් සිංහල ජාතිකවාදී පක්ෂ හා කණ්ඩායම් සහ ඇතැම් ජන කොටස් මෙම සංශෝධනයට විරෝධය පා ඇත්තේ එය දෙමළ බෙදුම්වාදීන්ට සහනයක් ලෙසත්, ජාතික සමගියට තර්ජනයක් විය හැකි බවත් සලකන බැවිනි.

ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ යුතු වන්නේ බහු සංස්කෘතික සහ බහු ආගමික කණ්ඩායම් අතර එහි නීත්‍යානුකූලභාවය සහතික කරමින්, බහුවිධ සමාජයක විවිධ අවශ්‍යතා පිළිබිඹු වන පරිදි යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ අවශ්‍යතාවයන්ට අදාළ වන විට සහ ඒවාට ප්‍රතිචාරාත්මක වන විට, දේශපාලන ස්ථාවරත්වය සහ සමාජයේ එකමුතු බව පෝෂණය කරමින්, එය පිළිගැනීමට ලක් වෙන්නට වඩා වැඩි ඉඩක් තිබේ. එබැවින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දරිද්‍රතාවය, අසමානත්වය සහ මූලික සේවාවන් ලබා ගැනීම සඳහා පවතින ප්‍රවේශය සම්බන්ධයෙන් පවතින දැවැන්ත ගැට‍ළු ආමන්ත්‍රණය කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ සමාජආර්ථික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු වේ. එලෙසින්, පුරවැසියන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමේ ලා එයට ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළ හැකිය.

ලෝකය නොකඩවා පරිණාමය වෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් පැන නගින අභියෝගවලට මුහුණ දෙන්නට සමාජයන් අනුවර්තනය වේ. සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික වශයෙන් ගෝලීය වර්ධනයන් ගෙන් හුදකලාව සිටිය නොහැකි බැවින්, ශ්‍රී ලංකාව මෙම ගතිකත්වය සමඟ පෙළ ගැසිය යුතුය. වෙනස් වන තත්වයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුරූපී විය හැකි විය යුතුය. එය ඕනෑවට වඩා දැඩිව සිටින්නේ නම්, රටට නව අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීම දුෂ්කර විය හැකිය. හුදෙක් නීතිමය ලේඛනයක් පමණක් නොවන සාර්ථක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, එය පාලනය කරන සමාජයේ සුවිශේෂී අනන්‍යතාවයන් සහ අභිලාෂයන් පිළිබිඹු කරන ජීවමාන ලියවිල්ලකි.

ශ්‍රී ලංකාවේ දිගු කාලීන ස්ථාවරත්වය සහ නීත්‍යානුකූලභාවය උදෙසා, උපදේශනය සහ ඇතුළත් කර ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ තීරණාත්මක ලක්ෂණ බවට පත් විය යුතුය. එවැනි ඕනෑම ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ බහුතරය නොවන ජන ප්‍රජාවන් වැනි විවිධ පාර්ශ්වකරුවන් සමඟ විවෘත සංවාදයක යෙදෙමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්ත ජනගහනයේ අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබිඹු කරන බව සහතික කරනු ඇත්තේ එවිට පමණකි. තවද, ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලි මගින්, ඇති විය හැකි ගැටුම් කළමනාකරණය කිරීමට හා සමනය කිරීමටත්, අනාගත අස්ථාවර බව සහ ගැටුම් වළක්වා ලමින් එකඟතාවයක් ගොඩ නඟා ගැනීමටත් උපකාරී විය හැකිය.

ශ්‍රී ලංකාවට අදාළ නිශ්චිත සන්දර්භය

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන විට, රටේ නිශ්චිත සමාජආර්ථික සහ දේශපාලන සන්දර්භය සැලකිල්ලට ගැනීම තීරණාත්මක වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සියළු වර්ගවලට ගැළපෙන එක ප්‍රමාණයක පන්නයට නොගැළපේ; ඒවා අපගේ සමාජයේ සුවිශේෂී තත්වයන්ට අනුව සකස් කළ යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රබල සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායයන් සහිත බොහෝ ප්‍රජාවන්ගෙන් සමන්විත අපගේ බහුත්ව සමාජයේ වටිනාකම්, විශ්වාසයන් සහ ඓතිහාසික අත්දැකීම් පිළිබිඹු කළ යුතුය.

යටත් විජිත පාලනය යටතේ පැවති බොහෝ රටවලට පොදු වූ බහුවිධ අභියෝගවලට ශ්‍රී ලංකාව මුහුණ දෙයි. කෙසේ වුවත්, එය ආර්ථික විෂමතා, සමාජ බෙදීම් සහ දේශපාලන අස්ථාවරත්වය වැනි සුවිශේෂී ගැට‍ළු වලට ද මුහුණ දෙයි. සියලු ජනයාගේ මූලික මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සපුරාලීම සහතික කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම අභියෝග ඵලදායී ලෙස ආමන්ත්‍රණය කළ යුතුය.

ශ්‍රී ලංකාව දිගු කාලීන ගැටුමකින් එගොඩ වී ඇතත්, සමාජීය පීඩාවන් සුව වී නොමැතිව සහ සංහිඳියාව සඳහා දරන ප්‍රයත්නයක් නොමැතිව, ගැටුමට පාදක වූ ගැට‍ළු තවමත් නොවිසඳා පවතී. එවැනි රටක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංක්‍රාන්තිමය සාධාරණත්වය, සංහිඳියාව සහ මානව හිමිකම් සුරැකීම වැනි ගැට‍ළු ආමන්ත්‍රණය කළ යුතුය.

ජාතික ජන බලවේග ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය තම පස් අවුරුදු ධුර කාලයේ පසු අවස්ථාවක දී සාකච්ඡාවට ගන්නා බව ප්‍රකාශ කර ඇත. ප්‍රමාදයට හේතු සම්පූර්ණයෙන්ම පැහැදිලි නැති නමුත් වත්මන් තත්ත්වය හා සම්බන්ධව අවම වශයෙන් විවේචකයන්ගේ සැලකිල්ල යොමු වන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලයේ දී සිදු වුන ක්‍රියාවලිය මෙනෙහි කල හොත්, එකඟත්වයක් ඇති කර ගැනීම අරමුණු කර ගත් උපදේශන සඳහා වසර කිහිපයක් ගත කරන ලදී. කෙසේ වෙතත්, ඔහුගේ ධුර කාලයේ අවසානය ආසන්න වන විට ඇතැම් දේශපාලන නායකයෝ එම ක්‍රියාවලිය නතර කර දමන්නට සමත් විය. වත්මන් ආණ්ඩුව එහි ධුර කාලයේ පසු අවස්ථාවක දී ඒ හා සමාන ක්‍රියාවලියක් ආරම්භ කළහොත්, එය සම්පූර්ණ කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇති බවට සහතිකයක් නැත. සැලකිල්ල යොමු වන දෙවැන්න වන්නේ ක්‍රියාවලිය කල් දැමීම එය සහමුලින්ම අඩපණ කර දැමීම සඳහා හිතාමතා ම සකස් කර ගත් උපාය මාර්ගයක් ද යන්නයි.

ඒ ඇරත්, 13 වන සංශෝධනයට අනුව බලය බෙදා ගැනීමේ ගැට‍ළුව හෝ දෙමළ කතා කරන ප්‍රජාවන් මුහුණ දී සිටින ගැට‍ළු සඳහා විකල්ප විසඳුම් හෝ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට අවශ්‍ය ව තිබෙන බවක් නො පෙනේ. එසේ කරන්නට ආණ්ඩුවට තමන්ගේ ම වූ හේතු තිබිය හැකි අතර, මම මෙහි දී ඒවා සාකච්ඡා කිරීමට කැමති නොවන්නෙමි. ආණ්ඩුව තුළ සිටින බොහෝ කණ්ඩායම් දෙමළ සටන්කාමීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන විසඳුමක් සකස් කරනවාට වඩා ඔවුන් කොන්දේසි විරහිතව සමූලඝාතනය කිරීමට පියවර ගෙන තිබුණ අතරතුර එවැනි සාකච්ඡාවක් හැසිරවීම දුෂ්කර වනු ඇති බව පැවසීම ප්‍රමාණවත් වේ. ඒ සමඟම, ආණ්ඩුවේ ඉහළම තලයේ සිටින බොහෝ අය විශ්වාස කරන්නේ විකල්පයක් ලෙස බලය බෙදා ගැනීම ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යතාවයක් ඇති නොකොට, ආර්ථික සංවර්ධනය (ධුර කාලයේ පළමු වසර තුන තුළ ප්‍රමාණවත් සංවර්ධනයක් ඇති කර ගත හැකි නම්) විසින් මෙම ගැට‍ළුව විසඳනු ඇති බව යි.

අනෙක් අතට, චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ජනාධිපති ධුරය දක්වා වන කාලයක සිට, සාකච්ඡාවට ලක් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිහිපයක් පවතින හෙයින් ආණ්ඩුවට වාසිදායක තත්වයක් ද ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට බාධා විය හැකි ගැට‍ළු දැනටමත් හොඳින් දන්නා ඒවා යි. ඕනෑම නව උපදේශනයකට සියළුම ඡන්ද දායකයින් සම්බන්ධ විය යුතු අතර, එම ක්‍රියාවලිය විවිධ මතිමතාන්තර සැලකිල්ලට ගත යුතුය; එසේම, ඒ මතිමතාන්තර පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලිව වටහා දිය යුතුය. මෙම සන්දර්භය තුළ ආණ්ඩුව, දේශපාලන නායකයින්ට සහ විශේෂඥයින්ට මහජනතාව සමඟ කටයුතු කරන්නට, ක්‍රියාවලිය සහ ව්‍යවස්ථාදයක ගැට‍ළු පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නට සහ මහජන විවාදයට පහසුකම් සලසන්නට තරම් ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.

නිගමනය

රටේ වාර්ගික හා දේශපාලන අභියෝගවලට මුහුණ දීමේ දී එහි අනාගත භූමිකාව ගැන නොකඩවා පවතින විවාද සමගින්, ශ්‍රී ලංකා දේශපාලනය තුළ, බලය බෙදා හැරීම සහ 13 වන සංශෝධනය පිළිබඳ ගැට‍ළුව සංවේදී හා විවාදශීලී මාතෘකාවක් ලෙස නොසෙලවෙමින් පවතී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අත්‍යවශ්‍ය ලක්ෂණ අතර, අධිකරණ සමාලෝචනයට සහ නීති ආධාර ලබා ගැනීමට ඇති ඉඩකඩ ද සහිතව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවේ යෙදවීමේ දී ජනතා සහභාගීත්වය පහසු කරවීමට උපකාරී විය හැකි බලවත් මූලික අයිතිවාසිකම් පද්ධතියක් ද වේ. පළාත් සභා, බලය බෙදා හැරීම / බලය බෙදා හදා ගැනීම වැනි කරුණු පිළිබඳව , විශේෂයෙන් බෙදා ගැනීමේ තරම සහ ස්වභාවය පිළිබඳ විවාදය දිගටම සිදු වෙයි. 13 වන සංශෝධනය අසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම, තවමත් වැඩි ස්වාධිකාරයක් සහ ස්වයං නිර්ණය අපේක්ෂා කරන දෙමළ ජනතාව අතර නොකඩවා පවතින නොඉවසිල්ලට සහ අසතුටට දායක වී ඇත. සංශෝධනය සම්මත කර ගැනීමෙන් වසර 38 කට පසුව, එක්සත් හා නොබෙදුණු රටක 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් රටට ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව සලකා බලන්නට කාලය එළඹ ඇත.

රටේ ඓතිහාසික ගමන් මාවත සහ තරඟකාරී අවශ්‍යතාවයන් සහ අභිලාෂයන් තුලනය කරන්නට නොකඩවා දරන උත්සාහයන් පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රවර්ධනය ගතික ක්‍රියාවලියක් වන්නේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අඛණ්ඩ සාකච්ඡා සහ යෝජනා පවතී. මිශ්‍රමන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමයක් ද ඇතුළුව මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා ද පවතී. ස්ථාවරත්වය, ඇතුළත් කර ගැනීම සහ මූලික අයිතිවාසිකම් සුරැකීම සහතික කරන වඩාත් ශක්තිමත් ව්‍යවස්ථාදයක සංස්කෘතියක අවශ්‍යතාවය ද සාකච්ඡාවට භාජනය වෙමින් ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රවර්ධනයට, විශේෂයෙන් ආන්තික කණ්ඩායම් සහ සිවිල් සමාජය සඳහා ප්‍රමාණවත් මහජන උපදේශනයක් සහ ඇතුළත් කර ගැනීමක් ඓතිහාසික වශයෙන් පැවතී නැත. මෙය සියළුම පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් සම්පූර්ණයෙන්ම පිළිබිඹු නොකරන සහ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් වර්ධනය වීමට බාධා බවට පත් වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට මඟ පාදා තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූලභාවය ගොඩනැගීම සඳහා උපදේශනය සහ ඇතුළත් කර ගැනීම ඉතා වැදගත් වනු ඇත. පුළුල් උපදේශනයකින් තොරව කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලයෙන් ආරෝපණය කරන ලද්දක් ලෙස සැලකීමේ අවදානමක් පවතින අතර එය ක්‍රියාවේ යෙදවීමට එරෙහිව විරෝධයට ලක් වන්නට හෝ අභියෝගවලට ලක් වන්නට හේතු විය හැකිය. විවිධ ප්‍රජාවන් අතර හිමිකාරිත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳ හැඟීමක් පෝෂණය කරවමින්, ඇතුළත් කර ගැනීම විවිධ දෘෂ්ටිකෝණ සලකා බලන බව සහතික කරයි.

රට තුළ වාර්ගික හා සමාජීය වශයෙන් කැබලිවලට කැඩී යෑමේ ඉතිහාසයක් පවතින බැවින් ගැටුම් කළමනාකරණය කිරීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වේ. විවිධ කණ්ඩායම් ක්‍රියාකාරී ව සම්බන්ධ කර ගන්නා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට අවබෝධය වැඩි දියුණු කර සංහිඳියාව සඳහා අඩිතාලමක් දැමිය හැකි අතර, ඔවුන්ගේ දුක්ගැනවිලි ද ආමන්ත්‍රණය කල හැකි ය. ඇතැම් කණ්ඩායම් බැහැර කිරීමෙන් පවතින නොසන්සුන්කම් අවුළුවා සාමකාමී සහ සමගි සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට දරන උත්සාහයන් අඩපණ කළ හැකිය. සහභාගිත්වයට ඉඩ සලසන, ඇතුළත් කර ගන්නා උපදේශන ක්‍රියාවලියක් නියෝජනය සහතික කොට, විවිධ අවශ්‍යතා සපුරා ලනු ඇත. භාෂා අයිතිවාසිකම්, ආගමික නිදහස සහ සුළුතර නියෝජනය වැනි කරුණු සලකා බැලීම මෙයට ඇතුළත් වේ. එය පුරවැසියන්ගේ පාලනය හැඩ ගස්වා ලීමේ සහ සිය නායකයින් වග වන බවට වග බලා ගැනීමේ නියැලෙන්නට පුරවැසියන්ට බලය ලබා දෙයි. ව්‍යවස්ථා සම්පාදන යාන්ත්‍රණය, ආබාධිත පුද්ගලයින් ඇතුළු සියළු පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පොදු කටයුතුවලට අදාළ තොරතුරු සහ සේවාවන් ලබා ගැනීමේ ඉඩකඩ සහතික කිරීමට ද ප්‍රයත්න දැරිය යුතුය.

පුළුල් ලෙස පිළිගත් සහ නීත්‍යානුකූල යැයි සැලකෙන ව්‍යවස්ථාවක්, එහි දිගු කාලීන ස්ථාවරත්වය සහතික කරමින්, කාලය ගත වීමත් සමඟ ගරු කරනු ලැබීමට සහ සුරකිනු ලැබීමට වඩා වැඩි ඉඩ කඩක් පවතී. කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ දී ඇතුළත් කර ගැනීම ධෛර්යමත් කිරීමෙන් සහ ඇති විය හැකි ගැටුම් ආමන්ත්‍රණය කිරීමෙන්, ශ්‍රී ලංකාවට ස්ථාවර සහ සමෘද්ධිමත් අනාගතයක් උදෙසා ශක්තිමත් පදනමක් දැමිය හැකිය.

බල ගතිකත්වයන් සහ සිදු විය හැකි අගතීන් පිළිබඳව ප්‍රවේසමෙන් අවධානය යොමු කිරීම අවශ්‍ය කෙරේ. මහජන අපේක්ෂාවන් කළමනාකරණය කිරීම, සහ ක්‍රියාවලිය පිළිබඳව, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ සීමාවන් සහ සිදු කරන වෙනස්කම්වල විෂය පථය පිළිබඳව පැහැදිලි ලෙස සන්නිවේදනය කිරීම යන සියල්ලම වැදගත් වේ. අවසාන වශයෙන්, උපදේශාත්මක සහ ඇතුළත් කර ගන්නා ප්‍රවේශයක් යනු ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ආකර්ෂණීය අංගයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා දරන ප්‍රයත්නවල නීත්‍යානුකූලභාවය, ස්ථාවරත්වය සහ දිගු කාලීන සාර්ථක බව සහතික කිරීම සඳහා ද පවතින අවශ්‍යතාවයකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.