11 April, 2026

Blog

ඩයස්පොරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන්

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්; හැම දෙනාටම සුබ පැතුම්.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ පළමු ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්, කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ පාරම්පරික භූමි භාගයේ යි. අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ ඉදිරියේ නැඟී එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප‍්‍රජාවන්ගේ වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.

19 වන සියවසේ අග භාගයේ දී ලාංකීය සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට පටන් ගත්තේ ක්වීන්ස්ලන්තයේ පැවති ශ්‍රම හිඟය හේතුවෙනි. ආචාර්ය වික්‍රම වීරසූරිය මෙම මුලින් පැමිණි අය ගැන අවධානය යොමු කර ඇත. මහාචාර්ය මයිකල් රොබට්ස් මේ සම්බන්ධයෙන් තිරු ආරුමුගම් විසින් 2019 දී ලියන ලද ලිපියක් උපුටා දක්වා ඇත. මේ ලාංකික සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනෙක් ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා පිටත්ව ආ දක්ෂ වෘත්තීය ශිල්පීන් වූහ. ඒ සංක්‍රමණිකයන්ගෙන් මේ දක්වා ම පැවතෙන අප්පො සහ අප්පු වැනි නම් තවමත් ක්වීන්ස්ලන්තයේ දක්නට ඇත. 1970 ගණන්වල පටන් පැවති දේශපාලන නොසන්සුන්තා විසින් බොහෝ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා පොලඹවන ලදි. අද ඕස්ට්‍රේලියාවේ පවතින විවිධ සමාජආර්ථික හා දේශපාලන තත්ත්වයන් හේතුවෙන් බොහෝ විට ශ්‍රී ලාංකික සරණාගතයින් පිටුවහල් කිරීමට මුහුණ දී සිටිති.

ඩයස්පෝරා සාහිත්‍යය විදේශගත හෝ ඩයස්පෝරික සාහිත්‍යය යනුවෙන් ද හැඳින්වේ; එම සාහිත්‍යය ආවරණය කරන්නේ, තම මව් රටෙන් පිට ජීවත් වන ලේඛකයන් විසින් තම මව් සංස්කෘතිය හා අනන්‍යතාවය මෙන්ම, තම විතැන් වීම හෝ සංක්‍රමණය පිළිබඳ අත්දැකීම් පිළිබිඹු කරන කෘතීන් ය. ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් උකහා ගන්නා සහ ඔවුන්ගේ උරුමය හා වත්මන් පරිසරය අතර පවතින සංස්කෘතික ආතතීන් හසුරුවන මෙම ලේඛකයෝ අහිමි වීම හා දුරස්ථ වීම පිළිබඳ තේමාවන් ආමන්ත්‍රණය කරති. ගෝලීය ඉතිහාසය, යටත් විජිතවාදය සහ මානව උද්වේගයන් හා අවතැන් වීම පිළිබඳ සුවිශේෂී ඉදිරි දර්ශන ඉදිරිපත් කරන මෙම ආර (genre) සංක්‍රමණය, සංස්කෘතික අනන්‍යතාවය හා අයිතිය ගැන ගවේෂණය කරයි.

1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධව සිරගත කර සිටියදී, මට ටරික් අලි, එඩ්වඩ් සෙඩ් සහ විද්‍යාධර් නයිපෝල් වැන්නවුන් ගේ සමහර ලිපි කියවන්නට අවස්ථාව ලැබුණි. ටරික් අලි පකිස්ථානයේ උපත ලද බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, ඉතිහාසඥයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ ජනතා බුද්ධිමතෙක් ද වේ. පෙරදිග ගැන බටහිර ඉදිරිපත් කරන නිර්වචන විවේචනය කරන පෙරදිගවාදය සහ පශ්චාත් යටත් විජිත කල්පිතය පිළිබඳ නිර්මාණ සඳහා ප්‍රසිද්ධ එඩ්වඩ් සෙඩ්, පලස්තීන ඇමරිකානු බුද්ධිමතෙක් හා විද්වතෙක් ද වූයේය. වී. එස්. නයිපෝල් අනන්‍යතාවය, යටත් විජිතවාදය සහ පශ්චාත් යටත් විජිතවාදය යන තේමාවන් ගවේෂණය කරන නවකතා, රචනා සහ සංචාරක සටහන් සඳහා ප්‍රසිද්ධ ට්‍රිනිඩෑඩ් ජාතික, බ්‍රිතාන්‍ය ලේඛකයෙකි. ඔහුගේ කෘති බොහෝ විට සංස්කෘතික විතැන් වීම හා අදාල සංකීර්ණතා සහ ඩයස්පෝරික අත්දැකීම් පිළිබිඹු කරයි. ඔවුන්ගේ කෘතිවලින් මා කියවූ දේ ඔවුන්ගේ සාහිත්‍ය කෘති සමඟ එතරම් ම සම්බන්ධයක් නොතිබුනි; ඒවායේ වැඩි සම්බන්ධයක් තිබුනේ දේශපාලනය හා සමඟයි.

ඩයස්පෝරික දේශපාලනය සහ සංස්කෘතික අනන්‍යතාවය සමඟ සම්බන්ධ ලේඛකයන් බොහෝ දෙනෙක් ගැන මට පසුකාලීන ව දැන ගන්නට ලැබුනි. උදාහරණයක් ලෙස විවිධ ඩයස්පෝරික ප‍්‍රජාවන්ට අයත් අප්‍රිකානු, ලතින් ඇමරිකානු, ආසියානු සහ මැද පෙරදිග සම්භවයක් ඇති ලේඛකයන් සිටිති. ඔවුහු ඩයස්පෝරික දේශපාලන අත්දැකීම් සහ ඉදිරි දර්ශන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන්හ. අධිපති කථා වස්තුවලට අභියෝග කරන සහ ආන්තික ප‍්‍රජාවන්ගේ අත්දැකීම් ඉස්මතු කරන විකල්ප දෘෂ්ටි කෝණ ඉදිරිපත් කරන එම ලේඛන බොහොමයක් යුරෝපය කේන්ද්‍ර කර ගත් ඉදිරි දර්ශන අභියෝගයට ලක් කරයි.

තම ඉන්දියානු අනන්‍යතාවය නිර්වචනය කරන අන්දම කෙරෙහි බලපෑම් කරන, ඩයස්පෝරික ඉන්දියානු ලේඛකයෝ සිය භූගෝලීය සහ සමාජයීය පිහිටීම අනුව හැඩ ගැස්සුණු විවිධ ජීවන අත්දැකීම් ආවර්ජනය කරති. එසේම, බොහෝ ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවෝ සංස්කෘතික මතකය අවදි කරවමින් හා අතීතය ගැන වඩා ගැඹුරු අවබෝධයක් ප්‍රවර්ධනය කරවමින් තම ප‍්‍රජාවන් සතුව තිබෙන ඓතිහාසික අත්දැකීම් ලේඛන ගත කරති. ඕස්ට්‍රේලියාවේ, කැපී පෙනෙන දායක වන්නන් අතර, ජගත් එදිරිසිංහ, මුරුග පූපති සහෝදරයා, වෛද්‍ය නොයෙල් නඩේසන්, ශංකරි චන්ද්‍රන්, මහාචාර්ය චාන්දනී ලොකුගේ, ස්වර්ණකාන්ති ධර්මවර්ධන (කලින් රාජපක්ෂ), මාලන් බණ්ඩාර කපුවත්ත, සහ ශ්‍රී ලංකාවේ 1983 ජූලි කලබල සලකුණු කරන “Big Match 1983” නමැති කාව්‍යය ලියූ මහාචාර්ය යස්මින් ගුණරත්න සිටිති. අනෙකුත් සම්භාවනීය ඩයස්පෝරික ලේඛකයන් අතර (ශ්‍රී ලාංකික කැනේඩියානු ජාතික) මයිකල් ඔන්ඩාච්චි, (‘The Seven Moons of Maali Almeida’ කතුවර) ෂෙහාන් කරුණාතිලක, අනුක් අරුද්ප්‍රගාසම්, ක්‍රිස්ටෝෆර් ඔන්ඩාච්චි, රොමේෂ් ගුණසේකර සහ ශ්‍යාම් සෙල්වදුරෙයි සිටිති. මෙහිදී මට මග හැරුණු යම් නමක් වේ නම් ඒ ගැන මගේ කණගාටුව පළ කරමි.

ඉංග්‍රීසියෙන් ලියන ලද හෝ සිංහල හා දෙමළ භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද කෘතීන් අඩංගු, විද්‍යන් රවීන්තිරන්, සේනි සෙනෙවිරත්න සහ ශාෂ් ට්‍රෙවට් සංස්කරණය කල ශ්‍රී ලාංකීය සහ ඩයස්පෝරික කාව්‍ය සංග්‍රහයක් සියයකට අධික කවීන් සංඛ්‍යාවක් කරළියට ගෙන එයි. දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද ජාතික සාහිත්‍යයක් ඉස්මතු කරන මෙම සංග්‍රහය, සංක්‍රමණය හා කෲර කම කවියට නැංවීම පිළිබඳව අප සතු අවබෝධය යලි හැඩ ගන්වයි. ආදරය, කලාව සහ සොබාදහම පිළිබඳ කවි මෙන්ම 1971 සහ 1988-89 ජවිපෙ කැරලි, 2004 සුනාමිය හා එහි ප්‍රතිඵල, මුස්ලිම් ප‍්‍රජාවන්ට බලපාන සිද්ධි සහ සිවිල් යුද්ධය වැනි තීරණාත්මක සිදුවීම් ගවේෂණය කරන කාව්‍යයන් ද එයට ඇතුළත් වේ. කාව්‍ය ශාස්ත්‍රය රටේ කැළඹිලිකාර අතීතය විමර්ශනයට ලක් කරන අතර යටත් විජිත භාවිතාවන් ගේ සිට රටේ ගැටුම් මත පදනම් වුනු ඉතිහාසය දක්වා වන විවිධ ජීවන අත්දැකීම් සිහියේ තබා ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරයි.

විවිධ ආරවල් යොදා ගනිමින් ඉන්දියානු ඩයස්පෝරික ලේඛකයෝ අනන්‍යතාවය, සංස්කෘතිය හා සමාජ ගැටළු යන තේමාවන් ගවේෂණය කරති. කැපී පෙනෙන කතුවරුන් අතරට ජුම්පා ලහිරි, සල්මන් රුෂ්ඩි, අරුන්දතී රෝයි සහ වික්‍රම් සෙත් ඇතුළත් වේ. ඉන්දියානු සමාජයේ පවතින සංකීර්ණතාවයන් පිළිබිඹු කරන ඔවුන්ගේ කෘති සහකම්පනය හා සංස්කෘතික අවබෝධය දිරිමත් කරයි. මාර්ටින් වික්‍රමසිංහ වැනි ශ්‍රී ලාංකික කතුවරු, රවින්ද්‍රනාත් තගෝර් වැනි බෙංගාල කතුවරු සහ ඉන්දුෆීජි ලේඛකයෝ යටත් විජිත කරණය සහ සංස්කෘතික අවතැන් වීම වැනි මාතෘකා ආමන්ත්‍රණය කරති.

ඩයස්පෝරා සාහිත්‍යයෙන් සංක්‍රමණය හා අදාල අභියෝග, අනන්‍යතාවයේ ඇති කරන විපර්යාස සහ සංස්කෘතික කම්පන ඇති කරවන මානසික බලපෑම් අවධාරණය කෙරේ. ඩයස්පෝරා සාහිත්‍යය විසින් බහු සංස්කෘතික සන්දර්භයන් තුළ සංස්කෘතික අනන්‍යතාවයන් දිග හැරෙන ආකාරය සහ ආර්ථික ගෝලීයකරණය හා සමාජ සංකලනය සංස්කෘතික ගතිකත්වය කෙරෙහි දක්වන බලපෑම් අනාවරණය කරනු ලැබේ. අවසානයේ දී, විවිධ ස්වර හා ඉදිරි දර්ශන හඳුන්වා දීම මගින් ජාතික හා ගෝලීය සාහිත්‍ය සම්මත පුළුල් කරවා ලමින් සහ යළි අර්ථ දක්වමින් ඩයස්පෝරා සාහිත්‍යය ජාත්‍යන්තර සාහිත්‍ය භූමිකාව කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑම් කර ඇත.

ආසියානු සාහිත්‍යය බටහිර ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් දෘශ්‍යතාවක් සහ පිළිගැනීමක් අත් කර ගෙන ඇත. කතුවරු අනන්‍යතාවය, සංක්‍රමණය, ඉතිහාසය සහ මතකය වැනි තේමා ගවේෂණය කිරීම හේතුවෙන් මෙම පිබිදීම, ආසියාවේ පවතින සංස්කෘතික විවිධත්වය සහ ඓතිහාසික සන්දර්භය ඉස්මතු කර දක්වයි. ඉහත දී භාෂාව හා අදාල බාධාවන් හා යුරෝපය කේන්ද්‍ර කර ගත් මනාපයන් විසින් වළක්වා ලන ලදුව, ගෝලීයකරණය ආසියානු සාහිත්‍යයේ ග්‍රහණය පුළුල් කරවා ඇත. පරිවර්තනය කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල ආයෝජනය කරන ප්‍රකාශකයෝ ද ආසියාවෙන් සහ ඩයස්පෝරාවෙන් නැඟෙන නව ස්වරයන් බලා පොරොත්තු වෙති.

ඩිජිටල් වේදිකාවන් සහ තමන්ම කරන පළ කිරීම මගින් ආසියානු කතුවරුන්ට නානාප්‍රකාර අන්දමේ සාහිත්‍යමය භූමිකාවකට දායක වෙමින් ගෝලීය ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වන්නට අවස්ථාවන් සලසා දෙයි. මෙම වෙනස් වීම වඩා විශාල සංස්කෘතික හුවමාරුවක් සහ ඇතුළත් කර ගැනීමක් පිළිබිඹු කරයි. සාහිත්‍ය ශික්ෂාව තුළ ආසියාතික සාහිත්‍යය ගතික බලවේගයක් බවට පත් කරවමින් පාඨකයෝ ගෝලීය සංකීර්ණත්වය පිළිබිඹු කරන කතා වස්තු වෙත ආකර්ෂණය කර ගනු ලැබේ. ආසියාවේ කතා වස්තු අපගේ අවබෝධය සාරවත් කරන අතර සාහිත්‍යයේ සීමා මායිම් අභියෝගයට ලක් කරයි.

ආසියානු ඩයස්පෝරාවේ, විශේෂයෙන්ම, ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ පවතින අඩුපාඩුව වන්නේ, ඔවුහු තම සාහිත්‍ය කෘති සඳහා තිබෙන වෙළඳපොළ ලෙස, තම ශ්‍රාවක පිරිස ලෙස අවධානය යොමු කරන්නේ තමන්ගේම වන ප්‍රජාවන් කෙරෙහි වන බවයි. ඔවුන්ගේ අවධානය සිය දේශීය පාරිභෝගික පදනම තෘප්තිමත් කිරීම කෙරෙහි යොමු වී ඇති නිසා, ජාත්‍යන්තර අංගනයට පිවිසෙන්නට හැකිව ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණි. බොහෝ සිංහල ලේඛකයෝ ලියන්නේ සිය සිංහල ප්‍රේක්ෂකයන් සඳහා පමණක් වන අතර බොහෝ දෙමළ ලේඛකයෝ ද එසේම කරන බව පෙනේ. බොහෝ ඉන්දියානු සහ අනෙකුත් ආසියානු ලේඛකයින් ද එසේම කරති. ජාත්‍යන්තර ශාස්ත්‍රීය වෙළඳපොළට සේන්දු වන්නට නම් ඩයස්පෝරා ලේඛකයන්ගේ කතා වස්තුවල අවධානය යොමු විය යුත්තේ ජාත්‍යන්තර වෙළඳ පොලේ අවශ්‍යතා සපුරා ලීමත්, එම වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමත් කෙරෙහි ය.

මෙය අපේ ඩයස්පෝරික ලේඛකයන්ට කරන්නට නොහැකි දෙයක් නොවේ. එසේ කරන්නට අවශ්‍ය කුසලතා, හැකියා සහ වෘත්තීය දක්ෂතා ඔවුන් සතුව ඇත. මා විශ්වාස කරන අන්දමට අපට නැත්තේ ඒ සඳහා තිබෙන අධිෂ්ඨානය සහ කැපවීම යි. අපේ ඩයස්පෝරා සාහිත්‍යධරයන් වෙත මා දෙන පණිවිඩය වන්නේ, එම බාධක ජය ගෙන ජාත්‍යන්තර සාහිත්‍ය අංගනයට පිවිසෙන්නට අවශ්‍ය ධෛර්යය අත් කර ගත යුතුය යන්නයි.

සියළු දේ සාර්ථක වේවා යයි මම ඔබට සුබ ප්‍රාර්ථනා කරමි.

ස්තුතියි.

*2025 මාර්තු 23 වන දා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වූ දකුණු ආසියා කලා සහ සාහිත්‍ය උළෙල තුල ඕස්ට්‍රේලියා දකුණු ආසියා සංගමය විසින් සංවිධානය කරන ලදඩිජිටල් යුගයේ සංස්කෘතිය සම්ප්‍රේෂණය කිරීමනමැති පොත්, චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනයේ දී මා කල කථාව

Latest comments

  • 1
    1

    Bravo, Asaw Asaw, attention attention!
    I thought JVPrs would work wonders. Almost all of the lanky YouTubers who previously spoke out in support of AKDISM have now returned to their normal state of mind. It has only been six months since the PUNARUDAYA administration took office.
    https://www.youtube.com/watch?v=OUUPahTDqP8&t=101s
    Now it has been intercepted by the very cyber forces that are being mocked. What a country and a nation fell on their faces again.

    https://www.youtube.com/watch?v=L5g6uxd655w
    Minister of Justice, WASIDEWA’s grandson aka Harshana Nananyakara, revealed the truth in a TV interview about the good work done by former President RW, and if they do not confess, things will not get worse for the current NPP-led government.

    • 1
      0

      https://www.youtube.com/watch?v=L5g6uxd655w

      May our people have brains…… Those who spoke against Ranil are now speaking well of them, ironically while they were in power.
      https://www.youtube.com/watch?v=L5g6uxd655w

      අපේ මිනිස්සුන්ට මොළයක් ලැබේවා…… රනිල්ට විරුද්ධව කතා කළ අය දැන් ඔවුන් ගැන හොඳින් කතා කරනවා, උත්ප්‍රාසාත්මක ලෙස ඔවුන් බලයේ සිටියදී.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.