Colombo Telegraph

ආර්ථික විෂමතාවය හා ජාතිකවාදය – දෙවන කොටස

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

(මෙම ලිපි පෙලේ පළමුවන කොටස 2018 මැයි 31 වනදා පළ විය.)

බලය ගොනු කර ගැනීම

මෙම තත්වය බොහෝ විට ටික දෙනෙකු අත දේශපාලන හා තීරණ ගැනීමේ බලය ගොනු කර ගන්නට මඟ පාදයි. මානව සම්පත් ඉතාම යෝග්‍ය ආකාරයට වඩා අඩුවෙන් යොදා ගන්නට මෙන්ම දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය ඇති කර ලන්නට ද මෙයින් මඟ පෑදෙන්නට පුළුවන. අනෙක් අතට, ධනේශ්වර ආණ්ඩු ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු තබා තිබෙන ආකාරයට සෘජු විදේශ ආයෝජන උකහා ගැනීමේ හැකියාවටද මෙයින් බාධා පැමිණෙනු ඇත. එවැනි සමාජයක දරිද්‍රතාවය, දිළිඳුකම සහ බලාපොරොත්තු විරහිත බව ව්‍යාප්ත තත්වයකට පත් වන්නට පුළුවන. කපටි දේශපාලනඥයන්ට සිය විරූපී හිස් ඔසවන්නට හොඳම වාතාවරණයක් මෙයින් සැපයෙයි.

මෙම කපටි දේශපාලනඥයෝ හරයාත්මක විසඳුම් ඉදිරිපත් නොකොට ගැලවුම්කරුවන් මෙන් මහ ඉහළින් ඝෝෂා කරනවා ඇත. එසේ වුවත් එවැනි කපටි දේශපාලනඥයන්ට මෙම අසමානත්වය තම ජීවිත කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති අය අතරේ බලාපොරොත්තු පිළිබඳ මන්දාලෝකයක් දැල්විය හැකිය. මෙම ජාතිකවාදී භේදකාරී කපටි දේශපාලන නායකයන් ඕනෑම ජනවාර්ගික හෝ ආගමික පසුබිමකින් බිහි විය හැකිය. ඔවුහු ප‍්‍රතිපත්තියක් මෙන් පෙනෙන යමක් මේ සඳහා යොදා ගත්තත්, එය හුදෙක් බලය අල්ලා ගැනීම සඳහා යොදා ගන්නා උපක‍්‍රමයක් පමණි. පුරවැසියන්ගේ ආර්ථීක තත්ත්වය වැඩිදියුණු කරන්නටත් ඔවුන් ආර්ථික වශයෙන් සූරාකෑමට ලක් වීමෙන් ගලවා ගන්නටත් දෙන පොරොන්දු වැනි මෙම ප‍්‍රතිපත්ති ඔවුහු බලයට පත්වූ විට අතහැර දමති, නැතහොත් අමතක කර දමති.

1929න් පසු ඇතිවූ විශාලතම අවපාතය ලෙස සලකනු ලබන 2008 ආර්ථික අවපාතය බරපතල දේශපාලන ප‍්‍රතිවිපාක ඇති කර ලීය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ලෝකය පුරා බොහෝ තැන්වල මූලධර්මවාදී ජාතිකවාදී සහ ආගමිකවාදී ප‍්‍රවාහයන් පෙරට ආවේය. ජාතික හා ආගමික ශ්‍රේෂ්ඨත්වය බොහෝ විට අධිකාරවාදී ප‍්‍රචණ්ඩ අන්තවාදය තුළින් දැඩි ලෙස ප‍්‍රකාශයට පත්වූ අතර, එයින් බොහෝ ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයන් පැන නැංවුනි. ඒ සමගම ඇතැම් ජන කොටස්වල දේශපාලන සිතුම් පැතුම් අන්ත දක්ෂිනාංශික මතවාදයන් දෙසට ගමන් කරන්නට පටන් ගැනුනේය. අධිකාරවාදියෙකු අත තීරණ ගැනීමේ බලය කේන්ද්‍රගත කිරීම, සාකච්ඡා කොට ඇති පරිදි ෆැසිස්ට් ආනතීන් සමග බැඳුනු ජාතිකවාදයේ ආන්තික ස්වරූපයක ප‍්‍රකාශයට පත්වීමකි.

අධිකාරවාදියෙකු අත බලය ගොනු කර ගැනීම ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ හරහා හෝ පාර්ලිමේන්තුවෙන් බැහැර වූ විධික‍්‍රම තුලින් හෝ ඉටු කර ගත හැකිය. එක්සත් ජනපදය තුල, බොහෝ ලෙසම වාර්ගිකවාදී මූලධර්මවාදී දක්ෂිනාංශික කන්ඩායම් ඩොනල්ඞ් ට්රම්ප් ජනාධිපති ධුරයට ගෙන ආහ. ස්කැන්ඩිනේවියානු රටවල් බොහොමයක පාලනයට දක්ෂිනාංශික කන්ඩායම් තෝරා පත් කොට ගෙන ඇත. තුර්කිය ජනාධිපති ධූර කාලය දීර්ඝ කල අතර ටෙයියප් එර්ඩෝගාන් වෙත අගමැති බලතල ද පවරා දුන්නේය. රුසියන් ෆෙඩරේෂනය ව්ලැඩිමීර් පුටින් අත බලය ගොනු කළ අතර චීනය ෂි ජින්පින් යාවජීව ජනාධිපති බවට පත් කළේය. ශ‍්‍රී ලංකාවට බොහෝ ආසන්නව, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ගුජරාටි මුස්ලිම් ලෙයින් ඔහුගේ දෑත් තෙත්ව තිබුනද, අගමැති බවට පත් කරන ලදි.

ෆැසිස්ට්වාදය

ෆැසිස්ට්වාදය පදනම් වන්නේ ජාතිය, වාර්ගිකත්වය හෝ සංස්කෘතියෙන් බැඳුනු ජාතියක ශ්‍රේෂ්ඨත්ව සංකීර්ණය මතයි. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආඥදායක රාජ්‍යයක් මෙම ජාතිකවාදී මතවාදය ඉහළින් ඔසවා තබයි. ෆැසිස්ට් රාජ්‍යයකට එරට පුරවැසියන් තම ජීවිතවල විවේක කාලය, අධ්‍යාපනය සහ දේශපාලන ක‍්‍රියාකාරිත්වය වැනි පැති පාලනය කරනු ලබනවාට සහාය දක්වන බව සහතික කරන්නට ආඥදායකයෙකු අවශ්‍ය වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණවලදී අපේක්ෂකයෝ තම හදවත්වල ජාතික අවශ්‍යතාවන් තබා ගෙන ඇතැයි යන්න සහතික කරන්නට අවශ්‍ය නැත. ප‍්‍රතිපත්ති සාකච්ඡා කරන, සම්පාදනය කරන, පනවන සහ ඒවා ක‍්‍රියාත්මක කරන්නට කාලය කැප කරන මණ්ඩපයක් වෙනුවට පාර්ලිමේන්තුව කථා සාප්පුවක් හා රබර් මුද්‍රාවක් බවට පත්විය හැකිය. වෙනත් පක්ෂ පවතින්නේ නම් අන්ත ජාතිකවාදී පරමාර්ථයක් අනුගමනය කිරීම අභියෝගයට ලක් කල හැකි හෙයින් පාර්ලිමේන්තුවේ වෙනත් තරගකාරී පක්ෂ නොසිටීම අවශ්‍ය වෙයි.

පාලන තන්ත‍්‍රයක් අදක්ෂ විට හෝ ප‍්‍රතිචාර නොදක්වන විට, නැතහොත් රටක සමාජ නිර්මිතය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් දැඩි ලෙස ස්ථාපිතව නොපවතින විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වල විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පුරවැසියෝ අසතුටට පත්ව, වෙනත් ‘වඩා ශක්තිමත්‘ සහ ‘වඩා දැඩි‘ පාලන තන්ත‍්‍රයක් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතහැර දමන්නට කැමැත්තෙන් පසුවෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වලව පවතින, ජාතිකවාදය ශක්තිමත් එවැනි වාතාවරනයක් තුල ෆැසිස්ට්වාදය අන්ත ජාතිකවාදයේ මුවාවෙන් පෝෂණය වෙයි. ෆැසිස්ට්වාදයට වෑයමකින් තොරව දුර්වල පාලන තන්ත‍්‍රය ඉවත් කොට යම් කාලයක් පුරා වැජඹෙන්නට මෙයින් කදිම වාතාවරනයක් සැපයෙයි.

කෙනෙකු කපටි දේශපාලනඥයන්ට උදවු කරන්නට පෙළඹෙන්නේ කෙසේද? ආදායම් අසමානත්වය පැතිර පවතින විට බොහෝ දෙනාට, විශේෂයෙන්ම ආදායම් ප්‍රේ‍ක්ෂාවලියේ පහළ කෙළවරේ සිටින අයට ඔවුන්ගේ අවශ්‍යතාවයන්, එම අවශ්‍යතාවයන් මූලික ආර්ථික, මානසික හෝ ස්වයං සත්‍යකරණ අවශ්‍යතාවයන් වූවද, ඒවා සපුරා ගැනීම ඉතා දුෂ්කර වෙයි. එබැවින්, මූලධර්මවාදය, වෙනස්කම් කිරීම, වර්ගවාදය සහ ලිංගභේදය සමාජය තුළ ව්‍යාප්ත වීම පුදුමයට කාරණයක් නොවේ. යම් යම් අවස්ථාවලදී මනුෂ්‍යත්වයට එවැනි ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී තිබේ. සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදවලට මුහුණ දෙන විට, ජනයා තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඔවුන්ට තිබෙන ඕනෑම මාර්ගයක් යොදා ගන්නවා ඇත. ජනයා කපටි දේශපාලනඥයන්ට සවන් දෙන්නට පටන් ගන්නේ එවිටයි. ලෝකයේ බොහෝ තැන්වල ෆැසිස්ට් ප‍්‍රවනතා මුල් බැස ගත්තේ ඒ අන්දමටයි.

පසුගිය දශක කිහිපය පුරා බටහිර ලෝකයේත්, සත්තකින්ම ඊට පෙර ආසියාවේ ඇතැම් රටවලත්, බොහෝ ව්‍යාජ හේතූන් මත ආඥදායක ප‍්‍රවණතාවයන් රළ පහරවල් මෙන් මතුවී තිබේ.තම දිවි රැක ගැනීමට වුවමනා කරන අවශ්‍යතාවයන් සපුරා ගත නොහැකි වන විට මනුෂ්‍යත්වය පහසුවෙන් අන්ධ බවට පත් වෙයි. ජර්මනිය හා ඉතාලිය යන දෙරටේම පළමු ලෝක යුද්ධ සමයෙන් පසුව පැවති වාතාවරනය මෙයයි. ජර්මානු හා ඉතාලි ප‍්‍රජාතන්ත‍්‍රයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාායන් හුදෙක් මැතකදී බිහිව, දුබල ලෙස මුල් ඇද තිබූ ඒවා විය. පළමු ලෝක යුද්ධයෙන් පසු ආර්ථික අර්බුදය සමඟ විරැකියාව වර්ධනය වූයේය. වෙර්සායි (Versailles) ගිවිසුමෙන් පළමු ලෝක යුද්ධය ඇරඹීම සම්බන්ධයෙන් ජර්මන්වරු චූදිතයන් බවට පත් කර තිබිනි. ඔවුන්ට දඬුවම් ලෙස වන්දි ගෙවීම් මෙන්ම සැලකිය යුතු භෞමික සහනද පිලිගැනීමට සිදු විය. ඉතාලි ජාතිකයන් තරයේ කියා සිටියේ ඔවුන්ට ලබාදිය යුතුව තිබුන භූමි ප‍්‍රදේශය ඔවුන්ට ලබා නොදුන් බවයි. අවමානයට පත් වීම හේතුවෙන් ජාතික විරෝධතාව සර්වව්‍යාපී බවට පත් වුනි.

ෆැසිස්ට් හා නාසි පක්ෂ ඔවුන්ගේ එක් එක් රටේ ජාතික මහිමය යළි ස්ථාපිත කරන්නට පොරොන්දු වූහ. ඒ අනුව, ඉතාලියානුවෝ සහ ජර්මානුවෝ ෆැසිස්ට්වාදයට සහාය දෙන්නට පටන් ගත්හ. ඉතාලිය සහ ජර්මනිය ඉතාලි ෆැසිස්ට් පක්ෂය හා ජර්මන් නාසි පක්ෂය හරහා ඔවුන්ගේ ජාතික ශ්‍රේෂ්ඨත්ව සංකීර්ණයන් ලූහුබැඳ ගියහ. ජාතික ෆැසිස්ට් පක්ෂයේ නායකයා (Il Duce) වූ බෙනීතො මුසොලීනි, “(ඉතාලියානු) ප‍්‍රජාවේ භෞතික සහ සදාචාරාත්මක ප‍්‍රගතිය මෙහෙයවීම”ට අදහස් කලේය*. ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂයේ ඇඩොල්ෆ් හිට්ලර් (der Führer) “මෙම මහ පොළොවේ සංස්කෘතියේ නිර්මාතෘ” ලෙස ජර්මන් ජාතිය යලි ස්ථානගත කරන්නට බලාපොරොත්තු වූයේය**. ඔවුන්ට ස්වකීය ජාතීන් කෙරෙහි තිබෙන පක්ෂපාතිත්වය, ආගම හා සමාජ පංතියට වඩා මහ ඉහළින් ඔසවා තබන්නට අවශ්‍ය වූනි.

එබඳු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට පවතින ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතියක් හා ආයතනයක් විනාශ කොට අතුගා දමන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඒකාධිපති රාජ්‍යයක් අවශ්‍ය කලේය. මුසොලීනි සිය රහස් පොලීසිය යොදා ගනිමින් කම්කරු වැඩ වර්ජන තහනම් කොට සියළු දේශපාලන විරෝධතාවයන් තුරන් කර දැම්මේය. ඉතාලි ෆැසිස්ට් පක්ෂයේ වූ ඔහුත්, ඔහුගේ අනුගාමිකයිනුත් නීති පැනවීමෙන් සහ ප‍්‍රචණ්ඩ මාර්ග යොදා ගනිමින් බලය තහවුරු කර ගෙන, ජාතිය තනි පක්ෂ ආඥදායකත්වයක් බවට පත් කර ගත්හ. ඒකාධිපති රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ ඔහුගේ අභිලාෂයන් අවසන් වූයේ රජු ඔහුව බලයෙන් පහ කළ විටයි. එහෙත් මාස කිහිපයකින් ඔහු උතුරු ඉතාලියේ හිට්ලර් ගැති රූකඩ පාලනයක් ස්ථාපිත කොට, ඉතාලි සමාජීය සමූහාණ්ඩුවේ නායකයා බවට පත් විය. 1945 දී තම ප‍්‍රියාව සමඟ පලා යමින් සිටියදී අල්ලා ගනු ලැබ ඔහුව වහා ඝාතනය කර දැමිනි.

දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මන්වරුන් ආර්ථික සූරාකෑමට ලක් වීමට යුදෙව් ජනයා වගකිව යුතු යයි හිට්ලර් විශ්වාස කලේය. ජර්මන්වරු ඉතිහාසය ගැන හිට්ලර්ගේ ව්‍යාජ අනුවාදය පිලිගත්තා පමණක් නොව, මෙයින් හුදෙක් තමන්ගේම වූ පෞද්ගලික ආර්ථික වාසි සාධාරන කෙරුනු හෙයින් හිට්ලර්ගේ දාමරික ම්ලේච්ඡත්වයටද ඔව්හු සමාව දුන්හ.

(මතු සම්බන්ධයි)

 *බෙනීතො මුසොලීනි, විසිවැනි සියවසේ මතවාදය”, රොජර් ග්‍රිෆින් 1998, ජාත්‍යන්තර ෆැසිස්ට්වාදය: සිද්ධාන්ත, හේතුකාරන සහ නව සම්මතිය, ලන්ඩන්, 254 පිට

**ඇඩොල්ෆ් හිට්ලර්, මයින් කාම්ෆ්, බොස්ටන්: හොට්න් මිෆ්ලන්, 1971 [1925], 293 පිට

Back to Home page