21 October, 2018

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු – කොටස VIII   

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ හත්වන කොටස දෙසැම්බර් මස 4 වන සඳුදා පළ කොට ඇත]

නිවැරදි කිරීම: මෙම දිගු ප්‍රතිචාරයේ පෙර කොටස් පළ කරන ලද්දේ ‘ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් යන මාතෘකාව යටතේය. කතුවරයා කථිකයාට නුසුදුසු ගෞරවයක් ආරෝපනය කිරීමෙන් කරන ලද මෙම නොදැනුවත් වරද ගැන කණගාටු වෙයි.

  1. ශ්‍රී ලංකාව, ජාතික ධජය තුලම සුළු ජාතීන් පිළිගැනීමට ලක් කරයි; ලෝකයේ බොහොමයක් රටවල් සුළු ජාතීන් එලෙස පිළිගැනීමට ලක් කරන්නේ නැත; මුදල් නෝට්ටු සහ විවාහ, මරණ සහ ආගමණ හා සම්බන්ධ ඒවා ඇතුළු සියලු රජයේ ලිපි ලේඛන සිංහල හා දෙමළ යන භාෂා දෙකින්ම ලබා ගත හැකිය; සියලුම ජනප්‍රජාවෝ කවර ආකාරයේ හෝ වෙනස්කම් කිරීමකින් තොරව නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ලබන අතර, ඔවුන්ට ක්‍රීඩාවලට සහභාගි වන්නටත් ජාතික මට්ටමෙන් රට නියෝජනය කරන්නටත් හැකි යයි, ආචාර්ය ගොඩහේවා පවසයි.

වෙනත් රාජ්‍ය සංකේත හා ජය ගීතවලට අමතරව බොහෝ රටවල් විවිධ වර්ගවල සතුන් විදහා පෙන්වන ධජ භාවිතා කරන අතර, ඒවා සියල්ලම ධනාත්මක අභිලාෂයන් සංකේතවත් කරයි. නිදසුනක් ලෙස, “(වමේ සිට දකුණට) රතු, කළු, සහ තැඹිලි පාටින් යුත් සිරස් තීරු තුනකින් සමන්විත සෘජු කෝණාස්රාකාර පෙදෙසක් මත්තේ පියාසර කරන තැඹිලි පැහැති අෆ්රිකානු මත්ස්‍ය රාජාලියෙකු සහිත කොල පැහැති පසුබිමක් යොදා ගන්නා හෙයින් සැම්බියාවේ ජාතික ධජය සෙසු රටවලින් වෙනස් වෙයි. කොල පැහැය සාරවත් වෘක්ෂ ලතාදිය ද, රතු නිදහස සඳහා කරන ලද ජාතියේ අරගලය ද, කලු සැම්බියානු ජනතාව ද, තැඹිලි පැහැය දේශයේ ස්වභාවික වස්තුව හා ඛනිජ සම්පත් ද නියෝජනය කරයි”[1]. වර්ණවත් තීරුවලට උඩින් පියාසර කරන අෆ්රිකානු මත්ස්‍ය රාජාලියා ජාතියේ ගැටලුවලට වඩා ඉහළින් නැඟී සිටින්නට ජනතාවට ඇති හැකියාව හඟවයි. ඊට පටහැනිව, ශ්‍රී ලංකාවේ ජාතික ධජය වඩා යහපත්, එකමුතු හා වඩා සාධාරණ රටක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය සමඟිය සහ අන්තර්ග්‍රහණය නිදසුන් කරනවාට වඩා අනෙකා බැහැර කිරීම සඳහා වන වාර්ගික බෙදුමේ සංකේතයක් බවට පත් වී තිබීම කණගාටුවට කරුණකි. සිංහල බෞද්ධ බහුතරයේ අනුපාතයක් වශයෙන් රටේ ජාතික ධජය තුල ‘සුළුතරයන්’ වෙන් කොට දැක්වීම (හෝ කුඩා කොටස්කර දැක්වීම) එක් ජාතියක ජීව ගුණයට බෙහෙවින් හානිදායක වෙයි. විවිධ ජනවර්ගවලින් සමන්විත වන ඉතාමත් සාර්ථක ප්‍රජාතන්ත්‍රික රටවල් තමන්ගේ ජාතික ධජයන් තුල එකමුතු කිරීමේ සංකේත තෝරා ගනිති.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආණ්ඩුවලට ස්තුති වන්නට රාජ්‍ය ලේඛන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබා දීමේ දී සීමිත ප්‍රගතියක් අත් පත් කොට ගෙන ඇත. එසේ වුවද, රජයේ සේවකයෙකු අයැදුම්කළ තැනැත්තා දැන සිටින භාෂාවෙන්ම අයදුම්පතක් ගොනුගත කරනු හෝ ඊට ප්රතිචාර දක්වනු ඇතැයි කිසිදු සහතිකයක් නැත. එවැනි අවස්ථාවල දී අයදුම්කරු නීතිමය වශයෙන් වලංගු පරිවර්තනයක් ලබා ගැනීම සඳහා දිවුරුම් දෙන ලද පරිවර්තකයෙකු තමාගේම වියදමෙන් සොයා ගත යුතුය. දකුණේ බොහෝ කාර්යාලවල දෙමළ භාෂාව තේරුම් ගැනීමට හෝ කියවීමට හෝ ලිවීමට හැකියාවක් ඇති නිලධාරීන් නැත. පොදු සහ පෞද්ගලික අංශ යන දෙකේම වෙළුම් ගණන් වූ ලිපි ලේඛන භාෂා තුනෙන්ම ලබාගන්නට නැත.

රජයේ ලියකියවිලි වලදී භාෂා තුන යොදා ගනු ලැබීම වැළැක්වීම සඳහා අපි කෙතරම් නම් ලේ වගුරවා ඇත්ද? දමිළ භාෂාවෙන් කරනු ලබන පැමිණිල්ලක් භාර ගැනීමට කෙතරම් පොලිස් හෝ ආරක්‍ෂක හමුදා නිලධාරීන් ප්‍රමාණයක් කැමැති වන්නේද? දෙමළෙන් සන්නිවේදනය කරන අයට, රජයේ සේවකයින් සිංහලෙන් පමණක් පිළිතුරු දෙන්නේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වඩාත් සම්පූර්ණ ලෙස බලාත්මක කරන බවට සහතික කිරීම සඳහා වගකියන යාන්ත්‍රණයක් නැත්තේ ඇයි? අප වඩා හාරා අවුස්සන තරමට, වෙනස්කම් කිරීමේ ක්‍රියාමාර්ග වැඩියෙන් හෙළිදරව් වෙයි. මෙම ලැයිස්තුවට නිමාවක් නොමැත.

නිදහස් අධ්යාපනය, සෞඛ්‍ය සේවා සහ ක්රීඩා කටයුතුවල නියැලීම ආදිය සම්බන්ධයෙන් ආචාර්ය ගොඩහේවා සමහරවිට මවාගත් ලෝකයක් ගැන කල්පනා කරනවා විය යුතුය. අධ්යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රවල තිබෙන සැලකිය යුතු අඩුපාඩුකම් සම්බන්ධයෙන් ගුරුවරුන් සහ වෛද්යවරුන් සියළු දෙනාට දොස් පැවරිය නොහැකිය. අද අප ශ්‍රී ලංකාවේ මුහුණ දී සිටින සුදුසු ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ අඩුව නිසාත් , බහුලව පවතින දූෂණය, අවපාලනය (mismanagement) සහ අකාර්‍යක්‍ෂමතාවය නිසාත් ප්‍රාථමික, ද්වීතියික හා තෘතියීය මට්ටම්වල අධ්‍යාපන ප්‍රමිතිය පිරිහී යෑම නොකඩවා සිදු වෙයි. ආණ්ඩුවේ රෝහල් බොහොමයක වෛද්‍යවරු කෙටියෙන් රෝගීන් ගැන බලා, ඔවුන්ගේ වඩා ලාභදායී පුද්ගලික වෛද්‍ය වෘත්තීන්වල යෙදෙන්නට ඉක්මණින්ම පිටත්ව යති. රජයේ රෝහල්වල උපකාරය සොයා යන ඒ අසරණ ජනයා සඳහා නිසි ප්‍රතිකාර, ඖෂධ හෝ කාලීන සැත්කම් නොමැත. අවාසනාවට මෙන් යථාර්ථය මෙයයි. උතුරේ හා නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් අයට ප්‍රතිකාර සදහා බලා සිටිය යුතු කාලය වඩාත් නරක ය. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාවලදී දමිල නියෝජනයේ අනුපාතය, දශක ගණනාවක් තිස්සේ සංඛ්යාත්මක වශයෙන් අඩුව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

ජාතික ධජය නියෝජනය කරන සංකේතනය බිම් මට්ටමෙන් ද්‍රව්‍යමය යථාර්ථයක් බවට පත් කරන්නට කටයුතු නොකරන තාක් එම සංකේතනයේ කිසිදු ඵලදායී අර්ථයක් නොමැති වෙයි. රටකට මූලික නීතිය වශයෙන් හොඳම ව්යවස්ථාව තිබිය හැකි වූවත්, එහි සිටින සියලු ජනතාවන්ගේ අභිවෘද්ධිය සඳහා එහි විධිවිධාන අව්‍යාජ ලෙස ක්‍රියාත්මක කිරීමකින් තොරව එය ලියන ලද කඩදාසිය තරම්වත් එය නොවටනා වෙයි. කණගාටුවට මෙන්, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පවා අපේක්ෂා නොකරන අය, ආචාර්ය ගොඩහේවාගේ කඳවුරේ සිටිති! එය වෙනස්කම් කරනවාට වඩා ඵලදායීය යනුවෙන් අර්ථ දැක්විය හැක්කේ කෙසේද?

  1. තේසවලාමයි නීතිය දමිලයෙකුට හැර වෙනත් කිසිවෙකුටත් යාපනයේ ඉඩම් මිලදී ගන්නට ඉඩ නොදෙන නමුත් දමිලයන්ට රටේ වෙනත් තැන්වල දේපල මිලදී ගන්නට කිසිදු කාරයක සීමාවක් පනවා නැතැයි ආචාර්ය ගොඩහේවා කියයි.

උතුරු පළාතේ, තේසවලාමයි නීතිය (ඉඩම් සම්බන්ධ සම්ප්‍රධාය) නමින් හැඳින්වෙන නීති සංග්‍රහයක් දේපළ, උරුමය හා විවාහය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවෙයි. මෙම සාම්ප්‍රදායික නීතිය ස්වරූපය අතින් භෞමික හා පුද්ගලික යන දෙආකාරයක් ගනී. ඉඩම් හිමියන්ගේ ජාතිකත්වය සහ ආගම කුමක් වූවද, උතුරු පළාතේ සියලු ඉඩම්වලට මෙම නීතිය අදාළ වේ. චාරිත්‍රානුකූල ප්‍රාදේශික නීතියක් ලෙස මන්නාරම ප්‍රදේශයේ දෙමළ ජනයාටද මෙය අදාල වෙන නමුත් ත්‍රිකුණාමලයේ හෝ මඩකලපුවේ ජීවත් වන දමිලයන්ට හෝ වතුකරයේ ජීවත් වන මලයියහ දමිලයන්ට මෙය අදාල නොවේ.

එය දේපල අයිතින් තුනක් පිළි ගනියි: එනම්, කාන්තාවන් විවාහ වන විට ඔවුන්ට ලැබෙන දෑවැදි දේපල (සීදනම්); පිරිමියෙක් ඔහුගේ දෙමව්පියන්ගෙන් උරුම කර ගත් දේපළ (මුදිසම්); සහ විවාහයෙන් පසු ස්වාමි පුරුෂයා / විවාහක යුවළවල් විසින් අත් කර ගන්නා ලද, ස්වාමි පුරුෂයා සහ බිරිඳ සමානව හිමිකම් කියනු ලබන දේපළ (තඩිය තඩ්ඩම්) [2]. මෙම නීති සංග්‍රහය යටත් විජිත කාලයට පෙර පැවැතියේය. 1706 දී ලන්දේසි යටත් විජිත පාලන සමයේදී මෙය සංග්‍රහගත කරන ලදි. 1806 අංක 18 දරණ තෙසවල නියාමනය යටතේ බ්‍රිතාන්‍යයෝ එය නීත්‍යානුකූලව වලංගු කලහ. අනෙකුත් නීති සම්බන්ධයෙන් මෙන්ම මෙම නීතිය ද අධිකරණ නීතිය සහ පූර්වාදර්ශ මගින් සාරවත් බවට පත් කරනු ලැබ ඇති අතර, බල සහිත වන දිනය, බලය ඉක්මවීම, බැහැර කිරීම්, සහ නිවාරනය කිරීම් ආදිය වැනි වගන්ති මගින් විසඳාගත යුතුව ඇති පරස්පර විරෝධතා සහ ගැටුම්වලට මුහුණපානවා ඇත. කෙසේ වෙතත්, මෙම නීතිය කාලයත් සමග පරිණාමය වී හෝ සමාජ වෙනස්කම් සැලකිල්ලට ගෙන නොමැති බව කියැවේ.

උතුරු පළාතේ තේසවලාමයි නීතියට අමතරව උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා මුක්කුවා නීතිය ද සීමිත පරාමිතීන් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. රෝමානු ලන්දේසි නීතිය මෙම සීමිත පරාමිතීන්ට පරිබාහිරව යෙදෙයි. මඩකළපුවේ ප්‍රධාන මුක්කාවර් කුලයේ ද සමාජයේ සිය අධිපති ආර්ථික තත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා එවැනි නීති සංග්‍රහයන් තිබුණි; එහි ප්‍රධාන වෙනස්කම වූයේ දේපල බෙදා හැරීම, පීතෘමූලික පෙළපත නොව මාතෘමූලික පෙළපත අනුගමනය කිරීමයි. මේ ලෙස උතුරේ සහ නැගෙනහිර ප්‍රභූ පෙලැන්ති ඔවුන්ගේ පවුල් සහ ආගමික සම්ප්‍රදායයන් ආරක්‍ෂා කර ගත හැකි වන පරිදි, හොඳ රාජ්‍ය සේවා රැකියා සොයා ගනු වස් ඔවුන්ගේ ශක්තීන් අධ්‍යාපනය කෙරෙහි යොමුකලහ.

මෙම දැඩි චාරිත්රානුකූල නීතිය මගින් දමිලයන් අතර ඉතා සමීප පවුල් සබඳතා පවත්වාගෙන යාම, දමිල ඒකාබද්ධ පවුල් පද්ධතියේ මූලික ප්රතිපත්තියක් විය. භූමිය හා සම්බන්ධ මෙම චාරිත්ර සහ පිළිවෙත් බිහි වී ඇත්තේ කෘෂිකර්මය සඳහා ජලය හිඟ වීම, වගාකල හැකි බිම් සීමිත වීම, සම්පත් හිඟය වැනි යාපනය අර්ධද්වීපයේ පවත්නා විශේෂිත සමාජීය, ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන් නිසා බව පෙනේ. පිටස්තරයෙකුට විකිණීම සඳහා වගා කළ හැකි බිම් අතුරු කොටස් කිරීමෙන් ප්‍රමාණානුකූල පිරිමැසුම් ඌණවීම හේතුවෙන් කෘෂිකාර්මික ඵලදායිතාව වෙත බලපෑම් කරනු ඇත. යාබද ඉඩම් හිමියන් විසින්ද පරිහරනය කරනු ලබන, ඉඩමේ පිහිටා තිබිය හැකි පොදු ළිඳක් හවුලේ පරිහරනය කිරීම වැනි ගැටළු වලටද එය මඟ පාදනු ඇත.

දේපලවල ඒකාබද්ධ හිමිකම, අනෙක් හිමිකරුගේ / හිමිකරුවන්ගේ අනුදැනුම නොමැතිව ඒ දේපල ගණුදෙනු කරනු ලැබීම වැළැක්වීම සඳහා පවත්වා ගෙන යනු ලබන බව පෙනේ. මෙම නීතිය යටතේ ස්ත්‍රියක් විවාහ වූ විට ඇයගේ භාරකාරත්වය සිය පියාගේ සිට ඇගේ ස්වාමිපුරුෂයා වෙත පැවරෙයි. ඒ අනුව, ස්වාමිපුරුෂයා භාර්‍යාවගේ එකම සහ අවලංගු කළ නොහැකි බලකාරයා බවට පත්වෙයි. එබැවින්, ඇගේ ස්වාමිපුරුෂයාගේ ලිඛිත අවසරයකින් තොරව ඇයගේ පෞද්ගලික ආයෝජන පවා ගණුදෙනු කරන්නට හෝ ඇයගේ ඉඩම් අයිතිය පවරා දෙන්නට හෝ ඇයට නොහැකිය. අනෙක් අතටද මෙය එසේම වෙයි. ස්වාමිපුරුෂයාටද තම බිරිඳගේ ලිඛිත අවසරයකින් තොරව, තමාගේම නාමයෙන් මිලදී ගත් හෝ විවාහයෙන් පසු උරුම කර ගත් ඉඩමක් විකිණිය නොහැකිය. එය සෑම අවස්ථාවකදීම විවාහ සම්බන්ධතාවය ආරක්‍ෂා කරන්නට සැලසුම් කර ඇත. එසේම, දෙමව්පියන්ගෙන් ලද යම් උරුමයක්, ඔවුන්ගේ ඕනෑ එපාකම් සහ ඔවුන්ගේ මහළු අවදියේ යහපැවැත්ම නොසලකා හරිමින් ගණුදෙනුවට ලක් කල නොහැකිය.

තේසවලාමයි නීතිය යටතේ එන පෙර විකිණීමේ නීතියට අනුව සිංහලයන්ට උතුරු පළාතේ ඉඩම් මිලදී ගත නොහැකිය යන මතය, ආචාර්ය එච්.ඩබ්ලිව්. තම්බයියාට අනුව, බරපතල වැරදි මතයක් වෙයි[3]. ‘පෙර විකිණීමේ නීතියෙන් අපේක්‍ෂා කරනු ලබන්නේ, සම අයිතිකරුවෙකු හෝ අනාගත අන්තර්ප්‍රාන්ත උරුමක්කාරයෙකුට අදාල ඉඩම මිලදී ගන්නට වරනීය අයිතිය තිබිය යුතු බවයි; පෙර විකුණුම් හැකියාව ඇති පුද්ගලයන් ඉඩම මිලදී ගැනීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම්, එවිට එය වෙන ඕනෑම අයෙකුට මිලදී ගත හැකිය. පෙර විකිණීම, සමහර විශේෂිත පුද්ගලයන්ට හැරුණු විට ඉඩම අන්සතු කිරීම මත තහනමක් ඇති නොකරයි. පෙර විකිණීම සඳහා සුදුසුකම් ලබා ඇති අයට වඩා ඉහළ මිලක් ගෙවීමට යම් තැනැත්තෙකු සූදානම් නම්, ඔහුට හෝ ඇයට උතුරු පළාතේ ඉඩමක් මිලදී ගත හැකි බව ද සඳහන් කළ යුතුය’ යනුවෙන් තම්බයියා තර්ක කරයි.

අතිරේකව, මෙම ගැටලුව තව දුරටත් සංකීර්ණ කරනු ලබන්නේ සිංහල ජනයා විසින් උතුරේ දේපල මිලදී ගනු ලැබීම, දිගු කාලීනව පාර්ලිමේන්තුවේ දමිල නියෝජනය අඩු කල හැකි වන පරිද්දෙන් ජනගහන රටාවල් වෙනස් කිරීම අරමුණු කර ගත් රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජනපද ව්‍යාපාරවලට සහාය වන ඇතැයි යනුවෙන් දමිල ජනයා සතුව තිබෙන උද්වේගයන් විසිනි.

මතු සම්බන්ධයි …..

[1] සැම්බියාවේ ධජය: විස්තර කර ඇත්තේ: http://www.africa.upenn.edu/Country_Specific/Zamflag.html

[2] පත්මනාදන් සී 2002, ඉලංකෙයි තමිෂාරීන් තේසවාශමායියම් සමූඝා වාසමයිකලුම්, කුමරන් බුක් හවුස්, කොළඹ, උපුටා දක්වා ඇත්තේ ග්‍රන්ථ විචාරය 2002: ගනේසලින්ගන් 2002, හින්දු පුවත්පතේ නීති සහ චාරිත්‍ර: ඇත්තේ http://www.thehindu.com/thehindu/br/2002/11/26/stories/2002112600070300.htm; මෙම දේපල ආකෘතියට කරන විශේෂ සඳහනක් ද බලන්න: Forgotten Books විසින් පළ කරන ලද මුක්කුවා නීතිය 2016; 5-6 පිටු: ඇත්තේ https://www.forgottenbooks.com/download_pdf/The_Mukkuva_Law_1000326926.pdf

[3] තම්බයියා එච් ඩබ් 2000, යාපනයේ දෙමල ජනයාගේ නීති හා රේගුව (සංශෝධිත සංස්කරණය), vi සහ http://noolaham.net/project/11/1082/1082.pdf

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.