20 April, 2024

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාව ඇසුරෙන් – කොටස VII  

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ හයවන කොටස නොවැම්බර් මස 30 වන බ්‍රහස්පතින්දා පළ කොට ඇත]

ආචාර්ය ගොඩහේවා මතු කර ඇති කරුණු ගැන තව දුරටත්

  1. දමිලයන් නියෝජනය කළේ ජනගහනයෙන් සියයට 10 කට වඩා අඩුවෙන් වුවද, දමිල දේශපාලන නායකයෝ 50ට 50 බලය බෙදා ගැනීමට ඉල්ලා සිටියහ. මෙය අනුමත කරන ලද්දේ නම් එය බහුතර සිංහලයන්ට එරෙහිව වෙනස්කම් කිරීමකට සමාන විය හැකිව තිබුණේයැයි, ආචාර්ය ගොඩහේවා පවසයි.

1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පිහිටුවන ලද අමාත්‍ය මණ්ඩලය සමන්විත වූයේ සිංහල සාමාජිකයින්ගෙන් පමණකි. ජනගහනයෙන් ඉතිරි සියයට 35 නියෝජනය නොවීම හා තවත් සාධක කිහිපයක් 1939 දී පේදුරුතුඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතාගේ කුප්‍රකට 50ට 50 ඉල්ලීම ඉදිරිපත් කරන්නට ඔහුට මඟ පෙන්වීය. 1945 පෙබරවාරියේ දී ඔහු, මෙවර දමිලයන්ගේ එකම පක්ෂය වූ සමස්ත ලංකා දමිල කොංග්‍රසයේ නායකයා වශයෙන්, මෙම 50ට 50 ඉල්ලීම සෝල්බරි කොමිසම වෙතද ඉදිරිපත් කර සිටියේය. ඔහු මෙයින් අදහස් කළේ සිංහලයන් සඳහා ආසනවලින් අඩක් සහ අනෙක් සියලු සිංහල නොවන ජනප්‍රජාවන් සඳහා ඉතිරි අඩ වෙන් කිරීම යි. මුල් අභිලාෂය සැලකිල්ලට ගැනීමෙන් සහ විචක්‍ෂණශීලී ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ, “50ට 50” බහුතර සිංහලයන්ට එරෙහිව වෙනස්කම් කිරීම සඳහා කරන ලද ඉල්ලීමක් යනුවෙන් හංවඩු ගැසීම වැරදි ව්‍යවහාරයක් පමණක් නොව වැරදි නියෝජනයක්ද වන බවයි. ඉල්ලීම වූයේ සිංහල නොවන ජන කොටස්වලට එරෙහිව වෙනස්කම් කිරීමට උත්සාහ කරමින් තිබුනු “සිංහල-බෞද්ධ මූලධර්මවාදය හා සමඟ සටන් කරන්නට තරම් බලවත් තනි අනන්‍යතාවයක්”[1] සකස් කර ගන්නට යි.

මෙම 50ට 50 ඉල්ලීම, දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය වරයා වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසු, 1956න් පසු කාල පරිච්ඡේදය දෙස බැලීමෙන් වඩා හොඳින් තේරුම් ගත හැකිය. 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත (“සිංහල පමණක්” පනත) සිංහල එකම රාජ්‍ය භාෂාව වශයෙන් ඉංග්‍රීසි ප්‍රතිස්ථාපනය කළේය. යටත් විජිත මර්දනය සහ යටත් විජිතවාදී බෙදා වෙන් කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් පැන නැඟුනු සිංහල ජාතිකවාදී බලවේග, ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කිරීම නතර කරන්නට අපේක්ෂා කළේය. බණ්ඩාරනායක මහතා තෝරා පත් කර ගනු ලැබුවහොත් පැය 24 ක් ඇතුලත සිංහල රාජ්‍ය භාෂාව කරන්නට දුන් පොරොන්දුව දෙන ලද්දේ හුදෙක් දේශපාලන බලය අල්ලා ගැනීමේ අවස්ථාවාදී අරමුණ ඇතිවයි. මෙසේ කරන අතරතුර, ඔහු දමිලයන් සහ මුසුල්මානුවන් බොහෝ දෙනෙක් යන දෙකොටසම කතා කරන ලද භාෂාවේ තරාතිරම පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම්, අභිවෘද්ධිය හා දේශපාලන උවමනාවන් සමඟ මෙම නීතිය නිසා සිංහල බෞද්ධ නායකයන් ඉතාමත්ම නිෂේධජනය ලෙස ගැටී තිබෙන බව පළමුවරට දමිලයන්ට දැනුනේය. මෙම කරුණ සිංහල-දෙමළ ගැටුම දේශපාලන කරලියේ පෙරමුණටම ගෙන ආවේය.

සිංහල ජාතිකවාදයේ ප්‍රබල ප්‍රවාහයන් විස්වාස කලේ පුරාණ සිංහල ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතිය යළි නඟා සිටුවන්නට ඇති එකම මාර්ගය වූයේ බුද්ධාගම සමඟ එකට සිංහල සඳහා රාජ්‍ය ව්‍යුහයේ වඩාත්ම ප්‍රමුඛ ස්ථානය අත් කර ගැනීම බවයි. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ප්‍රධාන වශයෙන් නියෝජනය කලේ යටත් විජිතවාදී ඕනෑ එපාකම් සහ විවිධ ජනවාර්ගික සම්භවයක් ඇති යටත් විජිත ගැති ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ පැලැන්තියේ ඵල ප්‍රයෝජන යි. යටත්විජිතවාදය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති ගණනය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කිරීම දිගටම සිදු වින. දමිලයන්ට ජාතික අයිතිවාසිකම් සහ ප්‍රගතිශීලී ජාතික හැඟීම් සඳහා ඔවුන් තුල පැවති අභිලාෂයන් ප්‍රකාශ කරන්නට අවස්ථාවක් අවශ්‍ය විය. “සිංහල පමණක්” පනත් කෙටුම්පත, දෙමළ කතාකරන ජනයාට කිසිදු සහනයක් ලබාදෙනවාට වඩා, ඔවුන්ගේ අනන්‍යතාවයන්ට හා ඔවුන්ගේ මව් බස භාවිතා කරන්නට ඇති අයිතිය පිළිබඳව යුද්ධ ප්‍රකාශ කිරීමක් විය. මෙය, පසු වසරවල දී බරපතල ප්‍රතිවිපාකවලට මඟ පෑදූ 1956 සමාජ පරිවර්තනයේ ප්රධාන අඩුපාඩුවක් වූයේය.

දමිලයෝ මුලින් සාමකාමී සහ ප්‍රචණ්ඩ නොවූ සිවිල් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූහ. කෙසේ වුවද, ආණ්ඩුවේ හා සිංහල ජාතිකවාදීන්ගේ ප්‍රතිචාර හැමවිටම මර්දනකාරී හා ප්‍රචණ්ඩ විය. 1958 දී පළමුවන ප්‍රචණ්ඩකාරී මර්දනය සිදු වූයේ ගාලු මුවදර තණ නිල්ලේ පැවැත්වූ දමිල නායකයින්ගේ සාමකාමී උපවාස ව්‍යාපාරයට බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ සමීප නිලධාරීන්ගේ පෙළඹවීම මත පහර දුන් විට දීයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා මුලින් ප්‍රචණ්ඩත්වය යොදන්නට අගමැතිවරයා දුන් නියෝගයට හිස නැමුවේ නැත. අන්තවාදීන්ගේ අනුබලය සහ පෙළඹවීම ලද සිංහල මැරයෝ, සිය දුක්ගැනවිලි වලට සාමකාමීව විසඳුම් ඉල්ලා සිටියවුන්ට එරෙහිව බයිසිකල් චේන්, කිරිංචි (knuckle-dusters) සහ පොලු මුගුරු යොදා ගනිමින් ප්‍රචණ්ඩ ප්‍රහාර දියත් කළහ. මෙම ප්‍රහාරය ඉක්මණින්ම පලාත්වලටද පැතිරුන අතර දමිලයන් සහ ඉන්දියානුවන් යන දෙකොටසටම පහර දෙන ලදි.

බණ්ඩාරනායක මහතා ප්‍රබල සිංහල වරමක් සහිතව තේරී පත් වුවද, ඔහු සිංහල නොවන ජනයාගේ අයිතිවාසිකම් පිළිගැනීම නිශ්චිත ලෙසම ප්‍රතික්‍ෂේප කරන බවක් පෙනුනේ නැත. ඒ වෙනුවට, ඔහුගේ ප්‍රතිපත්ති ගණනය, යටත්විජිතවාදය යටතේ බරපතල ලෙස උල්ලංඝනය කිරීමට භාජනය කොට තිබුනු, එක්සත් ජාතික පක්ෂයේ පාලන තන්ත්‍රය විසින් මෙතෙක් පිළිගෙන නොතිබුනු සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම සඳහා පැවති ඉල්ලීම අවධාරනය කිරීමක් වූයේය. කෙසේ වෙතත්, මහජන එක්සත් පෙරමුණ විසින් මෙහෙයවන ලද සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සිංහල සංධානය, යටත් විජිතවාදය යටතේ ඒ හා සමානවම බරපතල ලෙස උල්ලංඝනය කිරීමට භාජනය කොට තිබුනු දමිල හින්දුන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්‍ෂේප කලේය.

පෙනෙන අන්දමට සිංහල ජාතිකවාදී ආස්ථානයේ සීමාවන් පිළිබඳව දැනුවත්ව සිටි බණ්ඩාරනායක මහතා, දේශපාලන බලය අවම ලෙස විමධ්‍යගත කිරීමක් තුළින් දමිල හා මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම්වලට සරිලන ආකාරයෙන් සුදුසු සේ සැලසුම් කරන ලද දේශපාලන රාමුවක් වර්ධනය කරන්නට අදහස් කර ගෙන සිටින්නට ඇත. 1957 දී ඔහු සහ ෆෙඩරල් පක්ෂයේ නායක දිවංගත එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම (B-C Pact) අත්සන් කළහ; මෙයින් යම් මට්ටමේ ස්වාධිකාරයක් සහිතව ප්‍රාදේශීය සභාවන්ට බලය බෙදා හැරීමටත්, භාෂාව සම්බන්ධව පැවතුන ගැටළු විසඳා ගැනීමටත් අදහස් කරන ලදි.

එහෙත් ජේ ආර්. ජයවර්ධන මහතා විසින් නායකත්වය දෙන ලද එක්සත් ජාතික පක්ෂය, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම රට බෙදීමට ඉලක්ක කොට ඇතැයි යන මිථ්‍යාව පතුරවමින් එම ගිවිසුමට විරුද්ධ විය. ස්වයංපාලන දෙමළ රාජ්‍යයක් නොලැබෙන හෙයින් සමස්ත ලංකා දමිල කොංග්‍රසය (ACTC) සහ දිවංගත මහාචාර්ය සී සුන්දරලිංගම් මහතා ද එයට විරුද්ධ වූහ. මෙම කරුණ දේශපාලන අස්ථාවරත්වයට මඟ පාදමින් ඇති බවත්, ඔහුගේ ආණ්ඩුව තර්ජනයට ලක් වී ඇති බවත් වටහා ගත් බණ්ඩාරනායක මහතා ගිවිසුම ඒකපාර්ශ්විකව අවලංගු කර දැම්මේය. දමිලයෝ සිංහල නායකයන් කෙරෙහි කෙතරම් දුරට විශ්වාසය තැබිය හැකිදැයි යන ප්‍රශ්ණයට මුහුණ දුන්හ. මෙය, ප්‍රායෝගිකව, රජය සිංහල නොවන ජනයාගේ ඵල ප්‍රයෝජන නියෝජනය නොකරන්නේය යන විශ්වාසයට මං පෑදීය.

1965 දී දිවංගත අගමැති ඩඩ්ලි සේනානායක මහතා සහ දිවංගත එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම (D-C Pact) අත්සන් කළහ. එයින් යම් මට්ටමේ ස්වයං පාලනයක් සහිතව දිස්ත්‍රික් සභාවලට බලය බෙදා හැරීමටත්, භාෂාව සම්බන්ධව පැවතුන ගැටළු විසඳා ගැනීමටත් අදහස් කරන ලදි. ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ වෙනස් කළ පිටපතක් වුවද, විරුද්ධ පක්ෂයෙහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නායකත්වය දුන් ලංකා සමසමාජ පක්ෂ සහ කොමියුනිස්ට් පක්ෂ සභාගය ද එම ගිවිසුම රට බෙදීමට තුඩු දෙනු ඇතැයි යන බොරු හේතුව යොදා ගනිමින් එයට විරුද්ධ විය. නැවතත් සේනානායක මහතා ගිවිසුම ඒකපාර්ශවිකව අවලංගු කලේ ය. පසුව පැවැත්වූ සෑම මැතිවරණයකදීම විරුද්ධ පක්ෂයේ සිටියවුන් සෑම විටම රට බෙදනු ඇතැයි යන බොරු හේතුව යොදා ගෙන බලයේ සිටි ආණ්ඩු විසින් ජාතික ප්‍රශ්නය විසඳන්නට ගන්නා ලද ඕනෑම උත්සාහයක් ව්‍යර්ථ කොට දමා ඇත.

1960 උසාවි භාෂා පනත නඩු විභාග කිරීම ශ්‍රී ලංකාව පුරා සිංහලෙන් පමණක් කිරීමට ප්‍රතිපාදන සලසා දුන්නේය. 1961 දී, ෆෙඩරල් පක්‍ෂය මෙම ප්‍රතිපාදන දමිලයන් බහුල ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට එරෙහිව සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය. දමිලයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔවුන් නැඟූ සාධාරණ දුක්ගැනවිල්ල ආමන්ත්‍රනය කොට, නඩු විභාග දෙමළෙන් අසන්නට කටයුතු පිළිවෙල කරනවා වෙනුවට, දිවංගත අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය මෙම නීති පද්ධතියට පැවති සියලු විරෝධයන් ඉවත් කරන ලෙස එවකට සිටි හමුදා ප්‍රධානියා වූ මේජර් රිචඩ් උඩුගම මහතාට නියෝග කළේය. මාස කිහිපයක් තිස්සේ පොලිස් පාලනය උතුරුකරයේ පනවන ලද අතර ෆෙඩරල් පක්‍ෂ නායකයින් ගණනාවක් අත් අඩංගුවට ගන්නා ලදි.

මෙම ගැටළුව දමිළ ජනයාගේ මූල්‍ය සුරක්‍ෂිතතාවය කෙරෙහිද බලපෑවේය. සිංහල භාෂාව ඉගෙන නොගත් දමිලයන්ට රාජ්‍ය සේවයේ උසස්වීම් සහ වැටුප් වැඩිකිරීම් ප්‍රතික්‍ෂේප කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු බොහෝ දෙනෙක් කලින් විශ්‍රාම ගත්හ. මෙය දමිල ජනප්‍රජාව කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කලේය. හැත්තෑ ගණන්වල අවසානය දක්වා ආණ්ඩුව දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල සේවයෙහි යොදවන්නට පොලිස් බලකායට දමිලයන් බඳවා ගත්තේය. එහෙත් 1977 පටන් බොහෝ දමිලයන් සේවයෙන් පහ කොට, වැඩි වශයෙන් සිංහල පොලිස් නිලධාරීන් මෙම ප්‍රදේශවල සේවයේ යොදවා ඇත. ඒ අනුව, නිලතන්ත්‍රයේ සේවය කළ දමිලයන්ගේ ප්‍රමාණය 1956 දී සියයට 30 සිට 1970 දී සියයට පහ දක්වා පහත වැටී තිබිනි. සන්නද්ධ හමුදා තුල 1956 දී සියයට 40 සිට 1970 දී සියයට එකක් දක්වා වැටීම, වඩාත් නරක වූයේය.

1970 ගනන්වල ආණ්ඩුවේ ප්‍රතිපත්ති රාමුව (මේ ලිපි මාලාවේ කලින් සාකච්ඡා කර ඇති පරිදි) විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී සිංහලයන්ට වාසිදායක විය. මෙය දමිල ජනප්‍රජාව තුළ මහත් වේදනාවක් ඇති කළේය. 1972 මැයි මාසයේදී ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලදි. එය, ජනතාව මත ඒකාධිකාරී ලෙස පනවන ලද ඒකීය රාජ්‍යයේ කෘතිම යටත් විජිතවාදී ව්‍යවස්ථාමය නිර්මිතය එලෙසම පවත්වා ගත්තේය. එය, සිංහල භාෂාවට විශේෂ තත්වයත් වරප්‍රසාදත් පිරිනැමුවේය. ඊට අමතරව එය, බහුතරය නොවන ජනප්‍රජාවන්ගේ අයිතීන් සම්බන්ධයෙන් අඩු තරමින් නාමික ආරක්‍ෂාව පිළිබඳ හැඟීමක් හෝ ඉදිරිපත් කළ 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 (2) උප වගන්තිය අහෝසි කර දැම්මේය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, බුද්ධාගමට “ප්‍රමුඛස්ථානය” සහතික කිරීමත් සමඟ ලෞකික රාජ්‍යයක් පිළිබඳ සංකල්පය අත්හැර දමන ලදි. මෙය සිංහලයන් හා දමිලයන් අතර ධ්‍රැවීකරණය තවත් වැඩි කර ලීය. 1972-1977 කාලය අතරතුර කෙටි කාල වකවානුවලට උතුරේ මිලිටරි පාලනය ස්ථාපිත කරන ලදි. ආණ්ඩුවේ ජාතිවාදී හා පීඩාකාරී පිලිවෙත්වලට දමිල ප්‍රතිචාරය ප්‍රචණ්ඩකාරී බවට හැරෙමින් තිබූ බවට පළමු ලකුණු පහළ වුනි. මෙම කාලසීමාව ආණ්ඩුවට පක්ෂපාතී දේශපාලනඥයන් ඝාතනයට ලක් කරනු දුටුවේය. ආණ්ඩුවේ ජාතිවාදී පිලිවෙත්වලට එරෙහිව පිකට් කරන ලද දමිල ශිෂ්‍යශිෂ්‍යාවන් අත් අඩංගුවට ගෙන, වධබන්ධන පමුණුවා, දිගු කලක් තිස්සේ රඳවා තබා ගන්නා ලදි. 1977 ජුලි මාසයේ දී, එක්සත් ජාතික පක්‍ෂය පෙර නොවූ විරූ පාර්ලිමේන්තු ජයග්‍රහණයක් අත් කර ගත්තේය. දමිල එක්සත් විමුක්ති පෙරමුණේ දිවංගත ඒ අමිර්තලිංගම් මහතා දමිල ජනප්‍රජාවෙන් පැමිණි එකම පළමු විපක්ෂ නායකවරයා බවට පත් විය. ආසන්න වශයෙන් මසකට පමණ පසු, දමිළයන් සිය ගණනනකට මරු කැඳවා, දහස් ගණනකට නිවාස අහිමි කරමින් දකුණේ පුළුල්ව පැතිර ගිය දමිල විරෝධී කලකෝලාහල හට ගත්තේය.

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කම් කිරීමේ විධිවිධාන රඳවා ගත්තා පමණක් නොව, මුලුමණින් මධ්‍යගත කරන ලද අත්තනෝමතික විධායක ජනාධිපති ධුරයක් වෙත මඟ පාදමින් සියලු විමධ්‍යගත තීරණ ගැනීමේ බලයද ඉවත් කර ගත්තේය. දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මාස තුනක් ඇතුළත උතුරේ සියලුම දෙමළ විරෝධතාවයන් ඉවත් කරන්නට බ්‍රිගේඩියර් තිස්ස​ වීරතුංග මහතාට නියෝග කළේය. පළමුවැනි වතාවට ඇතැම් විට බාගෙට පුළුස්සා දමන ලද ශරීර කොටස් සහ වෙන් කරන ලද අවයව සහිත දමිල තරුණතරුණියන්ගේ මළ සිරුරු උතුරු පළාතේ දිස් වන්නට පටන් ගත්තේය. ජේ ආර් ගේ ඉවත් කර දැමීමේ ප්‍රකට පළමුවැනි නියෝගය (පසුව එවැනි තවත් නියෝග බොහොමයක් නිකුත් කරන ලදි.) කැටුව යන ඛේදජනක ප්‍රතිවිපාකත් සමඟ දෙමල සටන්කාමීත්වයේ නැගීටීමට මඟ පාදා ලීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා නීති රීති සම්පාදනය කිරීමේ නාමයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වගකීමෙන් මුක්තිය ලබාදීමේ පනත වැනි මර්දනකාරී අණපනත් සම්මත කර ගන්නා ලදි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද බොහෝ සංශෝධන, රාජ්‍යය වැඩි වැඩියෙන් මධ්‍යගත කොට, ඕනෑම විරෝධතා ස්වරූපයක් මර්දනය කොට දැම්මේය. ආරක්ෂක හමුදා සහ නීතිය ක්‍රියාවේ යොදවන ආයතන, නීතිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් අඩුවෙන් වග කියන්නට සලස්වන ලද මුත්, වඩා වැඩියෙන් වගකිව යුතු වූයේ දේශපාලනඥයින් නිරුපද්රිත ලෙස බලයේ තබා ගැනීම සම්බන්ධයෙනි. ආරක්‍ෂක බලකායෝ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන, දේශපාලනඥයින් සහ ආරක්‍ෂක හමුදා විසින් කරනු ලබන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වසං කර දමන ලදි. සියලුම ආකාරයේ වධ හිංසා පැමිණවීම් සහ අතුරුදහන් කිරීම් නීත්‍යානුකූල බවට පත් විය. අධිකරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව තීන්දුවක් ලබා දුන්නේ නම් ආණ්ඩුව වැරදිකරුවන් කරන ලද අයට උසස් වී‍‍ම් ලබා දෙන්නට හෝ ඔවුන්ට එරෙහිව පනවා තිබුනු දඩ මුදල් ගෙවා දමන්නට හෝ ඔවුන්ට මූල්‍යමය දිරිගැන්වීම් සහ ශ්රේණියේ උසස් වීම් පවා ලබා දෙන්නට හෝ පියවර ගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නායකත්වය දුන් ලසසප සහ කොප සභාගයට අත් වූ අන්ත පරාජයත් සමඟ, දමිල එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්‍ෂය බවටත් දිවංගත ඒ අමිර්තලිංගම් මහතා විරුද්ධ පක්‍ෂයේ නායකයා බවටත් පත් විය. අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතා සහ තවත් අයගේ අධීක්‍ෂණය යටතේ 1981 වසර, උතුරේ දමිල ජනතාවගේ සංස්කෘතික උරුමය, යාපනය පුස්තකාලය ගිනිතැබීමට සාක්ෂි දැරීය. ඝාතන, අත් අඩංගුවට ගැනීම්, කොල්ලකෑම් සහ දේපල විනාශ කිරීම් විශ්මය ජනක ලෙස වැඩි විය. රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දී සිටීම හමුවේ, දමිල එක්සත් විමුක්ති පෙරමුණ දෙමල තරුණයන්ට සාමකාමි විරෝධය පෑම සඳහා කරන ලද ඉල්ලීම් වලින් පලක් වූයේ නැත.

තවද, 1983 කළු ජුලි කෝලාහල, වඩාත් නරක අතට හැරෙමින් තිබුන සන්නද්ධ ගැටුමේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වූයේය. කෝලාහල පොළඹවාලූවන් අතර ආණ්ඩුවේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා වූහ. උතුරේ එල්ටීටීඊය විසින් සොල්දාදුවන් දහතුන් දෙනෙක් මරා දැමීම විසින් ජනිත කරවන ලද දමිල විරෝධී කැරලි හේතුවෙන් සිය ගණන් දමිලයෝ මරණයට පත් වූහ. ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් ඇති කර ගන්නට ජනාධිපති ජයවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ නොහැකියාව හෝ අකැමැත්ත විසින් ඉන්දියාව අර්බුදයේ කේන්ද්‍රස්ථානය වෙත ගෙනඑන ලදි. වාර්තාවලට අනුව, අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ පාලන සමයේදී ඉන්දියාව දමිල සටන්කාමීන් සඳහා පුහුණු කඳවුරු පිහිටුවා ලන්නට අනියම් ලෙස අවසර දී තිබුණි.

කැරලි හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ය ශක්තිය හා සටන්කාමිත්වය අතින් අති මහත් වේගයකින් වර්ධනය විය. කැරලිවලින් පසු වහාම, 1983 අගෝස්තු මාසයේ දී පනවන ලද ව්‍යවස්ථා සංශෝධනයකින් ඕනෑම හැඩයකින් හෝ ස්වරූපයෙකින් බෙදුම්වාදය වෙනුවෙන් කථා කිරීම තහනම් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දමිල එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) මන්ත්‍රීවරු සියලු දෙනාම මුලුමනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලදි. ජයවර්ධන පාලන තන්ත්‍රයේ මේ අත්තනෝමතික පියවර දමිලයන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලණ නියෝජනය අහිමි කර දැම්මා පමණක් නොව, ඉදිරියට යාමට ඇති එකම මාවත සන්නද්ධ අරගලය පමණක් බවට දමිල තරුණයන් තුළ තිබූ විශ්වාසයද තහවුරු කලේය.

අප, නිදහස ලබන කාලයේදී අපේ තත්වය සිංගප්පූරුව සමඟ සංසන්දනය කළහොත්, සිංගප්පූරුව අපට වඩා ගැටලු බොහොමයකට මුහුණ පා තිබුනේය. දිවංගත ආරම්භක අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ දිගුකාලීන දැක්ම සහ නායකත්වය යටතේ සිංගප්පූරුව කුසලතා තන්ත්‍රයක් (meritocracy) සහ රාජ්‍ය භාෂා ලෙස ඉංග්‍රීසි, දෙමළ, මැලේ සහ සම්මත මැන්ඩරින් පිළිගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. දශකයක කාලයක් තුල සිංගප්පූරුව සංවර්ධිත ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ළඟා වූයේය. ඇතැම් අවස්ථාවලදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනප්‍රිය නොවූ නමුත්, යම්කිසි එක් ජනවාර්ගික ප්‍රජාවක ඕනෑ එපාකම් වලට වඩා දිවයිනේ සාකල්‍ය ඕනෑ එපාකම් හදවතේ රඳවා තබා ගන්නා ලදි. ශ්‍රී ලංකාවේ සිදු වූයේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයයි. අනෙකුත් ජනප්‍රජාවන්ගේ ඕනෑ එපාකම් නොසලකා හරිමින් “සිංහල පමණක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදි. එය ඌණතාවයක් ඇති කළා පමණක් නොව සිංහල කතා කරන ජනප්‍රජාවට බොහෝ අවස්ථාවන් මෙන්ම ඔවුන්ට සමාජමය වශයෙන් ඉහළට ගමන් කරන්නට තිබුනු නම්‍යශීලීභාවයද අහිමි කර දැම්මේය. ඉන්දියාව ජාතික භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව පවත්වා ගත්තේය. ජනවාර්ගිකත්වයන් සහ භාෂාවන් සමුදායක් අතර සන්නිවේදන බාධකයන් ජයගැනීමේ ලා ඉන්දියාව දිගටම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියි.

අවසානයේදී‚ 1978 ව්‍යවස්ථාවට 1987 දී කරන ලද 13 වැනි සංශෝධනය මගින් සිංහල රටේ රාජ්‍ය භාෂාව වන අතර දමිල රාජ්‍ය භාෂාවක් ලෙස ප්‍රකාශයට පත් කලේය. එහෙත්, වෙනස්කම් කිරීමේ දේශපාලනය දශක ගණනාවක් තිස්සේ කර තිබෙන හානිය, වේදනාව සහ දුර්භාග්‍යය නොනැසී පවතී. එ් ඇරත්, දමිල රාජ්‍ය භාෂාවක් ලෙස පිළි ගැනීමත් එය භාවිතාවේ දී අව්‍යාජ ලෙස ක්‍රියාවට නංවාලීමත් අතර විශාල වෙනසක් පවතී. මෙම පරතරය පුරවා ලීම සඳහා රාජ්‍ය සේවය පුරාම ආයතනගත විධිවිධාන වර්ධනය කිරීමත් ඒවා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු නියාමන පරිසරයක් සපයා දීමත් අවශ්‍ය කරයි.

පළාත්, දිස්ත්‍රික්ක හෝ සභාවලට කරන කවර ආකාරයේ බලය බෙදීමක් වුව වෙනම රාජ්‍යයකට මං පාදනු ඇතැයි යන ව්‍යාජ උපකල්පනය මත, ලංකාවේ දමිලයන් බහුලව සිටින ප්‍රදේශවල පවා, දමිල භාෂාව සාධාරණ ලෙස භාවිතා කිරීම හෝ “රාජ්‍ය භාෂාවක්” ලෙස පිළිගනු ලැබීම වැළැක්වීම සඳහා දශක දෙකහමාරක් තිස්සේ බොහෝ සේ ලේ වගුරුවා තිබේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමිනුයි, සමස්ත ලංකා දමිල කොංග්‍රසයේ 50ට 50 ඉල්ලීම සැලකිල්ලට ගත යුත්තේ.

*මතු සම්බන්ධයි….

[1] බර්තොලමියුස් ටී ජේ සහ ද සිල්වා සී ආර් 1998, ශ්‍රී ලංකාවේ බෞද්ධ මූලධර්මවාදය සහ සුළු ජාතීන්ගේ අනන්‍යතා, 12-13, සුනී ප්රෙස්.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.