මෙවර මා සෙමින් සැරේ ලියන්නේ ලංකාව ගැන අලූත් පොතක් ගැනයි. ශරදා නායක් විසින් ලියන ලද ඒ පොතේ නම රාජ් ඒජන්ට් ඉන් සිලෝන් වේ. එය ලංකාවේ වතු කම්කරු දෙමළ ජාතිකයන් කේන්ද්‍ර කරගෙන ලංකාව සහ ඉන්දියාව අතර විසි වැනි සියවසේ මුල පැවති දුෂ්කර සම්බන්ධතාව ගැන ශාස්ත‍්‍රීය පර්යේෂණයකි. මෙය පසුගිය සතියේ කොළඹ ගිය වෙලේ මිලට ගන්නට සිතා සිටියත් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ එවැනි පොත් දුලභය. අනික ඒ ප‍්‍රදර්ශනය පොතක් පතක් නිවිහැනහිල්ලේ පෙරලා බලා තෝරාගත හැකි තැනක් නොවේ.
නිදහසින් පසු ඉන්දියාවේ පුරවැසි භාවය ලැබිය යුත්තේ කාටද යන්න විවාදාත්මක ප‍්‍රශ්නයක් විය. පුරවැසිභාවය තීරණය කිරීම ආදිය සම්බන්ධයෙන් තීරණාත්මක චරිතයක් වූ ආචාර්ය අම්බෙඞ්කර් ඒ වනවිට ඉන්දියාවෙන් පිට විසූ ඉන්දියානුවන්ට පුරවැසිභාවය දීමට විරුද්ධ විය. සිංහල ජාතිකවාදී නායකයනුත් ඉන්දියානු වතුකම්කරුවන් ගැන දැක්වූයේ නොනැමෙන ආකල්පයකි.
රාජ් ඒජන්ට් ඉන් සිලෝන් නම් කෘතියේදී අධ්‍යයනය කෙරෙන්නේ 1936-40 කාලයේ ලංකාවේ සේවය කළ ඉන්දියානු ඒජන්තවරයා(ඉන්ඩියන් ඒජන්ට්) වූ විතල් පායිගේ වෘත්තීය ජීවිතයයි. ඔහු වතුකරයේ ඉන්දීය කම්කරුවන්ගේ දුක්ඛිත තත්ත්වය වෙත බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අවධානය යොමු කරන්නට තැත් කළේය. ඒ අතර සිංහල ජාතිකවාදීන්ට මුහුණ දෙන්නටද සිදු විය. මේ පොත ලියන ශරදා නායක් අන් කවරෙකු වත් නොව විතල් පායි හෙවත් ඒවී පායිගේ දියණියයි.
බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාවේ කඳුකරයට ගෙනැවිත් අත් හරින ලද මේ කම්කරුවන් ගෙව්වේ පුදුමාකාර පීඩිත ජීවිතයකි. එය වහල්භාවයට කිට්ටු වූවකි. 1928 වන විට ඉන්දීය වතුකම්කරුවන්ගෙන් සියයට 50ක් විතරවත් ස්ථිරව ලංකාවේ පදිංචි වී ලංකාවේ කඳුකරය තේ යායවලින් වසා දමන්නට දායක විය. ඒ බව ඩොනමෝර් කොමිසම පිළිගත්තේය. 1939 දී එම ප‍්‍රතිශතය සියයට 60ක් පමණ වූ බව ජැක්සන් වාර්තාවේ එයි. සොල්බරි වාර්තාව අනුව ඒ ප‍්‍රතිශතය සියයට 80ක් පමණය. එයින් පෙනෙන්නේ ලංකාවේ රස්සාව කර නිවාඩුවට හෝ විශ‍්‍රාමයට ගෙදර යාමේ සිරිතක් දෙමළ කම්කරුවන් තුළ පැවතියේ නැති තරම් බවය. බි‍්‍රතාන්‍යයන් මුල සිටම සිතුවේ මේ කම්කරුවන්ද තමන්ගේ අධිරාජ්‍යයේ යටත් වැසියන් බැවින් ඔවුන් පුරවැසිකම්ද අනිකුත් නීතිමය අයිතීන්ද තිබිය යුතු බවයි. එහෙත් තේරුම් ගත හැකි ලෙසම සිංහල ජාතිකවාදී නායකයෝ එසේ නොසිතූහ.
මේ නිසා ඉන්දියාව, ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර ඒ කාලයේ ඇති වූයේ සංකීර්ණ සංවාදයකි. මෙම කෘතිය ඒ සංකීර්ණතාව වටහා ගැනීමට උදව්වන පොතකි. ඒ නිසා දෙමළ සහ සිංහල ජාතිකවාදයන්ගේ ස්වභාවය වෙතද එළියක් සපයන කෘතියකි.
ඉන්දියානු දෙමළ කම්කරුවන් ගැන සිංහල ජාතිකවාදීන්ගේ එක් විරෝධයක් වූයේ ඔවුන් විශාල මුදලක් ඉන්දියාවට යැවීම ලංකාවට පාඩුවක්ය යන්නය. එකල ලංකාවේ ඉන්දීය ඒජන්තවරයා මේ කම්කරුවන් විසින් ඉන්දියාවට යවනු ලබන මුදල් කොපමණද යන්න තැපැල් දෙපාර්තනමේන්තුවේ මනි ඕඩර් ඇසුරින් සොයා බැලූවේය. යවා ඇති ඇත්ත මුදල එක් කම්කරුවෙකුට රුපියල් දහයකි. අවුරුද්දකට රුපියල් දහයකි. ඒ කංකානිලා ඉන්දියාවට යැවූ මුදලත් ඇතුළුව ගණන් බැලූ කලය. එක් කම්කරුවෙකු මාසෙකට සත අසූවකට වඩා ඉන්දියාවට යවා නැත. ඒ කම්කරුවන්ට සල්ලි ගොඩක් ඉන්දියාවට යවන්නට තරම් පඩියක් නොලැබුණු බැවිනි. එහෙත් ඉන්දියානු විරෝධයත් දෙමළ විරෝධයත් බි‍්‍රතාන්‍ය විරෝධයත් එකට ඇනී සැදුණ සිංහල ජාතිකවාදී කතිකාව තුළ ඒ මුදල විශාල ධන සම්භාරයක් සේ ඉදිරිපත් කෙරිණ. එදත් අදත් ජනප‍්‍රිය දේශපාලන කතිකාවල සැටි එසේය.
මේ කාලයේ ඉන්දීය කම්කරුවන්ගේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කරන්නට ජවහර්ලාල් නේරුද ලංකාවට ආවේය. මේ කම්කරුවන්ගේ දුක්ඛිත තත්ත්වයද බි‍්‍රතාන්‍යයන් ඔවුන්ට සැලකූ කුරිරු ආකාරයද නේරුගේ අවධානයට ලක් විය. එසේම සිංහල නායකයන්ගේ අනම්‍ය ස්වභාවයද නේරු දැක්කේය. නේරු ඉන්දීය කොංග‍්‍රසයේ සභාපතිවරයාට ලියූ වාර්තාවේ මෙසේ ලිව්වේය:
“බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය මැකී යන විට ලංකාව යනු ඇත්තේ කොහිද? අඩුතරමින් ආර්ථික වශයෙන් වත් වඩා විශාල රටවල් සමග කටයුතු කරන්නට ලංකාවට සිදු වනු ඇත. ඉන්දියාවට ඊට ඇතුළත්ය. මේ නිසා ලංකාවේ සිටින බොහෝ නායකයින් ලංකාව සහ ඉන්දියාව අතර බාධක ගොඩනැගීම අවසනාවන්තය. එළඹෙන අනාගතයේදී ඉන්දියාවට ලංකාව නැතිව කටයුතු කළ හැකි වෙතත් ලංකාවට ඉන්දියාව නැතිව බැරි බව ලංකාවේ නායකයන් වටහා ගන්නා බවක් නොපෙනීම අවසනාවන්තය.”
මේ ලියන්නේ තව අවුරුදු දහයකටත් අඩු කාලයකදී ඉන්දියාවේ අගමැති වන ශ‍්‍රී නේරුය. 1964 දක්වාම අගමැති පුටුවේ ඉන්නට යෙදුණ ශ‍්‍රී නේරුය.
නේරුගේ මේ ප‍්‍රකාශයෙන් පෙනෙන්නේ ලංකාව ආර්ථික වශයෙන් ඉන්දියාව මත රඳා සිටිනු ඇතැයි යන ඉන්දියානු කේන්ද්‍රවාදයක් විය හැකිය. එසේම ඉන් ඇ`ගවෙන්නේ දකුණු ආසියානු කලාපීය සහයෝගයේ වැදගත්කම ගැන නේරුගේ අවබෝධයද විය හැකිය. කෙසේ වෙතත් ඉන්දියාව සම්බන්ධයෙන් ප‍්‍රඥාවන්ත ලෙස කටයුතු කරන නායකයන් බිහි කිරීම යනු ලංකාවේ ජනතාව එතරම් දක්ෂකම් දැක්වූ කාර්යක් නොවේ. නේරු ලංකාව සම්බන්ධයෙන් දැක් වූ ආකල්පයේ මූලික ස්වභාවය සකස් වූයේ රාජ් ඒජන්ට් ඉන් සිලෝන් නම් කෘතියට විෂය වන කාලය තුළදීය. එනම් 1936-40 කාලයේය. ඒ නිසා මේ කෘතිය කියවන කල පශ්චාත් යටත් විජිත ලංකාවේ සිදු වූ බොහෝ දේවල් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.
මේ කෘතියේ විස්තර වන වතුකම්කරුවන් වහල්භාවයට කිට්ටු ජීවිතයක් ගෙවමින් රටක් නැති ජනතාවක් සේ 1988 වන තෙක් සිටියහ. ඒ වසරේදී ඒ පිරිස වෙත පුරවැසිභාවය ප‍්‍රදානය කෙරිණ.
මේ කෘතිය පිටු 132ක කුඩා පොතකි. එහෙත් අපේ ඉතිහාසයේ ඉතා තීරණාත්මක වසර හතරක් ගැනත් ආදර්ශවත් සිවිල් සේවකයෙකු ගැනත් මේ කෘතියේ එන්නේ අපූරු විස්තරයකි. ඉතිහාසයේ විවිධ අවස්ථා ගැන යළි සිතමින් ඒවායෙන් නැවත උගනිමින් වඩා යහපත් සමාජයක් කරා අප යන ගමනට මෙවැනි පුංචි පොතකින් වුවත් සැපයිය හැක්කේ පුදුම ආලෝකයකි.