27 April, 2024

Blog

‘කොවිඩ් භූමදාන’ ප්‍රශ්නය මාලදිවයිනට ‘අපනයනය’ කිරීම: එය ලබා දී ඇති විකල්පයන්ගෙන් කිසිවක් තෝරානොගෙන සිටීම සඳහා ද, නැතහොත් උද්ගතව ඇති ප්‍රශ්නය වෙනතකට හැරවීමේ උත්සාහයක් ද?

ලුක්මාන් හරීස් –

ලුක්මාන් හරීස්

අසහනය ඉවසා සිටීමෙන් මර්දනය සක්‍රීය වේ.” ― ඩෂෑන් ස්ටෝක්ස්

කොවිඩ් ආසාදනය වී මිය යන සිය ප්‍රජාවේ සාමාජිකයන්ව භූමදාන කර ඔවුන්ට යුක්තිය ඉටුකිරීමේ අරගලය පිළිබඳව මුස්ලිම් ප්‍රජාව බලාපොරොත්තු අත්හරිමින් සිටී. මෙය මුළු මුස්ලිම් ප්‍රජාවටම කම්පනය දනවන අවස්ථාවකි. ඔව්! කම්පනය කෙසේ වෙතත්, වර්තමානයේ පමණක් නොව, මතු එළඹෙන පරම්පරා සඳහා ද මින් බරපතල බලපෑම් ඇති විය හැක. රජයේ අදාළ තීරණයට එරෙහිව ගතහැකි සියලුම නෛතික ක්‍රියාමාර්ග මෙරට ඉහළතම අධිකරණය විසින් අවහිර කර ඇති අවස්ථාවක, සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පශ්චාත් ‍යුද සමයේ සිට රජයේ අනුමැතිය ලබමින් ඔඩුදුවන ජාතිවාදී ඉතිහාසයක් තිබෙන පසුබිමක් තුළ යුක්තිය පිළිබඳ වඩා හොඳ හෝ ශක්තිමත් සංවේදනයක් සඳහා වූ හඬගෑම් නෑසූකන්ව, නිහඬ කෙරෙන අවස්ථාවක, දැඩි සේ පීඩනයට ලක්කෙරෙන මුස්ලිම් ප්‍රජාවට තවත් උභතෝකෝටිකයකට මුහුණ දීමට සිදුව තිබේ – එනම්, විදෙස් රටක ඉඩමක මිහිදන් වෙම් ද, නොවෙම් ද යන්නයි! ආණ්ඩුව මුස්ලිම්වරුන්ට මේ අවස්ථාවේ ලබාදෙන්නේ ලබා දී ඇති විකල්පයන්ගෙන් කිසිවක් තෝරානොගෙන සිටීම සඳහා වූ විකල්පය ද, නැතහොත් මුස්ලිම්වරුන්ව කොන්කිරීම අරමුණු කොටගත් ඔවුන්ගේ පැහැදිලි න්‍යායපත්‍රය වෙත අවධානය යොමු නොවීම පිණිස උද්ගතව ඇති ප්‍රශ්නය වෙනතකට හැරවීමේ උත්සාහයක් ද?

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ ඉල්ලීමක් මත, COVID-19 ආසාදිතව මියගිය ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවගේ දේහයන් මුස්ලිම්වරුන්ගේ පාරම්පරික චාරිත්‍රානුකූලව සිය දූපත් රාජ්‍යයේ ඉඩම්වල මිහිදන් කිරීම සඳහා මාලදිවයින් ආණ්ඩුව නිර්ලෝභීව ඉදිරිපත් විය. නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දිගුකාලීනව පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා මත පදනම්ව, සහ ගෝලීය වසංගතය නිසා උද්ගතව ඇති අභියෝගවලට මුහුණදීම සඳහා උපකාරී වනු පිණිස මෙම තීරණය ගත් බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ ඉල්ලීමේ ප්‍රායෝගික බව ගැන නිර්ණය කරන ලෙස සහ ඊට අවශ්‍ය මාර්ගෝපදේශ වැඩිදියුණු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කොට ඇති බවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් උපුටාදක්වමින් ප්‍රකාශ වී තිබුණි. 

මේ ආමන්ත්‍රණය මාලදිවයින් ආණ්ඩුවට ය! ඔබේ සහෝදරාත්මක හැඟීම් සහ සංවේදන පිළිබඳවත්, කෝවිඩ් ආසාදිතව මියගිය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දේහයන් භූමදාන කිරීම සඳහා ඔබ විසින් දැක්වූ අනුග්‍රහයත් පිළිබඳවත් අපි මුස්ලිම්වරු වශයෙන් ස්තුතිවන්ත හා අතිශයින්ම කෘතඥ වෙමු. එය අනිවාර්යයෙන්ම ප්‍රශංසනීය ය. කෙසේ වුවත්, එවැනි ප්‍රශංසනීය චේතනාවෙන් ප්‍රකාශ කෙරුණු ඉඟිය හරහා (ප්‍රකාශ කළ ආකාරයෙන්ම) දිගුකාලීන වශයෙන් ‘ලාංකික මුස්ලිම් ප්‍රජාවට උපකාරයක් වේ ද’ යන්න, හා ඔවුන්ගේ මාතෘ භූමිය තුළ ගෞරවාන්විත පුරවැසියන් ලෙස සැලකීමට ලක්වීම පිණිස යුක්තිය ලබාගත හැකි වේ ද යන්න වෙනමම මාතෘකාවට බඳුන් කළ යුතු කරුණකි. එය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ සිය අයිතීන් හා අනන්‍යතාව රැකගැනීම සඳහා ප්‍රජාව කොතරම් ඔරොත්තු දේවිදැ’යි සැබැවින්ම උරගා බැලෙන පරීක්ෂාවක් ද වීමට ඇත්තේ විශාල හැකියාවකි! 

මාලදිවයිනේ විදෙස් අමාත්‍යවරයාගේ ට්වීට් පණිවිඩයෙන් පැවසෙන පරිදි සිය ආදරණීයයන් භූමදානය කිරීමට නොහැකි වීම පිළිබඳව දුක්වෙන අපේ ශ්‍රී ලාංකික මුස්ලිම් සොයුරුසොයුරියන්ට අස්වැසිල්ලක් ලබාගැනීම පිණිසඋද්ගතව ඇති ගැටලුව කෙටිකාලීන වශයෙන් විසඳීම සඳහා මේ තීරණය බලපානු ඇතැ’යි බැලූ බැල්මට පෙනී යනු ඇත. කෙටිකාලීන වශයෙන් ගත් කල, සමහර නිලධාරීන් පෙන්වා දුන් ආකාරයට, කෝවිඩ්-ආසාදිත මෘතදේහ ආරක්ෂිත ලෙසින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් උද්ගත වන සමහර ගැටලු විසඳා ගැනීම අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ ගුවන්සේවා කිසිවක් එලෙස මෘතදේහ ප්‍රවාහනය සඳහා භාරනොගන්නා අතර, දේහයන් නැව් මාර්ගයෙන් ගෙනයාම ද භූමදානය කිරීමේ ප්‍රායෝගික අසීරුතා හා ප්‍රමාදයන් සඳහා හේතුකාරක වනු ඇත. කෙසේ වුවත්, එවැනි ප්‍රශ්න විසඳුනද, මේ සියලු ක්‍රියාදාමයන් අතර සම්පූර්ණයෙන් නොතකා හැරුණු කාරණාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රධාන ප්‍රශ්නයෙන් පිට පනින්නට දරන උත්සාහයයි: කෝවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීම අනුමත කරමින් 182කටත් වැඩි රටවල් ගණනක ක්‍රියාත්මක කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිය ආදරණීයයන් මිහිදන් කිරීම සඳහා දුකින් පීඩිතව සිටින පවුල්වලට අවසර ලබාදිය නොහැක්කේ මන්ද? මුළු ලොවටම රහසක්ව ඇති අදාළ විද්‍යාත්මක සාක්ෂි සමස්ත ජාතිය ඉදිරියේ පැහැදිලිව පෙන්වාදිය නොහැක්කේ මන්ද? ඔප්පු කරන ලද විද්‍යාත්මක සාක්ෂි උපුටාදක්වමින් ස්ථාවර පිළිතුරු සැපයිය නොහැකි නම්, සීතාම්බර සළුවලින් සියොළඟම වසාගැනීමට උත්සාහ දැරීම පාලකයන්ගේ ඔළමොට්ටළ බව ප්‍රකට කරයි – ඒ, ඔවුන් ද පැහැදිලි බහුතරවාදී ජනවරමක් ලබාදුන් ඡන්දදායක පිරිසක් සතුටු කිරීම පිණිස මුරණ්ඩු ලෙසින් රාජ්‍යය විසින් අපරානුමත කළ ජාතිවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෝ වීම නිසා ය! 

කෝවිඩ් ආසාදිත වේවා හෝ නොවේවා, ශ්‍රී ලංකාවේ මායිම් තුළ මරණයට පත්වන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට සිය මාතෘභූමිය තුළ මිහිදන් වීමේ අයිතිය ඇති බව අවබෝධ කරගැනීම සඳහා සංකීර්ණ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. කෙනෙකු පිටරටකදී මියගොස් සිටින විටදී ද, දුරු ඈත රටක තමන්ට හුරුපුරුදු නොවන ක්‍රමයකට මැදිව සිටිමින්, එම මෘතදේහය මව්රටට ගෙන ආ හැකි සෑම උත්සාහයක්ම දරන අතර, ඒ සියල්ල හරහා වියෝග වේදනාවේ ආතතිය තවත් වර්ධනය විය හැක. එනයින්, ගෞරවාන්විත ආකාරයකට සිය ආදරණීයයන්ට සමුදීමට පවුලේ ඥාතීන්ට ප්‍රායෝගිකව ඉඩහසර ද නොලැබෙන තත්ත්වයක් තුළ, එම මෘතදේහ භූමදානය සඳහා දුරු ඈත රටකට යැවීමේ සිතිවිල්ල ද විකාරසහගත විහිළුවකි. ගමනාගමනය සඳහා වන පිරිවැයට අමතරව, එම භූමදාන බිම්කඩ අදාළ පවුලේ සාමාජිකයන්ට අමුතු, තමන්ට අයිතිවාසිකමක් නොමැත්තක් ලෙස දැනෙනු ඇත. එවැනි තත්ත්වයක් තිබියදී, සිය රට තුළදීම මියයන ආදරණීයයෙකුගේ මෘතදේහය වෙනත් රටකට ඇසුරුම් කර යැවීම නිසා, අදාළ භූමදානය සිදුකරන රට කොතරම් සාදර පිළිගැනීමක් පෑවද, දුකට පත්ව සිටින පවුලකට ඇති කරන අහිමි වීමේ ආතතිය ඔවුන් දරාගන්නේ කෙසේද? ආණ්ඩුවේ ඉහත කී අත්තනෝමතික හා අමානුෂික ‘බලහත්කාරී ආදාහන’ ප්‍රතිපත්තිය නිසා අතිශයින්ම ආතතියට ලක්ව සිටින, දැඩි සේ මර්දනයට ලක්කෙරෙන ප්‍රජාවකට සිදුකෙරුණු අනර්ථයන්ට ඉන් අමතර නින්දාවක් ද ගෙනදෙන අතර, පසුගිය වසරේ අප්‍රේල් මස සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් ඇති වූ ඛේදවාචකය නිසා වර්ධනය වන ඉස්ලාම් භීතිකාව ද මෙහි පසුබිමින් තිබීම කැපීපෙනෙයි. 

මෙහිදී මාලදිවයිනේ මැදිහත්වීම අගය කළ හැකි වුවත්, ශ්‍රී ලංකාවට පිටත රටක කෝවිඩ් ආසාදිත මෘතදේහ මිහිදන් කිරීමට අවසර ලබාදීම මඟින්, අදාළ ප්‍රජාවන්ගේ අනාගත තත්ත්වය හා අනන්‍යතාවට එරෙහිව අනිවාර්ය අවදානමක් ඇති කළ හැකි බවට අනතුරු ඇඟවෙනු ඇත. – විශේෂයෙන්ම, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අනුශාසනා ඇතිව ක්‍රියාත්මක වන මැරයන් හෝ මදාවියන් වැනි භික්ෂූන් වහන්සේලා නායකත්වය දෙන වෛරී කණ්ඩායම් සහ සමහර මාධ්‍ය මඟින් මෙරටේ අන්‍ය ජාතිකයන් හා පිටස්තරයන් ලෙස දිගුකාලීනව ප්‍රක්ෂේපනය කිරීම නිසා මේ තත්ත්වය තවත් බරපතල වී දිස් වේ. වර්තමානයේ දී අනතුරුදායක ප්‍රජාවක් ලෙස ප්‍රක්ෂේපනය කෙරෙන්නේ ද, ආණ්ඩුවේ වෙනස්කොට සලකන ප්‍රතිපත්තියේ සෘජු වින්දිතයන් වී සිටින්නේ ද මුස්ලිම් ප්‍රජාව බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආගමික සහ සංස්කෘතික අයිතීන් පාගාදැමීමට ඉඩහසර සැලසෙන තරමට තමන් මෙරට දෙවැනි පෙළ පුරවැසියන් බව එම ප්‍රජාව වක්‍රාකාරයෙන් හඟිනු සහ පිළිගනු ඇත. කෙටියෙන් පවසන්නේ නම්, භූමදානය සඳහා වූ අයිතිය ඉල්ලාසිටීමට තරම්වත් අයිතියක් තමන්ට නැති බව ඔවුන් පිළිගනු ඇත. මුස්ලිම්වරු මෙරටට අයත් නොවන බව කියන ජාතිවාදී ප්‍රකාශයන් ද මෙමගින් තහවුරු කෙරෙනු ඇත. එබැවින් මේ අභියෝගාත්මක සමයේ ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන මුස්ලිම් ප්‍රජාව හා එහි නායකයන් බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුය. තමන්ට එවැනි සහනයක් ලබාදීම සඳහා ඉදිරිපත් වන සහෝදර මුස්ලිම් රාජ්‍යයේ චේතනාව කොතරම් ප්‍රශංසාකටයුතු වුවත්, ‘පිටරට භූමදානය’ පිළිබඳ ප්‍රශ්නය ගැන ඔවුන් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගත යුතු අතර, සිය ජනතාව අතරින් මියගිය අය භූමදානය සඳහා විදේශයකට පැටවීමේ අමුතු ක්‍රියාමාර්ගයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කළ යුතුය! 

තම සෞඛ්‍යය, රැකියාවේ ආරක්ෂිත බව, පවුල සහ ප්‍රජාව පිළිබඳව වද වෙන පුද්ගලයන් සඳහා කොරෝනාවෛරස් අර්බුදය යනු ආතතිය දනවන්නකි. තම ආදරණීයයෙකු මියගිය විට, ඔහුගේ/ඇයගේ පවුලට හා මිතුරන්ට කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා, ඔවුන්ගේ සම්ප්‍රදායන් හා ආගමික අයිතීන් බරපතල ලෙස සෘජුවම උල්ලංඝනය කරමින්, එම මෘතදේහය ආදාහනය කිරීම සඳහා බලකිරීමට ලක්වීම තවදුරටත් චිත්තවේගාත්මක වශයෙන් දැඩි අසීරුතාවක් දනවයි. කොරෝනාවෙන් මියයාම යන සිතිවිල්ල පවා මුස්ලිම් ජනතාවට දැඩි බියක් හා ක්ෂතියක් ඇති කරවන සුළු බවට පත්ව තිබේ. මුස්ලිම්වරු හැරෙන්නට, මේ දූෂිත ප්‍රතිපත්තිය නිසා ක්‍රිස්තියානි ප්‍රජාව ද දැඩි බලපෑමකට ලක්ව තිබේ. කෝවිඩ් ආසාදිත මෘතදේහ ඉවත් කිරීම සඳහා වන භූමදාන කිරීමේ විකල්පය ප්‍රතික්ෂේප කිරීම සඳහා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති සන්දර්භයක, රාජ්‍යය විසින් ආගමික චාරිත්‍ර-වාරිත්‍ර සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කරන නිර්දය නොතකාහැරීම මඟින් මේ ප්‍රජාවන් තුළ බරපතල නොසන්සුන්තාවක් ඇති කර තිබෙන බව පැහැදිලිව පෙනී යයි.

කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක් වූ රටවල් සියල්ලෙහිම පාහේ ක්‍රියාත්මක කෙරෙන භූමදාන සිදුකිරීම නිසා භූගත ජලය දූෂිත වීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකාව අඛණ්ඩව පවසමින් සිටියි. ‘බලහත්කාරයෙන් ආදාහන සිදුකිරීමේ ප්‍රතිපත්තියක්’ සම්මත කර පවත්වාගෙන යාම පිටුපස කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ආණ්ඩුව දැන්වත් පිළිගත යුතුය. කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ විදේශයන්වල බොහෝ විද්‍යාඥයන් සහ විද්‍යා දැනුමැත්තෝ දැඩි සේ හඬ නගමින් සිටින බව අවධාරණය කළ යුතුය. ට්විටර් පණිවිඩයක් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේ ‘බෝ වන රෝගයකින් මියගිය පුද්ගලයන් ආදාහනය කළ යුතු බව පොදුවේ ප්‍රචලිත මිථ්‍යා මතයකි, නමුත් මෙය සාවද්‍ය වේ’ යනුවෙනි – වයිරස පිළිබඳ ලෝකප්‍රකට විශේෂඥයන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ මහාචාර්ය හියූ පෙනිංටන් සහ හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදාන කිරීම සම්පූර්ණයෙන් ආරක්ෂිත බවයි. වෙන් වෙන්ව සිදුකෙරුණු සම්මුඛ සාකච්ඡාවන් හි දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම වසංගත රෝග අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂිකා හා හිටපු ප්‍රධාන වසංගත අධ්‍යයන විශේෂඥ පබා පළිහවඩන මහත්මිය සහ හිටපු රජයේ වයිරස අධ්‍යයන විද්‍යා ප්‍රධානී සහ වසංගත අධ්‍යයන විද්‍යාඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ද කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීම හරහා ජල මූලාශ්‍ර හෝ මහජන සෞඛ්‍යයට ප්‍රතිවිරුද්ධ බලපෑම් ඇති විය හැකි බවට පැවසෙන මිථ්‍යාවට එරෙහිව ලබාගත හැකි විද්‍යාත්මක සාක්ෂි මඟින් කරුණු පහදා දී තිබේ. – සුදුසුකම් විරහිත තාක්ෂණික කමිටුවක් එම පොදු මිථ්‍යාව සාක්ෂි ‍රහිතව ප්‍රචාරණය කරන අතර, එම ක්‍රියාව දැඩි සේ හෙළාදකින්නේ අන් කවරෙකුත් නොව අදාළ විෂය සම්බන්ධ ප්‍රාමාණික විද්වත් විශේෂඥයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ය. ඇත්ත වශයෙන්ම, මෙම කමිටුවේ නායකත්වය හොබවන “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ” අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා එතෙක් පැවති ‘රහසක්’ හෙළිදරව් කළේය. බීබීසී ලෝක සේවය සමග කරුණු පැහැදිලි කිරීමට එක් වූ හෙතෙම කියා සිටියේ “ආණ්ඩුවට මුස්ලිම්වරුන්ට එරෙහි කිසිදු ප්‍රශ්නයක් නැතිමුත්, බලය නොලත් හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා වයිරසය යොදාගැනීමට ඉඩ ඇතැයි කුඩා බියක් ඔවුන් තුළ තිබෙන අතර, සමහරවිට යම් පුද්ගලයෙකු එවැනි මෘතදේහයක් වෙත ප්‍රවේශ වී එය ජෛව විද්‍යාත්මක අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩ තිබෙන බවත් ‍ය. ඔව්! මේ මුස්ලිම් විරෝධී න්‍යායපත්‍රයක අඩංගු අදහස් නොවන්නේ කෙසේද?!

දින විස්සක් වයසැතිව සිටියදී මියගිය ෂෙයික් නම් බිළිඳාගේ ඡායාරූපය කොරෝනාවෛරසයට ගොදුරු වූ මුස්ලිම්වරුන්ට එරෙහි කෲර සහ අමානුෂික සැලකීමෙහි ප්‍රතිමූර්තියක් ලෙස මුස්ලිම් ප්‍රජාව මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් ද සලකති. දින දෙකක් තරම් කෙටි කාලයක් තුළ, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ලාබාලතම කොරෝනාවෛරස් වින්දිතයා ලෙස වේගයෙන් පුවත් අතර ප්‍රචලිත වූ බිළිඳු ෂෙයික්, ආදාහනය පමණක් අනිවාර්ය කෙරෙන මේ ආණ්ඩුවේ දූෂිත ප්‍රතිපත්තිය නිසා, කොවිඩ්-19 වින්දිතයන්ගේ මෘතදේහ හරහා අදාළ වෛරසය භූගත ජලයට මිශ්‍ර විය හැකි බවට වූ පදනම් විරහිත මතවාදය මත පදනම්ව, ඔහුගේ පවුලේ අයගේ කැමැත්තට විරුද්ධව ආදාහනය කෙරෙන ලදී. 

බොහෝ මහජන විරෝධතා ව්‍යාපාර දැනටමත් ආරම්භ වී ඇත. තම විශ්වාසයන් සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් මියැදුනු තමන්ගේම ඥාතීන්ගේ දේහයන් හෝ අළු භාරගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට මුස්ලිම් ප්‍රජාව සහ විශේෂයෙන් බලපෑමට ලක්වුණු පවුල් බලහත්කාරයෙන් තල්ලු කෙරී තිබේ. පසුගිය සති අන්තය වන තෙක්, ආදාහනාගාරය පිහිටි බොරැල්ල සුසාන භූමියේ වැට කණු මත දහස් ගණනක් වූ මහජනතාව සුදු පටි බැන්දහ. පසුව, එම සුදු පටි විරෝධතා ව්‍යාපාරය ජනප්‍රිය කිරීම සඳහා #WhiteClothProtest නම් හෑෂ්ටැගය භාවිතා කරමින්, තමන්ට හැකි ඕනෑම තැනක සුදු රෙදි පටියක් බැඳ, ආරක්ෂිතව භූමදානය වීම සඳහා වූ ඉල්ලීම හා එකඟතාව පෙන්වන මෙන් විරෝධතාකරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටියහ. විරෝධතාව ඉක්මනින්ම ජනතාව අතර ප්‍රචලිත වූ අතර, ඔවුන් විසින් බොරැල්ල සුසාන භූමිය වටා ඉදිකොට ඇති යකඩ වැට කණු මත සියගණනින් සුදු රෙදිකඩවල් බඳින්නට යෙදුණි. කෙසේ වුවත්, ඒවා ඉන් පසු දිනයේම ඉවත් කරන්නට යෙදුණු අතර, එය මහජනතාවගෙන් කොටසක් සද්භාවයෙන් යුතුව සිදුකළ සාමකාමී සිවිල් උද්ඝෝෂණයක් මර්දනය කිරීම සඳහා මෙන්ම මර්දනකාරී අදහස් පැහැදිලිව දක්වන උත්සාහයක් බව හොඳින්ම පෙනී යයි. හිටපු විදෙස් කටයුතු හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ට්විටර් සමාජජාලයේ පහත දැක්වෙන පණිවිඩය පළකර තිබුණි. – “දෙමාපියන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් ආදාහනය කළ බිළිඳා ස්මරණය කරමින් බඳින ලද සුදු රෙදි පටි, කනත්තේ සිටි අමනුෂ්‍ය බලවේග විසින් රාත්‍රියේදීම ඉවත් කර ඇත”.

විද්‍යාත්මක ලෝකයට අනුව, මරණය යනු තනිකරම ජීවවිද්‍යාත්මක සහ ව්‍යූහ විද්‍යාත්මක කරුණක් පමණක් විය හැක — මොළයේ ක්‍රියාකාරීත්වය නැවතීම, හෘද ස්පන්දනය නැවතීම යනාදිය. දේශපාලනය කිරීම සඳහා වන කිසිදු අවස්ථාවක් දේශපාලකයන් විසින් මඟනොහරින අතර, තමන්ට වාසියක් සැලසේ නම් එය පුද්ගලයෙකුගේ මරණයක් හෝ මෘතදේහයක් වුවද ඔවුන්ට කම් නැත. නමුත්, ශුද්ධ වූ ලියැවිලි මත පදනම් වූ සංවිධානාත්මක ආගම් සහ කටවචනය මත පදනම් වූ විශ්වාස පද්ධතීන් සඳහා මරණය යනු දාර්ශනික, දේවධාර්මික සහ ආධ්‍යාත්මික පරිමාණයන්ගෙන් යුතු සංසිද්ධියකි. අනිවාර්ය ආදාහනය පිළිබඳව වර්තමානයේ ගෙන ඇති තීරණයේ ප්‍රතිඵල ඉන් අපේක්ෂිත අරමුණු පරදවා යයි. සැබෑ ස්ථාවරය ඔවුන් හට අවබෝධ වී ඇති හෙයින්, ‘ආදාහනය පමණක් සිදුකිරීම’ යන ප්‍රතිපත්තිය නැවත හැරවීම සඳහා වන හඬගෑම, බහුතර ප්‍රජාව තුළ ඉස්ලාමික භීතිකාව නැවුම් වටයකින් සිදුකරගෙන යාම සඳහා දැනටමත් ආධාර වන බවක් පෙනේ. මේ පසුබිම තුළ, ‘මුස්ලිම්වරුන්ට අස්වැසිල්ලක් ගෙනදීම සඳහා’ ඔවුන්ගේ මෘතදේහ භූමදානය පිණිස මාලදිවයිනට යවන මේ ඊනියා ප්‍රතිකර්මය අවබෝධ කරගත හැක්කේ, දේශපාලනික අරමුණුවලින් සැදුම්ලත් ඊනියා ‘තාක්ෂණික කමිටුවක්’ මඟින් කොවිඩ් ආසාදිත මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිණිස ගන්නා ලද තීරණයක්, ලබාගත හැකි සියලුම විශේෂඥ අදහස් හා මතවාද සහ ලොව අන් සියලු රටවල් විසින් සිදුකරන භාවිතාවට ප්‍රතිවිරුද්ධ ලෙස එහි යටිබිම්ගත ජාතිවාදී අරමුණුවලින් මහජනතාවගේ සහ අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය වෙනතකට හැරවීම පිණිස වන ක්‍රියාමාර්ගයක් හැටියට ය.

බලපෑමට ලක්ව සිටින ප්‍රජාවට මින් ඉදිරියට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? එය කිසිසේත්ම මරණයට ලක් වූ සිය ආදරණීයයන් විදෙස් රටකට ගෙනයාමට අවසර ලබාදීම නම් නොවේ. එනම්, සිය සටන සඳහා ස්ථිර අරමුණකින් යුතුව එකමුතුව පෙළගැසීමත්, වෙනත් ප්‍රජාවන්හි සිටින බොහෝ ප්‍රගතිශීලී බලවේග හා එක්ව ‘රාජ්‍යයෙන් අනුමත කළ ජාතිවාදය’ සැඟවීම සඳහා සැපයුනු මේ ව්‍යාජ-විද්‍යාත්මක සාධාරණීකරණය කිරීම් නිරාවරණ කිරීමත්, හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ අන්තර්ජාතික මානව හිමිකම් නීති හරහා තහවුරු කළ ආගමික හා සංස්කෘතික අයිතීන් ආරක්ෂා කරන මෙන් සිය ආණ්ඩුවෙන් දැඩි සේ ඉල්ලා සිටීමත් ය. මුස්ලිම් ‍රෙදි පොරවාගත් වෘකයන් පිරිසක් පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ අතිශයින්ම ම්ලේච්ඡ, පිළිකුල්සහගත ප්‍රහාරය නිසා වසර 1000කටත් එපිටින් වූ වැදගත්, පොහොසත් හා ආඩම්බර විය යුතු ඉතිහාසයට කැලැල් ඇති කිරීම සිදුනොකළ හා සිදුනොවිය යුතුය. මුස්ලිම්වරු අභිමානවත් ශ්‍රී ලාංකික උරුමයේ කොටස්කරුවන් වන අතර, කරපිංචා මෙන් භාවිතා වීමට ඉඩ නොදී ක්‍රියා කිරීම ඔවුන්ගේ වගකීමකි. එරට සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් රැකීම සඳහා ශ්‍රී ලංකාව වගකියන බවට අන්තර්ජාතික ප්‍රජාව හා එක්සත් ජාතීන් විසින් තහවුරු කළ යුතු අතර, එහිදී ආණ්ඩුව බහුතර ජනතාවගේ ආණ්ඩුවක් ලෙස ක්‍රියා කිරීමට ඉඩහසර නොදී වැළැක්වීමට ද කටයුතු කළ යුතුය.

එබැවින් ඉහළම තලයන් හි සිට තීරණ ගන්නා උදවිය ඒවායින් උද්ගත වන පුළුල් සමාජීය ප්‍රතිවිපාක පිළිබඳව ද තක්සේරු කළ යුතුය. අනාගතයේ දී ශ්‍රී ලාංකිකයන් පසුතැවිලි වන ආකාරයේ අත්වැරැද්දක් බවට මෙවැනි තීරණ පත්නොවීමට ඉඩ නොතැබිය යුතුය. ආණ්ඩුව සම්බන්ධයෙන් සලකාබලන කල, ප්‍රශ්න වෙනතකට හරවන මෙවැනි උපක්‍රමවලින් මිදී නිවැරදි ආකාරයට මේ ප්‍රශ්නයට විසඳුම් සපයන්නට ඔවුන් තවමත් ප්‍රමාද නැත. මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) පැවසූ පරිදි කිසියම් තැනක අයුක්තිය පවතින්නේ , එය යුක්තිය පවතින සෑම තැනකටම තර්ජනයක් වන්නේය යන වදන මත පිහිටා, අපේ ජනතාවගෙන් කොටසකට එල්ල වී ඇති මේ අයුක්තිය නිවැරදි කිරීමේ චේතනාවෙන් සමස්ත පුරවැසි ජනතාව, විශේෂයෙන් බහුතර ප්‍රජාව ආණ්ඩුවේ වග වීම සඳහා පෙළගැසීම ඔවුන්ගේ යුතුකමයි. මෙවැනි අවස්ථාවන් අපට සිහිගන්වන්නේ මාර්ටින් නීමොලර් නම් රෙපරමාදු නිකායට අයත් ජර්මානු ජාතික පාදිලිවරයා සහ දේවධර්මධරයා විසින් රචිත කවි පෙළයි:

මුලින්ම ඔවුහු සමාජවාදීන් සොයා පැමිණියහ, මම ඊට එරෙහිව වදනකුදු නොකීවෙමිමන්දයත් මම සමාජවාදියෙකු නොවූ බැවිනි.

පසුව ඔවුහු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සොයා ආහ, නමුත් මම ඊට එරෙහිව කිසිවක්ම නොකීවෙමිමන්දයත් මම වෘත්තීය සමිති ක්‍රියාකාරියෙකු නොවූ බැවිනි. 

ඉන්පසු ඔවුන් යුදෙව්වන් සොයා පැමිණියහ, එවිට මම කිසිවක් නොපවසා සිටියෙමි —  මන්දයත් මම යුදෙව්වෙකු නොවූ බැවිනි.

අවසානයේ ඔවුන් මා සොයා ආහ වන විට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙක් නොවිණි.

*ලුක්මාන් හරීස් විසින් ලියා Colombo Telegraph වෙබ් අඩවියේ 2020 දෙසැම්බර් 16 වැනි දින ‘Exporting’ The ‘Covid Burial’ Issue To Maldives: Is It A Hobson’s Choice Or Another Red Herring? යන මැයෙන් පළකළ ලිපියේ සිංහල අනුවාදයයි මේ. මුල් ලිපිය සඳහා පිවිසෙන්න; https://www.colombotelegraph.com/index.php/exporting-the-covid-burial-issue-to-maldives-is-it-a-hobsons-choice-or-another-red-herring/ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.