23 January, 2021

Blog

නැවත පාසලට යාම: 2021 සඳහා අප සූදානම් ද?

අයෝමි ඉරුගල්බණ්ඩාර

අචාර්ය​ අයෝමි ඉරුගල්බණ්ඩාර

අලුත් වසර ආරම්භයේ දී නැවත පාසලට යාම ගුරුවරුන්ට මෙන් ම ශිෂ්‍යයන්ට ද සුබදායී ආරංචියකි. මන්දයත්, අප තරමක් අමුතු හා සම්පූර්ණයෙන් ම අනපේක්ෂිත පාසල් වසරක් 2020 දී පසු කළ නිසා ය. ජීවිතයේ පෙර නො වූ විරූ පරිද්දෙන් ගුරුවරුන්, ශිෂ්‍යයන් මෙන් ම දෙමව්පියන් ද නවමු ඉගෙනුම් අත්දැකීමකට මුහුණ දුන් අතර එය ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයක් ගත් නව ප්‍රවේශයක් විය. කෙසේ වෙතත්, නව ප්‍රවේශය තුළ හිඳිමින් අපි බොහෝ දේ කෙළෙමු; බොහෝ දේ නො කෙළෙමු. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඇති විය හැකි අවදානම සහ ඩිජිටල් හා දුරස්ථ ඉගෙනීම් වෙත දැවැන්ත මාරුවක් සඳහා අප කෙතරම් සුදානම් ද යන්න ඊට ඇතුළත් විය. අනෙක් අතට, අප සමාජය තුළ ඇති සමහර ධනාත්මක ලක්ෂණ වූ අභියෝගයන්ට මුහුණ දීම, ඔරොත්තු දීමේ හැකියාව, සහයෝගය, ශක්තිමත් බව, සම්පත්දායකත්වය සහ කැපවීම ද ඒ අතර විය. එහෙත් මෙයින් අදහස් කරන්නේ අපට 2021 සඳහා එම ප්‍රවේශය තවදුරටත් අනුගමනය කළ හැකි බව නො වේ.

2021 පාසල් වර්ෂය සහ එහි ඇති අවිනිශ්චිතතාව සමඟ නැවත පාසල් යාම හුරුපුරුදු වුවත්, පශ්චාත් COVID පරිසරයක් තුළ ඉගෙනීමට ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හැඩගැසෙන බැවින් සැම කෙනකු ම නව සාමාන්‍ය තත්ත්වය සමඟ ග්‍රහණය වීමට කාලය ගතවනු ඇති බවට සැකයක් නැත. ශිෂ්‍යයන්ට පාසල් අත්දැකීම්වල බොහෝ කොටස් ආගන්තුක ලෙස දැනෙනු ඇත. සමාජීය වශයෙන් දුරස් වූ පන්ති කාමර, ක්‍රීඩා පිටි නීති වෙනස් කිරීම, සනීපාරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සහ විවේක වේලා වෙනස් වීම් ආදි සියල්ල සමහර නිදසුන් ය. කෙසේ වෙතත්, මෙම ලිපියෙන් මා මතු කිරීමට උත්සහ දරන්නේ 2021 පශ්චාත් COVID පරිසරය තුළ ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග භාරගැනීමට සූදානම් බව සහතික කිරීම සඳහා අප කෙතරම් සුදානම් ද යන්න යි.

ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පළමුවෙන් ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්මේ ප්‍රමුඛතාව වැදගත් වේ. මන්දයත්, ගුරුවරයාගේ යහපැවැත්ම සමස්ත පාසල් ප්‍රජාව කෙරෙහි ම බලපානු ලබන නිසා ය. හොඳට නරකට දෙක ම ගුරුකම යැයි කතාවක් තිබේ. ගුරුවරයාට තම ශිෂ්‍යයන්ගේ ශක්තීන් (ශාස්ත්‍රීය හෝ වෘත්තීය හෝ වේවා) හඳුනාගැනීමට, වර්ධනය කිරීමට, දිරිමත් කිරීමට, ආත්ම විශ්වාසය ගොඩනැඟීමට සහ ඔවුන්ගේ පූර්ණ හැකියා කරා ළඟා වීමට හැකි පරිසරයක් ගොඩනැඟීමට පිළිවන් මෙන් ම, තම ශිෂ්‍යයන්ගේ ඉගෙනීම වැළැක්වීමට, ඔවුන්ගේ ආත්ම-වටිනාකමට හානි කිරීමට, වැඩිහිටියන් හා අධිකාරී පුද්ගලයින් කෙරෙහි අවිශ්වාසය ඇති කිරීමට සහ ශිෂ්‍යයන් වැරැදි මාවතකට යොමු කිරීමට ද හැකියාවක් ඇත. අප කැමැති වුවත් නැතත් ගුරුවරයා අනාගත පරපුර කෙරෙහි අසාමාන්‍ය බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයෙකි. 

 මිනිසුන් ලෙස, ගුරුවරුන් ද ඔවුන්ගේ නිවෙස්වල, විශේෂයෙන් නිරෝධායන කාලවල දී විවිධ ආකාරයේ අපයෝජන හා ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දී ඇති බවට සැකයක් නැත. ගෘහස්ථ ක්ෂේත්‍රය තුළ බොහෝ ආකාරයේ අපයෝජන සිදු වේ. එක්සත් රාජධානියේ ගෘහස්ථ හිංසනය සහ අපයෝජනය පිළිබඳ රජයේ අර්ථ දැක්වීමට අනුව, ස්ත්‍රී-පුරුෂ භාවය හෝ ලිංගිකත්වය හෝ නොසලකා වයස අවුරුදු 16 හෝ ඊට වැඩි හෝ අය අතර, සමීප හවුල්කරුවන් හෝ පවුලේ සාමාජිකයන් හෝ අතර පාලනය, බලහත්කාරය, තර්ජනාත්මක හැසිරීම, ප්‍රචණ්ඩත්වය හෝ අපයෝජනය වැනි ඕනෑ ම මානසික, ශාරීරික, ලිංගික, මූල්‍ය, චිත්තවේගීය හිංසන සිදුවීමක් හෝ රටාවක් හෝ අපයෝජනයක් විය හැකි ය. COVID-19 වසංගත කාලසීමාවේ දී ලෝකයේ බොහෝ රටවල ගෘහස්ථ හිංසනය වැඩි වී ඇතැයි වාර්තා වන අතර ගෘහස්ථ හිංසනයට සහය දැක්වීම සම්බන්ධ ව අන්තර්ජාල සෙවුම් 75%කින් වැඩි වී ඇති බව ගූගල් වාර්තා කරයි. මේ සියලු හිංසනයන්ගෙන් සියලු ගුරුවරුන් මිදී ඇතැයි අපට උපකල්පනය කළ නො හැකි ය. මේ පොදු අර්බුදකාරී කාල පරිච්ඡේදයේ දී  යම් ගුරුවරයකු මානසික සෞඛ්‍ය තර්ජනයකින් පීඩා විඳී නම්, එමඟින් කල් පවත්නා ප්‍රතිවිපාක ඇති කළ හැකි ය. ඍජු අතුරු ප්‍රතිඵලය පන්ති කාමරයේ ශිෂ්‍යයන්ට ය. එහෙත්, අවාසනාවකට, තවමත් අප රටෙහි ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ එතරම් තැකීමක් නැත. ශිෂ්‍යයන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා පාසලේ යහපැවැත්ම ධනාත්මක බලපෑමක් ඇති කරන බව බොහෝ පර්යේෂණ මඟින් පෙන්වා දී ඇතත්, අනෙකුත් සංසන්දනාත්මක සමාජ වෘත්තීන් හා ගළපද්දී අප රටෙහි එහි භාවිතයෙහි බොහෝ අඩුපාඩු පවතී. නිදසුනක් ලෙස ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වෙන බොහෝ වැඩමුළු විෂයමාලා ආශ්‍රිත ඒවා මිස පෞද්ගලික යහ පැවැත්ම සංවර්ධනය සඳහා වන උපදේශන සැසි නො වේ. 

Day සහ Qing (2009) ට අනුව, බොහෝ ගුරුවරුන් වැඩ කරන්නේ ඔවුන්ගේ යහපැවැත්මට සතුරු පරිසරයක ය. මේ නිසා COVID-19 තවදුරටත් ගුරුවරුන්ගේ දෛනික කාර්යභාරයට ආතතියක් එක් කර ඇත. නිදසුනක් ලෙස ගුරුවරුන්ගේ පන්ති හදිස්සියේ මාර්ගගත ආකෘතිවලට මාරු කරනු ලැබීමෙන් ද මුළු ලෝකය පුරා ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍යයට හිතකර නො වන පරිසරයක් උදා කර ඇතැයි Dabrowski (2020) පවසයි. බොහෝ ගුරුවරුන් මුහුණ දෙන ගැටලු අතර මාර්ගගත ආකෘතියේ වේගවත් ගමන තවත් දැවැන්ත පීඩනයක් ලෙස හඳුනාගැනීම ඉතා වැදගත් වේ. අධික විභාග පීඩනය නිසා වර්තමානයේ ගුරුවරුන් දැනටමත් සුවිශේෂී අභියෝගයන්ට හා පීඩනයන්ට මුහුණ දී සිටිය දී COVID-19 වසංගතය තවදුරටත් ඔවුන් කාංසාවට සහ වෙහෙසට පත් කර ඇත. ශිෂ්‍යයන්ගේ යහපැවැත්මට සහ ශිෂ්‍ය ප්‍රතිඵල සඳහා සහය දැක්වීමේ දී කාංසාව අත්විඳින ගුරුවරුන් අඩු-ඵලදායී බැවින්, අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳ ව වඩා අවධානය යොමු කිරීම වැදගත් වේ. පශ්චාත් COVID පරිසර ඉගෙනුමේ දී වඩාත් වැදගත් වන්නේ මානව අන්තර්ක්‍රියා සහ යහපැවැත්මට ප්‍රමුඛතාව දීම යැයි මම විශ්වාස කරමි.

COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන බවට සහතික වන කාංසාව, මානසික අවපීඩනය සහ කම්පන ගැටලු ගුරුවරුන්ටත් අදාළ වන බැවින් පුද්ගලයා සහ සම්බන්ධතාව අතර පාලමක අවශ්‍යතාව බලගතු ය. මේ අනුව, පාසල්වල කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ගුරු යහපැවැත්ම ඉලක්ක කරගත් වෘත්තීය ඉගෙනුම් උත්සාහයන් කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු අතර එය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් නො විය යුතු ය. මෙහි දී සාමූහික ගුරු කාර්යක්ෂමතාව (collective teacher efficacy) යන සංකල්පය තීරණාත්මක වේ. ධනාත්මක මනෝ විද්‍යාව පදනම් කරගත් මැදිහත්වීම් (positive psychological interventions) හෝ සහයෝගී සහ ක්‍රියාශීලී ප්‍රවේශයන් (collaborative and proactive approach) හෝ වඩාත් ඵලදායී ය.

ගුරු වෘත්තියේ යථාර්ථ සමඟ කටයුතු කිරීමට ඇති නොහැකියාව පිළිබඳ පුද්ගලයන්ට දොස් පැවරීමට වඩා පුළුල් පාසල් සන්දර්භය තුළ සබඳතාවලට සහාය වීම වැදගත් ය. පශ්චාත් COVID – 19  වසංගතය 2021 දී ද පාසල් අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට ඉඩ ඇති නිසා, අප දරුවන්ගේ යහපැවැත්මට සහාය වීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ගුරුවරුන්ගේ යහපැවැත්ම හදිසි කාරණයක් ලෙස පිළිගෙන ආමන්ත්‍රණය කළ යුතු ය. 

එසේ ම, අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර කොමිෂන් සභා නව වාර්තාව (UNESCO, 2020) පශ්චාත් COVID අධ්‍යාපනය සඳහා අදහස් නවයක් ඉදිරිපත් කර ඇති අතර ඉන් තෙවැන්නෙන් ගුරු වෘත්තිය සහ ගුරු සහයෝගීතාව අගය කළ යුතු බවත් අධ්‍යාපනඥයින්ට ස්වාධීන ව සහ සහයෝගයෙන් ක්‍රියා කිරීමට නම්‍යශීලී බවක් ලබා දෙන කොන්දේසි ඉදිරිපත් කර ඔවුන් දිරිමත් කළ යුතු බවත් දක්වයි. අද වන විට පැහැදිලි වන්නේ ගුරුවරුන් අතර සහයෝගීතාවට ආදේශ කළ හැකි කිසිවක් නොමැති බව යි. තාක්‍ෂණය, විශේෂයෙන් ඩිජිටල් තාක්‍ෂණය, සන්නිවේදනය සහ සහයෝගීතාව දුරස්ථ ව ඉගෙනීමට ඉඩ සලසන ප්‍රබල මෙවලම් බව සත්‍යයකි. එහෙත් එය කෝකටත් තෛලයක් නො ව නවෝත්පාදන හා පුළුල් විභවතාවන්ගේ ප්‍රභවයකි. සියල්ලේ ඉදිරි මාවත මාර්ගගත/සබැඳි ඉගෙනීම පමණක් යැයි සිතීම මිත්‍යාවකි. 

*අයෝමි ඉරුගල්බණ්ඩාර (PhD), ද්විතීයික හා තෘතීයික අධ්‍යාපන අධ්‍යයනාංශය, අධ්‍යාපන පීඨය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.