29 August, 2026

Blog

වෛරයට කරුණාවෙන් ප්‍රතිචාර දැක්වීම: බෙදී ගිය ශ්‍රී ලංකාවට මිලාදුන් නබි උත්සවයෙන් තවමත් ඉගෙන ගත හැකි පාඩම්!

ලූක්මාන් හරීස්

ලූක්මාන් හරීස්

අගෝස්තු 26 වැනිදා ජනාධිපති අනුර මැතිතුමාගේ අනුග්‍රහය යටතේ, “සහජීවනය, සහෝදරත්වය සහ එක්සත්කමයන තේමාව යටතේ මෙවර ජාතික මිලාදුන් නබි උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේදී පැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසා තිබුනි. එම ප්‍රධාන උත්සවයට සමගාමීව, දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් රජය විසින් වෙන් කර ඇති අතර, වෙනත් ආගම් අදහන ජනතාවට මුස්ලිම් පල්ලියක් තුළ සිදුවන්නේ කුමක්දැයි තමන්ටම පැමිණ දැක බලා ගැනීමට අවස්ථාව සලසමින් “Visit My Mosque” වැඩසටහනක්ද සංවිධානය කර තිබුනි. න්‍යායාත්මකව ගත් කල, බහුත්වවාදී සමාජයකට අවශ්‍ය වන කුඩා නමුත් හිතාමතා සිදුකරන එවැනි සංඥාවන් මීට වඩා සුදුසු විය නොහැක.

එහෙත් අවාසනාවකට මෙම නිවේදනය නිකුත් වී පැය කිහිපයක් ගත වීමටත් පෙර, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය දැන් පුරුද්දක් බවට පත්ව ඇති ආකාරයට ක්‍රියාත්මක විය. සංහිඳියාව සඳහා ගත් පියවරක් කුමන්ත්‍රණයක සාක්ෂියක් බවට එය පත් කෙරුනි. “මුස්ලිම් ව්‍යාප්තවාදයේව්‍යාප්තියක් කෙමෙන් කෙමෙන් සිදුවන බවටත්, මෙම මුදල් වෙන් කිරීම ආගමික සැමරුමකට ලබාදෙන රාජ්‍ය අනුග්‍රහයක් නොව ජනගහන ව්‍යාපෘතියක් සඳහා රජය විසින් ලබාදෙන සහායක් බවටත් ප්‍රකාශ කරමින් අදහස් දැක්වීම් රැසක් පළ විය. මෑත වසරවලදී සිංහල කාන්තාවන් රහසිගතව වන්ධ්‍යකරණයට ලක් කරන බවට, මුස්ලිම් වෛද්‍යවරුන් සම්බන්ධ කරමින් පතුරුවන ලද කටකතා සහ මුස්ලිම් වෙළෙඳුන් ආහාරවලට උපත් පාලන ද්‍රව්‍ය මිශ්‍ර කරන බවට පළ වූ චෝදනාද බිහි කළේ එම වාග් ප්‍රහාරක යාන්ත්‍රණයමය. කිසිදු සාක්ෂිමය පදනමක් නොමැති එවැනි කතා,  පසුගිය කාලවල, නැවත නැවතත් සැබෑ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට පෙර පසුබිම සකස් කර තිබේ. මෙම කාරනා පිළිබඳ , මඳක් නතර වී, සමරනු ලබන මෙම දිනය , එය නියෝජනය කරන සියල්ල  හා ඒවායේ අදාලත්වය පිළිබඳව මෙනෙහි කිරීම වටී.

මිලාදුන් නබි සැබවින්ම සමරන්නේ කාවද?

මිලාදුන් නබි උත්සවය යනු නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ උපත සිහිපත් කරන අවස්ථාවකි. එය ලොව පුරා සිටින මුස්ලිම් ජනතාවට එතුමා දෙසූ ආගමික මූලධර්ම පිළිබඳව පමණක් නොව, ජීවිත චරිතය පිළිබඳවද  මෙනෙහි කිරීමට අවස්ථාවකි. තම මෙහෙවරේ මුල් අවධියේදී දැඩි ලෙස අපහාසයටත් ප්‍රචණ්ඩ විරෝධයටත් මුහුණ දුන්  උදාර මිනිසෙකු, නැවත නැවතත් කෲරත්වයට කෲරත්වයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළ ආකාරය පිළිබඳව උගන්වන, මෙම සාම්ප්‍රදායික වාර්තා වෙත නැවත හැරී බැලීම වටී. මන්ද, ඒවා හුදු වියුක්ත සංකල්ප නොවන බැවිනි. ඒවා නිශ්චිතව සිදු වූ, ජීවනාදර්ශ ලබාදෙන කතාය.

මුල් කාලයේදී, මුහම්මද්  (සල්) තුමාණන් තම මෙහෙවරට සහාය ලබා ගැනීමේ අරමුණින් තායිෆ් නගරයට ගිය අවස්ථාවේදී, එහි ජනතාවගෙන් පිරිසක් විසින් එතුමාණන් නගරයෙන් පලවා හරින ලද අතර, එතුමාණන්ගේ ශරීරයෙන් රුධිරය ගලන තුරු ගල්වලින් පහර දෙන ලදී. එවිට, දේව අනපරිදි, කඳුකරය භාර දේවදූතයන් පැමින ,එම නගරය කඳු දෙකක් අතර සිර කර විනාශ කිරීමට අවසර ඉල්ලා සිටි බව ඉස්ලාමීය සම්ප්‍රදායේ සඳහන් වේ. එහෙත් නබිතුමාණෝ එය ප්‍රතික්ෂේප කළහ. එම ජනතාවම නොවුණත්, ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගෙන් කෙනෙකු හෝ දිනෙක එකම දෙවියන්ට නමස්කාර කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව එතුමාණෝ ප්‍රකාශ කළහ. එය සුළු කරුණක් නොවේ. ශාරීරික ප්‍රහාරයකට ලක්වූ වහාම, සම්පූර්ණ පළිගැනීමක් සිදුකිරීමට හැකියාව තිබූ මිනිසෙකු, එවැනි බලය භාවිත නොකර ඉවසීම සහ අනාගතයේදී සංහිඳියාව ඇති වීමේ හැකියාව තෝරාගත් ආකාරය පිළිබඳ ප්‍රබල උදාහරණයකි.

මක්කාවේදී නබි (සල්) තුමාණන්ගේ සතුරන් එතුමාණන්ට අපහාස කිරීමෙන් සහ වර්ජනය කිරීමෙන් පමණක් නතර වූයේ නැත. ඔවුහු එතුමාණන් සහ එතුමාණන්ගේ අනුගාමිකයන් නගරයෙන් සම්පූර්ණයෙන්ම පලවා හැරියහ. එමඟින් කි.. 622 වසරේදී එතුමාණන් මදීනා නගරය වෙත ගෙන ගිය සංක්‍රමණයහිජ්රාවසිදුවිය. එතුමාණන් එහි පැමිණියේ ජයග්‍රාහකයෙකු ලෙස නොව, ආගන්තුකයන් විසින් පිළිගනු ලැබූ සරණාගතයෙකු ලෙසය. එහෙත් ඉන් පසුව එතුමාණන් කළ දෙය මෙම කතාවේ වඩාත් විශිෂ්ට කොටස විය හැකිය. තමන්ගේම ප්‍රජාව වටා පමණක් බලය තහවුරු කර ගැනීම වෙනුවට, එවකට එකිනෙකා සමඟ ගැටුම් ඇති කරගනිමින් සිටි මදීනාවේ බෙදී ගිය අරාබි ගෝත්‍ර එකම දේශපාලන ඒකකයක් බවට එක් කිරීමට එතුමාණෝ කටයුතු කළහ. එම දේශපාලන බැඳීම නගරයේ සිටි යුදෙව් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් වෙතද පුළුල් කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වූමදීනා ව්‍යවස්ථාව’ — එවැනි ආකාරයේ මුල්ම ලිඛිත ගිවිසුම් අතරින් එකක් ලෙස සැලකිය හැකිමුස්ලිම්වරුන්, යුදෙව්වන් සහ නගරයේ අනෙකුත් ගෝත්‍ර අන්‍යෝන්‍ය ආරක්ෂක වගකීම් සහිත පොදු දේශපාලන ප්‍රජාවක් බවට බැඳ තැබීය. තමන්ගේම ආගමට අයත් නොවන ප්‍රජාවන්ගේ ආගමික කටයුතු කිරීමේ නිදහසද එමඟින් පැහැදිලිව ආරක්ෂා කරන ලදී. එය, සාරාංශ වශයෙන්, පිටුවහල් කිරීම සහ පීඩනය හේතුවෙන් තමන්ගේම ආගමට පිටතින් සිටින කිසිවෙකු විශ්වාස නොකිරීමට සාධාරණ හේතු තිබූ මිනිසෙකු විසින් ඇති කරගත් සහජීවනය ප්‍රවර්ධනය කරන ගිවිසුමක් විය. වසර ගණනාවකට පසු, එතුමාණන් මක්කාවට නැවත පැමිණියේය. පැමිනියේ, තමන්ව පිටුවහල් කළ, තම අනුගාමිකයන් වර්ජනය කළ සහ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඝාතනය කළ එම නගරයටමය. එහෙත් එතුමාණන් එහි පැමිණියේ පළිගැනීමට මාන බැලූ ජයග්‍රාහකයෙකු ලෙස නොවේ. ඒ වෙනුවට, පොදු සමාවක් ප්‍රකාශයට පත් කළේය. දශකයකට වැඩි කාලයක් තමන්ටත් තම ප්‍රජාවටත් පීඩා කළ පුද්ගලයන්ට පවා එතුමාණන්අද ඔබට එරෙහිව කිසිදු දොස් පැවරීමක් නැතයනුවෙන් ප්‍රකාශ කළ බව සඳහන් වේ.

තම අවසන් දේශනයේදී, අරාබි ජාතිකයෙකු අරාබි නොවන පුද්ගලයෙකුට වඩා උසස් නොවන බවත්, සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා උසස් නොවන බවත්, මිනිසෙකුගේ උසස් බව තීරණය වන්නේ ඔහුගේ හැසිරීම සහ දේවභක්තිය මත පමණක් බවත් එතුමාණෝ ප්‍රකාශ කළහ. එය මානව සමානාත්මතාවය පිළිබඳ කැපී පෙනෙන ප්‍රකාශයකි. විශේෂයෙන්ම එතුමාණන්ගේ බලය එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබූ විට, එවකට පැවති සමාජ සම්මතයන් අනුව, ධූරාවලියක් තවදුරටත් ශක්තිමත් කිරීමට එතුමාණන්ට තිබූ අවස්ථාවක සහ සමාජමය අවසරයක් තිබියදී පවා,එවැනි ප්‍රකාශයක් කිරීම විශේෂ වැදගත්කමක් දරයි.

මුහම්මද් (සල්) තුමාණන් මානව ඉතිහාසයේ වඩාත්ම අපහාසයට ලක් වූ පුද්ගලයා ලෙස සැලකිය හැකිය. එතුමාණන්ගේ මෙහෙවර පුරාම නොනවතින උපහාස, අපහාස සහ පෞද්ගලික ප්‍රහාර එල්ල වුවද, එතුමාණෝ සෑම අපහාසයකටම පළිගැනීමෙන් නොව අසාමාන්‍ය කරුණාවෙන්, ඉවසීමෙන් සහ තර්කානුකූල සංයමයකින් ප්‍රතිචාර දැක්වූහ. එතුමාණෝ අපහාසවලට තර්කයෙන් සහ සුබවාදී ආකල්පයකින්ද ප්‍රතිචාර දැක්වූහ. “අයහපත, වඩාත් යහපත් දෙයකින් පලවා හරින්නයන කුර්ආනීය උපදේශයටත්, සදාචාරාත්මක විශිෂ්ටත්වය තුළින් වෛරය මිත්‍රත්වයක් බවට පරිවර්තනය කිරීමටත් එතුමාණන්ගේ ජීවිතයේ උදාහරණ බොහෝය.

මේවා ඉස්ලාමීය සම්ප්‍රදාය තුළ සම්ප්‍රේෂණය වී ඇති තහවුරු කරන ලද සාම්ප්‍රදායික වාර්තා වන අතර, ආගමික සැමරුමකට උචිත ගෞරවයෙන් ඒවා සැලකිය යුතුය. එහෙත් කෙනෙකුගේ ආගමික විශ්වාසය කුමක් වුවද, හෝ ඔහු කිසිදු ආගමක් නොඅදහන අයෙකු වුවද, මෙම සිදුවීම් හරහා දැකිය හැකි රටාව පැහැදිලිය: බලය සංයමයෙන් භාවිත කිරීම, සිදු වූ හානියට පළිගැනීම වෙනුවට සාමකාමී සහජීවනය තෝර ගැනීම, යහ සම්බන්ධතාවයන් ඇති කර ගැනීමට අවස්ථාවන් ප්‍රවර්ධන කිරීම  සහ ගෝත්‍රික, වාර්ගික හෝ ආගමික අනන්‍යතාවයන්, ආධිපත්‍යය දැරීමට තිබෙන අයිතීන් බවට තිබූ ආකල්ප ප්‍රතික්ෂේප කිරීම, ආදී හැදියා රටාවන් එතුමාගේ දිවියෙන් දැකගත හැකි විය. මෙවර ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති සැමරුම් තේමාව පිටුපස ඇති සැබෑ අර්ථයද එයයි. එබැවින් විමසිය යුතු ප්‍රශ්නය වන්නේ, මෙම සැමරුම පවත්වන අප සමාජයේ කෙතරම් දුරට මෙම සාරදර්මයන් ප්‍රායෝගිකව පවතීද  යන්නයි.

මේ කතාවේ අනෙක් පැත්ත!

ශ්‍රී ලංකාව, වාර්ගික බෙදීම් සහ සමාජ විනාශයන් පිළිබඳ ඉතිහාසයක් නොමැති දේශයක් නොවේ. එය ගැන මෙම සාකච්ඡාවේදී කතා නොකර  සිටීම වංකකමක් වනු ඇත. 1983 කළු ජූලියේදී දෙමළ සිවිල් ජනතාවට එරෙහිව සිදු වූ සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා, දශක හතරකට ආසන්න කාලයක් පුරා පැවති යුද්ධයකට මඟ පෑදීමට දායක විය. එම යුද්ධයෙන් දහස් ගනන් අහින්සක සිංහල, දමිල, මුස්ලිම් ජනතව මිය ගියහ. මෑත දශකයේ , සැලසුම් සහගතව ක්‍රියාකත්මකවූ වෛරී ව්‍යාපෘතියේ ප්‍රතිපලක් ලෙස පීඩාවට පත්වූ තවත් ජන කොටසක් වන්නේ,  මුස්ලිම් සුළුතරයයි.

පශ්චාත් යුද සමයේදී, මුස්ලීම් විරෝදී ව්‍යාපාර දියත්වුනි. 2014 අලුත්ගමේදී, බොදු බල සේනාව විසින් මුස්ලිම් විරෝදී සන්හාරය හා මුස්ලිම් වෙළන්දසැල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය, එවකට තිබූ පාලකයින්ගේ අනුදැනුම සහිත සිදුවුනි. 2018 පෙබරවාරි මාසයේදී අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් ඖෂධවේදියෙකුගෙන් සිංහල ජනතාවට ලබාදෙන ආහාරවලට රහසිගතව මිශ්‍ර කිරීම සඳහා භාවිත කිරීමට සූදානම් කර තිබූ වන්ධ්‍යකරණ පෙති දහස් ගණනක් සොයාගත් බවට ෆේස්බුක් හරහා කටකතාවක් පැතිර ගියේය. එහි අරමුණ බෞද්ධ ජනගහන ආධිපත්‍යය දුර්වල කිරීම බවද කියැවිණි. එහි කිසිදු සත්‍යතාවක් නොතිබුණි. එහෙත් එය නොතකා කලබලකාරී ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය. මුස්ලිම් පල්ලි ගිනි තැබූ අතර, මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසැල් විනාශ කරන ලදී. පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියහ. සති කිහිපයකට පසුව එම පදනම් විරහිත බිය මහනුවරදී නැවත මතුවූ අතර, ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවක් ප්‍රසිද්ධියේ තම දේශකයන්ට අනතුරු අඟවමින්, “මෙම කඩවලින් ආහාර ගත් අයට අනාගතයේ දරුවන් නොලැබෙනු ඇතයනුවෙන් ප්‍රකාශ කළේය. දිගනේද මුස්ලිම් විරෝදී සන්හාරයක් සිදුවුනි.

2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙම රටාව තවත් දරුණු ආකාරයකින් නැවත සිදු විය. මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පල්ලි සහ හෝටල්වල සිටි පුද්ගලයන් 260කට වැඩි පිරිසක් කෲර ලෙස ඝාතනය කරන ලදී. එම සිදුවීමෙන් පසු, තවමත් ශෝකයෙන් පිරුණු රටක් තම මියගිය පුද්ගලයන් භූමදානය කරමින් සිටියදී, එක් පුවත්පතක් සිය මුල් පිටුවේ පළ කළ පුවතකින්, ෂාෆි නම් මුස්ලිම් වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ කාන්තාවන් 4,000ක් සිසේරියන් සැත්කම්වලින් පසු රහසිගතව වන්ධ්‍යකරණයට ලක් කර ඇති බවට චෝදනා කළේය. එම පුවත සඳහා මූලාශ්‍ර ලෙස නම් නොකළ පොලිස් සහ රෝහල් සම්බන්ධතා සඳහන් කළද, එම මූලාශ්‍ර කිසිදා ඉදිරිපත් නොකරන ලදී. පසුව සිදු වූ සෑම විමර්ශනයකින්ම පාහේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම සනාථ නොවූ බව පෙන්වා දුනි. එහෙත් එය වයඹ පළාත පුරා මුස්ලිම් නිවාස, වෙළෙඳසැල් සහ පල්ලි විනාශ කිරීමට දින කිහිපයකට පසුව රංචු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම වැළැක්වූයේ නැත. එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකුට තම නිවෙස් අතහැර යාමට සිදුවිය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මෙම බෝම්බ ප්‍රහාර සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. මෙම අන්තවාදී කණ්ඩායමේ තුච්ච අදහස්, ඔවුන්ගේ සම්ප්‍රදායික ඉස්ලාමීය විශ්වාසයන් සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ නිසා, එම මතවාදය පිළිබඳවම දැඩි කම්පනයට හා පිළිකුලට පත්ව සිටියහ. එසේ තිබියදීත්, ඔවුන් සමූහයක් ලෙස අසාධාරණ ලෙස සාමූහික වගකීමට ලක් කරන ලදී.

පාස්කු ඉරිදා සිදුවීමට තවත් අපහසු සහ සංකීර්ණ පැතිකඩක් තිබේ. කාලය ගතවීමත් සමඟ එය වඩාත් පැහැදිලි වී ඇති අතර, සිදුවීම පිළිබඳ සරල ආඛ්‍යානය තවදුරටත් සංකීර්ණ කරයි. 2023 වසරේ Channel 4 නාලිකාව විසින් සිදු කළ විමර්ශනයක් සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේම අපරාධ විමර්ශකයන් විසින් සිදු කළ පරීක්ෂණ හරහා බරපතළඑහෙත් තවමත් ඔප්පු නොවූ සහ සක්‍රීයව විවාදයට ලක්වෙමින් පවතිනචෝදනා ඉදිරිපත් වී තිබේ. එම චෝදනා අනුව, එවකට සිටි පාලකයන්ගේ අනුග්‍රහය ලැබූයයි කියන  රාජ්‍යයේම බුද්ධි අංශ තුළ සිටි ඇතැම් පිරිස් මෙම ප්‍රහාර පිළිබඳව පූර්ව දැනුමක් තිබූ බවත්, ඇතැම් විට ඒවා සඳහා පහසුකම් සැපයීමට පවා දායක වී තිබිය හැකි බවත් කියැවේ. මෙය සිදුවී ඇත්තේ ආරක්ෂක අර්බුදයක් මඟින් කිසියම් දේශපාලන කණ්ඩායමකට මැතිවරණමය වාසියක් ලබාගත හැකි පසුබිමකය. එක් අතකට එය ඛේදජනක වැරදි දිශානතියකි. තවත් අතකට, එය සැබෑ මහමොලකරුවන්, ඔවුන්ගේ වගකීම පිළිබඳ පරීක්ෂාවෙන් ඔවුන් ගැලවීමට ඉඩ සලසන ආකාරයේ බිල්ලෙකු නිර්මාණය කිරීමකි. මෙලෙස, මේ කාල වකවානුවේ, ඉස්ලාම්භීතිකාව සමාජය හරහා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැතිරුනි. මින් තවත් අදියරයක් වුනේ , කෝවිඩ් සමයේ මුස්ලිම් දේහ කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව ආදාහනය කිරීමට ගෝටාභය රජය ගත් ජාතිවාදී  තීරණයයි

සැබෑ අවශ්‍යතාවය කුමක්ද?

මෙම සන්දර්භය තුළ ගත් කළ, මිලාදුන් නබි උත්සවයේ සැබෑ අර්ථය හුදෙක් සැමරුම්කාරී හැඟීමකට වඩා ඔබ්බට යන්නේ මෙතැනදීය. නබි මුහම්මද් (සල්) තුමාණන් තායිෆ් නගරය විනාශ කිරීම ප්‍රතික්ෂේප කළ ආකාරය, මක්කාවේදී පොදු සමාව ලබා දුන් ආකාරය සහ මිනිසුන් අතර උසස් බව තීරණය කළ යුත්තේ පරම්පරාව හෝ වර්ගය නොව දේවභක්තිය සහ යහපත් හැසිරීම මත පමණක් බව අවධාරණය කළ ආකාරයමේවා නිෂ්ක්‍රීය ගුණධර්ම නොවීය. ඒවා තම යුගයේ , පළිගැනීමේ චක්‍රය දිගටම පවත්වාගෙන යාමට අවස්ථාවන් තිබියදී, එම චක්‍රය බිඳ දැමීම සඳහා හිතාමතා සහ නැවත නැවතත් ගත් දේශපාලන තීරණයන් විය.

එම ආදර්ශයට ගරු කිරීමට කැමති සමාජයකට එය සිදු කළ හැක්කේ හුදු  ජාතික උත්සවයක් පැවැත්වීමෙන් පමණක් නොවේ. ඊට වඩා දුෂ්කර දෙයක් කළ යුතුය. මිනිස්සුන්ගේ ආකල්ප හා ප්‍රමුකතා වෙනස්කිරීමෙන්‍ ය. දේශපාලන වුවමනාව ඇතිකිරීමෙන්‍ ය. නබිතුමාණන්ගේම ජීවිත කතාවෙන් අපට ඉගැනිය හැකි දේ අතර මානව ගරුත්වය තැකීම, පුද්ගලයන් හෝ කණ්ඩායම් වැරදි කළ විට සමස්ත ප්‍රජාවකටම සාමූහිකව දොස් පැවරීමේ ප්‍රවනතාවන්ට එරෙහි වීම; දේශපාලනිකව පහසු තීරන ගැනීම වෙනුවට, සැබැවින්ම වරද සිදුවූ තැන සොයා නිසි ලෙස විමර්ශනය කිරීම හා තරාතිරම් නොබලා නිසි දන්ඩුවම් දීම; අවදානම් සහිත, බියජනක කටකතාවන් නොපතුරුවන ලෙස තදින් අවවාද කිරීම,  ආදීන් ඇතුලත්ය. එය හුදු සංඥාවක් පමණක් නොව සැබෑ ක්‍රියාවක් බවට පත්වන්නේද යන්න රඳා පවතින්නේ, පළිගැනීම පහසුම මාර්ගය වන අවස්ථාවලදීත්, තායිෆ්හිදීත්, මක්කාවේදීත්, මදීනාවේදීත් එම උතුම් මිනිසා කළ ආකාරයටම ශ්‍රී ලංකාවට ඉවසීමේ හැකියාව රැකගෙන ජනතාව අතර ඒකාබද්ධ සබඳතා ගොඩනැගීමට හැකි වේද යන්න මතය.

මෙවරද, ශ්‍රී ලංකාවට එකිනෙකා කෙරෙහි අනිසි බිය ඇති කරගැනීම වෙනුවට, ජනයින් අතර අන්‍යොන්‍ය අවබෝදයේ පාලම් ගොඩනැගීමට සැබෑ අවස්ථාවක් ලැබී තිබේ. වර්තමාන රජයේ ප්‍රකාශය අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ගෙන තිබේ. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අමතමින් ජනාධිපති අනුර, “බෙදුම්වාදී ජාතිවාදී දේශපාලනය යළි හිස එසවීමටහෝ කිසිදු ආකාරයක ආගමික අන්තවාදයකට ඉඩ නොදීම තුළින් ජාතික එක්සත්කම ගොඩනැගීමට තමන් කැපවන බව ප්‍රකාශ කළේය. රටේ ඉහළම නායකත්වය විසින් ලබා දී ඇති මෙම ප්‍රශංසනීය සහතිකය ක්‍රියාවෙන්ද තහවුරු කළ යුතු අතර, සියලු දෙනා ඇතුළත් වන සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

ඇත්ත වශයෙන්ම, එම පොරොන්දුවෙන් ඉඟි කරන මූලික ප්‍රවණතාවය බොළඳ එකක් හෝ හුදෙක් නිල දේශපාලන වාග් ප්‍රකාශයක් නොවේ. බොහෝ සමීක්ෂණවලින් පෙනී යන්නේ,  ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් එකට ජීවත් වන ප්‍රදේශ, වෙළෙඳපොළ සහ සේවා ස්ථානවල දෛනික ජීවිත අත්දැකීම්වලින් පවා පෙනී යන්නේ, සෑම ප්‍රජාවකටම අයත් ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකට අවශ්‍ය වන්නේ වෙනත් කිසිදු අසාමාන්‍ය දෙයක් නොව, තම අසල්වැසියන් සමඟ සාමයෙන් ජීවත් වීම බවයි. දේශපාලනික අරමුණු සහිත සාපේක්ෂව සුළු පිරිසක්බියෙන් සහ බෙදී ගිය ජනතාවකින් ඡන්ද හෝ බලය වැනි වාසි ලබාගන්නා අයඑය කළ නොහැකි බව පෙන්වීමට නිරන්තරයෙන් හේතු නිර්මාණය කරති.

මිලාදුන් නබි උත්සවය සමරන්නේ, වෛර කිරීමට තමන්ට සාධාරණ හේතු සියල්ලම පාහේ ලබා දී තිබියදීත් ඊට වෙනස් මාර්ගයක් තෝරාගත්, ලෝකයට බලාපොරොත්තුව ගෙන ආ එම ශ්‍රේෂ්ඨ සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකුගේ ජීවිතයයි. අවාසනාවකට, වෛරය සහ අන්තවාදී අගතිගාමීත්වයේ අයහපත් ප්‍රතිවිපාක පිළිබඳ ඉතිහාසයෙන් සුදුසු පාඩම් ඉගෙන ගැනීමට ලෝකය නැවත නැවතත් අසමත් වන තත්ත්වයක අද පවතී. එසේ තිබියදීත්, ශ්‍රී ලංකාවේ සැබෑ බහුතර ජනතාව තුළ පවතින සහජීවනය සඳහා වූ කැමැත්ත හා අභිලාශය,එය නුරුස්සන සුළුතරයේ අභිප්‍රායන් හමුවේ නැවත නැවතත් පරාජයට පත් නොවිය යුතු බව අවධාරණය කිරීමට මෙය ඊටත් වඩා සුදුසු අවස්ථාවක් බව නොකිවමනාය.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment