23 April, 2024

Blog

ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ඉදිරියේ ඇති අභියෝග

ලීන් ඔකේර්ස්

ලීන් ඔකේර්ස්

ලීන් ඔකේර්ස්

පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වයට ශ‍්‍රී ලංකාව පත්වීම යම් ආකාරයක විදේශ ප‍්‍රතිපත්තියේ ජයග‍්‍රහණයක් වෙතත්, ඒ පත්වීම මගින් ඉදිරිපත් කෙරෙන අභියෝගය නොසළකා හැරිය නොහේ. එහි අදහස වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්මත නියාමයන් සහ සාරධර්ම අනුයන රටක් වීමට තමන්ට හැකි බව සහ තමන් කැමති බව පෙන්නුම් කිරීමට ශ‍්‍රී ලංකාව මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතු බවයි. එසේ නැතහොත් සිදුවන්නේ, ශ‍්‍රී ලංකාවට එවැන්නක් කිරීමේ හැකියාව නැති බවට විවේචකයන් ඉදිරිපත් කළ තර්ක ශ‍්‍රී ලංකාව විසින්ම ඔප්පු කිරීමයි. එවැනි මාර්ගයක් වැටෙන්නේ, අත්තනෝමතිකත්වයක් වෙතටයි.

ඒ අනුව බලන කල, පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිත්වය, නිස්කාරණේ නාස්ති කරගත යුතු නැති වටිනා අවස්ථාවකි. ශ‍්‍රී ලංකාව විචක්ෂණශීලී වන්නේ නම්, වගකීම් සහිත දිදුළන ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට තමන් ද සුදුස්සන් බව ලෝකයාට පෙන්නුම් කළ හැකිය. නැතහොත්, විවේචකයන් ශක්තිමත් කරනවාට අමතරව, ජාත්‍යන්තරයේ ඇතැම් කොටස් විසින් ශ‍්‍රී ලංකාවට පෙන්වන ලද අනුග‍්‍රහයේ විශ්වාසය බිඳ ගැනීමක් ද වනු ඇත. එවැනි තත්වයක් තුළ ජාත්‍යන්තරයේ කොන් වීමකට ලක්වීමට ඇති ඉඩකඩ වැඩි ය. එබැවින්, 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා බලධාරීන් විසින් බැ?රුම්ව සැලකිල්ලට ගත යුතුව ඇති අතර, යහපාලනය සහ ඊට අදාල එහි අඩංගු වෙනත් ප‍්‍රතිපාදන නොවළහා ක‍්‍රියාවේ යෙදවීමට තත්පර විය යුතුව තිබේ.

ජාත්‍යන්තරයේ කොන් වීමකට ඇති ඉඩකඩ බැහැර කරන ලංකාවේ ඇතැම් නරුම කොටස්, ශ‍්‍රී ලංකාව අතනාරින ‘අපූරු මිතුරන්’ පිරිසක් ශ‍්‍රී ලංකාවට සිටීම හුවාදක්වති. චීනය සහ ඉරානය ඊට උදාහරණ වශයෙන් දැක්වේ.

වසර ගණනක් තිස්සේ එම රටවල් ශ‍්‍රී ලංකාවේ අනුග‍්‍රහයට සිටි බව සැබවි. අනාගතයේ දීත්, ශ‍්‍රී ලංකාවට අහිතකර පිළිවෙතක් හිටිහැටියේම හෝ කැමැත්තෙන් හෝ අනුගමනය කිරීමට එම රටවල් ඉදිරිපත් වෙති යි සිතිය නොහේ. එහෙත්, රටක විදේශ ප‍්‍රතිපත්තියක් සූත‍්‍රගත වන්නේ, ඊට වඩා සංකීර්ණ ක‍්‍රමයකට ය. සාමාන්‍යයෙන් අදාළ රටේ ඕනෑ එපාකම් මත එය පදනම් කෙරෙන අතර, එය, රටේ අවශ්‍යතා සමස්තයේ ප‍්‍රතිඵලයක් වන්නේය. ඊට නිදසුනක් අවශ්‍ය නම්, මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීම ඉන්දිය අගමැතිවරයා ප‍්‍රතික්ෂේප කිරීම ගත හැකිය.

මෙය ශ‍්‍රී ලංකාවට එරෙහි වූ ‘සතුරු ක‍්‍රියාවක්’ නොව, ඉන්දීය රාජ්‍යයේ යහපත තකා ගත් තීරණයකි. එක අතකින්, ඊළඟ වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේ දී, විශේෂයෙන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ දී, කොන්ග‍්‍රස් පක්ෂයට ලැබිය හැකි ජයග‍්‍රහණයක් ගැන සිතා බැලීමක් ඒ පසු පස තිබුණ ද, ඊට අමතරව, සමස්තයක් වශයෙන් ඉන්දියාවේ අභ්‍යන්තරික ස්ථාවරත්වය පිළිබඳ සිතා බැලීම ද ඊට හේතුභූත විය. ඇත්ත වශයෙන්ම, අගමැතිවරයා එම සමුළුවට සහභාගී විණි නම්, තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඇති විය හැකිව තිබූ නීතිය හා සාමය පිළිබඳ ඕනෑම අර්බුදයක්, ශී‍්‍ර ලංකාවේ සහ තමිල්නාඩුවේ ප‍්‍රජාවන් අතර පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට මග පාදන්නට ද පිලිවන.

මේ නිසා, රටක විදේශ ප‍්‍රතිපත්තිය සකස් වන්නේ එරටට වඩාත් වාසිදායක වන ආකාරයෙනි. එසේම, රටක ඕනෑ එපාකම් ද හැම දාමත් එකම ආකාරයකින් නොවෙනස්ව පවතින්නේ නැත. උදාහරණයක් වශයෙන් වියට්නාමය සහ බටහිර ලෝකය අතර, විශේෂයෙන් ඇමරිකාව අතර සම්බන්ධතාව මෑතක සිට යහපත් අතට හැරෙමින් තිබේ. එසේ වුණේ, වියට්නාමය නිදහස් ආර්ථිකයක් වෙතට නැඹුරු වන්නට පටන් ගැනීම හේතුවෙනි. අද වියට්නාමය ‘අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංවිධානයේ’ ද සාමාජික රටකි. කොමියුනිස්ට් රාජ්‍යයක් වන වියට්නාමය ‘අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංවිධානය’ වැනි කලාපීය දක්ෂිණාංශික එකමුතුවක සාමාජික රටක් වීමට තීරණය කෙළේ, එම කලාපීය සංවිධානයේ වෙනත් රටවල් සහ තමන් අතර වන අන්‍යොන්‍ය ඕනෑ එපාකම් අතර බැඳිමක් ඇතැ යි වියට්නාමයට ඒත්තු ගිය බැවිනි. වියට්නාමය යනු මීට කලකට පෙර ප‍්‍රංශය සමගත් ඇමරිකාව සමගත් රුදුරු යුද්ධයක පැටලී සිටි රටක් බව මෙහි දී අමතක නොකළ යුතුය. අද වන විට, බටහිර සහ ‘අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංවිධානයේ’ සියාන්’ රටවල් සමග සමීප සබඳතා පැවැත්වීම තමන්ට වාසිදායක වන බව වියට්නාමය වටහාගෙන ඇත. එම අවබෝධය, වියට්නාමයේ විදේශ ප‍්‍රතිපත්තියේ වෙනස කෙරෙහි බලපෑවේය.

එනිසා, විදේශ ප‍්‍රතිපත්තියක් සූත‍්‍රගත කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම අඳබාලයන්ට කළ හැකි දෙයක් නොවේ. එසේම, ‘ගැලරිය’ පිනවීම සඳහා බෙරිහන් දෙන දේශපාලඥයන්ට මොන විදිහකින්වත් කළ හැකි කාරියක් ද නොවේ. ජාත්‍යන්තර දේශපාලනය යනු වෙනස් වෙමින් ගලාගෙන යන ක‍්‍රියාවලියකි. ‘සදාතන මිතුරන්’ ගැන කතා කරන්නේ, ජාත්‍යන්තර දේශපාලනයේ ගතිකත්වය නොදන්නා අඳබාලයන් ය.

චීනය ලංකාවේ ‘හොඳ මිතුරෙකි’. තව කාලයකට එසේ වන්නට පුළුවන. එහෙත් බටහිර ලෝකය සමග චීනයට ඇති ආර්ථික සබඳතා එම රටට අතිශය වැදගත්කමකින් යුත් පුළුල් ක‍්‍රියාවලියක් බව අමතක නොකළ යුතුය. උදාහරණයක් වශයෙන්, චීනයට තමන්ගේ ආයෝජන සහ වෙළඳාම සඳහා ඇමරිකානු ආර්ථිකය අත්‍යාවශ්‍ය වන්නේය. ඇමරිකාවට ද චීන ආර්ථිකය වැදගත් වන්නේය. තුන්වැනි ලෝකයේ රටක් වෙනුවෙන් එවැනි විපුල ඵල ප‍්‍රයෝජන සහිත සබඳතා අතහැරීමට චීනයට හැකියාවක් නැත. වැඩියත්ම, එම තුන්වැනි ලෝකයේ රට, ජාත්‍යන්තර දේශපාලනයේ වැදගත් භූමිකාවකට හිමිකම් නොකියන්නේ නම්, එම යථාර්ථය තවත් තීරණාත්මක වන්නේය.

චීනයේ ජාතික ආදායමෙන් සෑහෙන කොටසක් උපයන්නේ විදේශ වෙළඳාමෙනි. එහි අදහස වන්නේ, ලෝක ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්න භාවය බොහෝ දුරට චීනයට වැදගත් වන බවයි. මෙහි අනිත් පැත්ත වන්නේ, තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් චීනය මත යැපෙනවා මිස චීනය එම රටවල් මත යැපෙන්නේ නැති වීමයි. මේ සියලූ කරුණු, ජාත්‍යන්තර සබඳතාවල දී වැදගත් වෙයි.

ඉරානය සම්බන්ධයෙන් තත්වයත් එයමයි. බටහිර රටවල් පිළිබඳ ඉරානයේ ආකල්පය මෑතක සිට වෙනස් වන්නට පටන් ගෙන තිබේ. න්‍යෂ්ටික ප‍්‍රශ්න ගැන බටහිර ලෝකයා සමග ඉරානය දැනට පවත්වන සාකච්ඡුාවල ප‍්‍රතිඵලය මත, මතුවට ඇමරිකාව පිළිබඳ ඉරාන ප‍්‍රතිපත්තිය වෙනස් වීමට ඉඩ තිබේ. එවැනි තත්වයක් තුළ ලංකාව වැනි රටක් ගැන ඉරානය අද දරණ ආකල්ප වෙනස් වීමට ද පුළුවන.

ලෝක දේශපාලන කරළියේ පවතින මෙවැනි විචල්‍යතා සහ අස්ථාවරතා ගැන සළකා බැලීමේ දී, බාහිර ලෝකයා සමග ශ‍්‍රී ලංකාව පවත්වන සබඳතා (එක රටකට හෝ දෙකකට සීමා නොවී) හැකි තාක් පුළුල් කර ගැනීම සහ ප‍්‍රසාරණය කර ගැනීම ශ‍්‍රී ලංකාවට වැඩදායක ය. බටහිර සහ නැගෙනහිර යන ලෝක දෙක සමගම ශක්තිමත් මිතුරු සබඳතා ගොඩනගාගත යුතුය. එකක් වෙනුවෙන් අනික අතහැරීමට පුලූවන් කමක් ලංකාවට නැත. එසේම අසල්වාසීන් අතර පවතින නොහොඳ නෝක්කාඩු තමන්ගේ වාසියට හරවා ගත හැකි වෙතැ යි සිතීම ද මුළාවකි. උදාහරණයක් වශයෙන්, චීනයේ සහ ඉන්දියාවේ අවශ්‍යතා අතර අප සිතනවාට වඩා සාම්‍යත්වයන් තිබේ. වඩා ශක්තිමත් ආර්ථික බලවතුන් දෙදෙනෙකු වශයෙන් ඉන්දියාවටත්, චීනයටත් මිත‍්‍රශීලී ද්වි-පාර්ශ්වීය සබඳතා ගොඩනගා ගැනීම ඒ රටවල් දෙකටම එක සේ ප‍්‍රයෝජනවත් වන්නේය. එනිසා ඔවුන් ද, මහ ලොකු දේශපාලනික, ආර්ථික හෝ හමුදාමය බලයක් නොවන තෙවන පාර්ශ්වයේ රටක් වෙනුවෙන් ඔවුන්ගේ පොදු අවශ්‍යතා පරදුවට තබති යි සිතිය නොහේ.

ලෝකයේ පවතින භූගෝලීය යථාර්ථයන් වෙනස් කිරීමට ලංකාවට නොහැක. ශ‍්‍රී ලංකාවට ආසන්නතම අසල්වැසියා වීමට අමතරව, ආසියාතික කලාපය තුළ ඉන්දියාවේ භෞතික පැවැත්ම අති විශාල ය. එම යථාර්ථයන් අවබෝධ කර ගනිමින්, ඉන්දියාව සමග ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ලංකාවේ යහපතටම හේතු වන්නකි. ඉන්දියාව ද ශ‍්‍රී ලංකාවේ ඕනෑ එපාකම් ගැන සංවේදී විය යුතුය. වැරදි වැටහීම් සහ සිත් නොරොක් වීම් මගහරවා ගැනීමේ එක් මගක් වන්නේ, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර සංවාදය තව තවත් වර්ධනය කර ගැනීමයි.

යුද්ධයේ අවසන් කාලයේ සිදුවී යැයි කියන යුද අපරාධ සහ වෙනත් ප‍්‍රශ්න ගැන සොයා බලන්නැයි ඒක පාර්ශ්වීය වශයෙන් නිකුත් වෙන අවසාන දින නියමයකට යට වීමට ශ‍්‍රී ලංකාවට නොහැකි බව ඇත්ත. එහෙත්, ලෝකයාගේ ගෞරවයට ලක්වූ සහ ලංකාවේ ආණ්ඩුවෙන්ම පත්කරන ලද ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ශක්තිමත් අඩිතාලමකින් ක‍්‍රියාත්මක කිරීමෙන් ලෝකයාගේ හොඳ හිත දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවට පුළුවන. මේ මොහොතේ ලෝකයා ශ‍්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන්නේ, වාර්ගික සාමය වෙනුවෙන් සංයුක්ත වැඩපිළිවෙලකට සැබවින්ම තමන් යොමු වන බව, නිසැක සාක්ෂි සහිතව පෙන්නුම් කිරීමකි. අවාසනාවකට, යටිතල සංවර්ධනය (ගුවන් පාලම් සහ අදිවේගී මාර්ග) පමණක් ඊට සෑහෙන සාක්ෂියක් නොවේ. මූලික වශයෙන් ගත් විට වඩාත් වැදගත් වන්නේ, රටේ වෙසෙන සියලූ පුරවැසියන් සහ සාමූහිකත්වයන්, වෙනසකින් තොරව බලගැන්වීමකි.

*2013 නොවැම්බර් 19 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ  “Sri Lanka’s Foreign Policy Challenges” ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Lyn is a shameless fellow who had begged a job from the Government and became the Editor of Daily News. Ever since he was removed for failing to maintain his credibility, he has been attacking the Government. These are shameless double standards of Lyn who obviously supports his Tamil community.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.