Colombo Telegraph

වෛරී භාෂණය; පැහැදිළි නිර්වචනයක් සෙවීම

එම්. එස්. එම්. අයුබ්

සංවේදී ප‍්‍රශ්නයක් නිරාකරණය කරනු වස් භාෂණයේ නිදහසින් ‘‘වෛරී භාෂණය’’ වෙන් කෙරෙන නීතිමය නිර්වචනයක් අවශ්‍ය කෙරේ

වෛරී භාෂණය දඬුවම් ලැබිය යුතු වරදක් වීමට නම්, වෛරී භාෂණය පැහැදිළිව නිර්වචනය කරගත යුතුව තිබේ.

ආණ්ඩු මාරුවට පෙර ගතවූ තුන් වසක පමණ කාලයක් තිස්සේ අන්තවාදී කණ්ඩායම් ගණනාවක් ගෙන ගිය මුස්ලිම්-විරෝධී ප‍්‍රචාරය ගැන මතකය, ‘‘වෛරී භාෂණයට’’ එරෙහි නීති ගෙන ඒමට යන මේ මොහොතේ ඕනෑම කෙනෙකුගේ මතකයට නැගේ. මේ නිසා, එකී ‘‘වෛරී භාෂණයට’’’ අදාළව, දණ්ඩ නීති සංග‍්‍රහයට සහ අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රයට සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව තල්ලූ කරනු ලැබුවේ එකී වෛරී ව්‍යාපාර විසින් බව අපට සිතාගත හැක.

එසේම, ‘‘සුළු ආගමික කණ්ඩායම් සහ වෙනත් සිවිල් සමාජ සාමාජිකයන් මෙන්ම ආගමික ස්ථාන ඉලක්ක කොට ගෙන ගිය ප‍්‍රහාරයන්ට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව’’ නිසි පියවර ගැනීමටත්, ‘‘එවැනි වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා අනාගතයේ එවැනි ප‍්‍රහාර ඇති වීම වැළැක්වීම’’ සඳහා පියවර ගැනීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධ යෝජනාවෙන් ඉල්ලා සිටි තත්වය තුළ, ආණ්ඩුව මෙවැනි පියවරක් ගැනීම ස්වාභාවික බවත් කෙනෙකුට නිගමනය කළ හැක.

මේ අනුව, දණ්ඩ නීති සංග‍්‍රහයේ 290 වගන්තිය යටතේ අලූත් වරදක් හඳුන්වා දෙනු ලැබේ. ඊට අනුව, ‘‘හිංසන ක‍්‍රියාවන් හෝ වාර්ගික හෝ ජාතිභේදවාදී හතුරුකම් හෝ එදිරිවාදිකම් හෝ නපුරුකම් පිළිබඳ හැඟීමක් විවිධ ප‍්‍රජාවන් අතර හෝ විවිධ පුද්ගල පංතීන් අතර හෝ විවිධ ජාතිවලට හෝ ආගම්වලට අයත් කණ්ඩායම් අතර හෝ ඇති කිරීමට හෝ එසේ ඇති කිරීම සඳහා තැත් කිරීමට හෝ ඒ සඳහා උසි ගැන්වීමට, වාචිකව හෝ ලිඛිතව හෝ කියැවීම සඳහා අපේක්ෂිතව හෝ සංඥා මාර්ගයෙන් හෝ විද්‍යමාන නිරූපණයෙන් හෝ කටයුතු කිරීම හෝ එසේ කටයුතු කිරීමට තැත් කිරීම, අවුරුදු දෙක දක්වා වන සාමාන්‍ය සිර දඬුවමකට හෝ බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් කළ හැකි වරදකි.’’

කෙසේ වෙතත්, මේ අපේක්ෂිත සංශෝධනයට එරෙහිව අද, එවැනි ක‍්‍රියාවන්හි යෙදුණු බවට කුප‍්‍රකට අයවළුන් පමණක් නොව, ඔවුන්ට එරෙහිව එදා පෙනී සිටි සහ එක්සත් ජාතීන්ගේ ඉහත කී යෝජනාවට පක්ෂව සිටි අයවළුන් පවා නැගී සිටිති. වෛරී භාෂණය සම්බන්ධයෙන් වන ආකල්පයේදී අන්ත දෙකක සිටින බොදුබල සේනාව සහ දෙමළ ජාතික සන්ධානය පසුගිය සිකුරාදා මේ නීතියට එක සේ විරෝධය පෑම එක්තරා විදිහකින් උත්ප‍්‍රාසාත්මක ය. තවත් විදිහකින් ගත් විට, මේ සංශෝධනය අගය කළ යුතු අයෙකු වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. මන්ද යත්, වෛරී භාෂණයේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් තමන් සතු බලය සහ වරප‍්‍රසාද වැඩියෙන්ම අහිමි කරගත් පුද්ගලයා ඔහු වන බැවිනි. ඔහුගේ පාලන කාලයේ අවසාන වසර තුන තුළ මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී භාෂණය ඉස්මත්තට නොආවේ නම්, එම ජනතාව අනිත් ජන කොටස්වලට වඩා ඔහුව අත්හැර නොයනු ඇත. එසේ විණි නම් එම ජනතාවගේ තව ඡුන්ද ලක්ෂ දෙකක්වත් ලබා ගනිමින් ඔහුට සිය පරාජය වළක්වා ගත හැකිව තිබුණි.

කෙසේ වෙතත්, පාසල් නිල ඇඳුම සම්බන්ධ ප‍්‍රශ්නයට අදාළව මෑතකදී ඔහු කළ ප‍්‍රකාශවලින් පෙනෙන්නේ, ජාතීන් අතර සම්බන්ධතා කෙරෙහි වන ඔහුගේ අතීත ප‍්‍රතිපත්තියේ කිසි වෙනසක් තවමත් සිදුව නැති බවයි. බොදුබල සේනාවේ චෝදනාව වන්නේ, මේ සංශෝධනය සිංහලයන්ට සහ බෞද්ධයන්ට එරෙහිව පාවිච්චි විය හැකි බවකි. දෙමළ ජාතික සන්ධානය කියන්නේ එය, දෙමළ සහ මුස්ලිම් ජනතාවට එරෙහිව පාවිච්චි විය හැකි බවකි. මන්ද යත්, එය, දුර්දාන්ත ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ යටතේ එන පැනවීම්වලට මුළුමණින් සමාන වන බැවිනි. කණ්ඩායම් දෙකම කියා සිටින්නේ මේ සංශෝධනය, භාෂණයේ නිදහස මර්දනය කිරීම සඳහා පාවිච්චි විය හැකි බවයි.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ එකී ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටත්, සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු වූ ජේ. එස්. තිස්සනායගම්ව, එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුග‍්‍රහහීලී යැයි කියන ලිපි දෙකක් ලිවීමේ වරදට කොළඹ මහාධිකරණය මගින් වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියම කළ අවස්ථාවත්, බොදුබල සේනාවට එදා අභියෝග කළ, ජාතික එක්සත් සන්ධානයේ නායක අසාද් සාලිව එම නීතිය යටතේම අත්අඩංගුවට ගත් අවස්ථාවත්, දෙමළ ජාතික සන්ධානය උදාහරණ වශයෙන් පෙන්වා දෙයි.

ඒ අනුව, නව සංශෝධනය අභියෝගයට ලක්කරමින්, සුදාර් ඔලි පුවත්පතේ සංස්කාරක අරූන් අරෝකියනදන් විසින් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබේ. දෙමළ ජාතික සන්ධානයට සහ බොදුබල සේනාවට මේ සම්බන්ධයෙන් ගැටළු මතු වීම අපට තේරුම්ගත හැකිය. මන්ද යත්, එම දෙපිරිසේම දේශපාලනය, වාර්ගික සම්බන්ධතාවන් සමග ගැට ගැසී ඇති බැවිනි. බොදුබල සේනාව ඉස්ලාම් භීතියකින් පෙළෙයි. ඒ නිසා නිතරම ඔවුහූ එම ප‍්‍රජාවට බැනඅඬගසති. ඔවුන් කරන කියන එම කියුම් ‘‘වෛරී භාෂණය’’ සේ අර්ථ ගැන්විය හැකිය. ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනටමත් එම සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් විභාග වෙයි.

එසේම දෙමළ ජාතික සන්ධානයත් වාර්ගික ප‍්‍රශ්න අරභයා බොහෝ විට ආණ්ඩුව විවේචනය කරන තත්වයක් තුළ, ඇතැම් අවස්ථාවක කරන ප‍්‍රකාශයක්, වෛරී භාෂණයක් වශයෙන් ගැනීමට ඉඩ තිබේ. පසුගිය වසර ගණනාව තුළ මෙකී වෛරී භාෂණයෙන් වැඩියෙන්ම බැටකෑ පිරිස වන්නේ මුස්ලිම් ප‍්‍රජාව නිසා ඔවුන්ගේ නායකයෝ මේ සංශෝධනය කෙරෙහි සතුටට පත්වන බවක් පෙනෙන්ට තිබේ. එසේම, එවැනි නීතියක් මගින් තමන්ට සහනයක් ලැබෙන බවට විශ්වාසයක්ද ඔවුන් තුළ ඇති බවක් පෙනෙන්ට තිබේ.

කෙසේ වෙතත්, මෙය ඉතා පරිස්සමින් සළකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. මන්ද යත්, එක පැත්තකින් ජාතික විනාශයන් ඇති කැරැුවිය හැකි වෛරී භාෂණය වැළැක්විය යුතු අතරේම, වෛරී භාෂණය යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිළි නිර්වචනයක්ද නැති බැවිනි. එසේ හෙයින්, කෙනෙකුට තම වර්ගයා ගැන ඇති කැක්කුම සහ වෛරී භාෂණය අතර වෙනස විටෙක බොඳ වී යා හැකිය. යමෙකුගේ කතාවක් පැහැදිළිවම වෛරය සහ ද්වේෂය අවුස්සන ප‍්‍රකාශයක් වන අවස්ථා එමට තිබේ. එසේ වෙතත්, කෙනෙකුට වෛරී භාෂණයක් විය හැකි ප‍්‍රකාශයක් තවත් කෙනෙකුට දේශපේ‍්‍රමී ප‍්‍රකාශයක් වශයෙන්ද පෙනී යා හැක.

පැහැදිළි නිර්වචනයක් සෙවීම සම්බන්ධයෙන් ගත් විට, ත‍්‍රස්තවාදය යන යෙදුමත් වෛරී භාෂණය යන යෙදුම සේම දුෂ්කර කටයුත්තකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් සියලූ රටවලට පිළිගත හැකි නිර්වචනයක් ඉදිරිපත් කොට නැත. ඉස්ලාමීය රාජ්‍යයන්ගේ ඒකාබද්ධ සංවිධානය වෙනුවෙන් ඊජිප්තු නියෝජිතයා පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනි දා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී මෙසේ කීය: ‘‘විදේශ හමුදාවන් යටතේ වෙසෙන ජාතීන්ට ඊට එරෙහිව තමන්ගේ විරෝධය පෑමට ඇති සුජාත අයිතිය ත‍්‍රස්තවාදයක් වශයෙන් හඳුනා නොගත යුතු බව නැවතත් අවධාරණය කළ යුතුව තිබේ.’’

මෙයාකාරයෙන්ම, නොබැඳි ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් කරුණු දැක්වූ ඉරානය මෙසේ කීය: ‘‘යටත්විජිතවාදී හෝ විදේශ ආධිපත්‍යයකට යටත්ව සිටින, ස්වයං-නිර්ණ අයිතිය සහ ජාතික විමුක්තිය සඳහා මිනිසුන් ගෙන යන අරගලය, ත‍්‍රස්තවාදය සේ නොගත යුතුය.’’ ඉස්ලාමීය රාජ්‍යයන්ගේ ඒකාබද්ධ සංවිධානය සහ ඉරානය ඉහත කී අදහස් දක්වන්නේ පලස්තීන ප‍්‍රශ්නය ගැන කල්පනාකාරීව බව පැහැදිළි ය.

මේ නිසා වෛරී භාෂණය අපරාධයක් සේ නීතිගත කිරීමට පෙරාතුව එකී යෙදුමට, සමාජයක බහුතරයකට පිළිගත හැකි නිරවුල් නිර්වචනයක් දීම වැදගත් බව කිව යුතුය. එවැනි පැහැදිළි නිර්වචනයක් නැති විටදී, තමන්ගේ විරුද්ධවාදීන් පීඩාවට පත්කිරීම සඳහා එම නීතිය අවභාවිත කිරීමේ හැකියාවක් බලධාරීන්ට ලැබේ. විශේෂයෙන් එය අපට වැදගත් වන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතීව ලියැවී ඇතැයි කී ලිපි දෙකක් නිසා ජනමාධ්‍යවේදියෙකුව බරපතල වැඩ සහිතව අවුරුදු 20 කට හිරේට නියම කරන අතරේ, වසර ගණනාවක් තිස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් දහස් ගණන් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ නිකුත් කළ එම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව සිටි බවට සාක්ෂි නැතැයි අධිකරණයට දන්වා සිටි පොලීසියක් තිබෙන රටක අප ජීවත් වන නිසා ය.

*2015 දෙසැම්බර් 18 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ“A Sensitive Issue is to be regularized legally separating ‘Hate Speech’ from Freedom of Speech” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page