17 January, 2026

Blog

හරීන්ගේ කුමාරයාගෙන් ඔබ්බට ලාංකේය දේශපාලනය

මහින්ද ගුණරත්න

ආචාර්ය මහින්ද ගුණරත්න

මෙම ලිපියට පාදක වනුයේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව නුගේගොඩදී  පැවැත් වූ ආණ්ඩු විරෝධී ජන රැලියේදී හරීන් ප්‍රනාන්දු විසින් නාමල් රාජපක්ෂ හඳුන්වාදීමට භාවිතා කළකුමාරයාවිශේෂණය ජනිත කල සමාජිය කතිකාව  දේශපාලනික කතිකාවක් දක්වා විවරකර එම කුමර කථාව කවර දිශානතියක් දක්වා වර්ධනය විය හැකිදයි සහ කල හැකිදැයි විමසා බැලීමය. අදාල ප්‍රකාශය සහ ඉන් පසුදින හරීන් සිදුකල මාධ්‍ය සාකච්ඡාව හැර අනෙකුත්  සියලු කථිකාවන් අදාල ප්‍රකාශනයේ යටි ඇරුත් සොයා යාමකට වඩා මතුපිටින් අතපත ගෑමකට සීමා වී තිබෙන අතර ඒ සියල්ලම එම රැළියේ සමාජීය, සංස්කෘතික, හා ආර්ථික ස්වාභාවයන් විමසා බැලුවත් දේශපාලනික ගතිකත්වයන් හිතාමතාම හෝ නොදැනුවත්කම නිසා හෝ අත්හැර දමා ඇති බව පෙනේ.

සරළව කිවහොත් ආණ්ඩුවාදීන් සිතනුයේ මොන රැස්වීම් හා විරෝධතා තිබ්බත් ආණ්ඩුව නිරුපද්ධිතව නිල කාලය අවසන් කරනු ඇති බව සහ නැවත බලයට පැමිනෙන බවය. ආණ්ඩු විරෝධීන් දකිනුයේ මෙය ආණ්ඩුවට එල්ල කල දැවැත්ත අභියෝගයක් සහ ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවට බැටදී බලය අත්කරගත හැකි ප්‍රවේශයක් ලෙසත්ය. නමුත් සැබෑ අභියෝගය වනුයේ මෙම ආණ්ඩුව පවතිනවාද නැත්ද යන්න නොව සමස්ථ ආණ්ඩුකරණය සහ රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව මෙන්ම ජාතික රාජ්‍යයක් පිලිබඳ අපගේ පැතුමන් ඉටු කිරීමට පවතින රජය හෝ අනාගත රජයක් සමර්තවේද යන්නය. රජය සහ රාජ්‍යයය යනු එකක් නොව දෙකකි. රජයන් ඇවිත් යයි, රාජ්‍යයන් පවතියි. නමුත් රජයේ ක්‍රියාකාරීත්වය මත රාජ්‍යයේ පැවැත්ම හෝ නොපැවැත්ම මෙන්ම විශිෂ්ටත්වය හෝ අශිෂ්ටත්වය තීන්දු වෙයි.

කුමාරයා (හෝ කුමරිය) යනු අප වෙනුවෙන් මේ සමස්තය තීන්දු තීරණය කරන පුද්ගලයා සහ ක්‍රමය නම්, හරීන්ගේකුමාරයාවිශේෂණය අප විමසා බැලිය යුත්තේ එවැනි පුළුල් සන්දර්භයක තබා මිස නාමල් රාජපක්ෂ සත්තකින්ම කුමාරයෙක්ද නැත්ද යන පදනමින් නොවේ. එසේ කිරීම සඳහා පක්ෂ දේශපාලනය සහ කතිර පූජාව ඉක්මවා යන තියුණු දේශපාලනික සවිඤ්ඤාණකත්වයක් අප විසින් අත්පත් කරගත යුතුව ඇත.

වත්මන් අපගේ අතීත කුමාරවරුන්

අතීතයේ පටන්ම අපට රජුන් හා කුමාරවරුන් සිටියේය. විජය කුමාරයාගේ ආගමනයේ සිටම මේ කුමාර කථාව අපේ ජාතික කතිකාවේ සුවිශේෂී ඉඩක් වෙන් කරගෙන ඇත. අපේ ඉතිහාස කතාවේ කුමරියන් සිටියාද ඔවුන් අවශේෂ චරිතයන්ම වූවා මිස රාජ්‍යත්වයේ හිමිකාරත්වයට තීරණාත්මකව මැදිහත් වූ සුවිශේෂී අවස්ථා විරලය. කුවේණ්නගේ සිටම මේ කුමරියන් කුමරුට රාජ්‍යයය අත්පත් කර ගැනීමට හෝ නැති කර ගැනීමට දායකවූ නමුත් රාජ්‍යත්වයට පත්වූයේ අහම්බෙනි. එසේම මේ කුමරියන්ගේ රස වෑහෙන ආලකමංදා කථන්දර පිළිබිඹු කරනුයේ කුමරුට රට රැකීම වෙනුවට කුමරිය රැක ගැනීමට වැදි රජුන් සමග නිරන්තරයෙන් සටන් වැදීමට සිදුවූ බවය.

ඉන්දියානු කුමරියක නිසා රාජ්‍යය අහිමි කරගත් රාවණා රජු නිසා නොවේ නම් අපගේ ඉතිහාස කතාව මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණි. නමුත් වැඩේ හොඳටම අවුල්වන්නේ කුවේණ්න සමග ආලයෙන් වෙලී ලංකා රාජ්‍යය ලබාගත් විජය කුමරු රජකම සඳහාම ඇය හා දරු දෙදෙනා පලවා හැර ඉන්දියානු කුමරියක ආනයනය කලදා සිටය. මේ දරුණු ප්‍රේම වියෝගයෙන් දැවී දැවී සිය දරු දෙදෙනාද කැටුව ලංකාපුර යක්ඛ රාජධානියට පලා ගිය කුවේණ්නට සිදු වූයේ තම සනුහරය පාවාදීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

කෙසේ නමුත්, විජය තමන්ට පමනක් නොව ඔහුගේ සත්සියයක් පිරිවරටද ඉන්දියන් කුමරියන් ආනයනය කළේ ඉන්දු පෙම අපගේ උරුමයක් කරමින්ය. නමුත් විජයගෙන් පසු නැවැත රජ කුමරෙක් සහ කුමරියක්ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපට සිදු වන්නේ දෙවන විවාහයෙන් විජය කුමරුට දරුවන් නොසිටි බැවිනි. කුවේණ්න සමග එක්ව ස්වදේශික ජනයා සමග මුහු වෙනවා වෙනුවට වංශය කබල් ගාන්නට යාමෙන් විජය කුමරුට සිදුවුයේ පෙමින් දිනූ රාජ්‍යය අනෙකෙකුට දී අසරණව මිය යන්නටය.

එතැන් සිට ආනයනය කල ඉන්දීය ප්‍රේමයට අපගේ තිබූ ඇල්ම බැල්ම අවසන් වනුයේ උඩරට රාජ්‍යය වඩුගයින් අතට පත්වීමෙනි. එයින් අගතියට පත් උඩරට කුලීනයන් මූදුකරයේ සිටි සුද්දාට ප්‍රේම කිරීමට පටන්ගන්නේ තමන්ට සිදුවූ මදිපුංචිකම් වලට වඩුගයින්ගෙන් වාඩුව ගැනීමට මිස රටට ඇති ආලයකට නොවේය. කෙසේ නමුත් මේ අතීත ප්‍රේම කථාවේ අපූර්වත්වය වනුයේ උඩරට රාජධානිය නොමැතිව ලංකා රාජ්‍යය කිසිදිනක පූර්ණ රාජ්‍යයක් නොවීමය. එනිසාමදෝ සුද්දා ද උඩරටට පෙම්බැන්දේ, කල්යල් බලමින් උඩරට රදළ කුලීනයින් සමග හොර රහසේ පෙම් කෙළියේ උඩරට රාජ්‍යය ඩැහැගැනීමටය.

සුද්දා සමග පෙම් කෙළිනවා වෙනුවට අප කළ යුතුව තිබුනේ වඩුග රජු හා පරපුර පලවා හැර  උඩරැටියන් අතට රාජ්‍යය අත්පත් කර ගැනීම ය. නමුත් අවසානයේ දී වඩුග රජු සුද්දාට බිලි දී සුද්දා රජ බවට පත්කර රට එක්සේසත් කරගත් අප, මානව ඉතිහාසයේ දැවැන්තතම රාජ්‍ය පාවාදීමක් හා දුශ්ඨ කුමණ්ත්‍රණයක් ගිවිසුම් ගත කර උදම් ඇනීමට තරම් අදීන සහ ජාතිමාමක වීමු. නමුත් තමන්ට අයිති කරගත හැකිව තිබූ රාජ්‍යය පරසුද්දෙකුට දී යම් වරදාන හා වරප්‍රසාද ලබා ගැනීම වත්ත බද්දට දී ඇස්සට දත නියවීම වැනි නොවේද? ඉන් නොනවැතුන අප 1948 දී ලැබුනා යයි කියන නිදහසින් පසු ද සුද්දාගේ සුද්ද කිරීමේ දේශපාලනික හා රාජ්‍ය යාන්ත්‍රනය කරපින්නාගෙන කුමරවරුන් සෙවීමේ ජාතික මෙහෙවරක නිරත වී සිටින්නෙමු.

සුද්දාගේ නිදහසින් පසු අප එසේ රජ කමට පත්කරගත් පළමු කුමරා වන්නේ බණ්ඩාරණායකය. පහතරට කුලීන වෙළද කුලකයක කුමරෙකු වු සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සුද්දාගේ පාලනය යටතේ සුවිශේෂී පාලන බලතල හා වරප්‍රසාද ලැබු බලවත් පවුලකින් පැවත ආවද 1940 දී සිරිමා රත්වත්තේ කුමරිය හා විවාහ වන්නේ රජකමට උරුමකම්  තියෙන කුමරෙකු වීමට අවශ්‍යම සුදුසුකමක් වන උඩරට බලවත්ම රදළ පරපුරකට නෑකම් කියමිනි. මෙසේ සියවසේ විවාහය ලෙස විරුදාවලිය ලත් කසාදයකින් ප්‍රේමනීය ලෙස උඩරට දිනාගත් ඔහු 1956 මැතිවරණයේදී ලංකා රාජ්‍යය දිනා නිදහස් ලංකාවේ හතරවන අගමති ලෙස කිරුළු පළදින්නේ  සිය කෙටි පාලන කාලය තුළ ඉතාමත් පුළුල් සමාජ දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන ගමන් ම ගැඹුරු සහ අදටත් ඔඩු දුවන අර්බුද ගණනාවක් අපට උරුම කර දෙමිනි.

බණ්ඩාරණායක කුමරුගේ ප්‍රතිසංස්කරණ කොතරම් අර්බුදකාරී වීද යත් ඔහුට ඒ සඳහා සිය ජීවිතයෙන්ම වන්දි ගෙවෙන්නට සිදු වන්නේ අගතියට පත්වුවා යැයි විශ්වාස කල සිය සටන් සඟයෙකු අතින්ම වීම දෛවයේ සරදමක් වැනිය. කෙසේ වෙතත් මෙම කුරිරු දේශපාලන ඝාතනය නොසිතූ ලෙස මංපෙත් විවර කර දෙනුයේ ලෝක ඉතිහාසයේ ප්‍රථම කාන්තා අගමතිවරිය බිහිකරමින් ලාංකීය කිරීටය කුමරියකට හිමිකර දීමට බව කිසිවෙකුත් ඒ මොහොතේ නොසිතන්නට ඇත.

දෙවනුව අපට එවනි කුමරෙක් මුණගැසෙන්නේ ද බණ්ඩාරණායක පවුලින්ම වීම ආශ්චර්යකි. ඒ විජය කුමරාගේ දේශපාලන සම්ප්‍රාප්තිය හා ඒ මතම සිදුවන චන්ද්‍රිකා කුමරිය සමග අතිනත් ගැනීමෙන් ඇරඹෙන අමරණීය දේශපාලනික පෙම් පුවත ය. කෙසේ නමුත් මෙම ප්‍රේම වෘත්තාන්තයද අවසන් වනුයේ අපේ අතීත කුමාර සම්පුදායන් කනපිට හරවමිනි. මෙහිදීද ඉතාම ශෝචනීය අයුරින් කුමාරයා මිය යන්නේ කුමරියට ලාංකිය රාජ්‍යයේ රාජ්‍යත්වයට මංපෙත් විවර කරමිනි.

මෙම රාජ්‍යත්වය සහ කුමාර කථා ප්‍රහර්ශයට පත් කරවමින් ඉන්පසු රජකමට පැමිණෙන පර්සි මහේන්ද්‍ර කුමරුට රාජ්‍යයත්වය අත්හැර යාමට සිදු වනුයේ ගමරාල කුමරුට පරාජය වීමෙනි. කෙසේ වෙතත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පුපුරා හැළුන ගමරාල කුමාරයාගේ මෛත්‍රී රාජ්‍යය වෙනුවට සෞභාග්‍යයේ රාජ්‍යය ගොඩ නැගීමට පැමිනි හේවාරාල ගෝඨාභය කුමරු මුලුරටම හාන්නේ ගොවිතැනට පොහොර ටිකක්වත් නැති කරමිනි. ඉන් නොනැවතුන ගෝඨාභය කුමරු අපරට හිඟන කොටුවක් කිරීමට එරෙහිව බුරබුරා ඇවිළුනු ජන අරගලයේ බර දරාගත නොහැකි ව ගෝකන්න තොටින් නැව් නැග ජීවිතය බේරා ගන්නේ රජකමට කල්යල් බලමින් සිටි රනිල් කුමරුගේ දස්කම් නිසාවෙනි.

මෙහිදී කවදත් යුවරජ කමට ඇළුම් කළ රනිල් කුමරු රජකම භාර ගන්නේ සුද්දාගේ අච්චුවේ හැටියට වෙන යමක් කලහැකිව නොතිබූ නිසාවෙන් හෝ හේවාරාල කුමරුගේ ඇරයුම පරිදි ඔහුගේ කොටය ඇදීමට සජිත් හෝ අනුර කුමරුන්  එකඟ නොවූ බැවිනි. නමුත්  මා දකින්නේ අනුර කුමරු රජකම භාරගත යුතුව තිබුනේ මේ අවස්ථාවේදී වන අතර එසේ වූවා නම් සිස්ටම් චේන්ජ් සහ ප්ලග් ගැලවීම යනුවෙන් ඔහු අදහස් කරන සුද්දාගේ අච්චුව කැඩීම පහසුවෙන් කල හැකිව තිබුණි

එනිසාම අද වෙනතුරුත් අපට ගැලපෙන කුමාරයෙක් අපට හමු නොවන්නේ සුද්දාගේ අච්චුව අපේ අච්චුව නොවන නිසාම සහ උඩරට පහතරට බෙදීමකින් තොරව රජු සහ රාජ්‍යය පාවා දුන් උන්ම රජකමට පත්කර ගැනීමට අපට තිබෙන උන්මාදය නිසාය.  තවද මේ නිසාම කුමාරවරුන් රජවරුන් බවට පත් කිරීමේ ජාතික ව්‍යායාමය අද දවසේත් සම්පූර්ණ වී නැතිවා සේම රජ බවට පත්වූ කුමාරවරුන් රාජ්‍යය ගොඩ නැගීම අතර දමා රජකම සහ කුමරිය රැක ගැනීමට වෙරදැරීම නිසාම පුරවැසි අපට නිරන්තරයෙන්ම අනාගතයේ පැමිනෙන යහපත් කුමාරයෙක් පිළිබඳව සිහින දකිමින් කතිර පූජා පැවැත්වීමට සිදුව ඇත. ඒ කෙසේද යත්,  අද හෝ හෙට පැමිනේයයි අප සිහින දකින දියසෙන් කුමාරයාගේ කතන්දරය අපගේ එම ජාතික ඛේදවාචකයේ භාව ප්‍රකාශනය නොවේද? ඉතින් හරීන් අපට ඉඟි කරන්නේ මේ දියසෙන් කුමාරයා පිළිබඳව ද?

වත්මන් කුමරුගේ අභියෝගය

කෙසේ නමුත් අද අපට රජ කමට පත් වූ කුමාරයෙක් ඇත. ඒ දිසානායකත්වයෙන් රාජ්‍ය නායකත්වයට පත් පරසිදු අනුර කුමරුය. ඉඳින් අළුත් කුමරෙක් කුමටද? සුද්දාගේ අච්චුවේ ප්‍රස්නයක්ද නැත්නම් වංශයේ ප්‍රස්නයක්ද? මටනම් හැඟෙන්නේ මෙය අච්චුවේ ප්‍රශ්නයක් බවයි. ධනපති රාජ්‍ය යාන්ත්‍රනයක්  සහ වෙළදපොල ආර්ථිකයක් පවත්වාගෙන යාම වාමවාදී කඳවුරකට බරපතල අභියෝගයක් බව 70 සමගි පෙරමුණු ආණ්ඩුව විසින් අපට කියා දී ඇත. තවද හේවාරාල කුමරුගේ ජාතිකවාදී ආණ්ඩුව ඇන ගත්තේද මේ නිසාමය. ධනපති වෙළදපොල සෙක්කුව කැරකවීම දක්‍ෂිනාන්ශිකයින් ඉතා හොඳින්  කරද්දී වම්මු එය කරන්නට මෙතරම් දත කන්නේ ඇයිද? ඒ ශිල්පීය කුසලතා නැතිව වුවද අච්චුවට අනුව සෙක්කුව කරකවන්නට සිදුව තිබෙන නිසා සහ අච්චුව හෝ සෙක්කුව බිඳ දැමීමට ධෛර්යය හෝ හැකියාව නොමැති නිසාය.

ඔවුන්ම සඳහන් කළ පරිදි, නිදහසින් පසු රජකමට පත්වූ කුමර කුමරියන්ගේ කෙරුවාවට පිං සිදු වන්නට හිඟමනට වැටුන අප රට ආසියාවේ කුරිරුතම වාර්ගික යුද්ධයකින් සහ තරුණ කැරළි දෙකකින් බැටකා යාන්තමින් පනනළ ගැටගසාගෙන සිටියදී පැමිණි කොවිඩ් වසන්ගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් කරවටක් එරී යන්තමින් හුස්ම ගනිමින් සිටියදී දහසකුත් එකක් බලාපොරොත්තු සහ පොරොන්දු මත පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ලබා දීමේ පරම අදිටනින් බලයට පැමිනි අතිබලවත් ජාතික ජන බලවේගය රජයට වසරක් අවසානයේදී මෙවන් අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන්නේ කුමක් නිසාද? කජු සීයා යයි විරුදාවලිය ලත් රනිල් කුමරු කිසිවක් නොකල නිසාද නැත්නම් ගැලවී යෑමට නොහැකි ලෙස ධනපති උගුල අටවා තැබූ නිසාද? ඉදින් මේ අළුත් කුමාර කථාව එන්නේ එවන් අභියෝගකාරී පසුබිමකින් නිසා අප මේ ප්‍රකාශය ගැඹුරින් විමසා බැලිය යුතු නොවේද?

අනුර කුමරුගේ රජයට එරෙහිව එන බරපතල අභියෝගයෙන් අතර ප්‍රමුඛතම වී ඇත්තේ ආර්ථික කළමණාකරනය සහ 2028 දී පැමිනෙන ණය ආපසු ගෙවීමේ අභියෝගයයි. එය සපුරා ගැනීම සඳහා රජය මුදල් අට්ටි ගැසීමේ පිලිවෙතකට යොමු වී ඇතයිද රටම වැඩබිමක් කරනවා වෙනුවට අයවැයෙන් වෙන් කරන සංවර්ධන හා පුනරාවර්තන වියදම් ද නැවැත භාණ්ඩාගාරයට හරවා යැවීමේ පිලිවෙතක් අනුගමනය කරනවායයි විපක්ෂය චෝදනා කරන්නේ පහුගිය අයවැයෙන් වෙන්කල මුදලින් වැඩි ප්‍රතිශතයක් වියදම් කර නැති බව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ නිසාවෙනි. මෙහි භයානක අනිටු ප්‍රතිඵලය වනුයේ ආර්ථිකය හැකලී, සංවර්ධනය අඩාල වී, දළ දේශීය නිෂ්පාදිතයේ ඉලක්ක සපුරා ගත නොහැකිව හේවාරාල කුමරුගේ ආර්ථිකයට සමාන තත්වයක් රටේ ඇති වීමය.

වෙළදාම යනු භාන්ඩ හා සේවා බෙදා හැරීම සඳහා මානවයා විසින් සොයාගත් කාර්යක්ෂම යාන්ත්‍රනයකි. නමුත් එය හැම විටම සර්වසම හෝ සාධාරණ නැති බැවින් වෙළද පොළ පාලනයට ඇති බදු, සහනාධාර, හා දිරි දීමනා වැනි සංවරණ හා තුලන මෙවලම් රජයකට භාවිතා කළ යුතුය. එබැවින් රජයක් වෙළදපොල ප්‍රසාරණයට බිය නොවිය යුතු අතර වෙළදපොල තුලිත කිරීම සඳහා වෙළදාමට බැසිය යුතුද නැත. විවෘත වෙළද පොළට මානුෂික මුහුණුවරක් දීමට සක්කරයාගේ පුතා වයිමාටවත් නොහැකි බව අපට කියා දී ඇති බැවින් සහ හොරකම අපගේ ඇට මිදුළු දක්වා කිඳා බැස ඇති බැවින් දියුණු රාජ්‍යයන්හි වෙළඳපොල න්‍යායන් හා භාවිතයන් යොදා ගැනීම අපටද උචිත වනු ඇත. නිදහසට පෙර මුහුදු කොල්ලකරුවන්ගේ තිත්පොලක් වූ සිංගප්පුරුව දියුණු රාජ්‍යයක් වුයේ දැඩි නීති රීති හා කාර්යක්ෂම පරිපාලන ව්‍යුහයන් නිසා මිස සංවෘත ආර්ථිකයකින් නොවේය.

දෙවන උභතෝකෝටිකය වී ඇත්තේ ප්ලග් ගැලවීමේ සහ සිස්ටම් චේන්ජ් කථාවය. විපක්ෂයේ දුෂ්ඨයින්ට අනුව නම් ප්ලග් ගැලවී ඇත. නමුත් ඒ ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොව පැලවත්තෙනි. ඔවුන් පවසන පරිදි පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් ගැලවුන ප්ලග් ටික ලෝක ධනේශ්වර ක්‍රමයට හොඳහැටි ප්ලග් වී ඇත. ඒ නිසාම පරමාදර්ශී රාජ්‍යයක් පිලිබඳව අනුර කුමරුගේ රජය සූත්‍රගත කල ආඛ්‍යානය, එනම් සිස්ටම් චේන්ජ් කථාව සහමුලින්ම අවුල් වී ඇති අතර සිස්ටම් චේන්ජ් කිරීමට පැමිනි අය චේන්ජ් වී ඇත. විශේෂයෙන්ම මෙම චෝදනාවන් එල්ල වනුයේ යුවරජ කුමරියට, ඇමැති මණ්ඩලයට සහ පාර්ලිමේන්තු කණ්ඩායමට වුවත් අනුර කුමරුට මෙම චෝදනාවන්ගෙන් ගැලවීම උගහටය. එබැවින් ආණ්ඩුකරණයේ ඇත්ත ස්වභාවය පුරවැසියාට කීම, කලහැකි හා නොහැකි දේ පහදා දීම, හා ෆ්ලැට් න්‍යායයෙන් තලනවා වෙනුවට ජන මතයට ඇහුම්කන් දී යම් සහනදායී පිලිවෙත් වෙතට ප්‍රතිපත්ති වෙනස් කරගැනීම එළඹිය හැකි හානි අවම කිරීමට හා විශ්වාසය රඳවා ගැනීමට හේතු වනු ඇත.

තෙවනුව, දේශපාලන සහ සමාජ සදාචාරය පිලිබද ප්‍රශ්නය ඔඩු දුවා ඇති අතර ඉහත දෙවන කරුණ හා මෙය සෘජුවම බැඳී පවතී. තම නියෝජිතයින්ගේ උපාධි සහතිකයේ සිට හිල් හැදුන යට ඇඳුම් දක්වා දිවෙන මෙම පරීක්ෂණය ආන්ඩුවේ සදාචාරය පිලිබඳ ලිට්මස් පරීක්ෂාව බවට පත් වී ඇත. එබැවින් අවම වශයෙන් 159 ම කථා කරනවා වෙනුවට වගකීමෙන් යමක් කිව හැකි පිරිසකට ඉඩ දී අන් අයට කට වහගෙන ඉන්න සැලසීම සහ බිම් මට්ටමේ සිට සියළු දෙනාටම වැඩ කිරීමට සුදුසු පසුබිමක් සකසා දීම පක්ෂයේ මෙන්ම රටේ ගෞරවයටද හේතු වේ. එසේම චෝදනාවන්ට ලක්ව ඇති ආණ්ඩුවේ ක්‍රියාධරයන්ට එරෙහිව යම් විනය ක්‍රියාමාර්ග ගැනීම අවම අවශ්‍යතාවයක් ව ඇත.

වාමවාදී පාලනයක මූලික පදනමක් වනුයේ දේශපාලනයේ හා සංවර්ධනයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ජනතා සහභාගිත්වය සියළු ස්ථරයන්හිදී සහතික කිරීම හා වැඩිදියුණු කිරීම ය. නමුත් මාලිමාව වටා එක්වූ මහජනයා ජහමනයන් සේ සළකා කටයුතු කිරීම ඉදිරියේදී මාලිමාවට උතුර දකුණ මාරුවන ප්‍රතිවිපාක අත්කර  දෙනු ඇත. එබැවින් සුද්දාගේ අච්චුවේ ඇති මජර නීති රෙගුලාසි ඉවත ලා නිලධාරිවාදය වෙනුවට ජනතා අයිතිය තහවුරු කෙරෙන ව්‍යුහයන් වහාම හඳුන්වා දී ක්‍රියාත්මක කල යුතුය.

පොදුවේ ගත් කල ආණ්ඩුකරණයේදී බලය අත්පත් කර ගැනීමේදී තිබුනාට වඩා බරපතල අභියෝගයක් අනුර කුමරුගේ ආණ්ඩුවට එල්ල කර ඇත. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයට පත් වූ නියෝජිතයින්ගෙන් අති බහුතරය නවකයින් වීම, රාජ්‍ය පාලනය පිළිබඳව අත්දැකීම් මද බව, සහ රාජ්‍ය යාන්ත්‍රනය විධායකයට සහාය වනවා වෙනුවට බාධකයක් ලෙස මතුව ඒම වත්මන් රජයේ අධිකාරිත්වයට අභියෝග කරන අතිරේක කරුණු ලෙස හඳුනා ගත හැකිය.

ගමරාල නිරිඳු  වරක් සදහන් කළ පරිදි දූෂණය වී ඇත්තේ දේශපාලන යාන්ත්‍රනය පමනක් නොව රාජ්‍ය ව්‍යුහයද දුෂ්‍ය හා අකර්මන්‍ය වී ඇත. දේශපාලනය දූෂිත නම් රාජ්‍ය සේවය ද දුෂිත වනුයේ මේ දෙක ගහට පොත්ත මෙන් එකිනෙක බැඳී ඇති බැවිනි. නමුත් එය කුමරෙකුට මං සුදනා වී අත හෝදා ගැනීමට තරම් කරුණක් නොවේ. ඉදින් කුමරෙකුට සිස්ටම් චේන්ජ් නොකර, ප්ලග් ගලවන්නේ නැතිව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගිය නොහැකිය. නමුත් ඒ වෙනුවට සිදුවනුයේ බලයට පැමිණෙන සියළු දෙනම පවතින ක්‍රමයට වඩා හොඳින් ප්ලග් වීමය.

හරීන්ගේ කුමාරයා සහ අවශේෂ කුමාරවරු

දැන් අපි ඉහත පසුබිමේ සිට හරින්ගේකුමාරයාප්‍රස්තුතය විමසා බලමු. මෙම ලිපිය පිළිබඳව දළ අදහසක් සිතට පැමිණි මොහොතේ මා ප්‍රථමයෙන්ම මකියාවෙලීගේ කුමාරයා පොත නැවත කියවා බැලුයේ එහි තිබෙන ගතිකයන් හා සංසිද්ධීන් අපගේ දේශපාලන වටපිටාවට හා භාවිතයට ගළපා ගැනීමට හැකිද යන්න නිරවුල් කර ගැනීම සඳහාය. ඵ් අනුව ගත් කල සක්‍රීය පුරවැසි රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට අප දකින සිහිනය සැබෑ කර ගැන්ම පොදු ජනයා අතරින් යහපත් කුමාරයෙකුගේ පැමිනීම හා ගැලපිය හැකිය.

එසේ පුරවැසියා අතරින් මතුව එන කුමාරයෙකු රාජ්‍යත්වයට පත්වීම ඔහු සදහන් කරන්නේ සිවිල් කුමරෙකුගේ පාලනයට රාජ්‍යය නතුවීමක් ලෙසය (සිවිල් ප්‍රින්සිපලිටි රාජ්‍යය). මෙය අපට සහමුලින්ම අදාල නොවෙනුයේ අප රට නිදහස් ප්‍රජාතන්ත්‍රීය ජනරජයක් නිසා වුවද මෙහි එන සිවිල් කුමරෙකුගේ සංකල්පීය රාමුව අපගේ කුමර කථාවට න්‍යායාත්මක ප්‍රවේශයක් සපයයි. මේ සඳහා අපට ඇති ආසන්නම උදාහරණ වනුයේ ප්‍රේමදාස, මෛත්‍රීපාල, සහ අනුර කුමාර කුමාරවරයන්ගේ රාජ්‍යත්වයන්ය. මොවුන් තිදෙනාම පොදු ජනතාව අතරින් මතුව දැඩි කැපවීම, උත්සාහය හා උපායශීලීත්වය මත බලයට පැමිනියද බලය පවත්වාගෙන යාමේදී ඉමහත් බාධක දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවනුයේ පොදුජනයාගේ හෝ වංශවතුන්ගේ සහය මත බලයට පත් වන නිසාවෙනි.

එහිදී ජයග්‍රහණ සහ අභියෝගයන්ගේ පරිමාව, ස්වභාවය සහ කිරීටයේ පැවැත්ම තීරණය වනුයේ ජනතාව අතරින් මතුවන කුමාරයා පුරවැසියන් අතර කොතරම් ජනප්‍රියද සහ වංශවතුන් කොතරම් දුරට ඔහුට අවනතද යන මූලික කාරණා දෙක මතය. විශේෂයෙන්ම එවන් පුරවැසි රාජ්‍යයක කුමාරයා හැමැවිටම පුරවැසියාගේ පක්ෂපාතිත්වය තමන් කෙරෙහි රඳවා ගැනීමට සමත් විය යුතුය. වංශවතුන් ප්‍රමානයෙන් කුඩා නිසා වරදාන දීමෙන් සහ දඬුවමින් ඔවුන් අවනත කල හැකිය. නමුත් ඔවුන්ගේ සහයෙන් ලබන කිරීටය පවත්වාගෙන යාම දුෂ්කරය. නමුත් සංඛ්‍යාත්මකව අති විශාල වන මහජනයා එසේ පාලනය කළ නොහැක්කේ ඔවුන්ගේ මූලික අපේක්ෂාව පීඩාවට පත් නොවී සිටීම නිසා සහ මුළු රටටම වරදාන දිය හැකි ක්‍රමයක් නොමැති නිසාය. මේ පදනමින් ගත් කල අනුර කුමරුගේ රාජ්‍යත්වය මුහුණ දෙන අභියෝගයන්ට හේතු පැහැදිලිය.

දැන් හරීන්ගේ කුමාරයා හෙවත් නාමල් කුමරුට මේ සුත්‍රය ආදේශ කලහොත් ඔහු අනුර කුමරුගේ රාජ්‍යත්වයට අභියෝග කිරීමට තරම් පුරවැසියා අතර ජනප්‍රියද සහ වංශවතුන් ඔහුට අවනතද යන කරුණු දෙක සලකා බැලිය යුතුය. මෙය අපට උරගා බැලිය හැකි වන්නේ ඉදිරි මැතිවරණයකදී බැවින් අපට කල හැකි වන්නේ යම් යම් උපකල්පනයන් පමනි. ඒ අනුව මා උපකල්පනය කරනුයේ නාමල් කුමරු කුමාරත්වයට ඔසවා තැබූ නුගේගොඩ රැලියේ ජන පරිමාව අනුව සහ ලාංකිය වංශවත් සමාජයේ ගතිකයන් අනුව ඔහු ඒ මට්ටමට ගොඩනැගී නැති බවයි. අප මෙයට ජාත්‍යන්තර සබඳතා යන නූතන සාධකයද එක් කල හොත් ඔබට චිත්‍රය වඩාත් පැහැදිලි වනු ඇත. නමුත් මේ කථාවේ සැබෑ කුමාරයා එළියට පනින්නේ නුගේගොඩ වේදිකාවේදී නොව පසුදින හරීන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

ඔහු එහිදී පුථමයෙන්ම තමන්ගේ දේශපාලන කඳවුර නිරවුල් කර දක්වමින් තමන් දක්ෂිණාංශික දේශපාලන කඳවුරේ බව සෘජුව සඳහන් කරයි. අනුව නාමල් එම කඳවුරේ නොවෙනුයේ ඔවුන් වාම මධ්‍යගත වාදයේ සිරවී සිටින බැවිනි. එසේම එම වේදිකාව තැනුවේ සහ අති බහුතර සෙනග ගෙනාවේ නාමල් කුමරු බැවින් නුගේගොඩ වේදිකාවේ කුමාරයා නාමල් නොවේ නම් වෙන කවරෙක් දයි ප්‍රශ්න කරන ඔහු පසුව සැබෑ කුමරා පිළිබඳ අපට ඉඟියක් සපයයි. තවද එජාපය නුගේගොඩ රැළියට සහභාගි වුයේ ආණ්ඩු විරෝධී බලවේගයකට එකතු වීමට ඇති සුදානම නිසා බවත්, ඉදිරියේ දීද එසේ කල යුතු බවත්, අභියෝග හමුවේ එකට හිට ගැනීම එජාප සම්ප්‍රදාය බවත් ඔහු අවධාරණය කරයි. දැන් මේ ඔහු ඇත්තටම ආමන්ත්‍රණය කරන්නේ කාටද?

මෙහිදී අතිශයින්ම වැදගත් වනුයේ සමගි ජන බලවේගය (සජබ) ගොඩ නැගීමෙන් එජාප පාක්ෂිකයා රැක ගැනීමට හැකිවු බවටත් දැන් නැවත එජාපය වටා පාක්ෂිකයා ගොනු වන බවටත් සහ එජාපය හා සජබය අතර වැඩ පිළිවෙළක් ආරම්භ කර ගැනීම පිළිබඳවත් ඔහු කරන ප්‍රකාශයයි. දකුණෙ කඳවුරක් ලෙස මෙය කිරීම අනිවාර්ය වන අතර එසේ නොවුවහොත් පාක්ෂිකයා ආණ්ඩුවේ අභියෝගයට අභියෝග කරන කඳවුර හා එක්වීම නොවැලැක්විය හැකියි. මේ නාමල් කුමරුගේ පොහොට්ටු පක්ෂය නොවේද? එබැවින් සජබය සහ එජාපය වහාම එකතු වී නුගේගොඩ රැළියේ මෙන් නායකත්වයක්, වේදිකාවක් ගොඩනගා ගත යුතු බව ඔහු අවධාරණය කරයි. දැන් අපට මේ කුමර කථාව පැහැදිලි විය යුතුය. අනුව ජයග්‍රාහී රැළියකින් පසු ඔහු මේ අමතන්නේ නුගේගොඩ රැළිය මග හැරිය සජබයට සහ එහි නායක සජිත් කුමරුට නොවේනම් වෙන අන් කවරෙකුටද?

මහජනයා ගේ හැසිරීම සහ අපේක්ෂා

නමුත් ඒ අතරම මහජනයා ගේ හැසිරීම පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීම එනම්මහජනයා තමන්ගේ අපේක්ෂාවන්ට නායකත්වය දෙන තැනට හෝ පුද්ගලයාට එකතු වන බවඅනුර කුමරුගේ පාලනයට මෙන්ම ඉදිරියේදී බලයට පත් වීමට තැත් දරණ ඕනෑම කුමරෙකුට හෝ කුමරියකට අත්‍යවශ්‍ය අවබෝධයකි. නමුත් මෙහි මහා ඛේදවාචකය වනුයේ මෙම අවබෝධය අපට නො එසේ නම් මහජනයාට නැති කම නොවේද? මහජනයා යනු ජීවිතයේ සරළම බලාපොරොත්තු ඉටු කර ගත නොහැකිව එක් නායකයකුගෙන් තවෙකෙකුටත් එක් කඳවුරකින් අනෙකකටත්  මාරු වෙමින් යන්නෝ නම් අප අන්ත අසරණයෝ නොවෙමුද?

මෙහිදී අප පිළිබඳව මකියාවෙලී ගේ කුමාරයා ඉදිරිපත් කරණුයේ අපූර්ව විවරණයකි. ඔහුට අනුව පුරවැසියාට ඇත්තේ සීමිත අපේක්‍ෂාවන්ය. ඒවා වංශවතුන්ගේ අපේක්ෂාවන්ට වඩා සාධාරණ සහ යුක්තිසහගතය, එබැවින් ඔවුන් සෑහීමකට පත් කිරීම පහසුය. ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වනුයේ පීඩාවට පත් නොවී ජීවත් වීමේ පහසුකමයි. නමුත් සංඛ්‍යාත්මකව අසීමිත නිසා ඔවුන් සතුරු වුවහොත් කුමරෙකු අනාරක්ෂිතය. එබැවින් කුමරෙකු හැම විටම ඔවුන් ආරක්ෂා කරමින් සිය මිතුරන් ලෙස තබා ගත යුත්තේය. එසේ මහජනයා මත පදනම් වන කුමරෙකු ඔවුන් නිසි ලෙස මෙහෙයවයි ද, ධෛර්ය සම්පන්න ද, අර්බුදයන්හිදී අව්‍යාකුල ද, ඌනතා නැත්තෙක් ද, වන්නේ නම් සහ සිය ආයතන සහ ධෛර්ය මගින් ජනතාව ධෛර්යමත් කරයිද ඔහු අර්බුදයකදී පුරවැසියාගේ රැවැටිල්ලට ලක් නොවෙයි.

නමුත් එසේ නොවුන හොත් දුෂ්කර අවස්ථාවන්හිදී  මහජනයාගේ සහාය නොලැබෙන බැවින් මෙවැනි රාජ්‍ය සිරිත් පරිදි අනතුරු වලට ලක්වන්නේ, කුමාරයාගේ නියෝග පිලිගැනීමට ද මැලිවෙයි. මෙය ඉතා හොඳින් අරගල සමයේදී අප අත්දුටු අතර අසල්වැසි රාජ්‍යයන් ගණනාවක මෙම තත්වය අදටත් අපට නිරීක්ෂණය කළ හැකි ය. මෙහිදී රාජ්‍යයේ පාලනය කුමරෙකුගෙන් ගිලිහෙන අතර තීරණාත්මක මොහොතේදී විශ්වාසවන්තයින්ගේ හිගයක්ද ඇති වෙයි. රාජ්‍යය සාමකාමී නම් පුරවැසියා කුමාරයා වෙනුවෙන් දිවි පිදිමට ද ඉදිරිපත් වනුයේ එසේ කිරිමේ ඇවැසියාවක් නොමැති නිසාමය. එහෙත් අර්බුදයකදී ඒ කිසිවෙකුත් සොයා ගැනීමටද නැත. එබැවින් නැනවත් කුමාරයෙකු මහජනයාට හිතති පාලනයක් නිරන්තරයෙන්ම පවත්වා ගත යුතුය. නැත්නම් එළඹෙන පලමු ඡන්දයේදීම අප වෙනත් කුමරෙකුට හෝ කුමරියකට බුරුතු පිටින් ගොස් කතිර පූජාව පවත්වනු ඇත.

මේ අනුව කවදත් හොඳටම අස්ථාවර ව අනාථ වී ඇත්තේ මහජනයා මිස පාලකයා නොවේය. එබැවින් මෙම ලිපිය ආචාර්ය කේමදාසයන් විසින් සිංහලෙන් ප්‍රතිනිර්මාණය කළ බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ ගීත ඛණ්ඩයකින් නිමකල යුතුයයි මට හැඟුනේ අප මොනදේ කලත් රට පාලනය අසීරු කර්තව්‍යයක් බව සනාථ වෙමින් පවතින නිසාය. එබැවින්සිතිය යුතුයි යළි යළිත් මේ ගැන අපිම, ඇයි රට පාලනය මේ තරමට අසීරු? සූරා කමින් බොරු කියමින් වැජඹීමට යන්තම් හරි දැනඋගත් කමක් ඕනෑ නිසාමද? …. අපි හැමෝම තකතීරුවෝ, අන්න ඒක නිසා තමයි, කෙස් පැලෙනා මොලකාරයො, අතලොස්සක් ඕන අපට”. ඇත්තටම අපි ඒ තරමටම තකතීරුවෝද? සරළව කිවහොත්, “අපි මහ ජනයා නොව ජහ මනයෝද?”

එසේ නොමැති නම් කුමාරයෙකු වෙනුවට කුමරියක රාජ්‍යත්වයට පත් කිරීමට කාලය එළඹ ඇති නිසාද? කුවේණී කුමරියගෙන් ඇරඹී කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා කුමරියගෙන් අවසන් වූ ලාංකීය රාජිණීත්වය ප්‍රතිස්ථාපනය කල සිරිමාවෝ කුමරියගෙන් පසු එවන් මාතෘත්වය හා ජාතිකත්වය සමග මුසුවූ ස්ත්‍රීමය නායකත්වයක් නැතිකම අපගේ ජාතියේ අභාග්‍යයක්ද? නැත්නම් කුවේණ්නගේ සාපයේ ප්‍රතිඵලයක්ද? මේ පිළිබඳව අපි ඉදිරි ලිපියකින් විමසා බලමු.

*සමාජ පර්යේෂකයෙක්, ලේඛකයෙක්, හා සංවර්ධන උපදේශකයෙක් වන ආචාර්ය මහින්ද ගුණරත්න හා සම්බන්ධ වීමට ඇවැසි නම් mahinsg@gmail.com ඊමේලය භාවිතා කරන්න.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.