14 February, 2025

Blog

ඇල්පිටිය ඡන්ද ජයග්‍රහණය 

මහින්ද රාජපක්‍ෂ

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් ‍පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂ සන්ධානය අති විශිෂ්ඨ ජයක් අත්කරගෙන තිබේ. මේ ඡන්දය පවත්වනු ලැබුවේ ගිය අවුරුද්ද මුලදී දුන් නාමයෝජනා අනුවය. එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි. නමුත් අපි දැන් එක ජනාධිපති අපේක්‍ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාන ගතව, ඒක බලවේගයක් බවට පත් වී සිටී. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සියලුම කොට්ඨාශ විපක්‍ෂ සන්ධානය දිනා ඇත.  සමස්ථයක් හැටියට විපක්‍ෂ සන්ධානයේ පක්‍ෂ වලට වලංගු ඡන්ද වලින් 69%ක් ලැබී ඇත. එක්සත් ජාතික පක්‍ෂයට ලැබී ඇත්තේ 24% ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණටත් සාම්ප්‍රදායිකව ඔවුන්ට ලැබෙන ඡන්ද ප්‍රතිශතය පමණක් ලැබී ඇත.

රාජ්‍ය බලය උපරිම ආකරයට යොදවා,  මැතිවරණ නීතිත් උල්ලංඝනය කරමින් රැකියා, ඉඩම් හා නොයෙක් ද්‍රව්‍යමය දේවල් බෙදමින්, මහජනතාව රවටා තමන්ගේ බලය රැකගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය ඇල්පිටියේ ජනතාව ඉතාමත්ම දුරදක්නා නුවනින් පරාජය කර ඇත. 2015 ජනවාරියෙන් පසු, මේ රටට සිදුවුණු වින්නැහිය ගැන අමුතුවෙන් කිවයුතු නැත. රටේ ආර්ථිකය කඩා වැටුණි. ඇල්පිටිය ඡන්දයට දින ගණනක් තිබියදී සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම සංඛ්‍යා දත්ත වලට අනුව මේ රටේ විරැකියාව තවත් වැඩි වී ඇත. රටේ ආර්ථික වර්ධන වේගය අපේ කාලයේ තිබුණාට වඩා තුනෙන් පංගුවක් දක්වා අඩු වී ඇත.  

 ව්‍යාපාර කඩා වැටී ඇත. රටේ ණය බර අහස උසට නැග ඇත. මෙවන්  ආර්ථික පසුබෑමක් මේ අවස්ථාවේදී ඇතිවීමට කිසිඳු බාහිර, ජාත්‍යන්තර හේතුවක් නොමැත. ඉන්දියාව, බංගලාදේශය වැනි අපේ අසල්වැසි රටවල් එක පිම්මේ ඉදිරියට යමින් සිටී. මේ රටේ ඇති වී තිබෙන ආර්ථික පසුබෑම තනිකරම දේශපාලන හේතු නිසා ඇති වූවකි. එයට පිළියම් යෙදීමට හැකිවන්නෙද දේශපාලනය තුළින්ම පමණි. ඇල්පිටියේ ජනතාව මුලපිරුවේ එයටයි. යහපාලන ආණ්ඩුව නැති කළේ ආර්ථිකය පමණක් නොවේ. රටේ පාලන තන්ත්‍රයත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් ඔවුන් විනාශ කළේය. පළාත් පාලන ඡන්දය ඔවුන් අවුරුදු තුනකින් ප්‍රමාද කළේය. පලාත් සභා ඡන්ද මොනම ක්‍රමයකින්වත් පැවැත්වීමට බැරි තැනට වැඩ සැලැස්සුවේය. පසුගිය වසරේ කැඳවපු පාර්ලිමේන්තු මැතිවරණයත් උසාවියට ගොස් නතර කර ගත්තේය.  ජනධිපතිවරණය කල් දමා ගන්නත් ඔවුන් උත්සාහයක් ගත්තේය. 

වෙනකක් තබා, ඔවුන් ඇල්පිටිය පුංචි ඡන්දයත් නොපවත්වා සිටීමට උත්සාහයක් ගත්තේය.  විපක්‍ෂ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයාව ඡන්දයටත් කළින් තරඟයෙන් ඉවත් කර ගන්න ඔවුන් නොගත් උත්සාහයක් නැත. මේ දුර්දාන්ත යුගය අවසන් කිරීමට දැන් කාලය එළඹී ඇත. ඒ සම්බන්ධයෙන් පළමු වෙඩි මුරය ඇල්පිටියෙන් පත්තුවිය.  ඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින මෙන්  මම විපක්‍ෂ සන්ධානයේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.  

*මහින්ද රාජපක්‍ෂ – විපක්‍ෂ නායක 

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.