25 April, 2024

Blog

ශ්‍රී.ල.නි.ප.ය සමාජ දේශපාලන වලංගුතාව අහිමි කර ගනී

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසානයේ ස්වාධීන විය. ගෝල බාලයෝ කදවුර පිටින්ම ගෝටාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ වේදිකාවට ගොඩ වූහ. පසුගිය බදාදා අනුරාධපුරයේ දී පැවැති මංගල ජන හමුවේ වේදිකාවට ගොඩවී ජනතාව අමතන්නට ගිය හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට නොනවතින හූ සංග්‍රහයක් හා චෝදනා ගොන්නක් ඉදිරිපත් විය. 2015 ජනාධිපතිවරණය සදහා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් එකතු කර ගත් ජනතා කෘතවේදීත්වය අබ මල් රේණුවක තරමට හෝ ඉතිරි කරගෙන තිබුණේ නම් ගිය බදාදා එය ද ඔවුහු අහිමි කර ගත්හ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන තමන් දැරූ සියළු වරදාන අමතක කරමින් පොදු අපේක්ෂකයා ලෙස 2014 වසරේ අවසානයේ දී මහ ජනතාව ඉදිරියට එන විට ඒ පිටුපසින් ආ සියල්ලන්ටම රාජපක්ෂවරුන් සමග පෞද්ගලික ගැටුමක් පැවතුණි. බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ පොල්මංකාරකමට ලියවී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර අයිතිය උදුරා ඔහුගේම පෞද්ගලික ලේකම්ට හා ශරීරාරක්ෂකයාට ඒ සන්තකය පැවරීමට රාජපක්ෂවරු ක්‍රියා කළහ. එයින් දොම්නසට හා කළ කිරීමට පත්වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මිය ගියේ ය. ඔහුගේ පුත් දුමින්ද දිසානායක පොදු අපේක්ෂකයා හා එළියට ඇවිත් රාජපක්ෂවරුන්ට එරෙහිව අවි අතට ගත්හ. 

ගිය බදාදා යළි රාජපක්ෂවරුන් කරා ගියේ ඒ තාත්තගෙ පුතා  වූ දුමින්ද දිසානායකය. දුමින්දව රාජපක්ෂවරුන්ගේ අනුරාධපුරයේ අනුගාමිකයන් උණුසුම්ව පිළිගැනීම ස්වයංසිද්ධව සිදුවූවක් නම් එය දුමින්දගේ දේශපාලන අවසානය වන්නේ ය. එය පොහොට්ටුවේ අනුරාධපුර නායකයන්ගේ උසිගැන්වීම මත වූවා නම් එයත් දුමින්ද ගේ දේශපාලන අවසානයට හේතුවන්නේ ය. රාජපක්ෂලාට හතර අතේ දෝෂරෝපනය කරමින් සිටි දුමින්දලාට යළි රාජපක්ෂලා කරා කෙසේ ගිය ද උරුම වන්නේ දේශපාලන අවසානය පමණක් බව ලියා තැබිය යුතු සත්‍යයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය හැර එළියට ආ මෛත්‍රීපාල සිරිසේන සමග එදා යම්තරමකට හෝ අවංකභාවයකින් එළියට ආවේ දුමින්ද දිසානායක පමණි. අනෙක් සියල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා එක් රොක් වූයේ ජයග්‍රහණයෙන් පසුව ය. ඒ ජයග්‍රහණයේ වරදාන වලින් කොටසක් තමන්ට ද ලබා ගන්නට ය. එසේ ආ කොටසක් 2015 මහා මැතිවරනයේ දී රාජපක්ෂවරුන් විසින් පරාජය කරන ලදි. ඔවුන්ට පවා ජාතික ලැයිස්තුවෙන් මහජන මන්ත්‍රී ධූරයන් ප්‍රදානය කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන ය. අද ඔවුහු ඒ මන්ත්‍රී ධූරයන් දරමින්ම ගෝටාභය රාජපක්ෂ වටා පැදකුණු කරති. එළඹෙන මහා මැතිවරණයේ දී ඔවුන්ට රාජපක්ෂවරුන් විසින් දෙවැනි පාඩම ද කියාදෙනවා නිසැක ය.

දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය බිද දැමීම සදහා පොදු විපක්ෂයට 2015 දී තීරණාත්මක සහාය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෙත්‍රීපාල සිරිසේනගෙන් බව නොරහසකි. ඒ තීරණාත්මක ජනාධිපතිවරණයේ දී පොදු විපක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය රාජපක්ෂ පාලනයට එරෙහිවූ සමස්ත මහජනයාගේම ජයග්‍රහණයක් බවත් නොරහසකි.ඔහු බලයට පත්වූයේ රාජපක්ෂ දේශපාලනය විසින් විනාශ කර තිබූ සමාජ ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය යළි බිහිකර ශක්තිමත් කරන්නට ය.

ජනාධිපතිවරයාගේ ඒ දේශපාලන පෞර්ෂය සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේඩරයන් ඇද බැද තබා ගන්නට තරම් ශක්තිමත් නොවන්නට ඇත. සමහරවිට ඒ පෞර්ෂයට සංවේදී වන්නට තරම් දැනුමක් පක්ෂ කේඩරයන් තුළ නොතිබුනා විය හැකිය. සමහර විට පාදඩ ආර්ථිකයේ ක්‍රියාකාරකම් වලින් ගද ගසන තත්ත්වයට පත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩ එන්නට නම් අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂම බව තීන්දුවකට පැමිණ සිටියා විය හැකි ය.

ජනාධිපතිවරයාගේ දේශපාලන පෞර්ෂය හැකිලෙමින් ජනවාරී අටවැනිදා ජයග්‍රහණය පසුපස සිටි ජන බලවේගය කෝප ගන්වන හා මහත් අපහසුතාවකට පත් කරන හැසිරීමකට කල්යත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  පෙළඹීම කනගාටුදායක ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය සිය අතට ගනිමින් එම පක්ෂය ශක්තිමත් කරන්නට ජනාධිපතිවරයා වෙහෙස දැරීම ප්‍රඥාගෝචර නොවූවකි. එහෙත් ජනාධිපතිවරයා ගමන් ගත්තේ ඒ මගෙහිම ය. 

වසර දහයකට ආසන්න කාලයක් පුරා පාදඩ දේශපාලන නායකත්වයක් මගින් පාලනය කළ පක්ෂයක් මෙත්‍රීපාල සිරිසේන වැනි දේශපාලන චරිතයකින් නම්මා ගත හැකි යැයි විශ්වාස කළ නොහැක. පක්ෂයේ තීරක තීන්දු ගන්නා තැන් වල බලය සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල යෙදුන පුදගලයන් අතට පත්ව තිබූ අවස්ථාවක ඔවුන් ඉල්ලන්නේ එවැනිම සමාජ විරෝධී ගති ලක්ෂණ හිමි නායකත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2005 න් පසුව ව්‍යුහගත වූ පරිදි ඊට අවශ්‍ය වූයේ “මහින්ද රාජපක්ෂ” කෙනෙකි.

අවසානයේ ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන හාස්‍යයට ලක් කරමින් රාජපක්ෂ පාර්ශ්වය විසින් 2015 මහ මැතිවරණයේ දී පක්ෂයේ බලය අල්ලා ගත් අතර මැතිවරණයේ දී නාම යෝජනා සකස් කිරීම ද ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කර ගත්හ.  ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන අල්ලපු අත්තත් නොමැති පය ගහපු අත්තත් නොමැති අසරණ තත්ත්වයට පත්වූ අතර ඒ නිසා පුද්ගලිකව ඔහු පමණක් නොව ජනවාරී අටවැනිදා සමාජ ජයහ්‍රගණයට දායක වූ ජනතාව ද උපහාසයට ලක් වූහ. ජනවාරී අටවැනිදා ජයග්‍රහණය කළ ජනතා සම්මුතිය අමතක කරමින් තමන්ගේ හිත තුළ තිබූ සිහිනය වූ පක්ෂ අභිලාශයන් වෙනුවෙන් කටයුතු කරන්නට යෑම මීට හේතුව බව ඉතා පැහැදිලි ය.

ජනවාරී අටවැනිදා පැවති ජනාධිපතිවරණයේ සටන අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සමගි සම්මුතියක් ඇතිවීම වලංගු දේශපාලන කරුණක් නොව. එම ජනාධිපතිවරණ සටන ඇරඹුනේ මුළුමනින්ම මහින්ද රාජපක්ෂගේ සිතුම් පැතුම් වලට එරෙහිවය. සමස්තයක් ලෙස එලෙස බලමුළු ගැන්වූ සටනකින් පරාජය කළ අයකු හා නැවත සංධාන ගතවීම දේශපාලනිකව ප්‍රතිවිරෝධතා නිර්මාණය කරයි. එහෙත් ගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී හිටිහැටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ධූරයෙන් පහ කරමින් මහින්ද රාජපක්ෂ එම ධූරයේ පිහිටුවන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

ධ්‍රැවීකරණය වන තත්ත්වයන් අනුව ජනාධිපතිවරයා සූදු ක්‍රීඩාවක යෙදී සිටියේ තමන් බලයට පත් කළ දේශපාලන බලවේගයන් සමග ය. බලයට පත්ව මාස හයක් හෝ ඉක්ම යන්නට මත්තෙන් තමන්ගේ දේශපාලන පදනම් හා සූදු ක්‍රීඩාවක යෙදීම අතිශයෙන් භයානකය විය. එක් අතකින් ජනවාරී අටවැනිදා ජයග්‍රහණය ලැබූ බලවේගයන් විසින් අත් හරින ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂ බලවේගය ඉදිරියට ආවේ නැත. අනෙක් අතින් ඔහුට ගොඩනගා ගන්නට අලුත් දේශපාලන බලවේගයක් ද නොපවතී. ඒ අනුව තම පුද්ගලික ජිවිතය මෙන්ම රටේ අනාගතය ද පරදුවට තබමින් ජනාධිපතිවරයා සූදු ක්‍රීඩා කරන්නේ ඔහුට නිවැරදි දේශපාලන මග පෙන්වීමක් නොලැබුන නිසා විය හැකිය.

මහින්ද චින්තන සංස්කෘතිය පරදවමින් අලුත් දේශපාලන සංස්කෘතියක් කරා සමාජය පියවර තැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වෙමින් තිබූ සමාජ පුරුෂාර්ථයන් දෙස කම්පිතව බලමින් ශෝක වූ ජනතාවයි. එහෙත් ඒ ජනතාව කම්පනය පත් කරමින් කරන සූදු ක්‍රීඩාව විසින් සමාජය තල්ලු කරන්නේ පතුලක් නොපෙනෙන අගාධයකට ය.

රාජපක්ෂ සංස්කෘතිය ඉතිහාසයේ අවසානයට පැමිණෙමින් තම ධූර කාලය අවසන් වනවිට සිටියේ තවදුරටත් සමාජයේ බුර බුරා දැවෙන ප්‍රශ්නයන්ට විසදුම් නොමැතිවය. එය තර්කානුකූල අවසානයට ආවේ නව දේශපාලන සම්මුතියක් ඇති කර ගනිමිනි. එහෙත් අවාසනාවට නැවතත් රට මහින්ද චින්තන සංස්කෘතියක් කරා යොමු වන්නේ නම් පුපුරා නැගෙන සමාජ ප්‍රශ්න විසින් ජනතාව විනාශයට යොමු කරන බව කිව යුතු නැත. සමාජයේ ප්‍රශ්න විසදීමේ ලා රාජපක්ෂ සංස්කෘතියට තවදුරටත් විසදුම් නොමැත. ජනවාරී අටවැනිදා පරාජය දෙස බැලුවේ ද හාස්‍යයෙන් හා බොළද ලෙස මිස තමන්ගේ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට ගමන් කරන ශක්තිමත් දේශපාලන අරමුණකින් නොවේ. ඒ නිසා රාජපක්ෂ සංස්කෘතියට සමාජයේ ප්‍රශ්න දෙස අලුත් කෝණයකින් බලන්නට තරම් හැකියාවක් නොපවතී.

නිවැරදි දේශපාලන තීන්දු ගන්නේ නම් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන කළ යුතුව තිබුණේ පක්ෂයේ අභිලාශ වෙනුවෙන් පෙනී සිටීම නොව රටේ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ සදහා ජනවාරී අටවැනිදා සුවිශාල දේශපාලන ව්‍යාපාරයක් ඔහු පිටිපසින් සිටියේ ය. ඒ දේශපාලන ව්‍යාපාරය තවමත් ජීවමාන ය. ජනාධිපතිවරයා ඒ මත පදනම් වෙමින් රටේ අභිලාශයන් සාධනයේ ලා කටයුතු කළේ නම්  තවදුරටත් ඔහු ජනතාව ඉදිරියේ ශක්තිමත් වන්නේ ය.

2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මෙත්‍රීපාල සිරිසේනට පක්ෂ අභිලාශ තිබුනේ නැත. ඔහු පදවියට පත්වූ පසුත් කීවේ පළමු ධූර කාලයෙන් පසුව ගෙදර යන බවය. එසේම ධූර කාලය වසර පහකට සීමා කරන බවය. බලාපොරොත්තු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළු එකක් ලෙස අහෝසි කිරීමට නොහැකි වුවත් මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ස්වේච්ඡාවෙන්ම තම බලතල අත්හරිමින් විධායකයේ බලය පාර්ලිමේන්තුවට පැවරුවේ ප්‍රශස්ත ලෙසය. එවැනි ජනාධිපතිවරයකු පක්ෂ අභිලාශ මත කටයුතු කරමින් තම ගෞරවය අහිමි කර ගැනීම නම් එය කනගාටුවට හේතුවකි.

තමන්ටම ආවේනික දේශපාලන පෞර්ෂයකින් රටට නායකත්වය දී විශ්‍රාම යෑමට බලාපොරුත්තුවෙන් සිටින ජනාධිපතිවරයා නායකත්වය දිය යුතුව තිබුණේ තමන් බලයට පත් කළ 2015 මහජන අභිලාශයන් නියෝජනය කළ සමාජ තීරුව ය. ඒ අනුව ජනවාරී 08 වන දා බලාපොරුත්තු වූ ජනතා ජයග්‍රහණය සදහා මූලික වූ දේශපාලන සම්මුතිය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා පෙරට ඒම ඔහු විසින් සම්පූර්ණ කළ යුතුව තිබුණ වගකීම විය. ඒ අනුව කටයුතු කළා නම් වත්මන් ජනාධිපතිවරයාට අභිමානවත් නායකයකු සේ විශ්‍රාම යෑමට හැකියාව තිබුණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.