20 April, 2024

Blog

ආණ්ඩුවේ දූෂණ හෙළිවීමෙන් ඇති වූ අපකීර්තිය වසා ගැනීමට දරණ අසාර්ථක උත්සාහය

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මේ සතිය තුළ මාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු එනම්, මගේ බිරිඳ ශිරන්ති රාජපක්‍ෂත්, මගේ බාල පුතුන් වන යෝෂිත හා රෝහිතත්, සීඅයිඩීය හා මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවා ප්‍රශ්ණ කරනු ලැබීය. මගේ බිරිඳ ගෙන් ඔවුන් ඇසූ ප්‍රශ්ණය වූයේ 2011 දී රතුකුරුස සංවිධානය විසින් ඇයගේ සිරිලිය සවිය සමාජ සේවා සංවිධානයට ලබාදුන් ජීප් රථයක පාට වෙනස් කරනු ලැබුවේ මන්ද යන්නයි. මේ ජීප් රථය භාවිතා කොට තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ වලටය. මගේ බිරිඳ සීඅයිඩීයට දැනුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිහරණය කරන වාහන වල නඩත්තුව හෝ අලුත් වැඩියා කටයුතු  ගැන ඇය කිසිවක් නොදන්නා බවයි. මේ කාරණය ගැන මගේ පුත් යෝෂිතගෙන්ද පසුගිය බදාඳා සීඅයිඩීය ප්‍රකාශයක් ලබා ගත්තේය. ඔහුගෙන් අසා තිබුණේ ඔහු මේ වාහනයේ පාට වෙනස් කිරීමට කාහට හෝ උපදෙස් දුන්නාද යන්නයි. මෙයට යෝෂිත දුන් පිළිතුර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන නඩත්තු කරන්නේත් අලුත්වැඩියා කරන්නේත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අංශය බවයි. මෙකී වාහනය ඔහුගේ ආරක්‍ෂක භටයන් විසින් පාවිච්චි කලේද යන පැනයට ඔහු දී තිබූ පිළිතුර වූයේ තම ආරක්‍ෂකයන්ට වාහන ලබා දෙන්නේ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් මිස තමා නොවන බවයි.

පසුගිය අඟහරුවාදා මුල් වරට මගේ බාලම පුත් රෝහිත ද මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රශ්ණ කරන ලදී. ඔහුගෙන් අසා තිබුණු ප්‍රශ්ණය වූයේ ලංකාවේ මුල් වරට සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැවූ ‘සුප්‍රීම් සැට්’ නැමති සමාගමේ ඔහුට කොටස් හිමිකාරිත්වයක් තිබෙනවාද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා තිබුණේ ඔහුට සුප්‍රීම් සැට් සමාගමේ ඍජු හෝ වක්‍ර කොටස් අයිතියක් නැති බවත්, ඔහු 2012 ජුලි මාසයේ සිට 2014 ජුලි මාසය දක්වා එකී සමාගමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක හැටියට වැටුප් ලබන සේවකයෙකු වූ බවය. 2014 ජුලි මාසයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහු එම රැකියාවෙන් ඉවත් විය. මූල්‍ය අපරාධ කොට්ඨාශය ඇසූ තවත් පැනයක් වූයේ සුප්‍රීම් සැට් සමාගමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට ඔහු උදව් කලේද යන්නයි. රෝහිත ඔවුන්ට පවසා සිටියේ ඔහු 2012 මේ සමාගමට බැඳෙන අවස්ථාව වන විට ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර සියල්ල ලබාගෙන තිබුණු බවත්, ඔහුට සුප්‍රීම් සැට් සමාගම හඳුන්වා දුන්නේ තරුණ උපාධිධාරීන් තම සමාගමට බඳවා ගැනීම සඳහා එංගලන්තයේ සවුත්හැම්ටන් විශ්වවිද්‍යාලයට පැමිණි චීන ව්‍යාපාරිකයෙකු විසින් බවයි. 

බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ඉංජිනේරු පාඨමාලාවක් පවත්වාගෙන යන එකම විශ්ව විදයාලය සවුත්හැම්ටන් විශ්ව විද්‍යාලයයි. 2012 දී මේ පාඨමාලාව සම්පූර්ණ කළ උපාධිධාරීන් හත්දෙනෙකු වූ අතර මගේ පුත් රෝහිතද ඒ අතර විය. 2012 දී සුප්‍රීම් සැට් ආයතනයද හවුල්ව අභ්‍යවකාශ ගත කරනු ලැබූ චන්ද්‍රිකාව අයත් වන්නේ චීන ආණ්ඩුවටයි. මේ චන්ද්‍රිකාවේ ඇති ට්‍රාන්ස්පොන්ඩර් සන්නිවේද පද්ධති 36 න් 6 ක් සුප්‍රීම් සැට් ආයතනය විසින් අවුරුදු 12 කට බදු පදනම මත අරගෙන ඇත. ලංකාවේ ගැනුම් කරුවන්ට සන්නිවේදන සේවා ලබාදීම මේ සමාගමේ අරමුණයි.මෙම සමාගමේ ප්‍රධාන ආයෝජකයා සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බව මට දැනගන්නට ලැබී ඇත.

මේ සතියේ ජනතාව දුටුවේ මමත් මගේ පවුලටත් සමස්ත විපක්‍ෂයටත් එරෙහිව යමපාලකයන් ගෙන යන ප්‍රචාරක සංග්‍රාමයේ තවත් අදියරකි. මගේ පවුලේ සාමාජිකයන්ට නොයෙක් පොලිස් විමර්ශන ඒකක ඉදිරියේ පෙනී සිටීමට ලිපි නිකුත් කෙරේ. ඉන්පසු මොවුන් මෙසේ ගෙන්වන්නේ තාජුදීන්ගේ මරණය ගැන විමර්ශනය කිරීමට යැයි පොලීසිය විසින් මාධ්‍යයට ඉඟිකරයි. යමපාලන ආණ්ඩුවට වැදගත් වන්නේ පොලීසිය ලබා ගන්නා කට උත්තර වල අන්තර්ගතය නොව තාජුදීන් සම්බන්ධයෙන් මගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්ණ කිරීමට යන බවට පලවන මාධ්‍ය වාර්තාය. මගේ බාලම පුත් රෝහිත මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැඳවූ විට යමපාලනයට පක්‍ෂපාත වෙබ් අඩවි පවසා සිටියේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට මගේ ආණ්ඩුව රුපියල් මිලියන සිය ගණනක් වියදම් කර තිබුණු බවයි. නමුත් සුප්‍රීම් සැට් නැමති මේ චන්ද්‍රිකා තාක්‍ෂණ ආයතනය සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුවට කිසිදු සම්බන්ධයක් නැත. සීඅයිඩීයත් මූල්‍ය අපරාධ කොට්ඨාශයත් ආණ්ඩුව සමඟ මේ මාධ්‍ය මෙහෙයුමේ සිටී. පසුගිය බදාඳා යෝෂිත සීඅයිඩීයට කට උත්තරය දී විනාඩි ගානකට පසු ඔහුගෙන් ඇසුවායැයි කියන ප්‍රශ්ණ පිළිබඳ වාර්තාවක් යමපාලන වෙබ් අඩවියක පලවිය.

යමපාලන ආණ්ඩුවේ මහාපරිමාන වංචා හා දූෂණ ඉතාමත්ම අනපේක්‍ෂිත හා විචිත්‍රවත් ලෙස හෙළිවෙද්දී මගේ පවුලේ සාමාජිකයන් සීඅයිඩීයට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. රාජපක්‍ෂවරුන්ට අඳාල නඩු ඇසීමට විශේෂ උසාවි පිහිටුවන බවට මොවුන් දැන් කරන ප්‍රකාශ වලින් ඔවුන් කලබල වී තිබෙන තරම මනාවට පැහැදිලි වෙයි. මේ යෝජනාව ව්‍යවස්ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලධර්මයටත්, නිර්දෝශීබවේ පූර්වනිගමනය යන මූලධර්මයටත් පටහැනිය. මෙවැනි විශේෂ උසාවියක් පිහිටවූවත් මේ උසාවියට ඉදිරිපත් කරන සාක්‍ෂි මොනවාද? යමපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මගේ පවුලේ සාමාජිකයන්ට අයත් කෝටි 500 කට අධික වටිනාකමක් ඇති දේපොල උසාවි හෝ ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බව ආණ්ඩුව පවසා ඇත. මෙය අමූලික බොරුවකි.

මගේ පවුලේ සාමාජිකයෙක්ට අයත් කිසිදු දේපලක් රජය විසින් හෝ උසාවියක් විසින් රාජසන්තක කොට නැත. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ වෙනත් පුද්ගලයන්ට අයිති දේපල අපට අයිති දේපල හැටියට හුවා දැක්වීමටය. මේ ක්‍රියාදාමයේ දී ඔවුන් ඇතැම් පුද්ගලයන්ට බරපතල පිඩා පමුණුවා ඇත. මගේ පවුලේ කිසිඳු සාමාජිකයෙකු සතුව, ලැබුණේ කෙසේදැයි විස්තර කල නොහැකි චන්චල හෝ විශ්චල දේපල කිසිවක් කවුරුත් සොයාගෙන නැත. එවැනි දේපල ඇත්තේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට බව මුලු රටම දනී. මීට පෙර පැවති කිසිඳු ආණ්ඩුවක් මේ යමපාලන ආණ්ඩුව මෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ ආකාරයට හිරිහැර කර නැත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    2

    62 ලක්ෂයෙන් ඉතිරි වී සිටින කීප ‌ෙදනා චූන් කිරීම සදහා මෙවැනි පියවර උවමනාය. ‌ෙ‌ෙවරය පමණක් තම ‌ෙද්ශපාලනය බවට පත් කර ගත් හාදයින් හැරැණු ‌ෙකාට, සාමාන්‍ය නීතිය ගැන සාමාන්‍ය පමණට වත් දන්නා මිනිස්සු කිසි‌ෙවක් යහපාලන‌ෙය් ‌ෙමවැනි ‌ෙමගා නාට්ටි වලට රැව‌ෙටන්‌ෙන් නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.