28 March, 2024

Blog

අගෝස්තුවේ අර්බුද !

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

නීතිය ඉදිරියේ සෑම කෙනෙක්ම සමාන විය යුතුය. විශේෂයෙන්ම දේශපාලන නායකයින් නීතියට දක්වන ගරුත්වය ඉතා පැහැදිලි ලෙස ප‍්‍රදර්ශනය විය යුතුය. එමෙන්ම එය සියලු දෙනාටම ආදර්ශයක් ද විය යුතුය.

නීතිය හෝ රෙගුලාසි අණ පනත් උල්ලංඝණය කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. ඒවා සම්බන්ධයෙන් චෝදනා හෝ පැමිණිලි එල්ල වූ විට අනිවාර්යෙන්ම ඒවා පිළිබඳ පරීක්ෂණද පැවැත්විය යුතුය. එසේ පරීක්ෂණ පැවැත්වීමේදී ඒවා තාරාතිරම අනුව ලිහිල් හෝ දැඩිවීමක් සිදු නොවිය යුතුය. කාටත් බලපාන ආකාරයට පොදු සාධාරණ ක‍්‍රමවේද යටතේ සියලූ පරීක්ෂණ කටයුතු සිදුවිය යුතුය. එබඳු පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින්ද තම තමාගේ තරාතිරම් අනුව වෙනස් ආකාරයේ සැලකීම් හා ක‍්‍රමවේද අනුගමනය කිරීමක් අපේක්ෂා නොකළ යුතුය.

අප රටේ දේශපාලන ඉතිහාසය තුල දේශපාලන නායකයින්ට, ඔවුන්ගේ සමීපනයනට, ජනප‍්‍රිය දේශපාලන ප‍්‍රතිවාදීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ අවස්ථා කොතෙකුත් අප දැක ඇත. ඇතැම් විටකදී ඒවා නිර්දය දේශපාලන පළිගැනීම් ලෙසින්ම ක‍්‍රියාත්මක වූ ඒවාය. දඬුවම් වලට භාජනය කිරීමේ අරමුණින් නව නීති පවා කෙටුම්පත් කළ අවස්ථාද තිබී ඇත. එහෙත් එම තත්ත්වයන්ට ගොදුරු වෙමින් ඒවාට මුහුණ දුන් අය නීතියේම පිළිසරණ ලබා ගනිමින්ද කෙලින්ම ඒවාට ඉදිරිපත් වෙමින්ද කටයුතු කර තිබීම ප‍්‍රශංසාත්මකව සිහිපත් කළ යුතුව ඇත. කොතරම් දේශපාලන බලයක් තිබුණද අනුගාමිකයින් ඕනෑ තරමට සිටියද එකල දේශපාලන නායකයින් තමන්ට එල්ල වූ අභියෝගයනට මුහුණ දීම සඳහා ජනතා බලයක් පෙන්වීමට ඉදිරිපත් වූයේ නැත.

තමන්ගේ ඉඩම් පවා රාජ්‍ය අයිතියට පැවරෙන අණපණත් සම්මත කළ, තෙල් අධිරාජ්‍යවලට යටවී ගෙනගිය ව්‍යාපාර ජාතිය සතු කල, බල කඳවුරු වලට යට නොවී ජාතික නොබැඳි පිළිවෙත ආරක්ෂා කළ, ජනතාවගේ මාතාව බවට ජන හරසර ලැබූ ගරු බණ්ඩාරනායක මැතිණිය විශේෂ කොමිසමක් ඉදරියට පමුණුවා එතුමියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට ක‍්‍රියා කළ එම අපකීර්තිමත් ඉතිහාසය අපට මතක ඇත. එදා එතුමියට එරෙහිව රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ චෝදනා තිබුණේ නැත. මූල්‍ය වංචා චෝදනාද නොවීය. බලය අයුතු ලෙස යොදා ගනිමින් දේශපාලන කටයුතුවල නිරත වීම එතුමියට එල්ල කළ චෝදනාව විය. ඒ සඳහා විභාග කිරීමට රටේපැවති නීතිය යටතේ ඉඩක් නැති බවට අධිකරණය තීරණය කළ විට විශේෂ බලතල සහිත කොමිෂන් සභා නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන එ් හරහා එතුමිය වැරදිකරුවෙකු බවට තීරණය විය. හදවතින්ම ජන නායිකාවක් වශයෙන් ජනතාව අතර පිළිගැනීමට භාජනය වී සිටි ජාතියේ නායිකාව නීතිය දඩමීමා කර ගනිමින් එදා පීඩනයට හා අපහසුතාවයට පත් කළේ ඒ අයුරින්ය.

පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා – සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ අති දැවැන්ත චරිතාපදානයක් විය. දේශපාලන විරුද්ධවාදීන්ගේ පළිගැනීමේ ඉලක්කය කෙළින්ම එල්ල වී තිබුණේ එතුමාටය. එතුමාට එරෙහිවද ගොනුකර තිබූ චෝදනා අතර මූල්‍ය වංචා හෝ මුදල් අවභාවිතා කිරීම් කිසිවක් නොවීය. දේශපාලන බලය අයුතු ලෙසින් යොදා ගැනීම එතුමාට එල්ල වූ ප‍්‍රධානතම චෝදනාව විය. තමාට කොටස් හිමිකමක් පවතින සමාගමකින් ස.තො.ස. ආයතනයට බිත්තර සැපයීමද ඒ අතර වූ එක් චෝදනාවක් විය. එතුමාගේද ප‍්‍රජා අයිතිය අහිමි කරනු ලැබිණි.

නැක්සලයිට් චෝදනාවක් මත අතිශයින් ජනප‍්‍රිය දේශපාලන චරිතයක් වූ විජය කුමාරතුංග මහතා අත් අඩංගුවට ගනු ලැබීය. මාස කීපයක්ම ඒ මහතා අතිශයින් හිංසාකාරී තත්ත්වයන් යටතේ බන්ධනාගාර ගතකර තිබුණි. නිවසින් කෑම ලබා දීම පවා බරපතල සීමාවන්ට යටත් කර තිබුණි. මාස කීපයක්ම මේ අයුරින් විජය කුමාරතුංග මහතා වැලිකඩ බන්ධනාගාරය තුළ අත්අඩංගුවේ පසුවිය. ජාඇල පීලික්ස් පෙරේරා, හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතුන් ඇතුළු විජයගේ හිතවතුන් රාශියක්ම අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේත් විශේෂ රැුඳවීම් යටතේත් විවිධ කාලසීමාවන් සඳහා රඳවාගෙන සිටියහ.

මේ එකම අවස්ථාවකදීවත් ජනතාව පෙලගස්වමින් උද්ඝෝෂන සටන් පාඨ කියමින් නීතිමය ක‍්‍රියාමාර්ගයන්ට හරස් වීමට ජනතාව උසිගැන්වූයේ නැත. එබඳු කිසිවක් සිදුවූයේද නැත. කොයිතරම් අසාධාරණ ලෙසින් මෙහෙයවා තිබුණද නීතිමය ක‍්‍රියාමාර්ග ඒ අයුරින්ම ක‍්‍රියාත්මක වීමට ඉඩ හැරීම එම දේශපාලන නායකයින්ගේ දැක්ම හා පිළිගැනීම විය. ඒ අය රටට ලබා දුන් ආදර්ශය වූයේද එයයි.

පසුගිය දිනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් කීපදෙනෙක් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවූ අවස්ථාවේදී සිදුවූයේ මෙයට හාත්පසින්ම වෙනස් වූ ක‍්‍රියාවකි. බස්රථ වලින් ඉතා දුර බැහැර සිට ශබ්ද විකාශන යන්ත‍්‍රද රැුගෙන පැමිණ සිටි විශාල පිරිසක් ප‍්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතින අතරතුරදී රහස් පොලිසිය අභියස මහා මාර්ගයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක යෙදුණි. සටන්පාඨ කියමින්ද, මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ විහාර මහා දේවියට සම කරමින්ද හද කිතිකැවෙනසුළු රංගනයක එම පිරිස යෙදුන බව පෙනී ගියේය. ඇත්ත වශයෙන්ම කලක් තිස්සේ විභාග වෙමින් පවතින විවිධ චෝදනා ආශ‍්‍රිතව සිදු කෙරෙන පරීක්ෂණයකදී අදාල තැනැත්තන් කැඳවා ප‍්‍රකාශ සටහන් කර ගැනීම මෙබඳු ජන උද්ඝෝෂණයකට හේතුවක් කරගත යුතුද යන්න පිළිබඳව සිතා බැලිය යුතුය. එය එක්තරා ආකාරයක භීතියකට පත් වීමේ ප‍්‍රතික‍්‍රියාවක් ලෙසින් සැලකිය හැකිය. ප‍්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමක් සිදුවේය යන බියෙන් එයට එරෙහිව ජනමතයක් පවත්නා බවක් ප‍්‍රදර්ශනය කිරීමේ වෑයමක් ලෙසින් එය පෙනී යාම ගැන කිසිවෙකුටත් උරණ විය නෙහැකිය. බස්රථවලින් කීප දෙනෙක් කැඳවාගෙන විත් උද්ඝෝෂණය කිරීමෙන් ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් පවතී නම් එය යටපත් කළ හැකිවේද? නීතිය ඉදිරියේ ගනු ලබන පියවර නීතිය හරහාම විසඳා ගත යුතු නොවන්නේද? මෙවැනි ක‍්‍රියාවල නිරතවීම සහ ඒවාට අනුබල දීම ඉහල පෙලේ දේශපාලන නායකයින්ට තරම්වේද යන ප‍්‍රශ්නය සමාජය තුල පැන නඟින බව අමතක නොකළ යුතුය. එබඳු ක‍්‍රියා මගින් පෙන්නුම් කරන බියසුළු බව වීරත්වයක් හෝ ජනබලයක් ලෙස නොදනික බහුතරයක් රටේ සිටින බවද සිහියේ තබාගත යුතුය.

කලින් පාලන සමයේ දූෂණ හා අක‍්‍රමිකතා සොයා බැලීමේ උනන්දුව යහපාලන රජයේ ඇමතිවරයෙකු සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් උද්ගත වන අවස්ථාවේදී පමණක් ඇතිවිය යුත්තක් නොවේ. රවී කරුණානායක ඇමතිවරයාගේ සිද්ධියෙන් පසුව වහාම ක‍්‍රියාත්මක වෙමින් අපවාද හා අවලාද නඟමින් පසුගිය රජය සමයේ අක‍්‍රමිකතා වහා විභාග කොට දඬුවම් පැමිණවිය යුතු බවට හඬක් නැගීම ඉතා ලාබාල හා බොළඳ ක‍්‍රියාවක් ලෙසින් එක් පැත්තකින් හැඳින්විය හැකිය. අනිත් අතින් බලන විට එසේ විභාග කිරීම කිසියම් බලධාරියෙකු විසින් යටපත් කරගෙන සිටින බවට ඔවුන් තුලසැකයක් පවතින බවක්ද පෙනී යයි. එසේ නම් එය ඒ ආකාරයට යටපත් කරගෙන සිටි අය සහ එසේ කිරීම ගැන චෝදනා කරන අය අතරේ පවතින මතභේදයකි. එය තමාගේ පක්ෂය තුල සමගිය දෙදරා යාමකි. යටපත් කරගෙන සිටියේ පසුපෙල මන්ත‍්‍රීන්ට නොපෙනෙන සියුම් අවශ්‍යතාවයක් නිසා නම් පසුපෙළ මන්ත‍්‍රීන්ගේ නැගී සිටීම එම යටපත් කරගෙන සිටීමෙන් ලද වාසිසහගත තත්වයට එල්ලවන අභියෝගයක්ද වේ.

එවිට පසුගිය රජයේ අයට එරෙහිව පරීක්ෂණ විභාග යටපත් කිරීමෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණට බාධාවක් ඇතිවේ. ඇතැම් විට එය කාටත් නොපෙනෙන ලෙසින් වසාගෙන සිටි තත්ත්වයක් ලොවට හෙළිදරව් වීමටද හේතුවක්ද විය හැකිය.
බලය තුලනය කර ගැනීම සඳහාත් අපහසු තත්ත්වයන් තුල බලය රඳවාගෙන සිටීම සඳහාත් කෙරෙන ඇතැම් දේ සහ නොකෙරෙන ඇතැම් දේ ක්ෂණිකව වෙනස් කිරීමට සිදුවීමෙන් ඇතිවන දේශපාලන අස්ථාවර භාවයේ අවාසිය පසු පෙළටද විඳීමට සිදුවන නිසා ප‍්‍රශ්න යටපත් කරගෙන සිටින සිය නායකයින්ට එරෙහිව පෙල ගැසීමේදී ඉතාමත් පරිස්සම් විය යුතුය. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයාගේ රැුකවරණය ඉතාමත් අවශ්‍ය වේ. ඒ සඳහා ජනාධිපතිවරයා සමග ඉතා සමීප හොඳ සබඳතාවයක් නිරතුරුවම පවත්වා ගත යුතු වේ. ජනාධිපතිවරයාටද තම පක්ෂයේ ශක්තිය සහ බලය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. එසේ නොවුන හොත් තමාට නායකත්වයක් හෝ තමාගේ පාලනයක් නොමැති කණ්ඩායමකට යටවීමට සිදු වේ. තමාගේ පක්ෂයේ බලය පූර්ණ ලෙසින් ජනාධිපතිවරයාට ලැබුණහොත් එ.ජා.ප. සහයෝගය මත යැපීමට එතුමාට සිදු නොවේ. එනිසා එ.ජා.ප. යේ වෑයම වනුයේ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන අතරම ශ‍්‍රී.ල.නි. පක්ෂයේ පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට නොලැබෙන ආකාරයට පසුබිමක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා හොඳම උපක‍්‍රමය වන්නේ මහින්ද පිල ඒ මේ අතට දෝලනය වන ආකාරයට කටයුතු කිරීමයි. ඒ සඳහා කළ හැකි හොඳම පියවර වන්නේ පසුගිය රාජ්‍ය කාලයේ කටයුතු පරීක්ෂණය කිරීම පාලනය කිරීමයි. වරෙක ලිහිල් කරමින්ද, තවත් වරෙක තද කරන බව පෙන්නුම් කරමින්ද එ.ජා.ප. නායකත්වය ඉතාමත් අපූරු ලෙසින් මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරමින් සිටී. එහෙත් පක්ෂයේ පසුපෙලින් නැගෙන පීඩනය නිසා මෙම බල තුලන උප්පරවැට්ටිය දෙදරා යාමේ තර්ජනයට අළුත් විසඳුමක් සොයා ගැනීමට එ.ජා.ප. යට සිදුවී ඇත.

මේ අතර පසුගිය සමයේ දූෂන හා අක‍්‍රමිකතාවයන් දිගටම යටපත් කරගෙන සිටීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් චෝදනා වලට භාජනය වී සිටින හිටපු ජනාධිපති ඇතුළු පිරිස එම තත්වය ඒ ආකාරයෙන්ම තවදුරටත් පවත්වා ගැනීමේ විවිධ උපක‍්‍රම හා උප්පැරවැට්ටිවලට අනුගත වී සිටිති. වරෙක යූ.එන්.පී. ය සමගද තවත් වරෙක ශ‍්‍රි.ල.නි.ප. මෛත‍්‍රී පිල සමගමද සබඳතාවන් අඩුවැඩි කර ගනිමින් ඔවුන් නිරන්තරයෙන්ම පක්ෂ අතරේ පා වෙමින් සිටිති. ව්‍යවස්ථාව, ඡන්ද ක‍්‍රමය, බදු ප‍්‍රතිපත්තිය මේ සඳහා ඉතා හොඳ මෙවලම්ය. එම මෙවලම් උපයෝගී කර ගනිමින් ඊළඟ මැතිවරණය දක්වාම අවාසනයක් නොදකින දූෂණ පරීක්ෂණ ඔවුන් යටගස්සවා ගෙන සිටීමට සමත්ව ඇත.

දූෂණවලට වැරදිකරුවන් වී සිරබත් කනවාට වඩා කවුරුන් සමග හෝ අනියම් සබඳතා පවත්වමින් පරීක්ෂණ යටපත් කරගෙන සිටීම ඔවුන්ගේ එකම විකල්පය වී ඇත. දූෂණ සඳහා කෙරෙන පරීක්ෂණ සැමට පොදු විය යුතු සේම දූෂණවලට වැරදිකරුවන් වන අයට වෙනම බන්ධනාගාර ඉදි නොවන බවත් තිබෙන බන්ධනාගාර වලටම ඇතුල් වී පව් ගෙවන්නට සිදුවන බවත් කවුරු කවුරුත් සිහියේ තබා ගැනීම සුදුසුය.

රවී කරුණානායක මහතාට සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ වෙනම කාරණයකටය. එනම් ඇමතිවරයෙක් වශයෙන් සදාචාරාත්මක ලෙසින් ඔහු විසින් නොකළ යුතු දෙයක්කළ බව ඔහු පිළිගැනීමයි. තවමත් රවී කරුණානායකට එරෙහිව වෙනත් කිසිම චෝදනාවක් ඔප්පු වී හෝ විභාග කොට අවසන් වී තීන්දුවක් දී නැත. එය යථා කාලයේදී සිදුවීමට නියමිතය. එවිට නීතිය ඔහුට අන් අයට මෙන්ම සාධාරණය ඉටු කරනු ඇත.

දැනට සිදුවේගෙන යන ක‍්‍රියාදාමයන් නිරුපද්‍රිතව ඒ අයුරින්ම ක‍්‍රියාත්මක වුවහොත් බොහෝ දෙනෙකුට සිය උදාරම් අතීතය සහ එදිරිවාදිකම් යටපත් කරගෙන සිපිරිගෙවල්වල එක ගෙයි කෑමේ වාසනාව උදාවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.