20 April, 2024

Blog

රණවිරු දඩයම: අතිපූජනීය මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත ගෞරවපූර්වකව ලියන විවෘත  ලිපියක්

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

රණවිරු දඩයම සම්බන්ධයෙන් විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පැවරීම සඳහා නව නීති හා ආයතන ස්ථාපිත කිරීම

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලාත්මක කිරීමට අත්සන් තබා එය සංහිඳියාව වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වූයේය. 2016 අගෝස්තු මාසයේදී මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයද නොතකා  එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් එකතු වී පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවේ බලහත්කාරයෙනි. මේ පනත විවාද කිරීමට විනාඩි 40 ක කාලයක්වත් ඔවුන් මිඩංගු කළේ නැත. දැන් ජනාධිපතිවරයාගේ අත්සනින් බලාත්මක කර ඇති 2017 අංක 9 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල (සංශෝධන) පනතින් සංශෝධනය වූ 2016 අංක 14 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතේ පහත දැක්වෙන විධිවිධාන කෙරෙහි ගරුතර මහා සංඝරත්නයේ සුවිශේෂ අවධානය යොමුවිය යුතු යැයි මම විශ්වාස කරමි.

1. මෙකී නීතිය යටතේ පිහිටුවන ආයතනය ‘කාර්යාලයක්’ ලෙස හැඳින්වුවද, අදාල පනතේ 12 වන වගන්තියට අනුව මෙය පැමිණිලි පිලිගෙන විමර්ශන පවත්වන, සාක්‍ෂි කරුවන්ගෙන් කටඋත්තර ලබා ගන්න, තමන් ඉදිරියට පුද්ගලයන් කැවමින් නියෝග නිකුත් කරන, හා විභාග පවත්වන උසාවියකට සමාන ආයතනයක් බව පැහැදිලිය. මේ කාර්යාලයේ නිලධාරීන්ට දිවා රෑ ඕනෑම වෙලාවක, ඕනෑම පොලිස් ස්ථානයකට, හමුදා කවුරකට හෝ බන්ධානාගාරයකට ඇතුලුවීමටත්, ඔවුන්ට අවශ්‍ය ලියවිලි හෝ වෙනත් දේවල් තම භාරයට ගැනීමටත් බලය පවරා ඇත. කවුරුන් හෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සහයෝගය නොදී සිටියහොත් එය අභියාචනාධිකරණයට කරන ලද අපහාසයක් සේ සලකා දඩුවම් කළ හැකිය.

2. ඕනෑම දේශීය හෝ විදේශීය මූලාශ්‍ර‍කින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට මුදල් ප්‍ර‍තිපාදන ලබා ගැනීමට පනතේ 21 වන වගන්තියෙන් බලය පවරා ඇත. ඒ අනුව මෙකී කාර්යාලයට විදේශීය ආණ්ඩුවකින්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ තහනම් නොකරන ලද දෙමළ කොටි ඩයස්පෝරා සංවිධානයකින් වුවද මුදල් ලබාගත හැක.

3. සාක්‍ෂි ආඥාපනතේ සියලු විධි විධාන වලට පටහැනිව වුවත් ඕනෑම ප්‍ර‍කාශයක් හෝ භාණ්ඩයක් සාක්‍ෂි හැටියට පිළිගැනීමට පනතේ 12(ඇ)(iii) වගන්තිය යටතේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පවරා ඇත. සාක්‍ෂි ආඥාපනත නොසලකා හැරීම නිසා මේ ආයතනය ඉදිරියට කැවන සැකකරුවන්ට අපේ රටේ සාමාන්‍ය අපරාධ නඩුවකදී වුවත් චූදිතයෙකුට තිබෙන සාධාරාණ ආරක්‍ෂාව නොලැබෙනු ඇත.

4. මෙම පනතේ 12 (ඉ) වගන්තියට අනුව රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කරමින් වුවත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටින සියලු තොරතුරු සහ ලියවිලි ඔවුන්ට ලබා දීමට සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ ඇතුලුව සියළුම රජයේ ආයතන බැී සිටී.

5. පනතේ 15 වන වගන්තියට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට රහස්‍ය භාවය රැකීමේ පොරොන්දුව මත ලැබෙන තොරතුරු උසාවියට ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලය නැත. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් බලපවත්වන්නේ නැත.

6. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හෝ ඔවුන් පලකරන වාර්ථාවක් සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ නඩු පැවරිය නොහැකි ආකාරයට පනතේ 25 වන වගනත්තිය යටතේ සම්පූර්ණ මුක්ත භාවය ලබාදී ඇත. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කරන කිසිවක් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 126 හා 140 යන වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ නඩුවකින් මිස වෙනත් කිසිදු උසාවියක අභියෝගයට ලක් කල නොහැක. නමුත් පනතේ 15 වන වගත්නියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට වුවත් තොරතුරු හෙළි නොකර සිටීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඇති බලය නිසා, මෙම කාර්යාලයේ කටයුතු වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන්වත් පලක් නැත.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් සොයාගන්නා තොරතුරු එම පනතේ 13(1)(එ) වගන්තිය යටතේ අදාල නීතිය ක්‍රියාත්මක කිරීමේ, නැතිනම් පරිචෝදක ආයතනය වෙත යොමු කල හැක. 2015 ඔක්තෝබර් 14 දින, අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අනුව මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ‘යටගියාව ගැන සෙවීමට’ යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවීමට එක වී ඇති ආයතන කීපයකින් එකක් පමණි. මෙහි පරමාර්ථය වන්නේ, වෙනත් ආයනතන වලට තොරතුරු ලබා දීම බව පැහැදිලිය. මෑතකදී වත්මන් ආණ්ඩුව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ යෝජිත නීතිය යටතේ ලංකාව තුළ  පුද්ගලයෙකු අතුරුදහන් කරවීමකට සම්බන්ධ යැයි සැක කරන ඕනෑම අයෙක් තමන්ට භාර දෙන මෙන් විදේශීය රටවලට ඉල්ලා සිටීමට බලය ලැබේ. ඒ ආකාරයට ලංකාවේ කරන ලදැයි කියන අපරාධයක් සහා තමන්ගේ රටට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකික සැකකරුවකු ඒ විදේශීය රටේ උසාවියකට ඉදිරිපත් කිරීම හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාරදීම ඔවුන්ට කළ හැක.

මහා සංඝරත්නයත්, මහ ජනතාවත් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන ආ පනත් කෙටුම්පතට දැක්වූ විරෝධය නිසා ඒ පිළිබ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට ආණ්ඩුවට සිදු විය. නමුත් මේ කල්දැමීම තාවකාලික බවත් නුදුරු අනාගතයේදී ඔවුන් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවත් ආණ්ඩුවේ ඇමතිවරුන් පවසා ඇත. මේ අනුව අපට පෙනී යන්නේ යහපාලන ආණ්ඩුවෙන් මේ ගෙන එන නව‍ නීති එකිනෙකට සම්බන්ධ බවයි. විදෙස් රටවල මුදල් වලින් නඩත්තු වෙන අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යම් පුද්ගලයෙකුට එරෙහිව වාර්තාවක් පල කරමින් චෝදනාවක්  කළ පසු, එකී චෝදනාව මත පදනම්ව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ විධිවිධාන යටතේ එම සැකකරු තමාට භාරදෙන මෙන් ඉල්ලා සිටීමට විදේශීය රටවලට බලය ලැබේ. මේ ආකාරයට ලාංකික සැකකරුවෙකු තමාගේ රටට ගෙන්වා ගන්නා විදේශීය රටට එම පුද්ගලයාට එරෙහිව තමාගේ රටේ නඩු පැවරීම හෝ ඔහුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාරදීම හෝ කළ හැක.

අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන එන ලද පනත් කෙටුම්පත පිළිබ විවාදය කල්දැමීමට සිදු වූ පසු එජාපයේ මෙන්ම ශ්‍රිලනිපයේ ඇමතිවරුන්ද එම පනත් කෙටුම්පත සාධාරණීකරනය කිරීම සඳහා පවසා සිටියේ එය අනාගතයට මිස අතීතයට බලපාන නීතියක් නොවන බවයි. මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍ර‍කාශයකි. අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ විධිවිධාන ලංකාවේ බලාත්මක කිරීමට ගෙන එන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ නම්, එය අපේ ව්‍යවස්ථාවේ 13(6) වගන්තියේ විධිවිධාන වලට අනුව ස්වයංක්‍රීයවම අතීතයටද බලපානු ඇත. අපගේ සන්නද්ධ හමුදා වලට සහ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන්ට දඩුවම් කිරීමට එජාපය, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායම, දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ යන යහපාලන දේශපාලන පක්‍ෂ තුළ විශාල උනන්දුවක් තිබෙන බව පැහැදිලිය.

යහපාලන ආන්ඩුවේ මේ නව නීති හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත් යටතේ රණවිරු දඩයම සම්බන්ධයෙන් ලංකාවේ නීතිය යටතේම විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පවරා ඇත. සංහිඳියාව ඇතිකරනවා යැයි කියමින් කරන මේ මහා පාවාදීම් කෙරෙහි අතිපූජනීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුලු මහා සංඝරත්නයේ නිසි අවධානය යොමු වෙනු  ඇතැයි මම විශ්වාස කරමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.