26 April, 2024

Blog

අනේ කාලේ වනේ වාසේ නොහොත් ප්‍රතිගාමී විපක්ෂය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලෝකයේ තිබෙන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ෂය න්‍යායාත්මකව ප්‍රගතිශීලී වේ. ඔවුන් විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමේදී බොහෝ ප්‍රගතිශීලී අදහස් මත පදනම්වීම එක්තරා ආකාරයක පරාමදර්ශී හැඩයකින් කටයුතු කරයි. සමස්තයක් ලෙස ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව, මානව හිමිකම්වලට ගරු කරයි. ඒවා ආරක්ෂා කළ යුතු බවට ආණ්ඩුවට බල කරයි. සාධාරණ බදු ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියි. ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරයි. නීතියේ ආධිපත්‍ය ප්‍රාර්ථනා කරයි. ඒ වෙනුවෙන් සටන් කරයි. ජනමාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියි. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ෂයේ ක්‍රියාකාරීන් හා දේශපාලන නායකයන්ගේ වැඩසටහන් හා අදහස්වල මූලික පදනම වේ. නමුත් ශ්‍රී ලංකාවේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් විපරීතයකි.

ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් ඇම්බියුලන්ස් සේවයක් ආරම්භ කිරීමට යෝජනා කළ විට දිවි පරදුවට තබා ඒකාබද්ධ විපක්ෂය එයට එරෙහිව සටන් කරයි. අසරණ රෝගීන් ඉන්දියානු ඇම්බියුලන්ස් රථවල රෝහලට ගෙනයාමට විරුද්ධ වන අතර, ඔවුන් දෙකට තුනට නවා ඉන්දියානු ත්‍රීරෝද රථවල ගෙනයන ලෙස සටන් කරමින් ඉල්ලා සිටියි.

ලංකා ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත යෝජනා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට විය යුත්තේ ඊට පක්ෂව විපක්ෂව කණ්ඩායම් කටයුතු කර ඔවුන්ගේත්, ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් ප්‍රගතීශීලීව කටයුතු කිරීම වුවත්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇදහිය නොහැකි ලෙස තොරතුරු දැනගැනීමේ පනත විවේචනය කළහ. ඔවුන් මාධ්‍ය නිදහස ජනතා අයිතිවාසිකම්වලට විරුද්ධය.

ආණ්ඩුව අතුරුදහන් කිරීමේ හා අතුරුදහන් වූවන්ට සාධාරණය ඉටු කිරීම සදහා නව පනතක් හා කාර්යාලයක් ආරම්භ කිරීමට යෝජනා කරයි. එහිදී අනාගත ශ්‍රී ලාංකික සමාජය තුළ අතීතයේ සිදුවූවක් මෙන් රාජ්‍යයට මර්ධන යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීමට ඇති අවකාශය සීමා කිරීමට හෝ අහුරා දැමීමට යෝජනා කරයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි පරිදි ශ්‍රී ලංකාවේ විපක්ෂය ජනතාවට අතුරුදන් නොවී සිටීමේ අයිතියට විරුද්ධය. එමගින් ඔවුන් එයින් අනාගතයේදී ආණ්ඩුවක් බිහිකළ හොත් අතුරුදන් කිරීමට බලාපොරොත්තුවන බව රටටත් ලෝකයටත් කියාපායි. මෙය විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරයකටම අරුම පුදුම ස්ථාවරයකි.

මෙම ස්ථාවරයේ කූටප්‍රාප්තිය වන්නේ අමු අමුවේ මට්ටක්කුලියේ කසාදයකට සහභාගී වෙමින් සිටි දෙමළ හා මුස්ලිම් ශිෂ්‍යයින් දො‍ළොස් දෙනෙකු පැහැරගෙන ගොස් දෙමාපියන්ගෙන් කප්පම් ඉල්ලා අමු අමුවේ මරා දැමූ, ඒ පිළිබද ඕනෑවටත් වඩා ඇති, එමෙන්ම එම සිසුන් පැහැරගත් මෝටර් රථය තම බිරිදට උපන් දින තෑග්ගක් ලෙස දුන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගත් පසු මෙම අහස පොළොව නුහුලන අපරාධය රණවිරුවන් නාමයෙන් සාධාරණීකරණය කළ විමල් වීරවංශගේ ස්ථාවරයයි. මෙය ශීලාචාර ලෝකයේ කිසිවෙකුත් අනුමත නොකරන නමුත් ලංකාවේ විපක්ෂය මෙම අපරාධය අනුමත කරයි. ජනතාව වෙනුවෙන් නොව රාජ්‍යයේ මර්ධන යන්ත්‍රය වෙනුවෙන් ආණ්ඩුවටත් වඩා ඉදිරියෙන් පෙනී සිටියි.

වසර 39 ක් පැරණි ලංකාවේ පැවති සියලුම ජනාධිපතිවරණවලදී ප්‍රධාන මාතෘකාවක් වූ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මේ රටේ සියලුම ප්‍රගතිශීලී ජනතාවගේ හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන ව්‍යාපාරවල විවේචනයට ලක්වූවත්, ඒකාබද්ධ විපක්ෂය අරුම පුදුම ලෙස එම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටියි. කොටින්ම ව්‍යවස්ථාව රටට හදුන්වාදුන් එක්සත් ජාතික පක්ෂයද එයට විරුද්ධය. එය ප්‍රතිගාමී ඒකාධිපති ව්‍යවස්ථාවක් බව රටේ ප්‍රගතිශීලී ජනතාවගේ මතයයි. නමුත් ඒකාබද්ධ විපක්ෂය මෙම ප්‍රතිගාමී හා අසාර්ථක ව්‍යවස්ථාව දශක තුනකට පසු ආරක්ෂා කරගැනීමට සටන් කරයි. නමුත් එහි එතරම් අරුමයක් දැකිය නොහැක. මන්දයත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් 1978 ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් බවට පත්කළ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලත් ඒකාබද්ධ විපක්ෂයේ සමාජිකයන්ය.

නමුත් අරුමය වන්නේ 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ මෙම ඒකාධිපති ව්‍යවස්ථාව අහෝසි කිරීමටය. නමුත් ඔවුන් විපක්ෂයේ සිටියදී ව්‍යවස්ථාව තබා ගැනීමට වෙරදරනුයේ මන්ද යන්න ප්‍රගතිශීලී සමාජයටද විමතිය දනවන්නකි.

මේ රටේ ජනතාව පසුගිය ආණ්ඩුව පරාජය කළ අනෙක් ප්‍රධානතම හේතුව වන්නේ දෙමළ, මුස්ලිම් හා කතෝලික විරෝධයයි. එසේම ඔවුන් තුළ තිබූ ගොවිගම කුළයට හැරුණුකොට අවශේෂ සුළුතර කුලවලට තිබූ විරෝධයයි. (එහි අපූර්වත්වය වන්නේ මහින්ද රාජපක්ෂ පෙරමුණේ සමහර නායකයන් අවශේෂ කුලවලට අයත් වීමයි.)

එසේ පරාජය වී තිබියදී කිසිදු ස්වයං විවේචනයකින් තොරව අදද ඒකාබද්ධ විපක්ෂය මුස්ලිම්වරුන්ට විරුද්ධය. ඔවුන්ගේ ආගම ඇදහීමේ නිදහසට විරුද්ධය. දෙමළ ජනයාට විරුද්ධය. දෙමළ භාෂාවට හා අයිතිවාසිකම්වලට විරුද්ධය. කතෝලික ප්‍රජාවට විරුද්ධය. කතෝලික සංස්කෘතියට විරුද්ධය. අවශේෂ කුලවලට විරුද්ධය. මෙවැනි විපක්ෂයක් ලොවෙත් නැත.

නමුත් වර්තමාන ආණ්ඩුවද අරුම පුදුමය. එම මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අණපනත් ගෙන එයි. ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කරයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනතාවට පැහැදිලි කරයි.

බදු ක්‍රමය සංශෝධනය කර ජනතාවට හිතකර ආකාරයට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. රටේ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහිව කටයුතු කරයි. නීතියේ ආධිපත්‍ය සෑම දෙනාටම සමසේ තිබිය යුතු බවට විශ්වාස කරයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වේ. අද ආණ්ඩුව ප්‍රගතිශීලීය. විපක්ෂය ප්‍රතිගාමීය.

ඒකාබද්ධ විපක්ෂයේ රාජපක්ෂවරු ප්‍රමුඛ සියලුම දෙනා සිටිනුයේ සිතින් ආණ්ඩුවේය. ගතින් විපක්ෂයේය. මෙම තත්ත්වය නම් ලංකාවේ විපක්ෂය අනේ කාලේ වනේ වාසේ තත්ත්වයකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.