2 June, 2020

Blog

ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය කළ නොහැකි රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වග කිව යුතු නැත

මංගල සමරවීර

මංගල සමරවීර

නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළා විනා එය රජයේ සේවකයන්ගේ කර මත පැටෙව්වේ නැත. 

එහෙත්,  අපට බලය දෙන්න අපි කරලා පෙන්වන්නම්සල්ලි හොයන හැටිත් අපි දන්නවා යැයි ජනාධිපතිවරණ සමයේ කී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අසුනේ සිටින වත්මන් රජය කොරෝනා වසංගතයෙන් ආර්ථික අර්බුදයක් ඇති වූ වයි කියමින් එය විසඳීම සඳහා සමස්ත රාජ්‍ය අංශයේ 14 ලක්ෂයක් පමණ සේවක පිරිසගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන මෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත. කොරෝනා වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බූදයක් ඇතිවූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්තවීමට පෙර සිටම මහා ආර්ථික අර්බූදයක් හට ගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මූල්‍ය විනය මෙම රජය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසාය.

ඕනෑම රටකට නොසිතූ ආකාරයට හා නොසිතූ වේලාවක ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් ඇතිකරන ලද ව්‍යසනයන් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂ නම් රටේ ආර්ථිකය නිසි ලෙස  කළමනාකරණය කිරීමෙන් ඒවාට විසඳුම් සොයා හත හැකිය. එසේ අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා ජනතාවගෙන් හෝ රාජ්‍ය සේවකයන්ගෙන් තමන් හරි හම්භ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදූ රජයක් ඉලා සිටි බවට වාර්ථා වී නොමැත.

කෝවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකය මුළුමනින්ම හුදකලා කර සෑම රටකම ජන ජීවිතය අවිනිශ්චිතතාවයකට පත් කර ඇතැයි කියමින් අපගේ දේශීය ශක්තිය විදහා දක්වනුවස් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන්නැයි 14 ලක්ෂයක් පමණ වන සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන්   ජනාධිපති ලේකම් ලිපියක් මගින් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියට පෙර සිටම එනම් මෙම රජය බලයට පත්වී මුල් මාස තුනක් ඇතුළතදීම රජය මහා ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව නොරහසකි. කෙසේ හෝ බලය ගැනීමේ පරමාර්ථයෙන් ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් 2020 මාර්තු වන විටම ආර්ථිකය කඩා වැටුණි.

2014 වසරේ (රු. බිලියන 1000)  ට්‍රිලියනයක් පමණ වූ වාර්ෂික රාජ්‍ය ආදායම යහ පාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම්  ට්‍රිලියන් දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදී. එහෙත් මෙම රජය ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් ජනතාවට කිසිදූ ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවූ වා සේම  රාජ්‍ය ආදායම ද 2014 පැවති තත්ත්වයකට යළි අඩු වෙමින් පවතියි. 

මා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී පැවති රුපියල් ට්‍රිලියනයක් පමණ වූ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජනතාව නොමඟ යවන පොරොන්දු දීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම මේ වසරේ දී අඩකට වඩා ප්‍රමාණයකින් අඩු වනු ඇත. 

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සඳහා මසකට රුපියල් බිලියන 100 බැගින් වසරකට බිලියන 1200 ක් වැය වෙතැයි  ජනාධිපති ලේකම්ගේ ලිපියෙන්ම පිළිගෙන ඇති ආකාරය බලන විට මෙම රජය යටතේ රාජ්‍ය ආදායම වැටුප් ගෙවන්නට පවා ප්‍රමාණවත් වේ දැයි සැක සහිතයි.

යහපාලන රජය සමයේ වසර හැටකට පසු වූ දරුණුම නියඟයක් 2016 වසරේ දී වාර්ථාවූ අතර 2017 වසරේ දී ගංවතුරකින් කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු විය. ඒ වගේම 2018 ඔක්තෝබර් මස සිදු වූ දින 52 ක ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෙන්ම  2019 පාස්කු ඉරු දින ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් ද දියුණු වෙමින් පැවති  සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩු සිදු විය. එවන් අර්බුදකාරී අවස්ථාවේ වූවද යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදී වාර්ෂික වැටුප් වැඩිකිරීම සිදුකළා විනා ඒවා අඩු කිරීම පිළිබඳව කිසිදු අවස්ථාවක තීරණයකට එළෙඹියේ නැත.

යහ පාලන රජයේ සමයේ ඉහත අභියෝග රැසක් මධ්‍යයේ වූවද ආර්ථික ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබීය.

  • රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුෆ් හා දීමනා මුල් දින 100 දීම වැඩිකරන ලදී
  • යහපාලන රජය විසින් 2018 වසරේ පත් කරන ලද රනුග්ගේ කොමිසම් වාර්ථාවේ නිර්දේශිත පරිදි රාජ්‍ය සේවක වැටුප් හා පන් ලක්ෂයක් පමණ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද 2020 ජනවාරියේ සිට වැඩි කිරීමට අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන් කර තිබූ නමු දූ මෙම රජය බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිකිරීම කප්පාදු කරන ලදී. එම වැඩිවීමත් සමග 2015 මූලික වැටුපට සාපේක්ෂව 107 % න් වැඩිකර තිබූ රාජ්‍ය සේවක වැටුප 2020 ජනවාරියේ සිට 135 % දක්වා වැඩිවීමට නියමිතව  තිබුණි.  
  • 2015 දී අප, රජය භාරගන්නා විට රාජපක්ෂ රජයේ සමයේ නොගෙවූ හා හිඟ බිල් පත් රු. බිලියන 140 ක පමණ දේශීය ණය 2016 වසර තුළ පියවන ලදී.
  • සමෘධි හා වැඩි හිටි දීමනා දෙගුණ කරන ලදී
  • 2016 දී වසර 40 ට පසුව ඇතිවූ දරුණුතම  නියගයෙන් සිදු වූ වගා හානි හා 2017 මහා ගංවතුරෙන් විනාශ වූ දේපල හානි නිසා  ආර්ථිකය කඩා වටෙන්නට නොදී එය යළි ගොඩනැගීම සඳහා හානි පූර්ණ වශයෙන් රු 20 ලක්ෂයක් දක්වා වන්දි දෙන ලදී.
  • රාජපක්ෂ රජයේ සමයේ අවසර ගෙන 240 % වැනි අධික පොලියට ක්‍රියාත්මක කළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් බැට කෑ නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්ක 13 ක සිටි රුපියල් ලක්ෂයක් දක්වා ණය ලබාගෙන සිටි පුද්ගලයන් 45000 කගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින ලදී.
  • රටේ ග්‍රාමීය ආර්ථිකය වේගවත් කිරීම සඳහා “ගම්පෙරලිය” වැඩසටහන යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම වසරකට රු මිලියන 300 බැගින් ලබාදෙන ලද අතර එය 2020 දී රු මි. 400 දක්වා වැඩි කිරීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර තිබිණි
  • එමෙන්ම “එන්ටප්‍රයිස් ශ්‍රී” ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකත්වය දියුණු කරන පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කරන ව්‍යවසායකතව ශ්‍රී ලංකා වැඩ සටහන මගින් රු මිලියන 90,000 ක් පෞද්ගලික ආයෝජනවලට රජය අඩු පොලි ණය ලබාදුන්නේය. එම සාර්ථක වැඩ සටහන මෙම රජය මගින් නවතා දැමීමෙන් ආයෝජනයට අවශ්‍ය මුදල් නොමැතිව ව්‍යවසායකයන් තම ආයෝජන අත් හරින අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටි ති.
  • දින 52 ක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියලේ අගය අවප්‍රමාණය වූ අතරම  සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව  ආර්ථිකයට සිදු වූ දැවන්ත පසුබෑම ද කළමනාකරනය කරන ලදී.  
  • පාස්කු ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නංවන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විවිඩ සහන ලබාදීමට ක්ෂණිකව කටයුතු කළ අතර ග්‍රාමීය මට්ටමේ සංචාරක පොඩ්ඩන්ට ද  පොලි සහන ණය පැකේජයන් හඳුන්වා දෙන ලදී.
  • පාස්කු ප්‍රහාරය නිසා වෙසක් සමය සමරන්නට බැරිවීමෙන් දුෂ්කරතාවයට පත් වූ වෙසක් තොරන් නිර්මාණකරුවන් හා වෙසක් සංගීත කණ්ඩායම් ආදීන්ට ද රජය මගින් සහන දෙන ලදී.
  • මේ සියලු සහන හා ආර්ථික උත්තේජන පැකේජයන් මැද රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබූ 60% ට අධික ණය ඇතුළු සියලු ණය වෙලාවට ගෙවීම් කිරීම ද සිදු කළේය.
  • මේ සියල්ල ඉදිරියේ එනම් ශ්‍රීමත් ජොන් කොතලාවල මහතාගේ රජයේ කාලයෙන් පසුව ප්‍රථම වතාවට අයවැයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක්  ලබා ගෙන රාජ්‍ය ආදායමෙන් අපේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයට රට පත් කළ හැකි විය.
  • ආර්ථික අර්බූද හා දේශපාලන කුමන්ත්‍රණ මැද ආර්ථික ක්ෂේත්‍රයේ මෙවන් දියුණුවක් යහපාලන රජයට ලබා ගැනීමට හැකි වූයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් හඳුන්වා දෙනු ලැබූ රාජ්‍ය පාලනයට ඉතා වැදගත්  මූල්‍ය විනය හේතුවෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

මෙවැනි අභියෝග මධ්‍යයේ වූවද වසර පනස් ගණනකට පසුව අප රටේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගැනීමට හකිවීම තුළින් අපගේ ආර්ථික ගමන් මගේ නිවැරදි භාවය මනා ලෙස ඔප්පු වෙනවා ඇත. 2015 දී හදිස්සි ප්‍රතිකාර ඒකයේ අවසන් හුස්ම ගනිමින් සිටි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නිරෝගී සුවය දක්වා ගෙන යන මග ආරම්භ කරන්නට හැකි වූයේ අප රජයේ මනා මූල්‍ය කළමනාකාරිතවයත් මූල්‍ය විනයත් නිසා බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව ඇත.

මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බූදය වසංකිරීම සඳහා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටියි. එමෙන්ම කොරෝනාව මුවාවෙන්ම මෙම රජය බලයට පත් කරන්නට කටයුතු කළ අන්ත සිංහල ජාතිවාදීන් පිනවීම සඳහා මෙරටේ දෙමල මුස්ලිම් ජනතාව දඩ මීමා කරගෙන ජාතිවාදය, ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා අවියක් බවට පත්කරගෙන ඇත. කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් වරුන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීමේ තීරණය ද මෙම අන්තවාදීන් අතොලොස්සක් පිනවීමට ගත් තීන්දුවක් බව ද දැන් ඉතාමත් පැහැදිලිය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන භීතිකාවක් තිබෙන රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුව නොකැඳවීම තුළින් අළුත් අය වැයක් ඉදිරිපත් කිරීම පවා වළක්වා රට තුළ බරපතල ආර්ථික, මූල්‍යමය හා ව්‍යවස්තාදායක අර්බුදයක් නිර්මාණය කර තිබේ.

එපමණක් නොව, , රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබේ.

තම මැයි මස වටුප රජයට පරිත්‍යාග කරන මෙන්  රජයේ සේවකයන් වෙත කරන අද මෙම අභූත ඉල්ලීම ගැන මතුවෙමින් පවත්නා විරෝදතාවය ඉදිරියේ එය, ජනපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරමින් සිටියි. එය සත්‍ය නම් එය ඊටත් වඩා බරපතල තත්ත්වයකි. 

වර්තමාන රජයේ ජේ‍යිෂ්ඨ ඇමතිවරයෙකු විසින් පවා ආර්ථික ඝාතකයා ලෙස හඳුන්වන ලද මෙම ලේකම්වරයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2001 දී  සෘණ ආර්තික වර්ධනයක් පත්කිරීමට මුදල් ලේකම් ලෙස නායකත්වය දුන් මොහු වැනි කෙනෙකුට මෙවැනි ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ කවරෙක් දැයි රට දැන ගත යුතුය. 2014 වසර වන විට පණ අදිමින් හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි ආර්ථිකය අප භාරගත්තේ ද වත්මන් ජනපති ලේකම් විසින් වසර 10 කට ආසන්න කාලයක් මෙහෙයවන ලද එම ආර්ථිකයයි. එපමණක් නොව වර්තමාන රජයේ තවත් ඇමතිවරයෙකු විසින් පවරන ලද නඩුවක වැරදිකරු වී දඩයක් ද නියම කරන ලද අතර රජයේ සේවයේ කිසිදූ තනතුරක් දැරීමට ආචාර්ය ජයසුන්දර මහතා නුසුදුස්සෙක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කරන ලදී. 

මෙම රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මූල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය  යුතුයි.

*මංගල සමරවීර – හිටපු මුදල් අමාත්‍ය 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මිනිස්සු අද බඩගින්නේ ඉන්නවා.
    සමහර අය මිය යන්නේ COVID නිසා නොව කෑමට යමක් නොතිබීමෙනි. මෙය වඩා හොඳ ජීවිතයක් ගත කරන අපට කණගාටුදායක දසුනකි. අප තුළ ශක්තීන් රෝපණය කළ අපගේ අධ්‍යාපනයට සහ අපගේ දෙමව්පියන්ට ස්තූතියි, නමුත් ජනතාව මෙලෙචා දේශපාලන .යන් විසින් අල්ලා ගනු ලැබුවහොත් අපි රටට උදව් කරන්නේ කෙසේද?
    මිනිසුන්ගේ සුඛෝපභෝගී මුදල් නාස්ති කරන අය, ඔවුන් කරන ඕනෑම දෙයක් කිරීමට පෙර දෙවරක් නොසිතන බව පෙනේ. දෙවියන් වහන්සේ විසින් මේ ජාතිය මෙහෙයවීමට ඔවුන් සෑදී ඇති බව ඔවුන්ට හැඟේ. ඊනියා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන පැවැත්ම සඳහා හවුසා වාදනය කරති. සිවුරු වලින් සැරසී සිටින මිනිසුන්ට දුප්පතුන්ට හා අවදානමට ලක්විය හැකි ජනතාවට පහසුවෙන් විකුණා දැමිය හැකිය. සියලු උදාහරණ මේදමුලනා දේශපාලන උමතුවෙන් ඔබට පෙනෙනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.