20 April, 2024

Blog

බොදු බල සේනා ත්‍රස්ත නායකයින් අත්අඩංගුවට ගනු ! – මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

පසුගිය දින කිහිපයේ අලුත්ගම හා දර්ගා නගරය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අප ඉතිහාසයේ ඛේදජනක සිදුවීමක්ම ය.

සැබැවින්ම, අලුත්ගම හා දර්ගා නගර ප්‍රදේශ ආශ්‍රිතව ඇති වූ මෙම ආගමික නොසන්සුන්තාව ආරම්භක අවස්ථාවේදී ම පහසුවෙන් විසඳා ගත හැකි මට්ටමේ තිබූ එකකි.   මිට වසර කිහිපයකට ප්‍රථම ‘හලාල්’ භීතිකාවක් ඇතිකරමින් ආරම්භකරන ලද බොදු බල සේනා ත්‍රස්තයින්ගේ වෛරකාරී ගමන මේවනවිට ජාතිවාදී කොලහයක් බවට පරිවර්තනය වෙමින් පවතී.  අදාළ වගකිව යුත්තන් දිගින් දිගටම නිසි උනන්දුවක් නොදැක්වීමත්, මෙම ජාතිවාදී උසිගැන්වීම හා ප්‍රහාරයන්ට රජයේ ඉහලම අයගේ අනුග්‍රහය ලැබීමත් නිසා අද එය  මහා ඛේදවාචකයක් බවට පත්ව තිබේ.

මෙම සමස්ත සිදුවීම් මාලාවට අදාළව රජය දැක් වූ ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන විට මතු වන සාධාරණ හැඟීම වනුයේ,  රජය සැලසුම් සහගතව  ජාතිවාදය ප්‍රවර්ධනය කරමින් සිටින බව ය.   මෙය සැලසුම් සහගතව සිදු වුවක් බව අප පවසනුයේ වගකීමෙනි.

තාර්කිකව හා ප්‍රායෝගීකව බලන කල ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට මෙවැනි සිදුවීමක් මුල් අවස්ථාවේදී ම පාලනය කර ගත නොහැකි යැයි කිසිවෙකුට හෝ විශ්වාස කළ නොහැකි තරම්ය. ලෝකයේ අති භයානක ත්‍රස්තවාදියෙකු වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජයට පත් කළ අප ආරක්ෂක අංශවලට මෙවැනි කුඩා ජන රාශියක් මුල් අවස්ථාවේ දීම පාලනය කර ගත නොහැකි වීම සැබැවින් ම සැක උපදවන සුළු ය. මෙම සමස්ත සිදුවීම් ජාලය සැලසුම් සහගතව වුවක් බව අප පවසනුයේ ඒ පසුබිම තුලය.

ජාත්‍යන්තර පෙරමුණ තුල පමණක් නොව රට අභ්‍යන්තරයේ දීත් සම්පූර්ණ අසාර්ථක වී සිටින රාජපක්ෂ පාලනය තම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය පිම්මේ ප්‍රවර්ධනය කරමින් කටයුතු කරමින් සිටින ආකාරය සහතිකවම රටට, සිංහල ජනතාවට, බෞද්ධයන්ට පමණක් නොව ගෞතම බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම්වලට  පවා ගෙන දෙනුයේ බලවත් කැලලකි.

BBSජිවිත කිහිපයක් හා අතිමහත් දේපල විනාශයක් සිදු වීමට පෙර සිට අලුත්ගම හා ඒ අවට බෞද්ධ හා මුස්ලිම් කොටස් අතර යම් අර්බුදයක් හටගෙන  තිබුණි.

බොදු බල සේනා සංවිධානය එහි රැස්වීමක් සංවිධානය කර තිබුණේ එබදු නොසන්සුන්කාරී තත්ත්වයක් ප්‍රදේශයේ නිර්මාණය වී තිබියදී ය.  ආගමික ගැටුමකට අවශ්‍ය පරිසරය හැමතින් සැකසී තිබිය දී ඊට සම්බන්ධ එක් පාර්ශවයකට රැස්වීමක් අලුත්ගම ප්‍රදේශයේ පැවැත්වීමට අවසර ලබා දුන්නේ කුමන හේතු මත,  කුමන බලධාරීයා  ද යන සාධාරණ ප්‍රශ්න මේ මොහොතේ සෑම නීතිගරුක පුරවැසියෙකු තුල ම මතුව තිබේ.

ජාතිවාදී ගින්නට ආණ්ඩුවෙන් ඉන්දන :

ඉන් සැබැවින්ම සිදු වූයේ ඒ වන විටත් ඇති වෙමින් තිබූ ගින්නට තවත් ඉන්ධන සැපයීම පමණකි.  අලුත්ගම ගින්නට පිදුරු,  බොදු බල සේනා ත්‍රස්තයන්  සපයත් දී,  ඊට ඉන්ධන සැපයූයේ වත්මන් පාලනය බව අප පවසනුයේ එබැවිනි.

හිංසනයක ලකුණක්වත් නොමැති ශිෂ්‍ය විරෝධතා,  විපක්ෂ දේශපාලන පක්ෂ කණ්ඩායම් හි උද්ඝෝෂණ තහනම් කිරිම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට පමණක් නොව, ක්ෂණිකව එවැනි සාමකාමී විරෝධතාවයන්ට පොලිස් බලය පුර්ණ ලෙස යෙදවීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා පොලිසිය, මෙබදු ජාතිවාදී හැඟීම් ප්‍රවර්ධනය කරන රැස්වීමකට අවසර ලබා දුන්නේ කුමන පදනමක් මතදැ යි දැන ගැනීමට අප ද කැමැතිය.

මෙම රැස්වීමට අවසර ලබා දීමෙන් පසු කලබලයක් සිදු වෙතැයි තමන් අපේක්ෂා නොකළ බව පොලිස්පතිවරයා  පවසනුයේ කුමන පදනමක් මත ද යන්න  අපට නම් ගැටළුවකි. එසේ විශ්වාසයෙන් පැවසීමට තරම් අවබෝධයක් බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් ඔහුට තිබුණේ කෙසේ ද?   එම රැස්වීම පැවැත්වීමට ඉඩ ලබා දීමෙන් නතර නොවුනු පොලිසිය මුස්ලිම් බහුතරයක් වෙසෙන දර්ගා නගරය හරහා අනතුරුව පෙලපාලියක් ගමන් කිරිමට ද නිදහසේ ඉඩ ලබා දුන්නේ ඉන් ඇති විය හැකි ආනිසංස පිළිබඳ දෙවරක් නොසිතමිනි.

එහිදී සුළු අවබෝධ‍යක් හෝ පොලිසියට නොතිබීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?  පිරිසිදු පානීය ජලය ඉල්ලූ උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාව දෙසට තම තුවක්කු එල්ල කළ,  විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා නිදහස් වෙළද කලාප සේවකයන් විරෝධතාවයන් හි නිරතවද්දී අධිපීඩක ජල ප්‍රහාර එල්ල කරන ආරක්ෂක අංශ මෙතරම් සැහැල්ලුවෙන් මේ කාරණයේ දී හැසිර තිබුණේ ඇදහිය නොහැකි ආකාරයට ය.

මේ සියල්ල නිරික්ෂණය කරන විට පැහැදිලිව පෙනී යනුයේ රජයට තම පැවැත්ම වෙනුවෙන් මෙවැනි ගැටුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යව  තිබූ බව ය.  මෙහි දී රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අප පැහැදිලිව අවධාරණය කර සිටිනුයේ ආණ්ඩුවක් ආරක්ෂා කළ යුත්තේ  පෙනී සිටිය යුත්තේ එක් ජන කොටසක් හෝ ආගමික කණ්ඩායමක් පමණක් නොවන බවය.  මේ රටේ සියළු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය හා සාමය සුරැකීමේ වගකීමක් රජයකට පැවරී තිබේ.

පොලිස්පතිගේ විහිළු කතා :

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා  මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයාත්, පොලිස්පතිවරයාත් සිදුකර ඇති ප්‍රකාශ හාස්‍ය ජනකය. එහිදී පොලිස්පතිවරයා බොදු බල සේනා  ත්‍රස්තයින්ට  චරිත සහතිකද ලබාදී ඇත. බොදු බල සේනා සංවිධානයේ කුපිත කරවීමේ ප්‍රකාශවලට අදාළව ක්‍රියාත්මකවීමට පොලීසියට ප්‍රතිපාදන නොමැති බවත්, පරීක්ෂණ කළ හැක්කේ සිදුවීමට අදාළව පමණක් බවත් පොලිස්පති එන්.කේ.ඉලංන්ගකොන් මහතා එහිදී පවසා ඇත.

මීට මාස දෙකකට පෙර බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ කිසිදු ප්‍රශ්නයකින් තොරව රැළියක් පවත්වා තිබුණු බවත්, පසුගියදා රජය විසින් අවසර ලබාදී තිබුණේ බොදු බල සේනා සංවිධානයට නොව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ රැස්වීමකට බවත් පොලිස්පතිවරයා පවසයි.

එසේම, ජනමාධ්‍ය අමාත්‍ය වරයා පවසන්නේ, බෞද්ධ උත්සව පැවැත්වෙන අවස්ථාවල දී භික්ෂූන් වහන්සේ යම් නගරයකට යාම හෝ රැස්වීම් පැවැත්වීම හෝ වැළැක්වීමට නොහැකි බව යි.

දැන් කාරණය ඉතා පැහැදිලිය. බොදු බලසේනා සංවිධානය වෙනුවෙන් චරිත සහතික දීමට රජය කටයුතු කරමිනි සිටි. අප මිට පෙර පැවසුවා සේම, බොදු බල සේනාව යනු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ පුර්ණ ආශිර්වාදය යටතේ, ආරක්ෂක සේවා බුද්ධි අංශ විසින් මෙහෙයවන ත්‍රස්ත සංවිධානයකි. එබැව දැන් මනාව තහවුරුවී ඇත.

ත්‍රස්ත චීවරධාරියා අත්අඩංගුවට ගනු !

අලුත්ගම- බේරුවල ගැටුමට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පසුගියදා බේරුවල ජනතාවට සහතිකවිය. එසේනම්, ජිවිත ගනානාවක්  හා දේපල රාශියක් විනාශ කිරීමට ජාතිවාදීන් උසි  ගැන්වූ බොදු බල සේනාවේ ප්‍රධානියා වන ඥානසාර නමැති  චීවරධාරීයා ඇතුළු,  එම සංවිධානයේ සියලු  ත්‍රස්ත නායකයින් වහාම අත් අඩංගුවට ගෙන එම පොරොන්දුව ඉටුකරන ලෙස අප ජනාධිපතිවරයාට  බලකර කියා සිටිමු.

නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවයා සහතික වෙද්දී,  ජි.එල්. පිරිස් , චම්පික රණවක යන ඇමතිවරු මෙම ගැටුමේ වගකීම ‘ඉස්ලාම් අන්තවාදීන්’ පිට පැවරීමේ මෙහෙයුමක දී  ඇත. තමන්ගේ ප්‍රතිපත්ති නායකයා අනුව වෙනස් කරන ජි.එල්. පිරිස් ඇතිවූ තත්වයන්ට දෙපැත්තේම සිටින අන්තවාදීන් වගකිව යුතු බවට පවසා ඇත. ජාති වාදය වපුරමින් නරුම දේශපාලනයක යෙදෙන චම්පික රණවක ඇමතිවරයා ද ආරක්ෂක ලේකම් වෙනුවෙන් ‘ජිහාඩ්’ කාණ්ඩායම් මවා පාමින්, මෙම අවස්ථාවේදී ද  අවස්ථාවාදී තක්කඩි දේශපාලන රංගනයක නියැළේ. මෙවැනි අවස්ථාවාදීන්ගේ ක්‍රියාවලින් සිදුවන්නේ සැබවින්ම අහිංසක මුස්ලිම් ජනතාව පවා අන්තවාදය කරා තල්ලු කිරීමකි.

එනිසා අප තවත් මුලික කාරණයක් අවධාරණය කර සිටිමු. ජාතින් අතර ගැටුම් නිසා ශ්‍රී ලාංකීය අප දශක ගණනක් අනෙක විද පිඩා වින්දෙමු. එම අර්බුදයේ නිමාවක් අදටත් නොපෙනේ. එවැනි තත්වයක් තුල ආගම් කැරලි කෝලාහල මතු වුවහොත්, අනාගතය ගැන කිසිඳු බලාපොරොත්තුවක් තැබිය නොහැකි වනු ඇත. එම කාරණය සැලකිල්ලට ගෙන,  අන්තවාදී සංවිධාන වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් නොකර ජාති අතර, ආගම අතර වෛරය වපුරන කතා හා එවැනි සංවිධාන තහනම් කෙරෙන පනතක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අප රජයට බලකර  සිටිමු.

හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් :

මේ අතර, දිගින් දිගටම බොදු බල සේනාවේ ප්‍රහාරයට ලක්වූ  ජාතික බල සේනා කැඳවුම්කරු මහියංගනය ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ව,  ඊයේ අලූයම් කාලයේ නිරුවත් කර දෑත් දෙපා බැඳ පහර දී මහ මඟ දමා ගොස් තිබිණ.

එම පැහැරගත් කණ්ඩායම විසින් උන්වහන්සේට මුස්ලිම් කුඩා පිරිමි දරුවන්ට සිදු කෙරෙන ලිංග ව්‍යච්ඡේදනයක් (සුන්නත් ) කිරීම  සඳහා උත්සාහ දරා ඇතැයි වාර්තා වෙයි.

පූජ්‍ය වටරැක විජිත හිමියන් මුස්ලිම්වරුන් ගෙන් යැපෙමින්, සිංහල -බෞද්ධයින්ට අපහස කරන ‘මුස්ලිම්’ වරයකු බවට බොදු බල සේනා සංවිධානය මිට පෙර චෝදනා කර තිබිණ.

මෙසේ වටරැක හිමියන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයින් පිළිබඳව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට පොලිසිය හෝ ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂක අංශ අසමත්ව සිටි. මෙම පැහැරගැනීම පිටුපස සිටින්නේ ආරක්ෂක ලේකම්වරයාගේ යටතේ ස්ථාපිත කර ඇති,  පසුගිය කාලයේ පුද්ගල පැහැරගැනීම් වලට සම්බන්ධ ‘සුදු වැන්’  කල්ලියේ  සිටි පිරිසක් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.  මේ තත්වය යටතේ ආරක්ෂා ලේකම්වරයාට මෙම පරීක්ෂණය බාරදීම  හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් බඳුය.

 සෑම ලේ බිදුවකටම වගකිව යුතුයි :

බුදු දහම පදනම් වී ඇත්තේ  මධ්‍යම ප්‍රතිපදාව මතය.  අවිහිංසාව හා කරුණාව මතය. බුදුරජාණන්වහන්සේගේ දේශනාවන් තුළ අන්තගාමීත්වයට කිසිදු ඉඩක් නොමැත.  නමුත් බොදු බල ත්‍රස්තයින්  හා ඔවුන්ගේ  අනුශාසකයින් තම වචන හා ක්‍රියා  මගින් ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අඛණ්ඩව අගෞරව කරමින් සිටී.  තම බල පැවැත්ම වෙනුවෙන් බෞද්ධ දර්ශනය වැරදි ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිදු කරන මෙම අපරාධ,  එම දර්ශනය පිළිබද මනා අවබෝධයක් සහිත සැබෑ බෞද්ධයන් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අද බුදු දහමට එරෙහිව යම් කුමන්ත්‍රණයක් දියත් වන්නේ නම් දියත්වනේ, මෙවැනි සිවුරු පොරවාගත් ත්‍රස්තයින් හරහා බව අපට පැහැදිලිය.

කෙසේවුවද, අනිවාර්යයෙන්ම අලුත්ගම දී හැලුණු සෑම ලේ බිදුවක් සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයන් පිළිතුරු දිය යුතුව තිබේ.  මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් අහිමි වූ සෑම ජීවිතයක් පිළිබදව ඔවුන් වග උත්තර බැදිය යුතුය.  එසේම ප්‍රහාරයන්ට ලක් වූ සෑම පාසලක්, පන්සලක්, පල්ලියක් හා කෝවිලක් සම්බන්ධව හා විනාශ වූ සෑම නිවාසයක් හා ව්‍යාපාරික ස්ථානයක් සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ  පිළිතුරු සැපයිමේ වගකීමක් ඔවුනට පැවරී තිබේ.

එසේ නොකර මැරයන් හා කැරළිකරුවන් විසින් අප ආදරණීය මාතෘ භූමිය “ගිනි තබද් දී ” සැතපුම් දහස් ගණනක් ඈත රටක සිට ට්විටර් පණිවිඩයක් පමණක් නිකුත් කිරිම සැබෑ නායකයෙකුට තරම් නොවේ.

මෙම අඳුරු පැයේ දී සියළු ලාංකිකයන් එක් පවුලක් ලෙස එකට එක් විය යුතුවා සේම මෙවැනි අවාසනාවන්ත සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගැනීම ද වැදගත්ය.  එබදු අධිෂ්ඨානයක් අප තුල පැවතිය යුත්තේ මෙය අප සියල්ලගේ ම මාතෘ භූමිය වන බැවිනි.  ඝෝර පවුල්වාදයක් නිර්මාණය කරමින් අප රටට ලජ්ජාවක් හා අගෞරවයක් ගෙන ඒමට රාජපක්ෂ පවුල කටයුතු කරමින් සිටිය දී, මම ශ්‍රී ලාංකිකයින්ට අවධාරණය කරනුයේ යලි  යුක්තිගරුක, සාධාරණ හා නීති ගරුක රටක් ගොඩනැගීමට, සියලු වාද බේද අත්හැර  අප සියලු දෙනා වෙනසක් වෙනුවෙන් පෙළගැසිය යුතු බවයි.

 *මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිකුත්කළ මාධ්‍ය නිවේදනය  (ජුනි 21 සෙනසුරාදා )

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.