25 September, 2020

Blog

මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය​: විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සම්පූර්ණ සිංහල පරිවර්තනය

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය – 2015 සැප්තැම්බර් 14, ජීනීවා හි දී

සභාපතිතුමනි,
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමනි,
උතුමාණෙනි,
සම්භාවනීය අමුත්තනි,

මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ තැබු විශ්වාසය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයා හට සහ කවුන්සිලයේ සියළු සාමාජිකයන් හට පළමුව මාගේ ස්තූතිය පුදකිරීමට කැමැත්තෙමි.

ඒ අනුව, කවුන්සිලය විසින් ලබාදුන් එම කාලය රජය වෙත තම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහාත් මානව හිමිකම් කොමසාරිස්වරයා හා එම කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ තම සබඳතාවය අළුත් කරගැනීම සඳහාත් අර්ථවත් ප්‍රතිසන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, හා වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් පීඩිතව සිටි ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම ආදී වූ පියවර ගැනීම සඳහාත් බොහෝ සෙයින් අවශ්‍යව පැවති අවකාශය ලබාදෙන ලදි.

Mangala 2015 Sep UNHRCසභාපතිතුමනි,

පසුගිය මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ජයගැනීම හේතුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා අවකාශය සැලසිනි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිවාදීන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකට එක් කෙරුණු අතර ඒ හරහා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සම්මුතිවාදී නව දේශපාලන සංස්කෘතියක් බිහිවීමේ ආරම්භය සනිටුහන් කරන ලදි. එමගින් රටේ දේශපාලන මෙන්ම ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ද ඇතිකිරීමට අපේක්ෂිතය.

අගෝස්තු 17 වන දින පැවති මැතිවරණ ප්‍රථිඵලයේ විශේෂත්වය වූයේ දෙපාර්ශවයේම අන්තවාදීන් පරාජය වීම හරහා මධ්‍යස්ථ මතධාරීන් බලයට පැමිණීමය. මෙය ප්‍රගතශීලී ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව තුල අවශ්‍ය ඉඩකඩ ලබා දීමට හේතුවේ. ඒ හරහා දේශපාලන විසදුමක් හා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම තුලින් සමානාත්මතාවය, සාධාරණය, නිදහස වැනි විශ්වීය ගුණාංග තහවුරු කෙරෙනු ඇත.

මීට සති දෙකකට ඉහතදී 8 වන පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දකුණු අප්‍රිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ එම රටේ ඓතිහාසික මොහොතක දී එක් වූ අයුරු සිහිපත් කලේය. ඒ අනුව, ඔහු අවධාරණය කර සිටියේ පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාව තුල ද ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය හා වැදගත්කමයි. එනම් ප්‍රතිසන්ධානය හා සාමය ස්ථාපිත කිරීම ආදී අප රට හමුවේ ඇති අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්‍ය වන ද්වීපාර්ශවීය එකඟතාවය ඒ හරහා ගොඩනගාගත හැකි බැවිනි

යහපාලන භාවිතයන් අනුගමනය කරමින් සැප්තැම්බර් පළමුවන දින පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් මැතිවරණයේ දී තෙවනුවට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්කරන ලදි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයා විපක්ෂ නායකවරයා වශයෙන් පත්කිරීම සහ ශ්‍රී ලංකාවේ 44 වන අග්‍රවිනිශ්චයකාර පදවිය සඳහා පත්කිරීම ද නව ශ්‍රී ලංකාව තුල ජාතිය, ආගම, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් කිසිවකු හට තමාට හිමිවිය යුතු තැන අහිමි කිරීම සිදුනොවන බව මැනවින් පැහැදිලි කල අවස්ථා වේ.

සභාපතිතුමනි,

2009 මැයි මාසයේ යුද්ධය අවසන් කිරීමෙන් පසු බිහිවූ අදූරදර්ශී ප්‍රතිපත්තීන් හා විජයග්‍රාහී ප්‍රවේශය හේතුවෙන් පශ්චාත් යුදකාලීන සංහිඳියාව ගොඩනැගීමට නොහැකි විය. එබැවින් නව ජාතික ආණ්ඩුව විසින් ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නැවත මුල සිටම ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇත.

තම ජනතාවට වගකියන ආණ්ඩුවක් වශයෙන්, ජාතික ආණ්ඩුව තම ජනතාව උදෙසා නිවැරදි දේ කිරීමේ දැඩි ප්‍රතිපත්තියක සිටින අතර, ඒ අප විසින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දී ඇති පොරොන්දු ඉටුකිරීමේ අභිප්‍රායෙන් නොව, සාධාරණය ඉෂ්ඨකිරීම සඳහාත්, ත්‍රස්තවාදය සඳහා වන හේතූන් ඉවත් කිරීමට හා දිගුකාලීනව දුක් විඳි ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථීරසාර සාමයක් උදාකල හැකි එකම ක්‍රමය එය වන නිසාවෙනි.

සභාපතිතුමනි,

ඔබ ද එකඟ වන පරිදි සංහිදියාව යනු ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා කාලයක් ගතවේ. බොහෝ දෙනා මා දන්නවා නොඉවසිල්ලෙන් බලා සිටින බව. අපට ඔවුන්ගේ නොඉවසිල්ල මෙන්ම ඒ සඳහා හේතුව ද හොඳින් තේරුම්ගත හැකියි. කෙසේ වුවත් මෙම ක්‍රියාවලිය ප්‍රවේසමෙන් සැලසුම්කරගත යුතුයි. නිදහස ලැබූ දා පටන් අප රට කොතෙකුත් බිඳවැටී තිබෙනවා නමුත් තවදුරටත් එලෙසින් පරාජය වීමට ඉඩදිය නොහැකියි.

සභාපතිතුමනි,

සත්‍ය සෙවීම, සාධාරණය ඉෂ්ඨ කිරීම, වන්දි ලබාදීම, නැවත ඇතිවීම වළක්වාගැනීම ආදී පුළුල් වූ වපසරියක් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තුල අන්තර්ගත වන බව ශ්‍රී ලංකා රජය මැනවින් අවබෝධ කරගන සිටින අතර නැවත ඇතිවීම වළක්වාගැනීමේ සැබෑ අර්ථය එනම් දමිළ ජනයාගේ ගැටළු විසඳිය හැකි ආකාරයේ දේශපාලන විසඳුමක් කරා යෑමේ අවශ්‍යතාවය ද අප හඳුනාගන ඇත්තෙමු.

ජනතාව විසින් ලබාදුන් ජනවරම අනුව ජනපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු රජය දේශපාලන විසඳුමක් කරා යාමට අවශ්‍ය වන සංවාදයක් ගොඩනැගීම සඳහා වූ විශේෂ පියවර කිහිපයක් දැනටමත් ගෙන ඇත.

සභාපතිතුමනි, ඔබ දන්නා පරිදි, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 93 වන කොටසේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත් නිදහස් ජාතික අධිකරණ යාන්ත්‍රණයක් හරහා වගවීම සම්බන්ධ ගැටළු සඳහා ක්‍රියාකිරීමට අදහස් කරන බව දක්වා ඇත.

නීතියේ ආධිපත්‍යය හා සියළු ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා වගවීම යනු අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කාරණයකි. මෙම ක්‍රියාවලියේලා අධිකරණමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණයන්හි අවශ්‍යතාවය ද අප හොඳින් අවබෝධ කරගෙන සිටිමු. මේවා වනාහි අප රට තුල දිගුකලක් තිස්සේ ප්‍රචණ්ඩත්වය ඔස්සේ අභාවයට යමින් තිබූ වගවීමේ සංස්කෘතිය හා නීතියෙව් ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම සඳහා අත්‍යවශ්‍ය ගුණාංග වේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව දූෂණය සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ද දඩුවම් නොලැබ බේරීමට ඇති හැකියාව වැලැක්වීම සඳහා මෙහි ඇති වැදගත්කම අප දනිමු. එ‍පමණක් නොව අප රටේ දිගුකාලීන සංවර්ධනය හා අනාගත පරපුර ඇතුළු සියළු ජනතාව තුල සාමයේ හැඟිම ඇතිකිරීමට ද මෙය ඉතා වැදගත් වේ. මේවා අනෙකුත් රටවල් වලින් අප උගත් දෑ නොව අපගේ ම අතීතය හා ඉතිහාසය තුලින් අපට කියාදුන් පාඩම් වේ.

සත්‍ය ගවේෂණය, සාධාරණය, වන්දි ගෙවීම, හා නැවත ඇතිවීම වළක්වන බවට වන තහවුරුව ඇතිකිරීම සඳහා වන ස්වාධීන, විශ්වාසදායක හා බලාත්මක යාන්ත්‍රණයන් ව්‍යවස්ථා රාමුව තුල ඇතිකිරීම සඳහා රජය සතු අදහස් පහත පරිදි වේ.

– සත්‍ය ගවේෂණය සඳහා, ව්‍යවස්ථාව මගින්, යාන්ත්‍රණ දෙකක්:

(i) දකණු අප්‍රිකාවේ නිසි බලධාරීන්ගේ උපදේශ යටතේ සත්‍යය, යුක්තිය, ප්‍රතිසන්ධානය, හා නැවත ඇති නොවීම සඳහා කොමිසමක් ඇති කිරීම. මෙම යාන්ත්‍රණය ව්‍යුහ දෙකකින් යුක්ත වේ. ඒවා නම්, සමාජයේ ප්‍රධාන ආගම් සියල්ලේ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කාරුණික සභාවක් හා කොමසාරිස්වරුන්ගෙන් සමන්විත ව්‍යුහයක්. සමාජයේ කවර තරාතිරමක වුවද මානව හිමිකම් උල්ලංඝනය වීමට ලක්වූ, නමුත් අධිකරණමය ක්‍රියාමාර්ගයකින් විසඳීම සඳහා අපරාධකරුවන් පැහැදිලි නැති, හෝ රජයේ හෝ සමාජයේ භාවිතයන් හේතුවෙන් අවතක්සේරුවට/වෙනස්කම් වලට භාජනය වූ පුද්ගලයන් හට මෙම කොමිසම හරහා සත්‍යය සෙවීමට, සිදුවූ දෙය තේරුම් ගැනීමට හා අසාධාරණයක් වූ බවට ඇති හැඟීම් සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.

(ii) අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ විශ්ෂඥ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්වයන්ට අනුකූලව පවුල් වල දැනගැනීමේ අයිතිය යන මූලධර්මය මත පදනම් වූ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කටයුතු කරන කාර්යාලයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීම.

– යුක්තිය සඳහා ඇති අයිතිය, විශේෂ නීතීඥයකුගෙන් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීමට යේජිතය. මෙය විපතට පත්වූවන්ගේ සාධාරණ පිළියමක් සඳහා වූ අයිතිය පිළිබඳව සැලකිල්ලට ගන්නා අතර සියළු ජාතීන් විසින් අත්විඳින මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් දඩුවම් නොලබා බේරී‍ යාමේ ගැටළුව සඳහා විසඳුම් ලබාදීම කෙරේ අරමුණු වී ඇත. ශ්‍රී ලංකාව තුල මීට පෙරද අපරාධ යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවා ඇත. එබැවින් මෙය අමුතු සංකල්පයක් නොවේ. එමෙන්ම මෙය යම් පුද්ගල කොට්ඨාශයක් වෙනුවෙන් වෙන් වී නැති නමුත් මෙය නීතියේ ආධිපත්‍යය සුරැකීම හා එය ගරුකරන සමාජයක් බිහිකිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

– වන්දි සඳහා වන අයිතිය, මේ සඳහා වෙනම කාර්යාලයක් ව්‍යවස්ථාව මගින් පිහිටුවීමට නියමිතය. එමගින් යෝජිත සත්‍යය, යුක්තිය, ප්‍රතිසන්ධානය, හා නැවත ඇති නොවීම සම්බන්ධයෙන් වන කොමිසම හා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය හා එල්එල්ආර්සී ඇතුළු වෙන යම් ආයතනයක් විසින් වන්දි ලබාදීම සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ඇත.

සභාපතිතුමනි,

නැවත ඇති නොවීම තහවුරු කිරීමට නම්, පරිපාලනමය මෙන්ම අධිකරණමය ප්‍රතිසංස්කරණ හා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ඇතුළු පියවර ගණනාවක් අනුගමනය කල යුතුය. ද්වේෂසහගත කථාව හා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධයක් වශයෙන් හැදින්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම ඇතුළු පියවර මාලාවක් ගැනීමට නියමිතය. නැවත ඇති නොවීම සඳහා වන හොඳම තහවුරුව නම් දමිළ ජනතාවගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදිය හැකි දේශපාලන විසඳුමක් ලබාදීම වේ. අප සිතනවා නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම තුලින් අපට එය කල හැකියි කියා. මෙම අරමුණ සඳහාම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවක් නුදුරේදීම පිහිටූවීමට නියමිතය.

සභාපතිතුමනි,

මෙම යාන්ත්‍රණයන් සකස් කෙරෙනුයේ විපතට පත්වූවන් ඇතුළු සියළු පාර්ශවකරුවන්ගේ උපදෙස් ලබාගැනීම සඳහා වූ පුළුල් යාන්ත්‍රණයක් මගිනි. තවද, සෑම යාන්ත්‍රණයක්ම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු අපගේ ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබාගැනීම සඳහා අවශ්‍ය නිදහසින් යුක්ත වේ.

ඊට අමතරව, සභාපතිතුමනි, ජාතික මානව හිමිකම් කොමිසම, පැරිස් මූලධර්ම වලට අනුකූලව ශක්තිමත් කිරීම සඳහා ද රජය කැපවී සිටී. සියළු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලින් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය කඩිනමින් අත්සන් කිරීම හා වලංගු භාවයට පත්කිරීම, මරණ දඩුවම සම්බන්ධයෙන් වන තාවකාලික අත්හිටුවීම පවත්වාගෙන යාම හා අවසන් වශයෙන් එය තහනම් කිරීම, උදලාගම, පරණගම වැනි ජනාධිපති කොමිෂන් වාර්තා මෙම මස අවසානය වනවිට නිකුත් කිරීම, තාවකාලික සහනදායී ක්‍රියාමාර්ගයක් වශයෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල් වලට සහතික නිකුත් කිරීම, වාණිජ කටයුතු වලින් යුද හමුදාව ඉවත් කිරීම, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම, විශේෂ ජාත්‍යන්තර නියෝජිතයන් හට 2015 දී හා ඉන් මතු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරාධනා කිරීම, වධ හිංසා පැමිණවීම, ස්ත්‍රී දූෂණය, ලිංගික ප්‍රචණ්ඩත්වය හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම තහනම් බව හා ඒවාට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නිසි දඩුවම් ලබාදෙන බවට ආරක්ෂක හමුදා වල සියළු අංශ වෙත උපදෙස් ලබාදීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කර අවලංගු කිරීම හා එය වෙනුවට සමකාලීන හොඳම ජාත්‍යන්තර භාවිතයන් හා අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති ඇතිකිරීම, මහජන ආරක්ෂක ආඥා පනත සමාලෝචනය කිරීම, මෙම වසරේ නීතිගත කල වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සමාලෝචනය කිරීම, ආදී වූ පියවර ඊට අයත් වේ. එමෙන්ම ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය මගින් මානසික සහයෝගය අවශ්‍ය ප්‍රජාවන්ට හා තනි පුද්ගලයන්ට එම සහය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ද සිදුවේ. එපමණක් නොව රජය විසින් ගෙනයන සාමය හා සංහිඳියාව ගොඩනැගීමේ කටයුතු වලදී විදේශ රටවල සිටින සියළු ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත. ඒ අනුව පසුගිය වසරේ 1373 දරණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවේ විධිවිධාන යටතේ සංවිධාන 16 ක් හා පුද්ගලයන් 424 ක් ලැයිස්තුගත කිරීමේ සමාලෝචනය දැනට නිමවෙමින් පවතී.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාව තුල පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම අත්‍යවශ්‍ය විය. එබැවින් අද, ත්‍රස්තවාදය ඇතිකල හේතුන් පිළිබඳ සොයා බැලීමට, ජාතිය ගොඩනැගීමට හා සාමය ස්ථාපනය කිරීම සඳහා යොමුවීමට අපට විශාල අවස්ථාවක් හිමිවී ඇත. අප රටේ සන්නද්ධ හමුදා තම විනය හා වෘත්තීය විශේෂඥතාවය හේතුවෙන් අතීතයේ පිලිගැනීමට ලක්විය. නමුත් පසුගිය කාලයේ බලයේ සිටි කිහිප දෙනෙකු විසින් රට තුල ඇතිකරන ලද පද්ධතිය හා සංස්කෘතිය හේතුවෙන් එම කීර්ති නාමය පළුදු විය.

ඒ අනුව, වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ සැක සංකා ඇති සෑම කෙනෙකුටම මා කීමට කැමතියි බිය නොවන්නැයි කියා. මෙවන් ක්‍රියාවලියක් මගින් සන්නද්ධ හමුදාවන්හි කීර්ති නාමය යලි ගොඩනැගීමට සහය වනු ඇති බවට ඔබේ විශ්වාසය රඳවා ගන්න.

සන්නද්ධ හමුදාවන්හි විශ්වාසවන්ත භාවය නැවත ස්ථාපිත කරන අතර සාමසාධක හා මානූෂිය ක්‍රියාකාරකම් වල වඩ වඩාත් නිරත වීම තුලින් ලෝක සාමය හා ස්ථායීතාවය සඳහා අපගේ දායකත්වය ලබාදීම සඳහා ද අපේ අවධානය යොමුව ඇත. සිවිල් පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා වූ කිගාලි මූලධර්ම සඳහා ද ඒ අනුව ශ්‍රී ලංකාව අත්සන් තබන ලදි.

සභාපතිතුමනි,

අද අපට ශ්‍රී ලංකාව පුරා සිටින සියළු ජාතීන් අතර සිටින පීඩිත ජනතාවගේ දුක් කම්කටොළු හඳුනාගන්නා රජයක් තිබෙනවා. එය අතීතයේ වැරදි හඳුනාගත් ආණ්ඩුවක් වන අතර අප රටේ ආයතන වල ඇති දුර්වලතාවයන් පිළිබඳවද ඉතා හොඳින් අවබෝධ කරගත් ආණ්ඩුවකි. එය පරමාධිපත්‍යය වැනි සංකල්ප හා මූලධර්ම තම ආර්ථමතය උදෙසා භාවිතා කරන ආණ්ඩුවක් නොවන අතර ඒ වෙනුවට තම පුරවැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් කැපවූ, සංවාදයට විවෘත වූ, හා පුරවැසියන්ගේ අපහසුතා හා අඩුපාඩු වලට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය වූ විට ජාත්‍යන්තර සහය ලබාගැනීමට ද කැප වූ ආණ්ඩුවකි.

ජාතියක් වශයෙන් වෙනස්වීමට හා මෙම ගැටළු සඳහා පිළියම් යෙදීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ සැක කරන අය බොහෝය. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව තුල කිසි දිනෙක යුක්තිය ඇති කල නොහැකි බවත් සියළු ජාතීන් හට සමාන පුරවැසියන් වශයෙන් සලකන පරිසරයක් කිසිදා ඇති කල නොහැකි බවත්ය. ඔවුන් වෙත පැවසීමට ඇති එකම දෙය නම්, ජනවාරි 8 වන දින ජනතාව විසින් දිනාගත් දෙය කුමක්දැයි බලන ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදීව එදින දිනාගත් දෙය අප රට තුල ක්‍රියාතමක කල නොහැකි වනු ඇතැයි යනුවෙන් ලෝක ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ බලාපොරොත්තු අතහැර දමා තිබිණි. නමුත් අගෝස්තු 17 වන දින යළිත් දෙපාර්ශවයේම අන්තවාදීන් පරාජයට පත්විය. එබැවින් මා එවන් පුද්ගලයන් වෙත පවසා සිටින්නේ අතීතයේ පරාජයන්, බිඳවැටීම් හා ආපසු හැරවීම් තුලින් අපව විනිශ්චය නොකරන්න යැයි කියා. අපගේ විශ්වාසයන් හා බලාපොරොත්තු මතින් අප අළුත් හෙටක් නිර්මාණය කරමු. සිහින දකින්නට බිය නොවෙමු. එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරමින් බැන අඩගසමින් තමාට දේශපාලන ලකුණු දා ගනිමින් අනාගත පරපුර බිල්ලට නොදී ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට අර්ථවත් සංවාදයන්හි නිරත වීමට කටයුතු කරමු.

අප කැපවී සිටිමු. අපට ඒ සඳහා ජාත්‍යන්තරයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජනතාවගේ ඉවසිලිවන්ත අවබෝධය ඉතා වැදගත් වේ. මෙම ගමනේ දී අප හා අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට අප ඔවුන්ගේ සහය බලාපොරොත්තු වෙමු.

මෙම ගමන ඇතැම් අයට අවශ්‍යව ඇති පරිදි වේගවත් ගමනක් නොවනු ඇත. ඇතැමුන් අප දැනටමත් ඉදිරියට ගියා වැඩියැයි සිතනු ඇත. කෙසේ වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට නොදැනුවත්භාවය, බිය, හා ද්වේෂය යන බාධක මැඩගෙන මේ රට ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය දේශපාලනික අවශ්‍යතාවය හා ධෛර්යය ඇත.

ඔබ සියළු දෙනා වෙත මාගේ ආයාචනය නම් අප කෙරේ විශ්වාස තබන ලෙසත් ප්‍රගතශීලි, අර්ථවත් හා පරිවර්තනීය නව ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන ලෙසත්ය.

ස්තූතියි.

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.