5 December, 2024

Blog

ජාත්‍යන්තර අපකීර්තියට පත්ව ඇති රටත් ජාතියත් මුදවා ගැනීමේ මුල් පියවර

මංගල සමරවීර

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ආයතන මගින් විමර්ෂණය කළ යුතුය යන යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. 1990 වසරේ එතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් සුරැකීම සඳහා ඕනෑම කෙනෙකු සමග එකතුවීමට සූදානම් බවය. එසේ ප්‍රකාශ කිරීමෙන් නොනැවතී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා සහ ලිපි ගොනු රැගෙන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත ගිය එතුමා ඒ සියල්ල මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.

මංගල සමරවීර

ඒ අවස්ථාවේ රට පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට දේශද්‍රෝහී ලේබලය අලවමින් ආණ්ඩුවේ මාධ්‍ය ඔස්සේ ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කළේ නැත. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කළේ ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් හා වෙනත් මානව හිමිකම් සංවිධානයන්ට රිසිසේ ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බලන්නට අවකාශ සැලසීමය. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ පාලනයන්හිදී එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කළේ මේ පිළිවෙතය.

මේ හේතුවෙන් රටේ සැබෑ තත්වය දැන බලා ගැනීමට ජාත්‍යන්තර ආයතනයන්ට අවකාශ සැලසුණු අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පුද්ගලයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ද ඉඩ කඩ ලැබිණි.

ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් විමසීමට විදේශීය ආයතනයන් හා සංවිධාන ශ්‍රී ලංකාවට පැමිණීමට තහංචි පැනවූයේ 2005 වසරේදීය. එසේ තහංචි පැනවූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර තලයට ගෙනගිය පුරෝගාමියා වූ මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම වීම දෛවයේ සරදමකි.

2009 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව එක්ස්ත ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම පිළිබඳ පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන්නා පමණක් නොව, එකී පියවරයන් පිළිබඳව පසු විපරමක යෙදෙන්නට මානව හිමිකම් කොමිසමට අවසරයද ලබා දුන්නේය. අනතුරුව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ස්ථාපිත කොට, එහි නිර්දේශ ක්‍රියාත්මක කරන බවටද ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

ඒ සියල්ල සඳහා පසුබිම සැකසූ ආණ්ඩුව, දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා නවනීදන් පිල්ලේ මහත්මියට චෝදනා එල්ල කරමින් ඇඟ ගලවා ගැනීමට යත්න දරති. එවැනි බාලාංශ පංති ක්‍රියාවලින් මේ අර්බුදයෙන් ගොඩ ආ නොහැකිය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව දැන් මුළු රටම ජාත්‍යන්තර අපකීර්තියට හා අවලාදයට පාත්‍ර කරමින් ආගධයකට රට ඇද දමමින් සිටිති. හුදු දේශප්‍රේමී සටන් පාඨවලින් පමණක් මේ තත්වයෙන් ගැලවිය නොහැකිය.

මේ තත්වයෙන් රටත් ජාතියත් මුදවා ගැනීමේ මුල් පියවරක් ලෙස 17 වන සංශෝධනය යළි බල ගැන්වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය විසින් ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වා නිදහස් හා සාධාරණ සමාජයක් සහ යහ පාලනයක් වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම ප්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමු. 17 වන සංශෝධනය යළි බල ගැන්වීම මුළු මහත් දේශයේම අවශ්‍යතාවයකි.

17 වන සංශෝධනය යළි බලගැන්වීමට ආණ්ඩව විරුද්ධ වන්නේ නම් එමගින් සිදු වනුයේ නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඒකාධිපතිත්වයක් කරා ගමන් ගනිමින් සිටින බවට කළ ප්‍රකාශය ආණ්ඩුව විසින්ම තහවුරු කරලීමකි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.