27 April, 2024

Blog

ශ්‍රී ලංකාව තුල ප්‍රතිසන්ධානය හා සංවර්ධනය ඉදිරියට ගෙනයාම

මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණයෙන් පසු නොබෝ දිනකින් එනම් පසුගිය පෙබරවාරි මාසයේ, මා මෙම නගරයේදී මෙවැනිම වූ පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපගේ දර්ශනය හා සැලැස්ම එළිදැක්වූයෙමි.

වසරක් ගතවී ඇත. නමුත් ආපසු හැරී බැලීමේ දී දැනෙන්නේ වසර ගණනාවක් ගතවූ සෙයකි. වසරක් තුල බොහෝ දෑ සිදුවී ඇති අතර බොහෝ දෑ ලබාගැනීමට ද හැකි වී ඇත.

2015 පෙබරවාරි මස සහකාර ලේකම් බිස්වාල් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සහ අදින් හරියටම වසරකට පෙර මගේ වොෂින්ටන් සංචාරයෙන් පසු අද වනවිට අප දෙරට අතර සබඳතාවයේ පුනර්ජීවනයක් අත්දැකීමට හැකි වී ඇත. එතරම් කෙටි කලක් තුල අප දෙරට අතර සබඳතා පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇත. නිදහස ලැබූ දා සිට අප දෙරට අතර සුහදශීලී සබඳතාවයක් පැවති නමුත් දැන් මෙම නව සබඳතා හේතු කොට ගෙන අප අතර සුහඳතාවය සුවශේෂ මිතුදමක් කරා වර්ධනය වී ඇත.

මෙම වසර තුල සිදුවූ සහකාර ලේකම් බිස්වාල් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාර හතරට අමතරව එක්සත් ජනපදයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මෙරටට පැමිණියහ. දශක හතරකට පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයෙකුගේ මෙරට නිල සංචාරය සනිටුහන් කරමින් 2015 මැයි මාසයේ දී ජෝන් කෙරී මහතා කොළඹට පැමිණියේය. ඔහුගෙන් අනතුරුව තනාපතිනී සමන්තා පවර් මහත්මිය ද පැමිණියාය. ඇයගේ සංචාරය තුලින් එක්සත් ජනපද ශ්‍රී ලංකා සබඳතා යලි පණගැන්විණි. ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් හා කම්කරු සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි ද මෙරටට පැමිණි අතර අපගේ ප්‍රගතිය කෙරේ ඔහුගේ පැමිණීම ද දායකවිය. අවසන් වශයෙන් දෙසැම්බර් මසදී තානාපති තෝමස් ෂැනන් පැමිණි අතර එමගින් අප දෙරට අතර සහයෝගීතා සංවාදයකට මුලපුරන ලද අතර එහි ප්‍රථිඵලයක් ලෙස අද දින මා නැවතත් මෙහි පැමිණ සිටින්නේ එහි සමාරම්භක සැසියට සහභාගී වීම සඳහායි.

අද දින මාගේ මාතෘකාව වනුයේ “ශ්‍රී ලංකාව තුල ප්‍රතිසන්ධානය හා සංවර්ධනය ඉදිරියට ගෙනයාමයි”. 2015 ජනවාරි මස සිට ප්‍රතිසන්ධානය ඇතිකිරීම, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, වගවීම හා මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහා ගන්නා ලද පියවර සියල්ල මෙහිලා ගෙනහැර පෑමට මා අදහස් නොකරමි. මෙම පිරිස දැනුවත් පිරිසක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ පසුවිපරම් කරන බවත් මා දනිමි. එබැවින් මෙතැන් සිට මාගේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

නෝනාවරුනි, මහත්වරුනි,

ඔබ එකඟ වන පරිදි ප්‍රතිසන්ධානය හා සංවර්ධනය යනු එකිනෙකට බද්ධ වූ කාරණා දෙකකි. එකකින් තොරව අනෙක ලඟා කරගැනීම සැබවින්ම අපහසුය නැතහොත් සිදු කල නොහැක.

1948 දී නිදහස ලබාගන්නා විට එවකට සෙලෝන් වශයෙන් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පැවති අනෙකුත් රටවල් අතර සුවිශේෂ ස්ථානයක සිටියේ ඇයට නියෝජිත රාජ්‍යය යන සංකල්පය පිළිබඳව අත්දැකීම් තිබූ නිසාත් සංවර්ධන දර්ශක අතුරින් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව ඉහල මට්ටමකට ළගා වී සිටි නිසාත්ය. කෙටියෙන් කියතොත් ශ්‍රී ලංකාව නිදහස ලබන දින ලන්ඩනයේ පුවත්පතක පලවූ කතුවැකියක සඳහන්ව තිබුනේ නොබෝ කලකින්ම ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය වනු ඇතැයි කියාය.

රටේ ජීවත් වූ විවිධ වූ ජාතීන්, සාමය, සංහිඳියාව හා එකමුතු බව යනාදී ජාතික ඉලක්ක ලගාකරගැනීම වෙනුවෙන් සහයෝගයෙන් ජීවත් වීමට හා වැඩකිරීමට සූදානම්ව සිටියහ. වෙනස් වූ විශ්වාසයන් ඇදහුවත්, වෙනස් වූ භාෂාවන් කථා කලත්, වෙනස් වූ සංස්කෘතීන් අනුගමනය කලත් ඔවුන් නිදහස ලබාගැනීම උදෙසා එක්ව වැඩකලහ.

නමුත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි ලෝකය දනී. අප රට දශක තුනකට අධික කාලයක් වද වේදනා හා ගැටුම් වලට ඇද දැමීමට සමත් වූ අත්වැරදීම් අප අතින් සිදු විය.

සාධාරණ දුක්ගැනවිලි කළමණාකරණය කරගැනීමට අපොහොසත් වීම තුලින් ගැටුම් හා ප්‍රචණ්ඩත්වය ඉස්මතු විය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ නායකත්වයට ශ්‍රී ලංකාවේ පැවති බහු-වාර්ගික, බහු-සංස්කෘතික, බහු-ආගමික හා බහු-ආගම්වාදී විවිධත්වය තේරුම්ගනිමින් මනා කළමණාකාරීත්වයක් පවත්වා ගැනීමට නොහැකි විය. එහි ප්‍රථිඵලයක් ලෙස මේ දුක්ගැනවිලි අන්තර්-වාර්ගික අමනාපය හා අවතක්සේරු කිරීම හා අසාධාරණ ලෙස සැලකීම පිළිබඳ හැඟීම් වර්ධනය කිරීමට සමත් විය. අප දිවයිනේ පැවති මෙම විවිධත්වය පිළිබඳ අවබෝධයක් තිබුණ ද අපගේ රටේ නිදහසින් පසු බිහිවූ නායකයින් තීරණාත්මක අවස්ථාවන්හිදී අසාර්ථක වූ අතර අන්තවාදීන්ට එරෙහිව නැගී සිටීමට අපොහොසත් වූහ.

ඒ අනුව, එහි ප්‍රථිපලයක් ලෙස විසදුම් නොලැබූ දුක්ගැනවිලි ප්‍රචණ්ඩත්වයට මුලපිරූ අතර එමගින් ත්‍රස්තවාදයට හේතුකාරක සපයමින් අවසානයේ විනාශකාරී යුධමය තත්වයක් නිර්මාණය විය. කෙසේ හෝ යුද්ධය අවසන් කල පසු, මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ සම්බන්ධ බරපතල චෝදනා දෙපාර්ශවය වෙතම එල්ල වූ අතර ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යනතරය හමුවේ අපකීර්තියටත් හුදෙකලා වීමටත් හේතු විය.

කෙසේවුවත් සමස්තයක් වශයෙන් රට පුරා ජනතාව යුද්ධය අවසන් වීම නිසා සැනසුම් සුසුම් හෙළු අතර එතැන් පටන් ප්‍රජාතන්‍ත්‍රවාදය හා සංහිඳියාව රජයන නව යුගයක් ආරම්භ වනු ඇතැයි සිහින දුටුහ. උතුරේ හා නැගෙනහිර දුක්විදී ජනතාවගේ හදවත් දිනා ගැනීම සඳහා පෙර නොවූ විරූ ස්වර්ණමය අවස්ථාවක් ඒ හරහා උදා වීය.

එනමුදු එය එලෙසින්ම සිදු නොවීය. එල්ටීටීඊයට එරෙහි තම යුධ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් රාජපක්ෂ රෙජීමය විජයග්‍රහණයෙන් වියරු වැටී ක්‍රියාකිරීම හමුවේ දමිළ ජනතාව තවදුරටත් දුරස්ථ වූහ. යුද්ධය අවසන් වීමෙන් පසු හදවත් සුවපත් කිරීම වෙනුවට ජනපති පවුලේ සුභසිද්ධිය වෙනුවෙන් යුද ජයග්‍රහණය අවභාවිතා කරමින් ඒක-පාක්ෂික රාජ්‍යයක් බිහිවනු දක්නට ලැබිණි.

කෙසේ නමුත් 2015 දී ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බලයට පත් වීම හරහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණු අතර යලිත් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නව යුගයක ආරම්භය සනිටුහන් විය. සාම්ප්‍රදායික විරුද්ධවාදීන් වූ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු ප්‍රථම වතාවට එක් වෙමින් දේශපාලනික හා ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සඳහා වූ දැඩි අවශ්‍යතාවය සැපිරීම සඳහා වූ සම්මුතිවාදී දේශපාලනයක් කරා මුල පුරන ලදි. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය දෙස බලන ඕනෑම කෙනෙකුට පැහැදිලිව තේරුම්ගත් හැක්කේ එදිරිවාදී දේශපාලනය හේතුවෙන් සෑම විටකදීම ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වී ඇති බවයි. ඒ හේතුවෙන් අපට ලැබුණු අවස්ථා රැසක් මගහැරී ගොස් ඇත. මේ ආකාරයෙන්, එක් පාර්ශවයක් විසින් විසඳුමක් ගෙන ඒමට උත්සාහ කල සෑම අවස්ථාවකදීම අනෙක් පාර්ශවය එයට විරුද්ධ වීම තුලින් සියල්ල කඩාකප්පල් කර දැමීමේ සම්ප්‍රදායක් අතීතය පුරාවට දක්නට ලැබේ.

ඒ අනුව, අද වනවිට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වය යටතේ මෙම සංස්කෘතිය වෙනස් වී ඇත. දේශපාලන පක්ෂ විසින් කෙටිකාලීන දේශපාලන වාසි තකා රටේ පොදු ජනතාවගේ දිගුකාලීන අවශ්‍යතාවයන් නොසලකා හරිමින් කටයුතු කිරීමේ ක්‍රමය දැන් අවසන් වී ඇත. අපගේ විපක්ෂ නායකවරයා වශයෙන් බුද්ධිමත් , කැපවීමෙන් කටයුතු කරන, ගෞරවනීය දේශපාලනඥයකු වන ආර්.සම්බන්දන් මහතා පත්වී සිටින අතර අප වෙත ලැබී ඇති මෙම අවස්ථාව මඟහැරී යා නොදී එක්ව කටයතු කර ජයගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහුට ද ඇත.

වාසනාවකට මෙන් එල්ටීටීටඊ සංවිධානයේ ඇවෑමෙන් පසු අද වනවිට අප රට තුල ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න සඳහා විසඳුමක් වශයෙන් සලකන කිසිවෙකුත් නොමැත. දිගුකාලීන සාමය හා නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සෑම දෙනා තුලම පවතින කැමැත්ත ඉතා පැහැදිලිය. අප රටේ උතුර,දකුණ,නැගෙනහිර,බටහිර හා මධ්‍යම යන සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියළු දෙනාම සදාකාලිකවම සාමය පවතිනු දැකීමට කැමැතිය. ඔවුන් සියළු දෙනාම ඇති තරම් ලේ හැලීම් සහ සිතාගැනීමටවත් අපහසු තරමේ ශෝකාන්තයන්ට මුහුණ දී ඇත.

එබැවින්, ජාතික සමගි ආණ්ඩුව අප රටේ සියළු දෙනාගේ අභිලාෂය වන “යුද්ධය නැවත ඇති නොවීම” යන ප්‍රතිපත්තිය වටා සියළු දෙනා ඒකරාශි කරගැනීමේ අරමුණින් ක්‍රියාකරයි.

ජාතික සමගි ආණ්ඩුව මෙම ඓතිහාසික අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම කිසිවිටකත් අතපසු කර නැත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී යහපාලනය ශක්තිමත් කිරීම, ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, නීතියේ ආධිපත්‍යය යටතේ වගවීම ඇතිකිරීම හා නැවත ඇති නොවීම තහවුරු කිරීම සඳහා රජය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී යෝජනාවක් සඳහා සම අනුග්‍රාහකත්වය ලබාදීමට ද කටයුතු කරන ලදි.

අපගේ රජය මෙම යෝජනාව සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ වශයෙන් කැපවී සිටී. ඒ හුදෙක් ජාත්‍යන්තරය සතුටු කිරීම සඳහා නොව, ශ්‍රී ලාංකීය ජනතාව වෙත උදාවිය යුතු අනාගතය තහවුරු කිරීමට හා රටක් වශයෙන් ඉදිරියට යාමට නම් පළමුව අපගේ අතීතය සමඟ සම්මුතියකට පැමිණ සිටිය යුතුය යන අපගේ විශ්වාසය නිසාය. මේ වසරේ පෙබරවාරි 04 වනදා නිදහස් දින උළෙළ අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටි පරිදි,

“යෝජනාවේ ඇති විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අප හමුවේ උදාවී ඇති අවස්ථාව ලබාගැනීම සඳහා දැන් කාලය එළැඹ ඇත. අප විසින් මෙම යෝජනා ක්‍රියාත්මක කල යුත්තේ ජාත්‍යන්තර වශයෙන් අපට ඇති බලපෑම නිසා නොව, අප රටේත්, අප ජනතාවගේත්, අප හමුදාවන්ගේත් ගෞරවය රැකගැනීම සඳහාත්, ඒ තුලින් ජාත්‍යන්තරය හමුවේ අප රට ශක්තිමත් ප්‍රජාතනත්‍රවාදී රටක් වශයෙන් පැවති පිළිගැනීම යලි තහවුරු කිරීම සඳහාත්ය.”

එම යෝජනාවේ දී අප විසින් සත්‍ය සෙවීම, වගවීම, වන්දි ගෙවීම හා යලි ඇති නොවීම යන සිවුවැදෑරුම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙම ක්‍රමවේදය හේතුවෙන් සත්‍යය, ප්‍රතිසන්ධානය, යුක්තිය හා නැවත ඇති නොවීම සඳහා වන කොමිෂන් සහාවක්, අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයක්, අධිකරණ යාන්ත්‍රණයක්, සහ ප්‍රඥප්තියක් මගින් පිහිටුවීමට නියමිත වන්දි සඳහා කාර්යාලයක් ඇති කිරීම සඳහා අඩිතාලම සකස් විය.

එමෙන්ම, මෙම යාන්ත්‍රණය නිර්මාණය වනුයේ සෑම පාර්ශවයකම වින්දිතයන් ද ඇතුලත්ව සියළු පාර්ශවකරුවන්ගේ උපදේශකත්වය තුලින් වේ. මහජන උපදේශනය ලබාගැනීම සඳහා රජය විසින් කීර්තිමත් පුද්ගලයන් 11 දෙනෙකුගෙන් සමන්විත උපදේශන කාර්ය සාධක බලකායක් පත්කර ඇත. දැනට මෙම බලකාය විසින් එම ක්‍රියාවලිය සඳහා විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගනිමින් සිටින අතර සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා ඉදිරියේදී දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් බලකායන් පිහිටුවීමට ද නියමිතය.

මේ අතරතුර, එක්සත් ජාතීන්ගේ සාම සාධක අරමුදලේ සහයෙන් ජාතික ඒකාබද්ධතාවය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ප්‍රජාවන් අතර අවබෝධය ඇතිකිරීම හා මානසික හා ජීවන උපකාර ලබාදීම සඳහා වන ප්‍රතිසන්ධානය හා බැඳුනු ව්‍යපෘතීන් ක්‍රිය්තමක කිරීම ආරම්භ කර ඇත.

අප පැවසු ආකාරයට නැවත ඇතිනොවීම සඳහා බලපාන අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එය අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අතර සුළු ජාතික අයිතීන් සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. මෙම ක්‍රියාවලිය අප රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් වනු ඇත. මෙම වසරේ ජනවාරි 9 වන දින එනම් සිරිසේන රජයේ පළමු වර්ෂ පූර්ණය සිදුවූ දින, විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වුනු අතර එහිදී, නව ව්‍යවස්ථාවක සකස්කිරීමේ ලා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් වශයෙන් ක්‍රියාකල හැකිවන පරිදි යෝජනාවක් ගෙන එන ලදි. නව ව්‍යවස්ථාව නිර්මාණයේ ලා මහජන අදහස් විමසීම මේ වනවිට සිදුවෙමින් පවතී.

පෙබරවාරි 9 වන දින පාර්ලි‍මේනතුව අමතමින් අතිගරු ජනාධිපතිතුමා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ලැ සහයෝගය ලබාදෙන ලෙසයි. එමෙන්ම ත්‍රස්තවාදය නිමා කිරීමට හැකිවූයේ විධායක ජනාධිපතික්‍රමය නිසා බැවින එය අහෝසි නොකල යුතුයැයි පවසන අයට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ අනාගනයේ ඇතිවන යුදධයක් පිළිබඳව බලා නොසිට නැවත කිසිදිනක යුද්ධය හා ප්‍රචණ්ඩත්වය ඇති නොවනු පිණිස අත්‍යවශ්‍ය සංශෝධන ගෙන ආ යුතු බවයි.

ප්‍රතිසන්ධානය, සාමය හා යලි ඇති නොවීම තහවුරු කිරීම සඳහා රජයේ ඇති කැපවීම පැහැදිලිය. නමුත්, සාමය ස්ථාපනය උදෙසා, සංවර්ධනය සහ සෑම පුරවැසියකුගේ ජීවන තත්වය උසස් කිරීම වනාහි අත්‍යවශ්‍ය කාරණා වන්නේය.

යහපත් සිතුවිලි හා උත්සාහයන් පමණක් නොසෑහේ. සෑම පාර්ශවකරුවෙකුටම තම වර්ධනය පිළිබඳ සිතන බවත් තම ජීවන තත්වය උසස් වන බවත් දැනීම අවශ්‍යය. එබැවින් සාමය දිනැගැනීම යනු දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම සියළු ශ්‍රී ලාංකිකයන්ට රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් සඳහා සමාන අවස්ථා හිමිවීම ද වන්නේය. සාමය ස්ථාපනය වීම සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආර්ථික තත්වය උසස් වීම තුලින් දක්නට ලැබිය යුතුය. එය වනාහි රැකියා විරහිත තරුණයන් හට වඩාත් හොඳ රැකියා අවස්ථා වියයුතුය. ගෘහනියන් හට වඩාත් හොඳ ජීවන තත්වයක් වියයුතුය. ගොවීන් සඳහා වඩාත් වැඩි වෙළඳ පොළ අවස්ථාවක් හා තම නිෂ්පාදන සඳහා ඉහල මිලක් වියයුතුය. ශිෂ්‍යයන් සඳහා වැඩි පාසල් ප්‍රමාණයක් හා හොඳ්න් පුහුණු වූ ගුරුවරුන්ගෙන් යුතු කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාල වන්නේය. වැඩිහිටියන් සඳහා රෝහල් සහ ඖෂධ සඳහා වඩාත් වැඩි අවස්ථාය.

අවශ්‍ය කරන දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුවනවිට, ආයෝජනය, වෙළඳාම, රැකියා, වර්ධනය හා ආර්ථක සංවර්ධනය සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා රජයට කිසිදු සැකයක් නැත. සාමය හා සංවර්ධනය අතර ඇති සබැඳියාව සාකල්ය හා ගතික වන බැවින් සාමයේ ලාභාංශ වැඩි වන වේගයෙන්ම සාමයේ පැවැත්ම ද වේගවත් වනු ඇත. කෙටියෙන් කියතොත් සාමයේ, සංහිඳියාවේ හා ප්‍රතිසන්ධානයේ ප්‍රතිලාභ ජනතාවට දැනිය යුතු අතර එය ඔවුන්ට ඉක්මනින්ම දැනිය යුතුය.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා ලොක්ය අප උනන්දු කල ආකාරයටම මෙම තීරණාත්මක අවස්ථාවේ දී ලෝකය අප රටේ ආර්ථික දියුණුව හා සංවර්ධනය ඇති වනු දැකීමට ද බලාපොරොත්තු වේ.

එබැවින් මේ සම්බන්ධයෙන් ද රජය ක්‍රියාත්මක වීම ආරම්භ ඇත. ශ්‍රී ලංකා ධන 6ට වැඩි ආර්ථිකය තවදුරටත් ඉහල නැංවීමට අප විසින් අඩිතාලම දමමින් සටිමු. රැකියා දස ලක්ෂයක් ඇති කිරීම ද අපේක්ෂා සහගත ආර්ථික සංවර්ධනයක් තුලින් ජීවන තත්වය උසස් කිරීම ද ඊට ඇතුලත් වේ.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පදනම්ව ඇත්තේ විදේශීය සෘජු ආයෝජන දිරමත් කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන වඩාත් තරඟකාරී මට්ටමකට ගෙන ඒම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, දැනුම හා බුද්ධිය හුවමාරු කරගැනීම තුලින් ඵලදායීතාවය ඩහල නැංවීම යනාදිය මත වේ.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සීග්‍රයෙන් දියුණු වන ඉංදියාන් සාගර කලාපය මධ්‍යයේ වන අතර පෙරදිග-බටහිර නාවික මාර්ගය අප රට හරහා වැටී ඇත. ලෝකයේ විශාලතම වෙළඳපල වලින් එකක් වන ඉංදියාව අපේ අසල්වැසියාය. මෙම සුවිශේෂ ආර්ථකමය වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීම අප රටේ සංවර්ධනය කෙරේ යෙදවීමට අපි අපේක්ෂා කරමු. දැනටමත් අප රට හා ඉංදියාව අතර පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කිරීම සඳහා සාකච්ඡා අරඹා ඇත. එය මෙම වසරේ මැද භාගය වනවිට සම්පූර්ණ කිරීමට අප අපේක්ෂා කරමු. පාකිස්ථානය සමඟ ද එසේ ක්‍රියා කිරීමට අපි සැරසී සිටිමු. මෙම ගිවිසුම් සහ උප මහද්වීපය වෙත ඇති අපගේ විශිෂ්ථ මුහුදු හා ගුවන් සබඳතා තුලින් අප රට උප මහද්වීලයට ප්‍රවේශ වීමේ දොරටුවක් වශයෙන් ගොඩනැගෙනු දැකීම අපගේ අරමුණයි.

එමෙන්ම විදේශයන් වෙත අපගේ වෙලඳපල පිවිසුම් පුළුල් කිරීමටද අප අපේක්ෂා කරමු. පසුගිය රජය වෙත එල්ල වූ මානව හිමිකම් චෝදනා හේතුවෙන් යුරෝපා හවුල වෙත තිබූ GSP+ සහනය අපට අහිමි විය. මානව හිමිකම් පිළිබඳ යුරෝපා හවුලේ ක්‍රියාකාරී කණ්ඩායමේ මෙරට සංචාරයෙන් අනතුරුව දැන් අප නැවතත් එම සහනය ලබාගැනීම සඳහා අයැදුම් කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අතර මෙම වසර අවසන් වනවිට එම සහනය නැවත ලබාගැනීමට හැකිවනු ඇත. එමෙන්ම චීනය සමඟ ද නිදහස් වෙළඳ ගිවිසුමක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා අරඹා ඇත.

ශ්‍රී ලංකාවේ අපනය වලින් ¼ කට හිමිකම් කියන එක්සත් ජනපද වෙළඳපල අප රටේ විශාලතම තනි අපනයන වෙළඳපල වේ. GSP+ සහනය හරහා මෙම වෙළඳපල වෙත සහනදායී ප්‍රවේශ පහසුකම් ලැබෙන අතර එරට සමඟ වෙළඳ හා ආයෝජන ගිවිසුමක් ද අත්සන් තබා ඇත්තෙමු. මෙම ගිවිසුම් හරහා ශක්තිමත් වන සබඳතා තුලින් ශ්‍රී ලංකාවේ ආරිථික හා සංවර්ධන ඉලක්ක ලගාකරගැනීමේ අරමුණ කෙරේ විශාල සහයක් වනු ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකාව ට්‍රාන්ස්-පාසිෆික් සහයෝගීතාවයට එක් වීම සඳහා අයැදුම් කිරීමේ හැකියාව පිළිබඳ විමසමින් සිටිමු. රජයේ ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් පිරිසක් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින සිටින අතර අප නිරන්තරයෙන් එහි ප්‍රගතිය විමසමින් සිටිමු.

එපමණක් නොව රටතුල දේශීය ව්‍යපාරික පරිසරය වැඩිදියුණු කිරීමට ද අපගේ අවධානය යොමු වී ඇත. ආයෝජනය හා ව්‍යාපාර සඳහා වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණයේ ලා වැදගත් වන නීති රීති ගෙනඒමට අප කටයුතු කරමින් සිටිමු. උදාහරණයක් ලෙස, සංවර්ධනය සඳහා වන ඒජන්සිය යටතේ එක වහලක් යටතේ ආයෝජන හා වෙළෙඳ-පහසුකම් සාප්පුවක් ඇතිකිරීම සඳහා රජයේ ආයතන රැසක් එකතු කිරීමේ වැඩපිළිවෙළක් අප සතුව ඇත. සරල නීති මත පදනම් වූ ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඉඩම් හිමිකම්, බදු, ඇතුළු අපගේ නීති රීති හා රෙගුලාසි සමාලෝචනය කිරීම අප විසින් ආරම්භ කර ඇත. පුද්ගලික ව්‍යපාර සඳහා ද දියුණු වීමේ ක්‍රම අප විසින් හඳුන්වා දී ඇත. උදා: ලෝකයේ අඩුම ආදායම් බද්ද වන 15% ඇත්තේ ශ්‍රී ලංකාවේය. මෙම ප්‍රතිසංස්කරණ ද සමඟ අපගේ උගත් ශ්‍රම බලකාය සහ ස්ථාවර යටිතල පහසුකම් තුලින් ශ්‍රී ලංකාව කලාපයේ ආකර්ශනීයම, ආරක්ෂිතම සහ තරඟකාරීම ආයෝජන ගමනාන්තය බවට පත්කරනු නිසැකය.

මෙහි ප්‍රථිඵලයක් වශයෙන්, පසුගිය මාස කිහිපය තුල විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ඩාවෝස් හි ලෝක වෙළඳ සංසදයේ දී සහ බර්ලින් හා වියෙනා වෙත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල සංචාරය අතරතුර පැවිත ආයේජන හා ව්‍යාපාර හමුවලදී ශ්‍රී ලංකාව පිළිබඳ සුවිශේෂී හා පෙර නොවූ විරූ උනන්දුවක් දක්නට ලැබුණි. එ‍පමණක් නොව සංචාරක ව්‍යාපාරයේ ද පැහැදිලි වර්ධනයක් අප විසින් අත්කරගෙන ඇත. 2014 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීම 20% කින් ඉහල ‍ගොස් ඇත.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී සාමයේ ලාභාංශ පවත්නා බව පෙන්නුම් කිරීම ඉතා වැදගත් වේ. අපි මේ උත්සාහයේ දී, සහශ්‍ර අභියෝගතා සංස්ථාව, USAID සහ සෙසු එක්සත් ජනපද හවුල්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටිමු. එමෙන්ම ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය හවුල්කරුවන් සමඟ ද සමීපව කටයුතු කරමින් සිටිමු. නමුත්, දිළිඳුකම තුරන් කිරීම, නාගරික සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්යාපනය – විශේෂයෙන් වෘත්තීය, තාක්ෂණික හා ඉංග්රීසි භාෂා පුහුණුව – හා කෘෂිකාර්මික ඵලදායිතාව වැඩි දියුණු කිරීම යන ක්ෂේත්‍රයන්හි කඩිනම් සහය තවදුරටත් අපට අවශ්‍යව ඇත.

අපගේ සියළු පුරවැසියන් සඳහා සමෘද්ධිමත් හෙටක් උදෙසා කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ දී ඔබ රට සමඟ පවතින සුවිශේෂී වූ හවුල්කාරීත්වය අප ඉතා අගය කොට සලකන්නෙමු. ප්‍රතිසන්ධානයේ හා සංවර්ධනයේ ලා අප විසින් ගනු ලබන උත්සාහයන්හිදී එක්සත් ජනපදයේ සහයෝගය අප නිරන්තරයෙන් අපේක්ෂා කරන්නෙමු. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ඉන්දියානු සාගර කලාපයේ සහ ඉන් ඔබ්බටත්, සාමය, ආරක්ෂාව, ආර්ථික හා සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සමග එක්ව වැඩ කිරීම සඳහා අප උනන්දු වන්නෙමු.

නෝනාවරුනි, මහත්වරුනි, අපගේ අරමුණ වන්නේ ජාත්‍යන්තරය විසින් අප කෙරේ තබා ඇති විශ්වාසය අනුව යමින් අපගේ සියළුම පුරවැසියන් වෙනුවෙන් සාර්ථකත්වය කර ලගා වීමටයි. සියල්ලටම වඩා අපට වැදගත් වන්නේ මීට 68 වසරකට පෙර නිදහස ලැබූ දා සිට ඉටු කිරීමට අපොහොසත් වූ අපගේ ජනතාවටත් මතු උපදින පරම්පරාවන්ටත් සාධාරණය ඉෂ්ඨ කිරීමයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහයෝගය ඇතිව, රටේ සෑම පුරවැසයකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට හැකි අනාගතයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.

අවසාන වශයෙන් මා පසුගිය සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලය අමතා කල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමතියි.

“එබැවින් අප සැකකරන පුද්ගලයන් වෙත මා පවසා සිටින්නේ අතීතයේ පරාජයන්, බිඳවැටීම් හා ආපසු හැරවීම් තුලින් අපව විනිශ්චය නොකරන්න යැයි කියා. අපගේ විශ්වාසයන් හා බලාපොරොත්තු මතින් අප අළුත් හෙටක් නිර්මාණය කරමු. සිහින දකින්නට බිය නොවෙමු. එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කරමින් බැන අඩගසමින් තමාට දේශපාලන ලකුණු දා ගනිමින් අනාගත පරපුර බිල්ලට නොදී ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට අර්ථවත් සංවාදයන්හි නිරත වීමට කටයුතු කරමු.

ඔබ සියළු දෙනා වෙත මාගේ ආයාචනය නම් අප කෙරේ විශ්වාස තබන ලෙසත් ප්‍රගතශීලි, අර්ථවත් හා  පරිවර්තනීය නව ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා අප සමඟ එක්ව කටයුතු කරන ලෙසත්ය”

*2016 පෙබරවාරි 25 වන දින වෝෂින්ටන් හි සාමය පිළිබඳ එක්සත් ජනපද ආයතනයේ දී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කල කථාව

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.