මෙවන් පෙරේරා –
තව දින කිහිපයකින් ලංකා ඉතිහාසයේ අවිනිශ්චිතම ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මොහොත උදා වනු ඇත. ආර්ථික සමාජ අවිනිශ්චිතත්වය තුළින් සජිත් ප්‍රේමදාස, රනිල් වික්රමසිංහ හෝ අනුර කුමාර දිසානායක ජනතා ඡන්දයෙන් පත් වනු ඇත. මේ අවිනිශ්චිත ජනාධිපතිවරයා ඉතාම නොමේරූ, ප්‍රසාංගික, අධි කම්පිත, භාවාතිශය, ලාමක බහුතරයකින් සැදුණු අදහා ගත නොහැකි විලාසයේ මහජනතාවකට නායකයකු වනු ඇත. මේ කවුරුන් පත් වුවද ඒ පුද්ගලයා මගේ අනුකම්පාවට පාත්‍ර වේ. මක් නිසාද යත් විධායක ජනාධිපති අසුන නමැති ශාපලත් අසුන විසින් එහි හිඳ ගත් මිනිසාවත්, ඔහුගේ සියලු ගුණ දහමත්, විචක්ෂණයත්, මනුෂ්‍යත්වයත්, ප්‍රඥාවත් විනාශ කරන බැවිනි. විධායක බලය සහිත ජනාධිපති ධුරයක් ලැබීම තරම් වහල් පරාජයක් තවත් නැත. මේ තරම් පරිපූර්ණ පරාජයක් වෙනුවෙන් සිහි එළඹගත් පිරිමින් තිස් අට දෙනෙක් පියවි සිහියෙන්, දිවි හිමියෙන් (එක අයෙක් ඇත්තෙන්ම මිය ගියේය – ඔහුට නිවන් සුව!) මෙසේ සටන් කිරීම ම දෙවියන් මැවූ ලොවෙහි විචිත්‍ර, විනෝදජනක ආශ්චර්යය පිලිබඳ විශාල සාක්ෂියකි.
මේ මැතිවරණ ව්‍යාපාර තුනෙහිම දක්නට ලැබෙන භාවාතිශය, රොමෑන්තික මෙවලම් සබ්බුද්ධික, විචාරශීලි මිනිසුන්ව, ගැහැණුන්ව තුෂ්ණිම්භූත කරවයි. අනුරට ක්‍රින්ජ් පෙම් කවි ලියන, රඟන ඔහු දැකුමෙන් විසඥ වූ බව කියන, ඔහුගේ හඬින් සිහි මුර්ජා වුණු බව ලියන සහෝදරියන් සහ භාවාතිශය විද්වතුන් වෙත මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ද මේ ඓතිහාසික මොහොතේ පවත්වන්නේ නැවත මෙවැනි විනෝදජනක මොහොතක් නොපැමිණෙන නිසාය. මොවුන් වැනි අය අනුරට පමණක් නොව එසේ ප්‍රශස්ති ගයන කවර හෝ දේශපාලකයෙකුට කරන්නේ මහත් විනාශයකි. මිනිසුන්ගේ ඊගෝව අධිසන්තර්පනය කිරීමේ භයානක කම දකින්නට අවශ්‍ය නම් රනිල් දෙස බලන්න. ප්‍රතාපවත් මිනිසෙකු ක්ෂුද්‍ර නාසිසිස්ට් කෙනෙකු වීමට එක හේතුවක් නම් ප්‍රශස්ති ගායනය නමැති හීලියම් වායුවයි. ඒ වායුවෙන් පිම්බී, පිම්බී, පිම්බී ඔහු හිස් මිනිස් බැලුමක් ව පාවෙයි. කුමට ඔහු එසේ පාවෙයි ද? ගෞරවාන්විතව ඔහුට ඉතිහාසයේ කිරුළේ දීප්තිමත් දියමන්තියක් ව සමු ගන්නට තිබුණි.
මගෙන් කා හට ඡන්දය දෙන්නේදැයි අසන සැමට මා කියන්නේ එය මගේ රහස් ඡන්දයක් බවය.
මගේ හදවත කියන එක් සත්‍යයක් ඇත.
අනුර අප බොහෝ දෙනා ප්‍රර්ථනා කරන සමාජය හැදීමට සමත් ධීමත් බැවින් යුත් අපේක්ෂකයන් අතලොස්සෙන් එක් අයෙකි. ඔහු අගතියෙන් තොරව අදහසක් අසන්නට සමතෙකි. ඔහු දේශපාලන අගතියෙන් තොරව අනෙකාට ප්‍රතිචාර දක්වන්නට දන්නා ශිලාචාර මිනිසෙකි. සබුද්ධිකව මේ රටේ ඇවිද ජනතාවගෙන් ආලෝලනයෙන් ආලෝලනය නොවුවෙකි. ඔහු තමාටම ආදරය කළද ආදරයෙන් මත් නොවුවෙකි. සමාජවාදයේ ප්‍රමාණයද, අවප්‍රමාණයද, සිමාවන් ද දන්නෙකි. ඔහු ජනතාව නමැති පරමාණුවෙන් තමා සැදුණු බව දන්නේය. ඔහු වැනි සමාජ අසමානතාවයේ සහ දුක් පිරිපත අනුභවයේ අසමසම නිදර්ශනයක් මේ තරම් දුරක් නොමැරී, නොනැසී ජිවත් වීමම අපේ සමාජයේ සදාචාරයේ කුළුණු දෙකක් වන නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යයට ගීතිකාවක් ගැයීමට නිමිත්තකි. රනිල්ට ඡන්දය දෙන බහුතරය ඡන්දදායකයන් රනිල්ට වඩා ගුණවත්ය. සජිත්ට ඡන්දය දෙන බහුතර ඡන්දදායකයන් සජිත්ට වඩා අවංකය.
අනුරට ඡන්දය දීමට ඉදිරිපත්ව ඇති බොහෝ දෙනා අනුර තරම් ගුණවත් ද නැත; අවංක ද නැත. ඔහු වටා රැස්ව සිටින පොහොට්ටු කලාකරුවන් (හෙවත් ‘වරද තේරුම් ගෙන වෙනස් වූ’ කලාකරුවන් නමැති නවතම මිනිස් විශේෂයක්), වියත් මග පන්නයේ වෘත්තිකයන් දෙස දුටු විට අනුර ගැන මම දුක් වෙමි; බිය වෙමි. ඒ මක් නිසාද සිය ඡන්දදායකයාට වඩා ගුණවත්, අවංක, මනුෂ්‍යත්වයෙන් යුත්, සාධාරණ චින්තනයක් ඇති එකම තත්කාලීන දේශපාලන නායකයා අනුර බැවිනි. ඔහු ඔහුගේ පසුගමන්කරුවන්, පෙරගමන් කරුවන්, ප්‍රශස්තිකරුවන්, මිතුරන් සියල්ලන්ටම වඩා දේශපාලන ප්‍රඥාවෙන් සහ තීක්ෂණ බවින් ඉදිරියෙන් සිටී.
නායකයා අපට වඩා ඉදිරියෙන් සිටිය යුතු, ප්‍රශස්තියෙන් අකම්පිතව යථාර්ථයේ චාපයට ඔබ්බෙන් මනුෂ්‍යත්වයේ අනාගතය ගැන පරිකල්පනය කළ හැකි අයෙකු විය යුතුය.එය අපට අමතක කරවා ඇති දෙයකි.
නායකයා මට වඩා හොඳ විය යුතුය.
අනුර මට වඩා හොඳ කෙනෙකි.
එහෙම කෙනෙක් අවශ්‍යද?