
මෙම ලිපිය මගින් 2015-2019 අතර අවුරුදු පහක කාලය අවසන් වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ-මැදි ආදායම් ශ්‍රේණියේ සිට පහළ-මැදි ආදායම් ශ්‍රේණිය දක්වා දුප්පත් වූ ආකාරය විමසා බැලේ. ඒ සඳහා ලෝක බැංකුව හා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පළ කරන ලද දත්ත භාවිතයට ගනු ලබන අතර වෙසෙසින්ම මෙම විමසීම පදනම් වන්නේ සමස්ත ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත මත පමණි. ආර්ථික වර්ධන වේගය ජනගහණ වර්ධන වේගයට වැඩි වන විට ඒක පුද්ගල ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් රටක් දුප්පත් වන්නේ කෙසේ දැයි යමෙකුට තර්ක කළ හැකි නමුදු මෙම ලිපියෙහි අරමුණ වන්නේ ජාත්‍යන්තර මිනුමට අනුව ශ්‍රී ලංකාව දුප්පත් වූ හැටි විභාග කිරීමය.
ලෝක බැංකුව විසින් ඒක පුද්ගල ආදායම පදනම් කරගෙන සෑම වසරකම ලෝකයේ රටවල් ආදායම් මට්ටම් හතරකට ශ්‍රේණි ගත කරනු ලබයි. 2020 ජූලි පළමුවෙනිදා සිට අදාළ වන පරිදි ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1,036ට වඩා අඩු රටවල් පහළ ආදායම් ශ්‍රේණියට ද, 1,036-4,045 දක්වා රටවල් පහළ-මැදි ආදායම් ශ්‍රේණියට ද, 4,046-12,535 දක්වා රටවල් ඉහළ-මැදි ආදායම් ශ්‍රේණියට ද 12,535ට වඩා වැඩි රටවල් ඉහළ ආදායම් ශ්‍රේණියට ද ඇතුළත් කරනු ලැබ තිබේ. ඒ අනුව සුඩානය, ඇල්ජීරියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් තුන පෙර වර්ෂයට වඩා දුප්පත් වූ රටවල් ලෙස වර්ග කොට තිබේ.
ශ්‍රී ලංකාව 2018 දී ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 4,079 සිට 2019 දී ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 3,852 දක්වා ඩොලර් 227කින් දුප්පත් වී ඇත. එහි ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව ඉහළ-මැදි ආදායම් මට්ටමේ සිට පහළ-මැදි ආදායම් මට්ටමට පහත හෙලා ඇත. දකුණු ආසියාවේ රටවල් අතුරින් ඉහළ-මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වී තිබුණේ මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට පමණි. ශ්‍රී ලංකාව ඉහළ-මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූයේ 2017 දීය. එහෙත් ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පිරිහී යාම නිසා 2018 දී ඩොලර් 4,079ක් වූ ඒක පුද්ගල ආදායම 2019 වන විට ඩොලර් 3,852 දක්වා කඩා වැටුණේය. ඒ අනුව ඉහළ-මැදි ආදායම් කාණ්ඩයේ සිට පහළට ඇදවැටුණේය. මාලදිවයින හැරුණු විට දකුණු ආසියාවේ අනෙකුත් රටවල් මෙන් දැන් ශ්‍රී ලංකාව ද දිළිඳු රටක් ලෙස ලෝක පිළිගැනීමට පාත්‍ර වී තිබේ.
ලිබරල් ධනවාදය ඔස්සේ ආර්ථිකය මෙහෙයවූ එක්සත් ජාතික පක්‍ෂය බලයේ සිටි කාලවල ආර්ථික වර්ධන වේගය ඉහළ අගයක් ගැනීම නිසා එය ආර්ථික වර්ධනයේ මැජික් කරුවෙකු ලෙස ප්‍රසිද්ධ විය. එබැවින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් උදෙසා 2015 දී ඔවුන් බලයට පත්කර ගනු ලැබීය. ඒ අනුව 2014 දී පැවති 5%ක ආර්ථික වර්ධන වේගය වෙනුවට 2015 පටන් 7%-8%ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්‍ෂා කරන ලදී. එහෙත් සිදුවූයේ අනිකකි. එම ආණ්ඩුවට 2015 දී 5%ක ආර්ථික වර්ධනයක් ආරක්‍ෂා කරගත හැකි වුව ද ඉන් පසු අංක-1 ප්‍රස්තාරයේ දැක්වෙන පරිදි සෑම වසරකම වර්ධන වේගය ශීඝ්‍ර ලෙස පිරිහී ගියේය.
2015-2019 පස් අවුරුදු කාලය තුළ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන කමිටුවක් පිහිටුවා ගෙන තිබුණු අතර එමගින් සංවර්ධන ප්‍රතිපත්ති හත-අටක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථික සභාවක් (National Economic Council) පිහිටුවා ගත්තේය. ඒ කිසිදු ආයතනයකට හෝ ප්‍රතිපත්තියකට ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වාම ආර්ථිකය පසුබැස්සේය. මෙම පසු බැස්ම කොතෙක් ද යත් වර්ධන වේගය 5% සිට 2.3% දක්වා පහළ බැසීමකි. මේ වනාහී වසර 18කට පෙර එල්ටීටී සංවිධානය කටුනායක ගුවන්තොටට දරුණු ප්‍රහාරයක් එල්ල කොට ආර්ථික ව්‍යසනයක් කරන ලද වර්ෂයෙන් පසු වාර්තා වූ අඩුම වර්ධන වේගය යි. පාස්කු ප්‍රහාරය සිදුවූ 2019 දී සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ලවුනා හැරුණු විට 2015-2019 කාලය තුළ අප රටේ යුද්ධ, කැරළි කෝලාහල, නියං උවදුරු, වසංගත වැනි පීඩා ගෙන දුන්නේ නැත. අනික් අතට ආර්ථිකය මෙහෙයවීමේ ආයතන දෙකක් රජය විසින් පිහිටුවා තිබුණි. එම කාලය තුළ සිදුවූ ආර්ථික පිරිහීම අනුව පෙනෙන්නේ එම ආයතන දෙක “කතා සාප්පු” වලට සීමාවී තිබූ බවයි.
ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් අඩුවත්ම එය දළ දේශීය නිෂ්පාදිතයේ කඩාවැටීමට බලපෑවේය. වර්තන මිල අනුව රුපියල්වලින් ගණනය කිරීමෙන් දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් නිරීක්‍ෂණය කළ හැකි බව සැබෑ වුවද එමගින් සිත සනසා ගැනීමට විනා ජාත්‍යන්තර සංසන්දනාත්මක ආර්ථික විග්‍රහයකට ප්‍රමාණවත් පදනමක් සකසන්නේ නැත. එබැවින් ඩොලර් වටිනාකම අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 88.4 සිට 84.0 දක්වා කඩා වැටී ඇති බව අංක-2 ප්‍රස්තාරයෙන් පෙන්වාදේ. මේ කෙරෙහි වෙසෙසින්ම බලපෑවේ රජයේ විනිමය කළමනාකරණය දුර්වල වීම නිසා රුපියලේ අගය පිරිහීමයි.
දේශීය නිෂ්පාදිතයේ කඩා වැටීමට අනුරූප ලෙස ඒක පුද්ගල ආදායමේ කඩාවැටීම අංක-3 ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරයි. මේ වනාහී 2016 පැවති ඒක පුද්ගල ආදායමටත් වඩා 2019 අවසාන වන විට ආදායම් මට්ටම පහළ යාමකි. මෙය අප රට අවුරුදු තුනකින් පසුබස්සවීමට සමානය. 2018 සංඛ්‍යා හා සසඳන විට මෙය ඒක පුද්ගල ආදායමේ ඩොලර් 227ක පිරිහීමකි. ලෝක බැංකුව විසින් ඉහළ-මැදි ආදායම් ශ්‍රේණියේ සිට පහළ-මැදි ආදායම් ශ්‍රේණිය දක්වා ශ්‍රී ලංකාව පහත දැමීමට උපස්ථම්භක වූයේ ඒක පුද්ගල ආදායමේ මෙම පිරිහීමයි. ඇතැම් අර්ථ ශාත්‍රඥයින් සිත සැනසීම පිණිස රුපියල් ආදායම ඉහළ ගොස් ඇති බව පෙන්වා දීමට පෙළඹේ. ජනගහණ වර්ධන වේගයට වඩා ආර්ථික වර්ධන වේගය වැඩි නම් දේශීය මුදලින් මනින ලද ඒක පුද්ගල ආදායම ඉහළ මට්ටමක පවතින බව සැබෑය. එහෙත් එයින් ලෝක ආර්ථිකය හා ශ්‍රී ලංකාව සැසඳීමට පිටිවහළක් නොලැබේ.
ප්‍රස්තාර අංක-4 මගින් 2015-2019 කාලයේ සත්‍ය දළ දේශීය නිෂ්පාදිතය සමග 5%ක ස්ථායී වර්ධන වේගයක් අනුව ලබාගත හැකිව තිබූ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සංසන්දනය කෙරේ. මෙහි උපකල්පනය කරනු ලබන වර්ධන වේගය 5% ලෙස ගෙන ඇත්තේ ආසන්න වර්ෂ ලෙස ගත හැකි 2014 සහ 2015 දී 5%ක ආර්ථික වර්ධන වේගයක් පැවතීමත් පසුගිය දශක හතක කාලය තුළ (දශක තුනක යුද්ධයකට ද ජේවීපී කැරළිවලට ද වෙනත් උවදුරුවලට ද මුහුණ දෙමින්) 5%ක පමණ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබීමත් නිසාය.
තවද, 2015 දී බලයට පත් වූ ආණ්ඩුව ආර්ථිකය නංවාලීමට සැලසුම්, ප්‍රතිපත්ති, විදේශ සබඳතා, විදේශ ආයෝජන, ව්‍යාපාරික විශ්වාසය, ජාතන්තර සහයෝගය යනාදිය නව ආණ්ඩුව සතු බැව් ප්‍රකාශ කළ බැවින් අවම වශයෙන් 2014 දී පැවති 5%ක ආර්ථික වර්ධන වේගයවත් පවත්වා ගැනීමට අසමත් නොවිය යුතු බව උපකල්පාය කරනු ලැබේ. 2015 දී 5%ක වර්ධන වේගයක් පවත්වා ගත හැකි වුවත් ඉන් පසු එහි ශීඝ්‍ර පිරිහීම විසින් (විනිමය අනුපාතයේ පිරිහීමේ බලපෑම ඇතුළත්ව) සත්‍ය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 84 දක්වා පහත හෙලනු ලැබීය. ඒ අනුව අහිමි වූ සත්‍ය දේශීය ආදායම 2018ට සාපේක්‍ෂව ඩොලර් බිලියන 4.4 කි. අනික් අතට 5%ක අවම ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත් වූයේ නම් 2019 වන විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 98 දක්වා ඉහළ නංවා ගත හැකිව තිබුණි. එහෙත් ආණ්ඩුවේ අසමත්කම නිසා 2016 දී ඩොලර් බිලියන 2.2කින් පටන්ගත් මෙම ආදායම් හානිය 2019 දී ඩොලර් බිලියන 14ක හානියක් දක්වා වර්ධනය වූ බව ඇස්තමේන්තු කළ හැකිය.
අංක-5 ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරන්නේ 5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා අහිමි වූ ඇස්තමේන්තුගත දේශීය ආදායමයි. 2015න් පසු ඇස්තමේන්තුගත දේශීය ආදායම 2016 සිට 2019 දක්වා කාලය තුළ නොකඩවා ශීඝ්‍රයෙන් පිරීහී ගිය අතර එමගින් වූ ආදායම් හානියේ එකතුව ඩොලර් බිලියන 22.6කට සමාන වේ. මෙය ඒක පුද්ගල ආදායමට කළ බලපෑමක් ලෙස ගණනය කළහොත් ඩොලර් 5,000ක ඒක පුද්ගල ආදායම් මට්ටම ඉක්මවා යාමට තිබූ අවස්ථාව අහිමිකර ගැනීමක් ලෙස සඳහන් කළ හැකිය. ඒක පුද්ගල ආදායම මානව සංවර්ධන දර්ශකයේ එක් ප්‍රපංචයක් වන බැවින් 2020 දී ශ්‍රී ලංකාව මානව සංවර්ධනය පිරිහුණු රටක් බවට පත්වේ. පසුගිය වසර පහ තුළ 5%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමට නොහැකි වීම නිසා හානි වූ ඩොලර් බිලියන 22.6 වර්තමාන දේශීය නිෂ්පාදිතයෙන් 27%කට සමාන වේ. මෙය සුළුපටු හානියක් නොවේ. එය පියවා ගැනීමට 8% ආර්ථික වර්ධන වේගයක්වත් ඉදිරි අවුරුදු පහ තුළ පවත්වා ගත යුතුය. එය අසීරු ඉලක්කයකි. එබැවින් පසුගිය වසර පහ තුළ අහිමි වූ ආදායම ප්‍රතිෂ්ඨාපනය කරගත හැකි මගක් නැති තරමට එය බරපතළය.
2015-2019 කාලය තුළ නිෂ්පාදන සාධක හැකිලීමක් හෝ සාධක පිළිබඳ පූර්ණ සේවා නියුක්ති තත්වයක් හෝ වෙනත් බාහිර වශයෙන් වූ සන්කෝචනාත්මක බලපෑමක් හෝ නොවීය. පාස්කු ප්‍රහාරය නිසා හටගත් පසුබෑම පමණක් මෙහිලා සැලකිය යුතුය. දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානය හැරුණු විට අන් සියලු රාජ්‍යයන්ගේ වේගවත් ආර්ථික වර්ධනයක් පැවති බැවින් ද සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයේ වර්ධනයක් පැවති බැවින් ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුප්පත් වූයේ හුදෙක් යහපාලන ආණ්ඩුවේ අසමත්කම නිසා බව නිගමනය කළ හැකිය. මෙම ලියුම්කරු විසින් 2016 පටන් සෑම වසරකම පැවති ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ අසමත්කම ගැන විවරණ මෙන්ම දැඩි විවේචන ද ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථිකය ප්‍රපාතයට තල්ලුවන බව පෙන්වා දුන්නේය. එය සැබෑ කරමින් යහපාලන ආණ්ඩුව ආර්ථිකය “රිවර්ස් ගියරයේ” දමා පළාගොස් ඇත. වත්මන් ආණ්ඩුවට ආර්ථිකය “ෆෝවර්ඩ් ගියරයේ” දැමීමේත් ඉනික්බිතිව “හයි ගියරයක” දමා පැදවීමේත් වගකීම පැවරී තිබේ. එහෙත් වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් රියදුරු අසුන්වල නිසි රියදුරන් හිඳුවා තිබේද යන්න රජයෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.